මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Saturday, October 31, 2020

C ට ආදරෙන්

 ආදරණීය C,

ඔබ දන්නවද C, මම ඔබට ලියමින් ඉන්නේ මහ පාන්දරක බව. තාලයට පැද්දෙන දුම්රිය ගමන දැන් මට හුරුයි. ඒ ගමන අතර තුර පොත් කියවීම, ලීවීම පමණක් නොවෙයි, කුඩා එකකු සේ දුම්රිය දොරෙහි එල්ලී යාමද දැන් වඩාත් හුරුයි. හුරු පුරුදු ගමනක අතරතුර ඔබව සිහි වුයේ මන්දැයි ඔබට කුහුලක් දනවනවාට සැක නැහැ. ඒත් C කොතැනක කොහොම කොයි විදිහකට ඔබ මතකයට ඒදැයි නිශ්චිතවම කිමට නොහැකි උවත් ඔබ සෑම දිනකම හදවත මත බර අඩි තබමින් මතක අතරේ අද ද ඇවිද යන බව කිව යුතුයි. ඒ සෑම මොහොතකම ඔබට නවතින්න යැයි මගේ සිත බල කරන තරමටම වන වේදනාවේ කඳුළු දෑස් මත ගුළි ගැහෙනවා C.

එවන් වු වේදනාවන් යටපත් කළ හැක්කේ, මසකට වරක් හෝ දෙවරක් මස පසාරු කර ගනිමින් නහර මතට විදෙන ඉඳිකටු තුඩැති කුඩා එන්නත් කටුවට පමණක් වීම, ඔබ දන්නවද එය මරණීය වේදනාවක් වන බව. ඔබේ මතක එයින් යටපත් වන බව. ඔබ ලඟක ඇත්නම් යැයි සිතෙන මොහොතක උවද, දරා ගත නොහැකි වේදනාවේදී ඔබේ දෑතින්ම අල්ලා සිටිය යුතු උවද, ඔබ මා වෙනුවෙන් කඳුළක් හෙළතැයි බියෙන්, ඔබ ගිය පසු සියල්ල හොඳින් සිදු උවා යැයි බාර ගැනීමට මා හුරු වු වේදනාවෙන්, ඔබවත් මතකත් මොහොතකට අමතක කර දමන බව ඔබට කිව යුතුයි C.

නිශ්චිතවම සුව උවා යැයි කිව නොහැති නමුත් , සුව වීමේ අවසන් අදියරට මා පැමිණ ඇති බවට වු නිවේදනය සමඟ වන තහවුරු කිරීම තවත් පැය කිහිපයක් ගතව මවෙත ලැබෙනු ඇති C. එය දරා ගත යුත්තේ සිනහවකින් නම්, මම එය එසේ දරාගමි. එහෙත් මට ඔබෙන් යදින්නට ඇත්තේ ඒ මොහොතේදී, මගේ මතකයට නොඑන ලෙසයි. ඔබ තව දුරටත් මගේ ලඟ නොමැති බව සිතට නොපැවසිය යුතු බව ඔබ දැනගත යුතුයි C. ඒ මොහොතේ ජීවිතය පිළිබඳ වන සියලු ආශාවන් හා එක්ව, සියළු ප්‍රාර්ථනා හා එක්ව, සියළුම සිහිනයන් හා එක්ව, සියළුම බලාපොරොත්තු හා එක්ව මේ හදවතද තව වරක් හිනැහුනාවේ C. ඒ සියළුම ආශාවන්, සියළුම ප්‍රාර්ථනා වන්, සියළුම සිහිනයන්, සියළුම බලාපොරොත්තුන් ඔබත් සමඟ එකට එක්ව දුටු බව ඒ මෙහොතේදී සිතට නොනැගුනාවේ. නොදැනුනාවේ.

හදවතට සිනාසීමට ඔබ මගේ හදවතට බොහෝ දුරකින් අදට පමණක්, මොහොතකට පමණක් හෝ නැවති හිදින්න C. ඔබ නොමැති තැන, ඔබ ට සැදුණ ඉඩ, හිඩැසක් ලෙසින් ම තබා ගනිමින්, නැවත ජීවිතය දෙස බැලීමට මටත් අවසර දෙන්න C.

ඒ අවසරය මතින් දිනෙක ඔබත්, ඔබේ දරුවන් හා මුණුබුරන් සමඟින් සෑදෑහිරු රැසින් නැහෙවෙන මුහුදු වෙරළක මිතුරන් වෙසින් ඇවිද යාමට හැකි බව සිතමින්, ඔබ හා සිදු කරන මතක ගනුදෙනුවට යළිත් ඔබට මසිතේ ඉඩ වෙන් කිරීමට ඔබේ කාලයෙන් මොහොතක කාලයක් මට ලබා දෙන්න C.

ඔබ ට මිසක අද ද ඔබ ව අතැර යාමට මට කිසියම් වු හේතුවක් හමු නොවීම, සරදමක් විය හැකිද C. එය එසේ විය යුතුද C.

A
2020.09.26

 


 



Thursday, October 29, 2020

C ට ආදරෙන් 2020.06.09

 ආදරණිය C,


බොහෝ කලකට පසුව ඔබට ලියන විටකද, ඔබ මා වටා තැනූ මතක ස්මාරකයන්ගේ කිසිදු වෙනසක් ව සිදුව නොමැති බව ඔබට කිව යුතුදැයි මා දන්නේ නැහැ. එය ඔබ දැන සිටියද, දැන නොසිටියද සිදු වන කිසිදු වෙනසක් නොමැති බව පසක් කර ගැනීමට නොහැකි වීමට තරම් මා දුර්වල නොමැති බව ඔබ දන්නවා. 

 කාලය මහ පුදුම විදිහට මිනිසුන්ව වෙනස් කරවන විටකද, ඒ කාලය තුළදී කිසිදු වෙනසක් නොමැතිව ඔබ මා හදෙහි පවතින'යුරු පමණක් සමහර අවස්ථාවලදී මට පුදුමයක් දනවන කරුණක් බව ඔබ දන්නවද C.

එය සිදු වන්නේ කෙසේ දැයි මා දන්නේ නැහැ. ඔබ කවුදැයි, හෝ ඔබ මගේ කිසිවකුදැයි හෝ ඔබ මා වෙත කුමන වු මායාවක් කළේ දැයි හෝ මා අද ද නොදන්නා බව ඔබ දැන සිටිය යුතුයි C.

එහෙත් මේ කිසිවක් ඔබ නොදන්නා බව  පමණක් මම දනිමි. ඔබට මෙසේ ලීවිම ම නොකළ යුතු  දෙයක්ව පවතින බව පමණක් මම දනිමි. එහෙත් මා නොකළ යුතුව තිබුණේ ඔබට ආදරය කිරීමයි C. එපමණයි. නොමැති නම් ඔබ මා රුවටීම නොකළ යුතුව තිබුණා යැයි මා සිතීම වරදක් ද C.

කෙසේ හෝ අන් කවරදාකටත් වඩා ඔබව මතක් වන විට, ඔබේ මයාකාරි වදන් ගැවසුන හඬ ඇසිය යුතුයැයි සිතුන විටකදි පවා හුදකලාවක ගිලීම හැර මා කළ යුත්තේ කුමක්දැයි තෝරා ගැනීමට බැරි වීමේ  වේදනාවෙන් මා පෙළීම හා එම වේදනාව දරා ගැනීම පමණක් සිදු කිරීමට වීම මොන තරම් කටුකදැයි ඔබ දන්නේ නැත. එය ඔබට සිතිය හැකි වු මට්ටමක හෝ නොමැති බව ද ඔබේ සිතුවිලි වලට ළඟා විය හැකි තලයක නොවන බව ද මා දනිමි. 

මෙය අවසානයේ දි මා ඔබට කිව යුතු යැයි සිතන්නේ නම්, ඒ මා අසල මේ මොහොතේ ඔබ සිටියා නම්, මට ඇසිමට දුරක සිට හෝ ඔබේ හඬ පාව ආවා නම්, මට දැකිමට ඔබව හමු විමට ඒමට තිබුණා නම්, කවරදාකටත් වඩා, අන් හැමදේටමත් වඩා, ඔබ ව මට වටිනා බව පමණක් හෝ කිමට තිබුණා නම්, මා පමණක් වාසනාවන්තයැයි සිතීමට තිබුණා යන්නයි. ඔබ වටා ඇති සියළු දේ, ඔබ ගොඩ නගාගත් සබැඳියාවන්, මා හැර ඔබ ඔබේයැයි නම් තබන සියළුම දේ ඔබ නිසාම වාසනාව තවරා ගන්නා අයුරු මම අසමින්, දකිමින් සිටිමි. ඒ සියල්ල සිනහවකින් ඉවසිය හැකි තරමින් ම මා පුරුදු කර ඇති ආදරය වාසනාවන්ත වීම පමණක් ඔබේ නමින් මා අසල ඉතිරි වී තිබුණාවේ.

ඉතිං ඔබ මට වඩා සිය දහස් ගුණයකින් වාසනාව කැටි කර උපන් නිසාවෙන් මගේ කඳුළ අඟ ඔබේ හසරැල්ල සෑදිම මම බාරගත යුත්තේම සරදමක් ලෙසින් නොවන වග පමණක් මා දනිමි.

ඔබට ආදරෙන් ලියන මේ වචන වල ඇත්තේ ආදරයම පමණක් බව මා දනිමි. එය ඔබ අදහනවා නම් අදහන්න. ඊට පෙර වතාවක්වත් අහම්බයකින් හෝ මේ අකුරු කියවන්න.

මේ මොහොතේ ඔබේ ඇස් මත මා වෙනුවෙන් කඳුලකට හෝ ඉඩ සැදෙනවාට මා කැමති බව ඔබ දැන ගත යුතු නිසා සටහන් කර තබමි. ඒ කඳුල තුළ ද ඔබේ ආදරණීය වාසනාව ගුළිව ඇති බව මම දනිමි. එබැවින් මගේ නමින් ඔබේ ඇස්මත අහම්බයකින් හෝ ඉඩ සැදෙන හැම කඳුලම ඔබට මුදු පවනක්ව නෙතට සිහිලක් උනාවේ.

 
A,
2020.06.09

 





 


ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...