මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, August 29, 2017

සිංහ සීවලි හදක් මට වෙයි

මව් මරා ගෙන උපන් පැල වෙයි
අයියේ උඹ මා සම උනු
උන්ට නැතුවට මහා හෙවණක්
දුන් නුගක් වෙයි අප සතු

නොකීවට මෘදු සිහින් ස්වරෙන්
තාලයට නැලවිලී කවි
ජෝතිගේ සිංදුවක කොටසට
මතකදැයි අපි නැලවුණු හැටී 

ගඟක ගහගෙන ගියත් කිරි කළ
ලේ වලම සුවඳට එතී
අයියේ බඩගිනි වෙච්චි වේලට
ඉරුවේ තාත්තගේ තන්පුඬු

වේල ඇර වේල කෑවේ
තාච්චියේ කර වුණ රොටී
ඒත් පදමට රහට තිබුණේ
මුහු වෙච්ච හින්දායි දා බිඳු

අයියේ කාශ්‍යප ලෙසින් වෙස් ගෙන
ඉල්ලද්දී වස්තුව මහ උර පලා
කොහොම අමතක වුණා දැයි එය
තාත්තගේ, සතර මහ වස්තුව අපි

වාරු නැති දෙපයට උනත් අද
නොපාගා කිරල බිත්තර රක්නා හැටී
මහා බෝසත් කෙනෙක් ලඟවත්
ඇද්ද ගුණ නම් ඔය හැටී

අාන් අර හිඳුන වැව ළඟ
තාත්තා අැති ගොම්මනේ
ගිහින් බලපන් ඇස් දෙකේ ඇති
වැවම පිරෙනට කඳුලැලී

අයියේ උඹ හට වචන තිබුණට
කඩු කිණිසි හා සම වුණු
සිංහ සීවලි හදක් වෙයි මට
තාත්තා ගැන ගැඹුරැති

Monday, August 21, 2017

නුඹ ; මම

අප; අප වෙතින් සමු ගද්දීත්
නුඹට තෝර ගන්න ඕන උනේම
එවැනිම සෘතුවක් ;
වැව රවුමේ මල් පිපූණ කාලයක්

එත් මම තෝර ගත්තේම
ඊටත් වෙනස් වු සෘතුවක් ;
ළපළු තුරුපත් පවා ගිලිහෙච්ච කාලයක්

තවම නුඹ පිපෙන මල් වලටත්
මම වැටෙන තුරුපතටත්
පෙම් කරන්නට හේතුව
අද ද  හැඳිනගත නොහැකිව
අපට අප ආදරේ වග පමණක්
කවියක ලියන

පෙම්වතිය,
සෘතු දෙකක
නුඹ ; මම


Thursday, August 17, 2017

ඔබ


ජීවිතය කවියක්ය ඔබ කියූවේ එහෙම
මෘදු ස්වර තාලයක ගැට ගැසුවේත් ඔබය

මඳින් මද මඳින් මද එළිවැටද බිඳ දමා

ගිනි තබා කවිය අරුත්සුන් කළේ ඔබය

මහද ගැඹුරුම තැනක් සිප ගනී යැයි සිතා
අතැර යන කවි පංති අතින් පොඩි කර හරිමි

හිතින් මැන බලන්නට ඉතිරි නම් තවත් කවි

ඉඩක් දෙමි සැඩ හිරුට ලතෙත් බව වියළන්න

මහා කන්දක සිරස නැඟ එක්ව ගිමන් හැර
නික්මෙද්දී ඔබ තනිව සඳ අතින් තුරුළු කර

ඉකි බිඳුම් මන්ද්‍ර තනු ස්වරයක ගලපමින

ලිහිණියක අත තියමි මේ කුළට දෙනු පිණිස

ඔබ යද්දි විජිතයට කැඳවාන සඳ රැජිණ
දුර්ග මඟ අඳුරු තැන තනිව මම නතර වෙමි

කදෝකිමි පියඹාන ආවොතින් එළිය ගෙන

ගිණි හුළින් දැවී ගිය නෙත් අඳුන් පෙන්වමිය

ඔබ දිනෙක කී පරිදි මම මහා සයුරක්ය
චණ්ඩ සිඳු රැළි මතින් වෙරළ වෙත පහත් වෙන

ඔබ නොදන්නේම කොහොම සයුරු හද නිසසලය

සුන්දරයි කියන හැමදේ සැඟව ගත්තේම එහිය

දිනෙක ඔබ මා අතර දළුදමා වැඩෙන්නට
ඉතිරි නොකරමි බිඳක් ප්‍රේමයේ මාත්‍රා

ඔබේ හුස්මක ගිලුණු මා හෘද ස්පන්දනය

කැබැලී කර විසි කරමි තරු අතර රැදෙන්නට

ඉතිං නොනැවති මඟ යන්න සමුගෙන යන්න
කළු වලාකුළු හිතේ නැඟුණොතින් දිනක ඔබ

එළිය දී සනහන්න පහන් තරුවට ළඟම

තවත් තරු තබා ඇත මගේ නෙත් වගේම වු

Monday, August 14, 2017

පාඨක අදහස් 1° සුසූම් නාදුනන අප දෙදෙන

 උපේක්ෂා වැඩියෙන්ම ලියන්නේ කෙටි කවි.කවිය කෙටියි, නමුත් අරුත දිගයි;වෙරළු ඇටයක් වගේ හුඟ වෙලාවක් සුප්පු කරකර ඉන්න පුළුවන්; චුවිංගම් එකක් වගේ ඒ පැත්තට මේ පැත්තට දමදමා හපහපා ඉන්න පුළුවන්. මුලින් දැනෙන රසය නෙමේ ටිකකින් දැනෙන්නේ.ටිකකින් දැනුන රසය නෙමේ පසුව දැනෙන්නේ. 
එ්කයි උපේක්ෂාගේ කවිවල රහස; කොටයි, රසයි.

එහෙම කියන්නේ රසිකා ගුණවර්ධන සූසුම් නාඳුනන අප⁣ දෙනන කාව්‍ය කෘතියට පෙරවදන සපයමින්. පොත ලියනනේ උපේක්ෂා ප්‍රේමතිලක. 

ටී.එච් බැරට් කියන විචාරකයා හයිකු කවිය එක් තැනක Less is more වශයෙන් හඳුන්වනවා. මට උපේක්ෂාගේ කෙටි කවියත් බැරට්ගේ ඒ කුඩා අර්ථ දැක්වීමේ පොඟවන්න පුළුවන්. රසිකා කිව්වා වගේම 
කවිය කෙටියි. අරුත දිගයි. 



පාඨකයෙක්, රසවිදින්නෙක් විඳිහට මම උපේක්ෂාගේ කවි වලට අරුත් දෙන්න මේ සටහන ලියන්නෑ. මොකද රසිකයෙක් විදිහට මම දෙන දුර්වල අරුතින් සුසූම් නාඳුනන අප දෙනෙන අවධානමක වැටීමෙන් මම උපේක්ෂාව ගලවා ගත යුතු නිසා. ඒ වගේම මම විශ්වාස කරනවා උපේක්ෂා කවි ලියන්නට ඇත්තේ නිශ්ශබ්දව කියවීමට කියලා. ඒ වීශ්වාසයත් එක්ක මම නිහඬව කියවපු විදපු කවියක්.


       

ඒ හරියටම දහසය වෙනි පිටුව. අතක වයින් වීදුරුවක් නොමැතිව මත් වුණ මම පිටු කිහිපයක් ඉක්මණින් පෙරලන්න කැමති. ⁣ඇත්තටම මේ එහෙම වුණ හතර වෙනි වතාව. මම එයින් කියන්නෑ මම සූසුම් නාඳුනන අප දෙදෙන හතර වතාවක් කියවු බව. ඇත්තටම මම එහි සෑම කවියක්ම කියවුයේ එක් වතාවයි. ඒත් මේ කියන කවි දැනට හතරවතාවක් හෝ ඊට වැඩි වතාවක් කිය වු ඒවා. ඉතිං මම කවි කිහිපයක් මඟ හැර නවතින්නේ තිස් තුන් වෙනි පිටුවේ මගේ දකුණු අත පැත්තට බරව ලියවුණු මේ කවිය ළග.















     

එක පාරක්ම කියවපු ගමනින් මතක හිටිය උපේක්ෂාගේ කෙටි කවියක්, මම කවිය ඇත්තෙන්ම මෙහි ලියන්නේත් මතකයෙන්.

• නුපුරයක් පාර පනියි
හදවතේ මිණි සෙලවෙයි

මට කියන්න අවශ්‍ය ඇත්තටම එහි ඇත්තේ වචන හයක් පමණක් බවයි. ඒත් ඒ වචන හය මට පැය තුනකට වැඩි සිනමා පටියක් දක්වා දිගු සිතුවිලි පටියක්. සුසුම් නාඳුනන අප දෙදෙන කියවලා ඇති ඔබ හා කියවා නැති ඔබ මම දන්නැ හරියටම ඒත් ඔබ ආදරය කරන වචන හයක් වේවී එය. 


    
      



 වෙස් මුණ ඇතුළේ
හිටපු අපේ තාත්තා

බෝල වැතිරුණු ඇඳුම් අදින තාත්තෙක් විතරක් නෙමෙයි හැම තාත්තෙක්ම ඉන්නේ වෙස් මුණක් ඇතුළේ කියලා මම විශ්වාස කරනවා. ඒ තමයි තාත්තලා ආදරය හංගන වෙස් මුණ. මහන්සිය හංගන වෙස් මුණ. දහදිය හංගන වෙස් මුණ. ඒ විතරක් නෙවෙයි සැරයි, තදයි කියලා පෙන්නන වෙස් මුණ. ඒත් ඒ වෙස් මුණ දාගෙන ඉන්නෙත් වෙස් මුණ ගලවලා ඉන්නෙත් තාත්තා කියන මේ ලෝකේ සුන්දර ම මනුස්සයා කියලා හිතන හින්දා උපේක්ෂා හැට එක් වෙනි පිටුවේ ඒ අපේ තාත්තට...... මම හදවතින්ම ප්‍රේම කරනවා.

මේ ඊටම ලඟම තියෙන දිග කවි පොකුරේ කවියකින් කොටසක්.

• තැනිතලාවක ඉන්න 
උඹ දන්නෙ මොනවද කන්ද ගැන?
සීතලට උසට ඉන්න පුළුවන් කියලාද?
සීතල කියන්නේ කාස්ටකකමටමයි රමණි
අපේ ජිවිත වගේම


මම හදන්නේ මේ ලියවිල්ල ඉවර කරන්න. ඒත් ඊට කලින් පනස් තුන් වෙනි පිටුවේ ස්වාමිනි, කවිය මතක් උනා.



• ආදරේ ගැන තුන් හිතකවත්
තිබ්බේ නැ මට
වාඩිවෙනකම් මෙතන


මේ කවිය දිගයි. මේ සටහන ඉවර කළ යුතු නිසා සම්පුර්ණ කවිය මෙහි දැක්වීමට මගේ අදහසක් නැහැ. ඉතිං ඔබ එය කියවන්න. 

• ස්වාමිනී,

සම්පුර්ණ වැරදිකරු

මෙන්න මේ බංකුව
   
    

    
කවියක් කියන්නේ සහෘදයින් තුළ වින්දනයක් ඇති කළ ⁣යුතු දෙයක් කියලා මම විශ්වාස කරනවා. එ් වින්දනය අතරින් මගේ භාවයන් මැන එක් තැන් කළ කවියක්.

• පිරිමැද කැලලි පහනක
අලුත් කැලලක් දෙයි පහන්තිර

කෙටි කවි හා දිගු කවි පොකුරු හතලිස් අටකින් සුසුම් නාදුනන අප දෙනන තුළින් සහෘද සිතකට ලබා දෙන ප්‍රහර්ෂය ලබා දෙන්න මේ වචන සමත් නොවන බව මම දන්නවා. ඒත් ඔබ සුසුම් නාඳුනන අප දෙදෙන කියවාවී මොකද උපේක්ෂා විසි හත්වෙනි පිටුවේ ලියා තබන කවිය වගේම

• සුසුම් දෙක තුනක දුර
නාඳුනන අප අතර


කවියක හැඩය ජිවිත විවරණය කිරීම යැයි සිතන පාඨිකාවක් වන මට ජිවිත වලින් බැහැර අජීවි වස්තුන් ද එකතු කරගෙන කහ පැහැති කොළ වල ලියවුණ මේ කළු පාට කෙටි හා දිගු කවි අකුරු අළු පැහැති කවරයක දමා සුසූම් නාඳුනන අප දෙදෙන ලෙසින් අතට පත් කිරීම ගැන උපේක්ෂා ඔබට ස්තුතී. 

Saturday, August 12, 2017

අගෝස්තු එකොළොස් වෙනි සිතුරාදා

ඔබ දන්නවා ඇති. මම තාමත් එහෙමයි.  ඉස්සර වගේම මම දුවන්නෑ. හති වැටෙයි කියලා බයට නෙවෙයි. මට දුවලා පුරුදු නෑ. ඔබට වගේ දිග පියවර තියන්න මට හුරු නෑ. ඔබ දන්නවා ඒක.

තාමත් මම කෙටි පියවර තබමින් ඇවිදිනවා. ඔව් විටෙක නවතිනවා. නෑ ඒ ඉස්සර වගේ කෙටි විරාමයක් නෙවෙයි.  ඔබ හිතනවාටත් වඩා දිගුයි. ඒ විරාමේදි මම දිගු සුසූමක් පිට කරනවා. ගැඹුරු හුස්මක් ගන්නවා. ඔව් ඒ ඔබ දැන උන්නු විදිහටම. තාමත් හැමදේම හැමදාම ⁣වුණ විදිහටම සිද්ධ වෙනවා. ළඟ නැත්තේ ඔබේ සිනහාව විතරයි. නෑ මට එහි අඩුවක් දැනේනවා. ඔබ හිතනවාටත් වඩා හිස් බවක්. ඔබ නොදන්න එක දෙයක් තියෙනවා. සුසූමක් ඒ තරම් දිගු වෙන්න එය එක හේතුවක් කියන එක. ඔබට හිනා වෙන්න පුළුවන්. අකමැත්තක් නැත්නම් මම කැමතිම විදිහට. ඔබට පුළුවන් ද ඒ ඉල්ලීම මතක තියා ගන්න.

මම නැවතුන තැනතින් ගමන පටන් ගන්නේ පියවර මනිමින්. ඊට පස්සේ කෙටි පියවර කිහිපයක්. නෑ දිගටම කෙටි පියවර මතින් ඇවිදින්නෑ. ඔබ නොදන්න පුරුද්දක් දැන් මට තියෙනවා. දන්නවාද කෙටි පියවර දෙක තුනකට පස්සේ මම ආපහු හැරිලා බලනවා. නෑ ඔබ හිතුවා වැරදි. මා පසු පසින්විත් මා පසු කර යන්නවුන් පිළිබඳ මට වගක් නෑ. ඒක ඔබ හොඳටම දන්නවා. මම එහෙම පුරුදු උනේ සමාන්තරව අැවිදපු ඔබව මඟ හැරුණ තැන ඉඳන්. මම දන්නෑ අැයි ඒක ඔබට නොතේරේන්නේ කියලා.

නෑ එහෙම හැරුණ එක දවසකවත්, එක මොහොතකවත්, තත්පරයකටවත් මට ඔබව මගේ අැස් වලට හමු වුණේ නෑ. ආයෙමත් පියවර මනින්න පටන් ගන්නකොට මම හිතුවා ඔබ යන්න ඇති කියලා මාව පහුකරගෙන. ඔව් ඔබ  කැමති දිගු පියවර තියන්න. හති වැටෙනකම් දුවන්න. මතකද ඔබේ එක දිගු පියවරක් හා සමාන වන්නට දවසක මට දුවන්න උනා. සමහර විට ඔබට අමතකව අැති. අපි මඟ හැරුණේ එදා. ⁣මම හැන්දෑ වෙනකම් ම දිව්වා. මට හොඳටම හති වැටුණා. ඒත් අපි ට අපිව මඟ හැරුණා. ඔව් මම පුරුදු විදිහටම උත්සහය අත ඇරියා. ඔබ දන්නවා එ් තමයි මගේ විදිහ.

නෑ මම කල්පනා කරනවා. ඔබ මා පසු කර යන විටක ඔබ ව නොදුටුවේ අැයි කියලා. නෑ ඔබව නවත්තන අදහසකින් නෙවෙයි. ඔබේ වේගය දකින්න විතරයි. විඩාවක් නැති හිනාබර මුණ දකින්න විතරයි. එත් ඔබ මා පසු කර යන විට මට ඔබව නැවතත් මඟ හැරෙන්න ඇති. ඔව් මම දැන් පුරුදු වෙලා මේ තබන කෙටි පියවර වලදීත් අැස් බිමට බර කරගෙන ඉන්න. නෑ ඔබ දන්නවා වැස්ස වේලාවකදි මට එහෙම ඉන්න බෑ කියලා. මම ඒ වෙලාවට බය නැතුව ඔළුව උස්සනවා. මම තාමත් අකමැතියි ඔබ අැරෙන්න වෙන කවුරුත් මගේ කඳුළු දකිනවාට. ඔබ ඒක දැන ගත යුතුයි.

ඔබ ඉන්න තැනට වැහි වැටුණාට මම ඉන්න තැන හිත් දවාලන ඉර එළිය විතරයි. ඔව් ඔබට හිතන්න පුළුවන් දැන් මම ඇස් ඉහළට ඔසවන්නේ ආපසු හැරෙන්න විතරයි කියලා. ඒත් ඒ ඔබේ සෙවණැල්ලක් හරි හොයන්න විතරයි.

නෑ මට තව හුඟාක් කියන්න දේවල් නෑ. මේ ටික අහන්න.

ඔබ මා පසු කර නම් මම ඔබව ඇහැ ගැටෙන මානෙට එන තුරු නවතින්න.
ඔබ මා පසු පස නම් දිගු පියවර තබා මා ඇහැ ගැටෙන මානයට දිව එන්න. මා හැරෙන තුරු ඉන්න.

මම ඔබව නවත්තන්නෑ. හැමදාම ඔබට උන පොරොන්දුවක් ඒක.
ඒත් ඔබ දන්නවා මට ඔබව දකින්නට උවමනා බව. එක වරක් ජිවිත කාලයටම.


මගේ අප්පච්චිගේ "The last Call"

  එදා ඒ රෑ පුරාවට ඔබ, මට කතා කළ බව ඇසු විට අප්පච්චි, මම හිතනවා ඔබ මට  "රැවන්" කියන්නට ඇතිද? එහෙම නැත්නම් "පුතේ" කියන...