මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Friday, December 23, 2016

ආදරණීය වීමංසා

ආදරණීය නුඹට,


" මම නුඹේ හතුරකු නොවන්නේ ය. එහෙත් නුඹේ ප්‍රේමයේ හතුරා මා වන්නෙමි. මම නුඹට වෛර කරන්නේ නොවෙමි. එහෙත් නුඹේ ප්‍රේමයට මා වෛර කරන්නේ වෙමි.
 
නුඹ මා හිත කියවු තැන් බොහෝය. එ වගේම නොකියවු තැන්ද බොහෝය. අඩක් එළියක් අඩක් අඳුරක් ද පැවති මාගේ හදවත මා නුඹට විවර කරවුයේ නොවුව ද නුඹ මාගේ හදවතේ කවුළු හැරියේ ය. එහෙත් නුඹ මාගේ හදවතේ එළිය අඩ තුළම රැදී සිටියා මිස ඉන් මදක් පිටවී අඳුරු අඩ දෙස එබි බැළුවේ නැත. සවන් දුන්නේද නැත.


ඉතිං නුඹ පහසුවෙන් නික්මි ගියාය. පැලැස්තර පැවති හදවතට අඳුර අඩ තුලින් නික්මෙන අන්ධකාරය, එළිය අඩද වසා පැතිර යන්නට පටන් ගත්තේ එතැන් සිටය. ප්‍රේමය මා හඳුනාගත්තේ නුඹගෙන් නිසාම මම නුඹට කියමි. මම නුඹට ප්‍රේමය ගැන නොකියවු දහසක් දේ මෙහි වචන වනු ඇත.


නුඹට ප්‍රේමය ලැබි ඇති අතර නුඹ ගොඩ නඟා ගනු ලබන අනාගත සම්බන්ධතා පිළිබද නුඹ දැඩි තක්සේරුවක සිටිනවා  ඇත. ඔහු පිළිබඳව සියළු දේ ඔහුගේ රුචි අරුචි කම් පිළිබඳ ඔබට නිගමනයක් ඇත. ඉදින් නුඹ දැන් අවදානමෙන් මිදි හමාරය.


එම නිසාම නුඹ මා වෙත පවසනු ඇත, "ඔබ පිළිබඳ හැඟිමක් සිතෙහි නොවන බව" නුඹ නුඹේ පැත්තෙන් එසේ මගේ පැත්තෙන් බැඳිමක් නැතැයි පවසන විට පෙම්වත්ව තිබු මා සිත මරණය සෙවීම වරදක් නොවන්නේය. ලෝකයම පාවෙන විට එහි මරණයද ශුන්‍ය වනු ඇත.


නුඹේ විවහායට වඩා වෙනසක් මා නුඹේ ප්‍රේමය තුළ දකින්නේ නැත. අත්තනෝමතික ලෙස මා සිත ආක්‍රමණය කිරිමේ චෝදනාවෙන් මා නුඹ නිදහස් කරමි. එයට නුඹ වරදකරුවකු වන්නේ නැත.
ආදරය හෝ ප්‍රේමයට කිසික් බල නොපාන බව වරක නුඹ මට කියා දුන්නාය. ඉදින් නොනැවති නුඹ තවත් බොහෝ දේ කියා දුන්නාය. ප්‍රේමය පැවතිය හැකි අවකාශය නුඹ අද මට අවබෝධ කර දුන්නාය. නුඹේ සිතුවිලි වලට අනුව මා ඉකුත් වු අතර මගේ ප්‍රේමයද ආදරයද ඉකුත් වී හමාරය. 


තවත් වදනකුදු නොලියන්නැයි ඔබ මට බල කරනු ඇත. එත් එසේ කිරීමට නුඹ අත පෙවිය හැකි මානයක නැත. නුඹ ප්‍රේමයේ පාරිශුද්ධ බව අදහන වරෙක නුඹ ම කිවේ පුරවා ගත් අහංකාරකමකිනි. එවන් විටෙක හැලෙන නුඹේ සිනහව අව්‍යාජ එකක් වුවද, නුඹේ හිතේ ජනිත වු සියළුම හැඟුම් ව්‍යාජ බව පසක් වන විට නුඹ බොහෝ දුර ගමන් කර අවසන් ය. 


මා මත තවත් දිනකට හිරු නොපායනනු ඇත. එහෙත් නුඹේ සිනහව හෙට ද පෙර දින මෙන්ම කඩා හැලෙනු ඇත. ප්‍රේමය උයනකැයි කිවේ නුඹය. ඒ උයන  මා වෙතට ඉඟිළි ආවේ නැත. එහි වු බෝහෝ අකුල් ඇඳ දමා උයනක් කලේත්, රෝස පඳුරු වැවෙන්නට ඉඩ දුන්නේත් මා විසිනි. වසර හයක් වු තරමක කාලයක් මා ඒ උයනේ සැරි සැරු බව අදත් මට මතකය. හොඳම රෝස පඳුරත් සමඟ ම නුඹ ඒ උයන එක් වසන්තයකදී මා නොහඳුනන්නෙකුට බාර කරන වග සඳහන් වු සුදු පැහැති කඩදාසියක මුද්‍රිත රත්‍රරං පැහැති අකුරු මගේ හදවත පහුරු ගා ඒ කඩදාසිය ලෙයින් පෙගවු බව නුඹ දන්නේ නැත.


මම නුඹේ හතුරකු නොවන්නේ ය. එහෙත් නුඹේ ප්‍රේමයේ හතුරා මා වන්නෙමි. මම නුඹට වෛර කරන්නේ නොවෙමි. එහෙත් නුඹේ ප්‍රේමයට මා වෛර කරන්නේ වෙමි."


අතින් අතට පත්ව අවසානයේ මා වෙතට ආ ඒ කඩදාසියේ ලියැවී තිබුණු අකුරු ඔහුගේ ය.
මම ඔහුගේ නිසල වු දේහය දෙස බලා සිටියෙමි. වසර හතරක පමණ සරසවි ජිවිතයේ මිහිරි මතක සමඟ ඔහු සැරි සැරු මාවත් වල සොඳුරු මතක වලින් මගේ හිත  පිරුණි. 


" ඊළඟ නැවෙන්වත් උඹ ගොඩ යන්න බලපන්"


"මුට කොක්කක් ගහන්න වෙන්නැ මේ ආත්මේට. බලපන් ඇණ කලා වගේ ඉන්ට හැටි"


"මුට ගමේ සුදු මැණිකේ කෙනෙක් ඇති බං, එකයි මු කෙල්ලක් දිහා ඇහැක් ඇරලා බලන් නැත්තේ"


" උඹ ඔය විකාර ලියන එක නවත්තපන්, ලේසියෙන්ම කෙල්ලෙක් යාළු කරගන්න පුළුවන්"


සමහර හැන්දෑ වල මධු පානයන් අග ඔහුට අපි සමහරෙක් එවන් උපදෙස් දුනිමු, විහිළු කළෙමු. ඔහු සිනා සී ගිටාර වැයුවේය. ගී ගැයු වේය.  ඔහුටම ආවේණික වු ඒ වේදනාත්මක හඬ දැනුදු මගේ සවනපත් අතර ගැයෙන්නේ ය. මා ඉදිරියේ නිදි පෙති මඟින් නිසල වු ඔහුගේ දේහය නොවන්නට ඔහු මිය ගිය බව විශ්වාස කරන්නේ නොවෙමි.


මම යළිත් වරක් එම අකුරු තුළ දැස් රැදවුවෙමි. අවසානයක් නොමැති ඒ ලිපිය කිහිපවරක් කියෙව්වෙමි. ඒ වචනයක් වචනයක් පසා මහද පීඩාවට පත් කරන්නට විය. ඔහුට මේසේ ජිවිතය  අත හරින්නට ඔහු ප්‍රේම කළ කිසිවකු නොසිටි බව මා දනිමි. ජිවිතය හැර යන්නට තරම් ඔහු ජිවිතය විඳවන්නේකු වුයේ කෙසේ දැයි මම කල්පනා කළෙමි. 

 
"මල්ලී"


මගේ දෑතේ වු ලිපියට ඈ දැස් රැදවුවා ය. ඇගේ දෑසින් කඳුළු වැටෙන්නට වුවාය. මම ඇ සනසවන විදිහේ එකඳු වචනයක් හෝ කීමට සමත් නොවිමි.


" අපි අපේ මල්ලීව මරා ගත්තා." 


ඇගේ ඉකිබිඳුම වැඩි විය. නිරායාසයෙන්ම මා ඇය බදා ගත්තේ ය. ඇය මා බඳා රිසි සේ හැඩුවා ය. හැඩිමෙන් හෙම්බත් වු ඇය සිහින් හඩින් මොනවාදෝ කෙදිරුවාය. සිහි නොමැතිව ඇඳ වැටෙන්නට නොදි මා ඇයව අල්ලා ගත්තේ ය.


" දුෂ්මන්ත, ගැණු ළමයෙකුට අාදරේ කරා. එයා ඒ වෙන කොට උසස් පෙළ පංති වල හිටියේ. දුෂ්මන්ත විද්‍ර්‍යා අංශේ. ඒ ගැණු ළමයා කලා අංශේ. මට හොඳට මතකයි හරි ලස්සන ගැණු ලමයෙක්. හරිම අහිංසකයි. දුෂ්මන්ත වගේම. ඉස්කොලේ කාටත් මේ සම්බන්ධේ රහසක් වුනේ නැහැ. සමහර ගුරුවරුන්ට පවා. මමත් ඉස්කොලේ ගුරුවරයෙක්. සමහර වෙලාවට දුෂ්මන්තට අවවාද කරලා ඒ හැමදේම මම නංගි එක්ක ඇවිත් කියනවා. දුෂ්මන්ත ගේ සම්බන්ධෙට ගෙදරින් විරුද්ධ නොවුනත් ඒ වගක් දුෂ්මන්තට ඇගෙව්වේ නෑ.මම හිතන්නේ මේ දෙන්නට හැමෝම ආශිර්වාද කළා පුතා, ඒ දෙන්නා ඒ තරම්ම ගැලපෙන ජෝඩුවක්. කාට වුනත් දෙන්නව වෙන් කරන්න ලෝභ හිතෙන්න ඇති. එත් එහෙම හිතුනේ මිනිස්සුන්ට විතරයි. දෙවියන්ට එහෙම හිතුන්නෑ. දෙවියෝ මේ දෙන්න වෙන් කළා. එතකොට ඒ ලෙවල් වලට මාස කීපයයි තිබුණේ. ඒ ගැනු දැරුවා කවුරුවත් ම හිතපු නැති විදිහට යි මේ ලෝකේ දලා ගියේ. ඒ දරුවාට පිළිකාවක් කියන එක දැන ගත්තේත් මරණෙන් පස්සේ. එක දුෂ්මන්තට දරා ගන්න බැරි වුනා. එයා විශ්වාස කලේ නැ වීමංසා මැරුණ විත්තිය. දුෂ්මන්ත පිස්සේක් වුනා. බලාගත්ත අත බලා ගෙන ඉන්න ඇවිදින මළ මිනියක් වුනා. දුෂ්මන්තව යථා තත්ත්වෙට ගන්න වීමංසා ජිවත් වෙන බව අපි එයා එ්ත්තු ගැන්නුවා. වීමංසා ස්ටඩිස් වලට ඕස්ට්‍රේලියා ගිය විත්තිය දුෂ්මන්තට ඇගෙවුවා. මාසෙකට සැරයක් ඕස්ට්‍රේලියා වලින් දුෂ්මන්තට ලිවුමක් ආව. ඒ හැම ලියුමක්ම එව්වේ වීමංසාගේ ඔස්ට්‍රේලියා හිටපු අක්කා. හිත හොඳ මිනිස්සු. දුෂ්මන්ත ඉගෙන ගත්තා, මෙඩිකල් ෆැකල්ටි ගියා. හැමදේයක්ම හොඳ විදිහට වුනා. වීමංසාගේ ගෙදරින් සම්බන්ධෙට විරුද්ධ නිසා එයාව රට යවපු බවත්, දුෂ්මන්ත ඩොක්ටර් කෙනෙක් උන දවසක ගෙදරින් කැමැත්ත ගන්න පුළුවන් කියලාත්, වීමංසා කියපු හැමදේම දුෂ්මන්ත පිළිගත්තා. ඒ නිසා මහන්සියෙන් වැඩ කළා. එයා හැමදේම කළේ වීමංසා වෙනුවෙන්. එයාගේ ලෝකේ උනේ වීමංසා විතරමයි. දුෂ්මන්ත කැම්පස් අවුට් උනාට පස්සේ එයා එයාගේ පවුලේ අයත් එක්ක වීමංසා ගැන කතා කළා. වීමංසාට බල කලා ලංකාවට එන්න සහ ගෙදර අයට බල කලා විමංසාගේ ගෙදර අයත එක්ක මේ ගැන කතා කරන්න. ඒක හැමෝටම කරදරයක් වුනා වගේම අපි හැමෝම බයෙන් හිටියේ දුෂ්මන්ත ආයෙම පරණ තත්ත්වේට වැටෙයි කියලා. ඒකට විසදුමක් උනේ වීමංසා වෙන කෙනෙක් බදිනවා කියන එක ඒත්තු ගන්නන එක විතරයි කියලා අපි කල්පනා කලා. දුෂ්මන්තට අපි තේරුම් ගන්නවන්න උත්සහා කලා ආදරේ කියන්නේ අත අරන එක කියලා. වීමංසාගේ සතුට තියෙන තැනකට යන්න  දෙන්න කියලා. දුෂ්මන්ත කිව්වා වීමංසා වෙන කෙනෙකුට ආදරේ නම් එක එයාගේ කැමැත්ත කියලා.  ඒකයි වීමංසාගේ නමින් හදපු වෙඩින් කාඩ් එකක් දුෂ්මන්තට එව්වේ, එත් දුෂ්මන්ත ඒ වචන කිව්වේ විමංසා ගැන තිබ්බ විශ්වාසෙන්. අපි කවුරුත් හිතුවේ නැ දුෂ්මන්ත මේ තරම් ඉක්මන් තිරණයක් ගනී කියලා එකත් ජිවිතේ අත අරින්න තරම්. අපි හිතුවේ දුෂ්මන්ත මේක තේරුම් ගනී කියලා. "


"දුෂ්මන්තට කියන්න තිබුණේ එයා ඉගෙන ඉවර උනාට පස්සේ වීමංසා මැරුණා කියලා." 


" වතාවක් අපි එක එයාට කිව්වා පුතා, එක අහලා දුෂ්මන්ත පරණ තත්ත්වයමයි වැටුණේ, අපි හිතුවා විමංසා වෙන කෙනෙක් බදිනවා කිව්වාම එයා ඒක තේරුම් අරන් පැත්තකට වෙයි කියලා."
 දුෂමන්ත වෙනුවෙන් ඔහුගේ ලොකු අම්මාගේ දෑස් කඳුලින් පෙගිණි. 


"දුෂ්මන්ත පුතාලා එක්ක කියලා නැද්ද වීමංසා ගැන, කවදාවත්ම "


" නැහැ - කවදාවත්ම කියලා නැහැ"


"ඇයි දුෂ්මන්තව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවේ නැත්තේ"


" මුලින්ම බේත් ගත්තා. එත් පුතාට පිස්සු කියලා මිනිස්සු කියනවා ඉවසන්න බෑ. මේ විදිහට දුෂ්මන්තට හොඳ වෙන්න පටන් ගත්තා"


මම එතනින් ඉවත්ව සරසවියේ පහළ කණ්ඩායමක් විසින් දුෂ්මන්ත ගේ පින්තුරය සහිත බැනරයක් අදිමින් සිටින දෙසට ගමන් කළෙමි. ගිටාරය ගෙන වයන සමහර දිනෙක ගී ගයා අවසන දුෂ්මන්ත ගයන එකම ගීතයක් වු බව මතකයට නැගෙන විටම, ඒ ගීතය මගේ සවන්පත් අතර දුෂ්මන්තගේ හඩින් මගේ මතකයටත් වඩා හදවතත්, දෑසත්  පාරන්නටත් විය.


" එදා මෙදා තුර කඳුලට විවරවු
දැස් පියන් පත්  කවුළු වසා
ලයෙහි ගලා ගිය ස්නේහයේ දිය
සිනා පිරුණු රත් දෙතොල වසා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට හොවා
දෑත ළයෙහි බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා"

Thursday, December 8, 2016

මායම්

" චම්පිකා"
ඒ එයා. ඒ එයාගේ කට හඬ. වෙනදාට නම් මට ඒ කටහඬ  මිහිරි යි. මම අසාම එයා මිල්ටන්ගේ සිංදු කියනවා අහන් ඉන්න.

" චම්පිකා නවතින්න.
එයා එහෙම කිව්වම මම නවතින්න ඕනද?. එයා දැන් මගේ කවුරුත්ම නෙවෙයි. එහෙම නැවතුනා නම් ඒ ඉස්සර. අපි ආදරේ කරපු දවස් වල. ඒ කිව්වට ඉස්සර කිව්වේ මහ කාලේකට කලියෙන් නෙවෙයි ඒ මීට විනාඩි පහකට කලින්.

ඔව්. මීට විනාඩි පහකට කලින් මම ඉස්සර වගේම එයාට ආදරේ කරා, ඒ කටහඬට අසා කළා. එත් මීට විනාඩී පහකට කලින් එයාමයි කිව්වේ මේ සම්බන්ධෙ ඉවරයි කියලා. මම දන්නැ එයා  හරියටම එහෙම කිව්වේ විනාඩි පහකට කලින්ද කියලා දැන් මේ වෙනකොට අපේ සම්බන්ධෙ නැවතිලා විනාඩි හත අටක් වෙලා ඇති. සමහර විට ඊටත් තත්පර ගාණක් වැඩි ඇති. එත් ඒ හැම දෙයක්ම උනේ මීට විනාඩි පහකට කලින්.

"චම්පිකා, කිව්වාම නවතින්න"
එයාට තාමත් අණ කරන්න පුළුවන්. එයා එහෙම අණ කරන්න මම එයාගේ කවුද?  අනික එයා එහෙම අණ කළාම මම නවතින්න ඕනේද? එහෙම නැවතුනා නම් ඒ ඉස්සර.

" චම්පිකා "
ඒ කටහඬ කන ළඟම. මට නවතින්න උවමනාවක් නෑ.එත් මගේ වම් කකුලට හරි දකුණු කකුලට හරි නවතින්න ම ඕන උනා. ඒ මොන කකුලද කියලා මට නිශ්චියක් නැතත් එක කකුලක් නැවතුනා. එහෙම නවතින්න උවමනාවක් නොතිබ්බ කකුල ඉක්මන් කරලා මම එයාට මගේ තරහව පෙන්නුවා. නවතින්න කකුලට තිබ්බ උවමනාව මගේ පිටින් යනවාට මම කැමති නෑ. එ් ගැස්සිල්ල ඕනාවට වඩා වැඩිද මන්දා. මට එහෙම හිතුනේ " ෂ්ෂ්ෂ්ෂ්ශ්ශ්" කියලා ඇහුන සද්දේට. ඒ හඬ එයාගේ නෙමෙයි.

"චම්පිකා"
ඒ ගමන එයාගේ වම් අත මගේ දකුණු කර උඩ. මම නැවතුන්නෑ. එත්  එයා ම මාව නවත්තගත්තා. එ්ක එක කාරණයක් නෙවෙයිද මට ආඩම්බර වෙන්න. දැන් එයාව දණ ගස්සන්න උනත් මම දන්නවා. ගැණියෙක්ට මීට වඩා ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් තියෙනවාද?  ඒ හැගීම හන්ගගන්න ඕන හැගීමක් නෙවෙයි. එයාව ගණන් නොගන්න තාලෙට කට කොනින් ඇද කරන්න මම දන්නවා. එහෙම ඇද කරන වෙලාවට මම හිතාමතාම දකුණු පැත්ත තොර ගන්නවා. මම වැඩිපුරත් එක්ක කට කොනින් හිනා වෙන්නේ දකුණු කම්මුල වල ගැහෙන එක එයාට පෙන්න. දැන් එයා වචන දාහක් කථා කරයි. හැම වචන දහයකටම පස්සේ සමාවෙන්න කියයි.

" ඔයා පොඩි දෙයක් ඔච්චර ලොකු කරගන්න එපා චම්පිකා. වැරුද්දක් උනා නම් මට සමාවෙන්න"

දැක්කනේ මම කිව්වේ. එත් මට එයාගෙන් අහන්න ඕන "අනේ චම්පිකා මාව දලා යන්න එපා මට සමාවෙන්න " කියන වචන ටික. එයා එහෙම කියද්දී එ මුණේ ඇදෙන කියා ගන්න බැරි අසරණකමට මම කැමති. මට හිතෙන්නේම ඕනේම ගෑණියක් එහෙම අසරණකමක් දකින්න කැමති තමන් ආදරේ කරන මනුස්සයාගේ මුණේ. ඉතිං මම ලොකු වැරදිකාරියක් නෙවෙයි. ඊට පස්සේ මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් මගේ ඇස් දිහා බලාගෙන එයා ලතවෙන තත්පර ගානටත් මම ආසයි. උත්තරයක් නොදී තත්පර විනාඩි වලට පෙරලගන්න හැටි මම දන්නවා. කවදාවත් කෙලින් උත්තරයක් දෙන්නෑ මම. එක එකම එක පුංචි හිනාවක් විතරයි, වැඩිපුරම හිස් බවක් රැදුනු.

" චම්පිකා, මම කිව්වානේ එයා මගේ යාළුවෙක් කැම්පස් එකේ. "

මට අහන්න ඕන උනේ  ඒ වෙලාවේ කෝෆි ෂෝප් එකේ එ ගැණු ළමයා මොනවද කළේ කියලා. එත් ඒක  එයා දැන ගන්න විදිහක් නැති බව මම හොඳටම දන්නවා. එත් මීට විනාඩි පහකට කලින් එයායි මෙයයි දෙන්නම හිටයේ එ් කෝෆි සෝප් එකේ. එතන මමත් හිටියා තමයි. එත් එහෙම හිටියයි කියන එක මට තරහා ගන්න තරම් හේතුවක් නෙවෙයි කියන එක මම විශ්වාස කරන්නෑ.

" පුලියා, මේ ඔයාම ද කියලා මට අඳුර ගන්නත් බැරි උනා රැවුලයි කොණ්ඩේයි කපලා "
එයාගේ අතක් මෙයාගේ කර උඩ නතර වුනා. ඒ අත පිරෙන්නම බැදපු ඇට මාල වගයක්, මුණ ලොකු ඔරලොසුවක්, සද්දෙන්ම පුටුවක් ඇදගත්තු එයා මෙයා ලගින්ම වාඩි උනා.

" කොහොමද ඉතිං" 

එ් මෙයා, එයාගෙන් ඇහුවේ හිමින් සිරුවේ.


" ඉගෙන ගන්නවා" 

ඒ එයා, එයාගේ බැල්ම තිබුණේ මෙයාගේ ඇස් දිහා. ඒ දෙන්නාගෙම ඇස් එකට හම්බෙන වෙලාවේම මෙයා උත්තරයක් දුන්නා.


"මම ටියුෂන් ක්ලාස් කරනවා ලැට්රෝ එකේ,"

" නියමයි, කාලෙකට පස්සේ මම ඔයාව මුණ ගැහුණේ"

"සැහෙන්න කාලයක්. අවුරුදු පහක්?"

" නෑ, හයක්"

"එවුනාට මේ අද ඊයේ වගේ. ඔයා පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ."

එයා ගේ ඇස් පාතට බර උනා. එයා බැලුවේ එයාගේම කොටු වැටුණු කමිසය දිහා. එයා බෙල්ලේ දාගෙන හිටපු බස්සෙක් ඉන්න පෙන්ඩන්ට් එක පපුව මැදට වෙන්න ඒ කොටු කමිසය මතට වැටිලා තිබුණේ. එයා හිමින් සිරුවේ වම් අතින් පෙන්ඩන්ට් එක ඇල්ලුවා. මෙයාගේ ඇස් එයාගේ ඇස් එක්කම නැවතුනේ එයා අල්ලන් හිටපු ඒ පෙන්ඩන්ට් එක ළඟ. මගේ ඇස් තිබුණේ මෙයාගේ ඇස් ගාව. මට උවමනා කළේ මෙයාගේ ඇස් තියෙන්නේ එයාගේ පෙන්ඩන්ට් එක ගාවද එහෙම නැත්නම් එයාගේ පපුව ගාවද කියන එක දැන ගන්න විතරයි. මෙයාගේ ඇස් තියෙන්නේ කොතනද කියලා මගේ ඇස් වලට තීරණය කරන්න බැරි උනාට මගේ හිත එක විනිශ්චය කළා ඒ එයාගේ පපුව මැද කියලා.  එ්ක මගේ වැරුද්ද නෙමෙයි. එ්ක එයාගේ වැරුද්ද.

"ඉතිං, තාම බැන්දේ නැද්ද?"
නිහඬතාවය බින්දේ මෙයා. එයා හිනා වුනා බිම බලාගෙනම.

"නෑ, ඔයා" 

එත් එයා උත්තර දුන්නේ මෙයාගේ මුණ දිහා බලාගෙනම.


"තාම නෑ, ලබන අවුරුද්දේ වෙඩින් එක ගන්නවා මේ තමයි මනමාළි"
මෙයාගේ ඉස්සරහම උන්නු මාව එයාට අදුන්නලා දුන්නේ ඒ වෙලාවේ. එක අහලා එයා මගේ දිහාට හැරුණා. එයා මම දිහා බැලුවේ හරියට මම මෙච්චර වෙලා මෙතන හිටියේ නැති ගානට. එයා මාව දකින්නේ කොහොමද එයාගේ ඇස් තිබුණේ මෙයාගේ මුණේ විතරයිනේ.

" ෂා. මෙයාද ඒ වාසනාවන්ති. ලස්සනයි පුලා"

ඒක කිව්වේ එයාට, 



" නංගී මොන කැම්පස් එකේද?"
ඒ ප්‍රශ්නේ මට,

මට කරන්න තිබුණේ යාන්තමට හීනා වෙන එක විතරයි. තැන්පත් අහිංසක විදිහට.

" එයා ජොබ් එකක් කරන්නෑ"

ඒ මෙයා..  එත් එයා  අහපු නැති ප්‍රශ්නෙකටයි  ‍මෙයා උත්තරයක් දුන්නේ. එත් ඒ උත්තරේ එයා අහපු ප්‍රශ්නේටයි අහන්න ඉන්න ප්‍රශ්න වලටයි උත්තර තියෙන්න ඇති. එයා හිනා වුනා. මොකුත්ම නොකියා ආයෙම මෙයා දිහාවටම හැරුණා. බස්සාගේ පෙන්ඩන්ට් එක වම් අතින් අල්ල ගන්න ගමන් දකුණු අතින් මෙයාගේ වම් අතට තට්ටුවක් දැම්මා.


" මේ අර ඉස්සර හොයපු කෙනාමද?"

ඊට පස්සේ හැරුණේ මගේ දිහාවට. හෙමින් සීරුවේ එයාගේ අත් දෙකින්ම මගේ අතක් අල්ල ගත්තා.

"   මම පත්තරේට ආටිකල් ලියන්නයි, මාස්ටර් එකට පාඩම් කරන්නයි තමයි කෝෆි ෂෝප් එකට වැඩිපුර ම එන්නේ. එත් අද නම් ආවේ කෝෆි එකක් බීලා යන්න. මෙතන හරි නිස්කලංකයි. අපි ආයෙ දවසක හම්බවෙමු."
එයා මගේ අත අතඇරියේ එහෙම කියලා.

"එහෙනම් මම ගියා. ආයෙ හම්බවෙයිනේ."
එයා මෙයාගෙන් සමුගත්තේ ඒ විදිහට.

" කව්ද ඒ" 
එයා අඩි දහයක් දුර යන්න කලින්ම මම මෙයාගෙන් ඇහුවා. එහෙම අහන්න මට අයිතියක් තියෙනවා. මෙයා කියපු විදිහටම අපි ලබන අවුරුද්දේ බදින්න ඉන්නේ. ඉතිං මට සම්පුර්ණ අයිතිය තියෙනවා.

"කැම්පස් එකේ යාළුවෙක්"

"යාළුවෙක් විතරමද?"

"ඇයි නෑ වගේද"

" නෑ වගේ හින්දා තමයි ඇහුවේ"

"එහෙනම් කොයි වගේ ද දන්නෑ"

"කව්ද ඒ"

"දැන් සැරයක කිව්වේ යාළුවෙක්"

"එතකොට මොකක්ද තියෙන සම්බන්ධෙ"

"කාත් එක්කද"

" බස්සත් එක්ක"

" මොන බස්සෙක්ද, චම්පිකා ඔයාට නම් පිස්සු"

"ඔව් ඉතිං මට පිස්සු තමා."

"දැන්වත් දැන ගත්ත එක ලොකු දෙයක්"

"මම අහන්නේ කව්ද ඒ"

" එකම දේ කී සැරයක් කියන්නද චම්පි ඔයාට. ඒ මගේ යාළුවෙක්"

" මොකක්ද තියෙන සම්බන්ධෙ එයා දාගෙන හිටපු පෙන්ඩන්ට් එකෙයි ඔයා ඉස්සර වෙලාම මට දීපු පෙන්ඩන්ට් එකෙයි."

" මම දන්නේ කොහොමද, එත් ඔය කියන විදිහට ඒ දෙකම පෙන්ඩන්ට්" 
මෙයාගේ හිනාව. එ් හිනාවට  අරුතක් තිබුණා. මම හොඳටම දන්නවා එයා ඒ විදිහට යටි තොළ පෙරලලා හිනා වෙන්නේ  මාව විහිළුවට ගද්දි කියලා.

"නෑ ඒ පෙන්ඩන්ට් දෙකම බස්සෝ, මම අදයි දැන ගත්තේ මට දෙන්නේ එයා කැමති දේවල් කියලා."

"චම්පි තමුසේට නම් හොඳටම පිස්සු, ඔය ඇඩිල්ල නවත්ත ගන්නවා. මිනිස්සුත් බලනවා."

" ඇයි මිනිස්සු බැලුවාම ලැජ්ජයිද?. මම අරයා තරම් ලස්සන නෑනේ."

" චම්පිකා ඔය විකාර කියවිල්ල නවත්ත ගන්නවා"

" ඔව් මම දැන් විකාරයක්නේ."

" තමුසේ ඕක නවත්තනවද නැද්ද?"

" නෑ"

"එහෙනම ඕන දෙයක් කර ගන්නවා. මම යනවා"

" යන එකයි ඇත්තේ. යන්නේ ඕන් නැති හින්දානේ"

" කිව්වාම දෙයක් තේරුම් ගන්න බැයි නම් ඕන් නෑ තමයි."

"ඔව් දැන් මාව ඔන් නෑ. අවුරුදු හයකට පස්සේ හම්බුනානේ"

"ඔව් ඔන්නෑ තමයි. ඔය විදිහට මේ සම්බන්ධෙන් වැඩක් නෑ."
ඒ වචන මෙයාගේ. කටහඬත් මෙයාගේ. මම හැමදාම ආදරේ කරපු මිල්ටන්ගේ කටහඬ.
ඒ මීට විනාඩි පහකට කලින්.

එයාගේ කෙන්තිය නිවෙන්න කොච්චර වේලාවක් ගියාද මම දන්නෑ. එත් මගේ ඉරිසියාව නිවුනේ නැගිටලා අඩි දෙකක් එද්දීමයි. මට එතනම නවතින්න ඕන උනත් හිත කිව්වේම ඉස්සරහට යන්න කියලා. මාත් එක්ක මගේ පැත්තට එක කකුලක් හිටියාට අනිත් කකුලට ඕන උනේම නවතින්න. ඒ මොන කකුලද කියලා හරියටම කියන්න බැරි වුනාට ඒ වම් කකුල වෙන්න ඕන. හදවත වම් පැත්තේන් රිදෙන්න ගන්න ඇත්තේ ඒ හින්දා වෙන්න ඇති.

එයාට මගේ ළඟට එන්න විනාඩි කියක් ගත වුනාද මම දන්නෑ. එත් එයා විනාඩි පහකට කලින් මේ සම්බන්ධෙ නතර කලා.

" ඔච්චර පුංචි දෙයක් මෙච්චර ලොකු කර ගන්නවාද? එයා එහෙම අහන්නේ වල ගැහුණු දකුණු කම්මුල දිහා බලාගෙන. මම දන්නවා එයාට එතනින් ඇස් අහකට ගන්න බැරි විත්තිය.

" රවනකොට තියෙන ලස්සන" 

ඒ  මම අහන්න කැමතිම වචන. ඒ එයාගේම කටහඬින්. එයා එහෙම කියද්දි මට කවදාවත් එයාගේ ඇස් දිහා බලන්න බෑ. මොකක්දෝ හේතුවකට ඇස් බිමට බර වෙනවා.


"ඔයා හරි බොලඳයි" 

එහෙම කියන්නේ අනවසරයෙන්ම එයාගේ මුණ මගේ මුණටම පාත් කරගෙන.


" ඔව් ඉතිං, මම අර වගේ දාර්ශණික නෑ. බොළදයි තමයි. ඉතිං මොකටද දැන දැන මගේ පස්සෙන් ආවේ.යන එකයි ඇත්තේ"
ඒ විදිහට කියද්දි තාමත් සමාව දුන්නැ කියන ස්වරයයි , ඇස් ටිකක් පොඩි කරලා සමාව දෙන්නම් කියන හැගීම දනවන්නයි පුළුවන් මම වගේ බොළඳ කෙල්ලෙකුට විතරයි.

" මම ආදරේ මේ බොළඳ කෙල්ලට තමයි"
එයාගේ මුණ මගේ මුණට තවත් පාත් වෙනකොට මම වල ගැහෙන දකුණු කම්මුල එයාගේ ඇස් ඉස්සරහට හරවන්නේ හිතලාමයි.

" මම පොරොන්දු වෙනවා චම්පි"

"එහෙම මදි,  ඔළුවේ අත තියලා දිව්රන්න."

" බෑ, මම ඔය දේවල් විශ්වාස කරන්නෑ ඔයා දන්නවානේ."

" ඒ වුනාට මම විශ්වාස කරනවා. දිව්රන්න ඉතිං. ඉක්මණට"

" හ්ම්, එහෙනම් ඉතිං දිව්රන්න වෙනවානේ"
මගේ ඇස් වලටත් කලියෙන් එයාගේ ඇස් වල කඳුළු පිරෙන්නට පටන් ගනී. එවන් කඳුලක් ඉවසීමට තරම් දැඩි හිතක් නොමැතී වීම ගැන මා පසුව දුක් වී ඇතී වාර අනන්තය.

" හ්ම්, දිව්රන්න ඕන්නෑ.මට ඔයාව විශ්වාසයි."

ඒ කුමන මයාවක්දැයි නොදන්නෙමි. මම ඔහුගේ ලයට තුරුළු වෙමි. ඉතිං ඉන් පසු හිමකිරමක් තොල ගාමින් එයාගේ අතේ පැටලී ගෙවුණු පැයට මම වඩාත් ආදරය කරමි.

Monday, December 5, 2016

~මැක්සිම් තාගෝර් භරත නිමේෂයක හමුව~


සිදුවන සමහර සිදුවීම් අහඹුය. තවත් සිද්ධින් අහඹුවක් ද සෑබැවක් දැයි තේරුම් ගත නොහැකි ඒවාය.මේ සිදුවීම මින් කුමන වර්ගයට අයත් වුවද, නොවුවද මට එය අහම්බයක්ම පමණකිය යන්න තවමත් සිතේන නිසාම ලියා තැබීමට සිතුවත් - 

ලීවිම සම්බන්ධයෙන් පරිපුර්ණත්වයට පත් විය හැකි සාහිත්‍ය භාවිතාව සම්බන්ධ නහර එකක් හෝ කිහිපයක් උපන් ගෙයි දී පෙකනී වැල කපද්දී කපා දමා ඇති බැවින් භාෂා භාවිතය ඇල්වතුර සීතල වනු ඇති බව පළමුවෙන්ම කියා තැබීම පසුවට හොඳ වනු ඇත.

කොහොම උනත් හැන්දෑව කලබලකාරී නිසාම ඒ කලබලය ගැන කථා නොකර හිදීම හොඳය. ඔය කලබල මැද්දේ දී මට මිනිහෙක්ව මුණ ගැහෙනවා.

තරුණයෙකුත් නොවන
මහල්ලෙකුත් නොවන
මා තරමටම උසත් නැති
දුඹුරු පාට හමක් එක්ක
කෙට්ටු ඇඟට
එල්ලා වැටෙන කමිසයක්
ඇද ගත්ත

ඇස් දෙක
මැක්සිම්ගේ වගේයි
රැවුල තිබුණා නම්
තාගෝර් වගෙයි
මට හිතෙද්දී
රුසියානු විප්ලවකාරයෙකුත්
මනසේ යාන්තමට ඇදුනා

ඇදුන රුපේ එහෙමම
මම මකලා දැම්මා
මහ උසක් නැති හින්දාම

"කවි ලියනවාද" මැක්සිම්ගේ ඇස් දොඩමලුයි. මම නිරහංකාරයි.

පෙරලගෙන කුරුටු ගගා හිටපු පුංචි නෝට් බුක් එක එහෙමම වහලා මම යාන්තමට හිනා උනා...

" කවි ලිවිය යුතුමද?" මැක්සිම්ගේ ඇස් දොඩමලුයි ආයෙමත්. මම මන්ද බුද්ධිකයි.

මුනිවත හොඳයි කියලා හිතුවා දෙබසින් .......... ප්‍රදර්ශනය කරනවාට වඩා.

" තමන්වම අහන්න, විදින්න,
තමන් තුළින් උපදින
භාවයන් සිය දහසක් දකින්න.

තමන්වම කියවන්න.
කවිය පලමුව ඔබ කියවන්න.
දෙවනුව ඔබම විචාරකයා වන්න.

කවිය යනු ශරිරයක් ඇති
හුස්ම ගන්නා ප්‍රාණ වාචී ප්‍රකාශනයකි.

ඒ අපුරු ජිවියා
ඔබේ හිත උරා බොමින්
සතුට වළදන පරපෝෂිතයෙකි."

හොඳ හුස්මක් අරගෙන මම මගේ කුඩා සටහන් පොත බෑගය තුළට දමා ගන්නා තුරු හිඳ යළිත් දොඩමලු වු මැක්සිම්ගේ ඈස්,

" කවියක ශරිරය එහි කථාවයි
කවියක රසය එහි ආත්මයයි"

.................... බහින අය ඉස්සරහට,

කොන්දොස්තරගේ කටහඬින් ඒ අපුරු මිනිසා, ඔහු නැගිට යන්නට ගියේ ය. 

මැක්සිම්?
තාගෝර්?

භරතමුනි.
හරියටම ඒ හිත
ඒ වාගේම විය යුතුයි....


Wednesday, November 30, 2016

සොහොන

"උඹලැ සීයාගේ සොහොන ඔතැන තමයි, " ඇය අසල ඇති පොල් ගසක් යට හෙවනට වෙමින් පවසයි.
" මෙතන"  මම ඇගේ මළානික ඇස් දෙස බලා ගෙන විමසමි. සොහොන් කොතක ලකුණක් නැති මෙහී සීයාගේ සොහොන විය හැකිද?

" ඔය අරලිය ගහ මම හිටෙව්වේ උන්දැව පස් වලට යට කොරලා මාස ගානකට පස්සේ. උන්දැගේ පපු කැවුත්ත මෙතැනයි කියලා හිතුවට හිතලා ඒ උඩට වෙන්න තමයි මම ඔය කහ අරලිය අත්ත හිටෙව්වේ,"

වියලි සුළඟක් සුදු පැහැති හිස කෙස් අවුල් කරවයි, ඇයට ඒ බව වගක් නැත, රැළි වැටුණ  මුහුණට වැදෙන සුළන් පාරවල් වලින් බේරිමට දෝ ඇය මුහුණ වම් පසට හරවයි. පිරිමින් දෙදෙනෙකුත් ගැහැණුන්  නව දෙනෙකුත් වු දරුවන් එකලොස් දෙනෙකුට ද මුණුපුරෙකුටද කිරි දුන් එල්ලා වැටෙන පියයුරු, හැට්ටය ඇද සකසා ගන්නා ඈ, මා දෙස බලන්නේ කුහුලෙනී. ඇගෙන් කිරි ඉරු දොලොස් වැන්නා වු ඒ මුණුබුරා මම වෙමි.

"උඹලැ සීයා මහ සද්දන්ත මිනිහා. මෙන් උස. ඒ දවස් වල උඹලැ සීයා මොන දිපංකරේක ඉදන් මේ ඉසව්වට කඩා පාත් උනාද කියන එක ගමේ කවුරුත් දැනන් උන්නැ. උන්දැ එක්ක එක වහලක් යට දීග කන්ට වෙලාත් මට උන්දැගේ අම්මලා අපුච්චලා ගැන හාන්කවිසියක දෙයක් කියලා නෑ. මම අහලත් නෑ. කිසිම ලෝභ කමක් තුන්හිතකවත් ගැවීලා නොතිබ්බ මනුස්සයා, කන බොන වේලාවට කොකේක් හරි ගේ හතර මායිමේ කරක් ගහනවා උන්දැගේ ඇස් වලට අහු උනොත් එකාට බත් පිගානක් නොකා යන්න වෙන්නෑ. එහෙව් ගුණ තිබ්බ මනුස්ස පරාණයක් උඹලැ සීයා. මට මතකයි  උඹලැ තාත්තා ලැබෙන්න ඉන්න සන්ධියේ මට කොස් මැල්ලුමයි වැව් මාළු හොද්දයි කන්න දොලක් උපන්නා. උඹලෑ සීයාට එක කන වැටිලා ඒ හැටි වෙලාවක් ගියේ නෑ, මෙන්න කරවල් දෙකට මහ තඩි කොස් ගෙඩි දෙකක් උස්සන් ඇවිත් පිළිකන්නෙන් අත ඇරියා, එකක් මාළුවට ගන්න පුළුවන් කොස් ගොඩි නාම්බෙක්, අනික පුසුඹ ගහන ඉදුන වරකා නාම්බෙක්, උන්දෑ දන්නවා මම වරකා කන්න රුසියා විත්තිය. එ වේලාවේම වරකා නාම්බව දෙපලු කරලා මදුලු අහක් කරලා හීන් ගම්මිරිස් ඇටේකුත් එක්ක පන් වට්ටියට එකතු කරලා ලගින් තියලා යන්න ගියා,වචනයක්වත් නොකියා. උන්දාගේ හැටි එහෙමයි, එහෙම දවස් වලට උන්දැ ඇවිත් බලන්නේ පන් වට්ටිය දිහා, එකේ ඉතුරු බිතුරු මොකුත් නැත්නම් උන්දැ හිනා වෙනවා පොඩි එකෙක් වගේ, එකත් හොරාට, උන්දෑගේ හිත සංතෝස නම්  පොඩි මැණිකෝ කහට එකක්  දිපන්කෝ කියාන පිලිකන්නේ ඇවිත් වාඩි වෙනවා"

අතීතයෙන් පල කිමැයි මම සිතමින් සිටියෙමි. සීයාගේ සොහොන සුද්ද කර දෙන්න යැයි ආච්චි ඉකුත් දා මගෙන් ඉල්ලු ඉල්ලීමට පිටු පැමට නොහැකි විය. ඇ මට කිරි දුන් අම්මා ය. පොල් ගහ යට  ඇණ තියාගෙන වළලු කරත් දණහිසත් පිරි මදිමින් ඇ අතීතය ආවර්ජනය කරයි. සුළගත් එක්ක පාවෙන ඇගේ වියළි කටහඬ  මට විටෙක ඉවසුම් නොදෙයි. මම ඇගේ හඬ යටපත් වන්නට උදලු කෙටියෙන් බිම සුරන්නට විමි.
" උඹලැ සීයාගේ වම් පපුවේ අම්මා බුදු වෙන්ඩ කියලා පච්චයක් කොටලා තිබුණා, දකුණු අතේ කොන්ත ලකුණක් කොටලා තිබ්බා. උන්දැ මොන දෙයියන්නාන්සේව ඇදහුවද කියලා මමවත් ගමේ එකාලාවත් දැනන් හිටියේ නෑ. සල්පිල දවසකට ඇරෙන්න උන්දෑ පන්සලට ගියේ නෑ. අපේ ගමේ කිස්තියානි කාරයෝ හිටියේ නැ, පල්ලි තිබ්බේත් නෑ. කලා බීලා සන්තොසෙන් ඉන්ට ඕනෑයි කියන එක තමයි උඹලැ සීයාගේ ධර්මේ උනේ. උන්දෑ එක ඒ විදිහටම රැක්කා. උඹලැ සීයා ගමට ආපු මුල්  දවස් වල ඉන්ට හිටින්න කන්න බොන්න දෙයක් නැතුව එහෙට මෙහෙට ගාල් වෙවී හිටියේ, අපේ අපුච්චට උන්දැ ගැන බොහොම හිත වැටුනා. උන්දෑගේ උස මහත හයි හත්තියෙන් පලක් ප්‍රයෝජනයක් ගන්නැයි කියලා අපේ දිහා එක්ක ඇවිත් නතර කොර ගත්තා. එක නිස්කාරන තින්දුවක් නොවන විත්තිය උඹලැ සීයා ඔප්පු කලා. තට්ට තනියෙන් කුඹුරු වැඩට බැස්සා. කුඹුර කොටන්න, නියර බඳින්න, වි ඉහින්න, වතුර අරින්න, වක්කඩ පාදන්න අපුච්චාගේ නියම කිරිල්ල විතරයි. උඹලැ සීයා අච්චු පොතක පින්තුරේ වගේ වැඩේ කරලා අහවර කරනවා. මම ගෙදර බාල එකී. අපුච්චට හිටියේ දුවරු ම විතරයි, අනික් තුන් දෙනාම ඒ වෙනකොට  දීග ගිහිල්ලා හිටියේ. අපුච්චාගේ හිතේ විදිහටම උඹලැ සීයාට මාව කර කාර බන්දලා දුන්නා. උන්දැට එකට මොන හේතුවක් තිබුනාද කියන්න මම දන්නෑ. අපුච්චාගේ වචනෙට පිටින් යන්න තරම් හයියක් හිතේ තිබ්බේත් නෑ. කොහොමත් උඹලැ සීයාට හිතේ මනාපයක් නොතිබ්බේත් නෑ. දීගෙන් හාර දොහොකට පස්සෙන්දා උන්දෑ වම් පපුවේ පොඩි මැණිකා කියලා පච්චයක් කොටවලා තිබ්බා. හරියටම අම්මා බුදු වෙන්ඩ කියලා කොටපු පච්චේට යටින්. එදා උඹලැ සීයාගේන් මට දැනුන ආලවන්තකම වචන අසු හාර දාහාකින්වත් කියා නිම කොරන්ට බෑ ඕං. උඹලැ අපුච්චා ලැබෙන්න කියලා දැන ගත්තේ ඊට දෙමාසෙකට පස්සෙන් පහු "

ඇගේ දෑස් ප්‍රණවත්ව බබළයි. කට හඬ අමුතු ජවයකින් පිරී ඇත. මම අහස දෙ බැලුවෙමි. තැනින් තැන වන සුදු පැහැති වළාකුලක් හැරෙන්නට අහස නිල් පැහැයෙන් බබළයි. මම ඈ අසළින් වාඩි ගතිමි. තවමත් ඇගේ දනිස් පිරි මැදිල්ල එලෙසමය. අරලියා ගහ යට තරමක් දුරට සුද්ද වී ඇත. දැන් දැන් වියළි සුළඟට අසුව  වැටෙන කහ අරලිය මල් පොළව සිප ගනී. ඇ සිතන පරිදි සීයාගේ පපුව මතට ඒ මල් වැටෙනු අැත.
"අපි යමු ආච්චම්මේ, ඔය මදැ නේ"

ඇය දනිස් පිරිමදිමින් මා දෙස බලයි. ඇස් දෙකොනින් සිනා සෙයි. යළිත් අරලිය ගස දෙස බලා කල්පනාකාරිව මා දෙස බලයි.

"උඹ දන්නවාද, මෙව්වා උඹ දැන ගන්න ඕනැ. උඹ මහ කොලිජී වල පොත් පත්තර කියවනවා තමයි. උඹ කියයි අතීතෙන් වැඩක් නෑ කියලා. එත් හිච්චියෝ අතීතෙන් තමයි අනාගතේ නිර්මාණය වෙන්නේ, අතීතය කියන්නේ හරියට හෙවණැල්ල වගේ අපි යන යන තැන අපි පස්සෙන්ම එනවා. කිසිම පලක් ප්‍රයොජනයක් නැතත්. උඹ හිතපන් හිච්චියෝ ඉර අව්ව වැටෙන්න වැටෙන්න හෙවණැල්ලත් පැහැදිලි වෙනවා වගේ, ඕනැම මනුස්සයෙක්ගේ ජිවිතේ එළිය වෙන්න වෙන්න එ මනුස්සයාගේ අතීතේ එළියට එනවා.
උඹලැ සීයාගේ අතීතේ මොකක් ද කියලා මම දැනන් හිටියේ නෑ. උන්දැගෙන් ඒ වගක් දැන ගන්න ඕන කලෙත් නෑ. උන්දෑ මැරෙනකම්ම මට වචනෙකින් උඹ කියලා නෑ. උන්දැගේ අවසන් හුස්ම ඩිංගිත්ත ගියෙ මගේ මේ අල්ල උඩ"

ඈ දනිස් පිරිමැදිල්ල නවත්වා දැත් මා දෙසට හරවයි. සුදු මැලිව රුළි වැටී ඇති ඇගේ දෑත් දෙස මම බලමි. තවමත් රේඛා පැහැදිලිව ඇදී ඇති ඇගේ අල්ල මත සීයා ගේ ප්‍රාණය නිරුද්ධ හිස රැදී ඇති අකාරය මවා ගැනීමට මම වෙහෙස වෙමි.

" උඹලෑ තාත්තා මහ නාහෙට අහන්නැති එකා. ඌට යාන්තම් අවුරුදු දහ නවයක් උනා විතරයි එතකොට මට බාල කෙලී ලැබෙන්න හත් මාසයක් වෙලයි තිබුණේ. උඹලැ තාත්තා උඹලැ අම්මාව එක්කහු කරගෙන ආව රාත්තීරියේ. එදා උඹලැ සීයා රැම ගෙදරින් පිට වෙලා ගියා. ආයෙ ආවේ පහුවදා හැන්දැවේ. ඇවිත් කිව්වා ලොකු එකාට උඩහ හේන වත්ත බිම් කොටාගෙන යමක් කමක් වවාගෙන ගෙයක් දොරක් හදා ගන්න කියපන් කියලා. ඊට සති දෙකකට පස්සේ හුඹස් මැට්ටේන් බැදපු ගේ කැල්ලට උඹලැ අම්මයි තාත්තයි පදිංචියට ගියා. ආන් එහෙම ඉවසපු හිතක් උන්දැට තිබුණේ. මයේ හිතේ හැටියට ඒ හීන් කෙලි ලැබීලා අවුරුදු දෙකක් හරි තුනක් හරි ඇති, උඹලැ අම්මා වැලහින්නක් වගේ දුවගෙන ආව මිදුලේ පස් කකා ඇඩුවා. උඹලැ තාත්තා එකීට දස වද දෙනවා කියලා අපි දැනන් උන්නා. ඕකා සරුපයා වගේ මනුස්සයා. මගේ බඩෙන් වැදුව යක්සයෙක් එකා. එදා උඹලැ සීයා කීවා උඹලැ අම්මාට මහ ගෙදර නතර වෙන්ට කියලා. උඹලැ තාත්තාත් දවසක් දෙකක් ආව එකීව එක්ක යන්න. එත් එකී නෙවෙයි ගියේ. සති ගානකට පස්සේ උඹලැ තාත්තා අන්තරස් දාන උනා. කොයි ලොකේ ගියාද කියලා දෙයිහාන්දුරුවෝ තමයි දන්නේ. ඊට පස්සෙන් පොඩි බාප්පලයි පවුල් පෙලවහ කර ගෙන උඩහ හේනේ පදිංචි වුනා. දවසක් දා උඹලැ තාත්තා ඇවිත් උඩහ හේන වත්තේ පොඩි බාප්පලා පදිංචි උනාට සීයාට දෙස් දෙවෙල් තියලා ගියා. සීයා නෙමෙයි වචනයක් කතා කලේ. මම කිව්වා වගේම ඌ යක්සයෙක්. ඌ එදා දිව්රලා ගියේ උඹලාගේ අම්මාව මරණවා කියලා. ඕක වචනයක් කිව්වොත් එක කරන ජාතියේ මිනිහෙක්. උඹලැ සීයා එදා ඉදන් අමුතු කල්පනාවකින් හිටියේ. උන්දැට හිතට අමාරු තියෙන්න ඇති. එත් වචනෙකින් කිව්වේ නෑ. අවුරුදු පහක් විතර වෙච්ච බාල එකී හිටි අදිස්සියේ අසනීප උනේ ඔය සන්දියේ. මට එකීටම ඇරෙන්න උන‍ා. ඔයිට තුන් හාර මාසේකට පස්සේ දැන ගත්තේ උඹලැ අම්මාට උඹ ව ලැබෙන්න ඉන්නවයි කියලා. එදා සීයා බොහොම සන්තෝස උනා. මට අදටත් මතකයි උඹලැ අම්මටත් කොස් මැල්ලුමයි, තෙප්පිලි මාළු හොද්දයි කන්න දොල තිබුණා. උන්දෑට මොනවා හරි දෙයක් කන වැටෙන සුනංගුව විතරයි. උඹලැ අම්මාට උඹව ලැබිලා මාස දෙකක් යනකොට එකීට නයා ගහලා මැරුණා. එදා එකිව උඩහ හේනේ මායිම ලග වල දාන්න වල කැපුවේ සීයා තනියෝම. ගමේ පිරිමි අත් උදව්වට ලන් උනත් උඹලා යමල්ලා මම මේක කොරන්නම් කියලා උන්දෑට පිරිමි හය හත් දෙනෙකුගේ හයිය හත්තිය තියෙනවා. එක මුළු ගමමත් දන්නවා. උඹලැ අම්මා වල දාපු රාත්තිරියේ උඹලැ තාත්තා බිගෙන ඇවිත් කෑ ගහන්න පටන් ගත්තා. එ වෙනකොටත් උඹ මගේ අතට වෙලා හීන් කෙලිගෙන් කිරි ඇරුණු තනේ බදාගෙන හිටියේ. එකේ උඹට උරන්න කිරි කඳුලක් තිබුනාද මම දන්නැ. උඹ කොයි වෙලෙත් තනේ මිරිකගෙන තන් පුඩුව කටේ දාගෙන උන්නා. එදා උඹලාගේ තාත්තාගේ කෑ ගැහිල්ලට සීයා ඇදෙන් බැස්සේ වහලේ ගහල‍ා තිබ්බ කිනිස්ස අතට අරන්. එදා උඹලාගේ තාත්තාගේ අවසානේ වෙන්න තිබුණා. එත් හිච්චියෝ සිද්ධ වෙන්න තිබුණ දේ සිද්ධ වුනා. උඹලැ අප්පච්චි පිට වෙලා ගිහින් තිබුණා. මම මිදුලට යනකොටත් සීයාගේ පපුවෙන් ලේ උතුරනවා. පිහි පාර තිබුණේ පොඩි මැණිකෝ පච්චේට පහලින්. මම උඹව එතැන බිමින් තියලා උන්දැගේ ඔළුව  මේ අත් දෙකට ගත්තා. මට කියන්න වචන දාහක් තිබුණද මම දන්නෑ ඒ වෙලාවේ මොන දෙයියන්ගෙන් උඹලැ සීයාගේ පණ ආපහු ඉල්ලන්නද කියලා මම දැනන් උන්නෙත් නෑ. පොඩි මැණිකෝ මට කහට එකක් උන්දෑ මගේ මේ අත් දෙක උඩ පණ යනකොට මගෙන් ඉල්ලපු එකම දේ ඒ. උන්දෑ එක මොන හේතුවකට කිව්වාද කියන්න මම දන්නෑ. එත් උන්දෑ මගේ ඇස් දිහා එක එල්ලෙම බලන් උන්නා මට මතකයි. ඒ ඇස් වල සෙනෙවන්ත කමක් මිසක් මරණ බයක් තිබුන්නෑ හිච්චි එකෝ. උඹලැ සීයා උන්දැ අදහපු ධර්මතාවේ හැටියටම ජිවත් වෙලා පරලොව ගියා. අතීතය කියන්නේ අතුගලා දාන්න පුළුවන්  දුවිලි ගොඩකට නෙමෙයි හිච්චි එකෝ. උඹලැ සීයා උඹට අතීතයක් ......."

මම අරලිය ගස යට වැටුණ මලක් අතට ගත්තෙමි. නාසයට ලං කර බැලුවඳ එහි කිනම් සුවඳකදැයි මට හඳුනා ගත නොහැකිය. මම පහත් වුනෙමි. ඒ හදවතට කන් දීමට අවැසිය. මම තවත් පහත් උනෙමි. අරලිය ගස මුල සිප ගතිමි. එ පරිද්දෙන් ඒ හදවත එතැන විය යුතු ය.

"අද මගේ හිතට මහ සැනසීමක් දැනෙනවා හිච්චි එකෝ"
සුළඟට මුහු වුන ඇගේ පිබිදුන කටහඬ මගේ කන් පෙති අතරින් පපුවට කිදා බැස්සේ ය.

සමනළයෙක් කථා කරයි

මට සමනළයෙක් වෙන්න කිසිම උවමනාවක් තිබුන්නෑ. ඒ වෙනුවෙන් හීනයක්වත් බලාපොරොත්තුවක්වත් මගේ හිතේ ඇදිලා තිබුන්නැ. එහෙම නොතිබ්බ කාලෙදි තමයි මම සමනළයෙක් වෙන්නේ.

මම අදහපු එකම දේ කොළ පාට ලපටි දළු කැටයම් කරන එක විතරයි. ඒ වෙනුවෙන්ම මගේ හිතේ භක්තියක් ගොඩ නැගිලායි තිබුණේ, කැපවීම වගේම ඉවසීමත් මට තිබුණා. හොඳම දල්ල තෝර ගන්න තැන  ඉදන්ම ඒ කොළයට ගැලපෙන කැටයමක් ගලපන තැනට වෙනකම්ම හැම පියවරක්ම මට භාවනාවක්. මම සම වැදිලා හිටියේ. දවසින් දවස කැටයම් වෙන තුරු පත් දිහා බලද්දී ආඩම්බරයක් හිතේ පැල පදියම් වෙන්න ගත්තා. මට එහෙම ආඩම්බර වෙන්න හේතුවක් තිබුණා. මටම ගැලපෙන වේගයක්, හැඩයක් මම ගොඩ නගාගනයි තිබුණේ. එක සංකිර්ණ වැඩක් වුනත් ඒ නිසාම මම ගෞරවණිය වුණා. දල්ලක නිමැවුන හොඳම කැටයමේ අයිතිකරු වුනේ මම. එ් තරමටම ඔළුව කෙලින් තියාගෙන දළු අතර මගේම හැඩයට ගමන් කරන්න පුළුවන් කම තියෙද්දී මට කොහොමටවත් සමනළයෙක් වෙන්න උවමනා උනේ නෑ. එ වෙනකොට මම පලවන පංතියේ දළඹු පුරවැසියෙක්. ඒ ගෞරවය විතරක්ම මදිද.

කොහොම උනත් අන්තිමේදි මට සිද්ධ වුනා රිකිල්ලක එල්ලීලා ඉන්න. එ තමයි මම, මං වෙනුවෙන්ම සටන් කරපු පළවෙනි අවස්ථාව. මට උවමනා වුනේ දළඹුවෙක් විදිහට ඉපදීලා දළඹුවෙක් විදිහට මැරෙන්න. ඒ ජිවිතේ විදින්න. කෝෂ බිත්ති වලින් මාව හිර වෙද්දි මම ශාප කළා. සමහර වෙලාවට ප්‍රාර්ථනා කළා, මහ හුළගකින් කෝෂ බිත්ති බිදෙන්න කියලා. සමහර විට මම එක ඒ විදිහටම කියන එකත් මහ මෝඩ වැඩක් වගේ පෙනෙවී. එත් මම ඒ විදිහට කළා. අන්තිමේදි මම හිතුවේම මේ අවසානය කියලා. ඒ හැම දවසකම මම හිතේ කැටයමක් ඇන්දා. කවදා හරි කවදාම හරි දවසක ඒ කැටයම දල්ලක කැටයම් කරන එක හීනයක් කර ගත්තා.

ජිවිතේ අවසන් කියලා මම හිතපු දාට පහුවෙනිදා, මට පුළුවන් වුනා ඒ කෝෂ බිත්තියෙන් මගේ ඔළුව ගලවගන්න. එ මොහොතේම මට ඕන වුනේ අලුත් හුස්මක්. මම නැවුම් හුලඟෙන් අංශු එකතු කරගෙන හුස්ම හදා ගත්තා. ඒ ආපු ශක්තියෙන් මට පුළුවන් උනා කෝෂ බිත්තියෙන් ගැලවෙන්න. මගේ හිතේ කැටයම් වලින් පිරිලා. ඉක්මනින් දල්ලක් හොයාගෙන එක දල්ලක් කැටයම් කරන්න මට තිබුණේ පුදුම හදිසියක්.

ඒ වෙලාවේදියි මට තේරුණේ තව දුරටත් මම මම ම නෙවෙයි කියන එක. එ වෙනකොටත් මම සමනළයෙක් වෙලා ඉවරයි. මට කවදාවත්ම උවමනා වුනේ නැති විදිහට, මගේ හීනයකවත් තිබුණේ නැති විදිහට. එක මහ කාලකන්නිකමක්. මට දැනෙන්න ගත්තේ ඒ විදිහට. තනිවුන හැගිමක්. මම දළඹුවෙක්. එත් දැන් මට තියෙන්නේ විනාශ වෙච්ච ජීවිතයක්. දැන් මම සමනළයෙක්  කියන එක අදහන්න මට උවමනාවක් තිබුණේම නෑ. මම රිකිල්ලෙන් පැනලා ජීවිතේ නැති කරගන්න හිතුවේ ඒ මොහොතේ මයි. මගේම කියන කවුරු හරි මාව දකින්න කලියෙන්.  ඇත්තමයි මට උවමනා වුනා  එ් විදිහේ අවසානයක්. එත් එක තීරණය කරන්නේ කවුද මම දන්නෑ. මේ මොහොතේ මම ජිවත් වෙනවා. 

 මැරෙන්න තීරණේ කරපු වෙලාවේයි මම දැන ගත්තේ මට පියාඹන්න පුළුවන් කියලා. මම දැකලා තිබුණා, අහලා තිබුණා එත් කවදාවත්ම විශ්වාස කරලා තිබුන්නෑ. මට පුළුවන් උනා හුළඟ හමන පැත්තට පියාඹන්න. එහෙම නැත්නම් ඊට විරුද්ධ පැත්තට. කොහොම උනත් මම අලුත් අංශු එකතු කර ගත්තා. මම පියාඹන හැම මොහොතතම මට පහළින් තිබුණේ විශ්වාස කළ නොහැකි තරම් අලුත් දේවලින් පිරුණු විශාල තැන්නක්. මම එකට කිව්වේ එහෙමයි. හැම හුස්මක්ම හැම මොහොතකම අලුත් බවක්. 

මම හුළඟට ඉව අල්ලන හැම මොහොතක්ම මට භාවනාවක් වුනා. විශ්වාසය වැඩෙන්න පටන්ගත්තාම මම වෙන කවදාටත් වඩා ආඩම්බර වුනා. ජිවිතේ කියන්නේ මේකට තමයි කියන එක මම තේරුම් ගත්තේ හුළන් කැරලි මාව ඈතින් ඈතට අරන් යන්න උදව් දෙන්න පටන් ගත්තාට පස්සේ.

එක විදින්නම ඕන දෙයක්. මම කිසිම බයක් නැතුව අනෙක් දළඹුවන්ට කිව්වේ එකයි "සමනලයෙක් වෙන්න" කියලා. ඔව් එච්චරයි. මම ඔය කියන තරම් බරපතල වැරුද්දක් කලේ නැ. දළඹුවන් විනාශ වෙන්නෑ කියන විශ්වාසය මට තිබුණා. ඒ වගේම හැම දළඹුවෙක්ම මේ දේ අත් විදින්න ඕන කියලා මම හිතුවා. මම දළඹුවන්ට කිව්වේ සමනළයෙක් වෙන්න කියලා විතරයි.


උන් කවදා හරි සමනළයෙක් වෙයි. එදාට උන් තේරුම් ගනියි. දළු කැටයම් කරන එකට වඩා මේ තැන්න හුගාක් විශාලයි කියන එක. එත් මට ඕන වුනේ උන්ට බලාපොරොත්තුවක් දෙන්න විතරයි. දළඹුවෙක්ට සමනළයෙක් වෙන්න හිතේ තියෙන බය නැති කරන්න විතරයි. එක ඒ හැටිම වැරුද්දක් නෙවෙයි. තාමත් මම විශ්වාස කරන්නේ එහෙම.

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...