මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Monday, February 19, 2018

එක්තරා බැල්ලකගේ කතාව


ගොළු පුතයි ලොකු දුවයි
පොඩි පුතයි අඳ මවයි
උඹයි විටෙක එන යන ඔහුයි
ගණන් බැළුවොත් ඉතිං ඔක්කෝම
එකතුවට එන්නේ හයයි

ගොළු පුතුට නැසේන
අඳ මවට නොපෙනෙන
උඹේ සුසූම් හා කඳුළු සේරම
අහන් ඉන්නේ මමයි
එකතුවට මාවත් ගතොත්
ඉතිං ඔක්කෝම හතයි

ලොකු දුවයි පොඩි පුතයි
එන මඟ බලන්නේ මමයි
දුටු ගමන් ඔවුන් රුව නෙත
කන් පොටක් සොලවා
උඹට කිව්වේත් මමයි
ඔහු ඇදෙන් බැස්සේත් එතකොටයි

ආපු කෙනෙකුගේ හිතක් සතුටුව
මොණරු අත ගුළි වුන වෙලාවක
පහේ යහමින් දමා සතොසින්
බතක් ඉව්වේ උඹයි
ලෝභ නැතුවම මටත් සෙනෙහෙන්
කොටස බෙදුවේත් උඹයි

මාවතේ මම දඩාවතේ
ගියේ ඉද හිට තමයි
අනිත් හැම විට උඹේ ළඟින් හිද
තනිය මැකුවේ මමයි
බඩට එන උන් නැති කරන්නට
දැනන් හිටියේ උඹයි
ඒ වගක් ඉතිං මම නොදැන උන්නා නොවෙයි

මේ මුරේ මේ පළවෙනි සැරේ
පැටවු ඔක්කෝම හයයි
මාත් එක්කම ගණන් බැළුවොත්
මගේ පවුලත් හතයි
උඹට එය මහ මෙර හා සම බරක්
සද්ද නැතුවම හිටිය මුත් මම
නොතේරේනවා නොවෙයි

එකම දවසක උපන් පැටවුන්
ගුළිව එකටම මියැදෙන්න හේතුව
හැංගුවට උඹ මට එ්ක රහසක් නොවෙයි
දුකක් හිතුනේ උඹත් අම්මේක් නිසයි
එත් මම ඉවසුවේ මහ දුක
පාරේ හමු වී ඉව කරන උන්
කන්න කටකදු ළඟට ගෙනවිත්
නොදෙන හින්දාම තමයි

Thursday, February 1, 2018

සහීනාට ලියමි






පුර හඳම අඩ හදක් වෙනකොට
කොහොමද වෙනස් වෙන්නේ සහීනා

කොල්ලො ගැන දවසම අපි කියවද්දී
උඹ නිහඬවම උන්නේ කොහොමද සහීනා

කුරානය වඳින්නට අපිව මඟ හැර ඇවිත්
රෝඩීයෝවේ පිරිත් අහන් උන්නේ කොහොමද සහීනා

වටලප්පම් පළඟනාවක් අතැර මේසය මතට
වඳ බෙහෙත් නැතැයි හිනැහුනේ කොහොමද සහීනා

පහේ නොදමා අපි හදපු පොලොස් ඇඹුලට
පදමට ලුණු ඇඹුල් එක් කෙරුවේ කොහොමද සහීනා

තනි තනිව ගත් විට අප මිතුරු වෙනකොට
වෙන් වෙලා සතුරු වෙස් ගත්තේ කොහොමද සහීනා

හොඳම යාලුවා සිංහල වෙච්ච ඒකට
ආඩම්බරයි කිව්වේ උඹමද සහීනා

දවසක රෑක ඩෙනිමක් ඇදගෙන විප්ලව කරමි කිව්ව
උඹටත් අපිව හතුරැ ලෙස  පෙනුනාද සහීනා

යහළුකම් ගැන හොයා නොබැලුවාට කමක් නෑ බං
කොයි පැත්තෙන්ද  කොටසක් ඕන කියපන්  සහීනා...

" මෙහෙට ශිග්නල් නෑනේ,
මම අම්පාරේ පුංචි ඉශ්කොලේ සිංහල / ඉංශ්‍රීශි උගන්නනවා"

මගේ දිගම දිග ලියුමට,
හිනා මුණු තුනක් එක්කම
සති හයක් පමා වී ආව
කෙටිම කෙටි පණිවිඩය.

යාළුකම් ගැන නොහිතා
වෙඩි තියලා මරපන් සහීනා
මේ විදිහට නොමරා...

 




පැය

මේ තමයි නපුරුම පැය, තත්පරත් දිගු අඩි තියන සුළඟ නිහඬවම කල් අරින මේ තමයි අවසන්ම පැය, ඇහි පියළි වේගෙන් සැලෙන දෙතොළ වියළි හුස්ම ...