දැන් උනත් ඇයට
පුළුවන් ඔහුට ඇඟිල්ල දිගු කරන්න, ඇගේ දබර ඇඟිල්ල උරුක් කරලා ඔහුගේ මුණ ඉස්සරහම ඔව්
මුණ ඉස්සරහම වචන වලින් දමලා ගහන්න. මම ඇය දිහා බලාගෙන හිටියේ, ඔව් කොයිම මොහොතක දී
හරි මේ ගැණි ඒ ටික කරයි. මම නොදන්න ගැණියෙනක්යැ එයා. එත් ඇය බලාගෙන හිටියේ ඔහු
දිහා, සමහර විට ඇහිපිල්ලමක්වත් ගහන්න අමතක වෙන්න ඇති, මට ඇහි පිල්ලම් කියක් ගැහුණද
මම දන්නෑ එත් ඉන්තේරුවටම ඇයට නම් ඇහි පිල්ලමක්වත් ගැහෙන්න නැතුව ඇති,
ඔහු උන්නේ,
ඔහුගේම පන්තියේ මිනිස්සු එක්ක, මම එහෙම කිව්වොත් වැරදී ඒ මිනිස්සු ඇගේ පන්තියටත්
අයිති උන මිනිස්සු, මම කියන්නේ ඔය දෙන්නාගේම පන්තියට අයත් නොවුන කෙනෙක්, කොහොම
උනත් ඔය දෙන්නම මට සැලකුවේ එකම විදිහට, වචනෙකින්වත් වැරුද්දක් උනේ නෑ කියන්න මම
දන්නවා. එත් මම ඔවුන් දෙන්නා එය ආරම්භ කරපු මොහොතේ ඉඳලාම ගත්තේ ඇගේ පැත්ත. කොහොම
උනත් ගැණු හිතක් අඩනවා බලන්න පුළුවන් කමක් පිරිමි හිතකට තියෙන්න විදිහක් නෑ. ඒ
හේතුව විතරයි මට ඇගේ පැත්ත ගන්න තිබුණ එකම හේතුව. නැත්නම් ඔහුටයි මටයි තිබුණේ
අවුරුදු ගානක බැඳිමක්. ඒ බැදිම හේදි හේදී ගියේ දැන් මාස ගාණක ඉඳලා. ඒකට ඇය වැරදි
නැ කියන්න මම දන්නවා. මේ හැම දේකම ඇහින්දුටු, කනින් අහපු, එත් කියා ගන්න බැරි එකම
සාක්ෂිකාරයා මම. මම ඇරෙන්න යමක් කමක් දැක්කනම් දැක්කේ, ඇහුණා නම් ඇහුණේ, කුස්සියේ
- වත්තේ කියලා වෙනසක් නැතුව වැටඩ ඉන්න අමරේට විතරයි. අමරේට පුළුවන් උනාට මේ කතාවට
තටු හයි කරලා පියාඹවන්න මම දන්නවා අමරේ මේ සම්පුර්ණ කතාව ඇහෙන්නවත්, දකින්නවත්
විදිහක් නෑ කියලා.
ඒ දෙන්නා යන
ඕනෑම තැනක අමරේ නොගියාට මම ගියා. එදාත් එහෙම දවසක්. ඒ වුනාට අමරේට එදා නිවාඩු.
එහෙමයි කියලා අමරේ ගෙදරින් අඩියක්වත් හෙලවුනේ නෑ. එදා අමරේට කුස්සියේ ඉවුම් පිහුම්
වැඩ වලින් නිවාඩු ලැබුණා. ඒ දෙන්නා මේ දවස සැලසුම් කළේ සතියක ඉදන් නේ. එදා ගෙදර
මුර කරන බවට අමරේ නිල නොවන එකඟතාවයක හිටියේ. කොහොම උනත් එදා අපි හරිම සතුටින්
හිටියේ. මම පුරුදු ආසනේ. ඔවුනුත් එහෙමයි. ඔහු රියදුරු අසුනේ, ඇය ඔහු ලගින්ම වම්
පසින්, මම හිටියේ දෙන්නටම පිටි පස්සේන් උනාට දෙන්නාම මාව දෙන්නාගේ කතා වලට හවුල්
කර ගත්තා. එත් මම නිශ්ශබ්දවම උන්නා. වචනෙකින් නොවුනත් දෙන්නාටම එකම විදිහේ ප්‍රතිචාර
දක්වන්නයි මට ඕනා. ඒ දෙන්නාවම තරහා කර නොගන්න මට කරන්න පුළුවන් හොඳම දේ උනේ කවුරු
කියන කියන දේට උනත්, පොච්චක් බෙල්ල හරවලා බලන එක විතරයි. ඔන්න ඔය වගේ ප්‍රතිචාරයක්
දක්වන වේලාවකදී තමයි අමරේ නොදන්න මේ දේ සිද්ධ වුනේ. ඒ ඇමතුම ආවේ ඔහුගේ දුරකථනයට. ඔහු
උත්තර නොදි හිටියේ වාහනේ එළවන්නේ ඔහු හින්දා, මම එහෙමයි හිතුවේ. එත් ඒ දුරකථනය
දැනන් උන්නෑ නේ මේ වෙලාවේ ඔහු ඉන්නේ වාහනය එලවමින් කියලා. ඒ හින්දා වෙන්න ඇති,
දිගින් දිගටම කෑ ගහන්න පටන් ගත්තේ. ඇය ආසම සිංදුව වෙච්ච තුන් සිත දැහැන් ගත වෙනා මතකය
සසල කරවනා සිංදුව තුන් හතර විඩක්ම ඇහුණාට පස්සේ ඔහුගේ සාක්කුවේ තිබුණ දුරකථනය ඇට
අතට ගත්තා. දුරකතනය දිහා බලපු ඇය ඔහු දිහා බලපු බැල්ම මට දැනුත් අමතක නෑ. ඒ එක්කම
ඇය දුරකථනය කනේ තියා ගත්තා.
“කවුරු?”
වෙනදා නම් ඇය
කතාවක් පටන් ගන්නේ හලෝ කියලා. මමත් ඇය ඔහු දිහා බලපු බැල්මට සමාන වෙන බැල්මකින් ඇය
දිහා බැලුවා. ඔහුත් එහෙමයි. ඒ වෙන කොට වාහනේ වේගය බාල වේලා තිබුනේ. ඒක මට දැනුනේ
බාගෙට ඇරපු ජනෙල් වීදුරුවෙන් ඇතුළට එබෙන හුළඟේ වේගෙන්. හුළඟේ වේගය ඉව කරලා මට
කියන්න පුළුවන් ඔහු වාහනය පදින වේගය. එත් ඉතින් ඒකත් අනිත් දේවල් වගේ අනුමාන කරලා මම
නිකම්ම හිටියා.
“රුමේෂ්
කියන්නේ ඔයාගේ කවුද?”
එහා පැත්තේන්
රුමේෂ් ඉන්නවාද අහන්න ඇති, මම ඒ විදිහට අනුමාන කලා. ඔහු ඇය දිහා බලන්නේ මොකක් හරි
අනුමාන කිරීමකට එන්න කියලා මට තේරුණා. ඔහුට වඩා මම දක්ෂයි, තාමත් ඔහුට බැරි උනා ඒ
අනුමාන කිරීමට ලං වෙන්නවත්.
“ඔයා එයාගේ
ගර්ල් ෆ්‍රේන්ඩ් වෙන්නේ කොහොමද? මම එයාගේ වයිෆ්?”
ඔහු හිතාමතාම
තිරිංග පැඟුවාද නැත්නම් ඉබේටම තිරිංග පැඟුණාද කියලා මට අනුමාන කරන්න බැරි උනා,
“ඒක එයාගෙන් මම
අහගන්නම්, ඊට කළින් තමුන් මට උත්තර දෙනවා.”
එත් ඒකට උත්තර
අහ අහා නොඉඳම ඇය දුරකථනය ඔහුට දමලා ගැහුවා. දුරකථනයෙන් නිදහස් වෙච්ච ඇගේ අත් දෙක තිබුණේ
ඔහුගේ බෙල්ලේ.
“කවුද ඒ. කවුද
ඒ ගැණී. කියනවා මට, තමුසේගෙයි ඒ ගැණිගෙයි
අතරේ තියෙන සම්බන්ධෙ මොකක්ද?”
අමරේ නොදත්ත ඒ
කතාව පටන් ගත්ත තැන තමයි එතන. නිල නොවන
විදිහට මුර වැඩේ බාර ගත්ත අමරේ ගමන අතර මඟම නවත්තපු අපි අපහු එනකොට හිටියේ නිදා
ගෙන, එකත් ගේට්ටුව ඇරලා දලා. ඔහු කිසිම සද්දයක් නැතුව වාහනය ගේට්ටුවෙන් ඇතුළට
ගත්තා. ඒත් ඇය අමරේගේත් ඇඟට ගොඩ වුනා. තවත් ඉතිං ගේට්ටු වහගෙන මොන සම්පත රැක්කාත්
වැඩක්ද කියලා මට හිතුනා. ඒ ටික අමරේට කියන්න විදිහක් නැතුවයි මම හිටියේ. එත් අමරේ
එක්ක මේ දේවල් කිය කියා ඉන්නවාට වඩා මට ඇය ගැන බලන්න උවමනා වුණා. කොහෙමත් ගැණු
හිතක් අඩන ඒක පිරිමි හිතකට බලන් ඉන්න බෑ. මම ඒක තේරුම් අරන් තිබුණේ. එත් ඔහු ඒ
වෙලාවේ ඒ දේ තේරුම් අරන් තිබුණේ නැතුව වෙන්න ඇති මම කාමරේ දොර ගාවටම යනකොටම කොට්ටෙකුයි
රෙද්දකුයි අරන් කාමරෙන් පිට වුණේ. දැන් ඔහු ගැන බලන්න වේලාවක් නෙමෙයි, පිරිමියෙක්ට
කොතන උනාම මොකද, මොකක් උනාම මොකද, ඒ ඕනෑ දෙයක් දරා ගන්න බැරි කමක් තියෙනවයැ.
ඒදායින් පස්සේ
ඇයට විතරක් මේ කාමරේ වෙන් වුණා. මේ කාමරේට ආව ගිය එකම පිරිමියා වුණේ මම. ඔහු උන්නේ
අනිත් කාමරේ. සමහර දවසට මම ළඟින් ම ගියත් ඔහු මාව දැක්කේ නෑ. මමත් නොදැක්ක ගානටම
උන්නා. වැඩි ඇයි හොඳයියක් නැතුව, ඔහුගේයි
මගේයි බැඳිම මේ විදිහට දුරස් වෙද්දී මගෙයි ඇගෙයි බැඳිම වැඩි වෙලා තිබුණේ. ඇත්තටම
ඇයට හැම වේලාවේම මාව ඕන උනා. කොටින්ම කිව්වොත් ඇය ඔහු ගැන කිවේ මා එක්ක, ඇඩුවේ මාව
බදාගෙන, ඔය දවස් ටිකේ ඇය යාන්තම් හරි හිනා උනා නම් හිනා උනේත් මා එක්ක. දවස් දෙක
තුනක්ම නොකා නොබී හිටපු ඇය වතුර උගුරක් බීව්වේ මම හින්දා. මමත් නොකා නොබී ඉඳලා ලෙඩ
වෙයි කියලායි ඇය කිව්වේ. කොහොම උනත් මමත් දවස් දෙක තුනක්ම හිටියේ කෑමක් නැතුව, අඩුම
තරමේ හාල් හුංඩුවක් ලිපේ තියන්න ඇයට වගේ වගක් තිබුන්නෑ. ඒ මදිවට අමරේ හිටියේත්
වත්තේ වැඩ විතරක්ම තිබුණ ගානට.
කොහොම උනත්,
එදා මට නැගිට ගන්න බැරුව ගියා. ඇවිද ගන්න බැරුව ගියා. මේ කොයිම වේලාවක හරි මගේ අවසානය
සිද්ධ වෙයි කියලායි හිතුවේ. මම තද කරලා මගේ ඇස් පියා ගත්තා. මම ඇස් අරිද්දි ඔහුයි -
ඇයයි දෙන්නාම හිටියේ මම ළඟ. උණුසුම් තුවායකින් ඇය මගේ ඇඟ තවමින් උන්නේ.
“ටිකක් පහලට
වෙන්න මේ මෙතන”
ඒ ඔහු, ඇය ඔහු
පෙන්වපු තැන උණුසුම් කළා. මට ඇය දිහා බලන්න ඕන උනා. එදා ඇය ඔහු දිහා බලපු විදිහටම.
ඒ’a ඒ බැල්ම මුණට එනවාත් එක්කම වෙන්න ඇති මගේ ඇස්
දෙක පියවුණා.
“මට සමා වෙන්න” කියන ඔහුගේ මුවින් පිට වුණ වචන විතරක් මගේ කන්
ඇතුලෙන් රිංගගෙන හදවතේ ළඟම තැනක තැන්පත් වුණා. අමරේ නොදන්න ඒ සිද්ධිය උනේ අමරේ වත්ත පහළ පොල් අතු කපන
වේලාවේදී.
ඊටත් සතියකට
පස්සේ තිබුණ ඔහුගේ උපන් දිනේට සර්පයිස් පාර්ටි එකක් තියන්න ඇයට ඕන උනා. මම හිටියේ
ඇයට විරුද්ධ වෙන්න පුළුවන් මානසික තත්ත්වයක නෙවෙයි. පිරිමි කියන්නේ විශ්වාසය තියා
ගන්න පුළුවන් ජාතියක් නෙවෙයි කියන එක ඇයට කියා ගන්න ඕන උනත්, ආයෙමත් ඇය උන්නේ
සැහැල්ලුවෙන් හිනාවක් එක්ක. ඒ ඇරත් ඇගෙයි මගෙයි වැඩිච්ච මේ බැඳීමට ඒක කිසිම
විදිහකින් බලපාන දෙයක් වුනේ නෑ. ඇය මාව කොයි වේලෙත් ලඟ තියා ගත්තා. ඒ විතරකුත්
නෙවෙයි මමත් කොයිම වේලාවෙත් ඇගේ ලඟම හිටියා. මම උන්නේ අමරේ දිහා උනත් ඇහැ
ගහගෙන. පහුගිය දවස් වල සිද්ධ වුන සමහර
සිද්ධි නිසා අමරේ හිටියේ ඒ තරම් හිත හොඳින් නෙවෙයි. ඒ ඇරත් අමරේ එදා හිත යටින්
හිනා උනා. ඒක මට අනුමාන කරන්න තරම් මගේ ඉව දියුණු වේලා තිබුණා. අමරේගේ හිතේ කොයි
වේලෙත් තිබ්බේ ඇයයි - ඔහුයි ගැන දළුළන ඊර්ෂ්‍යාවක් වෙන්න ඕන යි කියලා මම අනුමානේට
ගත්තේ, මොකක්දෝ හේතුවකට අමරේ, “මුංට කඹුරනවා
කඹුරනවා කිසි කළෙහි ගුණයක් නෑ,අසමජ්ජාති හැත්ත . මුංට හරි යයිද වයසක් බලලාද කතා
කරන්නේ, හොඳයි ඔය
කොකාගේ වාරේ තිත්තයාටත් එන්නෑතැ දවසක ඌගේ වාරේ”
යි තමන්ටම මුමුණ මුමුණා කුස්සිය අස්පස් කරපු දවසේ.
ඒ ළඟම මම හිටියා උනත් අමරේ මාව සතේකට මායිම් නොකළේ මම ඔය ඇහෙන දකින කිසි දෙයක් මම
තැන තැන නොකියන හින්දායි. ඒ උනත් අමරේ ගැන මම විපරමින් උන්නේ ඒ කිව්ව තිත්තයාගේ
වාරේ අමරේට කවදා ලැබෙයිද කියලා. ඒ අතින් මම ඇයටත් - ඔහුටත් විශ්වාසවන්ත උනා අමරේටත් වඩා.
අද, හරියට
ඔහුගේ උපන් දිනේ දවස. ඇය හිටියේ රතුපාට ගවුමකින් සැරසිලා වෙන්න ඕන. ඒක ඇය කළින්ම
තෝරලා තිබුණේ. ඒ ඇරත් ඒ පාටට ඔහු කැමති කියන්න ඇය දන්නවා. නොහොද නොක්කාඩු පැත්තක
තියලා දෙන්නාම එකට හිටියා. මට තිබුණේ සතුටක්. ඇයත් එක්ක තිබුණ බැඳිම කොයි තරම්
උනත් ඔහු එක්ක ගැවසෙන්න මම කැමැත්තේන් හිටියේ. එත් අමරේ මහ පුදුම සතෙක්, කොටින්ම
සාදයේ බීම අරගෙන, කෑම අරගෙන අමරේ එහෙට මෙහෙට ගියේ සතුටින් නෙවෙයි. මොනවා උනත් මම
අමරේ දිහාම ඇහැ ගහගෙන උන්නේ. ඒ නිසාම අමරේ යන තැන මමත් ගියා. සාදයේ පාට පාට විදුලි
බුබුළු වලින් එළිය උනත් අමරේගේ මුණේ තිබුණේ කළු ගැහිලා. පහු ගිය ටිකේ තිබුණ
සන්තෝසේ විදුලි බුබුළු අතර දිය වෙලා ගිහින් තිබුණා. මම ඔය විදුලි බුබුළු වල පාට
මේකයි කියලා අඳුන ගන්න බැරි උනාට අමරේගේ මුණට වැටෙන හැම එළියක්ම කළු පාට වෙන හැටි
හොඳටම අඳුන ගන්න පුළුවන්.
විනාඩියකටවත්
අමරේගේන් ඇස් අයින් නොකලත් මම ඇස් පිල්ලම් ගහන වේගෙට අමරේ අන්තරස්දාන වේලා තිබුණා.
ඒ ටිකට මිනිහා ගේට්ටුව ගාව. මමත් එක සැරේටම ගේට්ටුව ගාවට දිව්වා. අමරේ මොකකට නමුත්
අර අදිනවා. විශ්වාසේට ගන්න තරම් දෙයක් මම
අමරේගෙන් දැකලා නෑ මෙතුවකට.
“එයා ඉන්නවාද?”
අමරේ තවත්
ගැණියක් එක්ක කතාව. පාටියට ආව කෙනෙක් වෙන්න බෑ. අනික අද ඇවිත් ඉන්න ඔක්කෝම ඒ
දෙන්නාගේ යාළුවෝ. අමරේ නොදන්නවා උනත් ඒ අයව මම දන්නවා. ඒ අයත් මාව දන්නවා. තාම
පාටියට ආවේ නැති එන්න ඉන්න අයවත් මම දන්නවා. ඒ අයත් මාව දන්නවා. ආරාධනා කරන අයගේ
ලයිස්තුව හදද්දි මමත් ළග හිටියා. අමරේට ඔය නම් ඇහුනත් මතක හිටින එකක් නෑ. එත් මට
නම් ඇහුණ ගමන් දන්නවා මේ අහවලා , මේ අහවලා කියලා කියන්න. එත් මේ ඔය කියන කවුරුවත්
නෙමෙයි.
“අද මහත්තයාගේ
උපන්දිනේ, ඒකට මේ පාටියක්”
මම විරෝධතාවය
දැක්වුවා. මුලින්ම අමරේට. අමරේගේ යුතුකම මේ ගැණිව පිටත් කරන එක. අරහේ අමරේට
නොසැහෙන්න වැඩ තිබුණා. මේතනට එන්න ඇයට කිසිම උවමනාවක් නෑ. ඇරැත් ඇයට ආරාධනාවක්
යැවුණේ නෑ. ඇගේ රුපය මට පුරුදු නෑ. ඒ නිසා නමක් මතක් කර ගන්න විදිහකුත් නෑ.
“මට එයාව
හම්බවෙන්න ඕන”
මම විරෝධතාවය
දැක්වුවා. මේ පාර මේ ගැණිට. කොහෙන් කඩා පාත් වුණාද? මට ඉවෙන් වගේ දැනුණා ඉස්සරහට
සිද්ධ වෙන්න යන්නේ හොඳ දෙයක් නෙවෙයි. මට අමරේට කියන්න ඕන උනේ ඒක.
අමරේට ඕන උනා
ඇයව ඇතුළට යවන්න. මට සිද්ධ වුනා අමරේව නවත්තන්න. මම දන්න හොඳම විදිහට ඒක මම අමරේට
කිව්වා. මගේ සද්දේ වැඩි වෙන්න ඇති ඒ දෙන්නාම ගේට්ටුව ගාවට ආවේ එකම වේලාවේ. ඒ එනකම්
මම දැක්කේ නෑ. මම තියා අමරේ දැක්කේත්නෑ. අමරේ උන්නේ මට තේරුම් කරන්න උත්සහ කරමින්.
මම හිටියේ අමරේ නවත්තන්න හදමින්.
“මොකද අමරේ, ” ඒ ඇය.
මට බැලුණේ ඔහු
දිහා. සමහර පාට පාට එළි ඔහුගේ මුණට වැටුණත් ඒ මුණ ඒ පාට වලට ඔබින විදිහට වෙනස්
වුණේ නෑ. ටිකෙන් ටික සුදු පාට උනා විතරයි.
මම නිශ්ශබ්ද
වුනා. තවදුරටත් කෑ ගහලා වැඩක් නෑ. දැන් හංගන්න දේකුත් නෑ. මම බලාගෙන හිටියා. හොඳ
විමසිල්ලෙන්. මොනවා උනත් මේ වෙලාවේ ඇයට මාව ඕන වෙනවා කියලා මම දැන ගත්තා. අමරේව
පස්සට තල්ලු කරලා ඇය ගාවින්ම මම හිටගත්තේ ඒකයි. ඒ ගැණි අඩන්න ගත්තා. ඇය ඉස්සරහා.
“ඇයි මේ” ඇය ඒ ගැණිගේ අතකින්
අල්ලගෙන.
“මේ අරුන්දතී,
මගේ නංගී. මේකි සති දෙහේකට කලින් රස්සාවෙන් අයින් උනා කියලා ගෙදර ආවා. මොකක් නමුත්
ලෙඩක් වෙන්නැති කියලා මේකිට ගගහා ඇහුවා නෝනා. එත් මේකි නෙමෙයි වචනයක් කිව්වේ. මේකි
කෑමක් බීමක් නැතුව ඉන්නවා දෙස්තර ගාවට එක්ක ගියේ. එතකොට තමයි දැන ගත්තේ නෝනා මේකිට
දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඒ වෙන කාගෙන්වත් නෙමෙයි මේ මිනිහාගෙන්”
-
- දැන් උනත් ඇයට පුළුවන් ඔහුට ඇඟිල්ල
දිගු කරන්න, ඇගේ දබර ඇඟිල්ල උරුක් කරලා ඔහුගේ මුණ ඉස්සරහම ඔව් මුණ ඉස්සරහම වචන
වලින් දමලා ගහන්න. මම ඇය දිහා බලාගෙන හිටියේ, ඔව් කොයිම මොහොතක දී හරි මේ ගැණි ඒ
ටික කරයි. මම නොදන්න ගැණියෙනක්යැ එයා. එත් ඇය බලාගෙන හිටියේ ඔහු දිහා, සමහර විට
ඇහිපිල්ලමක්වත් ගහන්න අමතක වෙන්න ඇති, මට ඇහි පිල්ලම් කියක් ගැහුණද මම දන්නෑ එත්
ඉන්තේරුවටම ඇයට නම් ඇහි පිල්ලමක්වත් ගැහෙන්න නැතුව ඇති, -
ත්‍රී වීල්
එකෙන් බැහැපු ඒ මිනිහා කියවගෙනම ඔහු ළඟට
ආව. අන්තිමට කොලර් එකෙන් ඇදලා අරගෙන පුළුවන් නම් නෑ කියපන් කියලා කෑ ගැහුවා. ඒ
වෙනකොටත් පාටියට ආපු ඔක්කොම ගේට්ටුව ගාව, එහෙම නැත්නම් ගේට්ටුව පේන තැනක, නැත්නම්
මේ කතාව ඇහෙන තැනක,
මම අමරේ දිහා
බැලුවා. අමරේගේ මුණේ තිබුණ බයාදුකමට යටින් ඇඳිලා තිබුනේ හිනාවක්. මම ඔහු දිහා
බැලුවා. ඔහු හිටියේ කිසිම දේක තේරුමක් නැතුව වගේ. කරන්න කියන්න දෙයක් ඔහුට හිතා
ගන්න බැරුව හිටියේ. ඔහු හෙව්වේ ඇයව. එත් ඇය පෙන්න හිටියේ නෑහැ. තාමත් අර මිනිහා
ඔහුගේ කමිස කොලරයෙන් අල්ලගෙන, අමරේගෙන් ඔහුට උදව්වක් නොලැබෙන තැන මම ඔහුට කිට්ටු
වුණා. එත් ඇය, ගැන කල්පනාවට ආව හැටියෙම මම
නැවතුනා. නැවතුනා නෙවෙයි ඒත් එහෙම උනා. එත් එක්කම මගේ ළඟම බ්රේක් ගැහුවේ ඇගේ කාර්
එක. පිටි පස්සේ දොර ඇරුණා. බාගෙට අරුණ ජනේලෙන් රියදුරු අසුනේ හිටපු ඇය කතා කළා.
“ටොමී, කම්“
මම ඔහු දිහා
බැලුවා. අමරේ දිහා බැලුවා. පාටියට ආපු දෙන්නාගෙම යාළුවෝ දිහා බැලුවා. ඒ හැම මුණක්ම
පාට පාට එළි මැද්දේන් මට කළු සුදුවට පෙනුණා.
“ටොමී, කම්“
ඇය ආයෙමත්
සද්දෙන් කතා කළා. ආයෙමත් ඔහු දිහා බලද්දී ඒ මිනිහා ඔහුගෙන් අත් අයින් කරන් තිබුණා. මට අමරේ දිහා බලන්න උවමනා උනත් එහෙම නොකරම වාහනේ
පිටි පස්සට පිම්මේ පැන්නා.
මම ආයෙ ඔහු
දිහා බැලුවේ ඇය වාහනේ පණ ගන්වලා ඉදිරියට යද්දී. ඔහුට අපිව නවත්තන්න උවමනාව තියෙන්න
ඇති. “ටොමී, නවතින්න” කියන්න ඔහුට උවමනාවක්
නොවුන බව මම අනුමාන කළා.
එත් “මදාර නවතින්න” කියලා කියා ගන්න ඔහුට
උවමනාව තිබුණා කියන්න මට ඉවෙන් වගේ දැනුණා.