මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Friday, December 23, 2016

ආදරණීය වීමංසා

ආදරණීය නුඹට,


" මම නුඹේ හතුරකු නොවන්නේ ය. එහෙත් නුඹේ ප්‍රේමයේ හතුරා මා වන්නෙමි. මම නුඹට වෛර කරන්නේ නොවෙමි. එහෙත් නුඹේ ප්‍රේමයට මා වෛර කරන්නේ වෙමි.
 
නුඹ මා හිත කියවු තැන් බොහෝය. එ වගේම නොකියවු තැන්ද බොහෝය. අඩක් එළියක් අඩක් අඳුරක් ද පැවති මාගේ හදවත මා නුඹට විවර කරවුයේ නොවුව ද නුඹ මාගේ හදවතේ කවුළු හැරියේ ය. එහෙත් නුඹ මාගේ හදවතේ එළිය අඩ තුළම රැදී සිටියා මිස ඉන් මදක් පිටවී අඳුරු අඩ දෙස එබි බැළුවේ නැත. සවන් දුන්නේද නැත.


ඉතිං නුඹ පහසුවෙන් නික්මි ගියාය. පැලැස්තර පැවති හදවතට අඳුර අඩ තුලින් නික්මෙන අන්ධකාරය, එළිය අඩද වසා පැතිර යන්නට පටන් ගත්තේ එතැන් සිටය. ප්‍රේමය මා හඳුනාගත්තේ නුඹගෙන් නිසාම මම නුඹට කියමි. මම නුඹට ප්‍රේමය ගැන නොකියවු දහසක් දේ මෙහි වචන වනු ඇත.


නුඹට ප්‍රේමය ලැබි ඇති අතර නුඹ ගොඩ නඟා ගනු ලබන අනාගත සම්බන්ධතා පිළිබද නුඹ දැඩි තක්සේරුවක සිටිනවා  ඇත. ඔහු පිළිබඳව සියළු දේ ඔහුගේ රුචි අරුචි කම් පිළිබඳ ඔබට නිගමනයක් ඇත. ඉදින් නුඹ දැන් අවදානමෙන් මිදි හමාරය.


එම නිසාම නුඹ මා වෙත පවසනු ඇත, "ඔබ පිළිබඳ හැඟිමක් සිතෙහි නොවන බව" නුඹ නුඹේ පැත්තෙන් එසේ මගේ පැත්තෙන් බැඳිමක් නැතැයි පවසන විට පෙම්වත්ව තිබු මා සිත මරණය සෙවීම වරදක් නොවන්නේය. ලෝකයම පාවෙන විට එහි මරණයද ශුන්‍ය වනු ඇත.


නුඹේ විවහායට වඩා වෙනසක් මා නුඹේ ප්‍රේමය තුළ දකින්නේ නැත. අත්තනෝමතික ලෙස මා සිත ආක්‍රමණය කිරිමේ චෝදනාවෙන් මා නුඹ නිදහස් කරමි. එයට නුඹ වරදකරුවකු වන්නේ නැත.
ආදරය හෝ ප්‍රේමයට කිසික් බල නොපාන බව වරක නුඹ මට කියා දුන්නාය. ඉදින් නොනැවති නුඹ තවත් බොහෝ දේ කියා දුන්නාය. ප්‍රේමය පැවතිය හැකි අවකාශය නුඹ අද මට අවබෝධ කර දුන්නාය. නුඹේ සිතුවිලි වලට අනුව මා ඉකුත් වු අතර මගේ ප්‍රේමයද ආදරයද ඉකුත් වී හමාරය. 


තවත් වදනකුදු නොලියන්නැයි ඔබ මට බල කරනු ඇත. එත් එසේ කිරීමට නුඹ අත පෙවිය හැකි මානයක නැත. නුඹ ප්‍රේමයේ පාරිශුද්ධ බව අදහන වරෙක නුඹ ම කිවේ පුරවා ගත් අහංකාරකමකිනි. එවන් විටෙක හැලෙන නුඹේ සිනහව අව්‍යාජ එකක් වුවද, නුඹේ හිතේ ජනිත වු සියළුම හැඟුම් ව්‍යාජ බව පසක් වන විට නුඹ බොහෝ දුර ගමන් කර අවසන් ය. 


මා මත තවත් දිනකට හිරු නොපායනනු ඇත. එහෙත් නුඹේ සිනහව හෙට ද පෙර දින මෙන්ම කඩා හැලෙනු ඇත. ප්‍රේමය උයනකැයි කිවේ නුඹය. ඒ උයන  මා වෙතට ඉඟිළි ආවේ නැත. එහි වු බෝහෝ අකුල් ඇඳ දමා උයනක් කලේත්, රෝස පඳුරු වැවෙන්නට ඉඩ දුන්නේත් මා විසිනි. වසර හයක් වු තරමක කාලයක් මා ඒ උයනේ සැරි සැරු බව අදත් මට මතකය. හොඳම රෝස පඳුරත් සමඟ ම නුඹ ඒ උයන එක් වසන්තයකදී මා නොහඳුනන්නෙකුට බාර කරන වග සඳහන් වු සුදු පැහැති කඩදාසියක මුද්‍රිත රත්‍රරං පැහැති අකුරු මගේ හදවත පහුරු ගා ඒ කඩදාසිය ලෙයින් පෙගවු බව නුඹ දන්නේ නැත.


මම නුඹේ හතුරකු නොවන්නේ ය. එහෙත් නුඹේ ප්‍රේමයේ හතුරා මා වන්නෙමි. මම නුඹට වෛර කරන්නේ නොවෙමි. එහෙත් නුඹේ ප්‍රේමයට මා වෛර කරන්නේ වෙමි."


අතින් අතට පත්ව අවසානයේ මා වෙතට ආ ඒ කඩදාසියේ ලියැවී තිබුණු අකුරු ඔහුගේ ය.
මම ඔහුගේ නිසල වු දේහය දෙස බලා සිටියෙමි. වසර හතරක පමණ සරසවි ජිවිතයේ මිහිරි මතක සමඟ ඔහු සැරි සැරු මාවත් වල සොඳුරු මතක වලින් මගේ හිත  පිරුණි. 


" ඊළඟ නැවෙන්වත් උඹ ගොඩ යන්න බලපන්"


"මුට කොක්කක් ගහන්න වෙන්නැ මේ ආත්මේට. බලපන් ඇණ කලා වගේ ඉන්ට හැටි"


"මුට ගමේ සුදු මැණිකේ කෙනෙක් ඇති බං, එකයි මු කෙල්ලක් දිහා ඇහැක් ඇරලා බලන් නැත්තේ"


" උඹ ඔය විකාර ලියන එක නවත්තපන්, ලේසියෙන්ම කෙල්ලෙක් යාළු කරගන්න පුළුවන්"


සමහර හැන්දෑ වල මධු පානයන් අග ඔහුට අපි සමහරෙක් එවන් උපදෙස් දුනිමු, විහිළු කළෙමු. ඔහු සිනා සී ගිටාර වැයුවේය. ගී ගැයු වේය.  ඔහුටම ආවේණික වු ඒ වේදනාත්මක හඬ දැනුදු මගේ සවනපත් අතර ගැයෙන්නේ ය. මා ඉදිරියේ නිදි පෙති මඟින් නිසල වු ඔහුගේ දේහය නොවන්නට ඔහු මිය ගිය බව විශ්වාස කරන්නේ නොවෙමි.


මම යළිත් වරක් එම අකුරු තුළ දැස් රැදවුවෙමි. අවසානයක් නොමැති ඒ ලිපිය කිහිපවරක් කියෙව්වෙමි. ඒ වචනයක් වචනයක් පසා මහද පීඩාවට පත් කරන්නට විය. ඔහුට මේසේ ජිවිතය  අත හරින්නට ඔහු ප්‍රේම කළ කිසිවකු නොසිටි බව මා දනිමි. ජිවිතය හැර යන්නට තරම් ඔහු ජිවිතය විඳවන්නේකු වුයේ කෙසේ දැයි මම කල්පනා කළෙමි. 

 
"මල්ලී"


මගේ දෑතේ වු ලිපියට ඈ දැස් රැදවුවා ය. ඇගේ දෑසින් කඳුළු වැටෙන්නට වුවාය. මම ඇ සනසවන විදිහේ එකඳු වචනයක් හෝ කීමට සමත් නොවිමි.


" අපි අපේ මල්ලීව මරා ගත්තා." 


ඇගේ ඉකිබිඳුම වැඩි විය. නිරායාසයෙන්ම මා ඇය බදා ගත්තේ ය. ඇය මා බඳා රිසි සේ හැඩුවා ය. හැඩිමෙන් හෙම්බත් වු ඇය සිහින් හඩින් මොනවාදෝ කෙදිරුවාය. සිහි නොමැතිව ඇඳ වැටෙන්නට නොදි මා ඇයව අල්ලා ගත්තේ ය.


" දුෂ්මන්ත, ගැණු ළමයෙකුට අාදරේ කරා. එයා ඒ වෙන කොට උසස් පෙළ පංති වල හිටියේ. දුෂ්මන්ත විද්‍ර්‍යා අංශේ. ඒ ගැණු ළමයා කලා අංශේ. මට හොඳට මතකයි හරි ලස්සන ගැණු ලමයෙක්. හරිම අහිංසකයි. දුෂ්මන්ත වගේම. ඉස්කොලේ කාටත් මේ සම්බන්ධේ රහසක් වුනේ නැහැ. සමහර ගුරුවරුන්ට පවා. මමත් ඉස්කොලේ ගුරුවරයෙක්. සමහර වෙලාවට දුෂ්මන්තට අවවාද කරලා ඒ හැමදේම මම නංගි එක්ක ඇවිත් කියනවා. දුෂ්මන්ත ගේ සම්බන්ධෙට ගෙදරින් විරුද්ධ නොවුනත් ඒ වගක් දුෂ්මන්තට ඇගෙව්වේ නෑ.මම හිතන්නේ මේ දෙන්නට හැමෝම ආශිර්වාද කළා පුතා, ඒ දෙන්නා ඒ තරම්ම ගැලපෙන ජෝඩුවක්. කාට වුනත් දෙන්නව වෙන් කරන්න ලෝභ හිතෙන්න ඇති. එත් එහෙම හිතුනේ මිනිස්සුන්ට විතරයි. දෙවියන්ට එහෙම හිතුන්නෑ. දෙවියෝ මේ දෙන්න වෙන් කළා. එතකොට ඒ ලෙවල් වලට මාස කීපයයි තිබුණේ. ඒ ගැනු දැරුවා කවුරුවත් ම හිතපු නැති විදිහට යි මේ ලෝකේ දලා ගියේ. ඒ දරුවාට පිළිකාවක් කියන එක දැන ගත්තේත් මරණෙන් පස්සේ. එක දුෂ්මන්තට දරා ගන්න බැරි වුනා. එයා විශ්වාස කලේ නැ වීමංසා මැරුණ විත්තිය. දුෂ්මන්ත පිස්සේක් වුනා. බලාගත්ත අත බලා ගෙන ඉන්න ඇවිදින මළ මිනියක් වුනා. දුෂ්මන්තව යථා තත්ත්වෙට ගන්න වීමංසා ජිවත් වෙන බව අපි එයා එ්ත්තු ගැන්නුවා. වීමංසා ස්ටඩිස් වලට ඕස්ට්‍රේලියා ගිය විත්තිය දුෂ්මන්තට ඇගෙවුවා. මාසෙකට සැරයක් ඕස්ට්‍රේලියා වලින් දුෂ්මන්තට ලිවුමක් ආව. ඒ හැම ලියුමක්ම එව්වේ වීමංසාගේ ඔස්ට්‍රේලියා හිටපු අක්කා. හිත හොඳ මිනිස්සු. දුෂ්මන්ත ඉගෙන ගත්තා, මෙඩිකල් ෆැකල්ටි ගියා. හැමදේයක්ම හොඳ විදිහට වුනා. වීමංසාගේ ගෙදරින් සම්බන්ධෙට විරුද්ධ නිසා එයාව රට යවපු බවත්, දුෂ්මන්ත ඩොක්ටර් කෙනෙක් උන දවසක ගෙදරින් කැමැත්ත ගන්න පුළුවන් කියලාත්, වීමංසා කියපු හැමදේම දුෂ්මන්ත පිළිගත්තා. ඒ නිසා මහන්සියෙන් වැඩ කළා. එයා හැමදේම කළේ වීමංසා වෙනුවෙන්. එයාගේ ලෝකේ උනේ වීමංසා විතරමයි. දුෂ්මන්ත කැම්පස් අවුට් උනාට පස්සේ එයා එයාගේ පවුලේ අයත් එක්ක වීමංසා ගැන කතා කළා. වීමංසාට බල කලා ලංකාවට එන්න සහ ගෙදර අයට බල කලා විමංසාගේ ගෙදර අයත එක්ක මේ ගැන කතා කරන්න. ඒක හැමෝටම කරදරයක් වුනා වගේම අපි හැමෝම බයෙන් හිටියේ දුෂ්මන්ත ආයෙම පරණ තත්ත්වේට වැටෙයි කියලා. ඒකට විසදුමක් උනේ වීමංසා වෙන කෙනෙක් බදිනවා කියන එක ඒත්තු ගන්නන එක විතරයි කියලා අපි කල්පනා කලා. දුෂ්මන්තට අපි තේරුම් ගන්නවන්න උත්සහා කලා ආදරේ කියන්නේ අත අරන එක කියලා. වීමංසාගේ සතුට තියෙන තැනකට යන්න  දෙන්න කියලා. දුෂ්මන්ත කිව්වා වීමංසා වෙන කෙනෙකුට ආදරේ නම් එක එයාගේ කැමැත්ත කියලා.  ඒකයි වීමංසාගේ නමින් හදපු වෙඩින් කාඩ් එකක් දුෂ්මන්තට එව්වේ, එත් දුෂ්මන්ත ඒ වචන කිව්වේ විමංසා ගැන තිබ්බ විශ්වාසෙන්. අපි කවුරුත් හිතුවේ නැ දුෂ්මන්ත මේ තරම් ඉක්මන් තිරණයක් ගනී කියලා එකත් ජිවිතේ අත අරින්න තරම්. අපි හිතුවේ දුෂ්මන්ත මේක තේරුම් ගනී කියලා. "


"දුෂ්මන්තට කියන්න තිබුණේ එයා ඉගෙන ඉවර උනාට පස්සේ වීමංසා මැරුණා කියලා." 


" වතාවක් අපි එක එයාට කිව්වා පුතා, එක අහලා දුෂ්මන්ත පරණ තත්ත්වයමයි වැටුණේ, අපි හිතුවා විමංසා වෙන කෙනෙක් බදිනවා කිව්වාම එයා ඒක තේරුම් අරන් පැත්තකට වෙයි කියලා."
 දුෂමන්ත වෙනුවෙන් ඔහුගේ ලොකු අම්මාගේ දෑස් කඳුලින් පෙගිණි. 


"දුෂ්මන්ත පුතාලා එක්ක කියලා නැද්ද වීමංසා ගැන, කවදාවත්ම "


" නැහැ - කවදාවත්ම කියලා නැහැ"


"ඇයි දුෂ්මන්තව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවේ නැත්තේ"


" මුලින්ම බේත් ගත්තා. එත් පුතාට පිස්සු කියලා මිනිස්සු කියනවා ඉවසන්න බෑ. මේ විදිහට දුෂ්මන්තට හොඳ වෙන්න පටන් ගත්තා"


මම එතනින් ඉවත්ව සරසවියේ පහළ කණ්ඩායමක් විසින් දුෂ්මන්ත ගේ පින්තුරය සහිත බැනරයක් අදිමින් සිටින දෙසට ගමන් කළෙමි. ගිටාරය ගෙන වයන සමහර දිනෙක ගී ගයා අවසන දුෂ්මන්ත ගයන එකම ගීතයක් වු බව මතකයට නැගෙන විටම, ඒ ගීතය මගේ සවන්පත් අතර දුෂ්මන්තගේ හඩින් මගේ මතකයටත් වඩා හදවතත්, දෑසත්  පාරන්නටත් විය.


" එදා මෙදා තුර කඳුලට විවරවු
දැස් පියන් පත්  කවුළු වසා
ලයෙහි ගලා ගිය ස්නේහයේ දිය
සිනා පිරුණු රත් දෙතොල වසා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට හොවා
දෑත ළයෙහි බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා"

2 comments:

  1. අපූරුයි මේ කතාව...ෆොන්ට් එකේ ප්‍රමාණය පොඩ්ඩක් ලොකු කරන්න...කලින් කතාවෙ තරමට..මේකෙ ඇසට අපහසු බවක් එනවා

    ReplyDelete
  2. බොහෝමත්ම ස්තුතී විසිරි සිහින.... <3
    ජංගමයෙන් බහාලු නිසා අකුරු කුඩා වී ඇත. :)

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...