මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, June 30, 2020

තාත්තාගේ නම නැති තාත්තාගේ පුතා

තාත්තා මැරුණා කියලා ආරංචිය ආවේ ගිය සිකුරාදා උදේ. මම හිටියේ නිදාගෙන. මාව නින්දෙන්ම නැගිට්ටවලා අම්මා ඒ ආරංචිය කියද්දි අම්මාගේ ඇස් වල කඳුළු පිරිලා තිබ්බා. මගේ ඉස්සරහා ඇඩුවේ නැතුවට එයා පහුගිය දවස් දෙක පුරාම හිටියේ අඩ අඩා. තාත්තා වහ බිව්වා කියලා අපිට ආරංචිය ආවේ දවස් දෙකකට උඩදී. එතකොටත් තාත්තා වහ බීලා දවසක් විතර පහු වෙලා.

තාත්තා බහ බිව්ව කථාව අපිට ටැලිෆෝන් කරලා කිව්වේ තාත්තාගේ ලොකු පුතා නයන උදයතුංග. අපට කියන්න ඇත්තේ යුතුකමක් විදිහට. ඒකයි දවසක් පහු කරන්න ඇත්තේ. අම්මා ටැලිෆෝන් එක කනේ තියාගෙන අහගෙන හිටියා. ‍ඇඩුවේ නැ. ඒකටත් හරියන්න පස්සේ ඇඩුවා. ටැලිෆෝන් එකෙන් අම්මගේ කනට මෙහෙම කථාවක් කියවිලා තිබ්බා. ‍ඒ දේවල් වලට අපි වග කියන්න ඕන කියලා. අම්මගේ කනට වැටෙන දෙයක් කටින් පිට වෙන්නැ ලේසියෙන්. මේ වචන ටිකත් එහෙමයි. ඒ වෙලාවේ මම අම්මා ලඟ ම හිටගෙන හිටියේ. මට නයන උදයතුංගගේ , තාත්තාගේ ලොකු පුතාගේ වචන ඇහුණා. ඒ වෙලාවේ මගේ අත මිට මෙළවුණා. වෙවුලුවා. මම තරහා පිට කරගත්තේ බිත්තියෙන්. අම්මා මට රැවුවා. අම්මා අතරයි තාත්තා අතරයි කථා නැවතුනෙත් මේ විදිහට අම්මගේ රැවුමකින්.

එහෙම රැවුමකින් ඉවර වෙන කථා අපේ ගෙදර ගොඩක් වෙලාවට සිද්ධ උනේ කලාතුරකින්. තාත්තා අපේ ගෙදර ආවේ මාසෙකට එක සැරයක් හරි දෙසැරයක් හරි විතරයි. පොඩිම දවස් වල නොතේරුණාට පස්සේ පස්සේ මම ලොකු වෙද්දි දැන ගත්තා තාත්තා ගෙවල් දෙකක් බලනවාය කියලා. කළින් හිතන් හිටියේ තාත්තා දුර පළාතක රස්සාව කරනවය කියලා. ඔය නයන උදයතුංග, රසික උදයතුංග, අභා උදයතුංග, භාතිය උදයතුංග එක්ක මිත්‍රා සේනාධිර ඇවිත් පද්මිණි ස්වර්ණාආරච්චි ට මගේ ඉස්සරහදීම වේ* කියලා බනින දවස වෙනකම්ම මම පොඩි එකෙක් විදිහට තාත්තා දුර පළාතක රස්සාව කරනවා කියන විත්තිය විශ්වාස කරා. එදයින් පස්සේ මම ලොකු මහත් වෙන්න ඇති, එහෙම නැත්නම් පද්මිණි ස්වර්ණාආරච්චි ට මාව ලොකුවට පෙන්න පටන් ගන්න ඇති. එදත් මගේ අත මිට මෙළවුණා. අත වෙවුලුවා. මිත්‍රා සේනාධිරවර මගේ අත් දෙකින් තල්ලු උනේ ඒ වෙලාවේ. අපේ අම්මාට අත උස්සපු වේ*ගේ පුතා කියලා අභා උදයතුංග මට ගහද්දි, නයන උදයතුංගලට වේ*යක් වෙච්ච පද්මිණි ස්වර්ණාආරච්චි මාව බඳා ගෙන අඩන්න පටන් ගත්තා. අභා උදයතුංගගේ පා පාරවල් එකක් දෙකක් පළිහක් වෙච්ච අම්මාගේ පිට මැද්දෙන් නතර උනා. මම වේ*ගේ පුතා උනා.

එදයින් පස්සේ තාත්තා අපේ ගෙදර ආවේ මාස හයකට විතර පස්සේ. මම ගගන ස්වර්ණාආරච්චි, ගාමිණි උදයතුංගගේ පස් වෙනි දරුවා. හතර වෙනි පුතා. තාත්තා ගේ නම නැති තාත්තාගේ දරුවා. එහෙම කිව්වේ තාත්තමයි. එදා තාත්තා මාව පොඩි එකෙක් වගේ හුරතල් කරා. ඒ වෙද්දි හුරතල් කරන්න තරම් මම පොඩි නෑ. ඒත් මමත් හුරතල් උනා. තාත්තා මට පින්තුර වගයක් පෙන්නුවේ ඒ වෙලාවේ. නයන, රසික, අභා, භාතිය මගේ සහෝදරයෝ කියලා මට පෙන්නලා දුන්නේ ඒ වෙලාවේ. මම නයනලට ඉරිසියා කරන්න ගත්තේ ඒ වෙලාවෙදී. ඒක පවුලේ පින්තුරයක්. අම්මා තාත්තා දරුවෝ සම්පුර්ණ වෙච්ච පවුලේ පින්තුරයක්. මට එහෙම පින්තුරයක් තිබුන්නෑ. තාත්තාගේ ඔඩොක්කුවෙම ඒ වෙලාවේ නින්ද ගියපු නිසා තාත්තගෙන් පින්තුරයක් ගමුයි කියලා ඉල්ලන්න මට ඒ වේලාවේ බැරි උනා.

බීලා මේවාට විසඳුම් හොයන්න බෑ ගාමිණි.”

මට එතන පවුලක් නැ පද්මි, මගෙන් වැරැද්දක් උනා.ඒකට ඔයයි මේ දරුවයි පලි නෑ.”

අපි තියෙන හැටියකට කලා බීලා ඉන්නම් ගාමිණි, ඔයා එහෙ ඉන්න ආයෙ මෙහෙ එන්න එපා. මේ ප්‍රශ්නේ මෙහෙම විසඳ ගමු. මට මේ දරුවා හදා ගන්න පුළුවන්.”

මට ආදරයක් කියලා ලැබුණා නම් ලැ‍බුණේ ඔයලා දෙන්නාගෙන්.ඒක නැති කරන්න එපා. ඒ දරුවන්ට මම කාලකන්නියෙක් මිසක් තාත්තෙක් නෙවෙයි. ඒ දරුවෝ හතර දෙනාම මට විරුද්ධයි. මම බොන්නේ ආසාවට නෙවෙයි පද්මි. නයන කොයි වෙලාවේ හරි මාව ඔය ගෙදරින් පන්නයි. මම ඒක දන්නවා පද්මි. ඔය හතර දෙනාම උස් මහත් උනේ මගේ මේ අත් උඩ. ආයෙ බීලා ආවොත් තාත්තා කියලා බලන්නැතුව මාව මරනවායි කියලා අභා කියනවා. මිත්‍රා කැත්තක් මන්නයක් ලඟ තිබ්බොත් කොල්ලගේ අතට දෙයි. ඒ තරම් දරුණු වෙන්න ගැණියෙකුට බෑ පද්මි. මිත්‍රා කොයි තරම් නපුරු ගැණියෙක්ද කියලා ඔයා දන්නැ. මම විදින වේදනාව කවුරුවත් දන්නැ පද්මි. ඒ වේදනාව නැති කර ගන්න මම බිව්ව එකයි, ඔයාට ලං උන එකයි ඇරෙන්න වෙන වැරුද්දක් මගෙ අතින් උනේ නැ. දරුවෝ දැක්කේ මගේ නරක පැත්ත විතරයි පද්මි. මගේ හොඳක් පෙන්න මිත්‍රා දරුවන්ව මට ලං කළෙ නෑ. දරුවන්ට මගේ වැරදි විතරයි පෙන්නුවේ. මම එහෙම වැරදි කරපු මනුස්ස‍යෙක් නෙවෙයි පද්මි. ඒක ඔයා දන්නවා.”

මම ඒ වෙලාවේ ඇහැරුණේ කොහොමද කියලා මතක නෑ. ඒත් මේ කථාව මට ඇහුණා. අම්මා තාත්තට අපේ ගෙදර නවතින්න කියයි කියලා මම හිතුවත් අම්මා එහෙම කිව්වේ නෑ. මට එහෙම කියන්න ඕන උනත් කළුවරේ මම ඇස් පියාගෙන හිටියා. මම නයනල‍ට වෛර කරන්න ගත්තේ එදා. ඊට දවස් තුනකට පස්සේ තමයි තාත්තා වහ බිව්වා කියලා නයන උදයතුංග කෝල් කලේ.

අම්මා කිව්වා තාත්තා වහ බිලා ජිවිතේ නැති කර ගන්න තරම් මෝඩ නෑ කියලා. ඒක එහෙම තමයි. තාත්තා බිව්වලු. ඒත් කවදාවත් මට ඒක දැනිලා තිබ්බේ නෑ. මට අතක් උස්සලා නෑ. තාත්තා වහ බිව්වා වෙන්න බෑ. මගේ හිත එහෙම කිව්වා. ඒත් මට තේරුමක් තිබ්බේ නෑ වෙච්ච දේ මොකක්ද කියලා ගලපගන්න. අපිට තාත්තාගේ මිනිය බලන්න හම්බුණේ නෑ. නයනයි, අභායි අම්මටයි මටයි එන්න දුන්නැ. අපි තාත්තාව මරා ගත්තා කිව්වා. අම්මා සද්ද නැතුව හිටියට ඒක ඇත්ත නෙවෙයි. තාත්තට වහ පෙව්වේ අම්මා නෙවෙයි. අන්තිමට පත්තර වල එහෙම ලියවිලා තිබුණා. අනියම් බිරිය වස පොවයි කියලා.

සර් මම දන්න හැමදේම කිව්වා. අදවත් අම්මා නිදහස් වෙයිද? “

 

Friday, June 26, 2020

වෙන් කළ බිම් වෙත යන්න

පක්ෂියාණනි,
මෙහි ගීත නොඟයන්න,
වෙන් කළ බිම් වෙත යන්න
ඉපල් වුන තුරුහිසක
කැදැල්ලක් නොහදන්න
මනමාලි ගෙන එන්න
වෙන් කළ බිම් වෙත යන්න

උරගමහතුනි අහන්න,
හොඳම බිම් කඩ තෝරන්න
ඉක්මණින් එවෙත පිවිසෙන්න
වේ හුඹස් සත් මහල් උස් උන
රම්‍ය සුරම්‍ය සුභ
කැමති පරිදි නම් කරගන්න
වෙන් කළ බිම් වෙත යන්න

සිවුපාවනි,
හැකි පමණ, හැකි පමණ
ගර්ජනද තර්ජනද කළ හැකිය
විගස වෙන් කළ බිම් වෙත යන්න
නිදහසේ සරන්න, තුටු සිතින් වසන්න
දුබලයින් හඹන්න, දැන් ඉතිං
යෙහෙන් වැජඹෙන්න

ගංගාවනි,
රිසි අයුරින් ගලන්න
වනස්පතියනි,
කැමති ලෙස වැවෙන්න
වෙන් කළ බිමෙහි
කැමති පරිද්දෙන් ඉඩ සදා ගන්න

කඳුලියනි,
නොසුදුසු බිමක නම්
වෙන් කළ බිමට යා නොහැකි තැන
වහ වහා පොළෝ ගැබ්හි ගිලෙන්න

තැපැල් වැඩ වර්ජනය ඉවරයි
තැපැල් පත් ලැබුනු විගසම
නිවස්නා අතැර ඉක්මණින් පිටවන්න

"අභය" යැයි නම් කළ බිමට
නොයා හිඳ සතුනි, පසුව
තිරිසනුන්යැයි මිනිසුන්ට නොකියන්න

මුතුන් - මිත්තනි මම හරි නේද?
දැන් ගැටළු සමාප්තයි
ඔබ සැනසීමෙන් නිදන්න.



Saturday, June 20, 2020

අසල්සවැසියාගේ කවුළුව (The Neighbors’ Window )

අසල්සවැසියාගේ කවුළුව අපට කොයි තරම් සමීපද? අසල්වැසියාගේ කවුළුවෙන් අපි ඔවුන්ගේ ජිවිත වලට එඹෙනවද? ඒ මුහුණ පෙවීම තුළ අනෙකාගේ  දුක සතුට සැපත එක්ක ඉරිසියාව පසුතැවීම් වගේ හැඟිම් කොයිතරම් දැ‍නෙනවද?




අසල්වැසියාගේ කවුළුව ගැන වඩාත් තදින් දැනෙන්නේ මේ වසරේ ඔස්කාර් සම්මාන දිනපු කෙටි චිත්‍රපටිය නිසාවෙන්. මාෂල් කරි විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන The Neighbors’ Window කියන්නේ විනාඩි විස්සයි තත්පර ගණනක කුඩා සිනමාවක්. එහෙත් ඉතිරි කරන හැඟිම සහ සිතුවිලි වලින් පිටු ගණනාවක්  ලියා දමන්න පුළුවන්. අන්න ඒ නිසාමයි තරු 4/5 මම දෙන්නේ.


The Neighbors’ Window ප්‍රධාන චරිත දෙකක් වටා ගෙතෙනවා. ඒත් මේ දෙන්නා කරන්නේ මොනවද, ඉන්නේ කොහෙද, දෙන්නගෙම සමාජ පසුබිම් ගැන වැඩි කථා බහකට ගියේ නැතුවට මේ චරිත දෙකම කියවා ගැනීමේ අවස්ථාව විනාඩි විස්ස ඇතුළේ දී හිමි වෙනවා. මේ කියන දෙන්නාම තමන්ගේ යෞවනය පසු කරමින් ජිවිතයේ මැදි වයස ගත කරන අඹු සැමියන් දෙන්නෙක්. Alli නොහොත් අපේ ප්‍රධාන කථා නායිකාව ගෙදර මේසය යට විසිරි තිබෙන සෙල්ලම් බඩු අතර ඇති ආහාර කැබලි අහුලමින් ඉන්න, හිස මේසයේ වද්දා ගන්න,වෙහෙසකර  මුහුණක් සහිත ගැබිනියක් විදිහට. ඇය තවත් නිවුන් දරුවන් දෙදෙනෙකුගේ මවක්. දරුවන් නිදි කරවා පැමිණ වයින් බොන සැමියා සමඟ එකතු වන ඇයට ඇගේ කවුළුව තුළින් තමන් ඉදිරියේ ඇති අනෙක් නිවස්නයේ කවුළුව පෙනෙනවා.



ඇගේ නෙතට හසු වන්නේ නව පදිංචිකරුවන් වු තරුණ යුවලක්. ඔවුන් පෙමින් වෙළි සිටිනවා. එකිනෙකා සිප වැළඳ ගන්නවා. ඇලී සහ ඇයගේ සැමියා තිර රෙදි දමා නොවැසු අසල්වැසියාගේ කවුළුව තුළින් ඔවුන්ව නරඹනවා.


කාලය ගත වෙනවා ඇලි දරුවා ප්‍රසුත කරනවා. දරුවාට කිරි දෙන ගමන්, කුස්සියේ උයන විටදී, කැම ගන්නා අතර තුරදී කවුළුවෙන් පෙනෙන තරුණ යුවල වෙත තම ඇස් යොමු කිරීම ඇලීට පුරුද්දක් බවට පත් වෙනවා. ඇත්තෙන්ම කිව්වොත් ඇලි පමණක් ම නොවෙයි එකිනෙකාට නොදැනෙන සේ උවද එහි රහසක් නොමැති බව වටහමින් ඇගේ සැමියාද කවුළුවෙන් පෙනෙන තරුණ යුවල දිහා බලනවා. කාලය ගත වෙනවා. ඔවුන් දෙදෙනා අතර යම් යම් මත ගැටුම් ඇති වෙනවා. නමුත් ඔවුන් සුපුරුදු පරිදි දුරදක්නයද යොදා ගනිමින් කවුළුවෙන් ඒ පෙනෙන ජිවිත දිහා බලනවා. ඔවුන්ගේ ප්‍රේමාන්විත හැසිරීම්, සාදයන්, සතුටු වීම මේ සියල්ල නරඹමින් ඉන්න ඇලි තමන්ගේ ජිවිතේ නොලඹන ඒ සතුට ගැන පසුතැවිලි වන බව පෙනෙනවා. නත්තල සඳහා ඇය තනිවම ගෙදර සරසන විට ඇය අනෙකාගේ කවුළුවෙන් මිතුරන් පිරි වරාගත් සාදයක් දකිනවා. එහි මිහිරි බව ඇගවිමට නාද හෝ ශබ්ද නොමැති ව  උවද ඇලීගේ හැඟිම් වඩාත් සමීපව දැනෙන්න ගන්නවා.



මේ සියල්ල අතර වාර‍යේ කවුළුවෙන් පෙනෙන සහ මෙතෙක් දුටු සියල්ල උඩු යටිකුරු කරමින් ඇය දිනක් ඔවුන් දෙදෙනා හඩා වැළපෙන අයුරු දකිනවා. එතැන් සිට අවසානයේ එහි ජිවත් වු තරුණයා පෙම්වතා ස්වාමියා මිය යන තුරුම ඔවුන්ගේ කවුළුවෙන් පෙනෙන සියල්ල කම්පනයෙන් දරා ගනිමින් නරඹමින් සිටිනවා. අවසානයේ එක් සැදැවක ඇය දකිනවා ප්‍රණාය නිරුද්‍රවුන ඔහුගේ සිරුර නිවසින් රුගෙන යාමට සුදානම් වන අයුරු. ඇයට තව දුරටත් ඒ කම්පනය දරාගැනිමට අපහසු වන්නට ඇති, ඇලී තමන් මෙතෙක් එඹෙමින් සිටි නිවස වෙත විදිය අතරින් පිය මනිනවා. තම ස්වාමියා රැගෙන යන ගිලන් රථය දෙස බලමින් කඳුළු වගුරවමින් ඉන්න ඇය වෙත ඇලී ළං වෙනවා. යම් කිසි සාරංශ කිරිමක් සහිතව The Neighbors’ Window හී කථාව තමයි මේ. ඒත් අවසානය මෙය නොවෙයි. වඩාත් කම්පනයට නැතොත් හැඟිම් සහගත අවස්ථාව උදාවෙන්නේ ඊළඟ මොහොතට.


ඇලී ඇයට පළමුවෙන් කථා කරනවා. තමන්ගේ ඉදිරිපස නිවසේ වෙසෙන කාන්තාව හඳුනා ගැනීමට ඇයට වැඩි වෙලාවක් යන්නැ. වඩාත් හොඳින් එය තහවුරු කර ගත් පසු ඇය ඇලී හා පවසන්‍නේ කුමක්ද?


ඔයාට ඉන්නවා පොඩි කෙල්ලෙකුයි , කොල්ලෙකුයි , බබෙකුයි. මම හිතන්නේ ඒක ඒ තරම්ම කරදර නැ කියලා. ඔයාගේ ළමයි හුරතල්, සතුටින් ඉන්නවා.මගේ මහත්තයයි මමයි ..... මගේ මහත්තයා ලෙඩ වෙලා උන්නේ, ඉතිං අපි ඔයයි ඔයාලගේ මහත්තයයි ළමයිනුයි දිහා බලන් ඉන්නවා. බබාට මහ රැ කි‍රි දෙන එක, ඒක..... ඒක.....



කඳුළු නවත ගනිමින් අතරමැද සිනහා වීමට උත්සහ දරමින් වචන එකතු කරපු ඇයට පවසා ගත හැකි වන්නේ එපමණයි.

 

ඔබ කුමක් සිතනවාද? ඇලීට කුමක් සිතෙන්නට ඇද්ද? තමන් මෙතෙක් එඹෙමින් සිටි කවුළු‍ව තුළින් දුටු සතුට, ඒ සතුට තමන්ට අහිමි විමෙන් ඇති ව තිබු කම්පාව ඇලී වෙතින් පහ වෙන්නට ඇද්ද? තමන්ගේ කවුළුව තුළින් අනෙකෙක් තමන්ව නරඹමින් සිටින වග, තමන්ට තමන්ගේ දරුවන්ට ඒ ජිවිත වලට ආශා කළ බව දැන ගැනීම ඇලීව තෘප්තිමත් කරන්නට සමත් වෙන්නට ඇතිද?


ඇත්තෙන්ම අනෙකාගේ කවුළුව තුළින් ඔවුන්ව දකින්නේ කිසිම හඬක් හෝ ශබ්දයක්  නොමැතිව.ඉතිං  ඇලී විසින් ගොදුරු වන ජිවිතයේ එකාකාරි බව, අහිමි ව යන යෞවනය, යටපත් කර ගන්නා ආශාවන් පිළිබඳව අනෙකාට කවුළුව තුළින් නොපෙනෙනවා වෙන්නට පුළුවන්. අවසානයේ ඇයට පෙනෙන ඇලීගේ මහල් නිවාසයේ කවුළුව අපට සමීප වනවා. මෙතෙක් ඇලීගේ චිත්ත ස්භාවයන් එක්ක ගනුදෙනු කළ අපට පෙනෙන රූපයන් වඩාත් හොඳින් එය පහදා දෙනවා.

තනිකම, වියැකී යන තාරුණ්‍යය, හුදකලාව, කථා නොකරන අශාවන්, ඉටුකරගත නොහැකි අශාවන් එකාකාරී ජිවන රටාව තුළ හෙම්බත් වීම ගැන කතා කරමින් අපට පැහැදිලි කරවන්නේ කුමක්ද? අනෙකෙකුගේ කවුළුව තුළින් එඹි මැන බැලීමේ සීමාව කුමක්ද? අපට එහි ඇති අයිතිය කුමක්ද? ඒ සසැඳීම ජිවිතයට වටින්නේද? උපකාරි වන්නේද? The Neighbors’ Window අපට ගෙනත් දෙන ජීවිත පාඩම කුමක්ද? අනෙකාගේ වත්තේ මල් වලට ප්‍රිය කිරීමට යාමෙන් තමන්ගේ වත්තේ රෝස ගස් අමතකව යාම ගැනද? මේ සියල්ලට පිලිතුරු ඔබ සතුයි. අවසානයේ The Neighbors’ Window ඔබට ඉතිරි කරන කම්පනය තුලින් ඒ පිළිතුරු ඔබට ලැබෙනවා සේම අලුත් ප්‍රහ්න ගණනාවක් මෙන්ම පිළිතුරු ගණනාවකින්ද ඔබගේ හදවත වෙව්ලුම් කෑ හැකියි. මම දකින ජීවන පාඩම ඔබේ කම්පනය තුළ තිබෙන්නට පුළුවන්.

 

සත්‍ය කථාවක් මත පදනම් වී නිර්මාණය වන The Neighbors’ Window 2020 හොඳම සජීවී ක්‍රියාදාම  කෙටි චිත්‍රපටිය.  ඉතිං ඔබත් ඒ අසල්වැසියාගේ කවුළුවෙන් විනාඩි විස්සකට එඹෙන්න.

 


රඟපැම්: Maria Dizzia, Greg Keller, Juliana Canfield
අධ්‍යක්ෂණය:Marshall Curry

ඇගයුම : 4/5 තරු

Monday, June 15, 2020

මට පුදුම


මට පුදුම ; අදත් ඔබ,
එතැන එලෙසම මඟ බලන්ඉන්නෙකට
වසා ගත් මුවින් මද සිනා වපුරන එකට

මට පුදුම ; අදත් ඔබ,
මහ රෑක අහම්බෙන් සිහින නොදකින එකට
යාම තුන නිදි නැතුව කවිම ලියනා එකට

මට පුදුම ; අදත් ඔබ,
වතාවක් එක එන්නයැයි නොකියන එකට
ආවොතින් නවතින්න ඉඩ තබා ඇති එකට

මට පුදුම ; අදත් ඔබ,
මුසලම සෘතුවක තුහින පිහදන එකට
වස්සාන සෘතුවක පැහැය සඟවන එකට

මට පුදුම අදත් ; ඔබ,
ඒ අහස මඟ හැරුණු තරු කිණිති හොයනෙකට
එයත් දැන දැනම හඳට මා මුවා වී ඉන්නෙකට


Thursday, June 4, 2020

මැයි විසි නව වෙනි සිකුරාදා - 2020

පැටි වියේ ආදරවන්තයාට ආදරයෙන් ලියමි.

ඔබ අද මා ළඟ ද නැත. ඔබ අකාහේ කොහේ හෝ තැනක තරුවක්ව නිවෙන දිලෙන බව ඇදහිමට තරම් මා  කුඩා වූ වයසක උවේ නම්, අද ද රෑ අහස දෙස බලාගෙන ඔබ සිටින ඉසව්ව කොතනදැයි සෙවීමට දෑස් වෙහෙස වීමට තිබුණි. එහෙත් ඔබ ඉන්නා තැනක් ගැන කුඩා ඉඟියක්වත් ඔබ ඉතිරි කර ගොස් නැත. ඔබ ඉතිරි කර ඇත්තේ මතක ගොන්නක් පමණී.

මා වඩා ගෙන සිරිපාදය නැග්ග මිනිසා ඔබ ය. අතින් බිම නොතියා උඩට යනකම් වඩා ගෙන ගිය බව යම් සැදෑවන් වල අම්මාගේ මතක ආවර්ජනයේ දී නිතර කියැවෙන්නකි. එය මතකයේ රදවා ගැනිමට තරම් මේරු හිතක් මට නොතිබුණත්, ඔබේ උරහිසේ වාඩීලා පොකුටු කොන්ඩය දෑතින්ම මිරිකා වත්ත කෙළවරට ම පොල් ගස් අතරින් ඇවිද ගිය අයුරු මට මතකය. බුලත් කෙල පිරුණු මුවින් කම්මුලක තැබු හාදුත්, රැවුල් පිරුණු මුහුණින් කිති කවමින් කම්මුලක තැබු හාදුත් මට මතකය.විටෙක මා හැදු මිනිසා ඔබ ය. එක අතකින් මිදි පොකුරකුත්, තව අතකින් රට කජු මල්ලකුත් ගෙන ඔබ එනවා මට මතකය. රට කජු තලන මට ඔබ සිනාසෙන හැටි මතකය.  හරි හැටියට අම්මාගේ කිරි ඇදීමට නොහැකි වූ මට අඩුවක් නොවන්නට ඔබ ටින් කිරි ගෙන ආවා මතකය. බඩ පිරුණු විට මා සිනා සෙන බව ඔබ දැන සිටින්නට ඇත. ඔබ ඒ සිනාවට කැමති වන්නටද ඇත.

තවත් විටෙක සතුටේ උල්පත ඔබය. ගොම මැටි ගෑ ගෙදර පාළුව නැසු මිනිසා ඔබය. අසන්නට හෝ බලන්නට රෝඩියෝවක් හෝ රූපවාහිනියක් නොතිබු කලක ඔබගේ කතාවෙන් හා සිනාවෙන් පමණක් ප්‍රීති වන්නට පුරුදු වි සිටි හැටි මට මතකය. පුවක් අත්තක මා හිදුවා  සුදු වැලි පිරුණු මිදුලේ එය දෑතින්ම අල්ලා හති වැටෙන තුරුත් ඇද්ද හැටි මට මතකය.මගේ කුඩා වියේ විරයා හා ආදරවන්තයා ඔබය. යමක් කිරීමට බියක් නොතිබු මිනිසා ඔබය. අවුරුදු පහ හයක් වෙද්දී තැපැල් නයින්ටිය පදින්නට කියා දී, සිනා සී බලා සිටි හැටි මට මතකය. කවුරුන් බැන වැදුනත්, ඉන් නොනැවතී, ලැම්මාස්ටරයේ සිට ලොරිය දක්වා පැදවීමට කියා දුන් හැටි මතකය. ඔබෙන් හුරු වු දෑ හා ඉගෙන ගත් දෑ බොහෝය. ඔබ මගේ ගුරුවරයකුද විය. නොදී ප්‍රමාද වු ගුරු පඬුරු  වෙනුවෙන් මෙසේ ලියමි. කුඩා කල මා ඔබට ආදරය කළ තරමටම, පසුව ආදරය පෙන්වීමට තිබු කාලය මඟ හරවා ගැනීම ගැන මම මටම දොස් පවර ගමි.

ඔබ ආදර‍යෙන් පිරුණු මිනිසකුව සිටි හැටි මට මතකය. ඔබ ආදරය කරන්නට දැන සිටි මිනිසකුව උන් අවධිය මට මතකය. ඔබ ආදරය ලබමින් සිටි කාලය මට මතකය. ඔබට ආදරය කළ උන් ද මට මතකය. ඔබ ආදරය කවදාක අත හැරියෙදැයි මම නොදන්නෙමි. ඔබට ආදරය කරන්නෝ ඔබ ලඟ නොසිටියේ දැයි මම නොදන්නෙමි. ඔබට ආදරය නොලැබුණේදැයි ද මම නොදන්නෙමි. ඔබට ආදරය නොදුන් උන් ගැන ද නොසොයන්නෙමි. ආදරයෙන් ළඟින් හිද පියවරෙන් පියවර වැඩෙද්දී බදා ගෙන සිටි ඔබව දෑතින් ගිලිහී යාම පිළිබඳව පමණක් සිතින් තැවෙමි. මහළුව බැරි උනාම දණ ගාද්දී ඇවිදින්නට අත දුන් වන්දිය ගෙවීමට ‍සිතා සිටි බව ඔබ දන්නේ නැත. මේ මොහොතේ ඔබව බදාගෙන පුරුදු ලෙසට උරහිසක් හපන්නට ඇත්නම් යැයි සිතෙන්නේ ද ඔබට ලංව හිඳිමට කාලයක් සොයා ගැනීමට ඉඩ නොදී ඉඟිල ගිය නරුම වේලාවන්ට ද දෙස් දොවොල් තබමින්ය. කිසිම දවසක ඔබවත්, ඇයවත් අත හරින්නට එපා යැයි කියන අම්මාගේ වචන සිහි තබා ගෙන සිටි බව ඔබ දන්නේ නැත. දැන් අඩුවක් ඇත. එහි තවදුරටත් ඔබේ නම කියවෙන්නේ නැත. මම සදා ගත් කුඩා වු මගේ ලෝකය තවත් කුඩා කරමින් මා අතැර ගිය ආදරවන්තයා ඔබය.

කාලය නපුරු ප්‍රේමයට පමණක් නො‍වන බව දනිමි. එහෙත් ඔබට මට අපව අහිමි කලේ ද කාලයය. ජීවිතය මහ පුදුමය යන්න වඩාත් හොඳින් අද ඔබ කියා දී ඇත. මීටත් වඩා ජිවිතය ගැන දරා ගත හැකි කථාවක් නොතිබෙන්නට පුළුවන. ඉගෙන ගත හැකි තැනක් නොතිබෙන්නට පුළුවන. මද සිනාවෙන් වැතිර සිටි ඔබගේ මුවේ වු මන්දහාසය අමතක කළ නොහැකිය. ඔබේ ජිවිතයේ ඉතිරිය ඒ සිනාව පමණක් බව දනිමි. ඔබ සිනාව දුන් මිනිසෙකි. සතුට බෙදු මිනිසෙකි. තනිව දරා ගත් මිනිසෙකි.

සියල්ලන් ඔබට චෝදනා කලත් එවිට මම නිහඬ වෙමි. ඔබ වැරදි යැයි කියන තැන් වලද නිහඬ වෙමි. කවුරුන් කෙසේ කීවද ඔබ ආදරණිය මිනිසෙකු බව මගේ මතකය මට සාක්ෂි දරමින් තිබේ. ඔබ ඒ ආදරණිය බව ඉවත ලු බව දනිතත් එයට ඔබ වැරදිකරුවකු බව මම නොසිතමි. ඔබ වෙනුවෙන් වචන ගැලපීම අමාරු දෙයකි. මතකයන් තුළ පමණක් ඔබව රදවා ගන්නට නොහැකි නිසාවෙන්ද, හදවතේ වු වේදනාව පිට කර ගැනීමේ අටියෙන්ද අද ඔබට ලියමි. එහෙත් ඊටත් කලක මම ඔබ ගැන ලියමින් සිටියෙමි. ඔබ පොතක් ලිවිය හැකි තරමේ මිනිසෙකි. කථා පිරුනු සාගරයකි. එයින් ඔබ එක් වචනයක් හෝ  කියවුවා නම්,

කෙසේ උවද ඔබ අද අපව හැර ගොසිනි.අම්මාගේ එකම සහෝදරයා වු ඔබ මගේ එකම මාමා වු ඔබ, අද නික්ම ගොසිනි.සහෝදරියන් හතර දෙනෙකුට එකම සහෝදරයා වු ඔබ, දු පුතුන් හත් දෙනෙකුට එකම මාමා වු ඔබ නික්ම ගොසිනි.ඔවුන්ගෙන් වැටෙන කඳුළු හා ශෝකය මුසු පුවත් මෙන්ම හසරැලෙන් පිරෙන ඔබ ගැන මතකයන් මම අසා සිටින්නෙමි. ඔබ හොර රහසේම, තනිවම කොහෙදෝ යන්නට සිත හදා ගන්නේ, අප නොසිතන මොහොතකය. ඔවුන් එය දරා ගන්නා හැටි ඔබ දන්නේ නම් හෝ දකින්නේ නම්, ඔබට ඔබේ හිතුවක්කාරි තිරණ ඉවත දමන්නට සිතෙන්නට පුළුවන. ඔවුන් ඔබව සිහි කරන අයුරු ඔබ දන්නේ නම් හෝ දකින්නේ නම් ඔබ ට ආදරය කරන හිත් දමා යන්නට සිතන්නේ නැත.

 ඒ සියල්ල ඔබට අමාරු වන්නට ඇත. ඇත්තෙන්ම සියල්ල ඔබට අමාරුවන්නට ඇත. ඉවසීම ඔබට අමාරු වන්නට ඇත. තව දුරටත් දරා ගැනීම ඔබට අමාරුවන්නට ඇත. තව තවත් දුක සැඟවීමත්, නිතර සිනා සීමත් අමාරුවන්නට ඇත. ඔබ සියල්ල අත අරින්නට සැලසුම් කරන්නට ඇත. ඔබ ජිවිතය අත අරින්නට සිත හදා ගන්නට ඇත. ඔබ සැනසීම සෙවු තැනින් මාගේ ‍ලෝකයේ නපුරුම දුෂ්ඨයා බිහිවු බව ඔබ දන්නේ නැත. මාමේ, ඔබ සියල්ලන්ටම වඩා නපුරු දුෂ්ඨයෙකි. එ‍සේ නොවේ නම් ඔබ අපව රිද වන්නේ නැත. ඔබට නිවන් සුව යැයි මට කිසි විටක පැවසිය නොහැක. දුෂ්ඨ නපුරෝ, පුළුවන් නම් ආයෙම එන්න. එනකොට මගේ කුඩා කළ විරයා සහ ආදරවන්තයා පමණක් රැගෙන එන්න. අපව රැවටු බව කියමින් පුරුදු විදිහට හිනා වෙන්න. ඒ හොඳටම ඇති.

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...