මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Wednesday, May 31, 2017

ඔපීසීයේ කතා 3


පීසීයේ වෙච්ච කතායි වෙන කතායි ලියන්න ගත්තා නේ ඔන්න. ඉතිං පළවෙනියටම ලියපු කතාව බලපු අයනම් දන්නවානේ ඉතිං ඔපීසීයේ කී බිසවයි, මයික් ඛන්නා මහත්තයයි, වන්දන මහත්තයා ගැනයි. ඔන්න නොදන්න අය දැන ගන්නත් එක්කම ඔපීසීයේ කතා එක කියවන්නකෝ.

ඊටත් පස්සේ ඉතින් බක්මහට ආපු අලුත් අවුරුද්ද අපේ ඔපීසීයේ අය සමරපු හැටි දැන කියා ගන්න බලන්නකෝ ඔපීසීයේ කතා දෙක

ඔය දෙකම බලපු අය එක සිතින් ඔපීසීයේ කතා 3 බලන්න. 

දැන් ඔය කිව්වත් වගේ කී බිසවයි, යාත්‍රා වෙච්චි මමයි, ඔය කියපු වන්දන මහත්තයයි එකට එක්කාසු වෙලා බලු කතා කියද්දී තව පැත්තක පුංචි පහේ පුස් පාට් එකකුත් යනවාය. ඔය පුස් පාට් එකට නම් යාත්‍රා කිසිම සම්බන්ධයක් නැ ඔන්න. ඒවුනැයි කියලා අර පාට් මේ පාට් බොරු පාට් ඔක්කෝම ටික යාත්‍රාට පුළුවනි. දැන් ඔය පුස් පාට් දමන්නේ ඔපීසීයේ කෙළවරේම කොනේ ඉන්න නෝනාය. ඒ නෝනා ගැන කෙටියෙන්ම කියනවා නම් මෙන්න මෙහෙමයිනෝනට පුසෙක් ඇත. පුසාගේ නම නාදන්ය. නාදන් යනු පුසෙකි. නාදන්ගේ නෝනා ඔපීස් එයි. ඒකත් උදෙන්මය. නාදන්ගේ නෝනාගේ පළවෙනිම රාජකාරිය ඒ.සී.එක ඔන් කිරීමය. නාදන්ගේ නෝනා ගිය ආත්මේ එක්කෝ එක්සිමො කෙනෙකි එහෙමත් නැත්නම් ලාප්ලන්තවරියකි. කෙහොම උනත් ඔය මොකෙකුම හරි වෙන්නට නම් ඕනෑමය. නාදන්ගේ නෝනා මුළු ඔපීසීයම අයිස්ලන්තයක් කරයි. අප වැඩ කරන්නේ සට සට ගා ගැහෙන වෙව්ලන සීතලේය. ඔන්න ඔය වේලාවට තමයි යාත්‍රාට රාජ්‍ය සේවය එපා වෙන්නේම. ඇත්තෙන්ම එය පුදුම තරමේ කටුක අත්දැකිමකී. 

නාදන්ගේ නෝනා ළඟම වම් පැත්තේ ඉන්න නෝනා ගැන නම් නෝකියාම බැරිය. නෝනා ඔපීස් එන්නේ ආමී කාර් එකෙනි. යන්නේද ආමි කාර් එකෙනි. නෝනාගේ මහත්තයා ආමි ලොක්කෙකි. හොඳම දේ ඒ ලොකු කම් නෝනා ලඟ නැති එකය. ඒ වුනාට කට වැඩිය. ඕනැම කෙනෙකුට ඕනැම එකක් කියන්නට නෝනා දක්සය. නෝනාගේ නම පූන්තොට්ටම් නෝනාය. නමේ හැටියටම නෝනාට පූ වත්තකි. පූන්තොට්ටම් නෝනාගේ කට වගේම පූ කඩන්නත් දක්ෂය. හැබැයි ඉතිං නෝනා මේක දැක්කොත් යාත්‍රා තවදුරටත් බත් කෑම ගැන බලාපොරොත්තු තබා ගැනීම හොඳ නැතිය. කෙසේ වෙතත් පූන්තොට්ටම් නෝනා ගැන පොඩි පහේ ඉරිසියාවක් යාත්‍රාට නැතුව නොවෙයි. වෙන මක්කවත් හින්දා නෙවෙයි පූන්තොට්ටම් නෝනාගේ ඉඟ සුඟ ගත හැක මිටිනය. ඉතිං යාත්‍රාට දකින දකින වාරයක් පසා බුර බුරා නැගෙන ඉරිසියාවය. මේ නෝනලාගේ බොඩි මේන්ටෙන්ස් කිරිල්ල කොරන්නට යාත්‍රාට නම් බැරිය. 

ඔය නාදන්ගේ නෝනාට සමීප තවත් බිය+ලනී නම් නෝනා කෙනෙකි. ඒ නෝනාටද ඔය කියන පුසෙක් ද වෙයි. නෝනලා ගජ මිතුරු පුසන් නිසාවෙනි. පුසා චුටී උනාට බිය+ලනී නෝනා නම් චුටී නැත. නෝනා ගේ කටත් එසේමය. වේලාවකට බසවක්කුලමේ සොරොව්ව ඇරියා වගේය.පුසන්ගේ කතා වලට නාදන්ගේ නෝනත් , බිය+ලනී නෝනත් තකට තකය. 

කොහොම හරි අද බිය+ලනී  නෝනාට උභතෝකෝටික පුරස්නයකි. දවසින් දවස නෝනා තර වෙන එක දරා ගන්නට බැරිම තැන ඒ පුරස්නය අප අභිමුවේ තැබුවාය. බිය+ලනී නෝනාගේ පුරස්නයට විවිධාකාරයේ උපදෙස් දුන්න අපේ පූන්තොට්ටම් නෝනා බැරිම තැන ඔය පුරස්නය වන්දන මහත්තයාට යොමු කළාය. දැන මුත්තෙකුගෙන් ලැබෙන උපදෙස් ඉතා හොඳය. යාත්‍රා වෙච්ච මමත් දත කට මැද ගෙන උපදේසේ අහන්න කණ ඒ පැත්තට හැරෙව්වාය. මේ හිටියාට දැන් නම් යාත්‍රා මේ පොළවට සැහෙන්න ම බරකි. කිලෝ වලින්ම කිව්වොත් හැටයි තව පහකි. වන්දන මහත්තයා ගත් කටටම වඩු මඩුවකට යමන් කිවේය. පල යන්න වන්දනයා හිතට ආපු වචන යාත්‍රා එහෙමම කටේ තද කොර ගත්තාය. වැඩි හිටි යන්ට ගරු කර යුතුය. මොකද වන්දන මහත්තයා යාත්‍රා වගේ තුන් හතර ගුණේකින් වයසින් වැඩිය. යාත්‍රාගේ වැඩි බර මිසක්ක වයස එහෙම නෙවෙයි ඕන්න. 
 
 ඔපීසීය ගැන කියද්දී අපේ ලොක්කී ගැන නොකියාම බැරිය. කොයි ඔපීසීයක උනත් ලොක්කෝ සහ ලොක්කීයෝ ඇත. රජයේ ඔපීසී වෙච්ච මෙව්වැයෙත් ලොක්කෝ ලොක්කීයෝ හුඟක් ඇත. වෙලාවකට ලොක්කෝ සහ ලොක්කීයෝ අපේ ඇඟට ගොඩ වෙයි. තවත් වේලාවකට අපි ලොක්කෝ ලොක්කීයන්ගේ ඇගට ගොඩ වෙමු. හැබැයි ඉතිං ඒ ලොක්කෝ ලොක්කීයෝ නැති තැනය. ඒ තියා ලොක්කේක්ට ලොක්කීයෙක්ට මුට්ටියක් අල්ලන නෝනෙක් මහත්තයෙක්  තියා එහෙමැයි  කියන හිතෙන කෙනෙක්ගේ හෙවනැල්ලක්වත් නැති තැන්වලදීය. කොහොම අනත් අපේ පොඩී ලොක්කී නම් හරියට කාලගුණේ වගේමය. වේලාවකට හොඳය. වේලාවකට නරකය. නරක වේලාව මොකක්ද හොඳ වේලාව මොකක්ද කියලා යාත්‍රාට නම් කවමදාවත් තේරුම් ගන්නට බැරිය.  පොඩි ලොක්කීට උඩින් තව ලොක්කීයෙක් ඇත. ඒ ලොකු ලොක්කීය. ලොකු ලොක්කීට වඩා පොඩී ලොක්කීගේ කට සැරය.ඒ හින්දා හැමෝම ලොකු ලොක්කිට කැමතිය. ලොකු ලොක්කි අහිංසකය. සමහර විට කනෙන් රිංගන්නට ලේසිය.

ලොක්කන් ගැන වැඩිය පැවසීම ඇගට ගුණ නැත. ඒ නිසා ලොක්කව් ගැන ඔය ඇතිය. අපේ නෝනලාට එක එක වර්ගයේ ප්‍රශ්න ඇත. සමහරක් ප්‍රශ්න යාත්‍රාට තේරේන්නේම නැත. ඒ වුනත් ඒ වෙලාවට තේරුණා වගේ ඉන්නවාය. නැත්නම් යාත්‍රා මේ වෙනකොට තබාගෙන ඇති නමට හොඳ නැතිය. 

කොහොම උනත් අපේ ඔපීසීයේ නෝනලා නම් පුදුම සහගතය. අරුමැසිය. එක දවසක  ලොවෙත් නැති පුදුමවල්ය. සමහරදාක යාත්‍රා ඔපීසීයට ඇතුලු වෙනකොට ඇමරිකාවේ එරියා 51 ඇතුල්වුවාදෝයි සැක සංකා හිත් ගැබේ පහළ වෙයි. ඒ සැක සංකා පහව යන්නේ ටික වේලාවකින් සුපුරුදු කටහඩවල් ඇහෙන්නට උනාට පස්සේය. නැත්නම් ඉතිං නෝනලාගේ මුණු මේ සම්මක්ජාතියකට අඳුනා ගන්නට නම් බැරිය. එක් පසෙක අර කීරීම් එක මුණේ ලා පැහැපත් වූ නෝනෙක්ය. අනෙක් පස ලව් ලී  ගා සුදු වුණ නෝනෙක්ය. තවත් පසෙක කළු කෙස් අතරින් සුදු කෙස් මතු වුණ නෝනෙක්ය. මේ පස කහ ගා කහ පැහැති වු නෝනෙක්ය. බැලු බැලු අත දකින නෝනලා විවිධාකාරය. විටෙක විකාරය. කොහෙම උනත් යාත්‍රා ඔය කොයි නෝනාටත් වඩා විවිධය : විකාරය.

යාත්‍රාගේ එකම පාර්තනය ඕපීසීයේ මේ කියු හා නොකියු කිසිම 
නෝනා කෙනෙකු මේය නොදකිවා යන්නයි. 
 



Thursday, May 25, 2017

අම්මට ඕනේ නම්





අපේ අම්මා බුදු වෙන්ට

එපා කවමදාවත්,

ඕනේ නම් නිවන් දැකපුදෙන්

එ්ත් අම්මාට ඕනේ නම්



බත් උයන එක ; බත් බදින එක

අතු ගාන එක ; ගේ හැඩ කරන එක

ඇගේ පරමම සත්‍ය ය වෙහෙස වී වැඩ කරන එක

වෙහෙස අතරින් සිනාසෙන එක



ගෙයින් අඩියක් ඈත යන්නෑති

ගියත් විගහින් දුවන් යළි එන

අම්මා කොහොමද සසර දවසක

ගිහිගෙයම හැර දමා යන්නේ

ඔට්ටුයි අන්න ඒ දවස

එතෙර වෙන ගඟ ළඟදී

පැළෙයි ඒ ළය සිහිවෙලා

දරු පෙමින් බර වෙලා




අපේ අම්මා බුදු වෙන්ට

එපා කවමදාවත්,

ඕනේ නම් නිවන් දැකපුදෙන්

එ්ත් අම්මාට ඕනේ නම්



අපේ කඳුළුත් ඇගේ කර ගන්න එක

මුණුබුරන් හදන එක ; මී මුණුබුරන් දකින එක

ඇගේ පාරමීතාවම තාත්තාගේ හෙවනම හොයන එක

ළගක නැතුවත් අපේ සතුටම පතන එක



භාවනාවක අතරමඟදිත්

රෑ බත උයන හැටිම හිතන

අම්මා ‍කොහොමද සසර දවසක

කිරිපිඩු තනිව වළදන්නේ

ඔට්ටුයි අන්න ඒ දවස

බෝමැඩ ළගදී

හැරෙයි කිරි පිඩක් අරගෙන

ඒ ළය දරු පෙමින් බර වෙලා



අපේ අම්මා බුදු වෙන්ට

එපා කවමදාවත්,

ඕනේ නම් නිවන් දැකපුදෙන්

එ්ත් අම්මාට ඕනේ නම්


Tuesday, May 23, 2017

තරුවක් එක්ක කතාවක්

මම ඒ වෙනකොටත් හිටියේ තරු ගොඩක් මැද්දේ. එත් මට කිසිම උණූසුමක් දැනුණේ නෑ. තරු හරිම උණුසුම් කියන කථාව මම අහලා තිබ්බා. මේ එකම තරුවකවත් උණූසුමක් නොතිබ්බේ කොහොමද කියන්න මම දන්නෑ. එත් ඒ වෙනකොටත් මම හිටියේ සීතලෙන් වේවල වේව්ල. මේ හැම තරුවක්ම හරිම සීතලයි. මගේ වටේ තරු දාස් ගානක් පිරීලා. මම ඒ හැම තරුවක් දිහාම බැලුවා. මම හරිම ඉක්මණින් ඒ තරු එකින් එක වෙන් කරලා අදුන ගන්න පුළුවන් උනා. මම දැනන් උන්න විදිහේ හැඩයක් මේ තරු වලට තිබණේ නෑ. එක එක විදිහේ වෙනස් හැඩ. ඒක මට පුදුම නොවී ඉන්න හේතුවක් නෙවෙයි.


මගේ ඇස් ඉස්සරමට මුණ ගැහුණා තරුවක්, ඒ තරුව මුණ ගැහුණා නෙවෙයි ඇත්තටම ඒ තරුව මගේ ඉස්සරහට ආවා කිව්වොත්, ඔව් ඒක තමයි සිද්ධ වුනේ, ආවාත් නෙමෙයි මම ඇස් පිල්ලමක් ගහන වේගෙන් තරුව මගේ මුණ ඉස්සරහට පැන්නා. මගේ ඇස් ඇරුණේ ඒ වේලාවේ. තවදුරටත් මම මේ දකින්නේ හිනයක් නෙවෙයි කියන එක මට තහවුරු වුනේ ඒ වේලාවේදි. ඒ හින්දම වෙන්න ඇති මම ඇස් ලොකු කරලා ඒ තරුව දිහා බැලුවේ, මට  තිබුණේ මළානික ඇස් දෙකක්. ඇත්තම කිව්වොත් මගේ ඇස් ලොකු උනා නෙවෙයි. මගේ ඇස් රවුම් වෙන්න ඇති, ඔව් මගේ මළානික ඇස් රවුම් වෙනවා කියන්නේ මගේ මුණම විහිළුවක් වෙනවා කියන එක. මේ සම්මක්ජාතියට මට පුදුමය කියන හැඟිම මුණෙන් පෙන්නන්න බැරි වෙයි. කිසිම හැඟිමක් ප්‍රදර්ශනය කරගන්න බැරි මුණක් තමයි මට තිබ්බේ.  මේ වෙලාවෙත් එහෙමයි. මගේ ඉස්සරමහ හිටපු තරුව මගේ දිහා බැලුවේ තරු ඇස් පුංචි කරලා හිනා වෙන ගමන්. කොයි තරම් සීතල උනත් තරු ඇස් පුංචි වෙනකොට තරුවට තවත් ලං වෙන්න හිතුනා. ඒ හිතුවිල්ල එහෙමම හිතේ තද කරගෙන මමත් හිනා උනා. රවුම් වෙච්ච මගේ ඇස් ඒ හිනාවත් එක්ක පුංචි උනේ නෑ. තාමත් රවුම් වෙච්ච ගමන්මයි.


අපි හිටියේ ඇස් වලින් කතා කර කර. අන්තිමට ඒ තරුව ඉද ගත්තා. මටත් ඉඳ ගන්න කිව්වා ඒ තරු ඇස් වලින්.


“ඉඳගන්න”


අපි ඇස් වලින් කථා කරන එක නැවතුනේ ඒ වේලාවේ. ආයෙමත් මගේ ඇස් රවුම් වෙලා ලොකු උනා. ඒ තරු ඇස් පුංචි උනා. කළු පාට වටකුරු මේසේ මම වාඩි උනේ ඒ තරු ඇස් දිහා බලාගෙනමයි. අපි අතර තිබුණේ නිහඩ බවක්. ඒ නිහඩ බව අතරේදි මට දැනෙන්න ගත්තා අනිත් තරු ඔක්කෝම අපි දිහා බලාගෙන ඉන්න බව. මම ඒ ඔක්කෝම තරු ඇස් මග ඇරලා කළු වටකුරු මේසේ උඩ තිබුණ පුංචි මල් පිරුණ වයින් වීදුරුව ළග මගේ ඇස් නතර කර ගත්තා.


“මේ තරු මල්”


පුංචි තරු මලක් බොහෝම පරිස්සමට කඩාගෙන මගේ රවුම් වෙච්ච ඇස් මැද්දටම විසි කළා. ඊට පස්සේ තරු ඇස් පුංචි කරලා කඩා හැලෙන හිනාවකින් හිනා වෙන්න ගත්තා. ඒ හිනාවට කළු පාට වටකුරු මේසේ මැදට වෙන්න තිබුණ තරු හැඩැති ඉටි පන්දම් දෙක තුනක්ම නිවිලා ගියා.


“මොනවාද බොන්නේ”


මට ඕන උනේ දුම් දාන කළු කෝපි කෝප්පයක්, මේ දැනෙන තද සීතලෙන් මිදෙන්න. මම හිතුවා විතරයි කෝ්පි කෝප්පයක් කළු පාට වටකුරු මේසේ උඩ. මම කෝපි තොල ගාන්න ලැස්ති උනේ සීතලම සීතල හීම කිරම විදුරුවක් අතින් ගත්ත තරුවක් එක්ක. මේ ගල් ගැහෙන සීතලේ හිම කිරම දිව ගාන්න පුළුවන්ද? මගේ ඇස් ලොකු උනා, නෑ රවුම් උනා. ආයෙමත් ඒ හිනාව. ඒ හිනාවට තවත් තරු ඉටි පන්දමක් නිවිලා ගියා.


“මේ දැක්කාද? මේ බලන්න, මේ හිම කිරම වලින් දුම් දමන හැටි බලන්න. හිමත් යටින් ගිනි ගන්නවා. සීතලට යටින් පිච්චෙනවා.”


තොල් අග රැඳුනු හිම කිරම ඩිංගිත්තක් දිවෙන් පිරිමැදලා තරු ඇස් පුංචි කරලා මගේ දිහා බැලුවා.


“දෙන්නද?”


මේ සීතලේ හිම කිරම කන්න පුළුවනැ. මම කෝපි කෝප්පේ තොල් ලඟට ගත්තා.


“ඇයි සීතල ගැනම හිතන්නේ?”


මම අහලා තිබුණේ තරුවක් උණූුසුම් කියලා.ඕනෑම හදවතක් දිය කරවන්න පුළුවන් තරමටම උණූසුම් කියලා.


“ඔව් ඔයා හිතුවා හරි, හැම තරුවක්ම උණූසුම් හරිම උණුසුම් මමත් එහෙමයි මේ බලන්න”


තාමත් පුංචි උන තරු ඇස් වලින්ම මගේ වම් අතින් අල්ල ගත්තා. එත් මට දැනුනේ සීතලම විතරයි. ඒ සීතලට මගේ අත මිදෙන්න ගත්තා. ඒ සීතල දරා ගන්න බැරි තරම්.


තරු ඇස් පුංචි කරලා මගේ දිහා බලා ගෙනම, හුඟාක් සීතලද? අහනවා. ඒක අහන්න දෙයක් නෙමෙයි මගේ අත දැනටමත් තුහින හිම වලින් මිදිලා.


“මේ බලන්න”


ඒ ගමන මගේ අත පපුව මැදට තද කරලා තියා ගත්තා.  


“මේ බලන්න.”


මගේ අතට පුංචි උණූසුමක් දැනුනා. ගුළි වෙන්න හිතෙන උණුසුමක් ඒක. මම ඒ පපුව මැද්දේම මගේ වම් අත තෙරපුවා. තුහින හිම ටිකෙන් ටික දිය වෙන්න ගත්තා.


“ඔය බලන්න”


මගේ අත පිච්චෙන්න ගත්තා. මගේ අතට අහුවුනේ හදවතක්,


“ඔය තරු හදවතක්”


මම මගේ දකුණු අතින් මේසේ උඩ තිබුණ හිම කිරම විදුරුවම වම් අත උඩට හලා ගත්තා. තරු ඇස් පුංචි කරලා හිනා වෙන්න ගත්තාම ඉතුරු වෙලා තිබුණ එකම තරු ඉටි පන්දමත් නිවිලා ගියා. හදවත් භාගයක හැඩේට මගේ වම් අත පිච්චිලා තිබුණේ. එයින් රතු පාට එළියක් විහිදෙන්න ගත්තා. ඒ රතු පාට පුංචි වෙච්ච තරු ඇස් වල තැවරිලා තිබුණේ. මට තවදුරටත් ඒ තරු ඇස් දිහා බලාගෙන ඉන්න බැ. හිනාව වෙනුවට රතු පාට කඳුළු කඩාගෙන වැටුණා. මම යන්න ඕන මම කළු පාට වටකුරු මේසෙන් නැගිටින්න හැඳුවා. මගේ වටේට හිටපු අනික් තරු වටේට කිට්ටු වෙලා උන්නේ. කඳුළු පිහදාගත්ත ඒ තරුව ආයෙමත් හිනා වෙන්න ගත්තා.


“හරිම ඉක්මණට යන්න හදනවානේ. කෝපි එක ඉවර නැහැ තාම.”


වටේට හිටපු තරු ඔක්කෝම එකම හඩින් හිනා වෙන්න ගත්තා. ඒ හඩ නෑහෙන්න කන් දෙකම වහ ගන්න ඕන උනනත්, මම මගේ මලානික ඇස් දෙක වේදනාව දෙන හදවත් භාගයක හැඩේට පිච්චිච්ච වම් අතින් අහකට නොගෙන උන්නා.


“රිදෙනවාද?”


ඉතුරු වෙච්ච හිම කිරම ටිකක් පිච්චුන වම් අත උඩ හදවතක හැඩේට අදින ගමන් අහනවා. ඒ තරු ඇස් තව දුරටත් පුංචි වෙලා තිබුන්නැ කියන්න මම දැක්කේ ඒ වේලාවේ. ඒ තරු ඇස් වල තිබුණේ තේරුම් ගන්න බැරි හැඟිමක්. ඒත්  ඒ එක්කම මම පහළට විසි උනා. විසි උනා නෙවෙයි, ඇත්තටම කිව්වොත් ඔවුන් මාව තල්ලු කළා.


ඒත් මම හිටියේ තාමත් අර කළු පාට වටකුරු මේසේමයි. එත් මගේ ඉස්සරහා පුටුව හිස්ව තිබුණේ. මට දකින්න එකම එක තරුවක්වත් ළඝක තිබුන්නෑ. හිස්ව තිබුණ හිම කිරම විදුරුවට යටින් තිබුණ කඩදාසි වගයක් මම දැක්කේ ඒ වෙලාවේදී. අවුරුද්දක් පුරාවට මම එයාට දුන්න සුබ පැතුම් පත් එතන තිබුණා. අද අපි හමුවෙන්න නියමිතව තිබුණේ අවුරුද්දක් පරණ අපේ ආදර කථාවට නිමාවක් දෙන්න. එයා මෙතනට ආවේ කොයි වේලාවේද , ගියේ කොයි වේලාවේද කියන්න මම දන්නෑ, එත් දැන් අපි සමු අරන් ඉවරයි කියන්න හිම කිරම වීදුරුව යටය වෙච්ච සුබ පැතුම් පත් මට මතක් කරලා දුන්නා. මගේ ඇස් වලින් පැනපු කඳුළු කැට හදවත් භාගයක හැඩේට පිච්චුන වම් අත උඩ නතර උනා. ඒ කඳුළු වලින් තෙමිච්ච පිච්චිච්ච හදවත මටවත් එයාටවත් අයිති නැති හදවතක හැඩයක් අරන් තිබුණා. මට ඉතුරු වෙලා තිබුණේ කිසිම හැඟමක් නැති මගේ මළානික ඇස් වලින් ඒ දිහා බලාගෙන ඉන්න විතරයි.




මගේ අප්පච්චිගේ "The last Call"

  එදා ඒ රෑ පුරාවට ඔබ, මට කතා කළ බව ඇසු විට අප්පච්චි, මම හිතනවා ඔබ මට  "රැවන්" කියන්නට ඇතිද? එහෙම නැත්නම් "පුතේ" කියන...