මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, June 21, 2018

MAA

මට බල කරන්න බෑ විනාඩි විසි අටකුත් තත්පර කිහිපයක ඩේටා බිලක් දරාගෙන මේක බලන්න කියලා. ඒත් එහෙම නොකියා ඉන්නත් හිතක් නෑ. එහෙම වැය කිරිමේ හැකියාවක් තියෙනවා නම් බලන්න. ඒක අපරාදයක් කියලා දැනෙන එකක් නෑ.

"මා"
"MAA"
මේ තමයි චිත්‍රපටියේ නම.කෙටි චිත්‍රපටියක්.
මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය Sarjun KM. මේ ඔහුගේ දෙවැනි කෙටි චිත්‍රපටිය යි. පළමු චිත්‍රපටයට වඩා මෙහි සංවේදී රූප රාමුත්  එක්ක තමයි සාර්ජුන් ගනුදෙනු කරන්නේ. 
 


MAA කතාව කෙටියෙන් මෙහෙමයි.

ඇය අම්මු. දහ වන වසරේ ඉගෙන ගන්න අම්මු හොකි ක්‍රීඩිකාවක්.  (අම්මුට පණ දෙන්නේ මලයාලම් සිනමාව සායි පල්ලවි තරමටම වසඟයට ගතහැකියැයි මා  විශ්වාස කරන  තවත් තරුවක් වෙන Anikha Surendaran.) 
 
කතාවේ අාරම්භය සිද්ධ වෙන්නේ හොකි පුහුණු වීම් අතරතුර ඇය ක්ලාන්ත වී ඇද වැටීමෙන්.පස්සේ අම්මු එයාගේ යාළුවගෙන් අහනවා.

"ඔයාට periodes  වෙන්න පරක්කු වෙලා තියෙනවද " කියලා.
මේ කතා කරන්න යන්නේ නව යොවුන් ගැබ් ගැනීමක් ගැන කියන සංවේදනාව එතනින් මගේ හිතට ඇතුල් වෙනවා.

අම්මු ගෙදර ඇවිත් වමනය කරනවා.  එයාගේ අම්මා ඉස්සරහා දී අම්මු කියනවා.
" අම්මේ මම හිතන්නේ මට ළමයෙක් ලැබෙන්න ඉන්නවා  කියලා"
 


අම්මු එයාගේ අම්මා ඉස්සරහා වැරුද්ද පිළි ගන්නවා. ඇය පාපොච්චරාණය කරනවා. හඬා වැටෙනවා.  (අම්මුගේ අම්මාගේ චරිතයට පණ දෙන ඇය Kani kusruti ) අම්මා කෙනෙක්ට ඉවසගන්න බැරි දරා ගන්න බැරි වචන ටිකක් ඇහුවට පස්සේ ඇය අම්මුව මරලා දාන්න හිතනවා. ඒ හිතිමම ඇයට තිගැස්මක් එකතු කරනවා. ඔව් අම්මලා එහෙමයි. අම්මුගේ එකම එක ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි "අම්මා ඔයා වෙනුවෙන්" කියන එක. අම්මු එහෙම ඉල්ලනවා එයාගේ කාමරේදි අම්මාට තුරුල් උනාට පස්සේ.
 


අම්මා කෙනෙක්ට දරුවෙක් මරන්න පුළුවන්ද? ජිවිතයක් විනාශ කරන්න පුළුවන්ද? බැහැ කියන්න එපා. මම හිතනවා පුළුවන් කියලා. ඔව් පුළුවන්. අම්මා කෙනෙක් කියන්නේ හදවතක් විතරක් තියෙන ගැණියක් නෙවෙයි.  අම්මා කෙනෙක් කියන්නේ කලලයකට කුසේ ඉඩ හදන ගැණියක් විතරක් නෙවෙයි. අම්මා කෙනෙක් කියන්නේ කන්න උයලා දෙන ගැණියක් විතරක් නෙවෙයි. අම්මා කෙනෙක් කියන්නේ දරුණු කුණාටු වලට මුහුණ දෙන මහ පර්වතයක්. සුළි සුළං තමන්ගේම බඳ වටා ඔතාගන්න මහ කන්දක්. 


අම්මා කෙනෙක් කියන්නේ දරුවෙක්ව බිහි කරන කෙනාටවත් දරුවෙක්ව හදන කෙනාටවත් නෙවෙයි කියන්න මම විශ්වාස කරනවා. මම එහෙම විශ්වාස කරන අම්මාගේ හෙවණැල්ල අම්මුගේ අම්මා ළඟ තියෙනවා. ඔය තමයි මම මේ කෙටි ෆිල්ම් එකට කැමති වෙන්න පළවෙනි හේතුව. මේ තියෙන්නේ ෆිල්ම් එක බලන්න ලින්ක් එක. මට හිතෙන්නේ අද අම්මා කෙනෙක් බලන්න ඕන චිත්‍රපටියක් කියලා. විනාඩි විසි අටයි තත්පර ගානක ඩේටා බිල අපරාදයක් නෙවෙයි කියන්න විතරක් මට පුළුවන්.

https://youtu.be/-lKk_5qYdkk
Preview YouTube video MAA - Short Film | Ondraga Originals | Sarjun KM | Sundaramurthy KS

මට තව දෙවැනි හේතුවක් තියෙනවා.ඔය කිව්ව පළවෙනි හේතුව හින්දම මම කතාවක් ලියනවා. මට තියෙන එකම කණගාටුව ඒ කතාව ලියන්න කලින් මම මේ ෆිල්ම් එක නොබලපු එක විතරයි.කතාව ලියන්න කලින් මේ සොර්ට් ෆිල්ම් එක බැලුවා නම් මගේ කතාව තවත් වෙනස් වෙන්න තිබ්බා. ඊටත් වඩා කතාවක් සංවේදිව ගොඩ නඟන්නේ කොහොමද කියන එකයි පැටලෙන්නැතුව කතාවක් ලියන්නේ කොහොමද කියන එකයි අඳුනගන්න පුළුවන් උනා MAA බැලුවට පස්සේ. මේ තියෙන්නේ මගේ කතාව.

https://m.facebook.com/story.php?story_fbid=1746767928722226&id=100001671085525

Thursday, June 7, 2018

ජීවිතය මේ වගේයි



"මට ඕන උනේ මට ම වෛර කර ගන්න. තැනින් තැන ඉතිරි වෙලා තිබ්බ ලේ පාට කළු පැල්ලම් මකලා දාන්න. ඒ කාලේ මහ අමාරු කාලයක්. මට සිද්ධ උනා උත්තර හොයන්න, තවදුරටත් මම ජීවත් වෙනවද නැද්ද කියලා සැරින් සැරේට හිතට වඳ දිදී මාව ම වෙහෙසට පත් කරවපු මගේ හිතුවිලි වලට. ඒ කාලේ මහ අමාරු කාලයක් උනේ එකකට උත්තර හොයද්දී, උත්තර හම්බෙද්දී තවත් හුඟාක් ප්‍රශ්නාර්ථ ඇවිත් මගේ ඉස්සරහින් හිට ගත්ත එක. මම තවදුරටත් ජිවත් වෙනවා නම් උඹව ජිවත් කරවනවද නැද්ද කියලා හිතෙන්න ගත්තාම තමයි මට ඕන උනේ උඹවත් මරාගෙනම මාත් මැරෙන්න. එතකොට උඹට මාස දෙකක් ඇති මයේ හිතේ.

ආන් අර පේන කඳු ගැට්ට තියෙනවා නේද? මට ඔහොම හිතුන හැමදවසකම පහළ වත්තේ පොඩි උන්වත් එක්කහු කරගෙන ඔන්න ඔය කඳුගැට්ට නැග්ගා. එක උඩ ඉඳන් පහළට රිටුවා. ආයෙම උඩට බඩ ගෑවා. අැඟේ මුළු හයියෙන්ම පොඩි උන්වත් පහු කරගෙන කන්ද මුදුනටම දුවනවා. සතුටටත් එක්ක මං උන්ටත් වඩා හයියෙන් උඩ පනිනවා.

එන්න එන්න උඹේ බර වැඩි වෙනවා දැනෙද්දී ඒ තරමටම උඹව හිතටත් බරක් උනා. ආන් ඒ හින්දමයි මම තනියම උනත් ඔන්න ඔය කන්ද නැග්ගේ. ඒ වෙන කොට කන්ද කියන්නේ මට නුහුරු තැනක් නොවයි. හොඳටම පුරුදු තැනක්. මං කන්ද පාමුලට වඩා කන්ද මුදුනට කැමති. මොකද මේං මේ පිට සිරිච්ච කටු පඳුරු තිබ්බේ ඕං ඔය කියන කන්ද පාමුල. තිබිච්ච එකම සුදු ගවුමේ එදා එඬරු කහට ගැවුනැයි කියලා ඉස්කෝල් ගිහින් ඉවර වෙච්චි අක්කාගේ පරණ ගවුමක් වාටි ලෙහලා මහලා දෙනකම් දවස් තුන හතරක්ම ඉස්කොලේ නොයා හිටියෙත්, ගවුම පරණයි කියලා නැවති නැවති ඉස්කොලේ යන්න පටන් ගත්තේත් ඕං ඔය කියපු එ් දවසින් පස්සේන් පහු.

එදත් එහෙම දවසක් මම කන්ද මුදුනටම බඩ ගාපු. ටික ටික මෝදු වෙවී ලොකු වෙන බඩ ගෙඩිය හංගන්න අම්මාගේ චීත්තයක් දෙතුන් විඩක් කරකවලා තද වෙන්න උඹව ගැට ගහලා තිවුණේ.කන්ද මුදුනට එදා ගිනි සැරේට වැටිච්ච අව් රැල්ල. මට මතක තිවුණේ මේං මේ ඇස් පියැවෙනවා විතරයි. ඕං එදා ඇස් ඇරලා බලද්දි මං හිටියේ මේං මේ පැල් කොටේ ඕං ඔය මැස්සේ දිගා කරවලා.

" ඔය ඇත්ති දිහා මං දවොස් කියක් නම් බලා හිටියද? ඔය කරන වැඩේ තේරුමක් තියෙයියැ. ඔය ඇත්ති අකමැත්තක් නැත්නම් මේං මෙහෙට්ට වෙලා ඔය බර හැල්ලු වෙනකම් ඉන්ට, මට ඇහැක් ඔය ඇත්තිව ඇස් දෙක වගේ බලා ගන්ට " 

ඒං ඒ වෙවුලපු කටහඬ ආපු පැත්තට අමාරුවෙන් ඔළුව උස්සලා බලද්දී තමයි මම දැක්කේ උඹේ උප්පැන්නේට නම දීපු උඹ ඔය සීයැයි කියන ඔය මනුස්සයා මේ මැස්ස ඉහැත්තැවට වෙන්න ඇණ තියාගෙන ලිපට පිඹ පිඹ කේතලයක් රත් කරනවා. මං උන්දැව මුලින්ම දැක්කේ පොල් කොළ දුම මැද්දෙන්. ඒ දුමට වෙන්න ඕනෑ උන්දෑගේ ඇස් වල කඳුළු පිරිලා තිබ්බා මට අදටත් මතකයි.

"මේං මේ කැළේ මැද්දැවේ ඉන්න බෑයි" කියලා උඹ කිව්වට එදායින් පස්සෙන් පහු මම මගේහ් අතීතයටයි, මටයි වෛර කර ගන්න එක නවත්තලා ජීවත් වෙන්න පටන් ගත්තා. උඹේ දෛවය බාර වෙච්ච මොන දෙයිහාන්දුරුවෝ හරි මට මේ මනුස්සයාව එදා මුණ ගැස්සුවා. මට මෙන්න මේ ජීවිතේ කියලා දුන්නේ ඕං ඔය උඹ සීයයි කියන මිනිහා. උඹ ඒක හොඳට මතක තියා ගනින්. 

" ආන් අර තොටිල්ල ටිකක් පද්දලා වරෙන්, පොඩි ඒකී ඇහැරලාද කොහහෙද? මං මෙතනින් නැගිටලා ගියොත් හෙම ඕකී තනේ ඉල්ලලා බෙරිහන් දෙන්න ගනී. මේං මේ රොටිය කබලේම කරවෙයි" " 

Sunday, June 3, 2018

ඔබට



ඔබව සිහිවන විට
අහස දෙස බලමි. එක්වර
ඒ තමයි මම දැන් දන්න
කඳුළු නවතන එකම එක විදිහ


C ට ආදරෙන් 2019.10.10

ආදරණීය C, ඔබව මතකයට එන බොහෝ වාර වලදි මේ ගීත ඛණ්ඩය මිමිණිම දැන් සාමන්‍ය දෙයක් බවට පත්ව ඇත. “ ඔබ හමු වුයේ මන්දැයි නොදනිමි පාර ඇසු...