මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, January 16, 2020

2020 උදාව

2020 උදාව මහ අමුතුය. ජනවාරි පළවෙනිදා උදේම ඇඳ පැල‍දගෙන, එහෙම උදේම වැඩට යන්න පාරට ආවාම බස් එක නැතිය. වැඩි හොඳටැයි බයිසිකලය ගෙදර දමා බස් එකේ යන්නට ගියාම ඔහොමම ය. මාත් ඇතුළුව තවත්තුන් දෙනෙක් අපහු හැරෙන්නේ ඒ නිසාය. ‍දෙදෙනෙක් නමක් ගමක් නොදන්නා මනුස්සයින් පදවාගෙන ආ බයිසිකල් නවතාගෙන නැගි ගියෝය. අද අවුරුද්දක පළමුවෙනිදාය. ඔ‍ෆිස් යාමට වෙන්නේ නැත. එන්නෑයි කිව්වාට ඕක කොළඹ ඉන්න උන්ට තේරෙන්නේද නැත. ‍මහ පාන්දර හතරට නැගිට කිලෝ මීටර් එකසිය එකක දුර ගෙවා ගෙන වැඩට එනවා යැයි කියන්නේ ලේසි එකක්ද? අපරාදේ යැයි සිතෙන්නේ අද සාරි විලාසිතා දැක්ම පියැවි ඇසින් බලා ගැනීමට නොහැකි වීමය. ඉවසා ගන්න බැරි හෙට උදේම පොඩි බොස්ගෙන් බැනුම් අහන්නට වේ යැයි සිතීමය. අනේ මක්ක කො‍රන්නද ඉතිං හේතු කාරනා ඉදිරිපත් කරාට ඕවා තේරෙන එකක්යැ. මොනවා උනත් හිනා වෙලා ඉන්නවා යැයි දැම්ම හිතට ගන්න එක හොඳය. උදේ පළමු පැය දෙක එසේ ජල්තරව ගෙවී ගියාය.
වැඩට යන්න බැරි උනාට මේ අවුරුද්ද ජල්තර අවුරුද්දක් කර ගත යුතු නැතැයි කල්පනා කර අද දවස සුබ කටයුතු සඳහා කැප කරන්නට සිතුවෙමි. ඉන් පළමු වැන්න ලෙස අම්මා උයා සකසා තිබු කිරිබත් වලින් බාගයක් පමණ කුරුල්ලන්ට කන්නට දැමීම සිදු කළෙමි. අහා උදේ තුන්වන පැය කන් දෙකට පුදුම සනීපය මිත්‍රවරුණි.
ගිනි කෙළි වලින් කන් පුරවා ගෙන සිටින වීදි සුනඛ රංචුවට කන්නට දිය යුතු යැයි සිතුන නිසා ශිතකරණයත්, කුස්සියත් පීරන අතරේ ලෝරා වෙනුවෙන් ගෙනා මාලුත්, ගෙදර ඉවීමට ගෙනත් තිබු කරවලත් හමුවිය. මාලුත් කරවලත් දමා බත් එක ලිපේ තබා අලුත් අවුරුද්දේ උදැසන හතරවන පැය එසේ ආරම්භ කළෙමි. ඉදුනු බතද අරගෙන වීදි සුනඛයන් සොයා යමින් ඊළඟ පැය පටන් ගත්තෙමි. බයිසිකලයේ බත් බකට් එකද, කඩාගත් කැන්දා කොළද තබා ගෙන යන විට බයිසිකලය අසළටම පැමිණිමට හමුවු පළමු සුනඛයා කාරුණික වු අතර, නැට්ට වනමින් ආහාරය භුක්ති විදිමට ඌ අමතක කළේ ද නැත. දෙවැන්නා මහ මරුමුස් සුනඛයෙකි. ඌට බත් දෙනකම් හීන් හඩින් ගෙරවු අතර බත් කමින්ද ගොරවන්නට විය. හය වැන්නා හෝ හත් වැන්නා මහ අමුතුම ආකාරයේ එකෙකි. කැන්දා කොළය කටින් අල්ලා ඇද විසික් කර බත් ටික බිමට දමා ගෙන කන්නට විය. ඌට රහ දැනෙන්නේ එහෙම විය යුතුය. ඔබ මහ ඉහළින් අවුරුදු සමරා ඇති අතර, ඒය රට්ටු දැන ගැනීම සඳහා පත්තු කරපු රතිඤ්ඤා හා ගිනි කෙළි නිසා බිය වැදී සිටි සමහර සුනඛයන් තවමත් බියෙන් පසුවීම නිසා උන් කන්නේද ඇතින් ඇසෙන සමහර හඩවල් වලටද බිය වෙමිනි. ඒ පිළිබඳව සතුටු වෙමින් ඒ පැය අවසන් වන අතර, හොඳම දේ නම් ආපසු එන විට බයිසික‍ලයේ තෙල් ඉවර වීමය. දෙයියෝ සිහිවුණේ ඒ වෙලාවේය. කුප්පියකට තෙල් දෙන තැනකින් තෙල් බිංඳුවක් මිලදී ගැනීමට අතේ සතේ නැත. නමක් ගමක් දන්නැති මනුස්සයින් මේ වේලාවේ හොයා ගැනීම අපහසු නිසා ලැබු අවුරුද්ද ගැන සතුටට පත්ව ගෙදර දක්වා බයිසිකලය කෙසේ හෝ තල්ලු කර ගතිමි. මේ අවුරුද්දේ කෙට්ටු වීම එසේ ආරම්භ කරන ලදැයි හිත හදාගෙන ගෙට ගොඩ වන විටම ඇසුණේ හිටපු හොඳම කරවල කුරියා අන්තරස්දාන වී ඇතැයි කියමින් ලෝරාත්, සුකිරිත් සමඟ සුහද හමුවක් පවත්වන මැණියන්ගේ කටහඩය. ලෝරා නම් පාවා නොදෙන අතර,සුකීරියා විශ්වාස නැති නිසා නිකමට කුස්සිට එඹුණේමි. සුකිරි කියන්නේ එපා කරපු පුසෙකි. ඌගේ ඤ්ව් භාෂාව අම්මා හොඳට දන්නා නිසාත්, සුකිරීගේ මයාකාර දෑසෙහි වු අහිංසක කම නිසාත්, අන්තිමට වරදකාරයා මා විය. ඒ පැය තුළදී සුපහන් සිතින් මැණියන්ගේ මධුරතර උච්ච ස්වරයෙන් ගායනා කරන ලද කාලීන බණක් ඇසීමේ භාග්‍ය උදා විය.
අම්මාගේ දැනුම් සම්බාරය අනුව, ගස් වල තිබුණොත් කාගේ හෝ ඇස්වහ වැදීමට නියමිත කෙසෙල් කැන් කිහිපයක් කපා ගෙට ගත්තෙමි. කෙසෙල් කැනක් තැලීම නිසා අම්මා විසින් නැවත කාලීන කවිබණ ගායනය ආරම්භයට සැරසෙන අතරේ, මල් වලට වතුර දැමීමත්, කෑලෑව සුද්ද කර වත්ත එළි කිරීමත්, ගස් යට වැටී ඇති පොල් ඇහිදීමත් වැනී කාරණා ඉටු කර දීමට පොරෙන්දු වීමෙන් බණ ගායනය පොස්ට් පොන් කර ගැනීමට හැකි විය.
අවුරුද්දේ ජනවාරි පළමු වැනිදා සිදු වෙන දේවල් වලට අවුරුද්ද පුරා ම මුහුණ දෙන්නට වේ යැයි සැකයක් මා තුළ හට ගෙන ඇත. මේ සියල්ල සිද්ධ වන්නේ ලොකුකම නිසා කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුබ අවුරුද්දකට විෂ් නොකිරීම යැයි දැන් දැන් සාධාරණ සැකයක් මතු වී ඇති හෙයින්, මිත්‍රවරුණි, ඔබ සැමට මේසේ නොවන ප්‍රීතිමත් සුබ අවුරුද්දක් වේවායි පතමි. එහෙත් මේ ආරම්භ වුයේ අවුරුද්දක්ම නොවෙයි දශකයක් බව සිතෙන විට ළිඳට පැන වතුර බිගෙන බීගෙන යාමට ද සිත් වෙයි.

Sunday, January 12, 2020

ගම්භාර දෙයියනේ

අයියනායක දෙයියෝ වැඩියැයි පහන් පුදනා මේ නුගේ
සිරීමලි පොඩි නගා ගේ මීනිය තිබුණා පාමුලේ
සිද්ද පත්තිනි දනට අම්මා ගියපු ඒ හිමිදිරි උදේ
කිරි කරපු ලේ වලින්මයි උතුරු සළුවත් පෙගවුනේ
ගම් හතට දිවැස් හෙළනා ගම්භාර දෙයියනේ
දේව නෙත් නිදා වැටුණද වින්නැහිය ඇයි නොපෙනුණේ
කච්චි රෙදි කඩ ගන්ට හිටි අත් පපුව මැද නතරව එසේ
කාළි අම්මා ළඟදී අම්මා දෙයියන්ටමයි හෙන ඉල්ලුවේ
තාත්තා ගහින් වැටිදා සරස්වතී නවතා එහේ
ලක්ෂ්මි එක්කලා අත් බැදන් එදා ඇය ගෙට ගොඩ උනේ
වල්ලී අම්මා රහස් කිව්දා පත්තිනිත් විරසක වුනේ
රෙද්දේ තුත්තිරි ගලව ගලවා ඈට පත්තිනි හිනැහුනේ
සේද සලු පිළි මාල මුතු පට පෝරු මස්තක මඟුල් දා බෙර
දොලොස් අතකින් පිරිමැදෙද්දී පිරිමැහුණු හීනය වුනේ
කඳ කුමරුගේ රත්තරං රූපේට මහ සොහොන් ගති පැහුණේ
තුන් පිරිතටත් නොවී යටහත් ඒ වෙහෙර සොහොනක් කළේ
කණින් කණ කොන රහස් අසමින් එදා ඒ ඉර බැස ගියා
අමාවක දා නිසා ඒ සඳ එන්නේ නැතුවම නැවතුනා
හතේ කණිසම පහුවෙද්දි තරු වළාකුලකට හැංගුණා
ඇසින් දුටු සලකුණක් නැති සද අම්මා සබ මැද වැළපුනා
කදෝ කිමියන් දැනන් හිටියට එදා රෑ වු පෙම් හ‍බේ
දේවත‍ා එළි ඊට එළියයි රැක්කා මුණිවත මැද සබේ
අදත් යද්දී මග අසාගෙන පහන් පුදලා මේ නුගේ
කදෝ කිමියන් රැහැයියන් හා ඔච්චමටමයි හිනැහුණේ


Thursday, January 9, 2020

රළ, වෙරළ, මුහුද


'එදා ඉදන් රළ, වෙරළ, මුහුද කඳුළු ලුණූ රහ හරි සමව බෙදා ගත්තා.’ හිරණ්‍යා ලියමින් හිටිය දේ එතැනින් නැවැත්තුවා.

එහෙනං අපි බඳිමු.

කෙටි ආස්වාස ප්‍රාශ්වාස තිස් ගානකට පස්සේ හිරණ්‍යා වචන ගලප ගත්තේ ඈතින් පටන් ගත්ත රැල්ලක් දිහා බලාගෙනමයි. ඒ රැල්ල මුහුදු වෙරළට ඇවිත් බිඳිලා පෙණ විසිරෙද්දී තමයි හිරණ්‍යාගේ කටින් ඒ වචන ටික පිට උනේ. වචන පිට උනාට හිරණ්‍යාගේ බැල්ම දශමේකින්වත්  වෙනස් උනේ නෑ. ඈත මුහුදෙන් ආයෙමත් අලුත් රැල්ලක් පටන් ගන්න තැනකයි ඒ ඇස් නතර වෙලා තිබුණේ. උවමනාවෙන් නොබැලුවට හිරණ්‍යා දන්නවා ඒ රැල්ල වගේම මේ රැල්ලත් වෙරළ ළඟදී බිදෙනවා කියන්න. හැම රැල්ලකම අවසානය බිඳිලා විසිරිලා යන එක නේ. පුංචි කාලේ ඉදන් දැකපු මුහුදු රැළි වල වෙනසක් හිරණ්‍යාට පෙනුනේ නැති උනාට ඒ රැළිත් එක්ක පෙරළි පෙරළී වෙනස් වෙච්ච ජීවිත වල හෙවණැලි පවා හිරණ්‍යා දැනන් උන්නා.     

 මේ මුහුදට මහන්සි නැද්ද අප්පච්චි ,   මොකද මයේ පුතේ මුහුදට මහන්සි ?” “ අහන් ඉන්නකෝ මේ සද්දේ, ඇයි මුහුද එච්චරටම අඩන්නේ” , “ කවුද මයේ පුතාට කිව්වේ මුහුද අඩනවා කියලා?, මට කවුරුත් කිව්වේ නෑ අප්පච්චි,  ඒත් මට දැනෙනවා.” “ දැනෙනවා” “හ්ම්,” “මොනවද මයේ පුතාට දැනෙන්නේ?        අම්මා ගැන අහපුවාම අප්පච්චිගේ පපුවේ සද්දෙත් මේ මුහුද වගේමයි අප්පච්චි

එහෙනං,
එහෙනං කියන එකේ තේරුම මොකක්ද?

හිරණ්‍යාගේ බැල්මයි, හිතුවිලියි, කල්පනා ලෝකයයි, එක පාරටම කඩන් වැටුණා. කඩන් වැටුණ බැල්ම මුලින්ම නැවතුණේ අඛීල ළඟ.  සැරට වචන පිට වෙච්ච අඛීලගේ කළු පාට තොල් ළඟ,  පස්සේ, ලා රතු පාට වෙච්ච ඇස් ළඟ, ඊටත් පස්සේ තඹ පාටට හැරුණු මුදු ගැහුණු කොණ්ඩ රැළි අතර, එත් හිරණ්‍යාගේ ඇස් නතර වුණේ මුදු ගැහුණු කැරලි කෝණ්ඩ ගස් වලට මුදුනෙන් පෙනුන බැලුම් බෝල විකුණන මනුස්සයෙක් ළඟ. මුහුදු නිල් පාටක් ගත්ත සරමයි කහයි කොළයි කොටු වැටුණු, බෝත්තම් දෙකක් විතරක්, ඒකත් අපිළිවෙළට, පියවපු කමිසෙයි පෙනුනට බැලුම් බෝල විකුණපු මනුස්සයාගේ මුණේ තියෙන්නේ දුකක්ද, සතුටක්ද කියන එක පැහැදිලිව  පෙනුනේ නෑ. කොහොමත් තමන්ට සමීප රූප මිසක්, ඇතින් තියෙන රූප පැහැදිලිව දකින්න බැහැ නේ. ඉතිං එහෙම දකින්න බැරි කොට අපිට හුඟාක් ඈතින් ඉන්න සමහර විට දර්ශනය නොවනම මිනිස්සුන‍්ගේ දුක උනත්, සතුට උනත් අඳුන ගන්‍න පුළුවන්ද? කොහොමද? මේ තරම් සමීපව දකින අඛීල උනත්, බොඳ වෙච්ච සිතුවමක් වගේ අපහැදිලි වෙනකොට, නොදන්න භාෂාවකින් ලියවුණු පොතක් කියවනවා වගේ මුල මැද අග නොතේරේන කොට ඈතින් ඉන්න අර බැලුම් බෝල විකුණන මනුස්සයාගේ දුක හරි සතුට හරි තමන්ට තේරුම් ගන්න ඕනද? මොකටද? මිනිස්සු ළඟ වැඩි හරියක් තියෙන්නේ දුක. කොහොමත් බැලුම් විකුණන මනුස්සයෙක් ළඟ සතුටක් තියෙන්න පුළුවන්ද? කොයිතරම්ද? 

ඔයාට මේක දැන් සෙල්ලමක් වෙලාද? 

ආ ... හිරු හිරණ්‍යා ගැස්සුණා. ඒ ගැස්සුණ පාරට ආයෙම හිරණ්‍යාගේ ඇස් අඛීල‍ගේ කළු පාට තොල් ළඟ නැවතුනා. පස්සේ තවත් තදට රතු වෙච්ච ඇස් දෙක ගාව.

මොකක්ද?

අපේ කසාදේ

නෑ

නැත්තේ මොකද?

ඉතිං, අපි බඳිමු.

ඔයාට මේ දේවල් සෙල්ලමක්, විහිළුවක් ‍වගේ ද පේන්නෙ

චුටි  මේ මුහුද එක්ක, මේ මුහුදු වෙරළ එක්ක, මේ මුහුදු හුළඟ එක්ක කවදාවත් විහිළු කරන්න එපා, හොඳද?” “ඇයි අප්පච්චි ඒ” “චුටි, අපි නොදන්න ගොඩක් කතන්දර මේ තැන් වල හැංගිලා තියෙනවා. ඒ හැම කතාවකටම තාමත් පණ තියෙනවා,  මේ මුහුදට, මේ වෙරළට, මේ මුහුදු හුළඟට හුස්ම වැටෙන්නේ  ඒ කතන්දර හින්දා” “අප්පච්චි, මට ඒ එක කතන්දරයක් කියලා දෙනවද?” “ චුටි තව හුඟාක් ලොකු වෙන්න, එදාට මම චුටී ළඟ නොහිටියත් මේ මුහුද, මේ වෙරළ, මේ මුහුදු හුළඟ ඔයාට ඒ හැම කතන්දරයක්ම කියලා දෙයි” “අප්පච්චි නරක දේවල් කියනවා, ඔයා මේ චුටිව දලා කොහෙවත් යන්නැ, යන්නත් බෑ.මට පොරොන්දු වෙන්න. කියන්න මේ මුහුද පල්ලා  මේ මුහුද උනත් මුහුදට උවමනා හැටියට වෙනස් වෙනවා චුටි, ඒක අපිට නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ, එහෙම වෙනස් වෙන මුහුදක්.  අපිට පුළුවන් ඒ හැම වෙනස් වීමකටම ආදරේ කරන්න විතරයි, අපිට කොයිතරම් රිදීමක් උනත් නැතත්, අපිට පුළුවන්කමක් නෑ මේ මුහුදෙන් පළිගන්න,  චුටී අපිට පුළුවන් මුහුදට ආදරේ කරන්න විතරයි, අපි ආදරේ කරනතාක් මුහුදත් අපිට ආදරේ වෙයි චුටී” “නෑ අප්පච්චි මුහුද ආදරේ කරන්න දන්නෑ, ඇයි එහෙනම් අම්මව හංගන් ඉන්නේ” “නැහැ චුටී මේ මුහුද හැම තත්පරේකම අම්මාගේ සුවඳ, කටහඩ විතරක් නෙවෙයි මුළු හදවතම අරගෙන ගොඩට එනවා. අහන් ඉන්න, දන්නවද චුටී එදයින් පස්සේ මුහුද තරහා ගත්තේ නැත්තේ ඇයි කියලා” “ නෑ අප්පච්චි, ඇයි ඉතිං ඒ” “ඔයාගේ අම්මා ඒ ඈත මුහුදෙ ඉන්න හින්දා චුටී.එයා ඉන්න තැනක් හරිම නිස්කලංකව තියෙන්න ඕන නේ චුටී” “මුහුදු හුළඟ හරි සුවඳයි නේද අප්පච්චී

ඔයාට මාව බලා ගන්න පුළුවන්ද අඛීල

මොකක්ද හිරු, ඕක අහන්න ඕන ප්‍රශ්නයක්ද?

ඇයි නැත්තේ අඛිල,"

මම ඔයාව බලාගෙන නැද්ද හිරු, අනික මට බැයිද? ඔයා ඒක හොඳටම දන්නවා. අප්පච්චි නැති උනාට පස්සේ මම නෙමෙයිද ඔයාව බලා ගත්

ඔයාට පුළුවන්ද අඛීල මාව බලා ගන්න මේ මුහුද වගේ?”

මුහුද වගේ?

 හ්ම්

 මොනවද ළමයෝ ඔයාට මේ වෙලා තියෙන්නේ?”

ඇයි

ඔයා විහිළු කරනවද?

ඇයි

මේ මුහුද වගේවත් ඔයක් ගඟක් වගේවත් නෙමෙයි මම ඔයාව බලා ගන්‍නේ මට ඕන විදිහට හරි පරිස්සමට

ඔයා මාව කොයි තරම් පරිස්සම් කරනවද?

ඇහැක් වගේ මගේ ඇස් දෙකම වගේ ඒ තරමට ආදරෙන්

ඔයාට පුළුවන්ද අඛීල මම දකින විදිහටම ලෝකය දකින්න

ඔන්න තරහා ගන්න එපා ඒ තරම් මෝඩ විදිහට නම් බෑ හිරු

මම මෝඩයිද?

හිරු අපි දැන් පොඩි ළමයි නෙවෙයි, තාමත් මුහුදටයි ගල්මල් වලටයි මේ වැල්ලටයි ආදරේ කරන්න, ඊට එහායිනුත් ලෝකයක් තියෙනවා, තව සතුටු වෙන්න දේවල් තියෙනවා. මිනිස්සුන්ට කතා කරන්න බලන්න දේවල් තියෙනවා. ඔයා දන්න මේ මුහුද ඇරෙන්න තව ඕන තරම් දේවල් තියෙනවා. මේ මුහුදු රැල්ල වෙරළට ඇවිත් යනවට වඩා වේගෙන් මිනිස්සුන්ගේ ජිවිත වල සිද්ධ වෙන දේවල් තියෙනවා හිරු.”

ඉතිං මම මෝඩයිද අඛිල

ඔයාට ඕන අදත් රණ්ඩු වෙන්නද?

මේක රණ්ඩුවක්ද අඛීල

නැත්නම් වෙන මොකක්ද හිරු, මට දැන් එපා වෙලා තියෙන්නේ

මාව?”

මුහුද, හුළඟ, වෙරළ, වැල්ල, මේ හැමදේම,

ඔයා මාව ඉස්සර වෙලාම දැක්කේ මේ මුහුද දිහා මම බලාගෙන ඉද්දී අඛිල, ඔයා මාත් එක්ක ඉස්සර වෙලාම කතා කළේ මේ මුහුදු හුළඟ මාත් එක්ක කථා කර කර ඉද්දී අඛීල, එදා ඉදන් අපි දෙන්නා හම්බුණේ මේ මුහුදු රැල්ල වෙරළ

මුහුද, මුහුද, මුහුද ඔයාගේ ජිවිතේ මේ මුහුද ඇරෙන්න වෙන කිසිම දෙයක් නැද්ද හිරු

එහෙනම් ඔයා මාව බඳින්න අහන්නේ ඇයි අඛිල

යාළු වෙලා අවුරුදු තුනකට පස්සේද ඔයා ඇයි අහන්නේ?”

නෑ මම හැමදාම ඇහුවා අඛීල, ඔයාට ඇහුන්නෑ,

අදත් ඔයාට ඇහෙන්නැ, නෑ. අද ඇහුනත් නැහුනා වගේ ඉන්නවා.

ඔව් මට ඇහෙන්නෑ, ඔය විකාර කතා අහන්න ඕනත් නෑ,

ඒක මම හොඳට දන්නවා අඛීල

මොනවද තමුසේ දන්නේ,

ඔයාට ඒ කතා විකාර උනාට මේ මුහුද ඒ හැම කතාවක්ම අහන් ඉ

තමුසෙ මේ මුහුද එක්ක ඕව විකාරයක් කියොගන්නවා මම යනවා යන්,

අඛීල, අපි මේක නවත්තමු.”

මොකක්ද?

මේ සම්බන්ධෙ, ඒක තවදුරටත් ඕන නැහැ.

හිරු ඔයාට තේරෙන්

නැහැ ඕන නැ අඛීල, තවදුරටත් මට දරන්න බෑ.

ඇස්වලට තෙත් ගතියක් දැනෙන්නේ මෝදු වෙන කඳුළු හින්දා කියන්න හිරණ්‍යා දන්නවා. ඊටත් වඩා හොඳට, මුහුදු හුළඟ හමාගෙන යන අතට මුහුණ හරවලා කම්මුල් දිගේ ගලාගෙන යන්න නියමිත කඳුළු කැට හුළගේ පා කරලා අරින්න පුළුවන් කියලාත් දන්නවා. අඛිලගෙන් ඉවතට ගත්ත මුණ හිරණ්‍යා අනික් පැත්තට හරවන්නේ ඒ හින්දා. සීරුමාරුවට හොයා ගත්ත වචන කිපයක් අඛිලගේ කළු පාට තොල් අතරින් හුළඟට මුහු වෙලා හිරණ්‍යාගේ කන් පෙති මත දැවටෙන්න ගත්ත උත්සහයට තව දුරටත් ජයග්‍රහණයක සේයාවක්වත් තියෙනවා කියලා පෙන්නන්න හුළඟට තිබ්බේ පුදුම අකමැත්තක්. හිරණ්‍යාගේ මුණ පුරා හරි ආදරෙන් දැවටුණු හුළඟ අඛිලගේ වචන ඈතට ගෙනිහින් මහ මුහුද මැද්දට අත ඇරලා දැම්මා. ඉර මුහුදෙ ගිලෙමින් තිබුණේ.  අඳුර ගලා ගෙන එමින් තිබුණත් මුළු වෙරළම රන්වන් පාටකට හැරිලා තිබුණා. ඒ රන්වන් පාට වෙච්ච වෙරළේ හුළඟ එක්ක සෙල්ලම් කරන බැලුම් බෝලයක් හිරණ්‍යාගේ ඇස් වල දැවටුණේ අහම්බෙන් වගේ. තවදුරටත් බැලුම් විකුණන එක අත ඇරලා දමපු වෙළෙන්දා තමන්ගේ අතින් ගැලවිච්ච බැලුම පිටිපස්සෙන් දුවගෙන එනවා හිරණ්‍යා දැක්කා. යන දේවල් වලට යන්න දෙන්න ඕන ඉඳගෙන හිටපු තැන දඹර ඇඟිල්ලෙන් ඉරි අඳිමින් හිරණ්‍යා මුමුණන වචන අහන් උන්නේ හුළඟ විතරයි. 

හිතට ආපු හැඟිම මොකක්ද කියලා කියා ගන්න බැරි උනත් ඊටත් තත්පර කිහිපයකට පස්සේ බැලුම මුහුදු රළ අතරේ නැළවෙමින් ඉන්නවා හිරණ්‍යා දකිනවා, හිතට ආපු හැඟිම මොකක්ද කියලා කියා ගන්න බැරි උනත් ඊටත් තත්පර කිහිපයකට පස්සේ හිටපු තැනින් නැගිට්ට හිරණ්‍යා රන්වන් පාට වෙච්ච වෙරළේ ඔහේ ඇවිදිද්දි බැලුම් වෙළෙන්දා තිතක් වගේ ඈතට නොපෙනී යන්නේ තමන් විතරක්ම මේ වෙරළේ තනි වෙද්දි නේද කියලා හිරණ්‍යාට කල්පනා උනේ නෑ. හුළඟ හිටියේ අතරමං වෙච්ච ගානට. හිරණ්‍යාගේ හිතුවිලි වගේ‍ම කොණ්ඩේත් හැම පැත්තකටම විසිරෙන්න  ඇත්තේ ඒ හින්දා. විලුඹ ළඟ‍ටම දිග රැළි සාය හුළඟ එක්ක නටමින් හිරණ්‍යාව ඒ තාලයට කොටු කරන්න, නටවන්න ගත්ත උත්සහය පරාද උනා. අවුරුදු තුනක් එකම තාලයකට කොටු කරගත්ත අඛිල කැමතිම දිග රැළි සායවල් උනත් තමන් කැමති තාලයකට කැමති විදිහට නටවන්න පුළුවන් කම තිබුණා නේද කියලා හිරණ්‍යාට කල්පනා උනත් ඒ ගැන තවත් හිතුවිලි වෙහෙසවන්න ඕන උනේ නෑ. තවමත් මුහුදු රළත් එක්ක නැළවෙන බැලුම රළත් එක්කම නැළවී නැළවී හිරණ්‍යා ළඟ‍ට තල්ලු වේගෙන ආව. ආයෙමත් රළත් එක්කම ඈතට ගිය බැලුම නැළවී නැළවී හිරණ්‍යා ළඟ‍ටම ආව. ආයෙමත් රළත් එක්කම ඈතට ගිය බැලුම නැළවී නැළවී හිරණ්‍යා ඉස්සරහට තල්ලු උනා. ආයෙමත් රළත් එක්කම ඈතට ගිය බැලුම නැළවී නැළවී හිරණ්‍යා ඉස්සරහට එයිද කියන්න හිරණ්‍යා දැනන් උන්නෑ. 

චුටී අප්පච්චි ඇයි ඉක්මණින් ආවේ පාලුයි අප්පච්චි චුටීට තව ටිකක් ඉවසන්න තිබුණා අප්පච්චිටත් චුටී ම්ම්ම් ජීවිතේ මහ බරට දැනුණා මටත් සමාවෙන්න චුටී මටත් චුටී අප්පච්චි එයා බලන් ඇති යමුද අප්පච්චි” “අප්පච්චි ම්ම්ම් එයා ඉන්න තැන හරි නිස්කලංකයි

වෙරළේ ගල් අතරේ රැඳුන රතු පාට දිග රැළි සායක් එක්ක එතුන කහ පාට බැලුමක කළු පාටින් ඇඳපු හිනා මුණක කොටසක් ඉරට විතරක් නෙවෙයි, කළු කපුටු රංචුවත් එක්කත් හිනා උනා. ඒත් කපුටු රංචුවට හිනා වෙනවට වඩා කරන්න වැඩ ගොඩක් තිබුණ කළබල උදෑසනවල් කිහිපයක්ම ගෙවී ගිහිල්ලා තිබුණේ හිනාවල් බොල් අහසට එකතු කරමින්. හිතුන හිතුන වේලාවක ඇවිත් සිපගෙන යන මහුදු රළත් එක්ක නැළවෙන්න උවමනාවක් බැලුමට තිබුණත් තමන් පැටළිලා හිටපු දිග සායට එහෙම උවමනාවක කිසිම ලකුණක් තිබුණේ නෑ. එහෙම බවක් පෙන්නුවෙත් නෑ. දැන් දැන් දියසෙවල බැදෙමින් තිබුණ රතු සාය කොළ පාටට හැරෙමින් තිබුණේ. බැලුම උඩ විවේක ගත්ත කකුළුවෙක් කපුටු ඇස් වලින් මිදිලා ගල් අතර හැංගුණා. හැමදාම වගේ ඇතින් ඇදෙන බැලුම් බෝල වෙළෙන්දා  දකිද්දි තමන්වත් ඉක්මණින් කොළ පාට දිය සෙවළ වලින් වැහෙනවනම් කැමති කියලා බැලුම දිග සායට හිමින් මිමිණුවා. කාගේ හරි අතක හිර වෙලා නොදන්න මිනිස්සු එක්ක හිනා වෙනවට වඩා මෙතන නිදහස්.


ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...