මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Saturday, September 23, 2017

සීතා කුමාරි

මගේ නම සීතා. සීතා කුමාරි. එහෙම තමයි පිල්ලෑවේ පිරිවණේ ලොකු හාමුදුරුවෝ මට කතා කොලේ. කුමාරි උපාසකම්මේ කියලා පොඩි දෙනම කතා කරනවා. ඒකටත් ආනන්ද හාමුදුරුවෝ නමක් ගමක් කිවේ නෑ. ඒ ඇත්තෝ කිව්වේ ඔය ඇත්ති කියලා. හැබැයි කාත් කවුරුවත් හිටි තැනක නෙවෙයි. බණ මඩුවේදි හරි විහාර ගෙයිදි හරි, ඔය ඇත්ති කියන වචනේ සීතා කුමාරිට වඩා මට සමීපව ඇහුණා. ආනන්ද හාමුදුරුවන්ට තිබුණේ නිල් පාට ඇස්. ඇහි දෙබැම යා වෙලා. ඝණයි. ⁣ඇදක් නැති නහයක්. බෝසත් කටහඬක්.



නම සීතා උනාට මම ඒ සීතා වගේ නෙවෙයි. ඒක මුළු ගමම දැනන් හිටියා. ඒ සීතාට වගේ මට රාම කෙනෙක් හිටියේ නෑ. මම ඒ සීතා නොවෙන්න පළවෙනිම හේතුව උනේ ඒක. පහළ වත්තේ චන්දරේ. සමහර දාට බයිසිකොලේ තල්ලු කරගෙන මයේ පස්සෙන්ම ආව. පිං ළිඳ ගාවටම. ඒත් ඒ රාම නෙමෙයි නේ. වැඩක් කියලා කරේ පොල් ගස් නඟින එක. මට පිටි පස්සේන් අඩි දහයක් දුරින් ආවත් ගස් ගඳ මාවත් ඉස්සර කොරගෙනමයි ඇදිලා යන්නේ. මට ඔය එකම එක දවසකවත් පස්ස හැරිලා බලන්න හිතුන්නැත්තේ ඒ හින්දා. එ්කටත් එක්ක ඇලිස් බාසුන්නැහේගේ පොඩී එකි. ඇටෙන් පොත්තෙන් එළියට ආව විතරයි චන්දරයාව මුකුළු කරලා අල්ල ගත්තා. එකීට නහයක් තියෙන්න නැතුව ඇති කියලමයි මම මුල් දවස් වල හිතුවේ. ඇරත් පොල් ගස්ම බදන් ඉඳලයි රා කට්ටට වහල් වෙලයි චන්දරයාත් දිරලා හිටියේ උගේ අස්ථි පංජරේම ගනන් කරන්න පුළුවන් කමිසේ නැතුව ගස් නගින වේලාවට. ගෙදර වත්තේ ගහක දෙහෙක පොල් කඩන්න ආපු දවසට තමයි මම චන්දරේ දිහා වැඩිපුරම බැලු⁣වේ. එකත් කාමරේ ජනෙලෙන්. දුර ඉදන් බලද්දි අව්වට දිළිහෙන චන්දරේගේ කළු හමට මොකක්දෝ ආල වන්ත කමක් නොහිතුනා නෙවෙයි. ඒක ඇඟ හීතල වේලා යන හැඟිමක්. ඈතින් දකින පොල් ගස් නඟින චන්දරේ ගැන හිතෙන එක හැඟිමක්වත් ලක්ස් සබන් වැඩියෙන් උලන් පස්සෙන් එන චන්දරේ ගැන ඇති නොවෙන්න හේතුව සීතාවත්, කුමාරිවත්, මමවත් දැනන් හිටියේ නෑ. මම එකොළහ පාස් වෙච්ච එකී වෙලා ගස් නඟින උන් එක්ක උකුළු මුකුළු තියා ගන්න එක ගැන ගෙදරින් උනත් කැමැත්තක් නෑ. චන්දරේ ගස් නඟින්න ආපු වේලාවක විටක් එ්දගෙන ඌගේ අතේ තියන්න යද්දී අම්මා රවපු විදිහෙන්මයි මම ඒක තේරුම් ගත්තේ.
චන්දරේට තිබුණේ බොර පාට ඇස්. මවිල් නැති පපුවක්. ගොරහැඩි කට හඬක්.

මන්ත්‍රී කෙනෙක්ව අල්ලන් ඔය ඔපීසියක අතුගාන තේ හදන වගේ රස්සාවක් ගන්න පුළුවන් වෙයි කියලාම තමයි තාත්තා කිව්වේ. ඒ කන්තෝරුවල පියන් රස්සාවට ගන්නේත් විභාගේ පාස් උන ඉංගිරිසි කතා කරන අයවයි කියලා තාත්තා කිව්වේ. ගමෙන්ම එකොලහේ විභාගේට සම්මාන හයක් තිබුණේ සීතා කුමාරිට. ඒ කියන්නේ මට. අතුගාන රස්සාවට හරි ගමෙන් පිටට යන්නෝනා කියන එක තමයි තාත්තාගේ අදහස උනේ. නැත්නම් ඉගෙන ගත්ත එව්වා නිස්කාරනේ කියලා උන්දැ දුක් වුනා. ටික දවසක් ගියාම වැඩ හොඳනම් අල්ලලා හිටියොත් පියන් රස්සාවට ඊටත් පස්සේ ලිපිකරු රස්සාවට උනත් යන්න පුළුවන්ලු. ටික දවසක් යනකොට ඉංගිරිසි එහෙම අල්ල ගන්නත් පුළුවන් වෙයි කියලා කිව්වේ මාලක්කා. ඔව් ඒක නම් බැරි කමක් නෑනේ. මාත් එහෙමම හිතුවා. ඔය දවස් වල හන්දියේ කඩේට ආපු සරළ ඉංගිරිසි කතා කරමු කියලා පත්තරයක්. හරි ලස්සනට ඉංගිරිසි කියලා දෙනවා. ඊට පස්සේ හැම මාසේකම මාත් පත්තරේ ගත්තා.

පිල්ලෑවේ පිරිවණේ ලොකු හාමුදුරුවෝ කිව්වොත් මන්ත්‍රීතුමා අහක දාන එකක් නැහැයි කියලා තමයි තාත්තා කිව්වේ. මන්ත්‍රීතුමා හැමපෝයටම පන්සල් ආව. ඉදලා හිටලා දායක සභාවටත් ආවලු. සමරදාට තාත්තාව දැක්කාම ලොකු  උන්නැහේ කියලා කරට අතත් දාගෙන කතා කරනවාලු. එහෙම වෙලත් තාත්තාටම ඕක මන්ත්‍රීට කියන්න තිබ්බාය කියලා තමයි දෙවෙනි කිව්වේ. අටට යනකම්වත් ඉස්කෝලේ නොගිය එකාට වැඩක් පිළිවෙලකට කොරගන්න දැනුම් තේරුම් නැතෙයි කියාලා තමයි තාත්තා උගේ වචන ගනන් නොගෙන හිටියේ. "මට කෙලින්ම කියන්න බැරි කමක් නැ මැණිකෝ ඒත් පිල්ලෑවේ ලොකු හාමුදුරුවෝ කෙල්ලව රෙකමදාරු කළොත් හොඳ තැනක රස්සාවට දා ගන්න පුළුවන්.අනික මම ඔව්වා මන්ත්‍රී මහත්තයා එක්ක කියනවා මේ ගමේ එකාලට ඇහුනොත් උන් නැති පදත් කෙලිට හදයි. ඊරිසියාකාර ජාතිය."

ගිය නවම් පෝයට කළින් දවසේ "සීතෝ හෙට තාත්තා එක්ක පිල්ලෑවේ පිරිවණට යන්න ලැස්ති වෙයන්" කියලා අම්මා කිව්වා. මම පිල්ලෑවේ පිරිවණට ගියේ පේරූ දානේ ගෙනියන දාට විතරයි. තාත්තා නම් හැම පෝයටම පන්සලට ගියා. මේ ගමන පිල්ලැවේ යන්නේ මාස හත අටකින්. ගිය පේරුවට පිරිවණට ගිය ගමන. චන්දේරේ ඒ දවස් වල  පදිංචි වෙලා හිටියේ පිල්ලෑව පිරිවණ කිට්ටුව. සමහරවිට චන්දරේත් පිරිවෙණ් ඇවිත් ඉඳි. තාම ගස් ගඳ ද දන්නෑ. එහෙම හිතෙද්දිත් මට හිනාගියා. සුදු ඇඳුමක් ඉස්තිරික්ක කරන්න රත් වෙච්ච පොල් කටු ඉස්තිරික්කේට දාන ගමන් මම හිතුවේ චන්දරේ ගැන. ඉස්තිරික්කේ රත් වෙන වේගෙටම මගේ හිතෙනුත් රස්නේ එන්න පටන් ගත්තා. 

ඒ චන්දරේ බැදපු මුල් දවස්. බැන්දා කිව්වාට ඔය කිසිම ලිය කියවිල්ලක් අත්සන් කොලේ නෑ. ඇලිස් බාසුන්නැහේගේ පොඩි එකී බලෙන්ම වගේ චන්දරේලාගේ මහ ගෙදර පදිංචි උනා කියලා තමයි ගමේ ආරංචි උනේ. පස්සෙන් පහු චන්දරේලා පිල්ලෑවට ගියා. එදා ⁣මම ලේකම් ගෙදර ඉදන් එන ගමන්. චන්දරේ ලේකම් ගෙදර පැත්තට යන ගමන්. බයිසිකලේ. ඇලිස්ගේ කෙල්ල ඉස්සරහා. එකි මහ ආඩම්බරකාරි. අෑතදීම මාව දැක්කා. මාත් දැක්කා. ඒකි මට පෙන්නම චන්දරේගේ පපුවට හේත්තු වුනා. චන්දරේගේ කෙණ්ඩේ ජෙල් ගලා පීරලා. අවුවට දිලිසුනා. මාව පිච්චුනා. හරියටම මගේ ලඟදි බයිසිකලේ වේගෙ අඩු වුනා. "බලාගෙන" ඒකී එහෙම කියලා චන්දරේගෙ අත කෙනිත්තුවා. මාව පහු කරන රාණි සබන් සුවඳ. " බල්ලා" ඒ මගේ හිත. මම හැරිලා බැලුවා. චන්දරේත් බැලුවා. " වේ* බල්ලා" මම ඉක්මණටම ඉස්සරහා බැලුවා. අඩිය ඉක්මන් කෙරුවා. "ආහ්" ඉස්තිරික්කේ රස්නේට මගේ අත පිච්චුනා. 

මන්ත්‍රීට කියලා රස්සාවකට පංගරාත්තු කරනකම් ඉරිදාට පිරිවෙන් එන්න කියලා ලොකු හාමුදුරුවෝ එදා කිව්වා. මාසෙට කියක් හරි ගෙවීමක් කරන්න පොරොන්දුත් උනා. දෙවෙනිට මන්ත්‍රී ගාව රස්සාවක් ලැබුණා. ආවට ගියාට කෙල්ලක්ට රස්සාවල් දෙන්න බැරි නිසා මගේ වැඩේ සතිය සතිය පස්සට. ශ්‍රේණියක් බාර නොදුන්නාට පහෙන් පහළ ශ්‍රේණි ඔක්කෝම බලාගන්න උනේ මට. මල් ගෙන ලමයි ලකුණු කරන්න, මල් වට්ටි හදන්න උදව් වෙන්න, බෝධිය අමදින්න ශ්‍රේණි වෙන් කරන්න, පහළම ශ්‍රේණියේ පොඩි උන් සරම් වල ලමාසාරි වල චු දා ගත්තාම ඒවා මාරු කරන්න, ඩෙස් බංකු පිළිවෙලට තියන්න, විහාර ගේ අස් කරන්න, ඔය වගේ තව හුඟාක් වැඩ තිබුණා. හැම ශ්‍රේණියකම ලමයි දහයක් දොළහක් හිටියා. ඒහැම ගුරුවරයෙක්ටම මාව නැතුව බැරි උනා ටික දවසක් වෙද්දී. දැන් දැන් ලොකු හාමුදුරුවෝ පණිවිඩ කියන්නේ මට. ඒක අදාළ කෙනාට කියන්නේ මම. සමහර දේවල් වෙන්න ඕන විදිහ තීරණේ කරන්නේ මම. අවසර දුන්නේ ලොකු හාමුදුරුවෝ. මල් පෙරහැරක් කරන යෝජනාව ගුරුවරුන්ගේ. "සීතා කුමාරි ඒක ගැන හෝයලා සුදුසු විදිහට කරන්න." පහළ ශ්‍රේණිවල පොඩි කොල්ලො මාව විහිළුවට ගත්තාට දැන් දැන් මට බයයි. ඉරිදා ඇරෙන්න දැන් හැම පෝයටම පිරිවෙනට එනවා. පෝයදාට පිංකම් මලාව සංවිධානය කරන්න. හැමෝගෙම කටේ තියෙන්නේ සීතා එක්කෝ කුමාරි. ඒ අතරින් පතර ඔය ඇත්ති. නිවන ඒ තරම් දුරක නෙවෙයි. දැන් බෝ පත් අතරින් ඇහෙන්නෙත් ඒ හඬ. සමාධිය ඉස්සරහාදි හිත ගැස්සෙන්නේ ඒ හින්දා. සීතා. සීතා කුමාරි. ඔය ඇත්ති. 

එ් හවස් වරුවේ සමිතියේ වාර්තාව හදන්න තිබ්බ හින්දා දහම් පාසලෙන් පස්සේ මම පිරිවෙනේම හිටියා. බෝ මළුව අස් කරලා අතු ගලා විහාර ගෙයි පර මල් අස් කරලා අතු ගාන්න ඕන කියලා හිතුවා. විහාරගෙයි සමාධිය ඉස්සරහා රවුමට තියලා තිබ්බා හක්ගෙඩි අටක්. දුවිලි බැදිලා. පිහ දාන්න අතට ගත්තා. පිටි පස්සෙන් ආපු අඩි සද්දේට හැරිනාම ලොකු හාමුදුරුවෝ ළඟම. "සීතා කුමාරි දන්නවාද මේ වළාම්පුරි, හිතන පතන සම්පත් වළාම්පුරියෙන් ලබා ගන්න පුළුවන්." ලොකු හාමුදුරුවෝ කිව්වේ අතේ තිබුණ හක්ගෙඩිය පිරිමදින ගමන්." එහෙමයි හාමුදුරුවනේ" මේච්චර දවසක් විහාර ගෙට ආවට ගියාට විහාර ගෙයි සිවිලිමේ තිබ්බ දේව රූප වෙන වෙනම දැක්කේ අද. සමහර දෙවිවරු වළාකුළු විමන් වල. තවත් දෙවිවරු දිව්‍ය රථ වල. සමහර දෙවිවරු අතේ මල් මලා. තවත් දෙවිවරු අතේ දිව්‍ය බෝජන. 
දේව රූප දිහා බලන් හිටපු මට ලොකු හාමුරුවන්ගේ ඇසුත් ඒ විදිහටම පෙන්න ගත්තා. " ඵුට්ටස්ස ලෝක ධම්මේහි - චිත්තන් යස්සන කම්පති....." ලොකු හාමුදුරුවන්ගේ බණ.

වෙසක් එකට අපේ ගමට තොටළඟ තොරණ ගෙනවා. තොටළඟ තොරණ හරි ප්‍රසිද්ධයි. ගමම සැණකෙළියක්. දැන් රෑත් දවාලක්. ළමා සමාජෙන් බීම දන්සලක්. කාන්තා සමිතියයි ක්‍රීඩා සමාජෙයි එකතු වෙලා බත් දන්සලක්. තොරණ දවස් හතක් පෙන්නනවා. විවෘතේට මන්ත්‍රීතුමා ආව. මන්ත්‍රී එක්ක දෙවෙනිත් ආව. දෙවෙනි දැන් හිටියාට වඩා මහතයි. සුදු කමිසයක් ඇදලා. නිල් ඩෙනිමක් ඇඳලා. කමිස අතට පහලින් පිම්බුණ අතේ කළු පාට මල් වැලක්. පච්චයක්. ⁣"ලොකු කෙල්ලේ, දෙවෙනි මේ දවස් හත ගෙදර නවතිනවා කියන්නේ, ගිහින් කාමරේ අස් කරලා දලා ඉක්මනට වරෙන් වැටිලා නිදා ගන්න ඕනැයි කීවා." 

"ඔය ඇත්ති මේ කලබලේ කොහේ යන්නේ." මම හැරුණේ ඒ හඬට. මී මැසී ඇස් තියෙන කණ්ණාඩියක් ඇස් වලට දාලා. කැප් තොප්පියක් ඔළුවේ. කළු කමිසයක්. නිල් ඩෙනිමක්. " අනේ මේ..." 
" කෑ ගහන්න එපා. ඔය ඇත්ති කොහෙද යන්නේ මේ රෑ තනියම" "ගෙදර" "ළඟද" "ඔව් අර පේන දුර" " බය නැද්ද" " ඒ මොකටදැ" " යක්කු ඇති... යමු" " මට ගියැකි" " පණ්ඩිත නොවි යමු" "මම ආයේ ආපහු එනවා" " මටත් කොහොමත් නවතින්න බෑ." "ඒත් ..."
" ඒත් මේත් මොකද? ඔය ඇත්ති මට බයද?" වෙනසක් නැති බෝසත් හඬ. " නෑ" " එහෙනම් යමු"

වෙසක් අසිරිය පොසෙන් වෙනකම්ම තිබුණා. පොසොන් පිංකම් මලාවත් පිල්ලෑව පිරවණේ ජයටම තිබුණා. ඇහැළ වලට ධර්ම දේශන මාලාවක් යෝජනා වෙලා තිබුණා. පහු ගිය පෝය පිංකම් වලට එහෙට මෙහෙට දුවපු මට ඇහැළ වෙද්දි නැගිටින්න බැරි තරමට අසනීප වුණා. " මදැ පිංතකා රැ දවල් නැතුව නැහුනට" මාලක්කා ඇන්ද නැති ලී පුටුවේ වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාගෙන කියනවා. ඉස්සර ගත්ත සරළ ඉංශ්‍රීසි පත්තරයක් පෙරළ පෙරළ . පත්තරේ ඉස්සර පිටුවේ ඉන්න කෙල්ල ඉදන් ඉන්නේත් මාලක්කා ඉන්න තාලෙට. " හව් අයි ෆිල් .... " මාලක්කා පත්තරේ අතරින් පතර තියෙන සිංහලෙන් ලියපු ඉංශ්‍රීසි කියවනවා. මමත් මෙච්චර කල් කියෙව්වේ සිංහලෙන් ලියලා තියෙන ටික. මාලක්කායි දෙවෙනිගෙයි පයිරුපසානම ගැන දන්න විත්තිය කියන්න ඕන උනත් ඔළුවේ කැරකිල්ලයි, ඔක්කාර ගතියයි හින්දා කට වහගෙන එහෙමම ඇස් පියා ගත්තා. 

" හිච්චියෝ ඔය සුදු රෙද්දක් අරන් වර, පිල්ලෑවේ ලොකු හාමුදුරුවෝ වාහනේ වඩිනවා." කළු පාට ඉබ්බා කාර් එක ගෙදරට එනවත්, ආයෙම යනවත් කාමරේ ඉදන් මම අහගෙන. කාර් එක ගිහිනුත් ඉවර නොවුන කතාව ගේ ඉස්සරහා. තෝන්තුවාවෙන් හිටපු මම හිමින් හිමින් ගේ ඉස්සරහට ගැටුවා. 
" චන්දරේ" මම හිටි තැනම නැවතුනා. චන්දරේ ඔළුව ඉස්සුවා. මගේ දිහා බැලුවා. ආයෙමත් බිම බලා ගත්තා. " ඒකිත් ඇලිසාගේ ගැණි වගේම මහ සක්කරවට්ටම, ඔය දිගේ පටන් ගන්නකොටම මම හුනා කියන්නැහේ කිව්වා දොලොස් මාසයක් ඕකි එක්ක එක වහළක් යට හිටියොත් ම ඇතිය කියලා." තාත්තා කිව්වේ චන්දරේට බුලත් පෙට්ටිය දෙන ගමන්. අම්මා හිටියේ උළු වස්සට හේත්තු වෙලා.චන්දරේ පිල උඩ වාඩි වෙලා විටක් එ්දන්න ගත්තා. අම්මයි තාත්තයි ගෙට ගියා. මම චන්දරේ ලගින් වාඩි උනා. බුලත් පෙට්ටිය අරන් විටක් ඒදුවා. චන්දරේගේ අතේ ගුළි කළා. කට පැත්තකින් පෙරුණ බුලත් කෙළ පිහදාගෙන චන්දරේ බුලත් හපේම ගිල්ලා.

මෝල්ට් පැකට් එක මේසේ උඩින් තියලා චන්දරේ බෝ පත් නළලත් තිබුණ පොඩි එකාගේ නළල අත ගානවා. තනේ බදාගෙන උර උර හිටපු පොඩි එකා නිල් පාට ඇස් ලොකු කරලා චන්දරේ දිහා බලනවා. " මම පිල්ලෑවේ යනවා. ලොකු හාමුදුරුවෝ ඇවිත් යන්න කියලා පණිවිඩයක් එවලා. බඩු මොකුත් දෙන්න මයේ හිතේ" ආයෙමත් පොඩි එකා තනේ එල්ලෙනවා. චන්දරේ යනවා. මම චන්දරේගේ මයිල් නැති පපුවේ දිග පළල හිතින් මනිනවා. මම සීතා. චන්දරේ දැන් මේ සීතාගේ රාම.

හපුතලේ අතර මඟ

වියළි දුවිලි එක්ක හුස්ම ගද්දී , ඒ දුවිල්ලත් එක්ක ඔට්ටු වෙද්දී , ජිවිතේ ඒ දුවිලි හුළඟටම සින්න කරලා මිනිස්සු වෙන්න හීන දකිද්දී , හැමදාමත් හැ...