මේ හීන් හුළඟ මහ කනදරා වැව් දිය සිපගෙන හමා යන්නේ
අපේ හිත් කියවගෙන. අපේ හිත් වල නැඟුන දුක, සතුට දැනුනේ මිස්සක පව්වටම විතරක් වෙන්න
ඇති.ඇස් අස්සේ ගුළි ගැහුණු කඳුළු දැක්කේ මිස්සක පව්ව මත දෝරේ ගලන හඳම විතරක් වෙන්න
ඇති.
මේ පොළව මත නැගෙන බඩ ඉරිඟු වගේම අපිත් මේ පොලව
මත්තේම ගැටෙනවා. පැලි වළං පැළුණු කාස්ටක පොළව මතින් අස්වනු නෙළන්න දඟලන මිනිස්සු
වගේම අස්වනු නෙළාගෙන මිනිස්සු වෙන්න දගලනවා.
සමහර වෙලාවට,
අපි අපේ මනුස්සකම උගසට තිබ්බා. උගස බේරගන්න බැරිව
මනුස්සකම සින්න වෙද්දීත්, අපි වාරු ගත්තා. වාරු අරන් නැගිටින්න උත්සහ දැරුවා අදට
වඩා හෙට හොඳ වෙයි කියලා හිතාගෙන.
ඒත්, හෙට දවස අනියතයි කියලා අපිටත් වඩා හොඳට, මේ
පොළව මතම ගැබ් අරන් මෝරලා කිරි වැදෙන බඩ ඉරිඟු කරල් දැනගෙන ඉන්න ඇති. බඩ ඉරිඟු
කරල් පුදින මේ පොළව අපිට වාරුවක් වෙන්න ඇත්තේත් ඒ හින්දම වෙන්න ඇති.
සරසවි බිම කඳුරැල්ලෙන් ඈත නොපෙනුනාට අක්වැහි
වැටෙන කොට නැගෙන දුවිල්ලේ පොර බදින මිනිසුන්ගේ දහදියත් එක්ක මුහු වෙච්ච අපේ හිත්
වලට , මේ සරසවි බිම කඳුරැල්ලක්ව නැගුණා.
හන්තානට පායන හඳයි, මිස්සකට පායන හඳයි, කොයිතරම්
වෙනස්ද කියලා කියන්න තරම් නම් මම කවියෙක් නෙවෙයි. ඒත් මිස්සකට පායන හඳ දිහා බලාගෙන
මතක ගුළි කරලා මහ කනදරාවට දාපු හිත් මේ සරසවි බිමේත් පිරිලා තිබුණා.
ගීතයක, කවියක සොඳුරු පදයක් වෙලා සරසවිය
නොතිබුණාට,
වැහිදිය නොවැටෙන පොළවක් මතට වැස්සක් වෙලා වහින්න
අපිටත් පුළුවන්,
ඔබ නැති මේ රැයට පුරහඳ එළිය කුමටද?
ඔබ නැති මේ බිමට නලමුදු සුවඳ කුමටද?
එපා කියන්න
සමු අරන් යන විටදී,
අපි වහිනවා වැස්සක් වෙලා.
ගෙවා දැමු සරසවි ජිවිතයේ නේවාසිකාගාරයේ බිත්තී
අතර හිරවී සිටි දවස් වලදී, සමහර විට දැනුන තනිකම මකා ගන්නටත්, ඉවසගත් පිළිතුරු
නැති ප්‍රශ්න අමතක කරවන්නටත්, විඳගත් දයාබරකම් හදවතේ කොනක තැන්පත් කරවන්නටත්,
දිරිය දුන් තක්ෂලාවට ආයුබෝවන් කීමට කාලය ළං වෙද්දී ලියා දැමු අකුරු සටහනකි.
ජිවිතයේ වෙනස් මාවතක් පෙන්වු මේ සරසවි බිම
ජිවිතයේ ගෙවා දැමු සොඳරුතම කාල පරිච්ජේදයක් වෙද්දී, ඒ සොඳුරුකාලය ගැන පසුවට සටහන්
තැබිමේ බලාපොරොත්තුවද කැටි කොට ගෙන ඊට පෙර රජරට අපේ කථාව යාත්‍රාවට ගෙන දමමි.
හොඳ කතාවක් වගේ
ReplyDelete