මම ඒ වෙනකොටත් හිටියේ තරු ගොඩක් මැද්දේ. එත් මට කිසිම උණූසුමක් දැනුණේ නෑ. තරු හරිම උණුසුම් කියන කථාව මම අහලා තිබ්බා. මේ එකම තරුවකවත් උණූසුමක් නොතිබ්බේ කොහොමද කියන්න මම දන්නෑ. එත් ඒ වෙනකොටත් මම හිටියේ සීතලෙන් වේවල වේව්ල. මේ හැම තරුවක්ම හරිම සීතලයි. මගේ වටේ තරු දාස් ගානක් පිරීලා. මම ඒ හැම තරුවක් දිහාම බැලුවා. මම හරිම ඉක්මණින් ඒ තරු එකින් එක වෙන් කරලා අදුන ගන්න පුළුවන් උනා. මම දැනන් උන්න විදිහේ හැඩයක් මේ තරු වලට තිබණේ නෑ. එක එක විදිහේ වෙනස් හැඩ. ඒක මට පුදුම නොවී ඉන්න හේතුවක් නෙවෙයි.
මගේ ඇස් ඉස්සරමට මුණ ගැහුණා තරුවක්, ඒ තරුව මුණ ගැහුණා නෙවෙයි ඇත්තටම ඒ තරුව මගේ ඉස්සරහට ආවා කිව්වොත්, ඔව් ඒක තමයි සිද්ධ වුනේ, ආවාත් නෙමෙයි මම ඇස් පිල්ලමක් ගහන වේගෙන් තරුව මගේ මුණ ඉස්සරහට පැන්නා. මගේ ඇස් ඇරුණේ ඒ වේලාවේ. තවදුරටත් මම මේ දකින්නේ හිනයක් නෙවෙයි කියන එක මට තහවුරු වුනේ ඒ වේලාවේදි. ඒ හින්දම වෙන්න ඇති මම ඇස් ලොකු කරලා ඒ තරුව දිහා බැලුවේ, මට තිබුණේ මළානික ඇස් දෙකක්. ඇත්තම කිව්වොත් මගේ ඇස් ලොකු උනා නෙවෙයි. මගේ ඇස් රවුම් වෙන්න ඇති, ඔව් මගේ මළානික ඇස් රවුම් වෙනවා කියන්නේ මගේ මුණම විහිළුවක් වෙනවා කියන එක. මේ සම්මක්ජාතියට මට පුදුමය කියන හැඟිම මුණෙන් පෙන්නන්න බැරි වෙයි. කිසිම හැඟිමක් ප්‍රදර්ශනය කරගන්න බැරි මුණක් තමයි මට තිබ්බේ. මේ වෙලාවෙත් එහෙමයි. මගේ ඉස්සරමහ හිටපු තරුව මගේ දිහා බැලුවේ තරු ඇස් පුංචි කරලා හිනා වෙන ගමන්. කොයි තරම් සීතල උනත් තරු ඇස් පුංචි වෙනකොට තරුවට තවත් ලං වෙන්න හිතුනා. ඒ හිතුවිල්ල එහෙමම හිතේ තද කරගෙන මමත් හිනා උනා. රවුම් වෙච්ච මගේ ඇස් ඒ හිනාවත් එක්ක පුංචි උනේ නෑ. තාමත් රවුම් වෙච්ච ගමන්මයි.
අපි හිටියේ ඇස් වලින් කතා කර කර. අන්තිමට ඒ තරුව ඉද ගත්තා. මටත් ඉඳ ගන්න කිව්වා ඒ තරු ඇස් වලින්.
“ඉඳගන්න”
අපි ඇස් වලින් කථා කරන එක නැවතුනේ ඒ වේලාවේ. ආයෙමත් මගේ ඇස් රවුම් වෙලා ලොකු උනා. ඒ තරු ඇස් පුංචි උනා. කළු පාට වටකුරු මේසේ මම වාඩි උනේ ඒ තරු ඇස් දිහා බලාගෙනමයි. අපි අතර තිබුණේ නිහඩ බවක්. ඒ නිහඩ බව අතරේදි මට දැනෙන්න ගත්තා අනිත් තරු ඔක්කෝම අපි දිහා බලාගෙන ඉන්න බව. මම ඒ ඔක්කෝම තරු ඇස් මග ඇරලා කළු වටකුරු මේසේ උඩ තිබුණ පුංචි මල් පිරුණ වයින් වීදුරුව ළග මගේ ඇස් නතර කර ගත්තා.
“මේ තරු මල්”
පුංචි තරු මලක් බොහෝම පරිස්සමට කඩාගෙන මගේ රවුම් වෙච්ච ඇස් මැද්දටම විසි කළා. ඊට පස්සේ තරු ඇස් පුංචි කරලා කඩා හැලෙන හිනාවකින් හිනා වෙන්න ගත්තා. ඒ හිනාවට කළු පාට වටකුරු මේසේ මැදට වෙන්න තිබුණ තරු හැඩැති ඉටි පන්දම් දෙක තුනක්ම නිවිලා ගියා.
“මොනවාද බොන්නේ”
මට ඕන උනේ දුම් දාන කළු කෝපි කෝප්පයක්, මේ දැනෙන තද සීතලෙන් මිදෙන්න. මම හිතුවා විතරයි කෝ්පි කෝප්පයක් කළු පාට වටකුරු මේසේ උඩ. මම කෝපි තොල ගාන්න ලැස්ති උනේ සීතලම සීතල හීම කිරම විදුරුවක් අතින් ගත්ත තරුවක් එක්ක. මේ ගල් ගැහෙන සීතලේ හිම කිරම දිව ගාන්න පුළුවන්ද? මගේ ඇස් ලොකු උනා, නෑ රවුම් උනා. ආයෙමත් ඒ හිනාව. ඒ හිනාවට තවත් තරු ඉටි පන්දමක් නිවිලා ගියා.
“මේ දැක්කාද? මේ බලන්න, මේ හිම කිරම වලින් දුම් දමන හැටි බලන්න. හිමත් යටින් ගිනි ගන්නවා. සීතලට යටින් පිච්චෙනවා.”
තොල් අග රැඳුනු හිම කිරම ඩිංගිත්තක් දිවෙන් පිරිමැදලා තරු ඇස් පුංචි කරලා මගේ දිහා බැලුවා.
“දෙන්නද?”
මේ සීතලේ හිම කිරම කන්න පුළුවනැ. මම කෝපි කෝප්පේ තොල් ලඟට ගත්තා.
“ඇයි සීතල ගැනම හිතන්නේ?”
මම අහලා තිබුණේ තරුවක් උණූුසුම් කියලා.ඕනෑම හදවතක් දිය කරවන්න පුළුවන් තරමටම උණූසුම් කියලා.
“ඔව් ඔයා හිතුවා හරි, හැම තරුවක්ම උණූසුම් හරිම උණුසුම් මමත් එහෙමයි මේ බලන්න”
තාමත් පුංචි උන තරු ඇස් වලින්ම මගේ වම් අතින් අල්ල ගත්තා. එත් මට දැනුනේ සීතලම විතරයි. ඒ සීතලට මගේ අත මිදෙන්න ගත්තා. ඒ සීතල දරා ගන්න බැරි තරම්.
තරු ඇස් පුංචි කරලා මගේ දිහා බලා ගෙනම, හුඟාක් සීතලද? අහනවා. ඒක අහන්න දෙයක් නෙමෙයි මගේ අත දැනටමත් තුහින හිම වලින් මිදිලා.
“මේ බලන්න”
ඒ ගමන මගේ අත පපුව මැදට තද කරලා තියා ගත්තා.
“මේ බලන්න.”
මගේ අතට පුංචි උණූසුමක් දැනුනා. ගුළි වෙන්න හිතෙන උණුසුමක් ඒක. මම ඒ පපුව මැද්දේම මගේ වම් අත තෙරපුවා. තුහින හිම ටිකෙන් ටික දිය වෙන්න ගත්තා.
“ඔය බලන්න”
මගේ අත පිච්චෙන්න ගත්තා. මගේ අතට අහුවුනේ හදවතක්,
“ඔය තරු හදවතක්”
මම මගේ දකුණු අතින් මේසේ උඩ තිබුණ හිම කිරම විදුරුවම වම් අත උඩට හලා ගත්තා. තරු ඇස් පුංචි කරලා හිනා වෙන්න ගත්තාම ඉතුරු වෙලා තිබුණ එකම තරු ඉටි පන්දමත් නිවිලා ගියා. හදවත් භාගයක හැඩේට මගේ වම් අත පිච්චිලා තිබුණේ. එයින් රතු පාට එළියක් විහිදෙන්න ගත්තා. ඒ රතු පාට පුංචි වෙච්ච තරු ඇස් වල තැවරිලා තිබුණේ. මට තවදුරටත් ඒ තරු ඇස් දිහා බලාගෙන ඉන්න බැ. හිනාව වෙනුවට රතු පාට කඳුළු කඩාගෙන වැටුණා. මම යන්න ඕන මම කළු පාට වටකුරු මේසෙන් නැගිටින්න හැඳුවා. මගේ වටේට හිටපු අනික් තරු වටේට කිට්ටු වෙලා උන්නේ. කඳුළු පිහදාගත්ත ඒ තරුව ආයෙමත් හිනා වෙන්න ගත්තා.
“හරිම ඉක්මණට යන්න හදනවානේ. කෝපි එක ඉවර නැහැ තාම.”
වටේට හිටපු තරු ඔක්කෝම එකම හඩින් හිනා වෙන්න ගත්තා. ඒ හඩ නෑහෙන්න කන් දෙකම වහ ගන්න ඕන උනනත්, මම මගේ මලානික ඇස් දෙක වේදනාව දෙන හදවත් භාගයක හැඩේට පිච්චිච්ච වම් අතින් අහකට නොගෙන උන්නා.
“රිදෙනවාද?”
ඉතුරු වෙච්ච හිම කිරම ටිකක් පිච්චුන වම් අත උඩ හදවතක හැඩේට අදින ගමන් අහනවා. ඒ තරු ඇස් තව දුරටත් පුංචි වෙලා තිබුන්නැ කියන්න මම දැක්කේ ඒ වේලාවේ. ඒ තරු ඇස් වල තිබුණේ තේරුම් ගන්න බැරි හැඟිමක්. ඒත් ඒ එක්කම මම පහළට විසි උනා. විසි උනා නෙවෙයි, ඇත්තටම කිව්වොත් ඔවුන් මාව තල්ලු කළා.
ඒත් මම හිටියේ තාමත් අර කළු පාට වටකුරු මේසේමයි. එත් මගේ ඉස්සරහා පුටුව හිස්ව තිබුණේ. මට දකින්න එකම එක තරුවක්වත් ළඝක තිබුන්නෑ. හිස්ව තිබුණ හිම කිරම විදුරුවට යටින් තිබුණ කඩදාසි වගයක් මම දැක්කේ ඒ වෙලාවේදී. අවුරුද්දක් පුරාවට මම එයාට දුන්න සුබ පැතුම් පත් එතන තිබුණා. අද අපි හමුවෙන්න නියමිතව තිබුණේ අවුරුද්දක් පරණ අපේ ආදර කථාවට නිමාවක් දෙන්න. එයා මෙතනට ආවේ කොයි වේලාවේද , ගියේ කොයි වේලාවේද කියන්න මම දන්නෑ, එත් දැන් අපි සමු අරන් ඉවරයි කියන්න හිම කිරම වීදුරුව යටය වෙච්ච සුබ පැතුම් පත් මට මතක් කරලා දුන්නා. මගේ ඇස් වලින් පැනපු කඳුළු කැට හදවත් භාගයක හැඩේට පිච්චුන වම් අත උඩ නතර උනා. ඒ කඳුළු වලින් තෙමිච්ච පිච්චිච්ච හදවත මටවත් එයාටවත් අයිති නැති හදවතක හැඩයක් අරන් තිබුණා. මට ඉතුරු වෙලා තිබුණේ කිසිම හැඟමක් නැති මගේ මළානික ඇස් වලින් ඒ දිහා බලාගෙන ඉන්න විතරයි.
+++++
ReplyDeleteස්තුතී මිතිල
Deleteමම තාම මේ ලකුණේ තේරුම දන්නැ
අපූරුයි නොවැ වෙනස්ම කියවීමක්... ඇත්තටම පොඩ්ඩක් නිස්කාන්සුවෙ පැත්තකට උනාම හිතකට මොන තරම් දෙවල් හිතන්න පුලුවන්ද...
ReplyDeleteස්තුතී
Deleteවෙලාවක්නේ අනේ නැත්තේ පැත්තකට වෙලා කල්පනාවක් දා ගෙන ඉන්න
ආයෙමත් කියෙව්වා....යාත්‍රා ගේ කතා හැමදාමත් වෙනස්....මම ආසයි
ReplyDeleteගොඩක් ස්තුතී අක්කා
Deleteමෙහෙමවත් ටිකටික බ්ලෝග් එකට ලියන්න පෙළඹුනේ ඉතිං කිත්මා කියලා කෙනෙක් හින්දා අනේ. නැත්නම් ඉතිං මේවා මයේ හිතේම තමා
අපූරුයි යාත්‍රා.
ReplyDeleteජයවේවා!!!
ස්තුතී දුමී ගොඩක්
Delete