මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Wednesday, July 10, 2019

මෙහෙම කවියක් ලිව්වා මතකද?

මම නෙමෙයි නුඹ, එක්තරා දවසක
මෙහෙම කවියක් ලිව්වා මතකද?

"නුඹේ අත ගෙන ඇවිද යනවිට
මිනී මල් උව සුවඳ දෙන වග"

තවත් වමතක ඉඩ හොයාගෙන
ඒ මගම නුඹ ඇවිද යන විට
කුමට විලවුන් සුවඳ ඉසගෙන
ඇයි මිනී මල් සුවඳ නැතුවද?

මෙහෙම කවියක් ලිව්වා මතකද?
මම නෙමෙයි නුඹ, එක්තරා දවසක

"නුඹේ ලඟ වරුවක් ගෙවෙද්දී
පහේ නැතුවත් ජිවිතේ රහ වග"

තවත් වමතක ඉඩ හොයාගෙන
ජිවිතේ වරු ගෙවා යනකොට
කුමට රසමසවුළු සොයා නුඹ
ඇයිද ජිවිතේ මිහිරි නැතුවද?

තවත් නුඹ ලිව් බොහෝ කවි වෙයි
සොඳුර ඒ මගේ මතකයේ වෙයි
විමස විමසා නුඹ ලියු පද
තාම මම මිරිඟුවක තනිවෙයි


Monday, July 8, 2019

යාත්‍රාට 100 යි

මේ සිය වෙනි පොස්ටුව. කාලයක් ඒ කියන්නේ අවුරුදු තුනක හතරක මහන්සිය මේ ඇතුළේ තියෙනවා. සමහර විට මහන්සිය කියන වචනේ මෙතෙන්ට ගැළපෙන්නෑ. ඔව් මේ ලියවුණු ගොඩක් දේවල් ලියවුණේ ම මහන්සියකින් තොරවයි. කිහිපයක් ඇරෙන්න. සමහර කවි, විනාඩි ගණනකින් ලියවුණු ඒවා. සමහර කුඩා කතා පැය කිහිපයකින්. එහෙම ලියවුණු ගොඩක් කවි කතා මම බ්ලොග් කළේ කිසිම සංස්කරණයකින් තොරව. ඒක මට කම්මැලි ම වැඩක්. මම කිව්වේ ආයෙ කියවලා වැරදි අඩු පාඩු හදන එක එහෙම නැත්නම් සංස්කරණය කරන එක. ඒ  විතරක් නෙවෙයි  මම ආයෙ අ‍ායෙම කියවද්දි මට ඉස් ඉස්සල්ලාම දැනිච්ච හැඟිමම ආයෙ ආයෙ විදගන්න ලැබෙන එකට මම කැමති. සමහර ලියපු දේවල් තියෙනවා හරියට ම, මම දන්නැ ඒක කොහොම කියන්න ද කියලා  හරියට ඒක දරුවෙක් බිහි කරනවා වගේ ආදරෙන් ටිකනේ ටික හිතේ දරාගෙන ඉදලා, බිහි කරපු. 

ඒත් ඔය දෙවිදිහටම ලියවුණු කවි කතා ගැන මට තියෙන්නේ පැහැදිලි හැඟිමක් නෙවෙයි. ඒක මහ හිස් වෙච්ච හැඟිමක්. මම දන්නෑ වෙන විදිහකින් ඒක පැහැදිලි කරන්න. ඒ හිස් බව උපතින්ම කම්මැලි ජීවියෙක් වෙච්චි මාව තවත් කම්මැලි කරවන්න නම් සමත්. ඔව් මම දැන් ලියන්න හුඟාක් කම්මැලි. ඒත් මට මහ ලොකු හීනයක් තියෙනවා. මම සුනේත්‍රා වගේ වෙන්න සුමිත්‍රා වගේ වෙන්න තුෂාරි වගේ වෙන්න හීන දකිනවා. ඒක මට ලොකු හීනයක්. එහෙම නැත්නම් ඒක වෙන විදිහකට කිව්වොත්, මම ඉස්තරම්ම සුවඳක් කියලා විශ්වාස කරන අලුත් පොත් සුවඳ දෙන පොත් ගොඩක් මැද්දැවේ මගේ නමින් පොතක් තියෙනවා දකින එක.  කොච්චර ලොකු හීනයක් උනත් ඇත්තම කිව්වොත් වෙන මිනිස්සු තමන්ගේ හීන වෙනුවෙන් වෙහෙසෙන දශමයක ප්‍රමාණයක් මම ඒ වෙනුවෙන් මහන්සි වෙලා නෑ. මේ වේලාවේ මට තියෙන ලොකුම ගැටළුව මොකක්ද කියන්නවත් මම දන්නෑ. ඒත් මට හිතෙනවා මේ දේවල් ලිව්වට පස්සේ මට, ඒ කිව්වේ හිතට පුංචි සහනයක් දැනෙයි කියලා. සමහර විට මම බලාපොරොත්තු වෙන්නේ ඒ සහනයම වෙන්න ඇති.ඒත් ඒක මම දන්නෑ.

 ඒත් මේ වෙනකොට ලීවිම ගැන තියෙන මගේ විශ්වාසය බිඳිලා තියෙන්නේ. මම හිතන විදිහට මම දැන් විශ්වාස කරන්න පටන් අරන් තියෙනවා මම ලි‍වීමේ දක්ෂයෙක් නෙවෙයි කියන එක. ඒ විශ්වාසය කොයි තරම් උඩු දුවලාද කියනවා නම් නිතර නිතර කවි ලියපු මුහුණු පොත නිතර නිතර ඩිඇක්ටිවේට් කරන්න පටන් අරන්. බ්ලොග් එකේ කමෙන්ට් වලට උත්තර දීම වෙනුවට නිශ්ශබ්දව හිදීම තෝරාගෙන. සමහර විට මම කැමති නිහඬ බවට. පිරිසක් අතර උනත් වඩා වැඩියෙන් කෑ ගසන්නටත් හිනා වෙන්නටත් ඒ පිරිස අතරම නිශ්ශබ්ද වි හිදින්නටත්, තනිව බොහෝ දේ කල්පනා කරන්නත් පුළුවන් අපරු හැකියාවක්  මට තියෙනවා. මොහොතින් මොහොත වෙනස් වන සිතුවිලිත් එක්ක මගේ අභ්‍යන්තරය වෙනස් කර ගැනීමේ හැකියවකුත් තියෙනවා. මේ කොයික උනත් ඔබට මතුපිටින් දැකිය හැකි වන්නේ මාව. කිසිම විටක වෙනස් විමට නොකැමති යැයි පවසන මම. 

ලිවිම ගැන මට තියෙන දුර්වල ආකල්පය මඟ හරවා ගැනීමට ලේඛන කලාව  පිළිබඳව ඉගෙන ගත යුතු යැයි වරෙක මා විසින්ම තිරණය කරනවා. ඒත් වැඩි දවසක් නොගොස් එම තීරණය හකුලා ගන්නට යළිත් මා විසින්ම තිරණය කරන්නේ ලේඛන කලාව ඉගැන්වීමට හෝ කියාදීමට හැකි කෙනෙකුන් හෝ සොයා ගැනීමට නොහැකි වීමත්, තවදුරටත් යමක් ඉගෙනීම වෙනුවෙන් කැප කල යුතු කාලය සොයා ගැනීමේ අමාරුවත්, මගේ කම්මැලිකමත් නිසාය. ලිවිමේ කලාව ඉගෙන ගත හැකි හොඳම තැන කියවීම යැයි යළිත් මා විසින්ම තිරණය කරන අතරම වඩාත් ආශාවෙන් සහ ඕනැකමකින් කියවිම සිදු කරයි. පොතක් තුළ හුදකලා වීම මට ලොවක් දෙස  ගුවනේ සිට බලා සිටිම වැනි චමත්කාර වු දෙයක් නිසාවෙන් තව දුරටත් කම්මැලි කමෙන් තොරව කිරිමට මට සොයා ගත හැකි වු එකම දෙය කියවීම පමණකි.

මේ ලෝකයේ හතරාකාරයක මිනිසුන් ඇත. ඉන් පළමු කොටස ඉපදෙන්නේ හැකියාව සහ වාසනාව යන දෙකම මිට මොඵවාගෙනය. දෙවැනි කොටස වාසනාව පමණක් මිට මොළවාගෙන පැමිණෙන අතර තුන්වන පාර්ශවය හැකියාව පමණක් රැගෙන එයි.  සිව් වන කොටස නොහැකියාවත් හා අවාසනවත් ය මිට මොළවාගෙන පැමිණි පිරිසයි. උපතින් මා මින් කුමන කොටසට අයත් උවද යමක් කිරිම උදෙසා පවතින දැඩි කම්මැලිකම කම හා නොඋවමනාව මා නොහැකියාව කර පින්නාගෙන 'උපන් එකකු බවට ඒත්තු ගැන්වීමට සමත් වි ඇත. මේ හැඟිමෙන් මිදීම තරමක් අසීරු උවද, කව දුරටත් මා මා පිළිබඳ විශ්වාස කිරීම සිදු කරන්නේ නැත. එහෙයින් තවමත් මහා හීනයක් දකිමින් නින්දට යාමත් එම ආස්වාදයෙන් පිබිදිමටත් පමණක් මම කැමැත්ත දක්වයි. හීනය යථාර්තයක් කර ගැනිමට සිදු කළ යුත්තේ කුමක්දැයි මා නොදන්නේ උවද, දන්නා කෙනෙකුන් හෝ පවසන දෙයක් ඇසිමට හෝ පිළිගැනීමට උත්දුක නොවන්නේ ඇයිදැයි මට වැටහෙන්නේ නැ. සමහර විටෙක එය මා තුළ වෙලා ගත් හිස් බව හෝ තරමක් දුරට පුම්බාගත් අහංකාරයම විය හැකිය. එහෙත් උඩඟු වීමට තරම් දෙයක් හෝ යමක් මා සතුව නොමැති බැවින් මා අහංකාර එකියක ලෙසින් කරනු ලබන විග්‍ර්‍රහයනට මම අකමැති වෙමි. 

කුමක් උවත් මෙහි මා ලියු දේ නැවත උඩ සිට නොකියවන අතර, මෙය ලියන්නට ගත් මොහොතේ සිට අවසන් කළ යුතු යැයි සිතෙන මේ මොහොත දක්වාම එකින් එකට සිතුන සියල්ල මෙහි ලියා දැමුවෙමි. වචනයක අකුරක වැරුද්දක් දුටු තැන ඒවේලේම බැක්ස්පේසයට දකුණතේ මැදගිල්ල පිහිනුවා විනා නැවත කියවා යමක් වෙනස් නොකළ බව කිව යුතු යැයි සිතමි. 

තව දුරටත් මම ඒ මහා හීනය දකින අතර, කෙදිනක හෝ එය සෑබැවක් උවහොත් මා තුළ පවතින හිස් බව වසා ගන්නට මේ තබන්නා වු සටහන ඒ සඳහා ප්‍රථම මඟ පෙන්වන්නා වන බව මට විශ්වාස කළ හැකිය.

ඔබ මත්වීම සඳහා විශේෂිත වු නම් කරන ලද පානයන් තොළ ගානා අතර, මම උපතින්ම මත් වී පැමිණ ඇති බැවින් මා දකින සිහිනයන් යාථාර්ථයෙන් එපිට ට පමණක් සීමා වන බව මා කුමක් ඔබ හා පැවසුවද එය සහසුදක් සේ දනිමි.  

Thursday, July 4, 2019

30+ Says

දවස, දවස ගෙවෙද්දී ‍සතිය, සතිය ගෙවෙද්දි නිකම්ම මාස, අවුරුදු බවට පත් වෙලා ගෙවිලා යනවානේ. හැබැයි ඉතිං නිකම්ම නෙවෙයි ගෙවිලා යන්නේ, ඔය අතර අපිත් අවුරුද්ද අවුරුද්ද වයසට යනවා. 

හා නැද්ද? 

ආ නැත්තේ මොකද? අපි වයසට යනවා තමයි.
හැබැයි ඉතිං අපි කවුරුවත් කැමති නෑ එහෙම වයසට යනවා කියලා හිතන්න වගේම අගවන්නවත්. 

හා නැද්ද?
අනිත් අය නම් මන්දා ඉතිං මේ යාත්‍රා නම් තඹේකට කැමති නෑ හිතන්න යාත්‍රා දැන් හෙන වයසයි කියලා. 

ඒ කිව්වට මොකද ඉතිං යාත්‍රාටත් දැන් දන්තිනේම නැතුව තිහක් හමාරක් වෙලා නොවැ.

එක දෙක එක දෙක ඉහ කෙස් එහෙම පැහිගෙන, ඉදීගෙන, එන්න පටන් අරන් නොවැ තියෙන්නේ.

අර කිව්වත් වගේම ඉතිං එහෙම උනැයි කියලා අපි කැමතියැ අපි වයසයි කියන්න. නැද්ද හැබැටම හා.

යාත්‍රා විතරක් නෙවෙයි ඉතිං යාත්‍රාටයි කියලා ඉන්න එකම බාල නැගණියත් එහෙම තමයි.

ඔං ඉතිං දැන් ඔහේලටත් බලන්න පුළුවන් ඉතිං ඉහ පැනගෙන එද්දී එක දෙක ඉදෙන පැහෙන කෙස් ගස් දැක්කාම අපි හිත සනසගන්නේ කෙ‍ාහොමෙයි කියලා.

ඊට කළින් කියන්න එපැයි. මේ කොමික් අදින්නේ යාත්‍රාගේ නංගි නොවැ.
ඔව් ඔව් බාල නංගී තමයි. නංගිලා කියලා එච්චරයි නොවැ ඉන්නේ.
තව තව ඉස්සරහට එයැයි ගැනත් එයැයිගේ කොමික් විස්තරත් අරගෙන එන්ට තමයි බලාපොරොත්තුව.
(හා හා ඉතිං සද්දේට හුවක් දෙන්න.... සප් එකට අප්පුඩියකුත් එහෙම ගැහුවට කාරි නෑ. හරිය. කෝ කෝ සද්දේ මදි..... කමෙන්ට් වරුසාවක් දාගෙන යන්ට ඕනෑ පිටිපස්සේ මල්ලිලා .. නංගිලා) 
වරහන් වහලා ඉතුරු විස්තර ටික කියන්නම්කෝ.

එහෙමයි කිව්වට වැඩි විස්තරයක් නෑ ඉතිං. 
පස්සට තමයි ඒ විස්තර කියන්න බලාපොරොත්තුව ඔන්න.

කොමික් එක හැදුනේ කොහොමද කියලා බලාගෙනම බලාගෙනම පහළට යන්නකෝ.

ඔන්න අන්තිමේදී තිහ පැනපු අයියලා අක්කලාගේ උදාන ගීතිකා ඛණ්ඩය දැක බලා ගන්ට බැරියැ ඔහේලට.













I have wisdom highlights.


Monday, July 1, 2019

C ට ආදරෙන් 2019.06.30


ආදරණීය C,


මතකයන් මතකයන්ම පමණයි.  අමතක කරමු යැයි අප පොරොන්දු දුන්නේ ද හදවත් තුළ ගොඩ  ගැසුණු ඒ  මතකයන්මය. එහෙත් මතකයන් තුළ ඇති මිහිරිතම ඉසව්  අදටත් ලේ නහර උණුසුම් කරමින් හදවත තුළ උඩුදුවන්නේ වෙයි. ඔබ තුළ ද මා ගැන ඇති අප්‍රමාණ මතකන්ගෙන් අංශු මාත්‍රයක් හෝ යම් හුදකලාවක ී අද ද ඔබේ සිතට මුදු පවන් රැල්ලක් ම වනවා ඇති. මගේ ඒ සිතුවිල්ල සෑබැවක් නේද C. බගෙන් යමක් සැක හැර දැන ගැනීම පිණිස  මා ඔබෙන් අසන ලද නෙක පැනයන්ට පිළිතුරු දීමට මත්තෙන් ඔබේ මුව මත ඇදෙන මද සිනහව අදත් එලෙසමයි නේද  C. මෙහි ලියවෙන අකුරක් අකුරක් ගනනේ ඔබ කියවනවා නම් එය එසේම විය යුතුයි C. ඔබ මද සිනහාවකින් ම විය යුතුයි. ඉතිං C අප ආ මඟ පසු පස හැරි මදක් හෝ නැවතී එ් මතකයන් හා සිනාසිමෙහි වරදක් ඇත්ද



සමහර වෙහෙසකාරි දින වලදී අපේ හදවත් නැළවු බොහෝ ගීතයන් අදත් කොතැනකදී හෝ  සවන් මත රැදෙන විටක මගේ ඇස් මත නොසිතා නැගෙන කඳුලකට ඉඩක් හැදෙනවා C.  ඔබට මතකද  මා සතුවු කුඩා රතු පැහැතී අයි පොඩය. එතුළින් ගලා ආ බොහෝ ප්‍රේමණිය ගීතයන් වඩාත් ආදරණිය වුයේ ඔබ හා එ් රසයන් බෙදා ගන්නට හැකි වු නිසාවෙන් යැයි මම අද ද විශ්වාස කරමි. අද තනිව විදගන්නා විරහවන්, මිහිරි තනු රිද්මයන් ඔබ හා බෙදා ගන්නට නොහැකි වීමත්, මිමිණුම් හඩින් ඔබ ප්‍රතිරාව නඟන එම ගීතයන් ඇසිමට හිමිකමක් නොමැති වීමත් මහ කරුමයක් C.



"පිපී මල් මතින් පියමන් කලෝ

දිනුවේද කවදා ප්‍රේමයෙන්
විදි වේදනා සතුටින් දරා
පැරදි ගියේ කවුදෝ එයින්"



ඒත් C මහැර ගිය ඔබේ ප්‍රේමය සැදුනේම මල් මතින් වන බව මම දනිමි. ඔබ ප්‍රේමයෙන් දිනු බවද ඔබට පෙම් කිරිමෙන් මා පැරදුන බවද දනිමි. ඔබ නැවත ආලෝකයක්ව මාගේ ජිවිතයට එබිකම් නොකරන බව ද දනිමි. 



අප තනිවු විටක හෝ දහසක් මැදක වුවද මට සිතුන ඕනෑම විටක ඔබේ දකුණු කන මුදුව පිරිමැදිමට හෝ කෙනෙත්තීමට පුරුදුව සිටියා ඔබටත් තවම මතක ඇති. දකුණු පසට ඇළ කර ගත් හිසින් යුතුව ඔබ නගන සිනහවත් යම් විටෙක ඇසක් ඉඟි කරමින් නොකියා කියු බොහෝ ආදරණිය සිතුවිලිද මෙවන් හුදකලාවන් වල මතකයට ඒම සුබදායි සිහිනයක අතරමං වීමක් මෙන්ම සුවදායි ප්‍රීතිමත් හැඟිමකින් මා වෙළා බැඳ දමනවා C.   ඔබව දරාගත් ඒ මතකයන්ට වෛර කිරිම වෙනුවට ප්‍රේම කිරිම මිස, යළි යළිත් මතක් කර වේදනා විදිම මිස, පසුව නැවතී සිනාසීම මිස මා දන්නා හෝ අදහන ප්‍රේමයක් නොමැති බව ඔබට කෙසේ පසක් කර දෙන්නද C. 



වැළපි වැළපී නොනැවතී ගමනේ

ඇවිද යන විට ඇහිද ගත් මතකේ 
ගෙන බලමි දිග හරිමි යළි වසා තබමි.
ඉතිරි උනු මතකේ

C, මේ ඔබෙන් උරුම වු  ඔබත් සමඟ විදිය යුතු ම වු එහෙත් තනිව ඉවසන වචන කිහිපයක්.    ඉතිරි උනු මතකේ





A,
2019.06.30




ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...