එදා ඒ රෑ පුරාවට ඔබ,
මට කතා කළ බව ඇසු විට අප්පච්චි,
මම හිතනවා ඔබ මට "රැවන්" කියන්නට ඇතිද?
එහෙම නැත්නම් "පුතේ" කියන්නට ඇද්ද?
කලාතුරකින් දවසක වගේ "මගේ පැටියෝ" කියන්නට ඇතිද?
චාටුවට රවටගන්නට "රත්තරනේ" කියන්නට ඇතිද?
කුමන හෝ ආමන්ත්‍රණයකින් ඒ රැයේ ඔබ මා සොයා ඇති බව පමණක්
ඉතිං දැන් මම දනිමි. නමුත්,
ඒ මොහොත මට මඟ හැරුණි.
සියල්ල අල්ලා ගත නොහැකි බව දනිමි.
ඔබේ ළඟ නොසිට මට මඟ හැරුණු
සියලු කාලයට මම දැන් වෛර කරමි.
මම ඔබ බැලීමට ආ මොහොතේ
අප්පච්චි,
මට මගේ ආත්මයට දැණුනා
මා ඉදිරියේ දිග හැරෙන දෙයට
මා සුදානම් නැතත්,
ඒත් එය සිදු වන බව දැනගත්තා.
කොළ පාට කොට බිත්ති අතර
ඔබ යමකට සුදානම් ව සිටින වග
හරි හදිසියේ තේරුම් යන කොට
අප්පච්චි,
මගේ පපුව හිර උනා
මුළු ඇඟම ටික ටික සීතල උනා
ඇත්තමයි මට කෑ ගගහා
අඬන්නම ඕන උනා
ඇස් වල කඳුළු වියළිලා තිබුණ හින්දා
මම එහෙම ම ගල් උනා
මම හිතුවා ඒ තමයි මගේ ශක්තිය
ඒත් අප්පච්චි දන්නවද ඔයා?
හත් පණක් තිබුණා නම් මට
එදා පණ දෙකක් ම අහිමි උනා.
"අප්පච්චි" කියලා මම කතා කරද්දි,
සමහර විට ඔයාට ඇහෙන්න ඇති
ඒත් ඔයා ඇස් ඇරලා මගේ දිහා බලද්දී,
මගේ හිත සම්පුර්ණයෙන්ම නිහඬ උනා
අප්පච්චි අනේ මම නිහඬම උනා
මේ දැන් ඇන්ද සිත්තමක්
මහා වැස්සක දියව යනවා වගේ
(ඇත්තමයි වැස්සක දියව
සේදී යන හැඟීමක් එය)
හදවතේ ඉවුරු හැම එකක්ම
කඩා බිඳ වට්ටගෙන
කාට හරි තේරුම් ගන්න ඕන නම්
ඔන්න මම එය මෙහි ලිව්වා.
ඒත් ඊළඟ මොහොතේ මම දැක්කා
ජිවිතේ ඔබේ ඇස් වලින් මැකී යන විදිහ
ඉතිං අප්පච්චි,
ඔයාට මට කියන්නට දෙයක් තිබුණාද?
අප්පච්චි,
මං වෙනුවෙන් අවසාන වචනයක්
ඔයා ලඟ තිබුණද?
ඔයාගේ ඒ බැල්ම කොයි තරම් දිග උනත්,
ඉතා හුරු පුරුදු විදිහට කාලය
වේගයෙන් ඉඟිලුනා
ඉතිං විනාඩි දහයකට හා
තවත් තත්පර කිහිපයකට පසුව
මං දැනගත්තා
සංසාරයක් මට අහිමි උනා.
කරුණාකර මට සමාව දෙන්න
ඔබ කතා කරන විට එහි නොසිටි නිසා
මට සමාවෙන්න අප්පච්චි,
මගෙන් උන ඕනෑම වරදකට,
ඕනෑම වචනයකට,
ඕනෑම සිත් රිදවීමකට,
මේ මගේ අන්තිම වචන ටික
ඒත් මට ඔයාට කියන්නට බැරි උනා,
ඉතිං අප්පච්චි ඔබ කොහේ හිටියත්
මගේ මුළු හදවතින්ම
මම ඔබට ආදරය කළ බව දැනගන්න,
ඒ වගේම මට කවදාවත් අමතක වෙන්නේ නැති බවත් දැනගන්න,
ඉතිං අප්පච්චි
ඔබේ අවසන් මොහොත,
ඔබේ නිහඬ ඇමතුම සහ බැල්ම
මගේ මතකයේ රදවගෙන
නිහඬව, මම ඔබට සවන් දෙමි
කොහෙන් කොහොම හරි
එවිට මට ඔයාගේ ආදරේ දැනේවී.
කවදා හරි දවසක ආයෙමත්
අපේ අත් මෙලෙසින්ම බැඳේවී
අනේ අප්පච්චි අන්න ඒ මතුදාක
මම ඔයාට පුතෙක් විතරක්ම වේවී.