Tuesday, June 6, 2017

ජෙලි හදද්දි ජෝලි




පහු ගිය දවස් වල ඒ කියන්නේ අවුරුදු සුමානේ, හරියටම කිව්වොත් අවුරුදු දාට පහුවෙන්දා. ඒ කියන්නේ පහලොස් වෙනි සෙනසුරාදා.

ඉතිං එදා අපේ නංගිට ඕනේ උනා දිවා ආහාරයෙන් පස්සේ  රසවත් අතුරුපසක් හදා ගන්න. කොහොමත් ඔය විදිහේ සුකුරුත්තන් වැඩ වලට එයා හරි දක්ෂයි. මම නම් ඉතිං ඔය වගේ වැඩ වලට ඒ තරම්ම ප්‍රියතාවයක් නෑ. ඔය කියන ඒවා හදන්න බැරිකමටම නෙමෙයි. ඔය අතුරුපස වගේ සුකුරුත්තන් කෑම බීම හදා ගන්නේම කිරි, බිත්තර, යෝගට්, බටර්, අයිස් ක්‍රීම්, චොකලට් වගේ නානාප්‍රකාර දෙවල් එකතු කරලානේ. ඔය කියපු කිසිම දෙයක් මම දණි පණි ගහණ කාලේ ඉදන්ම දිවේ, තොලේ ගැවුවේ නැනේ. අදටත් ඉතිං එහෙමයි මම තණකොළ විතරක් කන කෙනෙක් නිසා. (හම්බුනොත් ඔය බටර් කේක් කෑල්ලක් එහෙම නම් ඉතිං නෝකා ඉන්නෑ.)

කොහොම කොහොම හරි ඉතිං ඔය අතුරුපසක් හදන්න හිතපු අපේ නංගි එ්කට ඕන අඩුම කුඩුම ටික ගෙන්න අවුරුදු දවසේම මාව කඩේ යැව්වා. කොහොමත් වේලාවක් අවේලාවක් නැතුව මම ගෙදර අයට  කඩේ යනවා. ඔය කඩේ යෑමටත් ඉතිං ඉතිහාසගත වාර්තා තියෙනවා. සිල්ලර කාසි ගණන් කරන්න පුළුවන් කම ලැබුන අවධියේම තමයි මගේ කඩේ යෑම ආරම්භ වෙන්නේ. ( ඒ ඉතිං බොහොම පුංචි අවධියේ, වයසින් කිව්වොත් එහෙම අවුරුදු හයක් - හතක් විතර කාලේ තමයි) මුලින් මුළින්ම නම් කඩේ ගියේ අාසාවට. ඒ කාලේ ඉතිං රුපියල් සීයක් , පනහක් තමා දෙන්නේ කඩේ යන්න. ඉතිං ඔන්න සීයක් එහෙම අතට දීලා කඩේ යවනවා කියන්නේ එදාට ඉතිං රජ ගෙදර මඟුල් ගේ වගේ තමා මේ මට. 

ඉතුරු වෙන සල්ලී වලින් මාරි බිස්කට්, ඊට පස්සේ මස්කට්, බුල්ටෝ තවත් ඉතුරුනම් නාරම් බික් හැඩයට තිබුණ සීනී බෝල. ඒ කාලේ නම් රුපියලක් තිවුණොත් නාරම් බික් අටක්ම ලැබෙනවා නේ. ඔය කාලේ මගේ අතට කීයක් දුන්නත් කඩේ ගිහින් ආවට පස්සේ කවදාවත්ම ඉතුරු නොලැබෙන හින්දා අම්මා එහෙම පුරුදු වෙලා හිටියේ බඩු ලයිස්තුවේ වියදමට හරියන්නම සල්ලි දෙන්න තමයි. පස්සේ පස්සේ කඩේ යාම පුරුද්දක් වුනා. දැන්නම් එක පුරුද්දකටත් වඩා යුතුකමක් වෙලා. හැබැයි ඉතිං කොයි විදිහක කඩේ යෑමක් උනත් ගෙදර අයට විතරයි.

දැන් කතාවෙන් ගොඩක් පිට පැනලානේ. ආයෙම කතාවට ආවොත් මෙහෙමයි. දැන් ඔය අතුරු පස හදන්න උවමනා කියන බඩු ටික ගෙදර අයිස් පෙට්ටියේ ස්ථානගත වෙලයි තිබුණේ. එත් ඉතිං මදිපාඩු අඩුපාඩු නොවෙන්නේ කොහෙද නේද? දැන් ඔය අතුරුපසට ඕන කරන ජෙලටින් ඉවර වෙලා. ඒ ඉතිං කලින් දවසකත් ඔය මොකක්ද අතුරුපසක් හැදි ගාලා තමයි. කොහොම හරි ජෙලටින් පැකට් එකක් ගෙන්න සුපුරුදු පරිදි මම කඩේ ගියා. අවුරුද්ද නිසා හුඟාක් කඩවල දොරවල් වහලා තිබුණේ. ඇරලා තිබුණ කඩේකට ගොඩ වෙලා මම ජෙලටින් හෙව්වා හෙව්වා හෙව්වා හෙව්වා. අන්තිමේදී මට හොයා ගන්න පුළුවන් උනේ ජෙලි ක්‍රිස්ටල් එකක්. ඒකත් ග්‍රෑම් 500 පැකට් එකක්. ජෙලි කියලා දැක්කා විතරයි ගත්තා අතට. අරන් ආවා. ආවට පස්සේ තමයි හරියටම දැන ගත්තේ ජෙලි ක්‍රිස්ටල් කියන්නේ වෙනම එකක්ය - ජෙලටින් කියන්නේ වෙනම එකක්ය කියලා. ආයෙම කඩේ ගියේ නංගිගේ හදවත රිදෙවී කියලා සිතුන බැවින් මිසක එයාගේ කෑ ගැහිල්ලට එහෙම බයේ නොවන බව නොකියා හිදිම හොද නැතිය.

නැවත කඩේ ගිහින් මම ජෙලටින් අරන් ආවයි කියමුකෝ. දැන් මෙහෙමයි ඔය නංගි හදපු අතුරු පස හදා ගන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය :
දැනටමත් දන්නවානේ ඉතිං ජෙලටින් ඕන කියලා.
ඊළගට බිස්කට්  - (නංගි ගත්තේ නම් චොකලට් බිස්කට්ය.)
ආ තව ඕනේ මිල්ක් මේඩ් එකක් එහෙම
තව ජෙලි පැකට් එකකුත් ඕනැය
කොළ ඇපල් ගෙඩියක් ද ඕනෑය
බටර් /මගරින් එහෙමත් ඕනැය

හදන්නේ මෙහෙමය :

අර බිස්කට් ඒ කිව්වේ චොකලට් බිස්කට් ටික අරගෙන චොකලට් ටික ඉවත් කර ගන්නට ඕනෑය. ඊටත් පස්සේ ඒ ටික කුඩු කරගන්න ඕනෑය. ඔය කුඩු කරගත්ත බිස්කට් එකට බටර්/ මාගරින් දමා කලවම් කර ගන්න ඕනෑය. ඊටත් පස්සේ ඔන්න තෙල් කඩදාසියක් දාපු භාජනේකට ඔය මිශ්‍රණය දමා ටික වේලාවක් අයිස් පෙට්ටියේ තියන්නට ඕනෑය. ඒ විනාඩි දහයක් පහළවක් විස්සක් වගේ කාලයක් උනාට කමක් නැත.

දැන් ඉතිං අයෙමත් අයිස් පෙට්ටියෙන් බිස්කට් ලේයර් එක සහිත භාජනේ ඉවතට අරගෙන එයට තවත් ලේයර් එකක් එකතු කරන්නට ඕනෑය. ඒ ලේයර් එක හදා ගන්නේ මෙහෙමය.මුලින්ම දැන් ඔය මිල්ක් මේඩ් එකට සීනි කෝප්ප භාගයක් ජෙලටින් තේ හැදි තුනක් පමණ දමා මිශ්‍ර කර ගන්නවාය. අවශ්‍යය නම් දෙහි බිංදු කිහිපයක් එකතු කර ගත්තාත් වරදක් නැත. නංගි එසේ එකතු කරගත්තාය. ඒ මදිවට ට්‍රොපිකා චොකලට් එකක් අරගෙන චොකලට් ටික අයින් කරලා එහෙම ඇතුලේ පොල් කෑලි ටිකත් ඔය මිශ්‍රනේට දැම්මාය. අයින් කරපු චොකලට් පස්සේ එයාම කැවාය. අතුරුපසයි ඒ කැමයි අතර සහ සම්බන්ධතාවය නම් මම දන්නේ නැතිය. දැන් ඔය හදාලත් එක බිස්කට් ලේයර් එකට උඩින් දමා ආයෙමත් විනාඩි දහයක් පහලවක් අයිස් පෙට්ටියේ තිබ්බාය.

ඔන්න දැම් වැඩෙන් බාගයකටත් වඩා වැඩිය. දැන් කරන්නට තියෙන්නේ අන්තිම ලේයර් එක එකතු කරගන්න එක. ඒකට ඉතිං අර ජෙලි පැකට් එකක් අරගෙන උණු වතුරෙන් දිය කර ගන්නට ඕනෑය. දැම් ඔය ජෙලිඑකත් ලේයර් එකක් විදිහට එකතු කර ගන්නට ඒනෑය. ඊටත් පස්සෙන් පහු ඔන්න ආයෙමත් අයිස් පෙට්ටියේ දමා විනාඩි දහයක් පහලවක් ශිත කර ගන්නට ඕනැය.

ටික්.. ටික්.. ටික්.. ටික්..ටික්..

අවසන් තත්පර පහ එසේ ගෙවී ගොස් භාජනය අයිස් පෙට්ටියෙන් එළියට අාවාය. නංගිගේ මුණ මල් හතකි. ඔන්න කෑලි කපා පිළිගන්වන වේලාවය.

එත් යාත්‍රා එක කෑල්ලක රහ බැලුවේ නැත. ඔය අතුරුපහ කාපු අය රහයි රහයි නම් කිවාය. ඒත් යාත්‍රාට නම් එය විශ්වාස නැත. කොහොම උනත් ඔය අතුරුපස හැදිල්ල මහ ලොකු වැඩක් නෙමේය කියන්නට ගොස් යාත්‍රා වැඩේ අනා ගත්තාය. යාත්‍රාගේ වහසි බස් දෙඩවිල්ල අම්මාගේ කණ වැකුණු ගමන් අම්මා යාත්‍රාට අභියෝග කළාය. එතැන් සිට යාත්‍රා හාවක් හුවක් නැතුව සිටියේ ඕනැවට වඩා කියවිල්ල අන්තරාදායක බැවින් මිසක මේවැනි අතුරුපසක් සැදීමට නොහැකි බැවින් යැයි වරදවා වටහා නොගැනීම කාටත් හොඳය.

කොහොම උනත් ඉතිං ඔය අතුරුපස කන්නට කලින් මේ විදිහට කැමරාව ඉදිරියේ පෙනි හිටියාලු.



දැන් ඔයාලාත් මේන්න මෙහෙම අතුරුපසක් හදලා බලන්නකෝ. (ඔන්න ඉතිං කාව හරි කඩේ යවන්න නම් එපා)

11 comments:

  1. කෑම රෙසපි වැසෙත් හොදයි......

    ReplyDelete
  2. හෙහ් මාත් තණකොළ ඩයල් එකක්. බට් නමුත් මෙහෙමයි
    මැරෙන්න වේ වැටිල හිටියොත් ඕන බඩකඩිත්තුව ක් කනව.
    මේක අදාල තැන් බලල යවන්නංකෝ. හිහි
    ටටා ඈ

    ReplyDelete
  3. හෙහ් මාත් තණකොළ ඩයල් එකක්. බට් නමුත් මෙහෙමයි
    මැරෙන්න වේ වැටිල හිටියොත් ඕන බඩකඩිත්තුව ක් කනව.
    මේක අදාල තැන් බලල යවන්නංකෝ. හිහි
    ටටා ඈ

    ReplyDelete
  4. මමත් කඩේ යන්න ගත්තෙ දෙක වසරෙ ඉඳන්... ඔය කෑම හදන වැඩනන් මට අල්ලන්නෙම නැති එකක්... මොකද මම වැඩි හොඳට කියලා මගෙ වැඩකෑලි කෑම හදද්දි දාන්න ගිහිල්ලා කෑවොත් බඩයන තත්වෙටම කෑම එක හදනවා...

    ReplyDelete
  5. ආව් යාත්‍රා ගේ නංගි වගේමයි මාත්..... වැඩේ තියෙන්නේ අදටත් මං හදන කෑම බය නැතුව කන්නේ අපේ තාත්තා විතරමයි,බය කරලා තර්ජනය කරලා කන්න දුන්නම "මං එයාගේ හස්බන්ඩ්"අමාරුවෙන් ගිලිනවා. කොහොම උනත් අපේ ගෙදර මට කඩේ යන්නේ මගේ තාත්තා විතරමයි :)
    ලස්සනයි යාත්‍රා

    ReplyDelete
  6. මං අකමැතිය ජෙලි කන්නට පොඩි දවසේ
    දැං නං කැමැත්තක් ඇත කන්නට රිසිසේ
    පිං ඇත හදන හැටි කිව්වට රස ඇති සේ
    නං ගිට කඩේ නොගිහින් ඉනු ලොක්කිය සේ

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මේක ලියන්නෙ පිරිමි කෙනෙක් දුමී, ලොක්කා සේ වෙන්න ඕන :)

      Delete
    2. හෑ.... ඉයන්ට ශුවර්ද

      Delete
    3. නෑ නෑ ඉයන් මේ අපේ නංගි කෙනෙක් ලියන්නේ යාත්‍රා වෙ නියමුවා විදියට

      Delete
  7. හා හා... මේ මම කැමතිම අතුරුපසකි මාසෙකට වතාවක්වත් හදමි.මේකට කියන්නේ ජෙලි බිස්කට් පුඩිම කියාය. මමනම් හදන්නේ මාරි බිස්කට් වලිනි.අපේ ගෙදරත් තණකොළ පමනක්ම නොකෑවත් ජෙලටින් වර්ජනය කරන කෙනෙක් ඇත. උන්දා ජෙලටින් හදන්නේ ඌරු කටු වලින් කියා හොයා ගත් දා පටන් ජෙලටින් දාලා හැදුවයි කියලා සැක කොරන කිසිවක් නොකයි. ඉතින් එදා පටන් මට හරි ජොලි. මමම හදමි මමම රස කර කර කමි.

    ReplyDelete
  8. නංගි ඉන්නකල් මේ අක්කා ගොඩ...
    මොනා වුණත් වැඩේ හැඩයි....රහත් එහෙමම ඇති...
    ලිවිල්ල ඔක්කොටම වඩා රහයි

    ReplyDelete