මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, July 31, 2018

ප්‍රේමය ඇති තැන්




"ප්‍රේමය තිබුණේ එවන් තැන් වලය"

දම් පාට වළාකුලක් පෙන්නා "ඔබ වගේ යැයි" කියු තැනකය.
දෙනෙතට දෙනත යා කර බලා හිඳ කිසිත් නොකියා සුසුමක්ම පමණක් පිට කළ තැනකය.
ඔබ එනතුරු මග බැලු තත්පරත් කල්පයකැයි සිතුන තැනකය.
සුළැඟිල්ලකින් අල්ලා "දිනෙක තනි නොකරමියි" කී තැනකය.

"අද, ප්‍රේමය ඇත්තේ මෙවන් තැන්වලය."

හැන්දෑ අහසක දම් පාට වළාකුළු ඇස ගැටෙන තැනකය.
ඔබේ සුසූමක් මතක් වී දෙපා නවතින තැනකය.
නොනිදන රැයක දිගු තත්පර වල තුරුණු රැහැයි හඬ ඇසෙන තැනකය.
සුළඟක ගැවසෙන ඔබේ සිනහව තුරුපත් අඟින් විසිරෙන තැනකය.

"දිනෙක ඔබට ප්‍රේමය හඳුනගත හැකි මෙවන් තැනකය."

වළාවක් සේ පාව යන්නට ඔබව අත හැරිය දෑතකය.
සිත රිදෙතැයි බියෙන් සුසූම් සඟවන තැනකය.
කොයි තරම් දිගු දවස් උව,කෙටිම කෙටි තත්පර වලින් ලකුණු කර මඟ බලන දෑස් ඇති තැනකය.
ඔබේ සිනහවක් වෙනුවෙන් ලඳළු පත් වලට පෙම් බඳින හිතක් ඇති තැනකය.

විදිමි - විදවමි



විදිමි - විදවමි
අදත් මේ ලෙස
මුදු සරින් හමා යන
හන්තාන සුළඟ නුඹ

කියමි - කියවමි
එදා වාගේම
කඳුලු සුළි සැගවුන
නුවර වැව නුඹ

බලමි - සොයනෙමි
මගදි වට පිට
පා හඬ ඇසි
කොතැන සිට මතු වේද නුඹ

ලියමි - නොලියමි
ලියා නොතබමි
නොදන්වා විත් අහඹුවක් ලෙස
පසුවදන ලියන තුරු නු

Sunday, July 29, 2018

මා මිතුරු හඳ පලුව


මා මිතුරු හඳ පලුව ඈ වෙතට ඔබ                     යන්න

මතක ඉසියුම් තැනක් ඈ හදෙහි සිඹ                  එන්න
නෑ ඔතන නවතින්න ඈ ලඟින් ඔබ                    ඉන්න
කඳුළු අහුරක් අරන් පිණි ලෙසින්                   වස්සන්න

බත ඉදෙන තුරු පමණි නොහොඳ මා දැන්         උන්න
ඈ හදෙහි ලතෙත් බව වියැලුණිද                    විමසන්න
මේ කුළක ඔතා එවනා හාදුවක්                      පිළිගන්න
මා මිතුරු හඳ පලුව ආරාධනා                         කරලන්න

මහද මැදුරක කුටීයේ ඈ කඳුළු                       සතපන්න
ඉඩ තබා ඇති බවක් ඈ නමින්                         දිව්රන්න
අහංකාරෙන් එවිට අහක බැලුවොත්                  ඔන්න
මට අයිති වස්තුවකි ඔබ තරහා නොම                ගන්න

මා මිතුරු හඳ පලුව ඈ වෙතට                        පවසන්න
ඉන්ද්‍ර දිග මෝසමකි මගේ හද දුක්                  ගොන්න
වමත මිටි කොට ඇසක් පිස දැමුවොත්               ඔන්න
ඒ තමයි පණිවිඩය  මවෙත අරගෙන                  එන්න

Monday, July 23, 2018

දිනෙක ඔබගේ වෙන්න



එදා ඔබ උණ පඳුර ලඟදී මට කියා දුන්
ආදරේ ගීතිකා මින් රැළට කියා දෙමි
ආයෙමත් ආවොතින් ඉතිං ඔබ දවසකදී
යාළු වී උනුන්ගෙන්  ඒ කතා  අහගන්න

ඉතිං පදයක් දෙකක් මතකයේ තියාගෙන
රෝස මලකුයි සිනාවයි ඈ වෙතත් ගෙන යන්න
පපුව මැද හිස තියා තුරුල් උනොතින් ඔබට
ඒ ලෙසම මුදු කැරළි කෙහෙරැලක් සිප ගන්න

ඔබ අහස බලන විට මතකයට අර ගන්න
ඒ සඳම තනිව මම  මේතැන සිට දකින වග
සඳැල්ලට එන විටදී තනියෝම ඔබ එන්න
මා වෙතින් මිදි එන පවන් රැළි පිළි ගන්න

ඒ සිහිල හිත පුරා ඉතිං ඔබ විඳ ගන්න
ආදරේ යැයි මුදුව ඈ වෙතත් මුමුණන්න
ඉර හඳත් තරු උනත් දෙපා ලඟ තබන්නට
අවැසිදැයි නෙත් මතින් ඉඟියකින් විමසන්න

විඩාබර ඔබ නුවන් නැඟෙන දිය රැළි අතර
ගැඹුරු තැන සඟවන්න එපා ඉඩකදු දෙන්න
හැකිද  එක සිනාවක් දිය පතුළ ඇඳ යන්න
දෝතපත් දියමතින්  ඔබේ වත දැක ගන්න

නිහඬ උණ පඳුර ලඟ පියවරක් තබා ඔබ
ඉතිං නික්මි යන්න ඈ සෙවන හොයාගෙන
ඔබ තැබු පියවරින් මම පාර අසා ගෙන
සසර සැරි සරා එමි දිනෙක ඔබගේ වෙන්න

Sunday, July 22, 2018

විලියම් වත්තේ ළමයි


"ඇයි" 

මම එහෙම ඇහුවේ ඔළුවවත් උස්සන් නැතුව උකුල උඩ තිබ්බ පරිගණකයට මුණ ඔබා ගත්ත ගමන්. දැන් මේ මගේ ඉස්සරහා හිටං ඉන්නේ කවුද කියන්න මට ඔළුව උස්සලා ඒ මුණු දිහා බලන්න ඕන නෑ. දැන් ටිකකට කලින් ලෙමන් ජුස් එකෙන් උගුරක් බොද්දී මං දැක්කා පහළ වංගුවෙන් මේ හෙවණැළි හැරෙන හැටි.

" අපි වත්තේ ළමයි"

එහෙම කියන්න ඇත්තේ එතන හිටපු උසම ලමයා. ඔහොම පැහැදිලි කටහඬක් තිබුණේ එ්කට. 

"වත්තේ කිව්වේ" 

"අර විලියම් වත්තේ, අපි විලියම් වත්තේ ළමයි" 

ඒ වත්තේ ළමයින්ගේ ලොකු එකා වෙන්න ඕන, බිඳුණු බයාදු කටහඬක් තිබ්බේ එකාට. 

"එතකොට ඔය හවසට බටනළා පිඹිනවා කියන්නේ මෙයාද? " 

"අනේ ඔව් පොඩි මිස්, එත් පොඩි මිස් දන්නේ කොහොමද?" 

පොඩිම එකා වෙනුවට ලොකු එකා උත්තර දුන්නේ ඒ වෙද්දීත් උසම එකා පිටිපස්සේ පොඩිම එකා හැංගිලා කලිසමේ වාටි අතින් අඹර අඹර, මගේ දිහා හොරෙන් බලන හැටි තත්පරයකට ඇස් උස්සලා උන්දිහා බලද්දි මම දැක්කා.

" මුණ බලපුවාම මට කියන්න පුළුවන්"

මම උන්නේ වැකේෂන් එකට ලංකාවට එන්න කලින්, මුම්බායි වලදි ගත්ත පින්තුර වගයක් එඩීට් කර කර. මට හොඳටම මතක කොල්ලෙක් තමයි අමුජා, මුම්බායි විදියකින් මට හම්බෙච්ච කට කාර කොල්ලෙක්. නිල් පාට පසුබිමක ඉරිච්ච කමිසේ විතරක් ඇදන් ඉන්න අමුජාගේ පින්තුරේ තමයි එතන තිබුණ මම වැඩියෙන්ම කැමතිම පින්තුරේ උනේ. එ් පින්තුරේ ගන්න අමුජාට මං ඉන්ඩියන් රුපියල් සීයක් දෙන්න උනාට මේ පින්තුරේ ඊට වඩා දාස් ගුණයක් වටිනවා. 

"පන්සල් වත්තට පනිද්දි, කම්බි වැටේ පැටලුනයි කියන්නේ මෙයා වෙන්නැති" මම අමුජාගේ පින්තුරේ දිහා බලාගෙනම ලොකු එකා දිහාට ඇඟිල්ල දික් කරලා ඇහුවා. 

" පොඩි මිසිට ලොකු නෝනා ද කිව්වේ" 

"ලොකු නෝනා මට කියපු දෙයක් නෑ. ඒ වුනාට මට තමුසේලාගේ මුණු බලපුවාම කියන්න පුළුවන්" මගේ මුණේ ඒ වෙලාවේ ඇදිච්ච උපහාස හිනාව තේරුම් ගන්න තරම් උන් මෝරලා මදි කියන්න මං දන්නවා. 

"එතකොට මෙයා වෙන්න ඕන අර සෝමතිලක සර්ගේ දුවට ලියුං ගෙනහිත් දෙන ප්‍රේම දුතයා" එතන හිටපු උසම එකා දිහා බලාගෙන මං ඇහුවේ ලෙමන් ජුස් උගුරක් බොන ගමන්.

" පොඩි මිස් ඒක කිව්වෙත් මුණ දිහා බලලාද?" උසම එකා එහෙම අහද්දී, පොඩි එකා තාමත් උසම එකා පිටි පස්සේ හැංගිලා ලෙමන් ජුස් එක දිහා බලනවා මම බලාගෙන. ආයෙමත් අමුජාගේ පින්තුරේ දිහාට ඇස් හරව ගත්ත මම ඒ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. 

" ඔව්, ඔය මුණේ ලියවිලා තියෙන්නේ, ඇයි දැකලා නැද්ද?"

මම කට කොනින් හිනා වෙන ගමන් තුන් දෙනා දිහාම පිළිවෙලට මාරුවෙන් මාරුවට බලන ගමන් හිතුවේ, හෙට හවසට වැව ලඟදි තුන් දෙනාගේ පින්තුර ටිකක් ගන්න ඕන කියලා. 

" හරි දැන් මොකද මේ ⁣පැත්තේ"

" ලොකු නෝනායි එන්න කිව්වා" 
ලොකු එකා එහෙම කියද්දී, අම්මා පාර්සල් දෙක තුනකුත් එක්ක එළියට බහිනවා මම බලාගෙන. 

" ආ එහෙනම් තමුසේලා ලොකු නෝනවත් රවට්ටගෙන වගේ" 

"එහෙම කියන්න එපා පුතේ, මේ දරු පැටව් මල් වගේ තමයි,"

" ඕං අම්මා හෙට පොඩි මහප්පලයි දිහා යන්න තියෙනවා, ගෞමීට චොකලට් එහෙම මදි කිව්වොත් එහෙම ඔයාම උත්තර දෙන්න,ඔන්න මාව නම් අල්ලන්න එපා හරිද"

මම අයෙමත් අමුජාගේ තවත් පින්තුරයක් දිහා බැලුවා. ඒ පින්තුරේ ගත්තේ අමුජාට රුපියල් සීයට අමතරව මගේ ලඟ තිබ්බ ඇපල් ගෙඩියකුයි, චොකලට් එකකුයි දුන්නාට පස්සේ. ඒක අතට අරන් අමුජා හිනා වෙච්ච හැටි මතක් කර ගන්න මම ඇස් දෙක පියා ගත්තා.

" ලොකු නෝනා, ඇත්තමයි ලොකු නෝනා හෙනම පින්වන්තයි."

එහෙම කිව්වේ උසම එකා කියලා මම ඒ හඬෙන්ම අදුන ගත්තා. අවුරුද්දකට කලින් මම ඉන්දියාවේ යන්න ඉස්සර දවසක මේ උස එකා දවසක් ගුටි කෑවෙත් ඔන්න ඔය කට හින්දා.

" ආ දැන් ඒ පාර තමුසේලා බටර් ගාලා ලොකු නෝනව රවට්ට ගන්නද හදන්නේ" 

උස එකා එක්ක තිබ්බ ඒ පහුගිය කේන්තිය ආයෙමත් ඇවිස්සිලා ආපු හින්දද කොහෙද මම ඒක ඇහුවේ තරහින්. අම්මා මට රැවුවත් මම ගනන් නොගෙන උන් තුන් දෙනා දිහාම මාරුවෙන් මාරුවට බැලුවා. හරිනම් උන් තුන් දෙනාම ඒ බැල්මට බිම බලා ගන්න ඕන. ඒ වුනත් උස එකා මං දිහා බලන් හිටියේ මෙච්චර වෙලා උගේ පිටි පස්සේ හිටිය පොඩි එකාගේ අතින් අල්ලගෙන. පොඩි එකා අම්මා දිපු පාර්සල් දෙකක් උගේ බඩ මැද්දට තුරුල් කරගෙන මාපට ඇඟිල්ලෙන් වළක් හාරනවා. ලොකු එකා හිටියේ අම්මාගාව උගේ පාර්සලේ අතට ගන්න ගමන්.

" රවට්ට ගන්න හදනවා නොවෙයි පොඩි මිස්, පොඩී මිස් දැක්කේ නැද්ද, ලොකු නෝනාගේ මුණේ පින්වන්වත පාට ලියවිලාම තියෙනවා" 

මට හිතට ආව තරහත් එක්කම එක පාරටම ඉක්කාවක් වැටුණා. ලෙමන් ජුස් එක අතට ගන්න ගමන් බැලුණේ අම්මාගේ මුණ දිහා. අම්මා ලොකු එකාගේ ඔළුව අත ගාන ගමන් උගේ ඔළුවට උඩින් මගේ දිහා බැලුවේ ඒ වගේම උපහාස හිනාවක් එක්ක.

ඒ හිනාවේ තේරුම තේරුම් ගන්න තරම් මම මෝරලා ඉන්නේ කියන්න අම්මා හොඳටම දන්නවා. 











ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...