මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Sunday, April 23, 2023

එක් කුඩා තිතක්

එක කුඩා තිතක් වීම. ඒක මොන තරම් වේදනාකාරි දෙයක් ද? සෑම නොසලකා හැරීමකම පිටු පස ඒ ගුප්ත වු වේදනාව තියෙනවා. සම මතට වැටී නහර පසාරු කරමින් ඒ වේදනාව සිරුර පුරාම ගලා යන්න පටන් ගන්නවා. කුඩා නොසලකා හැරීමක පවා, ඒ වේදනාව ගැබ්වෙනවා. එකකට පස්සේ එකක්, ඉවරයක් නැති නොසලකා හැරිම් මැද්දේ සිදුවන තනිවීම්, ජිවිතය ගැඹුරු අගාධයකට ඇද දමනවා. මට දැනෙනවා මම ඒ අගාධයෙ  ටිකෙන් ටික ගිලෙමින් පවතින වග. අඳුර,දුගඳ,  නාස්පුඩු අතරින් ගමන් කරනවා දැනෙනවා.  ජිවිතේ අළු පැහැතිව, තෙතබරිතව දැනෙනවා.

මේ නොසලකා හැරිම් හැමකකටම පසුව ඇති වන හුදකලාව විසින් තව තවත් කුඩා තිතක් බවට මා පත් කර ඇති බව දැනෙනවා.

වේදනාවෙන් තනිවන සෑම මොහොතකම දෝංකාර දෙන සංගීතයක් හිස තුළ භ්‍රමණය වෙන වග මට දැනෙනවා. කිසිම තාලයකට අයත් නැති, කිසිම ස්වරයකින් නැවත නිර්මාණය කළ නොහැකි, කිසිම සංගීත භාණ්ඩයින් නැවත වාදනය කළ නොහැකි රාවයක් එය. යම් කිසි හඬා වැටීමක ආරම්භක හඬ වගේම සතුටින් පිරුණු සිනාසීමක අවසන්ම තත්පර කිහිපයේදී ගලා යන හඬ ඒ තුළ තියෙනවා. මට ඇහෙනවා.මට දැනෙනවා. ඇසී නැසී යන වේදනාකාරී විලාපයකට අයත් ව තිබු නොතිබු  ඒ සංගීත රාවය
තව දුරටත් මා කුඩා තිතක් බවට පත් කරවනවා.

උදෑසන තෙතබරිත වීම, දහවල දාහයෙන් යුක්ත වීම, රාත්‍රීය සීතල වීම පවා හදවත තුළ අතිරේක විඩාවක් ගොඩනගනවා. නිරායාසයෙන් සිදුවන හුස්ම ගැනීම පවා ආයාසයෙන් සිදු කළ යුතු බව වැටහෙද්දි මම තව දුරටත් කුඩා තිතත් බවට පත් වෙනවා. සෑම හුස්මකම යාන්තමින් ඇහෙන නැසෙන පමණට සුසුම් ස්වරයක් ගැබ් වෙනවා. ඉතා තියුණු නොවුවත් සෑම විටම හදවත සමීපව ඇහුම්කන් දෙන මගේ දෙසවනට ඒ සුසුම් ස්වරය ඇසී නෑසී යනවා. දැස් පියවෙන එක්  නිමේෂයන් වලදී  මහා ඝෝෂාවක් ලෙසින් ම දෙසවන් මතින් හදවත වෙත පහත් වන්නේත් මේ සුසුම් ස්වරයම බව මම හඳුන ගන්නවා.

සියල්ල එක්ව මා කුඩා තිතක් වු පසුව, තිත් දහසක් මැද පවතින එහෙත් නොපෙනෙන කුඩා තිතක් බව දැනෙන්න පටන් ගන්නවා.සිතුවිලි අතර එහෙ මෙහෙ සැරි සරන නොපෙනී ඉන්නම වෙර දරන, විටෙක නොපෙනී යන්නට සැලසුම් කරන එක් කුඩා තිතක් බවට මා පත් වෙනවා.

නොහඳුනන හා හඳුනන එවන් තිත් ගණනාවක්  සැලසුම් සහගතව බොහෝවරක් මැකී නොපෙනී ගොස් ඇති බව, දැන හඳුන ගත් පසු, යමක් ලෙසින් කුඩාවට හෝ පවතින්නට පැවතිය යුතු බව සිතන කුඩා තිතක් බවට මා නැවත නැවත පත්වනවා. එලෙසින් තිතක් ලෙසින් හෝ මේ අඳුරු අගාධයේ, මේ අත්භුත සංගීත රාවයට සවන් දෙමින් පැවතිය යුතු බව නැවත නැවතත් මම සිතනවා.





3 comments:

මගේ අප්පච්චිගේ "The last Call"

  එදා ඒ රෑ පුරාවට ඔබ, මට කතා කළ බව ඇසු විට අප්පච්චි, මම හිතනවා ඔබ මට  "රැවන්" කියන්නට ඇතිද? එහෙම නැත්නම් "පුතේ" කියන...