මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Friday, February 16, 2024

C ට ආදරෙන්

 ආදරණීය C,


මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැහැ, අපි කොහොමත් දුරස්ථ ජීවින් විදිහට කාලයක් තිස්සේ අපේ ජිවන මාර්ග වල ඇවිදිමින් ඉන්නවා.

ඒත් දන්නවද C, සුදු පාට වෙරළ තීරයත්, එක පිට එක රෑළි නැඟෙන ඔබේත් - මගෙත් ප්‍රියතම දසුනක් වු මුහුද දිහා ඉගිල්ලෙන ගුවන් යානයේ සිට මම බලාගෙන හිටියා, ඈතින් ඈතට යන තුරුම, බොඳ වෙලා යන තුරුම, මේ සීමාව කුමක්දැයි හඳුනාගත නොහැකි වනතුරුම, මම බලාගෙන හිටියා. හුස්ම වැටෙන වේගය ටිකෙන් ටික වැඩි වෙද්දී, මහා තදැති බරකින් හදවත තෙරපෙන හැඟිමක් මට දැනෙන්නට ගනිද්දිත්, සියළු ප්‍රියයන්ගෙන් වෙන්ව යන දුක හා ශෝකය මිශ්‍ර හැඟීමකින් දෑස් බොඳ වෙද්දීත්, ⁣කොහේදෝ තැනක සිටි ඔබේ සතුටු සිනහ පිරි මුහුණ ටිකෙන් ටික මැ⁣වෙන්නට වීම, ඔබේ මුදුම කටහඬ ඇසෙන්නට වීම, ඔබෙන් මා සදහටම වෙන්ව යන බවත්, මා ඔබට සදහටම සමු දිය යුතු බවත්  හදවතට දැනෙන්නට උනා C.

කාලය විසින් සහ සමහර  තීරණ විසින් අපව ⁣දෙපසකට  කරද්දීත්, ඔබට මා නොහඳුන, නොදන්නා, නොදැනෙන මිනිස් ප්‍රාණියෙකු බවට පමණක් පත්වෙද්දීත්, ඔබ - මට ලබා දුන් ආදරය පිරුණු නම් එකින් එක නෑසී යද්දීත්, ඔබ මගෙන් සදහටම සමුගත් වගක් මට නොදැනුනේ කිමදැයි මම නොදන්නෙමි.

සමහර විටෙක ඔබේ හුස්මක් සිහින් සුළඟේ  පාවී එතැයි යන හැඟිමකින් හෝ ඔබේ කටහඬ කොහෙ හෝ සිට පාවී මගේ සවනත ගැටේවී යැයි යන හැඟීමෙන් මා වේළි ඉන්නට ඇති. එසේත් නොමැති නම් ඔබට නොදැනෙන පරිදි, ඔබ නොසිතන පරිදි, ඔබට නොපෙනෙන පරිදි, එහෙත් ඔබ දන්නා අයුරින් ඉතා දුරන් හිඳ, එකම එක තත්පරයකට අවැසි විටෙක හෝ ඔබ මතකයට එන විටෙක, තවදුරටත් ඔබව දකින්නට නොලැබෙන බව සිතට දැනීම වන්නට ඇති. එය කොතරම් බොළඳ දැයි මා දන්නවා C. එත් ඒ බොළඳ බව ගෙවී යන තත්පරයක් පසා මගේ  මතකයට ඔබේ වෙනස් වන රුව එකතු කරදුන්නා C.

ඔව්, ඔබ මා ගැන දන්නා පරිදිම, මට ඔබව හෝ ඔබ කෙරෙහි වූ ප්‍රේමය අත හැරීමට නොහැකි බව ඔබ දන්නවා C, ප්‍රේමයක් මේ තරම් විශාලයැයි මා කවරදාකවත් ⁣නොසිතු බවත් ඔබ දන්නවා C. එවන් ප්‍රේමයක් මගේ හදවත වෙතැයි මම කෙදිනකවත් විශ්වාස නොකළ බවත් ඔබ දන්නවා C.

එහෙත්, ඔබ ගැන මා දන්නා පරිදි, ඔබේ හදවතත්,  පිරි  ඉතිරුණු  ප්‍රේමයත්  ඉතා විශාල යැයි ඔබ පවසද්දී, මා ඔබව විශ්වාස කළ වග ඔබ දන්නවද C. ඔබට මා හෝ මා කෙරෙහි වු ප්‍රේමය අත හැරීමට හැකි වුයේ කෙසේදැයි  අද ද මා නොදන්නෙමි. එහෙත් එය  කෙසේ සිදුවුණි දැයි විමසිමත්, ඔබ කෙලෙස මා අමතක කළේදැයි සිතිමත්, දැන් දැන් මා වෙහෙසට පත් කරවනවා C. 

මා ඔබට ප්‍රේම කිරීම නවතා දමන්නට තරම් දුර්වල නොවන බව මා දන්නවා C. එහෙත් ඔබෙන් මා සදහටම සමුගන්නා බව  දැනීම, ඉතා ඈතකදී, සුදු පැහැති වළාකුළු පමණක් කවුළුවකින් ඇස ගැටෙන විටකදී පවා, හිතට සහනයක් වී දැනෙනවා C.

ඉතිං ඔබේ හුස්මක් පවා නොගැටෙන බිමක,  ඔබේ කටහඬ පවා නෑසෙන තැනක, ඔබව දැකීමට හිතට බල කළ නොහැකි මොහොතක, මම වෙනස් මගක ගමන් කරනවා C. ඒත් ඒ හැම පියවර සටහනක්ම ඔ⁣බ වෙනුවෙන් ඔබේ නමින් ප්‍රේමයක් දරාවී, ප්‍රේමයක ලියාවී.

මම ඉතා ඈතක සිට
A
2024.01.17












8 comments:

  1. Replies
    1. ජිවිතේ කියන්නේම ?? නෙහ් ඉයන්

      Delete
  2. ඉතින් සී ට මේක ඇහැ ගැටේවායි ප්‍රාර්ථනා කරමු...

    ReplyDelete
  3. ලව් ලෙටරක් නේත මේ කියව්වෙ..
    ඉස්සර හිමරෝස වගේ පත්තර වලත් මේ වගේ ලිපි තිබ්බ. සමහර එව්ව නං කියවද්දි දුක හිතෙනව. සමහර එව්වට හිනහ යනව 😁😁

    ReplyDelete
    Replies
    1. මේකට මොකද හිතුනේ හිනා ගියාද දුක හිතුනද මොකුත්ම හිතුන්නැද්ද

      Delete
  4. ආහ්. හරිම ලස්සනයි ...
    ජීවිතේ යාත්‍රා...
    මම කවි දුමී... මතකද මන්දා..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මතකයි ලස්සනට කවි ලියන දුමී

      Delete

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...