මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Sunday, August 28, 2022

නිද්‍රාව.

 මම හිටියේ නිද්‍රාවක. ඔහේ එහෙට මෙහෙට පාවෙවී. ඒත් එහෙම පාවෙන ගමන් මම ආදරේ කරන්න ගත්තා." ආදරේ කරන්න " ඔයා එහෙම අහන්න ඉඩ තිබ්බා "ඔව්, ආදරේ කරන්න ගත්තා" මම එහෙම කියන්නත් ඉඩ තිබ්බා. "කාටද?" ඔයා ආයෙම එහෙම අහන්නත් ඉඩ තිබ්බා. "ඔයාට, ඔව් මම ඔයාට ආදරේ කරන්න ගත්තා" මම එහෙම කියන්නත් ඉඩ තිබ්බා. ඒත් ඒ එක වචනයක්වත් දෙබස් විදිහට පිට උනේ නෑ. මොකද මම හිටියේ නිද්‍රාවකනේ. ඔහේ එහෙට මෙහෙට පාවෙවී.


මම ආදරේ කරන්න ගත්තා. මම ඔයාට ආදරේ කරන්න ගත්තා. ඒක හරි හදිසියෙන් ඇති වුණේ. ඒත් අහම්බයක්ම නෙවෙයි. ආදරේ කියලා දෙයක් විශ්වාස නොකරපු මං ඔයාට ආදරේ කරන්න පටන් අරන් තිබුණා. හරියට අකුණක් පුපුරණවා වගේ. විදුලියක් කොටනවා වගේ. හරිම හදිසියෙන් හිතේ ආදරයක් ඇති උනේ. මම ඔයාව කාලෙක ඉදන් දැනන් හිටියා. අපි වරු ගණන් කථා කරලා තිබුණා. අපි එකිනෙකා වෙනුවෙන් ඉදලා තිබුණා. ඒත් ඒ කිසිම මොහොතක මම ඔයාට ආදරේ කරලා තිබුන්නෑ. ආදරේ හිතිලා තිබුන්නෑ. ආදරේ වෙලා තිබුන්නෑ. කොටින්ම ඔයා ගැන එහෙම කිසිම හැඟිමක්වත් තිබුන්නෑ. ඒත් මම පාවී පාවී ඉන්නකොට හදිසියෙම විදුලියක් ව⁣ගේ මගේ හිතට ඔයාව කඩන් වැදුනා.අකුණක් වගේ හිතට ඔයාම පතිත උනා. මම එහෙම කිව්වොත් හරි කියලායි මම හිතන්නේ. එතන ඉදන් මගේ හිත ටික ටික බර ගතියක් දැනෙන්න ගත්තා. මම ඔයාට ආදරේ කරනවා කියන්න මට දැනුනේ එතකොට. හරියට පුංචි අංශුවක් වගේ පුදුම සැහැල්ලුවකින් පාවෙවි ඉන්නකොට.

ඔයා මාත් එක්ක දවස් තුනක් කතා නොකර ඉන්න ඇති. කිසිම පණිවිඩයක් නැතුව. හරි හිතුවක්කාර තිරණයක් අරගෙන ඔයා එහෙම නිශ්ශබ්බද උන වේලාවේ තමයි මම නිද්‍රාවකට වැටුණේ. මට කරන්න කිසිම වැදගත් වැඩක් තිබුණේ නැති නිසා නෙවෙයි. මම පාවී පාවී ඔයා ගැන කල්පනා කළා. හීන මැව්වා. හීන දැක්කා. ඔයාගේ අතින් අල්ලගෙන මුහුදක වෙරළක වැල්ලක හවසක තනිවෙනවා හීන විදිහට පෙනුණා. මන්දස්මිති නැගෙන ඔයා⁣ගේ තොල් අතරින් හිනාවක් පනින්න නොදි මම ඔයාගේ තොල් වල හාදු තැවරුවා. ඔව් මම හීනෙන් දැක්කා. ඔයාට ම මේ වචන මේ විදිහට කියන්න තිබ්බා නම් ඔයා ලජ්ජාවෙන් රතු කර ගත්ත කම්මුල් එක්ක බිම බලාගෙන හිනා වෙන ගමන්, මගේ පිටට පාරක් ගහන්නත් තිබුණා. ඒත් මම මේ කිසි දෙයක් කියන්නේ ඔයාට නෙවෙයි නේ. මට දැන් මගේ හිත එක්ක කතා කරන එකත් ඔයත් එක්ක කතා කරන එකත් අතරේ වෙනසක් දැනෙන්නැ. හරියටම අපේ හුස්මත් හුස්ම ගන්නා හඬත්, හුස්ම හෙළන වේගයත් සමානයි.ඔව් මට එහෙම දැනෙනවා. අපි හරි සමානයි කියලා.

ඉතිං මම ඒ නිද්‍රාවේදි ඔයාට ආදරේ කරන්න ගත්තා. ආයෙ ආයෙමත් කියන්න බෑ. කවමදාවත් නැති විදිහට නොදැනුණ විදිහට හරි හදිසියෙන් එහෙම ආදරේ ඇති උනා. ආයෙමත් හීනයක් දකිනවා. ඔයා මගේ ලඟ ඉන්නවා, මාව බදාගෙන ඉඹිනවා, මගේ සුවඳ තැවරුණ කමිසයක් ඔයා තුරුල් කර ගන්නවා, ඔයා හිමිට ඒ කමිසෙ සුවඳ බලනවා.  හිමිට කඳුළක් පිහදානවා. මට එතකොට නම් හීනෙට ඕන දෙයක් වෙච්චාවේ කියලා හිතා ඇහැරෙන්න හිතුනා. ටිකක් කලබල වෙච්ච පාර එහෙට මෙහෙට දඟලද්දි අර හීනෙත් බොඳ වෙන්න ගත්තා. එක අතකට ඒ හීනේවත් බොඳ නොවී තිබුණදෙන් කියලා මම  සන්සුන් උනා. හීනේ ආයෙම පෙළ ගැහෙන්න පටන් ගත්තා. ඔයාගේ කඳුළු ටික ටික ගලන්න පටන් ගත්තා. පුංචියට පටන් ගත්ත ඉකියක් මහ ටික ටික සද්දෙන් ඇහෙන්න ගත්තා.

' මම ඔයාට ආදරෙයි දෙයියෝ' හීනේ අන්තිම කොටස ඔයා මහ හයියෙන් කෑ ගගහා මාව බඳා ගත්තා. ඕං එතකොටයි මම මාව දැක්කේ ලස්සනට මනමාලයෙක් වගේ අද පැල⁣දගෙන. හරියටම විදුලියක් වැදුනා වගේ උනා. මමත් ඔයාට ආදරේයි කියලා මම කිව්වා ට ඔයාට ඇහුන්නෑ. ඊට පස්සේ හැමදෙයක්ම බොඳ වෙන්න ගත්තා. දඩ බඩ ගලා ලැලී පුට්ටු උනා. මගේ හීනෙන් මාව අයින් වෙලා ආයෙම ඔයා ව පෙන්න ගත්තා. අඬලම ඔයා හොඳටම හෙම්බත් වෙලා කියලා කවුද කිව්වා ඇහුනා. තවත් මිනිස්සු ඒ හීනේ ඇතුළේ ඉදලා කියලා තේරුණේ එතකොටයි.  මට එක එක හඬවල් ඇහෙන්න ගත්තා. සමහර හඬවල් හරියටම හුරු පුරුදු උනාට කවුද කාගෙද කියලා පෙනුන්නෑ. සමහර හීන අපිට ඕන විදිහටම පෙන්නෑනේ.

" දැන් ඔය වැළහින්නක් වගේ ඇඬුවට,මේ  කොල්ලා වහ බීලා තියෙන්නේ ඔය අම්මණ්ඩිගේ වෙන සම්බන්ධයක් අතටම අහු උන හින්දලු" කවුද කාගෙද කියලා කියන්න බැරි හඩක් ආයෙම ඇහුණා. ඒ වෙලාවේ "නෑ, ඒක වැරදි ඒ වැරැද්ද කරේ මම, ඔව් වැරදි මම, වැරදි කරේ මම" කියන්න මට ඕන උනා.  ඒත් එක්කම ආයෙම ඔයා හීනෙට ආව, දෙතුන් දෙනෙක් ඔයාව උස්සගෙන වාහනෙකට දා ගත්තා. අන්තිමට මම නිද්‍රාවේන් නැගිටින්න හැදුවා උත්සහ කරා. ඔයා මගේ පණ, කියන්න ඕන උනා. පරිස්සමින් හිමින්, රිදෙයි කියලා කියන්න ඕන උනා. ඒත් එක්කම ආයෙම මාව වේගයෙන් පාවෙන්න ගත්තා.

මම හිටියේ නිද්‍රාවක. එහෙට මෙහෙට පාවෙවී. හරි හදිසියෙම මම ආදරේ කරන්න අරන් තිබුණා. ඔව්, මම ඔයාට ආදරේ කරන්න පටන් අරන් තිබුණා.  මම පාවෙවී පාවෙවී ඔයාව හෙව්වා. ඔයාට ඇහෙන්න "අනේ මම ඔයාට ආදරෙයි" කියලා කෑ ගහුවා. මම හිටියේ නිද්‍රාවකනේ  ඔයාට ඇහෙන්න නැතුව ඇති. එහෙම ඇහුනා නම් ඔයා පුදුමෙන් මගේ දිහා බලලා හිනා වෙයි. "මාත් ආදරෙයි" කියලා කියයි. මම ආයෙමත් හීනෙක ඔයාව හරි තදින් අල්ලගෙන. "අනේ, මම ඔයාට හරි ආදරෙයි". එහෙම කියලා හීමිට නලළ ඉඹිනවා.  මේ හීන, හීන නෙවෙයි සමහර කතා ලියවෙන්න තිබ්බේ මෙහෙම.

"අනේ මම හරි ආදරෙයි."ඒත් ඒ එක වචනයක්වත් දෙබස් විදිහට පිට උනේ නෑ. මොකද මම හිටියේ නිද්‍රාවකනේ. ඔහේ එහෙට මෙහෙට පාවෙවී. මට හිතුනා තව තත්පර ගානකට කළින් මම ඔයාට ආදරෙයි කියලා දැනුනා නම්, හිතුනා නම්, කිව්වා නම්,
ඒත් ඒ වෙනකොටත් මම නිද්‍රාවට පත් වෙමින් ඉන්න ඇති. මට ඒ තරමටම ආදරේ මඟ හැරෙන්න ඇත්තේ, ඔයාව මඟ හැරෙන්න ඇත්තේ, මම ජිවත් වෙච්ච හැම මොහොතකමත් නිද්‍රාවට පත් වෙලා ඉන්න ඇති. හරියට මේ දැන් වගේ, මැරිච්ච මිනිහෙක් වගේ ඔහේ පා වෙවී ඉන්න ඇති. ඔව් මම මැරිච්ච මිනිහෙක් වගේ නිද්‍රාවක ඔහේ පා වෙවී ඉන්න ඇති. 




4 comments:

  1. මම හිතුව මේකත් C ගැන කියල.

    ReplyDelete
    Replies
    1. C ගැන කාලෙකින් මතක් උන්නෑ. 🙊

      Delete
  2. c ගැන වෙන්න ඇති . ඒත් මව ගත්ත. මාතෘකාව නිද්‍රාව වෙන් ඕනේ නේද?

    ReplyDelete
    Replies
    1. නෑ C ගැන නෙවෙයි, මාතෘකාව නිවැරදි කළා ස්තුතී.

      Delete

නිද්‍රාව.

 මම හිටියේ නිද්‍රාවක. ඔහේ එහෙට මෙහෙට පාවෙවී. ඒත් එහෙම පාවෙන ගමන් මම ආදරේ කරන්න ගත්තා." ආදරේ කරන්න " ඔයා එහෙම අහන්න ඉඩ තිබ්බා "...