මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, August 21, 2018

අප්පච්චිට

ඔබ දෙස බලමි - නැංවෙන කඳුලක් පිසිමි
ළයටම තුරුළු වෙමි -  හිමිහිට හිස අත ගාමි
උරහිස වෙළෙමි -  දෑතින් ඔබ වැළඳ ගමි
හිනැහෙමි - මතකයට ඔබ ඇවිදින'යුරු දකිමි


පණ නැති වමත ගමි -  එහි රේඛා බලමි
දෛවයේ නපුරු තැන් දකිනෙමි - පසුබසිමි
වැළපෙමි - හඬමි දෙවියන්ටත් දොස් තියමි
සරදම් ජිවිතය විදවමි - ඉවස ගමි

විටකදි වැටෙමි - යළි නැඟිටිමි - හති අරිමි
හෙවණැළි හොයමි - ඔබ පසුපසදැයි සිතමි
නැති වග දනිමි - මතකය ගෙන දිග හරිමි
එහි ඔබ දකිමි - මම සුළැඟිල්ලක වෙළෙමි

උරහිස ගොරහැඬිය කිමදැයි නොවිමසමි
දන්නෙමි - දනිමි - මම එහි රැඳි බරක් වෙමි
ඔබ හිත කියව ගමි - එහි ගැඹුරත නිදමි
සෙනෙහස බෙදා නොදෙනෙමි - ඔබ බදා ගමි

තරු ඇති හැම තැනම සඳ ඇති බව දකිමි
මා යන යන තැනක ඔබ නොඑනා බව දනිමි
ඔබ ඉන්නා තැනට එබැවින් පියාඹමි
එනවිට  හිතේ තෙත මේ කුළකට බෙදමි

ආදරේ උතුරනා කටහඬ අසා ඉමි
කඳුලට ⁣⁣වෛර කරනෙමි - මම සිනාසෙමි
වැරදුන වචන ඇති - ඔබ පා ළඟ හිස තියමි
ගිනි ගෙන දැවෙමි - එනමුඳු ඔබ හද නිවමි

Thursday, August 16, 2018

නිර්මලා


" මේක මහ නරක කාලයක් විජේ,





මහ නපුරු හීන පෙනවා,.............
විජේ, ඒ හීන වල ඔයත් ඉන්නවා" 

ඇගේ කටහඬ නැවතිල්ලේ නැවතිල්ලේ කියවන හැටි අහගෙන ඉද්දී විජේගේ හිත ජෝතිගේ ගීතයක කොටසක් මුමුණන්න ගත්තා. 

"මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගේ පපුවට තද කරන්"

"සැනසීම සොයමි මගේ පපුවට තද කරන්"

විජේටත් නොදැනීම හිත එකම පදය දෙතුන් වතාවක්ම එකම තාලෙන් මුමුණනවා. විජේට දැනුනේ ජෝතිගේ හඬටත් වඩා තමන්ගේ හිතින් මතු වෙලා එන හඬේ ශෝකයක් තැවරිලා තියෙනවා වගේ. 

" අපිට අපේ ජිවිතේ කොහේ හරි වැරදුනා නිර්මලා" 
 
තමන්ගේ හඬේ තිබිච්ච ශෝකී බවට තවත් දුක කාන්දු වෙන විදිහට විජේ තමන්ගේ හඬ උගුරෙන් හිර කරගන්න ගමන් වචන වලට ලතාවකට පාවෙන්න ඉඩ ඇරියා. එහෙම පා වෙවී පා වෙවී නිර්මලාගේ කන් පෙති මතට පාත් වෙච්ච සමහර වචන වලට නම් නිර්මලාගේ ඇස් වලට ඉස්සරම කඳුළු උනනවා කියන්න විජේට අදටත් මතකයි. 

" නිර්මලා නිර්මල නැතැයි මා ඔබේ ලොවෙන් පිට මං කලා" 

තමන්ගේම වචන දෙක තුනක් උගුරේ හිර වෙනවා වගේයි විජේට දැනුනේ. ඒ එක්කම නිර්මලාගේ ඕනාවටත් වැඩි හිනාව දුරකථනය දිගේ ඇවිත් තමන්ගේ හදවත පසාරු කරගෙන යනවා දැනෙද්දී විජේ වම් අතින් පෙරළ පෙරල හිටපු ලිපි ගොනුව ලියන මේසේ උඩට එහෙමම අත ඇරියා. වම් අත මේසේට බර කරගෙන  මාපට ඇගිල්ලටත් දඹර ඇගිල්ලටත් මැදි කර ගත්ත නලළ පොඩි කරන ගමන් විජේ නිර්මලාට උත්තර දෙන්න වචන තෝරන්න පටන් ගත්තා. විජේ දන්නවා කවදාවත්ම නිර්මලාගේ හිතට සැනසීමක් දැනෙන වචනයක් තමන්ට කියා ගන්න බැරි විත්තිය. එහෙම දැන දැනම මෙහෙම වචන හොයන එක ම මහ නිස්කාරණ වැඩක් උනත්, විජේ එහෙම වෙලාවලදී තමන්ගේ හිතට  විතරක් දැනෙන මොකක්දෝ වේදනාකාරි බවකට ආදරේ කරන්න පටන් අරන් තිබුණේ. එ් වේදනාව විජේව කොච්චර මත් කෙරෙව්වද කියන්න  විජේට මතක නැති උනත් විජේ එහෙම මත් වෙච්ච වෙලාවට වැඩියෙනුත් එක්ක රඟපාන ගමන් කියන ජෝතිගේ එකම සිංදුවේ පද ටික නම් විජේගේ යාළුවන්ට හොඳටම මතක හිටිනවා. 

"මේ අත ඔබට හැර හිතවතියකට වෙන
දුන්නොත් මගේ ජිවිතයකි කඳුළු බොන
මීනි වලක මා යට කර තබන දින
වැහි නැති අකුණු පුපුරයි මගේ වලට පැන"

ඒත් විජේට තිබුණේ නිර්මලාගේ අතින් අල්ලගෙන මේ පද ටිකම තාලෙට කියන ගමන් නිර්මලාට එක පොරොන්දුක් වෙච්ච විදිහ.  ඒ මීට අවුරුදු පහළවකට එහා අතීතය උනත් ඒ අතීතය විජේගේ හිතට රිංගන්නේ අනාරාධිතවමයි. 

" සමාවෙන්න විජේ, මම ඒක හිතලා කිව්වේ නෑ"  

නිහඬව ගෙවිච්ච කාලය  කොච්චරක්ද කියන්න විජේට බැරි උනත් ඒ ගෙවෙන කාලයේ තත්පරත්ච එකින් එක නිර්මලා ගණන් කරනවා. ඒක  කවදා ඇති වෙච්ච පුරුද්දක්ද කියන්න නිර්මලාට හරියටම මතක නැති උනත් පහුගිය අවුරුදු ගාණම නිර්මලා තත්පර විනාඩි වලටත්, විනාඩි පැය වලටත්, පැය දින වලටත්, දින සති වලටත්, සති මාස වලටත්, මාස අවුරුදු වලටත් හැරෙන හැටී ගණන් කරන එකත් ඒ ගෙවිච්ච දින වෙනුවෙන් මඟ බලන් හිටියා කියන එකත් අමතක කරන්නවත්  කාගෙන්වත් හංගන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි.

" නිර්මලා, නිර්මලා ඔයා දැන්වත් කාව හරි කසාද බදින්න"  

තුන් හිතකවත් තිබ්බ නැති නචන ටිකක් තමන්ගේ ම  කටින් පිට වෙද්දි විජේ වම් අතේ මාපට ඇඟිල්ලෙනුයි  දඹර ඇගිල්ලෙනුයි නළල තදට පොඩි කර ගත්තා. එහෙමම කිසිම සද්දයක් ඇහෙන්නැති වෙන්න තමන්ගේ හුස්මත් හිර කර ගන්න ගමන් විජේ ඇහුම්කන් දුන්නේ නිර්මලාගේ හුස්ම ගැහෙන සද්දේට. ඒ වචන ඇහෙද්දීමයි නිර්මලා හුස්ම තද කර ගත්තේ. නිර්මලාට ඕන උනේ විජේ ඉස්සරහා අඬන්නවත් ඉකි ගහන්නවත් නෙවෙයි. බොහොම සන්සුන් විදිහට තැන්පත් විදිහට හිනා වෙන්න විතරයි. 

" සර් ලැන්ඩ් ලයින් එකට සර්ට කෝල් එකක්, මං හිතන්නේ සර්ගේ වයිෆ්" 

නිර්මලා දුරකථනය විසන්ධි කරනවත් එක්කම විජේ කාර්යාලීය දුරකථනය කනේ තියා ගත්තා. 

"මොකද හැන්ඩ් ෆොන් බී.සී. අර පත්තිනි අම්මණ්ඩි එක්ක වෙන්නැති මෙච්චර වෙලා කඳේ දාගෙන ඉන්න ඇත්තේ" 

නිර්මලා ඒ දෙබස හිමිට තමන්ටම මුමුණන ගමන්  නිර්මලා රණතුංග, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කියන තැනින් ලියුමකට අස්සන ගැහුවේ  විජේට දෙන්න එක්කහු කරපු සැහැල්ලු හිනාවක් හිමිට මුණේ ඇඳ ගන්න ගමන්.

Tuesday, August 14, 2018

ආලෝකවිසුද්දි


මෙහෙම ඉඳගෙන ඉද්දී මට මතක් වෙන්නේ මගේ පුංචි කාලේ. ඒ කාලේ මම වැඩිය උස නෑ. තලෙලු මිටි කෙල්ලක්. තලෙලු කිව්වට ඒ කළු පාටට කිට්ටු පාටක්. කළු උනාට පුංචි කාලේ මම මේ තරම් කැත නෑ.

මගේ උඩු තොලේ වම් පැත්තට වෙන්න තියෙනවා කැලලක්, ඒක හැදුනේ සුන්දරම් වත්තට වැටිච්ච පොල් ගෙඩියක් අහුලන්න කම්බි වැටෙන් රිංගපු දවසේ කටු කම්බියක් තොලේ ඇමිණුන පාර, එදා ඉදන් තමයි මම කැත කෙල්ලක් උනේ.

ඉස්කෝලේ උසස් පෙළ පන්තියේ හිටපු චාමර අයියා මට කැමති කියලා වසංගා අතේ ලියුමක් එවලා තිබුණා. මම චාමර අයියාට හා කියන්න ඕන කමක් තිබ්බත් මම බය උනා මම වගේ කැත කෙල්ලකට කොල්ලෙක් කැමති වෙන්න තිබ්බ හේතුව හිතද්දිත්. චාමර අයියා ඊටත් සති තුනකට පස්සේ දහය වසරේ මාලිකා නංගි එක්ක යාළු වෙලා තිබ්බා. අපේ පන්තියේ කෙල්ලන්ට එදා ඉදන් තමයි මම මහ මෝඩ කෙල්ලක් උනේ.

මාලිකා නංගි චාමර අයියා එක්ක පැනලා ගියා කියලා චාමර අයියාගේ යාලුවා වුන ගිහාන් අයියා දවසක් පාරේදි හම්බෙලා විස්තර කිව්වා. එයා මාව එයාගේ පුට් බයිසිකලේන් ගෙදර ගාවටම ගෙනත් ඇරලුවා. එකොළහේ විභාගේ ලියලා ගෙදර හිටපු දවස් නිසා මැහුම් පංති යද්දි එද්දි ගිහාන් අයියාව මට නිතර නිතර හම්බුණා. මැහුම් පංති නොයා චිත්‍රපටියක් බලන්න ගිය දවසේ තමයි මම එයාට මුලින්ම ගිහාන් කියලා කිව්වේ. අපේ පංතියේ කෙල්ලන්ට පේන්නම ගිහාන් අයියා එක්ක ජෝඩු දලා බයිස්කලේ ගියේ උන් උනත් දැන් දැන ගන්න ඕන මම මෝඩ කෙල්ලක් නෙවෙයි කියලා. ගිහාන් තමයි මට කිව්වේ මම සේක්සි කෙල්ලක්ය කියලා.

ගිහාන් රට ගියේ ලංකාවේ ඉන්න එක එයාට අපලයි කියලා කේන්දරේ තිබිච්ච හින්දා. ගිහාන් වෙනුවෙන් මම හැමදාම බෝධි පුජා තිබ්බා.එයාගේ අපල ගෙවෙන්නත් එක්ක. බෝධි පුජාව ඉවර වෙලා ප්‍රාර්ථනා ගථාව කියද්දි මට හැමදාම මතක් උනේ රට ගිහින් ඇවිත් මාව බඳිනවා කියලා ගිහාන් වෙච්ච පොරොන්දුව. වැඩි කලක් නොගිහින් මටම ඒ පොරොන්දුව අමතක වෙලා ගියේ දරුවෙක් මගේ බඩට ආවයින් පස්සේ. දරුවාගේ තාත්තා කව්ද කියලා කියන්න බැරි උනාම තමයි මම ගමේ උන්ට මම බඩ්ඩක් උනේ.

පොඩි හාමුදුරුවෝ සිවුරු ඇරලා පන්සලෙන් ගියාට පස්සේ ගමේ හැම මිනිහෙක්මයි ගැණියෙක්මයි මට ගමම අපායක් කලා. ඉපදිච්ච ගෙදර උනුත් මාව ගෙයින් දොට්ට දැම්මාට පස්සේ මැරෙන්න කියලා හිතාගෙන කෝච්චියට පනින්න ගිය ගමන තමයි මට ධම්මදින්න හාමුදුරුවන්ව ආයෙම හම්බුණේ. සිවුරු ඇරියට පස්සේ නිශ්ශංක කියලා නම වෙනස් කරලා තිබ්බේ. නිශ්ශංක එක්ක පවුල් ජිවිතේ පටන් ගත්තේ සිරි පුර පැත්තේ බඩ ඉරිඟු හේනකින්. අන්තිම්දී මම බඩේ හිටපු මගේ දරුවට මම අම්මා උනා.

අම්මා කියන්නේ
ගෙදර බුදුන් ය කියලා නිශ්ශංක හැමදාම හවසට පොඩි එකාට කියලා දෙනවා මම අහගෙන ඉන්නවා. ඒ දෙන්නා අවජාත, සහජාත, අතිජාත දරුවන් කියන්නේ කාටද කියලා පටන් ගන්න කතාව ඉවර වෙන්නේ ජාතක කතා දෙක තුනකට පස්සේ එළාර දුටු ගැමුණු කතාවත් කියලා රෑ දෙගොඩ හරි ජාමේ. ඊට පස්සේ දන්නේම නැතුව තාත්තලා පුතාලට නින්ද යනවා. අාන් එහෙම දවසක තමයි මම නිශ්ශංකටත් අවුරුදු දහයක් වැඩිමල් විජේදාස එක්ක හොරෙන් පැනලා ආවේ. ඒ ආදරයක් වෙනුවෙන් කරපු පරිත්‍යාගයක් කියල මුලදි මුලදී කියපු විජේම පස්සේ පස්සේ හැම ගැණියක්ම වේසඟනාවක්ය කියලා මගේ මුණටම කියන්න ගත්තා.

විජේදාස මගේ කෝණ්ඩේන් අැදලා ඔළුව බිත්තියේ ගහලා කෑ ගැහුවා. විජේදාස හොඳටම බීලා හිටියේ එදා. " ලොකු එකීට කියපං පිරිවණට ඇවිත් ඉන්න ආලෝකවිසුද්දී හම්මුදුරුවෝ එක්ක නටන නාඩගං නවත්ත ගන්න කියලා. මං උන් දෙන්නවම හැදි ගාවනවා දැන ගනිං. රටේ ලෝකේ මිනිස්සුන්ට කතා හදන්න මම දරුවෝ හැදුවේ නෑ යකෝ"විජේදාස තවත් කොච්චර දේවල් කිව්වත් මගේ කන්වලට ඇහුණේ එකම එක දෙයයි. "ආලෝකවිසුද්දි " "ආලෝකවිසුද්දි" "ආලෝකවිසුද්දී"

" අපි පුතාට ආලෝකවිසුද්දී කියලා නම තියමු" නිශ්ශංක එදා කෝච්චියට පනින්න ගිය මාව කෝච්චියෙන්ම සිරි පුරට එක්ක යද්දී කිව්ව වචන ටික විජේදාස වෙරි මතින් කියන වචන වලට වඩා හයියෙන් මට ඇහෙන්න ගත්තා. මුළු ගේම කැරකෙනවා වගේ දැනෙද්දී මාව එහෙමම එතන බිම ඉන්ඳ උනා. " තමුන්ගේ දරුවෝ හදා ගන්න තමුන් දැන ගන්න එපැයි. උන්ගේ මහ එකී වගේම නැතෑ ඒකීගේ දරුවොත්" මගේ කටින් ඒ වචන පිට උනේ කොහොමද කියන්න දැන ගන්න ඉඩක් මට ලැබුන්නෑ. මම මොන වගේ ගැණියක්ද කියලා කල්පනා වෙන්න ගත්තේ බිම ඉදගෙන ඉන්න මට විජේදාසගේ පයින් පාරක් බඩට වැදෙද්දීමයි

Thursday, August 9, 2018

සුවඳයි කුරුයි දෙකම සීයයි

ෆුඩ් සිටි එකෙන් බඩු අරන් එද්දී එතනම අයිනක පොඩි එකෙක් හඳුන්කුරු විකුණනවා. හඳුන්කුරු පැකට් එකක්  දික් කරත්  ගනන් නොගෙන අඩියක් දෙකක් ගියා. ඒ තමයි මගේ හැටි. හිඟන්නන්ට, පොඩි ළමයි වඩන් එන අයට මම සල්ලි දෙන්නෑ කියලා හිතන් ඉන්නේ ගොඩ කාලෙක ඉදලා.

"සුවඳයි කුරුයි දෙකකම සීයයි නැන්දේ"

ඒ වචන ඇහෙද්දි නතර උනා. හිතා මතා නතර උනා නෙවෙයි ඉබේටම නතර උනා. ඒ ඇයි කියන්න හේතුවක් නෑ. ඒත් හඳුන්කුරූ පැකට් එකක් ගන්න ඕන කියලා හිතට අදහස ආවේ ඒ පොඩි එකාගේ කට හඬ හින්දාමයි. හරියටම ඒ කටහඬ සුලඟේ පා වෙලා ආව දුක්බර ගීතයක් වගේ.

පොඩි එකා  ලඟට ගිහින් සාක්කු දෙකටම අත දලා බැලුවාමයි  මතක් උනේ දැන් ලඟ සල්ලී නැ කියලා.  එත් පුරුද්දට සමහර වේලාවට  ඉතුරු සල්ලි බයික් එකේ තියෙන බක්කියට දාන්න පුරුද්දක් තිබුණා. හඳුන්කුරු පැකට් එකක් නොගෙන බැරි නිසාම
"හා එන්නකෝ" කියලා බයික් එක ලඟට යද්දි පොඩි එකාත් පස්සෙන්ම හඳුන්කුරු පැකට් එකක් අරන් ආව. හරියට රටක් රාජ්‍යක් දිනා ගත්තා වගේ. ඒ අතරතුරේදි මම මටම හිනා වෙනවා. උඹ අද මේ පොඩි එකාට අහු උනා නේද? යටි හිත මගෙන් ප්‍රශ්න කරනවා. මු කරන්නේ බොරු. යටි හිත එහෙම කියද්දි මොන හයියකටද මන්දා මමත් යටි හිතෙන් ප්‍රශ්න කරන්න ගත්තා.  " මේ පොඩි එකාට මට කරන්න පුළුවන් බොරුව මොකක්ද? මගෙන් බලෙන් දෙයක් ගන්නෑ. ඌ හදන්නේ මට දෙයක් විකුණන්න" ඒ තර්කෙන් මම දිනුම්. ඒ සතුටත් එක්කම  රුපියල් පනහක් හොයා ගෙන ඒක පොඩි එකාට දුන්නත් පොඩි එකා  සල්ලි ගන්නෑ.

"කෝ දෙන්න"
පොඩි එකා මගෙන් සල්ලි ගන්නෑ. මට හඳුන්කුරු පැකට් එක දෙන්නෙත් නෑ. යකාගේ කොල්ලෙක්නේ. "ඕකනේ කිව්වේ මුන් කරන්නේ බොරු, උඹ අහු උනා කියලා දැන ගත්තාම තව කීයක් හරි වැඩියෙන් ගන්න බලන්නේ."
 
මට හිතට ආවේ කේන්තියක්. ඇටෙන් පොත්තෙන් එළියට එද්දීම මුන් මෙහෙම නම්
"ඇයි සල්ලී එපාද"
මම අහන්නේ කෙන්තියෙන්. පොඩි එකා දිහා කෙලින් බලාගෙන. පොඩි එකා මගේ මුණ දිහා බලාගෙන ඉන්නවා. මගේ ඇස් දිහා. ඒ ඇස් වල පුදුමයයි, කඳුළුයි එකට එකතු වෙලා තිබුණා.
 
අන්තිමට පොඩි එකාගේ අතේ තිබ්බ හඳුන්කුරු පැකට් එක මම උදුරලා ගත්තා. මේ මොන මගුලක්ද මට පරක්කුත් වෙනවා. මම හිතින් පොඩි එකාට බනිනිවා. ඒ හැම වචනයක් ගානෙම යටි හිත "හොඳ වැඩේ හොඳ වැඩේ" කියන තාලෙන් ගැහෙනවා. මම  බලෙන්ම රුපියල් පනහා පොඩි එකාගේ අතේ තියනවා හිතට ආපු කේන්තියත් එක්කම.

"සුවඳයි කුරුයි දෙකම සීයයි නැන්දේ"

"මට දෙකක් එපා එකක් ඇති"
එහෙම කිව්වේ  හෙල්මට් එක දාන ගමන්. රුපියල් පනහා බලෙන්ම පොඩි එකාගේ අතේ තියන ගමන්.

"සුවඳයි කුරුයි දෙකම සීයයි නැද්දේ"
පොඩි එකා ආයෙමත් එහෙම කියනවා.

එහෙම කියද්දි කේන්තිය වැඩි උනා.මේ මොන මගුලක්ද? ඔව් මගේ හිතට ආවේ පොඩි එකාට හොඳවයින් දෙකක් අනින්න.  ඒ තරහින්මයි මම පොඩි එකාට කිව්වේ
"මට කුරු විතරක් ඇති" කියලා.
 
මං දැක්කේ ඇස් වලින් පහළට කඩන් වැටෙන කදුලක් විතරයි.ඒ වේලාවේ ඒ පොඩි එකාගේ මුණ. ඇස් වලට උනපු කඳුළු මාව ටික වෙලාවකට නතර කරා. ඒ විනාඩි ගානට මට මං ගැන මහ ලැජ්ජාවක් ඇති කලා. හඳුන්කුරු පැකට් එක හරවලා බලද්දි හඳුන්කුරු පැකට් එක මිල  සටහන් වෙලා තිබුණේ රුපියල් සීයයි කියලා.
 
"සුවඳයි කුරුයි දෙකම සීයයි නැන්දේ"
පොඩි එකා ආයෙම කඳුළු අතරින් කියනවා. ඒ කටහඬ වෙව්ලනවා.
 
" සුවඳයි කුරුයි දෙකම සීයයි "

"
සුවඳයි කුරුයි දෙකම සීයයි නැන්දේ"
මට සිහිය ආවේ ඒ වෙලාවේ.
 
මට මං ගැනම ඇති වෙච්ච ලැජ්ජාවත් කලකිරීමත් දැනුත් එහෙමමයි. රුපියල් සීයක් අතේ තියද්දී පොඩි එකා ලාවට හිනා උනා. ගෙදර ගෙන්න ගත්ත චොකලට් එකක් ඒ එක්කම පොඩි එකාගේ අතේ තිබ්බා. ඒ හිනාව එහෙමමයි. චොකලට් එකත් අරන් ලඟම තිබ්බ ටැප් එකෙන් අත් දෙක හොඳ ගන්නවා මම බලාගෙන. හඳුන්කුරු බැග් එක ලඟට ගිහින් උඹ චොකලට් එක කටේ ගහගෙන මගේ දිහා බලනවාත් මම බලාගෙන. සන්ග්ලාස් එක දාලා ඒ වේලාවේ ඇස් වලට ආපු කඳුළු හන්ගගත්තා පුතේ මම. ඒත්,
"සුවඳයි කුරුයි දෙකම සීයයි නැන්දේ"

තාමත් මට උඹේ මුණයි කටහඬයි  මැවිලා පේනවා පුතේ. මහ වරදකාරි හැඟිමක් හිතේ තියෙනවා.  කාලයක් ඒ හැඟිම හිතේ තියෙයි.
 
"මට සමාවෙයන් කියලා උඹට  කියන්න වචන එකතු උනා නම්, එත්  පුතේ මම ඒ තරම් දියුණු නෑ."




ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...