2020 උදාව මහ අමුතුය. ජනවාරි පළවෙනිදා උදේම ඇඳ පැලදගෙන, එහෙම උදේම වැඩට යන්න පාරට ආවාම බස් එක නැතිය. වැඩි හොඳටැයි බයිසිකලය ගෙදර දමා බස් එකේ යන්නට ගියාම ඔහොමම ය. මාත් ඇතුළුව තවත්තුන් දෙනෙක් අපහු හැරෙන්නේ ඒ නිසාය. දෙදෙනෙක් නමක් ගමක් නොදන්නා මනුස්සයින් පදවාගෙන ආ බයිසිකල් නවතාගෙන නැගි ගියෝය. අද අවුරුද්දක පළමුවෙනිදාය. ඔෆිස් යාමට වෙන්නේ නැත. එන්නෑයි කිව්වාට ඕක කොළඹ ඉන්න උන්ට තේරෙන්නේද නැත. මහ පාන්දර හතරට නැගිට කිලෝ මීටර් එකසිය එකක දුර ගෙවා ගෙන වැඩට එනවා යැයි කියන්නේ ලේසි එකක්ද? අපරාදේ යැයි සිතෙන්නේ අද සාරි විලාසිතා දැක්ම පියැවි ඇසින් බලා ගැනීමට නොහැකි වීමය. ඉවසා ගන්න බැරි හෙට උදේම පොඩි බොස්ගෙන් බැනුම් අහන්නට වේ යැයි සිතීමය. අනේ මක්ක කොරන්නද ඉතිං හේතු කාරනා ඉදිරිපත් කරාට ඕවා තේරෙන එකක්යැ. මොනවා උනත් හිනා වෙලා ඉන්නවා යැයි දැම්ම හිතට ගන්න එක හොඳය. උදේ පළමු පැය දෙක එසේ ජල්තරව ගෙවී ගියාය.
වැඩට යන්න බැරි උනාට මේ අවුරුද්ද ජල්තර අවුරුද්දක් කර ගත යුතු නැතැයි කල්පනා කර අද දවස සුබ කටයුතු සඳහා කැප කරන්නට සිතුවෙමි. ඉන් පළමු වැන්න ලෙස අම්මා උයා සකසා තිබු කිරිබත් වලින් බාගයක් පමණ කුරුල්ලන්ට කන්නට දැමීම සිදු කළෙමි. අහා උදේ තුන්වන පැය කන් දෙකට පුදුම සනීපය මිත්‍රවරුණි.
ගිනි කෙළි වලින් කන් පුරවා ගෙන සිටින වීදි සුනඛ රංචුවට කන්නට දිය යුතු යැයි සිතුන නිසා ශිතකරණයත්, කුස්සියත් පීරන අතරේ ලෝරා වෙනුවෙන් ගෙනා මාලුත්, ගෙදර ඉවීමට ගෙනත් තිබු කරවලත් හමුවිය. මාලුත් කරවලත් දමා බත් එක ලිපේ තබා අලුත් අවුරුද්දේ උදැසන හතරවන පැය එසේ ආරම්භ කළෙමි. ඉදුනු බතද අරගෙන වීදි සුනඛයන් සොයා යමින් ඊළඟ පැය පටන් ගත්තෙමි. බයිසිකලයේ බත් බකට් එකද, කඩාගත් කැන්දා කොළද තබා ගෙන යන විට බයිසිකලය අසළටම පැමිණිමට හමුවු පළමු සුනඛයා කාරුණික වු අතර, නැට්ට වනමින් ආහාරය භුක්ති විදිමට ඌ අමතක කළේ ද නැත. දෙවැන්නා මහ මරුමුස් සුනඛයෙකි. ඌට බත් දෙනකම් හීන් හඩින් ගෙරවු අතර බත් කමින්ද ගොරවන්නට විය. හය වැන්නා හෝ හත් වැන්නා මහ අමුතුම ආකාරයේ එකෙකි. කැන්දා කොළය කටින් අල්ලා ඇද විසික් කර බත් ටික බිමට දමා ගෙන කන්නට විය. ඌට රහ දැනෙන්නේ එහෙම විය යුතුය. ඔබ මහ ඉහළින් අවුරුදු සමරා ඇති අතර, ඒය රට්ටු දැන ගැනීම සඳහා පත්තු කරපු රතිඤ්ඤා හා ගිනි කෙළි නිසා බිය වැදී සිටි සමහර සුනඛයන් තවමත් බියෙන් පසුවීම නිසා උන් කන්නේද ඇතින් ඇසෙන සමහර හඩවල් වලටද බිය වෙමිනි. ඒ පිළිබඳව සතුටු වෙමින් ඒ පැය අවසන් වන අතර, හොඳම දේ නම් ආපසු එන විට බයිසිකලයේ තෙල් ඉවර වීමය. දෙයියෝ සිහිවුණේ ඒ වෙලාවේය. කුප්පියකට තෙල් දෙන තැනකින් තෙල් බිංඳුවක් මිලදී ගැනීමට අතේ සතේ නැත. නමක් ගමක් දන්නැති මනුස්සයින් මේ වේලාවේ හොයා ගැනීම අපහසු නිසා ලැබු අවුරුද්ද ගැන සතුටට පත්ව ගෙදර දක්වා බයිසිකලය කෙසේ හෝ තල්ලු කර ගතිමි. මේ අවුරුද්දේ කෙට්ටු වීම එසේ ආරම්භ කරන ලදැයි හිත හදාගෙන ගෙට ගොඩ වන විටම ඇසුණේ හිටපු හොඳම කරවල කුරියා අන්තරස්දාන වී ඇතැයි කියමින් ලෝරාත්, සුකිරිත් සමඟ සුහද හමුවක් පවත්වන මැණියන්ගේ කටහඩය. ලෝරා නම් පාවා නොදෙන අතර,සුකීරියා විශ්වාස නැති නිසා නිකමට කුස්සිට එඹුණේමි. සුකිරි කියන්නේ එපා කරපු පුසෙකි. ඌගේ ඤ්ව් භාෂාව අම්මා හොඳට දන්නා නිසාත්, සුකිරීගේ මයාකාර දෑසෙහි වු අහිංසක කම නිසාත්, අන්තිමට වරදකාරයා මා විය. ඒ පැය තුළදී සුපහන් සිතින් මැණියන්ගේ මධුරතර උච්ච ස්වරයෙන් ගායනා කරන ලද කාලීන බණක් ඇසීමේ භාග්‍ය උදා විය.
අම්මාගේ දැනුම් සම්බාරය අනුව, ගස් වල තිබුණොත් කාගේ හෝ ඇස්වහ වැදීමට නියමිත කෙසෙල් කැන් කිහිපයක් කපා ගෙට ගත්තෙමි. කෙසෙල් කැනක් තැලීම නිසා අම්මා විසින් නැවත කාලීන කවිබණ ගායනය ආරම්භයට සැරසෙන අතරේ, මල් වලට වතුර දැමීමත්, කෑලෑව සුද්ද කර වත්ත එළි කිරීමත්, ගස් යට වැටී ඇති පොල් ඇහිදීමත් වැනී කාරණා ඉටු කර දීමට පොරෙන්දු වීමෙන් බණ ගායනය පොස්ට් පොන් කර ගැනීමට හැකි විය.
අවුරුද්දේ ජනවාරි පළමු වැනිදා සිදු වෙන දේවල් වලට අවුරුද්ද පුරා ම මුහුණ දෙන්නට වේ යැයි සැකයක් මා තුළ හට ගෙන ඇත. මේ සියල්ල සිද්ධ වන්නේ ලොකුකම නිසා කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුබ අවුරුද්දකට විෂ් නොකිරීම යැයි දැන් දැන් සාධාරණ සැකයක් මතු වී ඇති හෙයින්, මිත්‍රවරුණි, ඔබ සැමට මේසේ නොවන ප්‍රීතිමත් සුබ අවුරුද්දක් වේවායි පතමි. එහෙත් මේ ආරම්භ වුයේ අවුරුද්දක්ම නොවෙයි දශකයක් බව සිතෙන විට ළිඳට පැන වතුර බිගෙන බීගෙන යාමට ද සිත් වෙයි.
අනේ පව්. ජනවාරි පළමු වැනිදා මෙන් ජල්තර නොවී අවුරුද්දේ සහ දශකයේ ඉතුරු දවස් ටික ඉතා ප්‍රීතියෙන් ගත කරන්නට හැකි වේවායි පතමි.
ReplyDeleteස්තුතී පූ. ඒත් ඉතිං ජල්තර වලින් අඩුවක් නම් නෑ. මට හිතෙන්නේ දශකයම රඑහෙම ගෙවන්න වෙයි කියලා.
DeleteHappy new year
ReplyDelete