මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Monday, December 23, 2019

C ට ආදරෙන් 2019.12.19



ආදරණීය C,

 ඔබට කිසි විට‍ක දුකක් දෙන්නට මා සිතා නොසිටියද, ආදරය ප්‍රකාශ කිරීමේ එකම ක්‍රමය ඔබව රිදවීම වුයේ කෙසේදැයි මා දන්නේ නැත. අද ද ඔබ පිළිබඳව නැගෙන මේ මහා ආදරය පිට කර ගැනීමට ඔබව රිදවා යන්න සිතෙන වාර අනන්තය. ඔබ තරමට, මා ඔබව තේරුම් නොගත් නිසා තවමත් ඔබව වටහා ගත නොහැකිව සුසුම්ලන මා පිළිබඳ ඔබ අද කුමක් සිතනවාදැයි මා දන්නේ නැත. එහෙත් මා දන්නා එකම දෙයක් ඇත. ඔබ ට අද ද මම ආදරය කරන වගය.

සෑම වෙන්වීමක්ම දරා ගත හැකි වීම මහ පුදුමයක් C. වෙන්වීමකට පසු අමතක කර දැමීම් ඊටත් වඩා ශාපයක් C.

ඔබ නොදන්නා හෝ නොසිතන බොහෝ දේ මා වටා සිදු වන විටකදි පවා මා නොසැලී සිටියේ ඔබව සිහි කර ගනිමින් බව මා ඔබට පැවසිය යුතුදැයි හෝ එය ඔබ දත යුතු දැයි  මා දන්නේ නැහැ.

ඔබ හා කතා කිරීමට හෝ වදනක් හෝ නොදොඩා සිනා සිමට මට තවත් අවස්ථාවක් නොමැති විටක දී අපගේ මතක පමණක් ඉතුරු වී යාම ශාපයක් C.

ඔබ හිදින තැන ඉතා සුවදායක ව ඇති. මට හිතෙන්නේම එහෙම. මා වැරදියැයි මෙහොතකට හෝ නොසිතන්නේ, ඔබට රිදෙවී යැයි නිතරම මා තුළ වන බිය නිසාවෙන් විය යුතුයිC. මට නොරිදෙන්න නම් ඔබ ‍නොරිද්දාගත යුතුයි C.

පසු ගිය දින කිහිපයේම නින්ද කියන්නේ මට ආගන්තුකව තිබු දෙයක් C. අවුරුදු කිහිපයක් ගත වී ඇතත් ඔබ ව සිහි වීම අන් කවරදාකටත් වඩා වැඩි වැඩියෙන් සිදු වීම කරුමයක්. නිතර නිතර වෙලාව බැලීමටත් හොරෙන් කදුලු සැලිමටත් පමණක් රාත්‍රිය වෙන්වී තිබෙන මොහොතක ඔබව සිහිනෙන් හෝ දැකිමට නොහැකි විම පාපයක්.

ඔබවත්  -  ඔබගේ සිනාවත් මතකයට නගා ගැනීම අපහසු දෙයක් නොවුවද, ඔබව අමතක වන්න යැයි මා සිතින් අයැද සිටින වාර දැන් බොහොමයි C.

බොහෝ දවස් වල රාජකාරි නිමවා එන දුම්රියේ කවුලුවක් මත හිස රදවාගෙන ඔබ ගැන සිහි කිරීමත්, අපගේ මතක ආවර්ජනය කිරීමත් දැන් පුරුද්දක් C. සියල්ල අවසානයේ දෙනෙත් මත නැගෙන කඳුළු, මා සියල්ලන්ගෙන්ම වෙන් කර මට පමණක් උරුම උන වේදනා පිරි ලොවක සඟවා ලනවා. එවන් සෑම මොහොතකදීම ඔබව අමතක කර දමන්නැයි මම හදවතට බෝහෝ බල කිරීම් කරනවා. එකක් දෙකක් නොව ඒ මහ අනන්ත ප්‍රමාණයක් C. එහෙත් ඔබ හරිම හිතුවක්කාරයි. මගේ අත අත හැරිය වේගෙන් ඔබ සිතින් පලා නොයන්නේ මන්දැයි මම නොදනිමි.

ඔබව අල්ලා නවතා ගැනීමේ උවමනාවට වඩා ඔබට මවෙතින් යාමට දි ආදරය කිරීමේ වේදනාව මා හදවතින් දරා ගත්තා C. අතින් අල්ලා නොනැවැත්වුවත් ඔබ සිතින් නොයන්නේ ඇයි C.

ඔබ සිතින් පලා ගියා නම් මේ මොහොත මට සුවදායී වන්නට තිබුණා. මේ එකඳු වැකියක් හෝ ඔබට නොලියවෙන්නට ද තිබුණා C.

ඔබ මහ පුදුමයක් C. මහ පුදුමයක්. ඒ පුදුමයට මම තවත් පුදුම ආදරෙයි.

මම A.
2019.12.19



පළිගමි

අප ටිකක් නතර වෙමු
මෙහි මදක් ගිමන් හැර යමු
හඩක් නොනඟා සිනාසෙමු
අතින් අත නෑර තදින් අල්ලන් ඉමු

බොහෝ දුර තිබෙන කිසිවක් ම හෝ
පෙන්වන්න දකුණූ දඹරැගිල්ල විහිදුවා එදෙසට
නොදැක නොපෙනී ලත වෙනා කල
කර වටා අත යවා හරවන්න දෑස ඒ දෙසට
කමක් නෑ කම්මුලත් කොනිත්තන්න හීමිට
“යනවා නම් අනේ මං අරන්
යන තැනකට යන්න රත්තරං”
ඒ වගේ වෙලාවක
හදවත ගැහෙන්නේ ඒ විදිහට

ටජ් මහල් මොකටද?
කුලී මාළිගාවක අපට
ලුණුයි බතුයි බෙදා ගන්න බැයිද?
ඔන්න ඔය වගේ බොළඳ විදිහට
හරිම සරළව තමයි
හෙට මම අහන්න ඉන්නේ
“අපි බඳින්නේ කවදද?”

“හෙට එන්න වෙන්නෑ.”
කෙටි පණිවිඩය කොටි නියකි
හදවත පහුරු ගාන
ඇස් වලින් ‍‍ලේ පනින.

“අප ටිකක් නතර වෙමු
මෙහි මදක් ගිමන් හැර යමු
හඩක් නොනඟා සිනාසෙමු
අතින් අත නෑර තදින් අල්ලන් ඉමු”

නුවරඑළියේ ලස්සනම පින්තුරයක්
ඒ වචන තුන හතර එක්කම
අප්ලොඩ් කරමි. එසේ මතක් කර ලමි.

ඔබ එය දකින වේලාවට
තත්පර කොපමණද?
සිතෙන් මැන බලමි.

දුරකථනය නිවමි. දෑස වසමි.
දිගින් දිගමටම එලෙස
ඔබේ සැලසුම් සහගත වචන වලට
පළිගමි.





Saturday, December 14, 2019

අතුරුදහන් මිණිකැට

මහවැලි නදී උඹ හංගාගෙන ගලන
අතුරුදහන් මිණිකැට කොපමණ ඇතිද?
කඳුලක් දෙකක් වැටුණත් ගඟ දෑල මත
පතුල සිඹින්නට බර විය යුතුද තව?

හැඩුම් දන්නේ සමනොළ ගිර විතරක්ද? ‍‍
ගෝකන්නෙන් නැගෙන දුම් වල ගින්දර නැද්ද?
උඹ මේ රහස් දැනගෙන නොකරම සද්ද
මහවැලි ඔහේ පාඩුවේ ගැලුවම හරිද?


වහිනා කලට මහ වැහි තව තව වැහැපන්
යටකර නුවර දෙනුවර මහවැලි ගලපන්
සඟවා නොදි හිටි මැණිකක් උඩට අරන්
මටත් දකින්නට බැම්මක ඇඳ පලයන්

Thursday, December 12, 2019

“LION”.


The little girl Mollie just lost her dog. The dog’s name was Allie. Mollie used to call Allie her “LION”.

It’s pretty much sure that children and dogs are an unbeatable combination. It’s a double-whammy of cuteness and unconditional love. 



CLIKE HERE FOR MORE

Wednesday, December 11, 2019

මතක හිත පාරනු ඇති

නුවර යන එන බොහෝ අය
මෙතැන පසු කර යනු ඇති
විටෙක මේතැන පසු කරද්දි
මතක හිත පාරනු ඇති

දිනෙක යළි අප නුවර එන විට
මේතැන පසු කර යනු ඇති
එවිට මතකෙට ගන්න අද අප
මතක මෙහි අතුරා ඇති

රෝබ රෝස මල් පිපී හිනැහුන
මාවතේ ගොළු හඬ දිගේ
දුටිමි දැසක් එදා වගේම
ඇත මඟ බලනා හැටි

අදත් මතකය හිත දරා ගෙන
හිතක් මෙතරම් හිනැහුන හැටි
දුටුවනම් නුඹ මැණිකේ සෙංකඩ
දෑස කඳුලක් ගුලිවනු ඇති


Monday, December 9, 2019

අදත් සෙංකඩ එදා වගේමයි

අදත් සෙංකඩ එදා වගේමයි නැහැනේ වෙනසක් ඒ තරම්
සඳත් ලඟ නැති වළාකුළු බැමී එත් මඟ බලනා තරම්
දුරත් වැඩි නම් දකින හිනෙට සුසුම් සුළි නැගෙනා තරම්
ඇවිත් යනකොට දැස් අද්දර මතක වැහි ඉහෙනා තරම්
රැයත් නොනිදා පහන් කර හද සුසර කළ ඉකි ස්වරයන්
වසත් සැමරුම් ගිනි තබා හද දැවු ආදර කල්පනාවන්
හිතත් විළිලැ සුපෙම් හැඟුමක් පෙමින් පුද ලද දේවතාවන්
තවත් මොකටද තබා ආවෙමි වළාකුළු බැම්මට යටින්


Friday, December 6, 2019

නුවර යන නාඳුනන හිතවත,


නුවර යන නාඳුනන හිතවත,

රෝබරෝස ගස් පහු කරන්
වළාකුළු බැම්මට උඩින්
එබෙද්දී ඇසුවොතින් මින්කැළ
විළද - පොරි අඩු ඇයි කියා දැන්
මම මෙහේ - ඇය ඔහේ
දැන් කලක් වු බව කියන්
මොනවා කිව්වත් මතක ඇතුවම
නැවී හිමිහිට කියාපන්
බැරි වේලාවත් ඇසුනොතින්හෙම
අතන පොරි විකුණනා අම්මාට
ආයෙමත් කෑ ගහන්නැති වෙයි
පොරි - විළඳ ලාබයි කියා ඇය




Tuesday, December 3, 2019

දිනෙක අතහැර යමි

නිහඬ වෙමි.
සිතුවිලිත් නිදි බැවින්,
කෙටි සුසූම් ඇහැරවමි..
සඳත් අද දුර බැවින්.

සවන් දෙමි.
පවන ගයනා බැවින්,
දිගු රැයම නොනිදමි..
සිහිනයක් නැති බැවින්.

බලන් ඉමි.
රළ වෙරළ සිබිනා බැවින්,
දිනෙක අතහැර යමි..
ක්ෂිතිජයම දකිනා බැවින්.

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...