මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, May 23, 2019

ආදරේත් මහ පුදුමයක්මයි

බිදුනු හසරැලි අතින් ඇහිදන
සොඳුරියේ නුඹ එදා කී ලෙස
ආදරේ මහ අරුමයක්මයි
කුළුදුලේ හිත මියැදිලා ගිය
ආදරේත් මහ පුදුමයක්මයි

ගොළු හදින් ඇසින් ඇස එක ඉඟියකින්
සොඳුරියේ නුඹ හා බෙදාගත්
ආදරේ මහ පුදුමයක්මයි
අතින් අත හැර හිතින් අල්ලන
හැඟුමකින් වෙලා රිදවන
ආදරේත් මහ අරුමයක්මයි


කියා නොකියා හිත කොනිත්තා සිහිනෙකින්
සොඳුරියේ නුඹ ඇවිත් යන විට
ආදරේ මහ අරුමයක්මයි
කියනු බැරි වී සිතා ලත වෙන
සුසූමකින් යළි සිතට ගුළිවන
ආදරේත් මහ පුදුමයක්මයි


Tuesday, May 21, 2019

පාඨක අදහස් 2° ණයට ගත් සාජ්ජය


යමුනා කියන්නේ ගීත රචිකාවියක්. ඒක හැමෝම දන්න කරුණක්. කාන්තා පාර්ශවයෙන් එහෙමත් නැත්නම් ස්ත්‍රී කවියෙක් විදිහට සම්මානයට පාත්‍ර වන පළමු කවියා වන්නේ යමුනා. කිවිඳිය කියන වචනයට මම ඒ තරම් කැමැත්තක් නැහැ. මට ස්ත්‍රී වේවා පුරුෂ වේවා කවි ලියන දෙපිරිසම කවියන්. ඒ නිසා දිගටම මම යමුනාට "කවියා" කියලා ලියනවා.
යමුනා ගැන හුඟාක් අය දන්න නිසා මම යමුනා ගැන කියන්න යන්නැ. එත් යමුනාගේ කවි ගැන මට කියන්න ඕන. මේ සටහන අතින් මම අසාර්ථක වෙවී ඒ අසාර්ථකත්වය තුළත් මම යමුනාගේ හැඩය රැක ගන්න පුදුම වෙහෙසක් ගන්නවා.
දහයකට පමණ කිට්ටු වුණ යමුනාගේ කවි පොත් වලින් කවි පොත් හතරක් මම කියවනවා. මම යමුනාගේ කවි කියවන්න පටන් ගත්තේ "ණයට ගත් සාජ්ජයක්" කියන ඇගේ පළමු කවි පොතෙන්මයි. පාඨකයෙක් විදිහට ඒ පොත ගැනම ලියුවත් මගේ වැඩිම මනාපය යමුනා ලියන " මග ඇරුණ ප්‍රේමය" කාව්‍ය සංග්‍රහයටයි.
කවි පොත හැඩ වෙන්නේ ශාන්ත කේ. හේරත් අකුරු හා කවර නිර්මාණයෙන්. කවරයෙන් ඇතුල් පිටු වලට යද්දී හිත උණුසුම් වෙනවා. නැහැ, හරිම වචනය හිත රත් වෙනවා. මම ඇත්ත කියන්න ඕන පළමු වතාවට මම මේ කවි කියවද්දී මාව පුදුමටයට පත් වුණා කියන එක.



"අහස පොළව වට පිටාව හරිම හිස් තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්"


මගේ මතකය නිවැරදි නම් ගීත ලොව ආක්‍රමණය කරන ඇගේ පළමු ගී පද රචනයටත් වඩා ඇගේ කවි උණුසුම්. කවි අතර තියෙන්නේ විප්ලවයක්. අරගලයක්. ඇගේ ගීතය මිනිස්සුන්ට හුඟාක් සමිප උනත් ඇය කවියෙන් කතා කරන්නේම ඒ මිනිසුන්ටයි.
කවියා, කවිය අපට පුජා කරන්නේ මෙලෙසය.
මට කවි දී
මගෙ කිවිය වු 
ඔබ සැම වෙත
පුජා කරන්නෙමි
මේ පොත.................!


මේ බොහෝ විට ඔබ කියවා නැති කවි පොතක කවියක්. මේ සටහන ඔබව කම්මැලි කරන්නට පුළුවන්. කවියට, කවියාට හිතැති ඔබ මාව පසෙකින් තබා කවිය කියවන්න.
ණයට ගත් සාජ්ජය.
වෙස් බැඳුණු මුහුණක්
සිනා පඩුලා සිරිමත්
ගෙනැ තෑගි බෝගත්
අසුන්ගත්තෝ____අමුත්තෝ විත් ...

කෙරූ කෙරුවාවල්
නොපිරූ කල්පනාවල්
ගැහෑණු වරුණාවල්
පිරිමි හිනැහෙති____දී සිනා බොල් ...

බැලුම් මෙන සිවිලිම
ඔන්න මෙන්න වැ පිපිරෙන
පුම්බාගත් ලියෙන
ජප කරති ගැහැණුද____ මමායන '

මාරු කර අඹුසැමි
බදා නටතෙයි වැනි වැනි
බෙදා ගෙනැ බුදිමිනි
සුනඛයොත් ____ගෙයි කොණක හිනැහුනි ...

මධු පුරති සැමියෝ
පුර සාරමෙනි බිරියෝ
වැලී කෙළිති දරුවෝ
උගුල ඇද හිනැහෙති____ගෙහිමියෝ

ලොකු කම් පෙන්නුවත්
අසල්වැසි සිත් තැවුවත්
ගත් ණයෙනි නිදහස්
වෙනුයෙ කෙළෙසද
හඬයි____උන් සිත්

ඒ විසි අට පිටය. එහි උපහාසය ද, අපහාසය ද මම දකිමි. විඳිමි. නොනැවති තව දුරටත් කියවමි.

කවි තිස් හයකි. පොත පිටු හැට හතකි. හුඟාක් කවි දිගය. සමහරක් පළලය.
යළිත් කවි කියවමින් මම විසි අටේ සිට හතලිස් අට පිට තුළ නතර වෙමි.
සිර ගෙදරට ආ ලියුමක්.

තෙමෙයි
අනෝර වැස්සට___පැල් කොටය
කුඩාවුන් නිදන්නේ 
දැන් අඳ යටය
සුවාමිනේ ඉන්නා
මහ___උළු___ගෙදර
නුඹවත් නොතෙමි
ඉන්නා එක සතුටක්ය ...!

ණය දෙන්නට සතුටුලු කළු මුදලාලි
බය නැතිවම බඩු ගන්නට යැයි කීවා....
(කට හඬටවත් ඇත්තේ මුළු පවුලටම
වැල් ඇඳ යට නාටු බල්ලා පමණක්ය....|)

සුවාමින්ට තැපුමට මහ උළු ගේක
කෙරූ අපරාදෙ වැලි___ලා නීතියට
සල්ලි බලෙන් අපෙ කුඩුව බින්දාට
පළි ගහනවා තවමත් මම දෙවියන්ට...

පස්වැන්නාත් දැන් ලඟ ලඟ උපදින්ට
ඌ ගෙන්වත් සෙතක් වෙද මගේ හිමියන්ට
විගැහින් කෙරූ සිර___පව් ගෙවිලායන්ට
පානක් පත්තු කෙරුවෙමි යළි දෙවියන්ට

දරුවන්ගේ දුක් කරදර ඇහියන්
මගේ සුසුම් හිර ගේ ලග දැවියන්
යකඩ කුරු රත්වී අත මිදීයන්
හීනෙන් වත් හිමි ගෙපැලට වැදියන්...!

පළමු කවි පන්තිය පමණක් උපුටලා නවතින්න හිතුවත් "හීනෙන් වත් හිමි ගෙපැලට වැදියන්" කියන ප්‍රාර්ථනාවට එකතු වෙන්න ඕන හින්දාම කවි පන්තියම මම උපුටනවා. සමහර විට ඒ ගෑණුකම නිසා වෙන්න ඇති. ගෑණුන්ට තරම්ම ගෑණුන්ව තේරුම් ගන්න පුළුවන් වෙන කවුරුවත් නෑ. මම හිතනවා සහ විශ්වාස ස්ත්‍රීවාදින්ට හැඩයක් එකතු කරන්නේ අන්න ඒ හේතුව කියලා. මම යමුනාව ස්ත්‍රීවාදී කියන තැන නතර කරන්න කැමති නෑ. මම යමුනා කියන කවියා එතනින් එහාට ගිය එක් පරාසයක කොටු නොවුන කවියෙක් විදිහටම දකින්නම කැමති නිසා.

රන්මසු
පිට විස්ස
උපුටා නොගත් කවියක කොටසක්

අලුත් ලී සුවඳ සපිරුණු
මේ වීදුරු සාප්පුවේ
එක පිට එක ගොඩගැහෙමින් 
මීනි පෙට්ටි වාත්තුවේ
කවුන්ටරය අසලට වී
සිත තනිවම තෝන්තුවේ
කා එනතුරු මා ඉන්නද 
මඟ බලමින් ජේත්තුවේ

මෙය තවත් කවි පන්ති හතරක් සමඟ එකට කැටි උන " මිනි පෙට්ටි මුදලාලිගේ දියණියගේ ශෝකාලාපය" කවියේ පළමු කවි පද කිහිපයයි.
යමුනා පිරිමින් දෙස ද ඒ හා සමානව ගැහෑණුන් දෙස ද බලනුයේ උකුසු ඇසකින් විය යුතුය. ඇගෙන් කවියට නොගැණුන කිසිඳු මිනිස් චරිතයක් අද ජිවත්ව සිටිය නොහැකිය. ඇය සියුම්ය. පරික්ෂාකාරිය. ඇය මෙය ලියන්නේ දශක කිහිපයකට උඩදිය. මම මෙය දකින්නේ දශක කිහිපයකට පසුවය. මම ඇයව රුවෙන් හඳුනන විට ඇයව මම දකින්නේ ශ්වේත පැහැ සාරියෙනි. මට දශක කිහිපයක් ආපසු ගොස් ඇයව දකින්නට අවැසිය.

රන්මසු
පිට විස්ස
උපුටා නොගත් කවියක කොටසක්

අවන්හලේ සංගීතය
සිත් කුලුණේ
පතුරු හැලේ
අරටු බිඳේ. ...... ........ ...

මධු බඳුනේ
බුබුලු නැගේ
පෙණ විසිරේ. ...... ........ ...

පා පැකිළේ
ගත වැතිරේ
අඳුරු ලෙනේ. ...... ........ ...

දිව මතුරේ
ඔද පැරදේ
පිරිමිකමේ. ...... ........ ...

හද පැකිලේ
ගත උදුරයි 
පුරංගනා ...... ........ ...

රාග විලේ 
රළ පෙරළේ
තරංගනා ...... ........ ...

මධු විත ළඟ
පිය බිරිඳත් 
මරංගනා. ...... ........ ...

අඩ අඳුරට 
කැත ගෑණුත්
සුරංගනා. ...... ........ ...

රවුම්, හතරැස්. ත්‍රිකෝණ සමහර ජිවිත ඔය විදිහයි. සීමාවන්ට කොටු වෙනවා. මට මෙහෙම හිතෙන කී වෙනි දවසද කියන්න මට මතක නෑ. සමහර විට
අද දෙවැනි දවසයි....

එදා දුක් පීඩා මැ
මගේ සිත යළි පෙලූ
අද දෙවැනි දවසයි........

මේ සසර දිගු ගමන
අවා දුකෙකැයි හැඟුණු
අද දෙවැ නි දවසයි........

ජිවිතේ කම්කටොලු
මිහිරි සැපෙකැයි හිතුණු
අද දෙවැනි දවසයි........

........සැබෑ ප්‍රේමය අතැර
හිඳිනු බැරියැයි හැඟුණු
දහස් දොහකුත් සමඟ
අද දෙවැනි දවසයි........

මම "ණයට ගත් සාජ්ජය" කවි හයක් උපුටනවා. අවසන් කවියත් එක්කම. මදිය හිත කියද්දි මම නවතිනවා. මට ලියන්න පුළුවන් මෙච්චරයි. මම ඒක ලැජ්ජා නැතුව කියනවා. ඒත් මට කියවන්න පුළුවන් මම තවදුරටත් කියවනවා. අන්තිමට පනස් දෙවන පිටුව.
රන්මසු
පිට විස්ස
උපුටා නොගත් කවියක කොටසක්

ඊට කලින් මම කියනවා යමුනා කියන්නේ කවියෙක්. අවසානයට පසු පිටෙහි ආචාර්ය සුනිල් ආරියරත්න මෙහෙම ලියලා තියෙනවා. " මෙහි එන සියළු රචනා, උඩු යටිකුරු වු අද්‍යතන සමාජයෙහි විකෘති ස්වභාවය නිස්සාරත්වය, වානිජත්වය, ජුගුප්සාජනක බව ප්‍රක්‍රට කරවන සුළුය."
බුද්ධි සංහාරය
අරුන්දතී තරුවක් සේ නිලම්බරා
අයියෝ දිවුල් ගහ උඩ ලා උදුම්බරා
නන්නාඳුණන පිරිසක් අවි අතින් දරා
ඇවිදින් ගෙන ගියා ඇයගේ සුපෙම්බරා.....?

ලත්____දා බුද්ධි වනසන මුත් විනාශය
ලද්දා බුද්ධි රට නොගියොත් විනාශය
'වැද්දා' සුද්ද කෙරුමත් නැත____සනාථය
'සුද්දා' වැද්දාට වැඩියෙන් අනාථය.......!

සදා සොඳුරු සිරි මෙලොවේ
නිමක් නැතී

නුඹේ ඇහින් දැක ගන්නට
වරම් නැති

ඇහේ කඳුළු මිදුමක් දැවටේ
බලන් සකී

අහෝ! බුද්ධියට අධිපතී
බ්‍රහස්පතී.......!

මම මාලනී ලා තුන් දෙනෙකුට ආදරය කරමි. පළමු වැන්නා නන්දාය. තුන්වැන්නා ෆොන්සේකාය. හිමි තැනදී නොකියවු දෙ වැන්නා නම් මේ යමුනාය.
සෙබල සගය
පිට තිස් දෙක - තුන
උපුටා නොගත් කවියක කොටසක්
 

නුඹ මා ලොව කළුවර කර පැන ගිය පලියට
කෙළෙසක දොස් පවරමි නුඹ හට
කිසි කෙනෙකු නොදුන් ආදරයක්
නුඹ මට දුන් කොට

Thursday, May 16, 2019

C ට ආදරෙන් 2019.04.16



ආදරණිය C,

අප වෙන් වී වසර ගණනකි. ඔබ කොහේ හෝ සිටින්නේ සතුටින් විය යුතුය. වස්සානය උදා වු පසුව වැටෙන වැහි මේ තරම් සුවදායක වන්නේ ඒ නිසාවෙනි. වැහි වැටෙන තැනක රැදෙන්නට ඔබ තවමත් කැමැත්තෙන්නම්, මගේ පුංචි කුටියේ කවුළුව තවමත් නොවැසුව වනම පවතී. ඉතිං ඔබ අනාරාධිතවම පැමිණෙන්න.

තුරල් වෙමින් පවතින වැස්ස ඔබ ගැන මතක සජ්ජායනය පටන් ගෙන ඇති බැවින් කුටියේ විදුලි පහන්  මා නිවා දමා අඳුර තුළ ගුළි ගැසීය යුතු ය. මා තුහින වැස්සට කැමති බව ඔබ දන්නවානේ. ඒත් C, මේ වැහි බිංදු වලත් තැවරි ඇතැයි  සිතන ප්‍රේමයක්, අහේතුකව මට පාළුවක් ගෙන එනවා. මා එය කොයි තරම් දරා ගත යුතුයි ද C ? ඔබ කියන්න, ඒ කොතෙක්ද?  එතෙක් මා මේ පාළුව දරන බවට අද ද ඔබට පොරොන්දු වෙමි. මේ වස්සානය ම එයට සාක්ෂිකරුවා කර ගන්න. මම වැස්සට කොතෙක් පෙම් කරනවාදැයි ඔබ දන්නවා නේද c. මා වඩාත් පෙම් කළ කිසිවකට බොරු නොකළ වග ඔබ හැරෙන්නට දන්නා කෙනෙකුන් ගැන මට සිතා ගන්නටවත් බැහැ. ආදරේ කරන දෑ හදවතට බොහෝ සමීප‍ තැනක බොහෝම පරිස්සමට බලා ගන්නට හැකි, මා හැරෙන්නට ඔබ දන්නා වෙනත් කෙනෙකුන් සිටිනවද C ? සිටිනවා නම් ඒ මගේ සන්තානයෙන් ඔබ සතුවු, ඔබ යළිඳු මට නොඳුන් කොටසක් විය යුතුමයි C.

වස්සානය උදා වී ඇත්තේ සිනාසීමටයි.ඉඳහිට ඔබ ලියන කවියක එසේ ලිය වෙනවා ඇති. මගේ සිනාව ඇත්තේ ඔබ සිනාසෙන තැනකනම් C, මට ඇහෙන්නට ඔබ සිනාසෙනවද? මටත් සිනාසිය හැකි පරිදි ඔබ ඔබේ සිනහවක් ඉතිරි කර යනවද?

වැහි අස්සේත් ඉදහිට තැනක පත්තු වෙන රතිඤ්ඤා හඬට තිගැස්සෙන කුඩා බලුපැටවා හෙම්බත්ව ගොසින් C. මේ ලියන මොහොතේ මගේ කකුල් දෙක ළඟ වැතිරගෙන ඌටම ආවේනික තාලෙකට මාත් එක්ක දුක බෙදා ගන්න උත්සහ කරනවා. කුඩා පැටවාගේ එක චලනයක වේගයෙන් මට ඌ හඳුනා ගත හැකිය C. ඒ විදිහට හෝ තමන්ගේ දුක බෙදා ගන්න කෙනෙකුන් සිටින එක මොනතරම් වාසනාවක්ද C? කුඩා පැටවා මට වඩා වාසනාවන්තයැයි ඔබත් සිතනවද C?

ඔබ නොමැති තැනක, ඔබේ අතැඟිලි වල උණුසුම නොදැනෙන තැනක, ඔබේ සිනහව මගේ දෑස් මතට නොවැටෙන විටක තවදුරටත් වාසනාව පිළිබඳ බලාපොරොත්තු දල්වා ගෙන හිද පලක් තියෙනවද C, මේ ලෙසටම වාසනාව මා වෙතට බොහෝ දුරකින් තිබුණාවේ. ඔබ කොතැන සිටියත් ඒ හිඳින තැන හිඳ ඔබේ සිනහවෙන් බිඳක්  සුළඟ හා මුහුව ආදර ගෙන ඔබට නොදන්වාම මා වෙතට පා  උනාවේ. මේ හදවතින් පතන පැතුමක් නොවන බව ඔබ දන්නව ද?. එය නැගෙන්නේ මගේ මුළු සන්තානයෙන්මයි. ඔබට එය ඇදහිය හැකිද C?


 A,
2019.04.16



Thursday, May 2, 2019

එය මෙලෙස සිදු වුවා නම්



එදින සිහින වලින් ඇහැ ඇරුණා පමණි. යළිත් සිහින දකින්නට සුවැති වු නින්දවල් අහිමි කරමින් කොළඹ පිපිරුම් හඬින් කම්පිතව ගිය වගට තොරුතුරු ලැබෙන්නට විය. අප  පශ්චත්තාපය කැටි කොට ගත් තත්පර, විනාඩි, හා දින ගෙවමින් සිටියෙමු. සියල්ල වු අකාරය සොවින් වැළපෙමින් අසා සිටියෙමු.  කඳුළු තුළ ගිලෙමින් සිටියවුන් සමඟ අපත් කඳුළු වැගිරුවන් වෙමු. සුසුම් සඟවාගත්තන් වෙමු. ක්‍රෝධයත්, වෛරයත් පසෙකලා සංසුන්ව සිටින්නට හෘදයට අණ දුන්නේ වෙමු. අප තව තවත් අසරණබවට පත්ව ඇති වග දැනෙන්නට පටන් ගත් මොහොතේ පටන්, පාලකයන්ට වෛර කරන්නට විමු.  

පාලකයන් අප කෙළි බඩු යැයි සිතාගත් වනම අප හා මහා කෙළියක යෙදි සිටින්නේය. අපත් සිඟිති කුඩා දරුවන් මෙන් ඔවුන්ගේ බසට සවන් දෙමින්, බාල ගිරිය අද නොවේ හෙටයි කියා සැනසෙන්නේය. එහෙත් ඒ හෙට නම් වු දවස කෙදිනක හෝ අදා නොවන වග අප ට වඩහා ගත නොහැකි වන්නේ මන්දැයි අපි අපිම නොදන්නෙමු.

ගත වු දවස් වල අඳුරු පැහැයන් ගිලිහෙමින් පැවතියද එම අඳුරු පැහැයන් අප වෙත ලඟා කෙරු තත්පර සියල්ලම මෙසේ විසඳි ගියා නම් යැයි හදවත ගෙවෙන ගෙවෙන හැම තත්පරයකම කරන මිමිණිල්ලක් වෙයි. 

 



ඔබගේ දෙවියන් ද - ඔවුන්ගේ දෙවින් ද - මගේ දෙවියන් ද ලෝකය මවා දුනි නම්, ස්වර්ගය ඇත්තේ මෙහිය.

මිනිසුනි, ස්වර්ගය නම් මිහිමත, ප්‍රේමය අතින් ගෙන ඔබ ඇවිද ගියා නම්,



ප්‍රේමය අතින් ගෙන ඔබ ඇවිද ගියා නම්    





දෙවියන් ආදරයෙන් වැළඳ ගැනීම සඳහා දෙඅත් ලබා දුන්නේය. දෙවියන් ආදරයෙන් පුරවාලීම සඳහා හදවත ලබා දුන්නේය. එවන් දෙඅත් හා හදවත් ඇති මිනිසුන්‍ සුපිරි විරයන් වු  ලොවක සියලු මිනිසුන්ම එසේ වී නම්

මිනිසුනි, ඔබත් මේ මාවතට එන්න. එහි පිපෙන මල් සුවඳදැයි බලන්න.
 



දෙවියන් ආදරයෙන් වැළඳ ගැනීම සඳහා දෙඅත් ලබා දුන්නේය. දෙවියන් ආදරයෙන් පුරවාලීම සඳහා හදවත ලබා දුන්නේය. 



දෙවියන් මිනිසුන් නිර්මාණය කළහ. මිනිසුන් විරයන් බිහි කළහ.
විරයන් හදවත් තුළ අමරණිය වුහ.
අමරණිය වු මිනිසුන් අත ජයග්‍රහණයේ සලකුණු විය.
ඔවුන් ජිවත් වෙමින් සැමරීම් සිදු කළහ.
දෙවියන් විරයින් තනන මඟ එලෙස කියා දී තිබිණ.
ලේ තැවරුණු දෑතක ජයග්‍රහණයේ උදම් රේඛා නැත.
ජයග්‍රහණයේ සැමරීම් වල වැළපීම් නැත.

මිනිසුනි,
සතුටු සැමරුම් තුළ පමණක් දෙවියන් දකින්න.


ලේ තැවරුණු දෑතක ජයග්‍රහණයේ උදම් රේඛා නැත.
ජයග්‍රහණයේ සැමරීම් වල වැළපීම් නැත


 



ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...