Monday, June 26, 2017

ඇය

අකුරු එක දෙක එකතු වෙලා හැදුන වචන. වචන එක දෙක එකතු වෙලා හැදුන පද. එහෙම පද තුන හතර එකතු වෙලා හැදුන පේළි. ඒ පේළි එකින් එක එකතු වෙලා හැදුන කවි. ඒවා හරි පුදුමාකාරයි. ගුප්ත බලයක් කා වද්දලා තිබුණ ජීවමය පානයක් වගේ. එ්වායින් බිඳුවක් තොල ගාන්නට ඇයට වයින් විදුරුවක් අතට ගන්නවාටත් වඩා අාශාවක් තිබුණා. ඒ ගෙවුණ හැම තත්පරයක්ම ඒ අශාවෙන් ඇය පෙළෙමින් හිටියා. එත් එකම දවසකවත් ඇය වයින් රස බලලා තිබුන්නැ කියන්නත් ඇය දැනන් හිටියා. එත් එ වෙනුවට සදාකාලිකවම වෙලාගත් මත් බවක් ඇය සතුව තිබුණා. ඒ මත්බව ඇයට එක් වයින් විදුරුවකින් ලබා ගත නොහැකි දෙයක්.

 ඇය බලාගෙන හිටියේ කවි ලියවිලා තිබුණ කොළ දිහා. සමහර කොළ තිබුණේ හුලගේ නට නටා. හුළග ආවේ ඇරලා තිබුණ කවුළුවෙන්. ඒ මත තැබු බර නොවන්නට මෙලහාකටත් මේ කඩදාසි සියල්ලම ඒ හුළගත් එක්කම ඉගිල්ලිලා ගිහින් නේද කියලා ඇය හිතුවා. එත් කවුළුව අඩවල් කරන්නවත් සම්පුර්ණයෙන්ම වහලා දාන්නවත් ඇයට උවමනා උනේ නෑ. කොළ මත වු කැටයම් සහිත වීදුරු පදාසය ඉවත් කරලා හිස් කොළ වලට හුළගේ පාවෙලා යන්න ඉඩ හදන්න ඇයට ඕන උනා. හුළඟත් එක්ක කොළ පා වෙලා යන හැටි බලන් ඉන්න ඕන උනා. එහෙමත් නැත්නම් මේ කඩදාසි වලින් ඔරිගාමි නැව් හදන්න ඕන උනා. එත් එහෙම හදන නැව් පා කරන්න වහිනකම් බලන් ඉන්න ; ඒක විශාල කාලයක් විය හැකියි. දැන් තත්පරත් ගෙවී යන්නේ ගාට ගාටා.  ඔරිගාමි නැව් නැත්නම් ඔරිගාමි රොකට් හදන්න පුළුවන් නේද කියලා ආයෙමත් ඇය කල්පනා කෙරුවා. ඒ හැම රොකට් එකක්ම කවුළුවෙන් ඇතට පා කර හරින්නත් ඒ දිහා බලන් ඉන්නත් ඇයට උවමනා උනා. එ් විදිහට ඒ උවමනාවල් මහ ගොඩක් ඇය හිතේ පසෙකින් ගොඩ ගහලා තිබ්බා.  ගොඩ ගහපු ඒ උවමනාවල් දිහා ඇය ටික වේලාවක් බලා හිටියා. එහෙම බලන වේලාවට ඇගේ බෙල්ල දකුණු පසට බර වෙන එක සිද්ධ වුනේ ඉබේටමයි. කවමදාවත් ඉටු නොවී ඒ උවමනාවල් ඇගේ හිතේ ගොඩ ගැහුණේ ඒ විදිහට. ඉටු නොවුනු උවමනාවල් එකින් එක අග ඉදන් මුලටයි මුල ඉදන් අගටයි පෙළ ගස්වන්න ඇට තිබුණේ පුදුම හැකියාවක්. දහස් ගාණක් වු බලාපොරොත්තුයි දහස්ගානක් වු උවමනාවල් කන්දයි ඇය එකින් එක පෙළ ගැස්සුවා. අයිස් ක්‍රීම් එකක් තොල ගාන උවමනාව, කෝපි කෝප්පයක් තොළ ගාන උවමනාව, එහෙමත් නැත්නම් උයපු එළවලු වෙනුවට තම්බපු එළවළු විතරක් කන්න තිබුණ උවමනාව, බිත්තර ඔම්ලට් එකක් එක්ක උදේට පාන් පෙති දෙකක් ගිලිණ උවමනාව, පෙළ ගස්වපු උවමනා අතර සමහර අශාවලුත් ඇවිත් හිට ගත්තා. ඒ වෙලාවට ඇය කරබාගෙන හිටියා. මේ උවමනාවල්වත් ඒ අශාවල්වත් ඉටු නොවන බව ඇය දැනන් හිටියා. එකට ලොකුම හේතුව ඒවා ඉටු කරගන්න තරම් උවමනාවක් ඇයට නොතිබුණ එක. සමහර විට මේ විදිහට කවුළුව ලඟ පඩියේ ඉඳගෙන ඉන්න එක විතරක්ම ඇයට උවමනා උනා. ඒ තුළින් ඈත බලාගෙන විටෙක පුංචි වෙන විටෙක මහත් වෙන රුප ඇය රස වින්දා. සමහරක් විට ඒ උවමනාවල් හැම එකක්ම ඒ විදිහට චිත්ත රූප විදිහට මතු වෙලා පිරිමැහෙන්න ඇති. ඇගේ බලාපොරොත්තු ලේඛනයේ මුලින්ම තිබ්බේ කවදා හරි දවසක ඒ පුංචි දවසේ වගේම කජු ගහේ බැඳලා තිබුණ ඔන්චිල්ලාව පදින එක විතරමයි. ඔන්චිල්ලාව උඩ යනකොට හිතේ තියෙන අශාවලුයි උවමනාවලුයි අනිත් බලාපොරොත්තුයි බිම ට දාන්න පුළුවන් නේද කියලා ඇය කල්පනා කළා. ඇයට ඕනේ උනේ හිතන්න පුංචි දා වගේම ඔන්චිල්ලාව කොයිම මොහොතක හෝ වළාකුළක් උඩ රැදෙයි කියලා. ඇය ඒ විදිහටම හිතුවා. ළයට හුළං පුරෝගෙන වා තලයට පිඹින ගමන් ඇය හිතුවා ඇගේ ගැළවීම තියෙන්නේ පා වෙන වළාකුලක් මත කියලා.

ඇය ලිවීම නතර කරලා හුගාක් කල් ගත වෙලා තිබුණා. එත් සමහර වචන ඇවිත් ඇය ඉස්සරහම හිට ගත්තා. ඒ වචන වල තිබුණේ මහ ගුප්ත මයාවල්. එත් එ් වචන වලින් මවන මයාවල් එකකටවත් බැරි උනා ආයෙමත් ලියන්න ඇයව පොළඹවන්න. ඒ වෙනුවට ඇය හුඟ දවසකට කලියෙන් අකුරු ගොඩ ගහපු කොළ ටික මෙසේ උඩට ගත්තා. හිමින් සිරුවේ හැම කවියක්ම, හැම පේළියක්ම, හැම පදයක්ම, හැම වචනයක්ම, හැම අකුරක්ම කියෙව්වා. ඇයට වෙහෙසක් දැනුන්නැ. පිපාසයක් දැනුන්නැ. ඇය හිටියේ මත් වෙලා එහෙමත් නැත්නම් ඇගේ තොල් වලට උවමනා වෙලා තිබුණා තෙතමනයක් සහිත උරාබීමක්. ඇගේ ඒ තොල් වේලිලා තිබුණේ. ඇය ඒ බව දැනන් හිටියා. ඒ හරියටම මිට අවුරුදු  දෙකකට උඩදී ඇගේ මධුසමයෙනුත් සතියකට පස්සේ.

" ඔයාගේ තොල් වෙලීලා, එන්න ඒවා තෙමන්න"

ඒ තොල් ඒ විදිහටම තිබුණාවේ. ඇයට ඒ විදිහට කියන්න ඕන කම තිබුණා කොච්චරවත් ඒ වචන හිතේ ඉදන් නැගිටගත්තා. එත් ඒ වචන හිතේම හිතේම හිතේම විතරක් පැතිරිලා තිබුණා සදාකාලිකවම. ඊට පස්සේ ගතවුන සහ ගතවෙන හැම විනාඩි පහකට සැරයක් ඇය දිවෙන් තොල් තෙමා ගන්න පුරුදු වුනා ඒ තොල් වල මතුවන ඒ වියළි බව වලක්වන්න. ඇයට කළ හැක්කේ එපමණක් ඔව් එපමණක් බව ඇය විශ්වාස කරන්නට පටන් ගත්ත දවසේ ඉඳන්ම.  ඒ අදහස කොහෙන් කොහොම ආපු එකක්ද කියන එක ඇයට වැටහීමක් නෑ. ඇයත් නොදැන උන්නට සමහර විට ඒ එදා ඇගේ කසාදය දා රාත්‍රීයේ හෝටලේ කිරි ගරුඬ බිත්ති අතරින් දිගු වෙලා ඇවිත් තමන්ව බදා ගන්න හදපු ඒ ඔහුගේ අත්, සුදු සීලිම අස්සෙන් මතු වෙලා කඳුළු සැලුව ඔහුගේ ඇස්, එහෙමත් නැත්නම් විදුලි ගෝලාවෙන් නිකුත්වුනු මද ආලෝකයත් එක්ක මුහුවුණු ඔහුගේ දුක්බර හිනාව, ඒ හිනාව මුණේ ඇඳුනේ රෝස මල් සුවඳ දුන්න සුදු පාට යහනේ උඩුකුරුව ඇය දිගා වෙනකොටමයි, ඔය කොයික හරි ඒ අදහස ඇගේ හිතට කාවද්දන්න ඇති. තමන් ලඟින්ම හිටිය ජීවියාගේ හුස්ම එක එක තාලේට වෙනස් උනා ඇය අහන් හිටියා. වේලාවක ඔහුගේ හුස්ම ඇයට තමන් අසලින්ම තම සවන අසලින්ම ඇහෙන්නට උනා. තවත් විටෙක ඉතාම ඇතින්, ඒ වෙලාවට ඇය හිතුවේ ඇය මෙහි හුදකලා උන බව, තමන් දෙසම සීලිම තුලින් මතු වී බලා හිදින ඒ රුව ඇය හඳුනගත්තා. ඒ රුව දිහා ඇසිපිය නොහෙලා ඇය බලා හිටියා. ඇගේ ඇස් පියවුනේ අසංක ඇගේ ඇස් වලට එඹුන මොහොතේ දී. ඔහු කොඳුරන්නට උනා. පැහැදිලි නැති හඬකින්. ඇයට තේරුමක් තිබුණ්නැ වගේම ඇයට හිතන්න උවමනාවක් තිබුණේත් නෑ ඔහු පිනමින් සිටි ඔහු කියමින් සිටින ගංඟාව ගැන. මේ වෙලාවේ ගංගාවක් ගැන නන් දොඩවන්න ඔහුට පිස්සු වෙන්න ඕනැ, තමන්ට කසාද බදින්න උනේ පිස්සෙක් ද කියලා ඇය ඒ වෙලාවේ කල්පනා නොකළේ ඇගේ මුළු හිතින්ම සිලීමෙන් මතු වුන රුපය ගැන ඇය කල්පනා කරමින් සිටි නිසා එත් ඊට පස්සෙන් පහු හුගාක් වේලාවට ඇය එහෙම හිතන්න පුරුදු වෙලා හිටියා. අසංගට පිස්සු වග.

කාමරේ හතර කොනම පිරිලා තිබුණේ තනිකම. එතනින් එහාට තිබුන ආලින්දය, ආලින්දය පහු කරලා කෑම කාමරයට එබුණාමත්, අඩුම තරමේ කොරිඩෝවට අඩිය තිබ්බාමත්, එතිනින් එහාට  මිදුලෙත් තිබුණේ ඒ පාළුව විතරමයි. මිදුලේ තැනින් තැන විසිරිලා තිබුණ කොළ පෝටිකෝව මතට කඩා වැටුණේ හුළගත් එක්කම පාළුව කියන වචනේත් කර පින්නගෙනමයි. තමන් ගෙයක් මිදුලක් අතුගාගන්න බැරි ගැණියක් වුණේ කොහොමද කියලා ඇයට මතකයක් නෑ. එක ඇයට හිතන්න කාරණයකුත් නෙවෙයි. පොඩි පුතා ඉදලා ඉදලා කර ගැහුවේ ගෙයක් දොරක් අතු ගා ගන්න බැරි ගැණියෙක්ටය කියලා නැන්දාම්මාගේ කැඩුණු කටෙන් පිට වෙන වචනවත් ඇයට ඇහුණේ නෑ. ඇහුනත් නැහුණා වගේ ඉන්න ඇය දන්නවා.

මේ වෙනකොට හරිනම් ඇය නිල් පාට කොට්ට උරයක හරි රෝස පාට ඇතිරිල්ලක වාටියක් හරි මහමින් ඉන්න ඕනේ නැන්දාම්මා හිතුවේ එහෙම. දම්වැල් මැස්මත් කතිර මැස්මත් එකට එකතුව ඇගේ ජිවිතේ එක්කාසු කරලා මැස්මක් මහලා තිබුණා.  ඇය ඒ අතරින් කඩ ඉරි මැස්මක් මහන්න කිසිම උත්සහයක් ගත්තේ නැහැ. නැන්දාම්මාගේ හිතුවිලි ගැනවත් රෝස පාට ඇතිරිලි ගැනවත් නිල් පාට කොට්ට උර ගැනවත් ඇය හිතන්න ගියේ නෑ. අඩුම තරමේ තමන් ඉහ තියන කොට්ට උරේ පාටවත් ඇයට මතක නෑ. ඇය මාස ගානකට කලින් යට තට්ටුවේ කාමරයක් තමන්ගේ නමින් වෙන් කර ගනිද්දි අතට අහු උන කොට්ටේ අරගෙන පහලට බැස්සා කියන්නත් අැයට අමතකයි. ඇය වඩාත්ම කලබල උනේ ඒ කොට්ටය මත ඇදෙන විවිධ රටාවන්ට දැකලා. එත් ඇයට හිතන්න පුළුවන් කම තිබුන්නෑ ඒ තමන්ගේ ඇස් වලින් කඩන් වැටෙන කඳුළු වල පැල්ලම් කියලා. ඇගේ පහළ තට්ටුවට සිදු වු ආගමනයක් එක්ක ඇය සියලු වේදනාවන් සංසිදවලා තිබුණා කියන්න ඇය සිතුවිලි එකතු කර ගත්තා. එත් සමහර දාට ඉහළ තට්ටුවෙන් ඇහෙන ⁣⁣හිනා හඬ, ඒ සිතුවිලි ගොන්නම එකකට එකක් ඉතිරි නොකර පුළුස්සලා දානවා.

ඉහළ තට්ටුව ඇයට අත්භුත ලෝකයක් වෙද්දී ඇය පහළ තට්ටුවේ කවුළුව ලඟ ඇයට ජිවිතයේ සිහිනයන් මැවෙන්න ගත්තා. ගත වෙච්ච හැම උදැසනකමත්, හැම හවස් වරුවකමත් ඇය හිටියේ මේ කවුළුව ලඟ. සමහර විට උවමනාවෙන් මේ දිහා බලපු කෙනෙකුට නම්  මේ දසුන සාමන්‍ය එකක්. කවුරුවත්ම දැන ගත්තේ නෑ ඇය ඒ විදිහටම කවුළුව ලඟ මහා රෑයක් උනත් ගත කරන වග. එහෙම රැයක් නොනිදා ගත කරපු දවස් වලට ඇය උදේ ම ඉහළ තට්ටුවට ඇදෙනවා. ඇයට ජනෙල් කවුළු ඇරලා නැවුම් වාතයෙන් ඉහළ තට්ටුව පුරවන්න උවමනා උනත්, ඇය කරන්නේ ඉරි කමිසයක් මත පැටළුන දිගු කළු කෙස් ගහක් හොයන එක. ඊටත් පස්සේ තෙත සුදු පාට තුවා නමන එක. කොටු කොට්ට උරයක් තියෙන කොට්ටේයි ඊටම මෙහා පැත්තේ තියෙන මල් මහපු තැඹිලි පාට කොට්ටෙයි පිළිවෙලට ති⁣යන්නේ ඊට පස්සේ. කොටු කොට්ට උරයක් සහිත අනික් කොට්ටය මේ වෙනකොට කඳුළු කහටින් දුර්වරණ වෙලා පහළ තට්ටුවේ ඇගේ ඇඳ මත තිබුණේ. එ් කොට්ටය මෙහි තිබිය යුත්තක් කියන්න ඇයට මතකයක් නැහැ. එහෙම නැත්නම් වගක් නැහැ.  ඇඳ පෝරවන නහයට ලං කර ගෙන විනාඩි ගනනාවක කල්පනාවක ඇය තනිවෙනවා. ඊටත් පස්සේ නවා දමන පෝරෝන කොට්ට යටට ගුළි කරන ඇය ඒ මත ම හිස තියාගෙන ඇල වෙනවා.

ඒ වෙන කොටත් ඇය කණ්ණාඩි මේසය මත ඉහිරුණ පුයරත් පිහදාලා මුඩිය වසා නොතිබුණ සුවඳ  විලවුන් කුප්පියෙ සුවඳ ඉව කරලා අවසන්. පනා මත පැටලිච්ච කෙස් ගුළිත් අයින් කරන ඇය පෙරළුන ලිප්ස්ටික් පිළිවෙල කරලත් අවසන්. ඇගේ දිගු සුසුමක් අවසන් වෙන්නේ මේ සියල්ලටම අනතුරුව. ඊටත් පස්සේ ගත වෙන තත්පර විනාඩි වලටත් පැය වලටත් පෙරලෙන්නේ ඇගේ සුසූම් සුළඟින් වාරු ගෙන කඳුළු ගඟක හබල් ගාමින්. සියල්ලම නිමා වෙන්නේ ඇය ඇගේ දැසටත් හොරා සිහින දකින්නට පටන් ගත් විටයි.

බිත්ති අතරින් දිගු වෙලා ඇවිත් තමන්ව බදා ගන්න හදපු ඒ ඔහුගේ අත්, සුදු සීලිම අස්සෙන් මතු වෙලා කඳුළු සැලුව ඔහුගේ ඇස්, එහෙමත් නැත්නම් විදුලි ගෝලාවෙන් නිකුත්වුනු මද ආලෝකයත් එක්ක මුහුවුණු ඔහුගේ දුක්බර හිනාව එදා වගේම අදත් සිහිනයක් අතරින් ඇය වෙතට ලං වෙනවා.සිහිනයේ අවසන ඇය ආයෙමත් පහළ තට්ටුවේ කවුළුව අසළ ගුළි ගැහෙනවා. 




ඇගේ වචන වලින් හැදුන කවි දිහා ඇය ආයෙමත් වතාවක් බැලුවා. හුළගේ නට නටා තිබුණ සමහර කොළ වලට නිදහසේ පා වෙලා යන්න ඇය විදුරු පදාසය අයින් කළා ඇයට උවමනා උන විදිහටම. හුඟාක් ඇතට පා වෙලා යයි කියලා හිතපු කවි කවුළුව අද්දරම තණ බිස්ස මත පතිත වුනා. හුගාක් කවි මේසය මතම නතර වුනා. නතර වුන කොළ වලින් ඇය ඔරිගමි රොකට් හැදුවා. අතේ විතරක් නෙවෙයි හිතේ විරියෙනුත් ඔරිගාමි රොකට් කවුළුවෙන් ඈතට වීසි කළා. බිම පතිත වුන කවි වලට නුදුරෙන්ම ඔරිගමි රොකට් බිම පතිත වුනා. ඇයට දැනේන්ට වුනේ අප්‍රාණික බවක්. කුස්සියෙන්, මැද සාලයටත්, මැද සාලයෙන් ඇගේ කුටියටත් බලෙන්ම ඇතුළු වෙච්ච තනිකම ඇගේ ගෙල මුල හිර කරලා තිබුණා. තණබිස්ස මත තිබුණ කොළ වලින්, ඔරිගමි රොකට් වලින් නැගිටගත් කවි, කවි පේළි, වචන, අකුරු අමුතුම හැඩෙකට පෙළ ගැහිලා කවුළුවෙන් ඇගේ කුටියට ආයෙමත් රිංගගත්තා. තනිකම වචනේ අග්ගිස්සේ එල්ලුන කවි, කවි පේළි, වචන, අකුරු ටිකෙන් ටික ඇගේ හුස්ම හිර කරන්නට උනා. ඇය හිටියේ මත් වෙලා. ජිවිත කාලයම වෙලා ගෙන තිබුණ මත් බවින් ඇය මත් වෙලා හිටියේ. තව දුරටත් හුස්ම ගන්න උවමනාවක් ඇය තුළ තිබුන්නෑ මළානික බව තුළ ගිලෙන ඇස් දිහා ඇය එකම එක පාරක් බැලුවේ කාමරේ කොණට වෙන්න බිත්තියේ තිබුණ උස කණ්ණාඩියේන්. ඇයට හිනා වෙන්න උවමනා උනා. ඒ උවමනා උන විදිහටම ඇය හිනා උනා. ඇය ඇගේ හිනාව කිසිදාක හැබැහින් නොදුටු ඒ මළානික හිනාවත් එක්ක අවසන් මොහොතේදි ගලපන්න උත්සහ කළා.ඒ එකම එක නිමේෂයක්, ඇගේ ඇස් පිය වැහෙන, ඇරෙන එක මොහොතක්, ඇය දුටුවේ කණ්ණාඩිය තුළින් ඒ ඇස්. කවදාවත් නොදුටු ඇස් මත පිරිලා තිබුණේ ආදරය කියලා ඇය හිතන්න අරන් තිබුණේ දැන් හුඟ කාලේකට කළින්. ඒ ඇස් වලට අවංකව ආදරේ කරන්න බැරි වේවි කියන වේදනාව මේ වෙද්දි ඇගේ හිතින් තුරන් වෙලා තිබුණේ. කවියක තිබුණ මත් බවින්ම ඇය ඒ ඇස් ඇතුලේ ගුළි උනා. ඇය ඇසිපිය නොහෙලා බලාගෙන ඉද්දිම කණ්ණාඩිය තුළින් මතු වෙච්ච ඒ ඇස් ඇයව ඒ ඇස් මතම තුරුල් කරගෙන ඇස් පියාගත්තා. ඒ වෙනකොටත් ඇයට ආයෙමත් ඇස් පිය ගහන්න අමතක වෙලා තිබුණා. 

7 comments:

  1. යාත්‍රා. මේකනම් අපූරු නිර්මාණයක්. කවිය හා ජීවිතයක් ගැළපීම නව ලෙසකින්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ජිවිතේ හරහා යාත්‍රා කරාවගේ හැඟීමක් මට දැනුනේ... හරිම අපුරුයි ...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතී එරන්දී.

      Delete
  3. නියමයි අනේ... හුස්මට කියවගෙන ගියා...මේ හැබැයි නෝනේ අලුත් පෝස්ට් එකක් දාන්න කලින් ඊට කලින් දාපු කමෙන්ට් වලට උත්තර බඳින එක යුතුකම හරිය කියවන අය පව්නේද නැතන්

    ReplyDelete
    Replies
    1. හී හී අනේ ඉතිං සමාව භජනය කරන්න ඕනේ ඔන්න ඉතිං දැම්මා. දැම් ඉතිං හුඟාක් ප්‍රශ්න හරි. ඉක්මනට කමෙන්ට් කොටලා මම යනවා අනිත් බ්ලෝග් කියවන්න හුඟක් තියෙනවා කියවන්න මට ටටා ඈ ආ ස්තුතීයෝ

      Delete