මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව
Showing posts with label සත්‍ය කථා ඇසුරින්. Show all posts
Showing posts with label සත්‍ය කථා ඇසුරින්. Show all posts

Saturday, June 20, 2020

අසල්සවැසියාගේ කවුළුව (The Neighbors’ Window )

අසල්සවැසියාගේ කවුළුව අපට කොයි තරම් සමීපද? අසල්වැසියාගේ කවුළුවෙන් අපි ඔවුන්ගේ ජිවිත වලට එඹෙනවද? ඒ මුහුණ පෙවීම තුළ අනෙකාගේ  දුක සතුට සැපත එක්ක ඉරිසියාව පසුතැවීම් වගේ හැඟිම් කොයිතරම් දැ‍නෙනවද?




අසල්වැසියාගේ කවුළුව ගැන වඩාත් තදින් දැනෙන්නේ මේ වසරේ ඔස්කාර් සම්මාන දිනපු කෙටි චිත්‍රපටිය නිසාවෙන්. මාෂල් කරි විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන The Neighbors’ Window කියන්නේ විනාඩි විස්සයි තත්පර ගණනක කුඩා සිනමාවක්. එහෙත් ඉතිරි කරන හැඟිම සහ සිතුවිලි වලින් පිටු ගණනාවක්  ලියා දමන්න පුළුවන්. අන්න ඒ නිසාමයි තරු 4/5 මම දෙන්නේ.


The Neighbors’ Window ප්‍රධාන චරිත දෙකක් වටා ගෙතෙනවා. ඒත් මේ දෙන්නා කරන්නේ මොනවද, ඉන්නේ කොහෙද, දෙන්නගෙම සමාජ පසුබිම් ගැන වැඩි කථා බහකට ගියේ නැතුවට මේ චරිත දෙකම කියවා ගැනීමේ අවස්ථාව විනාඩි විස්ස ඇතුළේ දී හිමි වෙනවා. මේ කියන දෙන්නාම තමන්ගේ යෞවනය පසු කරමින් ජිවිතයේ මැදි වයස ගත කරන අඹු සැමියන් දෙන්නෙක්. Alli නොහොත් අපේ ප්‍රධාන කථා නායිකාව ගෙදර මේසය යට විසිරි තිබෙන සෙල්ලම් බඩු අතර ඇති ආහාර කැබලි අහුලමින් ඉන්න, හිස මේසයේ වද්දා ගන්න,වෙහෙසකර  මුහුණක් සහිත ගැබිනියක් විදිහට. ඇය තවත් නිවුන් දරුවන් දෙදෙනෙකුගේ මවක්. දරුවන් නිදි කරවා පැමිණ වයින් බොන සැමියා සමඟ එකතු වන ඇයට ඇගේ කවුළුව තුළින් තමන් ඉදිරියේ ඇති අනෙක් නිවස්නයේ කවුළුව පෙනෙනවා.



ඇගේ නෙතට හසු වන්නේ නව පදිංචිකරුවන් වු තරුණ යුවලක්. ඔවුන් පෙමින් වෙළි සිටිනවා. එකිනෙකා සිප වැළඳ ගන්නවා. ඇලී සහ ඇයගේ සැමියා තිර රෙදි දමා නොවැසු අසල්වැසියාගේ කවුළුව තුළින් ඔවුන්ව නරඹනවා.


කාලය ගත වෙනවා ඇලි දරුවා ප්‍රසුත කරනවා. දරුවාට කිරි දෙන ගමන්, කුස්සියේ උයන විටදී, කැම ගන්නා අතර තුරදී කවුළුවෙන් පෙනෙන තරුණ යුවල වෙත තම ඇස් යොමු කිරීම ඇලීට පුරුද්දක් බවට පත් වෙනවා. ඇත්තෙන්ම කිව්වොත් ඇලි පමණක් ම නොවෙයි එකිනෙකාට නොදැනෙන සේ උවද එහි රහසක් නොමැති බව වටහමින් ඇගේ සැමියාද කවුළුවෙන් පෙනෙන තරුණ යුවල දිහා බලනවා. කාලය ගත වෙනවා. ඔවුන් දෙදෙනා අතර යම් යම් මත ගැටුම් ඇති වෙනවා. නමුත් ඔවුන් සුපුරුදු පරිදි දුරදක්නයද යොදා ගනිමින් කවුළුවෙන් ඒ පෙනෙන ජිවිත දිහා බලනවා. ඔවුන්ගේ ප්‍රේමාන්විත හැසිරීම්, සාදයන්, සතුටු වීම මේ සියල්ල නරඹමින් ඉන්න ඇලි තමන්ගේ ජිවිතේ නොලඹන ඒ සතුට ගැන පසුතැවිලි වන බව පෙනෙනවා. නත්තල සඳහා ඇය තනිවම ගෙදර සරසන විට ඇය අනෙකාගේ කවුළුවෙන් මිතුරන් පිරි වරාගත් සාදයක් දකිනවා. එහි මිහිරි බව ඇගවිමට නාද හෝ ශබ්ද නොමැති ව  උවද ඇලීගේ හැඟිම් වඩාත් සමීපව දැනෙන්න ගන්නවා.



මේ සියල්ල අතර වාර‍යේ කවුළුවෙන් පෙනෙන සහ මෙතෙක් දුටු සියල්ල උඩු යටිකුරු කරමින් ඇය දිනක් ඔවුන් දෙදෙනා හඩා වැළපෙන අයුරු දකිනවා. එතැන් සිට අවසානයේ එහි ජිවත් වු තරුණයා පෙම්වතා ස්වාමියා මිය යන තුරුම ඔවුන්ගේ කවුළුවෙන් පෙනෙන සියල්ල කම්පනයෙන් දරා ගනිමින් නරඹමින් සිටිනවා. අවසානයේ එක් සැදැවක ඇය දකිනවා ප්‍රණාය නිරුද්‍රවුන ඔහුගේ සිරුර නිවසින් රුගෙන යාමට සුදානම් වන අයුරු. ඇයට තව දුරටත් ඒ කම්පනය දරාගැනිමට අපහසු වන්නට ඇති, ඇලී තමන් මෙතෙක් එඹෙමින් සිටි නිවස වෙත විදිය අතරින් පිය මනිනවා. තම ස්වාමියා රැගෙන යන ගිලන් රථය දෙස බලමින් කඳුළු වගුරවමින් ඉන්න ඇය වෙත ඇලී ළං වෙනවා. යම් කිසි සාරංශ කිරිමක් සහිතව The Neighbors’ Window හී කථාව තමයි මේ. ඒත් අවසානය මෙය නොවෙයි. වඩාත් කම්පනයට නැතොත් හැඟිම් සහගත අවස්ථාව උදාවෙන්නේ ඊළඟ මොහොතට.


ඇලී ඇයට පළමුවෙන් කථා කරනවා. තමන්ගේ ඉදිරිපස නිවසේ වෙසෙන කාන්තාව හඳුනා ගැනීමට ඇයට වැඩි වෙලාවක් යන්නැ. වඩාත් හොඳින් එය තහවුරු කර ගත් පසු ඇය ඇලී හා පවසන්‍නේ කුමක්ද?


ඔයාට ඉන්නවා පොඩි කෙල්ලෙකුයි , කොල්ලෙකුයි , බබෙකුයි. මම හිතන්නේ ඒක ඒ තරම්ම කරදර නැ කියලා. ඔයාගේ ළමයි හුරතල්, සතුටින් ඉන්නවා.මගේ මහත්තයයි මමයි ..... මගේ මහත්තයා ලෙඩ වෙලා උන්නේ, ඉතිං අපි ඔයයි ඔයාලගේ මහත්තයයි ළමයිනුයි දිහා බලන් ඉන්නවා. බබාට මහ රැ කි‍රි දෙන එක, ඒක..... ඒක.....



කඳුළු නවත ගනිමින් අතරමැද සිනහා වීමට උත්සහ දරමින් වචන එකතු කරපු ඇයට පවසා ගත හැකි වන්නේ එපමණයි.

 

ඔබ කුමක් සිතනවාද? ඇලීට කුමක් සිතෙන්නට ඇද්ද? තමන් මෙතෙක් එඹෙමින් සිටි කවුළු‍ව තුළින් දුටු සතුට, ඒ සතුට තමන්ට අහිමි විමෙන් ඇති ව තිබු කම්පාව ඇලී වෙතින් පහ වෙන්නට ඇද්ද? තමන්ගේ කවුළුව තුළින් අනෙකෙක් තමන්ව නරඹමින් සිටින වග, තමන්ට තමන්ගේ දරුවන්ට ඒ ජිවිත වලට ආශා කළ බව දැන ගැනීම ඇලීව තෘප්තිමත් කරන්නට සමත් වෙන්නට ඇතිද?


ඇත්තෙන්ම අනෙකාගේ කවුළුව තුළින් ඔවුන්ව දකින්නේ කිසිම හඬක් හෝ ශබ්දයක්  නොමැතිව.ඉතිං  ඇලී විසින් ගොදුරු වන ජිවිතයේ එකාකාරි බව, අහිමි ව යන යෞවනය, යටපත් කර ගන්නා ආශාවන් පිළිබඳව අනෙකාට කවුළුව තුළින් නොපෙනෙනවා වෙන්නට පුළුවන්. අවසානයේ ඇයට පෙනෙන ඇලීගේ මහල් නිවාසයේ කවුළුව අපට සමීප වනවා. මෙතෙක් ඇලීගේ චිත්ත ස්භාවයන් එක්ක ගනුදෙනු කළ අපට පෙනෙන රූපයන් වඩාත් හොඳින් එය පහදා දෙනවා.

තනිකම, වියැකී යන තාරුණ්‍යය, හුදකලාව, කථා නොකරන අශාවන්, ඉටුකරගත නොහැකි අශාවන් එකාකාරී ජිවන රටාව තුළ හෙම්බත් වීම ගැන කතා කරමින් අපට පැහැදිලි කරවන්නේ කුමක්ද? අනෙකෙකුගේ කවුළුව තුළින් එඹි මැන බැලීමේ සීමාව කුමක්ද? අපට එහි ඇති අයිතිය කුමක්ද? ඒ සසැඳීම ජිවිතයට වටින්නේද? උපකාරි වන්නේද? The Neighbors’ Window අපට ගෙනත් දෙන ජීවිත පාඩම කුමක්ද? අනෙකාගේ වත්තේ මල් වලට ප්‍රිය කිරීමට යාමෙන් තමන්ගේ වත්තේ රෝස ගස් අමතකව යාම ගැනද? මේ සියල්ලට පිලිතුරු ඔබ සතුයි. අවසානයේ The Neighbors’ Window ඔබට ඉතිරි කරන කම්පනය තුලින් ඒ පිළිතුරු ඔබට ලැබෙනවා සේම අලුත් ප්‍රහ්න ගණනාවක් මෙන්ම පිළිතුරු ගණනාවකින්ද ඔබගේ හදවත වෙව්ලුම් කෑ හැකියි. මම දකින ජීවන පාඩම ඔබේ කම්පනය තුළ තිබෙන්නට පුළුවන්.

 

සත්‍ය කථාවක් මත පදනම් වී නිර්මාණය වන The Neighbors’ Window 2020 හොඳම සජීවී ක්‍රියාදාම  කෙටි චිත්‍රපටිය.  ඉතිං ඔබත් ඒ අසල්වැසියාගේ කවුළුවෙන් විනාඩි විස්සකට එඹෙන්න.

 


රඟපැම්: Maria Dizzia, Greg Keller, Juliana Canfield
අධ්‍යක්ෂණය:Marshall Curry

ඇගයුම : 4/5 තරු

Saturday, February 8, 2020

සුළඟ අතින් ගෙන වැස්ස මැවු දෙවියා (The Boy Who Harnessed the Wind )


1987 අගෝස්තු පස් වෙනිදා මලාවි රාජ්‍ය කසුන්ගු  කියන ගම් පලාතේ විලියම් කම්ක්වම්බා ඉපදෙන්නේ පවුලේ දෙවෙනි දරුවා විදිහට. අද වන විට නව නිපැයුම් කරුවකු සහ ගත්කතුවරයකු වන විලියම් මලාවි හි අධ්‍යාපනයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපද විශ්ව විද්‍යාලයක උපාධිධාරියෙක්ද වනවා. විලියම් කම්ක්වම්බා  ඇසුරෙන් The Boy Who Harnessed the Wind නමින් චිත්‍රපටියක් නිෂ්පාදනය වනවා. මලාවි වැනි තුන්වන ලෝකයේ රටක උපන් කොල්ලෙක් පාදක කරගෙන සිනමා පටයක් නිර්මාණය කරන්නට තරම් හේතුවක් තියෙන්න පුළුවන්ද?
විලියම් කම්ක්වම්බා (සත්‍ය)

ඔව් තියෙන්න පුළුවන්, 


කම්ක්වම්බා පවුලට වගේම වගාවෙන් ජිවත් වන විම්බේ ගම්වැසියන්ට මුහුණ දෙන්න වෙන එකම පොදු සතුරා තමයි දුප්පත්කම


ඒත් ඇයි ඔවුන් දුප්පත්,


මලාවි කියන්නේ අප්‍රිකානු මහද්වීපයේ ගිනිකො‍ණ දිගට වෙන්න පිහිටලා තියෙන රටක්. අපි දන්න පරිදිම තුන්වන ලෝකයේ රටක්. ඒකට දේශගුණික, දේශපාලනික, ආර්ථිකමය සහ  සමාජීය කරුණු ගණනාවක් බලපානවා. අප්‍රිකානු රටවල් පමණක් නොව තුන්වන ලෝකයේ  බෝහෝමයක් රටවල් වල දේශපාලනික මුහුණුවර පිළිබඳ ව මේ චිත්‍රපටිය පුරාම කථා කරන්න දහසකුත් දේවල්  තියෙනවා. ඔවුන් දුප්පත් වන්නේ ඔවුන්ගේම වරදින් නොවන දේශපාලනික ක්‍රියාවලීන් හේතුවෙන්. වරක නියඟය නිසාද, තවත් වරෙක අධික වර්ෂාව නිසාද තමන්ගේ වගාවේ අස්වැන්න  අහිමි කර ගන්නා කසුන්ගු වැසියන් ආහාර හිඟයකට මුණ දෙනවා. වර්ෂාව ලැබිලා නැවත වගා කරන තුරු ඉතුරු වන ධාන්‍ය ප්‍රමාණවත් නැහැ. ඔවුන්ට බඩගින්නේ ඉන්න වෙනවා. අඩුම තරමේ දිළිඳු බවින් මිදීමට නොව එක වේලකට හෝ ප්‍රමාණවත් තරම් ආහාරයක් ඔවුන්ට ලබා ගැනීමට හැකියාවක් නැතිද? රජය ඔවුන් සමඟ මිත්‍රශිලි නැ. ඔවුන්ව බඩගින්නෙන් මුදවා ගන්න සහනගීලි වැඩපිළිවෙලක් රජය සතුව නැහැ. 

ඉරිඟු වගාව (චිත්‍රපටයෙන්)
 

එහෙනම් වෙන විසඳුමක් නැද්ද?


තියෙනවා. අවුරුද්දට කන්න දෙකක් වගා කරන්න ඔවුන්ට පුළුවන් නම් දෙවියන්ගේ පිහිටෙන් හාමත් නොවී ඉන්න පුවවන්. ඔවුන්ට තමන්ටම පිහිට තමන් පමණක් නිසා ඔවුන්ගේ විශාල දෑත් ගැන බලාපොරොත්තු තියා ගන්න වෙනවා. 

විලියම් (චිත්‍රපටයෙන්)


ඉතිං ඇයි වගා නොකරන්නේ?


වතුර තමයි එකම ගැටළුව, වර්ෂා ජලයෙන් වගා කරන ඔවුන්ට අවුරුද්දේ එක කන්නයකදී ලැබෙන වර්ෂාව ගැන පමණක් බලාපොරොත්තු තියා ගන්න වෙනවා. මිසිස් කම්ක්වම්බා කියන විදිහට ඒයා කසාද බදිද්දී කියනවා වර්ෂාව ඉල්ලලා දෙවියන්ට යාඥා කරන එක නොකරන්න පොරොන්දු උනාය කියලා. දෙවියන් තමන්ගේ කැමැත්තට වර්ෂාව දෙන්නැත්නම් කන්න දෙකක් නෙවෙයි එක කන්නයක්වත් වගා කරන්න බැහැනේ. ඒත් මිසිස් කම්ක්වම්බා දෙවියන්ට යාඥා කරන්න යන්නෑ ඒක හනමිටි අදහසක්  කියලා එයා විශ්වාස කරනවා. 


එතකොට වැස්ස ලැබෙන් නැද්ද?


නෑ. වැස්ස ලැබෙනවා. දෙවියන්ට යාඥා කළේ නැතුවට වස්සවන්න පුළුවන් කෙනෙක් විම්බේ ගමේ ඉන්නවා. ඒ තමයි විලියම් කම්ක්වම්බා. ඔහු කසුන්ගු ගමට වස්සවනවා. ඉතිං නියඟකාලේදී කම්ක්වම්බා පවුල ඉරිඟු වගා කරනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් අවුරුද්දේ කන්න දෙකම වගා කරන්න පටන් ගන්නවා.


විලියම් වස්සවන්නේ කොහොමද?


After I drop out from school I went to library and I read a book titled using energy and I get information about windmill and I try and I made it.


ඒ වචන විලියම්ගේ. ඒ කථාව තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ විලියම්ගේ නොපසුබට උත්සහය.

 
විලියම් සහ සුළං මෝල (සත්‍ය)



විලියම් කම්ක්වම්බා  ඉලෙක්ට්‍රොනික් වැඩ වලට ඇල්මක් දක්වන කුතුහලයෙන් පිරුණ තරුණයෙක්. විලියම් තමන්ගේ ගමේ මිනිස්සුන්ගේ කැඩුණු ගුවන් විදුලි යන්ත්‍ර හදමින් වැඩි කාලයක් ගත කරන අතර, නගරයෙන් ඉවත දමන වාහන සහ වෙනත් ඉලෙක්ට්‍රොනික් බඩු වලින් බැටරි සහ විවිධ කොටස් එකතු කරනු ලබනවා. ඒ අතර පවුලේ වැඩ වලටද, වගා වැඩටද උදව් කරන විලියම් පාසල් යන්න පටන් ගන්නවා. ඒත් විලියම්ට වැඩි කාලයක් පාසල් යන්න ලැබෙන්නැ. විශ්වාසය තබා ගත නොහැකි කාලගුණය සහ දුම්කොළ වගාව සඳහා ගස් කැපීමට ඉඩ දීමට ගමේ මිනිසුන් එකඟ වීම හේතුවෙන් ඇතිවන ඉඩම් ආරවුල පවුලේ බෝග වලට සහ ඔවුන්ගේ ගොවිපොළට දිර්ෂ කාලීනව තර්ජනයකට ලක් වෙනවා. ඔය අතරතුර ඇති වන වැසි තත්ත්වය නිසා බෝග වලට සිදු වන හානිය නිසා අනෙක් කන්නය වන තුරු කෑමට ද ප්‍රමාණවත් ඉරිඟු ඔවුන්ට රැස් කර ගැනීමට ලැබෙන්නෑ. විලියම්ගේ ඉගෙනීමට අවශ්‍ය මුදල් නොමැති නිසා පාසලින් ඔහුව ඉවත් කරනවා. ඒත් විලියම් සතු උත්සහය අභිලාෂයන් ඔහුව පාසල හා බැඳ තබනවා.  තම සහෝදරිය වන ඇනීගේ පෙම්වතා මෙන්ම පාසලේ ගුරුවරයකු වන කචිගුන්ඩා මහතාගේ පංතියේ විද්‍යාව ඉගෙන ගත් විලියම් තම සහෝදරිය  සමඟ ගුරුවරයාගේ ඇති රහසිගත ප්‍රේම සම්බන්ධය හෙළි කරන බවට දැඩි තර්ජනයක් ද එල්ල කරමින් පාසලේ පුස්තකාලය භාවිතා කිරීම සඳහා උදව් ලබා ගන්නවා. පුස්ථකාලය භාවිතා කරන විලියම් අට වන ශ්‍රේණියේ ඇමරිකානු පෙළපොත් භාවිතා කරමින් බලශක්තිය පිළිබඳ තනිවම ඉගෙන ගන්නවා. විලියම්ගේ ආරම්භය සිදු වන්නේ ඒ විදිහට.



GOD IS AS THE WIND, WHICH TOUCHES EVERTHING.


 
විලියම් පාසල් යාම ආරම්භ කරමින් (චිත්‍රපටයෙන්)

සුළඟ” ජය ගත් විලියම් ගේ කථාව පුරාම දුඹරු රූප රාමු  තුළින් ලෝකය පිළිබඳ බහුවිධ චිත්‍රයක් මනා ලෙස පෙන්වයි. ඔහුගේ නිවස ඇතුළත, පිටත රූපයන්,  ඔහු දකින හා අසන දේවල්  අපට ලං කරවන්නේ කැළඹුනු සහ අපේක්ෂාවන් පිරුණු බලාපොරොත්තු. සමාජීමය කාරණා වලදී පවුල් මතභේද සහ ඥාතින් ඇති විශ්වාසයන් සහ හිත් පළුඳු වීම් මිනිසුන් අතර ඇති එකමුතුකම, ඒ අතර සාකච්ඡා කරන දරුණු ආර්ථික සම්බන්ධයන්, ප්‍රේම සබඳතාවන්, මිත්‍රත්වය, විලියම්ව හැර නොයන ඔහුගේ පසුපස යන පක්ෂපාත සුනඛයා කම්බා ද  කුසගින්නේ මිය යාමට සිදු වීම තුළින්ද, මලාවි ඇතුළු බිම්බෙ ගමෙහි සමාජීය හැඩයන් වඩාත් සංවේදි අකාරයකින් සමීප කරන්නට සමත් වනවා. දේශපාලන වේදිකාවේදි රටේ ජනාධිපති ඉදිරියේදී ම තම ගමෙහි ගැටළු ඉදිරිපත් කරන ගම් ප්‍රධානියාව වේදිකාවෙන් බස්සවා වද දීම, අනුකම්පා විරහිත, බලය හා ධනය සමඟ පක්ෂපාතිත්වය දක්වන නායකත්වයන්ද කුසගින්නෙන් පෙළෙන පුද්ගලයන් අතර සිදුවන දරුණු ගැටුම් ද, මිලේච්ඡ ලෙස  කොල්ලකරුවන් සාගතය නිසා විලියම්ගේ නිවසින් ඉරිඟු හොරකම් කිරීමට පෙළඹිම ද හද කම්පා කරවන සිදුවීම්. සුළං මෝළ සෑදීම සඳහා අවශ්‍ය උපකරණ ‍කැඩුණු බඩු ඉවත්ලන තැනින්  ගෙන ඒ සඳහා තවත් අවශය වන කොටස් සඳහා තම පියාගේ බයිසිකල ඉල්ලා සිටිම කොතරම් ම දරුණු ප්‍රහාරයක් හදවතට එල්ල ‍කළේද යන්න විලියම්ගේ මුරණ්ඩු පියා කෙරෙහි එතෙක් පැවතුන සියළුම ගෞරවය, මනාපය හා ප්‍රේමය ඉවත ලැමට සමත්. 

විලියම් හා පියා (චිත්‍රපටයෙන්)


විලියම් යනු වියළි පොළවක සුළඟ තම දෑත් මතට ගත් දෙවියකු බවත් ඒය හුදු එක් මනංකල්පිතයක් නොව යථාර්ථයක් බව දැන ගැනීමට අවසන් තත්පර කිහිපය තෙක් බලා හිදීමට සිදු වියත අවසන් තත්පර කිහිපයේ  ලද කම්පනය  ද නැවත මුළු චිත්‍රපටියම ද එක්වර නැ‍‍ෙඟන වියළි දුවිලි සුළඟකින්  දැකීමට තරම් වන අකාරයෙන් නිමැවීමට චිවෙටෙල් එජියෝෆෝර් නම් නයිජිරියානු සම්බවයක් සහිත බිත්‍රාන්‍ය ජාතිකයාගේ දක්ෂතාවය 2019 වසරේ හොඳම චිත්‍රපට අතරට The Boy Who Harnessed the Wind ගෙන ඒමට සමත් වෙලා තියෙනවා.



ඔය තමයි විලියම්ගේ කථාව. විලියම් විසින් රචිත The Boy Who Harnessed the Wind කියන කෘතිය පාදක කරගෙන තමයි මෙම චිත්‍රපටිය නිෂ්පාදනය වෙන්නේ.
විලියම් (චිත්‍රපටයෙන්)


ඉතිං මේක බලන්න ඕනද?


ඔව් අනිවාර්යෙන්ම බලන්න පුළුවන් නම් බලන්න. මොකද කියනවට වඩා දේවල් දැනෙන්නේ බලද්දී. අනික කියන්න ඕනම දේවල් කිව්වේ නෑ. ඉතිං බලන්න The Boy Who Harnessed the Wind.








විළියම් (සත්‍ය)





FourTwentyAMThought

මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...