මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව
Showing posts with label කතා සාගරේ. Show all posts
Showing posts with label කතා සාගරේ. Show all posts

Monday, April 22, 2024

ඔබේ පැමිණීම

 "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?"


මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ වෙද්දීත් ඒ නකුටාගේ කන් වල  වහලා හිටපු කිනිතුල්ලෝ දෙතුන් දෙනෙක්ව ගලවලා අයින් කරලා තිබ්බා. අපි මෙතන නතර උනේ එක පාරටම කඩාගෙන වැටුණු වැස්සකට. ප්‍රතිභාට ඕන උනේ වැස්සේම ගමන යන්න උනත් මට ඕන උනේ නෑ යටකලිසම තෙමෙන තරමට වහින වැස්සේ තෙතබරියන් වෙන්න. ඉතිං වැස්ස යාන්තම් වැටීගෙන එනකොට ඉස්සරවෙලාම හම්බුණ රොටී කඩේ ගාව මම බයිසිකලේ නැවැත්තුවා. ඒ නැවැත්තිල්ලට ප්‍රතිභාගේ හිතේ කැමැත්තක් ඇති උනේ මේ නකුටු බල්ලා උගේ නකුටු නැට්ටත් වනාගෙන ප්‍රතිභාගේ ඇඟේ ඇතිල්ලෙන්න ගත්තට පස්සේ. මට අද ප්‍රතිභාව හම්බුණේ පළවෙනිවතාවට. අපේ පළමු හමුවීමෙන් පැය කීහිපයක් මේ වෙද්දි ගෙවීලා ඉවරයි. මට ප්‍රතිභාව දැනෙන බවක් මාස ගණනක් පුරා අපි අතර හුවමාරු උන කෙටි පණිවිඩ දුරකථන සංවාද වලින් මම තේරුම් අරන් තිබුණත් ප්‍රතිභාව මගේ මුළු ආත්මයටම දැනෙන බව, අපි පළවෙනි වතාවට මුණ ගැහිලා ගෙවිච්ච මේ පැය කිහිපය ඇතුළේ දී මම තහවුරු කර ගත්තා.

"මේ වගේ"

නකුටු බල්ලා ළඟ බිම ඇණ තියාගෙන ඌව හුරතල් කර කර හිටපු ප්‍රතිභා ඔළුව උස්සලා කෙළින්ම මගේ ඇස් දිහා බලාගෙන හිනාවෙලා දුන්න උත්තරේට මාව ගිනියම් වෙන්න ගත්තා.  ඒක ඇත්තටම ඒ උත්තරේ හින්දම නෙවෙයි, ඒ හිනාවෙයි ඒ ඇස් දෙකේ බැල්මයි මගේ හදවත උණුසුම් කෙරෙව්වා. ඒ වෙද්දිත් මම ප්‍රතිභාට, මගේ හදවත ප්‍රතිභාට ආදරේ කරන බව, ආදරේ කරන්න පටන් ගත්ත බව  මට තේරීලා තිබුණේ. ඒත් අපි කතා බහ කරන්න පණිවිඩ හුවමාරු කර ගන්න ගත්ත මුල් වතාවලදීම ප්‍රතිභාගේ කොන්දේසිය උනේ

" මට ආදරේ කරන්න හදන්න එපා. මම මැරෙන්න ඉන්න මනුස්සයෙක්"

පුංචි කෙටි පණිවිඩේකින් උනත් ප්‍රතිභාට මගේ හිතේ කැමැත්තක් ඇති වෙන බවක් ඇගෙව්වොත් ඒ හැම වතාවේදිම එයා ඒක මතක් කරලා පණිවිඩයක් එව්වා.

" මැරෙන්න ලේසියි, ඒත් ජිවත් වෙන එකයි අමාරුයි, ඇයි ඔච්චර හිතන්න පුළුවන් මනුස්සයෙක් වෙලත්  ඇයි ජිවත් වෙන්න ආයෙම උත්සහා නොකරන්නේ"

සමහර විට මම එහෙම යවන පණිවිඩේකට ආපහු උත්තර විදිහට කිසිම පිළිතුරක් නොඑව්වත් තප්පර ගානකට පස්සේ ආයෙ ම සම්බන්ධ වෙන්න බැරි විදිහට මාව බ්ලොක් කරලා දාන පුරුද්දක් එයාට තිබුණා. පහුගිය මාස පහ හයට මම කිප වතාවක්ම එහෙම බ්ලොක් වෙලා හිටියා උනත් එයා ආයෙම මට පැය ගානකට පස්සේ, දවස් කිහිපයකට පස්සෙ  කතා කරනවා. ඒක පුරුද්දක් විදිහට සිද්ධ උන දෙයක්.  අද මේ හමුවීම පවා එයාගේ උවමනාවට සැලසුම් උනත් අවසන් මොහොත දක්වාම කහ පාට ඇඳුමක් ඇඳගෙන ඇත්කඳ වෙහෙර ලඟට ඇවිත් කතා කරන වේලාව වෙනකම් ම මම විශ්වාස කරේ නෑ එයා මේ ගමන යන්න ඒවී කියන එක.  ප්‍රතිභාට හැමදේම එක මොහොතින් අවලංගු කරලා දාන්න තිබුණා හේතුවක් නොකියාම.

" මැරෙන්න හදන මනුස්සයෙක් මෙච්චර සතුටින් ඉන්නේ කොහොමද කියලද මහත්තයා කල්පනා කරන්නේ" ප්‍රතිභා නකුටු බල්ලව අත ඇරලා එහෙම කියාගෙන මගේ ඉස්සරහින් හිට ගත්තා. එයා නැගිට්ටේ මම බලාපොරොත්තු නොවිච්ච වෙලාවක, අපි දෙන්නා අතර දුර තිබුණේ මිලි මීටර් කිහිපයක්, එයා කොච්චර සරලව එහෙම ඇහුවත් බරට ගත්ත හුස්මක් ඇවිත් මගේ මුණ උණුසුම්ව සිප ගත්තා. මට වචන කිහිපයක් ගොත ගැහෙද්දී ප්‍රතිභා මෙච්චර වෙලාවක් ගාණක් නොතිබිච්ච වැස්සෙන් බේරෙන්න වගේ කඩේ ඇතුළට පැන ගත්තා. තවත් තත්පර ගාණකට පස්සේ මම දැක්කේ උණු තේ කෝප්පයක් අතේ තියාගෙන ඒක නිවා ගන්න තොල් වලට ලං කරන ගමන්, රොටී තැටිය ගාව හිටිය ගෑණු කෙනා එක්ක මොනවදෝ කියවමින් හිනා වෙන ප්‍රතිභාව. එයාට ඒ වේලාවේ මාව අමතක වෙලා තිබුණා හෝ මගේ ගැන කිසිම සැලකිල්ලක් නොදක්වන බවක් ඇගෙව්වා.

කොහොම උනත් මගේ හිත බර වෙමින් තිබුණේ, මම සියළුම දොස් වැස්ස පිටින් යැව්වා. ඒ සීතල හිරි පොද වැස්සට මම වෛර කරන බවක් හිතට දැනෙන්න ගත්තා. තද සීතල වෙනුවට මම මගේ ඇතුළතින් දැවෙමින් ගිනි ගනිමින් පිච්චෙමින් ඉන්න බව මට දැනුනා. මට ඕන උනා ප්‍රතිභාව මෙතන තනි කරලා යන්න. එකෙන් මේ දේවල් තව දුර අරන් යන්න නොදී නවත්තන්න කියලා හිතට බල කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසයක් මගේ හිතට දැනෙන්න ගත්තා. මම ආපහු වතාවක් ප්‍රතිභා දිහා බලද්දී එයා එයාගේ කැමරාවත් එක්ක කාර්ය බහුල වෙලා හිටියේ. එක පාරටම මගේ දිහා බලලා අහිංසක විදිහට හිනා උන ප්‍රතිභා ඊලඟ තත්පරේට මගේ පින්තුර කිහිපයක් ගත්තා.

"අපි යමු" ඊළඟ තත්පරේදී ප්‍රතිභා එහෙම කියාගෙන බයික් එක ළඟ. මට වෙන හෝ වෙන්න නියමිත කිසිම දෙයක් ගැන හිතා ගන්න බැරි උනත් මම එයාට නතු වෙමින් හිටියේ. ප්‍රතිභාට  ගමන එතනින් නතර කරන්න උවමනා වේලා තිබුණා. බයිසිකලේ නුවර පාරට හරවන්න නොදි ආපහු කුරුණෑගල පැත්තට හරවන්න කියද්දිත් මම ඒ ඇයි කියලා ප්‍රතිභාගෙන් ඇහුවේ නෑ. මට කතා කරන්න බැරි  තරමට වචන අමතක වෙලා තිබුණා කියලා ඒ වේලාවේදි දැනුණා.

අවසානේදී මම වචන හොයා ගත්තේ අපි අපේ ගමනාන්තයට ලඟා වෙන්න විනාඩි කිහිපයක් තියෙද්දී.

"ඔයා ඔයාගේ ජිවිතේ සංකිර්ණ කර ගන්නවා" මගේ ඒ වචන සමහර විට හුළඟේ ගහ ගෙන යන්න ඇති එයා නිශ්ශබ්දවම හිටියා. මෙච්චර දුරක් එනකම් මම එයා දිහා පැති කණ්ණාඩියෙන් බලමින් ආවත් එයාගේ මුණෙන් කිසිම දුකක් පසුතැවීමක් පෙනුණේ නෑ. මට පෙනුණේ හුළඟ  එක්ක හිනා වෙමින් ඒ හුළඟ එක්ක මිතුරුකමක් හදා ගන්න උත්සහ කරන ප්‍රතිභාගේ සියුමැලි සුදු මුණ විතරයි. ඒ කොයිතරම් ලෝභ හිතෙන පින්තුරයක් ද කියලා මම කල්පනා කළා මිසක් ඒ හැඟිම් වචන කරන්න විදිහක් දැනන් උන්නෑ.

"ජිවත් වෙන්න ඕන තරම් හේතු ඔයාට තියෙනවා, ජිවිතේ ඕනම දෙයක් පටන් ගන්න හැකියාවක් තියෙනවා, ඔයාට ඕනම කෙනෙක් ආදරේ කරයි, මේ මම උනත්, ඔයා ඒක විශ්වාස නොකළත්," එයාගේ නිශ්ශබ්දතාවය මට වචන එකතු කර ගන්න ශක්තියක් උනා. මේ හැම දෙයක්ම හුළඟේ ගහ ගෙන යන බව දැන දැනම මම හිතේ තියෙන හැම දෙයක්ම කියලා දානවා කියලා හිතා ගත්තා. සමහර විට ඒක එක විදිහක නිදහස් වීමක් වෙන්න පුළුවන් බව මට දැනෙමින් තිබුණා.

" ඇත්තටම මම ඔයාට ආදරෙයි, ඇයි අපිට බැරි එකට ගමනක් යන්න. ඔයාගේ ඔය විකාර අදහස අත ඇරලා. ඔයා නොදන්නවා උනාට ඔයා වටේ කොච්චර මිනිස්සු ඉන්නවද? ඔයා ලියන දේවලට ආදරේ කරන මිනිස්සු, ඔයාගේ පින්තුර වලට ආදරේ කරන මිනිස්සු, ඔයාගේ කතාවලට ආදරේ කරන මිනිස්සු.ඔයාගේ කවි වලට ආදරේ කරන මිනිස්සු, ඒ හැමෝටමත් වැඩියෙන් මම ඔයාට ආදරේ කරනවා. "

මගේ වචන නැවතුනේ අපි ගමනාන්තයට ආව නිසා. ඇත්කඳ වෙහෙර පේන මානෙදි බයිසිකලේ නතර කරන්න කියලා ප්‍රතිභා  මගේ උරහිසට තට්ටුවක් දැම්මා. මෙච්චර වෙලාවක් මම කියවපු වචන නිකම්ම නිකම් හිස් වචන ටිකක් බවට පත් වෙලා තිබුණා. මගේ හිත බර වෙමින් තිබුණේ. එයාට වැඩි උනන්දුවක් තිබුණේ නෑ ඒ වේලාවේ බයිසිකලෙන් බහින්න. ප්‍රතිභා විනාඩි ගාණක් එහෙමම හිටියා. විනාඩි පහ හයකට පස්සේ එයා හිමින් බයිසිකලෙන් බැහැලා මගේ ලඟට ආවා. තත්පර කිහිපයක් මගේ දිහා බලාගෙන ඉදලා මගේ වම් අත අල්ල ගත්තා. ඒ වේලාවේ මම හිටියෙ කොහෙ හරි අතරමං වෙලා. මම ප්‍රතිභා  දිහා බලන්න උනන්දුවක් නැතුවම එයාගේ අත් දෙකේ පැටළුන මගේ වම් අත දිහා බලාගෙන හිටියා. තත්පර කිහිපයක්ම. ඒත් මට ඒ කාලය පැය ගණනාවක්. ප්‍රතිභා හිමිට කතා කරන්න ගත්තේ මට එහෙම දැනෙමින් තියෙද්දි. සාමාන්‍යයෙන් ප්‍රතිභා ඒ විදිහට කතා කරන කෙනෙක් නෙවෙයි. වචන අස්සෙන් උගුර හිර වෙන එක වළක්වන්න හරි, ඉකි ගැහෙන එක වළක්වන්න හරි, එහෙම නැත්නම් ඇස් වලට කඳුළු උනන එක වලක්වන්න හරි එයා ඒ විදිහ තෝර ගන්න ඇති. මොන දේ උනත් ප්‍රතිභා ට  උවමනා වෙන්න නැතිව ඇති එයාගේ දුක හරි, කඳුළු හරි මගේ ඉස්සරහා පෙන්නන්න.

"සමහරවිට ඔයාට තාම තේරිලා නැතිව ඇති,  මම තව මනුස්සයෙක් එක්ක එකට ගමනක් යන එක ගැනවත්, තාවකාලිකව සතුටක් හොයාගන්න එක ගැනවත් තව දුරටත් කැමත්තක් නැති බව. ඔයාට හිතාගන්නවත් බැරි වෙයි ඒක මගේම පැවැත්ම සහ මගේ ගැන, මට ගන්න පුළුවන් කොයි තරම් සාධාරණ තිරණයක්ද කියන එක. මට කාත් එක්කවත් අරගලයක් නැහැ. ඒ වගේම මට කිසි කෙනෙකුගෙන් සාමයක් හොයාගන්නත් බෑ.  මට වේදනාවක් ඇති කරපු ලෝකයෙක් එක්ක  තවදුරටත් ආදරේ ගැන කතා කරන්න මට හිතෙන්නෑ. සමහර විට මම වැරදි ඇති. ඒත් ඒ වැරුද්ද පෙන්වලා දෙන මිනිස්සු ගැන හිතන්නවත් මට උනන්දුවක්, උවමනාවක් නැහැ. හෙට ඉර පායනවා කියලා අපි දන්නවා. මිනිස්සු ඒක අවිශ්වාස කරන්නෑ. මොකද අපි ජිවිතේ දකින්නේ ඒ දේ විතරයි. අපි ඒක විශ්වාස කරනවා.ඒ විශ්වාසය එක්ක බැඳීමක් හදා ගන්නවා. ඒත් මට ඕන එහෙම විශ්වාස කරන්න තරම් මිනිස්සු  බැදෙන ග්‍රහණයෙන් ඈත් වෙන්න. මගේම තීරණයක්  එක්ක නිහඬවම   සැනසීමක් අත් විඳින්නයි. මට මේ ජිවිතේ දී ලබා ගන්න ඉතුරු ඒ සැනසීම විතරයි"

මට හිතුනේ ප්‍රතිභාගේ ඒ වචන මගේ කන් වලට ඇහෙන් නැතුව හුළඟේ විසිරිලා ගියා නම් කියලා. මම එහෙමම විනාඩි ගාණක් බයිසිකලේ වාඩි වෙලා හිටියා. ප්‍රතිභා  යන්න ගියා. මම වචනයක් කියන්නත් කලින්ම. කොහොම උනත් මට කියන්න තරම් වචනයක්වත් හොයා ගන්න බැරිව හිටියේ. තවත් විනාඩි කිපයක් ගත උනාටත් පස්සේ මම පියවි සිහියට ආවේ මගේ දුරකථනය නාද වෙන්න පටන් ගත්ත නිසා. දුරකථනයට පිළිතුරු දෙන අතරේදි මම දැක්කා ප්‍රතිභාගේ කැමරා බෑග් එක පිටි පස්සේ ශිට් එක උඩ තියෙනවා. මම ප්‍රතිභාගේ අංකය ඇමතුවත් එයා දුරකථනය ක්‍රියා විරහිත කරලා තිබුණා. මම තව දුරටත් උත්සහා කිරිමේන් පලක් නැහැ කියලා මට තේරුම් ගැන්නුවේ, මගේ කන් ඇතුළේ දෝංකාර දුන්න එයාගේ අන්තිම වචන ටික. හදවත ඇතුළෙන් රස්නයට පිට වෙච්ච හැඟිමක් කඳුළක් වෙලා වැටෙද්දී මමත් මගේ දුරකථනය ඒ මොහොතේම විසන්ධි කරලා දැම්මා.


.................................................................................................................
.................................................................................................................
.................................................................................................................


⁣" මේ ෆෝන් එක ඔයාගේද? "

සත්සරණි  බඩත් උස්සන් පැද්දී පැද්දි මගේ ලඟට ආවේ ෆෝන් එකට හිනා වේවි.

" ඔයා fb නෑ කිව්වට ඉස්සර මේ ඉදලා තියෙන්නේ," "ඔයාගේ නේද මේ එකවුන්ට් එක"
"මොකක්ද අනේ ඒකේ නම ඇත්තට"
"සන්තියාගෝ නම් සැරිසරන්නා, ඉස්සර ට්‍රැවල් කරපු නිසාද ඒ නම දා ගත්තේ"
" මම නිකං ඔන් කරලා බැලුවේ අනේහ්"
" මං මේ ඉඳිකට්ටක් හොයන්න අර පෙට්ටිය අදිද්දි හම්බුනේ, ඔයාගේ වෙන්නැති කියලා නිකමට ඔන් කරේ" 
" ආ මේ ඔයා කඩේ යනවා කිව්වා නෙහ්, අම්මා කිව්වා පොල් තෙලු යි පහන් වැටී ගේන්න කියලා, හවස බෝධි පුජාවට යන්න. ආ ඔයත් එනවානේ හ් හවස"

සත්සරණි ෆෝන් එක මගේ අතට දෙන ගමන් අහපු ප්‍රශ්න වලට කිසිම උත්තරයක් බලාපොරොත්තු ⁣උනේ නැතුව ම, මට වචනයක්වත් කියන්න තරම් කාලයක් නොදිම ආයෙම ගේ ඇතුළට ගියා. මේ අවුරුදු එක හාමරම ⁣සත්සරණි⁣ගේ හැසිරීම එහෙමයි.
මගේන් දාහක් දේවල් ඇහුවත් ඒ කිසිම දේකට උත්තර බලාපොරොත්තු නොවී හිටියා. එහෙම දෙයක් ඇහුවත් එයා ඒකට මගේ උත්තරේ දැනගෙන හිටියා වගේ හැසිරුණා. ඇත්තටම එයා මගේ උත්තර දැනගෙන ඉන්න ඇති.  ඒකට හේතු උනේ මම උත්තර නොදීම ද එහෙම නැත්නම් එයා උත්තර බලාපොරොත්තු නොවුන එකම ද කියලා මම මෙච්චර කාලයකට හිතලා තිබ්බේ නෑ. සමහර විට මම නිහඬ පුද්ගලයෙක් විදිහට එයා දකින්න ඇති, සත්සරණිගෙයි අම්මාගෙයි හිනාවල් ඇහෙන්න ගත්තා කාමරෙන්, අම්මාගේ යාලුවෙකුගේ දුවක් වෙච්ච සත්සරණි අම්මාගේම යෝජනාවකින්  ගෙදර ලේලි වෙලා ආවා. මගේ බිරිඳ වෙලා ආවා. අම්මයි සත්සරණි දවස ගත කරේ එයාලටමවෙන් වේච්ච ⁣එක ලෝකේක. ඒත් අපි අතර ලෝක දෙකක් තියෙනවා නේද කියලා මට දැනුනේ ආයෙම දෙන්නා හිනා වෙන සද්දේ ඇහුණ නිසා. ඒක තාත්තාගේ විහිළුවක්. මගේ හිත බර වෙන්න ගත්තා. මට අයිති නැති ලෝකයක් මේ ගෙදර ඇතුළේ ගොඩ නැඟිලා තියෙනවා කියන්න  මට දැනුනෙත් ඒ වේලාවේ.

ඒ හිතේ බර ගතියෙන්මයි මම "ප්‍රතිභා දිව්‍යාංජලී" කියලා ප්‍රතිභාගේ නම සර්ච් කළේ. කැමාරව අතින් අරන් කණ්නාඩියට හිනා වෙලා ඉන්න කළු සුදු පින්තුරේ එදා විදිහටම තිබුණා. කිසිම වෙනසක් නැතිව. එහෙම වෙනස් කරන්න  උවමනාවක් වෙන්න නැතුව ඇති කියලා දැනෙද්දි මගේ අතයි හිතයි වේව්ලන්න ගත්තා. ෆෝන් එක ඔෆ් කරලා පැත්තකින් තියන්න හිතුවත් මොකක්දෝ හිතෙන් ආව බල කිරිල්ලකට මට ප්‍රතිභාගේ පින්තුර දකින්න ඕන උනා. මට හම්බවුන පළවෙනි සටහන මීට අවුරුදු දෙකකට කලින් දිනයක් සටහන් වේලා තිබුණා.  ඒ එයාගේ අන්තිම සටහන වෙන්න ඇති. ඒත් ආයෙමත්  මගේ හිත ඒ සටහන කියවන්න බල කළා. මොන දේ උනත් ඒක හිතට දරා ගන්න පුළුවන් නිහඬකමක් මේ අවුරුදු දෙක තිස්සේ  හිත ඇතුළේ ගොඩ නැඟිලා තිබුණා.

"මම ගත්ත සමහර තීරණ වෙනස් නොවන බව සහ වෙනස් නොකරන බවට දිවුරා පෙරොන්දු දුන් අවස්ථා  මගේ ජීවිතයේ තියෙනවා.  එහෙම, දැඩි තීරණ  හදවත  තුළටම කිඳා බැස ඇති අවස්ථාවක උනත්, මගේ පැවැත්ම වෙනුවෙන් ම, ජිවිතය ජිවත් කර විය හැකි තරම් පැවතීමේ ආශාවන්ගේ දිශාවට ජිවිතය තල්ලු කරන්නට වන අවස්ථා, එහෙම නැත්නම් දැඩි හෝ සෘජු තීරණ වඩාත්  මෘදු හා මොළොක්  තීරණයක් දක්වා මාරු කරන ලෙස හදවත ඉල්ලා සිටින දුර්ලභ අවස්ථා ජිවිතේ ට උදා වෙන්න පුළුවන්. ඒක එක්තරා කුණාටුවක් මැදින් ගමන් කරලා අවසානයේ කුඩා නීල වර්ණ දුපතක් සොයා ගන්නවා වගේ හැඟිමක්. මම පසුගිය දවස් කිහිපය ගත කරමින් සිටියේ එවන් කැළඹිමක් සහිත කුණාටු සාගරයක.  කැළඹිලි සහිත සාගරක් වගේ හදවතක් දරන ගැහැනියක් එක්ක, වරින් වර වෙනස් වෙමින්  කුණාටු ස්වරූප ගන්නා හදවතක් සහිත ගැහැනියක්  එක්ක වඩාත් කරුණාවෙන් යුතුව නිර්භීතව ගමන් කිරීමට ධෛර්යය ඇත්තේ ආත්මීය හදවතක් සහිත  පුද්ගලයෙකුට පමණක් බව ඒ කුණාටුව මැද්දේ දී මට අවබෝධ කර ගන්න පුළුවන් උනා. හරිම සරළ කාරණාවක් වගේ.

පහුගිය දවස්වල මගේ ආත්මයම වසාගෙන පැතිරුණ   නිහඬ කෙඳිරිලික්, මට ඒත්තු ගැන්නුවා, ආත්මීය  මනුස්සයෙක්  එක්ක අත්වැල් බැඳගෙන මේ ගමන නිමා කිරීම කොයි තරම් සැනසිලිදායක විය හැකිද යන වග. සීතලම මීදුම පිරුණු පාරක, කොයි තරම් නම් උණුහුම් විය හැකිද යන වග.  වැසි සහිත දහවලක පවා  පෙරන ලද කෝපිවල සුවඳ විඳිම කොයිතරම් නැවුම් හැඟිමක් විය හැකිද යන වග. බෙදාගත් කෑමක්  අනාගෙන කවා ගැනීම කොයිතරම් මෘදු හැඟිමක් විය හැකිද යන වග, නිස්කලංක නිවහනක ආදරණීය සුරතලකු  වැලඳ ගැනීම කොයි තරම් ආදරණිය විය හැකිද යන වග. මහ රෑක මැදියම තුරුළුව කඳුළු පිහදමමින් බාල බොළඳ සිනමා පටියක් නැරඹිම කොයිතරම් ප්‍රේමණිය විය හැකිද යන වග. බඳා වැළඳ ගනිමින්, හාදු තවරමින් යන ඉතා දුර ගමනක් කොයි තරම් සුරක්ෂිත විය හැකිද යන වග.මේ සියලු ආශාවන්, බලාපොරොත්තු මේ වන විටත් මගේ හදවත තුළ නැංගුරම් ලා අවසානයි.

  මෙය මම පාපොච්චාරණය කරන්නට ලියමි ,  සිහින දැකීම  වරක් මා සහ මගේ හදවත භීතියකින් පුරවා තබා තිබුණි. නමුත් දැන්, ඔබ ඉදිරියේ, සිහින ඉටු විය  හැකි බවක්, සිහින ඉටු වන බවක් දැනෙමින් මගේ හදවත ප්‍රිතියකින්, ප්‍රේමයකින් බැබලෙන්නට පටන් ගෙන ඇති බව ඔබට මෙලෙසින්  පාපොච්චාරණය කරමින් ලියමි.  ඔබේ පැමිණිම,  ඔබේ ස්පර්ශය, මගේ  හදවත  තුළ  මට මා අයිතිය යන  හැඟීමක් ඇති කරවන්නට සමත් වී අවසන්. ඒ හැඟිම ලෞකික සීමාවන් ඉක්මවා යන ගැඹුරු සම්බන්ධයක් බව හදවත මට ප්‍රති උත්තර දෙයි.  එය හරියට තර්කයට සහ තර්කයට පටහැනිව නොබිඳිය හැකි බැඳීමක් ඇති කර ගනිමින් අපගේ ආත්මයන් එකට බැඳීමට නියමිත වූවාක් මෙනි.

  මගේ කැමරාවේ කාචයෙන් ඔබේ රූව කාචගත කර ගත් අවස්ථාවේ, මම ඔබේ  සුන්දරත්වය තුළින් මගේම විය යුතු යැයි බල කරමින් කියන ඕබේ හදවත සමඟ අනුනාද වන ඔබේ ගැඹුරු දෑස්  දුටුවෙමි.  එදා මම මගේ කැමරාව ඔබ ළඟ හිතා මතා ම අත හැර දමා ආවාත්, නොදැනුවත්වම එදා මම ඔබට  මගේ  හදවත ද බාර දී ඇත. ඔබ කෙරෙහි වූ මගේ ආදරය මා තුළ ජිවිතයෙන් නික්ම යාම ප්‍රතික්ෂේප කර, බලාපොරොත්තුවේ දැල්ලක් දල්වා ඇති බව ඔබ දැන ගත යුතුයි.

  ඉතින්, මම හුස්ම හිරකරගෙන,  අපේක්‍ෂාවෙන් හදවත පුරවා ගනිමින් ඔබට ලියමි. ඔබේ දෑතට වාරු වී, ඔබ සමඟ ජීවන ගමන එක්ව යාමට මා බලා සිටින වගත්, වරක් ළඟා විය නොහැකි යැයි පෙනුණු සිහින වැලඳ ගැනීමටත් මා තුළ දැඩි ආශාවක් ඇති කරමින්, මගේ වෙහෙසකර ආත්මයට නව ජීවයක් ලබා දුන්නේ ඔබේ ආදරය බව නොසගවා ලියමි. තවමත් අමනාපයෙන් නොවේ නම්, ඉතිං ඔබ මා අමතන තුරු ආදරෙන්............

මට තව දුරටත් ඒ සටහන කියවගෙන යන්න පුළුවන් කමක් තිබුණේ නෑ.  ඒ ඇස්වලින් වැටෙන කඳුළු නිසාවත්, හිත තද උන නිසාවත් නෙවෙයි, "ප්‍රතිභා දිව්‍යාංජලි" කියන නමත් එක්ක කැමරාවක් අරන් කණ්නාඩියට හිනා වෙලා ඉන්න කළු සුදු පින්තුරේ උඩ පුංචි කොළ පාට එළියක් දැල්වෙන්න ගත්ත බව දැක්ක නිසා.  මගේ වෙව්ලන ඇඟිලි වලින්  ඒ මොහොතේ දී ම දුරකථනය  ක්‍රියා විරහිත උනා.





Sunday, August 28, 2022

නිද්‍රාව.

 මම හිටියේ නිද්‍රාවක. ඔහේ එහෙට මෙහෙට පාවෙවී. ඒත් එහෙම පාවෙන ගමන් මම ආදරේ කරන්න ගත්තා." ආදරේ කරන්න " ඔයා එහෙම අහන්න ඉඩ තිබ්බා "ඔව්, ආදරේ කරන්න ගත්තා" මම එහෙම කියන්නත් ඉඩ තිබ්බා. "කාටද?" ඔයා ආයෙම එහෙම අහන්නත් ඉඩ තිබ්බා. "ඔයාට, ඔව් මම ඔයාට ආදරේ කරන්න ගත්තා" මම එහෙම කියන්නත් ඉඩ තිබ්බා. ඒත් ඒ එක වචනයක්වත් දෙබස් විදිහට පිට උනේ නෑ. මොකද මම හිටියේ නිද්‍රාවකනේ. ඔහේ එහෙට මෙහෙට පාවෙවී.


මම ආදරේ කරන්න ගත්තා. මම ඔයාට ආදරේ කරන්න ගත්තා. ඒක හරි හදිසියෙන් ඇති වුණේ. ඒත් අහම්බයක්ම නෙවෙයි. ආදරේ කියලා දෙයක් විශ්වාස නොකරපු මං ඔයාට ආදරේ කරන්න පටන් අරන් තිබුණා. හරියට අකුණක් පුපුරණවා වගේ. විදුලියක් කොටනවා වගේ. හරිම හදිසියෙන් හිතේ ආදරයක් ඇති උනේ. මම ඔයාව කාලෙක ඉදන් දැනන් හිටියා. අපි වරු ගණන් කථා කරලා තිබුණා. අපි එකිනෙකා වෙනුවෙන් ඉදලා තිබුණා. ඒත් ඒ කිසිම මොහොතක මම ඔයාට ආදරේ කරලා තිබුන්නෑ. ආදරේ හිතිලා තිබුන්නෑ. ආදරේ වෙලා තිබුන්නෑ. කොටින්ම ඔයා ගැන එහෙම කිසිම හැඟිමක්වත් තිබුන්නෑ. ඒත් මම පාවී පාවී ඉන්නකොට හදිසියෙම විදුලියක් ව⁣ගේ මගේ හිතට ඔයාව කඩන් වැදුනා.අකුණක් වගේ හිතට ඔයාම පතිත උනා. මම එහෙම කිව්වොත් හරි කියලායි මම හිතන්නේ. එතන ඉදන් මගේ හිත ටික ටික බර ගතියක් දැනෙන්න ගත්තා. මම ඔයාට ආදරේ කරනවා කියන්න මට දැනුනේ එතකොට. හරියට පුංචි අංශුවක් වගේ පුදුම සැහැල්ලුවකින් පාවෙවි ඉන්නකොට.

ඔයා මාත් එක්ක දවස් තුනක් කතා නොකර ඉන්න ඇති. කිසිම පණිවිඩයක් නැතුව. හරි හිතුවක්කාර තිරණයක් අරගෙන ඔයා එහෙම නිශ්ශබ්බද උන වේලාවේ තමයි මම නිද්‍රාවකට වැටුණේ. මට කරන්න කිසිම වැදගත් වැඩක් තිබුණේ නැති නිසා නෙවෙයි. මම පාවී පාවී ඔයා ගැන කල්පනා කළා. හීන මැව්වා. හීන දැක්කා. ඔයාගේ අතින් අල්ලගෙන මුහුදක වෙරළක වැල්ලක හවසක තනිවෙනවා හීන විදිහට පෙනුණා. මන්දස්මිති නැගෙන ඔයා⁣ගේ තොල් අතරින් හිනාවක් පනින්න නොදි මම ඔයාගේ තොල් වල හාදු තැවරුවා. ඔව් මම හීනෙන් දැක්කා. ඔයාට ම මේ වචන මේ විදිහට කියන්න තිබ්බා නම් ඔයා ලජ්ජාවෙන් රතු කර ගත්ත කම්මුල් එක්ක බිම බලාගෙන හිනා වෙන ගමන්, මගේ පිටට පාරක් ගහන්නත් තිබුණා. ඒත් මම මේ කිසි දෙයක් කියන්නේ ඔයාට නෙවෙයි නේ. මට දැන් මගේ හිත එක්ක කතා කරන එකත් ඔයත් එක්ක කතා කරන එකත් අතරේ වෙනසක් දැනෙන්නැ. හරියටම අපේ හුස්මත් හුස්ම ගන්නා හඬත්, හුස්ම හෙළන වේගයත් සමානයි.ඔව් මට එහෙම දැනෙනවා. අපි හරි සමානයි කියලා.

ඉතිං මම ඒ නිද්‍රාවේදි ඔයාට ආදරේ කරන්න ගත්තා. ආයෙ ආයෙමත් කියන්න බෑ. කවමදාවත් නැති විදිහට නොදැනුණ විදිහට හරි හදිසියෙන් එහෙම ආදරේ ඇති උනා. ආයෙමත් හීනයක් දකිනවා. ඔයා මගේ ලඟ ඉන්නවා, මාව බදාගෙන ඉඹිනවා, මගේ සුවඳ තැවරුණ කමිසයක් ඔයා තුරුල් කර ගන්නවා, ඔයා හිමිට ඒ කමිසෙ සුවඳ බලනවා.  හිමිට කඳුළක් පිහදානවා. මට එතකොට නම් හීනෙට ඕන දෙයක් වෙච්චාවේ කියලා හිතා ඇහැරෙන්න හිතුනා. ටිකක් කලබල වෙච්ච පාර එහෙට මෙහෙට දඟලද්දි අර හීනෙත් බොඳ වෙන්න ගත්තා. එක අතකට ඒ හීනේවත් බොඳ නොවී තිබුණදෙන් කියලා මම  සන්සුන් උනා. හීනේ ආයෙම පෙළ ගැහෙන්න පටන් ගත්තා. ඔයාගේ කඳුළු ටික ටික ගලන්න පටන් ගත්තා. පුංචියට පටන් ගත්ත ඉකියක් මහ ටික ටික සද්දෙන් ඇහෙන්න ගත්තා.

' මම ඔයාට ආදරෙයි දෙයියෝ' හීනේ අන්තිම කොටස ඔයා මහ හයියෙන් කෑ ගගහා මාව බඳා ගත්තා. ඕං එතකොටයි මම මාව දැක්කේ ලස්සනට මනමාලයෙක් වගේ අද පැල⁣දගෙන. හරියටම විදුලියක් වැදුනා වගේ උනා. මමත් ඔයාට ආදරේයි කියලා මම කිව්වා ට ඔයාට ඇහුන්නෑ. ඊට පස්සේ හැමදෙයක්ම බොඳ වෙන්න ගත්තා. දඩ බඩ ගලා ලැලී පුට්ටු උනා. මගේ හීනෙන් මාව අයින් වෙලා ආයෙම ඔයා ව පෙන්න ගත්තා. අඬලම ඔයා හොඳටම හෙම්බත් වෙලා කියලා කවුද කිව්වා ඇහුනා. තවත් මිනිස්සු ඒ හීනේ ඇතුළේ ඉදලා කියලා තේරුණේ එතකොටයි.  මට එක එක හඬවල් ඇහෙන්න ගත්තා. සමහර හඬවල් හරියටම හුරු පුරුදු උනාට කවුද කාගෙද කියලා පෙනුන්නෑ. සමහර හීන අපිට ඕන විදිහටම පෙන්නෑනේ.

" දැන් ඔය වැළහින්නක් වගේ ඇඬුවට,මේ  කොල්ලා වහ බීලා තියෙන්නේ ඔය අම්මණ්ඩිගේ වෙන සම්බන්ධයක් අතටම අහු උන හින්දලු" කවුද කාගෙද කියලා කියන්න බැරි හඩක් ආයෙම ඇහුණා. ඒ වෙලාවේ "නෑ, ඒක වැරදි ඒ වැරැද්ද කරේ මම, ඔව් වැරදි මම, වැරදි කරේ මම" කියන්න මට ඕන උනා.  ඒත් එක්කම ආයෙම ඔයා හීනෙට ආව, දෙතුන් දෙනෙක් ඔයාව උස්සගෙන වාහනෙකට දා ගත්තා. අන්තිමට මම නිද්‍රාවේන් නැගිටින්න හැදුවා උත්සහ කරා. ඔයා මගේ පණ, කියන්න ඕන උනා. පරිස්සමින් හිමින්, රිදෙයි කියලා කියන්න ඕන උනා. ඒත් එක්කම ආයෙම මාව වේගයෙන් පාවෙන්න ගත්තා.

මම හිටියේ නිද්‍රාවක. එහෙට මෙහෙට පාවෙවී. හරි හදිසියෙම මම ආදරේ කරන්න අරන් තිබුණා. ඔව්, මම ඔයාට ආදරේ කරන්න පටන් අරන් තිබුණා.  මම පාවෙවී පාවෙවී ඔයාව හෙව්වා. ඔයාට ඇහෙන්න "අනේ මම ඔයාට ආදරෙයි" කියලා කෑ ගහුවා. මම හිටියේ නිද්‍රාවකනේ  ඔයාට ඇහෙන්න නැතුව ඇති. එහෙම ඇහුනා නම් ඔයා පුදුමෙන් මගේ දිහා බලලා හිනා වෙයි. "මාත් ආදරෙයි" කියලා කියයි. මම ආයෙමත් හීනෙක ඔයාව හරි තදින් අල්ලගෙන. "අනේ, මම ඔයාට හරි ආදරෙයි". එහෙම කියලා හීමිට නලළ ඉඹිනවා.  මේ හීන, හීන නෙවෙයි සමහර කතා ලියවෙන්න තිබ්බේ මෙහෙම.

"අනේ මම හරි ආදරෙයි."ඒත් ඒ එක වචනයක්වත් දෙබස් විදිහට පිට උනේ නෑ. මොකද මම හිටියේ නිද්‍රාවකනේ. ඔහේ එහෙට මෙහෙට පාවෙවී. මට හිතුනා තව තත්පර ගානකට කළින් මම ඔයාට ආදරෙයි කියලා දැනුනා නම්, හිතුනා නම්, කිව්වා නම්,
ඒත් ඒ වෙනකොටත් මම නිද්‍රාවට පත් වෙමින් ඉන්න ඇති. මට ඒ තරමටම ආදරේ මඟ හැරෙන්න ඇත්තේ, ඔයාව මඟ හැරෙන්න ඇත්තේ, මම ජිවත් වෙච්ච හැම මොහොතකමත් නිද්‍රාවට පත් වෙලා ඉන්න ඇති. හරියට මේ දැන් වගේ, මැරිච්ච මිනිහෙක් වගේ ඔහේ පා වෙවී ඉන්න ඇති. ඔව් මම මැරිච්ච මිනිහෙක් වගේ නිද්‍රාවක ඔහේ පා වෙවී ඉන්න ඇති. 




Monday, November 30, 2020

මේක මංගල රාත්‍රියක්

 

"මේක මංගල රාත්‍රියක්"


මොන අර්ථයක් හිතේ තියාගෙන මිනිහා ඒ විදිහට කිව්වද කියලා හිතා ගන්න බැරි උනාට මොන විදිහෙන් ගත්තත් මේ මංගල රාත්‍රියක්ම තමයි නේද කියලා දේවිට කල්පනා උනා. ඒත් එක්කම නැගිච්ච හීන් හිනාවකිනුයි ගෑණි බැල්කනියේ පුටුවක දිගා උන මංගල දිහා බැලුවේ. දේවිගේ හිතට ආවේ පොඩි එකියක්ගේ දඟකාර බවක්. හුරතලයක්. මෙහෙම හුරතල් වෙන්න පුළුවන් මංගල එක්ක විතරයි නේද කියලා දේවි දන්නවා. තමන්ට සමීප වෙච්ච වෙන පිරිමි හිටියෙත් නෑනේ. එහෙම උනා නම් සමහර විට ඒ මිනිස්සු එක්කත් දේවි මේ විදිහටම හුරතල් වෙන්න ඉඩ තිබ්බානේ. මංගලත් උනත් කියන්නේ ඒකමයි.

"
ඔයා මට ආදරේ ඔයාට ආදරේ කරන්න වෙන කවුරුත් නැති හින්දා ඔයාට කෙනෙක් ලැබුණාම ඔයත් යන්න යයි"

මංගල පොඩි එකෙක් වගේ කියවන වෙලාවට දේවි කරබාගෙන හිටියා මිසක් මිනිහට තමන්ගේ ආදරේ ගැන තේරුම් කරන්නවත් දිව්රන්වත් ගියේ නෑ. එහෙම කරලා ලඟ තියා ගන්න පුළුවන් වස්තුවකුත් නෙවෙයිනේ. මංගල කියන්නේ තමන්ට අයිති නැති වස්තුවක් කියන්න දේවි දන්නවා. ඒ හින්දා ඒ වෙලාවට හිනා වෙලා කරබාගත්තා ඇරෙන්න ගෑණි වචන එක්කහු කරලා උත්තර බදින්න හදිසි උනේත් නෑ. එහෙම වචනෙන් උත්තර නොබැන්දට මංගලගේ හිත කුඩා කුඩා කෑලි වලට විසිරෙන්න කඩා බිඳ දාන්න අවස්ථාවක් ලැබුණම ඒක අත නොහැරම බාර ගත්තා. එහෙම  තමයි ගෑණු උනහම, හැමදේම බන්දේසියක තියලා මිනිහට පුජා කරලා කර බාගෙන ඉන්නයැ. මොකද මිනිහයි කියලා පාරිශුද්ධකමේ සංකේතයක්යෑ. පුහ් දේවි නොදන්න මංගල.

පොරෝනය අතට අරන් ඇඟේ දවටගෙන දේවි කණ්ණාඩිය ඉස්සරහා හිට ගත්තා. බැලු බැල්මට වයස තිහක වගේ පෙනුමක් තිබුණට තමන්ට දැන් තිස් නවයත් පැනලා කියලා දේවිට මතක් උනා. ඒත් තවමත් සිත්ගන්නා සුලු තමන්ගේ ශරිරය දිහා ම බලන් ඉන්නකොට අමුතු  තාලයේ තිගැස්මක් දේවිගේ  හිතට ඇතුලු උනා. පුළුල් වටකුරු උකුළත්, සිහින් දිගු කලවත්, සිහින් යැයි කිව හැකි උවත් වළලුකර දක්වාම පිරි ඇති කකුලුත්, සියුම් ස්පර්ශයකින් පවා රතු වන කම්මුලත්, පිරුණු උස්ව පිහිටි පියයුරුත් දේවි ව සැහීමකට පත් කරවන්නට සමත් උනා. තමන් යටතේ වැඩ කරන වයස විසි පහ ද නොඉක්මවූ තරුණියන් අතරින් ද දේවිගේ රූපයම කැපී පෙනෙන හේතුව ඒ මොහොතේ කණ්ණාඩියේ සටහන් වෙලා තියෙනවා තමන්ගෙම ඇස් දෙකෙන් විද ගැනීමේ රසයෙන් දේවී තවත්  මොහොතක් මත් උනා. තාමත් රතු පාටට හැරිලා තියෙන බෙල්ල දිහා කණ්ණාඩියෙන් බලලා පුංචි සිරිමක් තියෙන තැනක් අත ගාලත් බැලුවා. හෙට හයිනෙක් දාපු රෝසපාට ජැකට් එක අදිනවා කියලා ඒ වෙලාවේදිම දේවි කල්පනා කරා. 

මේ පුහුණු සැසියට සහභාගි කරන්න ව්‍යාපෘතියට අලුතින් බඳව ගත්ත සහකාර අධ්‍යක්ෂවරයෙක්වත් නම් කරන්න කියලා ලේකම්තුමාගේන් උපදෙස් ලැබුණා. සහකාර අධ්‍යක්ෂවරුන් හතර දෙනාගෙන් දේවි පළිහවඩන මැණිකේගේ නම   යෝජනා කරපු අධ්‍යක්ෂවරයා අවසන් මොහොත දක්වාම බලාපොරොත්තු තියාගෙන හිටියේ තමන්ගේ නම පුහුණු සැසියට යෝජනා වෙයි කියලා. මංගල කිසිම නමක් යෝජනා නොකෙරුවත් ලේකම්තුමා මංගලටයි දේවිටයි පුහුණු සැසියට සහභාගි වෙන්න අනුමැතිය දිලා තිබුණා. තමන්ව මේ පුහුණු සැසියට යෝජනා වෙන්න පළවෙනි හේතුව විදිහට මංගල කිව්වේ තමන්ගේ පදිංචිය පුහුණු මධ්‍යස්ථානය කිට්ටුව නිසා කියන එකයි. එදා හවස දේවිට මංගල කෙටි පණිවිඩයක් එව්වා “නරියා කේජු කන්න හිතුවා මදි” ඊ‍ට පස්සේ  හිනා  මුණු තුනක්ම.  ආයෙම දේවිගේ හිතට ආවේ නුපුරුදු දඟකාර කමක්. බැල්කනියේ සිගරට් එකක් උර උර හිටපු මංගලගේ බෙල්ල බදාගෙන උරහිස හපන්න දේවිට ඕන උනා.

වෙනදා නම් ගඳයි කියලා සිගරට් එකක් බිව්වට පස්සේ මංගලට සෑහෙන වෙලාවක් යනකම්ම තමන් ලඟටවත් එන්න ඉඩ දුන්නේ නැති, ඒ වෙලාවට ලඟටවත් ආවේ නැති ගැණිට මොකද අද උනේ කියලා මංගල කල්පනා කෙරුවා. ඒ වේලාවේ හිතේ දේවිට ආදරයක් තියෙනවා කියලාවත් පෙන්නන්න මිනිහට උවමනාවක් තිබුණේ නෑ. ගැණි බලාපොරොත්තු උනේ මංගල තමන්ව වටයක් කරකවලා උකුලේ ඉන්දවගනී කියලා. ඒ විතරක් නෙවෙයි අත් පටලවගෙන ආදරේයි කියලා මුමුණයි කියලත් දේවිගේ හිතේ තිබුණා. දේවි හරි කැමතියි මංගලගේ මුද්දක් තිබුණු අතේ තමන්ගේ අත පැටලිලා තියෙනවා දකින්න. එතකොට නම් මංගලගේ හිත පොඩ්ඩක් හරි ගැස්සෙනවා කියන්නත් දේවි දන්නවා. ඒක ඇගෙව්වේ නැතුවට ඒ වේලාවට මංගලගේ ඇස් පියවෙන විදිහට දේවිට අනුමානෙකට එන්න පුළුවන්. මොනවා උනත් මගුල් මුද්ද දකිද්දි කසාද ගැණිව මතක් වෙනවත් ඇතිනේ.


"
ඉන්න මම චොකලට් පෙත්තක්වත් කාලා එන්නම්" මංගල නැගිටින්න හැදුවේ දේවි සිගරට් ගදට කැමති නෑ කියලා දන්න හින්දාම නෙවෙයි, මේ ගමන ආවේ දේවි එක්ක නිදහසේ ඉන්න උනත් මිනිහට ටික වේලාවක් තනියම ඉන්න ඕන වේලයි තිබුණේ.

"
ඕන නෑ, මේක මංගල රාත්‍රියක්" දේවි කිව්වේ මත් වෙච්ච හුරතල් හඬකින්. මංගලගේ මනමාලකම පිරුණු කටහඬ අනුකරණය කරමින් ඇගිල්ලකින් මංගලගේ පපුවේ හදවතේ හැඩයක් අදින ගමන්. මොන ප්‍රශ්නෙක හිටියත් ගැණියෙක්ගේ ඒ වගේ හුරතලේකට දමනය නොවෙන පිරිමියෙක් ඉන්න විදිහක් නෑනේ. දේවි කලින් බලාපොරොත්තු වෙච්ච විදිහටම මංගල දේවිව වටයක් කරකවලා උකුලට ගත්තා.

"
ලොකු දුව බිග් ගර්ල් කෙනෙක් වෙලා, දැන් කෝල් එක ආවේ ගෙදරින්”

මංගල ඒක කිව්වේ දේවිගේ කම්මුලක් ඉඹින ගමන්මයි. දැන් ටිකකට කලින් නාද වෙච්ච දුරකථනයත් අරන් ඇදෙන් නැගිටලා එද්දි හිතේ බර ගතියක් තිබ්බත් ඒ ගතිය ටිකක් අඩු වෙලා තිබ්බේ. මංගල කැමතිම දේවි ලඟ ඉද්දි දැනෙන ඒ සැනසිල්ලටයි.

"
දැන් ම අහපවු යනවද?" දේවිගේ කටහඬ පැහැදිලිව ඇහුණත් ගැණිට දුක ඇති කියලා මංගල දන්නවා. ඒත් ඒ බවක් ඇඟෙව්වේ නෑ. දේවිගේ හිත අවුස්සලා බලන්න මංගල කැමති. ඒක දේවිත් දන්නවා. නොදන්නවා වගේ ඉන්නවා. ඒක ගෑණු ගතිය වෙන්නෑ.  මංගලටත් දේවිටත් දවස් හතරක රාජකාරි නිවාඩුවක් ලැබිලා තිබුණේ. දේවි කොළඹින් එන්න පරක්කු වෙද්දි මංගල හිටියේ තිගැස්මකින්. මංගල කලින් දවසේ ම නුවර ආවා. ගෑණිගේ හිත අන්තිම  මොහොතේ වෙනස් වුනොත් කියන බය මංගලගේ හිතේ තිබ්බා. මංගල දේවිගේ ඇස් වලට එඹුණා. දැන් විනාඩි ගනනකට කළින් ඒ ඇස් වල තිබ්බ දිප්තීමත් ගතිය ටිකක් අඩු වෙලා තිබුණත් ඇස් ප්‍රබෝධයෙන් පිරිලා තියෙනවා  කියන්න මංගලට අඳුන ගන්න පුළුවන්. 

“
දැන් අවසර ගන්නත් අමතක වෙනවා නේද?" ගැණිට එහෙම කියවුණා. මංගල මුල් දවස් වල එහෙමයි. දේවිගේ ඇස් වලට එඹෙන්නත් දේවිගෙන්ම අවසර ඉල්ලුවා. ඒ අවසරය ගොඩක් දුර අරන් යන්න වෙච්ච දවසක මංගල කියපු වචන දේවිට කල්පනා උනා. “මගේනේ” ඒ කෙටි උත්තරය එදා වගේම අද දක්වාත්, මේ මොහොත දක්වාත් දේවි ව උන්මාදයට පත් කරපු වචනයක් වෙලා තිබුණේ. 

“
අවසර ගන්නේ මොකටද?” මංගල ගේ ඒ වචන අගට  තමන්ව උමතුවට පත් කරවපු වචනත් එල්ලෙයි කියලා දේවි තත්පර ගානක් මංගලගේ මුණ දිහා බලා හිටියා. “දැන් මේ හැමදේම මම කැමති විදිහට”  තවත් විනාඩි ගානක් දේවි මංගල ගේ මුණ දිහා බලන් හිටියා. තත්පරෙන් තත්පරේ ගැහෙන ඇහිපිය අගට මද උණුසුමක් එකතු වෙනවා දේවිට තේරුණා. ඒ කඳුලක් නැගෙද්දී දැනෙන උණුසුම කියන්න දේවී දන්නවා උනත් දේවිට කඳුළු ආවේ හිතට දැනෙන දුක හිතෙන කාරණා වලට විතරක් නෙවෙයි. දේවි ඒ බව හොඳටම දැනන් හිටිය නිසා තමන්ගේ හිතට ආව ආවේගය කඳුළු අතරින් දිය වෙලා යන්න ඉඩ දුන්නා උනත් ඒ කඳුළු මංගල‍ගෙන් හංග ගත්තා. 

“
රෑ කැමෙන් පස්සේ මම පිටත් වෙනවා, හැබැයි හෙට හවසට එනවා” මංගලගේ මනමාල කම රැදුණු කට හඬ දේවිගේ කම්මුල් මතට වැටුණා. නිකටෙන් අල්ලලා ඉවත ට හැරුණු දේවිගේ මුණ තමන්ගේ පැත්තට හරවගන්න මංගල උත්සහ කරත් දේවි හිටියේ ගලක් වගේ වෙලා. ගෑණියෙක්ට ගැණියෙක් වගේ මොලොක් වෙනවට වඩා පිළිමයක් වගේ ගල් වෙන එක ලේසී. හදවත පසාරු වෙන තරමට දැනෙන ඊතල හිසැති චවන වලින් ගැලවෙන්න, අතින්වත් නොඅල්ලා රිද්දන රැවුම් වලින් නොසැලෙන්න,  ගැණියෙක් හැම වෙලාවකම ගලක් වෙලා ජිවත් උනා.

දේවි පළිහවඩන මැණිකේ මේ වෙලාවේ හිටියේ නුවර විදියක තුන් මහල් නිවාඩු නිකේතනයේ බැල්කනියේ පිරිමියෙක් එක්ක උනත්,දේවිගේ හිත ඈතට ඉගිල්ලිලා ගියා. ඒක අතකින් අල්ලා නවත්තන්න පුළුවන් ගමනක් නෙවෙයි.
ඒ ගමන අතරේ දේවිට තවත් පිරිමි කිප දෙනෙක්ම හම්බුනා.

පලිහවඬන ආරච්චි දේවිගේ තාත්තා හැමදේම මට ඕන හැටියට වෙන්න ඕන උස් ගොරෝසු හඬකින් කෑ ගැහුව පිරිමියෙක්,

මලික් පලිහවඬන දේවිගේ ලොකු අයියා
දේවි ඉස්කෝලෙදී, පාරේදී, පංති වලදි කාවද ආශ්‍රය කරන්න ඕන කියලා තිරණය කරපු, ඒ හැමදෙම එයාට ඕන හැටියට වෙන්න ඕන කියලා හිතපු පිරිමියෙක්,

බණ්ඩාර රැක්මල්වත්ත දේවිගේ ඥාති මාමා, තමන්ට ඕන විදිහට කුඩා දේවිව අත පත ගාපු පිරිමියෙක්

තුසිත් පිලිහවඬන දේවිගේ මද්දු අයියා තමුසේ හැදෙන්න ඕන පවුලේ මිනිස්සුන්ට ඕන හැටියට කියලා ඇමරිකාවේ ඉදන් දේවිට තර්ජනය කරන පිරිමියෙක්,

තරිඳු දේවිගේ පාසල් ප්‍රේමය තමන්ට ඕන වෙද්දි ලං වෙලා තමන්ට ඕන වෙද්දි ඈත් වෙච්ච පිරිමියෙක්,

ඊට පස්සේ තවත් සබඳතා පවත්වපු, තමන් කැමති විදිහට දේවි වෙනස් වෙන්න ඕන කියලා හිතපු පිරිමි කිප දෙනෙක්,

අසුන්තක ප්‍රසංග එහෙම නැත්නම් කොයිලා විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමේ නායකයා, ධනපති පංතිය එක්ක තිබ්බ අරගලය දේවිගෙන් පිරිමහගන්න උත්සහ කරන්න වගේ පිකටිං දිනවල රාත්‍රිය දේවිට වෙන් කරපු පිරිමියෙක්,

විහඟ තමන්ට වඩා වයසින් ලබාල දේවිගේ ප්‍රේමවන්තයා, දේවිගේ කැමත්තට වඩා තමන්ගේ කැමැත්තට දේවි කැමති වෙන්න ඕන කියලා හිතපු,ඒ තමයි පිරිමිකම කියලා හිතපු පිරිමියෙක්,

දේවි මේ පිරිමි රූපත් එක්ක හිතින් පොර බඳින අතරේ මංගල ආයෙමත් වතාවත් දෙවිගේ නිකටිං අල්ලලා තමන්ගේ පැත්තට මුණ හරව ගන්න උත්සහ කළා. දේවිගේ කඳුළු ටිකෙන් ටික උණුසුම් වෙනවා මංගලට දැනුණේ නෑ. හදවත වේගෙන් ගැහෙනවා මංගලට දැනුණේ නෑ.

"
මොකද ළමයෝ වෙලා තියෙන්නේ, මේ පොඩි වෙලාව නරක් කරන්න එපා, කෝ ඉතිං" ආයෙමත් මංගල වමතින් දේවිගේ නිකටින් අල්ලලා තමන්ගේ පැත්තට දේවිව හරව ගන්න උත්සහයක් දෑරුවත් ගෑණිගේ මුරණඩුකම එහෙමම තිබුණා. දෙවන තුන්වන වතාවලිදිත් මංගලගේ උත්සාහය අසාර්ථක උනා. හතරවෙනි වතාවේ දි මංගලගේ වමතට කලින් දේවිගේ දකුණු අත ඉස්සර උණා. ඊටත් තත්පර ගානකට පස්සේ දේවිගේ දකුණු අතට ටික වෙලාවවකට කළින් දේවි ඉඹගත්ත මංගලගේ බෙල්ල හිර වෙමින් තිබුණා. හිර වෙන හුස්මත් එක්ක මංගල දැක්කා දේවිගේ ඇස් වලින් කඳුළු වැලක් එලියට පනින හැටි. ඒ කදුළු වල ලේ පාට මිශ්‍ර වෙලා තියෙන හැටි. රවුම් වෙලා විශාල උන ඇස් ගෙඩි වල ලේ පාටින් නහර ඉලිප්පිලා තියෙන හැටි.

"
යක්ෂණි" මංගලගේ කටින් අන්තිමට පිට උන වචන, මිමිණිල්ලක් විතරයි.

ඊටත් පැය කිහිපයකට පස්සේ දේවි තමන්ගෙම වාහනය කොළඹ නුවර පාරේ ධාවනය කරමින් හිටියා උනත් ගැණිගේ හිත වේගයෙන් ගැහෙන්න ගත්තා. හිත තමන්ගේ පාලනයෙන් තොරයි කියන්න දේවිට දැනෙනවා. පේරාදෙණිය පහු කරද්දි වැටෙන්න ගත්ත පොද වැස්ස කඩුගන්නාව හරියෙදි තද වැස්සක් වෙලා වැටුණා. ඒ වැස්සේ තෙමි තෙමි තමන්ට අඬන්න පුළුවන් නම් කියලා දේවිට කල්පනා උනත්, ගෑණි වාහනය නතර කළේ නෑ. මේ ජිවිත කාලෙදිම තමන්ගේ උවමනා වලට කිසිම තැනකදි නතර වෙන්න පුළුවන් වෙලා නෑ නේද කියලා ගෑණිට කල්පනා උනා. වමට දකුණට පැද්දෙන වයිෆරය අතරින් බොඳ වෙලා පෙන පාර දිගේ දේවි වේගයෙන් ඉස්සරහට ඇඳුණා.

"
මේක මංගල රාත්‍රියක්" වමට දකුණට පැද්දෙන වයිෆරය තුළින් නොනවත්වාම ඇහෙන්න ගත්ත හඬ දේවිව නොසන්සුන් කළා. වයිෆරය තවත් වතාවක් වම් අතට නැවෙද්දි ඇහුණ "යක්ෂණි" කියන මිමිණිල්ල නොඇසෙන්න දේවි තමන්ගේ අත් දෙකින්ම කන් දෙක වහගත්තා. 

 


Thursday, July 2, 2020

රඟහළකි ජිවිතයම

රාම ඒ වතාවෙදිත් ඇස් උස්සලා මගේ දිහා බැලුවා. හරියටම කෙළින්ම මගේ ඇස් වල කළු ඉංගිරිය දිහාවෙම. හරි කෙළින් බැල්මක් ඒක. ..........තත්පර ගානක් ගත උනත් කිසිම හෙළ වීමක් නැතුව රාම ඒ විදිහටම බලාගෙන හිටියා. ඒත් හරි නම් රාම ඒ වේලාවෙදි ඉන්න ඕන බිම බලාගෙන. බිම බලාගෙන.  පිටපතේ තිබුනේ ඒ විදිහට. මම දෙතුන් වතාවක් ම පිටපත කියවලයි හිටියේ. පොලිෂ් මැදලා තිබ්බ ලී තට්ටු වේදිකාවක්. රාමට රාමගේම ප්‍රතිබිම්භය පේන තරමට ලී වේදිකාව මැදිලා තිබුණේ. අපි ම කොච්චර මේ ලී වේදිකාවේ එහෙට මෙහෙට බරට අඩි තියලා තියෙනවද?

රාම උන්නේ බිම වාඩි වෙලා. දකුණු කකුල දනිස ගාවින් නවාගෙන ලී වේදිකාවට බර දීලා. වම් කකුල නවාගෙන හිටියත් මා පට ඇඟිල්ලෙන් ලී වේදිකාවේ මොනවද අඳින ගමන්. ඒ කොටස  පිටපතේ නෑ. කැම්මි කට් කිව්වෙත් නෑ. අපි දිගටම චරිත වලට ගිලුණා. රාම ඉන්න ඕන බිම බලාගෙන. මේ වෙනකල්ම රාම වම් කකුලේ මා පට ඇඟිල්ල දිහාම බලාගෙන හිටියා. කැම්මි කට් නොකියන්නේ ඒ නිසා. රාමගේ නොන්ජල් මුණට ම හරියන චරිතේ ඒක. රාමගේ බැල්මත් නොන්ජල්. නොන්ජල් කියන එකේ හරිම තේරුම මොකක්ද කියලා මම දන්නැති උනාට ඒක රාමට ගැලපෙනවා. නොන්ජලයා. කට කොනකට හිනාවක් ආවත් මම හිටියේ චරිතේට ආරුඩ වෙලා. කාලි වැහුණා වගේ තමා.

මම චරිතෙන් මිදෙන්නේ මේ වේලාවට. කැම්මි දැන් කිප සැරයක්ම රාමට මතක් කරනවා මගෙන් ඒ වචන පිට වෙද්දි රාම ඉන්න ඕන බිම බලාගෙන කියලා.

“ මේ ලෝකේ පෙරලුනත් රාම ඔය ඉන්න විදිහටම ඉන්න” කැම්මි කියන්නේ එහෙම.

මම හිටියේ පොඩි මේසයක් උඩ. අපි මේසේ හොයා ගත්තේ MH1 දේශන ශාල‍ාවෙන්. ඒ මෙසේ උඩ පුටුවකුත් තියලා. හරියටම එතකොට මම හිටියේ මෙසේ උඩ තියෙන පුටුවේ. රාම ඉන්නේ මට පහලින් වේදිකාවේ ඉඳගෙන. ඒ පුටුව උඩ ඉද්දි මට අමරදේවේ පිටිම පස්සේ පුටු පේලියත් පේනවා. මම  පුටුවට නැගපු ගමන් චරිතෙට ආරුඪ වෙනවා. මුළින්ම බිම ඉන්න රාමට රැවුමක්. ඊළඟට මාව අහගෙන ඉන්නවයි කියලා හිතින් මවා ගත්ත ගෑණු රූප වලට හිනාවක්. හිනාවක් කිව්වට ඒක හිනාවක්ම නෙවෙයි. කැම්මි කැමතිම ඒ කොටසට. “ඒක මාරයි” කියලා තමයි කැම්මි කියන්නේ. ඊළඟට වේගෙන් පටන් ගන්න මගේ කථාව. අමතන්න තියෙන්නේ හිතින් මවා ගත්ත ගෑණු ගොඩකට. එතන ඉන්න එකම පිරිමියා රාම. පිටපතේ තිබ්බේ  එහෙම. කැම්මිගේ වැඩක් බලන්න SSH විතරක් නෙවෙයි MGT එකයි, AGRIඑකයි,APPLIDE උනුයි අමරදේවේ පිරෙනවා. එදාට මේක පුරාම දකින්න වෙන්නේ පිරිමි හිස් ගොඩවල් විතරයි. උන්ගේ උරහිස් වලටයි, පපුවලටයි, හේත්තු වෙච්ච ගෑණු රූප තියෙයි තමයි. සිය ගානක ගෑණුන්ට කථා කරද්දි පිරිමින්ට ඇලුණු ඒ ගෑණු රූප වලින් මට සත පහක උදව්වක් නොවෙන හින්දා ගෑණු ඔළු ගොඩක් මම මවා ගන්නවා. මේසේට නැඟලා පුටුවට නඟින්න කළින් මම ඒක කරනවා. මට ඕන වෙලා තිබුණේ මේක මතක හිටින චරිතයක් කරන්න.

එක එක විදිහේ මුණු ගොඩක්. අමරදේවේ ලයිට් අඩුම තැන තද රතු පාට ලිප්ටික් ගාපු සුදු පාට ගෑණියෙක්,ඉස්සරහා පේළියේ කළු පාට ගෑණියෙක්, කමිස අඳින ගෑණියෙක්. සාරි අඳින ගෑණියෙක්, කැරළි ගැහුණු නොපිරපු කොණ්ඩයක් තියෙන ගෑණියෙක් මැද අසුනක, ඊළඟට නිකටේ තැනින් තැන රැවුල් ගස් වැවුණ ගෑණියෙක්, කොණ්ඩේ පාට කරපු ගෑණියෙක්, කණ්නාඩි දාපු ගෑණියෙක්, පිරිමියෙක්ට අයිති නැති පිරිමි ගෑණු මුණක්, අඩන ගෑණු මුණක්, හිනා වෙන ගෑණු මුණක්, කඳුළු පෙරන ගෑණු මුණක්, අඩන්නෙත් නැති හිනාවෙන්නෙත් නැති ගෑණු මුණක්, ‍ටිකක් හිනාවෙන ටිකක් අඩන ගෑණු මුණක්, වැහැරුණු ගෑණු මුණක්,  අහංකාර ගෑණු මුණක්, අහිංසක ගෑණු මුණක්, නපුරු ගෑණු මුණක්, සුදු ගෑණියෙක්, කළු ගෑණියෙක්, තලෙලු ගෑණියෙක්, මහත ගෑණියෙක්, කෙට්ටු ගෑණියෙක්, ලස්සන ගෑණියෙක් සහ කැත ගෑණියෙක්. අන්තිමට පිරිමියෙක් වගේ කෙළින් බලන් ඉන්න ගෑණියෙක්.

කැම්මි කියනවා නවතින තැන් වලදී ඒ එක එක ගැණු රූප දිහා බලන්නලු. මම මවා ගන්න ගෑණු රූප ගැන කැම්මි දන්නේ කොහොමද? පිටපතේ එහෙම දෙයක් ලියවිලා තිබුන්නෑ. මේ මම චරිතෙට ආරුඪ වෙන්න පුහුණු වෙන විදිහ.

මම කථා කරනවා. අත පය එහෙට විසික් මෙහෙට කරමින්. ආයෙමත් එකතු කරමින්. පපුව මැද්දනේ බැඳ ගනිමින්.

“ඔබ ඔබේ හදවතට ඇහුම්කන් දෙන්න. ඔබේ මනසට ඇහුම් කන් දෙන්න. කුමක්ද ඔබට දැනෙන්නේ. කුමක්ද ඔබ සිතන්නේ. මේ මහා විශ්වය තුළ ඔබ එක කුඩා අංශුවක්. ඔබ දුවිල්ලක්. පයට පැගෙන. කාටද ඇහෙන්නේ. ඔබේ විලාපය. කඳු මුදුන් වල දෝංකාර දෙන ඔබේ විලාපය. ශෝකය. පසුතැවිල්ල. ගැණුන්ගේ ඇඳුම, ගැහුණුන්ගේ  කදුළු, ගැහුණුන්ගේ හිනාවල්, ගැණුන්ගේ නිදහස, ගැණුන්ගේ සීමාව, ගැහැණුන්ගේ අහවල් දේවල්, කවුද තිරණය කරන්නේ?  ඒකට ඉන්නවා පිරිමි සංහතියක්”

මම දකුණු අතේ දඹර ඇඟිල්ල වේදිකාවේ වම් කෙළවරේ ඉදන් මට දකුණු පැත්තෙන් බිම වාඩි වෙලා ඉන්න රාම දිහාවට ගේනවා. පිරිමි සංහතිය ම හරියට ඒ වෙලාවේ එතන බිම වාඩි වෙලා ඉන්නවා වගේ. මගේ සමච්චල් හිනාව. බැල්ම, මේ ඔක්කෝම රාම දිහාවට. රාම තාමත් බිම බලාගෙන.

“තමන්ගේ ගැණි ආදරය හොයද්දී ඒ වේදනාව උඹට දැනුනද? ආදරය ලබන්න පුළුවන් හොඳම ක්‍රමය ආදරය දීම කියලා උඹ හිතුවද? රැකවරණය දීම කියන්නේ කොට ගවුමකට තහනම් කියලා ලේබල් ගහන එක කියන්න උඹට ඉගැන්නුවේ කවුද? පිරිමි සීයකට එකතු වෙලා එක ගෑණිනියෙක්ට හිනා වෙන්න අයිතියක් කොහෙන්ද? ගෑණියක්ට ආදරය තියෙන්න පුළුළුන්, ආදරය ලබන්න පුළුවන් පිරිමියෙක් ඉන්න තැන විතරද? කොහෙමද?” රාම තාමත් ඉන්නේ බිම බලාගෙන. මම මගේ හඬ දියවෙන්න ඉඩ හරිමින් ඉන්නේ.

“ප්‍රේමයට තියෙන්නේ පුදුමාකාර බලයක්, ඒ දිව්‍යමය බව උඹට  මගෙන් ලැබෙන්නෑ රාම. උඹට මගෙන් ලැබෙන්නෑ. ඒ ප්‍රේමයේ බලය පළමු ස්පර්ශය තුළම දැනෙන , අවුරුදු සීයක් උනත් සීතල ‍වෙලා ගල් ගැසී මේ සිරුර මත පැවතිය හැකි දෙයක් රාම. පැවතිය හැකි දෙයක්. මගේ ප්‍රේමයේ පළමු ස්පර්ශය උඹ නෙවෙයි රාම.” පිටපතේ නැති උනත් හරියටම රාම මගේ දිහා කෙළින් බැලුවේ අන්න ඒ වේලාවේ. මේ දැන් හත් වෙනි වතාව. ඇස් විනිවිදින බැල්මක්. තත්පර ගානක හෙළවීමක්වත් නැතිව, ඒ නොන්ජල් මුණ නොන්ජල් ඇස්. නොන්ජල් පෙණුම. නොන්ජලයා.

හිල්ටන් කැන්ටිමේ අඳුරු මුල්ලක, පෙතියායි මමයි කථා කර කර හිටියා. අපි කැන්ටිම ආවේ බෙන්ච් එකක ඉද ගන්න බැරි රමට වැස්සක් වැටුණ නිසා. තෙත් වෙච්ච ඇඳුම් වලින්. පෙතියාගේ අත්, මගේ අත් වලින් උණුසුම් උනා. මගේ උණුසුම් වෙච්ච අත් වලින්ම පෙතියාගේ කම්මුල් උණුසුම් උනා. පෙතියාගේ රෝස පාට තොල් මගේ ඇඟිලි වලින් උණුසුම් උනා. ඊළඟ විනාඩියෙදී මම මගේ උණුසුම් තොල් වලින් පෙතියාට මගේ හුස්මක් උරන්න දුන්නා. තත්පර ගානකදී ඒ රෝස පාට තොල් මගේ දුඹරු තොල් පෙති වලින් මිදුණා. තවත් තත්පර ගානකට පස්සේ වැස්සෙම පෙතියා බෝයිස් හොස්ටල් එක පැත්තට යනවා මම බලාගෙන හිටියා වැස්ස අස්සෙන්. සති ගානක් යනකම් අපේ හොස්ටල් එකේ පෙතියාගේ පලමු හාද්ද ගැන කතා කවි නාට්‍ය හැදුනා. පෙතියාගේ චරිතෙට පණ දෙන්න හොස්ටල් එකේ කෙල්ලො පොලිමක් හිටියා. මාස ගානකට පස්සේ පෙතියා රාම වෙලා, පිටපතේ ත් නැති කොටසක්, මගේ දිහා කෙළින් බලන් ඉන්නවා. ඒ නොන්ජල් මුණ මැද්දෙන් මට මේ හත් වෙනි වතාවේදි අර රෝස පාට තොල් පෙති පෙනෙන්න ගන්නවා. රාමගේ ඇස් වල තියෙන්නේ ඒ කථාව. පහුගිය මාස හය පුරාවටම තමන්ගේ පළමු ආදරයේ පළමු හාද්දේ රස දෙවෙනි වතාවටත් බලන්න පළමු ආදරය ජීවිත කාලය පුරාම සුරක්ෂිත කරන වගට වෙන පොරොන්දු ගොන්නකුත් එක්ක කාලය කා දැමීමේ ආදරණිය කථාව. රාමගේ පරම පාරිශුද්ධ ප්‍රේම වෘත්තාන්තය. ඒ වෙනකොටත් මම සීනියර් බැජ් එකේ පොළා එක්ක හිච් කියන්න හැමෝම දැනන් හිටියා.

“කට්. මේ ලෝකේ පෙරලුනත් රාම ඔය ඉන්න විදිහටම ඉන්න. බිම බලාගෙන. පිටපතේ තියෙන්නේ එහෙම නේ. මතකනේ බිම බලාගෙන” , හරි ඒ ලයින් එකටම ආයෙම යමු”

“මේක මෙහෙම කරන්න බෑ”  මම පුටුවෙන් ඩෙස් එකට, ඩෙස් එකෙන් වේදිකාවට. රාම ළඟම තියෙන වතුර බෝතලේ ගන්න ගමන්, මගේ හුස්මක් රාමගේ කන් පෙති මතය වට්ටනවා. ඒත් එක්කම නැගෙන මගේ සමච්චල් හිනාව පෙතියට පෙන්නෑ. නොන්ජලයා. දැන් අපි අට වෙනි වතාවට රියසල් කරන ගමන්. මම මගේ හඬ ශාලාව පුරාම දියවෙන්න ඉඩ හරිමින් ඉන්නේ.

 

 

 

FourTwentyAMThought

මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...