මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, November 27, 2018

විරාම


සමහර විරාම ;
නුඹවත් නුඹේ මතකත්
අමතක කරනු පිණිසය.

තවත් සමහර විරාම ;
ආගිය මඟක අතැර ආ
දුහුවිලි සුගන්ධ සිනාවන් සොයනු පිණිසය.

විටෙක නොහිතා තබන විරාම ;
කැබැලි වි ගිය රුවක සේයාවක්
හදබිතේහි රක්තවර්නයෙන් අඳිනු පිණිසය.

දිගුම තත්පරවලින් තබන විරාම ;
ප්‍රේමයේ තුෂරබිඳු වලින් මුවක් නැහැවෙන
හිමිකමක් හිත දරණු පිණිසය.

සැලසුම් සහගත විරාම ;
අහිමි හදවත් අතර රැදෙන්නට නොහැකිව
මා නොවන මා සොයනු පිණිසය.

සමහර විට යළිත් එළැබෙන විරාමය ;
අහඹුවක් විලසින් සිනාවෙන් හා කඳුලෙන්
සමුගෙන නොපෙනී යාම පිණිසය.


Sunday, November 18, 2018

මම කැමැත්තෙමි.



මම ලියන්නට කැමැත්තෙමි.
මහ පොළොව  මත හිද,
මහ විසල් අහස ගැන ...

මම සිතන්නට කැමැත්තෙමි.
තත්පරත් මියෙන අවකාශයක සිට,
හිතක නොමියෙන සිනහවන් ගැන ...

මම දකින්නට කැමැත්තෙමි.
උසැති කඳු මුදුනට පෙනෙන,
හිරු සැගව යන ක්ෂිතිජය ...

මම සිඹින්නට කැමැත්තෙමි.
සුළඟ විසි කළ මලක්,
දෝත පා පිළි ගන්න වැලිබිම ...

මම නිදන්නටකැමැත්තෙමි.
ලේ පැහැති කඳුළු කැට,
වැටි සැඟවෙන තෙත්බිම ...


Tuesday, October 30, 2018

මලක් නොපිපේ නම් එතැන




ජාති කුල මළ අනුව
බේදා ගත් සොහෙන් බිම,
පෙළපත් නම ගමද වංශයද
ලියා ඇත යම් කෙනෙක් තනතුරද.....

මලක් නොපිපේ නම් එතැන
කුමන සුවඳක් වේද?

පස් අස්සේ හැංගිච්ච කතාවට
හැකිද හුස්මක් දෙන්න
ඒ පලක මත ඇති
නම ගමින් තනතුරින්

මලක් නොපිපේ නම් එතැන
කුමන සුවඳක් වේද?

ජාති ජන්මය අනුව
සොහොන් බිම වෙන් කළද....
මල කඳක් පස් වන්නේ
ජාති ජන්මය මතද....

මලක් නොපිපේ නම් එතැන
කුමන සුවඳක් වේද?

හතර රියනෙන් අවසන්ව
යනෙන මේ සුළු මොහොතට
බෙදා ගත නොහැකි තරමට
බදා ගත් දෑ අතැර යන්නටත්
වෙන් කල යුතුම වේද බිම්කඩ

මලක් නොපිපේ නම් එතැන
කුමන සුවඳක් වේද?





Monday, October 22, 2018

කොහෙද ඒ මනුස්සයා



දන්නව නම් මට කියන්න කොහෙද ඒ මනුස්සයා
 
වැඩිය කෙස් නැති - කතා බහ නැති
බුලත් විට කන අනියතයි ලොව කියන
ලී කදට පණ දෙනා වෙස් මුණු හදන්නා

කාරණය පොඩිම නෑ බරපතලමත් නෑ
වියදමක් උනත් ලොකු මට එකේ වගක් නෑ

දැන් ඉතිං මට කියන්න කොහෙද ඒ මනුස්සයා
ලී කදට පණ දෙනා වෙස් මුණු හදන්නා

හදන්නට තියෙන්නේ වෙස් මුහුණක් තමයි
ඒත් එය විය යුතුයි වාගේම මගේ මුණ

දැන් ඉතිං මට කියන්න කොහෙද ඒ මනුස්සයා
ලී කදට පණ දෙනා වෙස් මුණු හදන්නා

මගේ ලඟ තියෙනවා ලී කදක් පණක් නැති
පාට හැඩතල යසට පෙනෙන්නට හදවන්න

දැන් ඉතිං මට කියන්න කොහෙද ඒ මනුස්සයා
ලී කදට පණ දෙනා වෙස් මුණු හදන්නා

කඳුලු බිඳු තෙරපිලා දෑස් බොඳ වන විටක
ලබා ගැරහුම් හිත රිදවගත් විටක
පලදින්න සැමදෙනට ලෝකයට දකින්නට
හදවන්න මට ඕනේ සිනා ඇදි මගේ මුණ

දැන් ඉතිං මට කියන්න කොහෙද ඒ මනුස්සයා
නුඹේ ඔය හිනා වත හැදුව ඒ මනුස්සයා
ලී කදට පණ දෙනා වෙස් මුණු හදන්නා.




හපුතලේ අතර මඟ

වියළි දුවිලි එක්ක හුස්ම ගද්දී , ඒ දුවිල්ලත් එක්ක ඔට්ටු වෙද්දී , ජිවිතේ ඒ දුවිලි හුළඟටම සින්න කරලා මිනිස්සු වෙන්න හීන දකිද්දී , හැමදාමත් හැ...