මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Monday, September 10, 2018

පුදුම ය.

ඒ විදිහට ඇස් පුංචි කරලා එයා හැදුවේ හිතේ කැමැත්තක් තියෙන බව දනවන්න වෙන්න ඕන. ඕනාවටත් වඩා පුංචි වෙච්ච ඇස් දෙකට මත් වෙච්ච ගතියක් එකතු කර ගන්න එයා කට කොනින් හිනාවකුත් හදා ගත්තා. ඒ එක්කම යටි තොල පෙරලිච්ච හින්දා කොච්චර උත්සහ කලත් ඒ බැල්ම සරාගී බැල්මක් උනේ නෑ. ඒක මහ විකාරරූපී බැල්මක්. එහෙම බැල්මකට ගැණියෙක් වසඟ කරගන්න පුළුවන්ද? හග්. එහෙම අහුවෙන ගැණුත් ඇති. මම එහෙම ගැණියක් නෙවේය කියලා මටම මුමුණ ගද්දි හීන් හිනාවක් මගේ තොල් අතරේ රැදුනා. ඒක නිකම්ම නිකං හිනාවක් නෙවෙයි. ඕනම පිරිමියෙක්ගේ හිත ඇඳිලා එන විදිහේ හිනාවක්. පිරිමියෙක් නෙවෙයි ගැණියෙක් උනත් අහපහු හැරිලා බලන විදිහේ හිනාවක්. වෙන කරන්න දෙයක් තිබුන්නෑ. අද දවසට හම්බෙන්නේ මෙච්චරයි. තවත් බලාගෙන ඉන්න එකේ තේරුමක් නෑනේ. පාරෙන් එහා පැත්ත මහ අඳුරේ ගිලෙමින් තිබුණේ. තව ටිකකින් ඒ අඳුර මේ දක්වාම පැතිරෙනවා. මේ ප්‍රේමවෘත්තයක් ගොඩ නගන්න ආපු ගමනකුත් නොවෙයිනේ.

අඩක් වයින් පුරවපු වීදුරුව මේසය උඩ ඔහේ තියෙන්න ඇරියා. ඒ වෙලාවේ බොන්න උවමනාවක් තිබුන්නෑ. තිබුන්නෑ ම නෙවෙයි හිතේ අශාවන්ට වහල් වෙලා මේක රස්සාවක් විදිහට කරන්න බෑනේ. හැම මෙහොතකම හැම වේලාවකම ඕනම දේකට සුදානම් වෙලා ඉන්න ඕන. හිතේ හෝදිසිය තියා ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි බයෙන් සැකෙන් හිත පුරෝ ගන්න ඕන. විශ්වාස කරනවට වඩා අවිශ්වාස කරපුවාම වාසි වැඩියි. ගැණු උනහම හැම වේලාවේදිම තමන් ඉස්සරහා ඉන්න මිනිහාව අවිශ්වාස කරන්න පුරුදු වෙන්න ඕන. මම මිනිහය කිව්වේ ගැණු පිරිමි භේදයක් නැතුව. මොකද වෙනස් ලිංගයක් අරන් ඉපදිච්ච පිරිමින්ට වඩා එකම විදිහේ ලිංගයක් තිබිච්ච ගැණු ගැණුන්ට කතන්දර හැදුවා.ඉරිසියා කළා. වෛර කළා. ආයෙමත් ඒ ගැණුම ගැණුන්ට අනුකම්පා කළා. හැම ගැණියක්ටම තිබුණේ බුමරංග වගේ හිත්.

ඇස් වල තිබුණේ සියුම් නොරිස්සුමක්. හරි හමන් පිරිමියෙක් නම් ඒ නොරිස්සුම් සහගත බව අඳුන ගන්න ඕන. ඒ නොරිස්සුමට යටින් හැංගිච්ච නොසංසුන් කමක් තිබුණා. ඒ නොසංසුන්කමේ අරාධනාවක ස්වරය ගැබ් වෙලා තියෙනවා කියන්න මම දන්නවා. ඒ නොසංසුන්කමට රැවටිච්ච පිරිමි ගැහැණු මම දැක්කා. හරියට ඉටිපන්දමක එළියට මෙලෝ සිහියක් නැතුව පියාඹන් ඇවිත් තටුපුච්ච ගන්න මේරුවෝ වගේ. ආයෙමත් හීන් හිනාවක් මගේ තොල් අතරින් මතු වෙනවා මට දැනෙනවා.

ඌ පලපුරුදුකාරයෙක් නෙවෙයි, ඒ බැල්මේ ඉදන්ම තිබුණේ හරිම ආධුනික බවක්, ලාමක බවක්. මහ හිස්කමක්. ඒ හිනාව දැන් පුහුණු වෙච්ච එකක් ගානයි. ඒ හැම දෙයක් එක්කම විකාර රූපයක් මුණේ ඇදිලා තිබුණා. ඒ බැල්මත් හිනාවත් ඇරෙන්න වෙන කිසිම ප්‍රතිචාරයක් තව දුරටත් බලාපොරොත්තු වෙන්න බෑ. ඕනම දේකට ඔට්ටු හිතක් තිබිච්ච නිසා මට ඔහු වෙතට යන්න උනා. තියන පියවරක් පියවරක් ගානේ බලාපොරොත්තු පිරිච්ච නුපුරයක් ලස්සන ස්වරයක් ඇල්ලුවා. ඒ තාලෙට සුළඟත් එක්ක එක්කහු වෙලා මම ඉස්සරහට පියැඹුවා. කෙළින්ම ඔහු ඉස්සරහා පුටුවෙන් වාඩි වුනා. එකම එක බැල්මකින් කියපු දේ ඒ අදහස ඔහුට තේරුණා වෙන්න ඕන. එත් ඒ මිනිහා හදිසිකාරයෙක් නෙවෙයි. ඒ නුපුරුදු බව වෙන්න ඕන. එත් එහෙමයි කියන්නත් බෑ. සමහර විට මෙහෙම රෙස්ටුරන්ට් එකකට ආව පළවෙනි වතාව වන්න ඇති. එහෙම හිතද්දි නම් මට පොඩි තිගැස්මක් දැනුනා. ඒ ගැස්ම වැඩි වුණේ ඔහුගේ මුණ තවත් සමීපව විදුලි එළියෙන් දකිද්දී. මලානිකයි. පාණ්ඩුපාටයි. එත් කරන්න දෙයක් නෑ. හීන නුපුරයක් මගේ කකුලේ ඇමිණි ඇමිණි තිබ්බා. දැන් දැන් නම් එයින් නැගෙන සද්දේ මහ වදයක් වගේ දැනෙන්න ගත්තේ. තවත් තව ඒ තිගැස්ම වැඩි වුණා. මම කිව්වා වගේම ඌ හදිසිකාරයෙක් නෙවෙයි. එහෙම උනා නම් දැනටමත් හැම දෙයක්ම ඉවර වෙලා වෙනදා වගේම මේ දේවල් ආයෙමත් සමාන්‍ය තත්ත්වයට පත් වෙලා ඉවරයි.

අන්තිමේදි අපි මිතුරු වෙමින් හිටියා. ඔහු බීමට ඇනවුමක් දුන්නා. ඔහුගේ විකාරරූපි බව ටිකෙන් ටික ඈත් වෙමින් තිබුණේ. කරුණාවන්ත මිනිහෙක්. එහෙම එක පාරටම තින්දුවකට එන්න බැහැ තමයි. ඒත් තව පරක්කු උනත් මට එළඹෙන්න තිබිච්ච එකම නිගමනේ උනේ ඒක. අපි හිටියේ අතීතයට පිය මනින ගමන්. මේ වගේ හමුවීමක ඒක අනිවාර්ය දෙයක්නේ. තමන් ඉස්සරහා ඉන්න පිරිමියා අතීතයේ සැරිසරන්න පටන් ගන්නවා කියන්නේ බොහොම ඉක්මණට මට අවස්ථාවක් ලැබෙනවා කියන එක. ඒක මම දන්නේ අත්දැකිමෙන්. මෙහෙම පිරිමින්ට ගොඩක් වෙලාවට තිබුණේ තමන්ගේ ගෑණි අධිපති බව දරපු පවුලක්. පවුල් ජිවිතයක්. එහෙමත් නැත්නම් තමන් සර්ව සාධාරණ බෝධිසත්ව චරිතයක් වෙද්දී ප්‍රේමයෙන් පැරදිච්ච අතීතයක්. මේ මිනිහා තෝරගෙන තිබ්බේ ඔයින් දෙවැන්න. සමහර වේලාවට හුඟාක් මිනිස්සු කියන්නේ ඒ වේලාවේ තමන්ම හදා ගත්ත කතාවක්. ඒ අතින් පිරිමි හරිම නිර්මාණගීලි. හැම කතාවක්ම එක වගේ දැනුනට ඒ ඒ පුද්ගලයන්ට ආවේණික වෙච්ච වෙනස්කම් වලින් පිරිලා තිබ්බේ.
දැඩි ප්‍රේමයක් නිසා හරි එහෙමත් නැත්නම් අමතක කරන්න බැරි වෙනත් මොකක් හෝ හේතුවක් හින්දා ඔහු වෙහෙසට පත් වෙලා ඉන්න බවක් දැනුනා. මට මුණ ගැහිච්ච හුගාක් පිරිමින්ට වඩා ඔහු වෙනස් කියන හැඟිම හිතට ආවත්, ආයෙමත් ඒ හැඟිම යටපත් වුණේ මාව දැකලා පුරුදුයි හුරුයි කියනවත් එක්කමයි. ඒ කතාව මම ඕන තරම් අහලා තිබුණා. එත් එහෙම කියපු පිරිමින්ව විතරක් නෙවෙයි ගැණුන්වවත් මට කලින් හම්බෙලා නෑ. ඕක තමයි තමන්ගේ වාසියට මිනිස්සු පාවිච්චි කරන ලාබාලම වචන ටික, මට ඔයාව හුරුයි කියන එක.

ඒ වෙද්දි අපි හුඟක් මිතුරු වෙලා හිටියා. එහෙම හදිසියේ ඇතිවෙන මිතුරුකමකින් හුඟක් පිරිමි හෙව්වේ පැය ගාණක ලිංගික හිමිකමක්. ඊට සුදානම් බව අගවන පමාවට උන්ට ඕන වෙන්නේ නිදහස් තැනකට යන්න. ඒ අතරතුදී තමයි මට වේලාව ලැබෙන්නේ. ඒත් අද කිසිම දෙයක් සමාන්‍ය නෑ. ඔහු තාමත් තමන්ගේ අතීතයේ එල්ලිලා ඉන්නවා මිසක වෙන දෙයක උවමනාවක් තිබුන්නෑ. තමන්ගේ මිය ගිය පෙම්වතිය ගැන කියවමින් හිටියේ ඔහු අන්ධ භක්තිකයෙන් වගේ ප්‍රේමය අදහමින් ජිවිත් වෙනවා කියලායි මට හිතුනේ. කොහොමටවත් පුද්ගලයෙක්ව අතීතයෙන් අපේ ඉතිහාසයෙන් ගලවලා දාන්න බැහැනේ. මට ඔහුට කියන්න තිබුණේ දැන් අවුරුදු දෙකකට කලින් රිය අනතුරකින් තාත්තයි මගේ සහෝදරයයි මිය ගිය පුවත විතරයි. ඒක ඔහුට ලොකු කම්පනයක් උනේ නෑ. වෙන පිරිමි වගේ මාව සනසන්න ඕන උනේත් නෑ. මමත් එහෙම සැනසීමක් බලාපොරොත්තුවෙන් කිව්ව දේකුත් නෙවෙයි. නිහඬව ඉන්න බැරි තැනකදි කිව්වා විතරයි.

තත්පරෙන් තත්පරේ හැමදේම වෙනස් වෙනවා. හරි නම් මම මීට පැය කිහිපයකට කලින් සැලසුම් කරපු විදිහට සියල්ල ක්‍රියාත්මක වෙන්න තිබුණා. ඔහුට අනුකම්පා කරන එක මුලින්ම නවත්තන්න ඕන. මට මෙතනින් පිට වෙන්න ඕන කිව්වාම එයා නැගිට්ටා. එත් ඔහුගේ අතීතය විසින් ඔහුව මත් කරවලයි තිබුණේ. මම ඕන තරම් පිරිමින්ට වාරු වෙලා තියෙනවා. ඒත් මගෙන් කිසිම දෙයක් හුරගන්න බලාගෙන නැති පිරිමියෙක්ව පළවෙනි වතාවට වාරු කර ගත්තා. ඔහුට කෙසේ වෙතත් මට ඔහු බලාපොරොත්තු ගොන්නක්. මම ඔහුව ඒ වෙතට අරන් යා යුතුයි.ගනේ. ඔහු ඒ සඳහා සුදානමින් උන්නේ. එ්ත් ඔහුට කිසිම ඉවක් තිබුන්නෑ. පාර තිබුණේ අන්ධකාරේ ගිලෙමින්. කලබලෙන් එහෙම මෙහෙ යන මිනිස්සු මග ඇරලා වල් බල්ලෙක් පුසෙක් විතරක් අරක් ගත්ත වීදියකට මම ඔහුව එක්ක ආව. පිටි පස්සේ කලිසම් සාක්කුවේ තිබ්බ ඒ මිනිහාගේ පර්ස් එක ගන්න එක අමාරු දෙයක් නෙවෙයි. ඒකට වැඩිය හිතන්න ඕන නෑ. පුරුද්දෙන්මයි ඒ දේවල් උනේ. තවත් මට ඔහුව බරක් කර ගන්න උවමනාවකුත් නෑ. වෙරි මතින් මගේ උරහිසට ඔළුව බර කර⁣න තමන්ගේ ආදරේ ගැන කියවන්න ගත්තා. පැය ගානක මගේ මහන්සිය ප්‍රතිඵල ලබන්නේ ඒ විදිහට. මම ඔහුව එතන ඒ විදිහට බිමට අත ඇරලා එද්දි ඒ මනුස්සයා දොඩව දොඩව උන්නේ එයාගේ ආදරයයි මගේ හිනාවයි අතර තිබිච්ච සමානකම් ගැන. මේක අනුකම්පා කරන්න වේලාවක් නෙවෙයිනේ. මම එහෙම අනුකම්පා සහගත උනා නම් මටත් අර හිත හොඳ ගැණිට වගේ හැමදාම බඩින් තමයි ඉන්න වෙන්නේ. එහෙම හිතෙද්දි නම් මේ කලබල මැද්දේ උනත් මට හිනාවක් නැගෙනවා.

නවාතැනට ගිහින් තවත් සැහෙන වේලාවක් යනකම් මට ඒ මනුස්සයාව අමතක වුණේ නෑ. එ්ත් දැන් ඒ දේවල් වලට හිත පුරුදු වෙලා හින්දා වැඩිය අයාසයක් නොකළත් ඔය දේවල් හිතෙන් මැකිලා යනවා. පුරුද්දක් විදිහට ඔහොම අරන් එන පර්ස් මම ඇරලා බලන්නේ පහුවදා උදේට. ඒකට ඉවසීමක් තියෙන්න ඕනනේ. එ්ත් මම ඇඳ උඩ වාඩි වෙලා මේ පර්ස් එක අතට ගත්තා. ඒක හිතට එකග නැති කාරණයක් උනත් මට ඒක ඇරලා බලන්න ඕන උනා. මේවා ගැණු හිත්. සමහර වෙලාවට තමන්ටම තමන්ව තේරුම් ගන්න අමාරුයිනේ. දුඹුරු පාට පර්ස් එක දිග අරිද්දි මට මගේ ඇස් අදහගන්න බැරි උනා. ඒක පුදුමයක්ද අහම්බයක්ද මොකක්ද කියන්න මම දන්නෑ. මේ වෙන දේ මොකක්ද කියන්නත් මම දැනන් උන්නෑ. මම පර්ස් එකත් අරන් පාරට දිව්වේ පිස්සියක් වගේ. මට ඕන උනේ ඒ මිනිහව දලා ආපු තැනට ඉක්මණින් දුවන්න. කොහොමද එහෙම වෙන්නේ මම මගෙන්ම ප්‍රශ්න කරත් ඒ ප්‍රශ්නෙට උත්තරේ තිබ්බේ මේ පර්ස් එකේ අයිතිකාරයා ලඟ. මම පාරේ අත ඇරලා දාල ආව ඒ මිනිහා ලඟ.දැනට අවුරුදු දෙකකට කළින් මැරිච්ච මගේ අයියාගේ පින්තුරයක් මේ මිනිහගේ පර්ස් එකේ තියෙන්නේ කොහොමද? දෙයියනේ, මට ජිවිතේ පළවෙනි වතාවට දෙවියන් සිහි වෙද්දි මම හිටියේ ඒ වීදියේ දුවමින් ඔහුව හොයමින්.

"දෙයියනේ එහෙම වෙන්නේ කොහොමද?"

11 comments:

  1. WOW WOW WOW !!!!!!!!!!!!!!!!!!! 100%

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඉයන් ගොඩක්. ලියන්න උත්තේජනයක් මේ වචන ගොඩක් වටිනවා ස්තුතී

      Delete
  2. එල ද බ්‍රා...
    ඉයන් උබත් හොයා ගන්න දේවල්.....ඉසුතුති මචෝ........

    ReplyDelete
    Replies
    1. ස්තුතී මෙන්ඩා. හැමදාම වගේම ❤️

      Delete
  3. දෙවියනේ එහෙම වෙන්නෙ කොහොම ද?

    ReplyDelete
    Replies
    1. ලියන මහත්තය බෑ කිව්වට මේ වෙලා තියෙන්නෙ?

      Delete
    2. ඒකනේ මේ වෙලා තියෙන්නේ

      Delete
  4. නියමයි , ඉයන් ගේ ඔත්තුවකින් ආවේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතී. දිගටම එන්න කියලා කියන අතරේ ආදරයෙන් පිළිගන්නවා යාත්‍රාවට ❤️

      Delete
  5. පපුව කඩා හැලුණා! හිත නම් තවමත් හරිම බරයි. තවමත්.......

    ReplyDelete
  6. ඉයන්ගෙන් පාර අහගෙන පරක්කු වෙලා ආවේ. විශිෂ්ඨයි.

    ReplyDelete

මගේ අප්පච්චිගේ "The last Call"

  එදා ඒ රෑ පුරාවට ඔබ, මට කතා කළ බව ඇසු විට අප්පච්චි, මම හිතනවා ඔබ මට  "රැවන්" කියන්නට ඇතිද? එහෙම නැත්නම් "පුතේ" කියන...