මට හිතෙනවා මනුස්සයෙකුට මේ ලෝකේ ආදරේ නැතිව යනවා ආදරේ නොලැබෙනවා කියන්නේ ඒ මනුස්සයා හරියට ඇවිදින මළ මිනියක් වගේ වෙනවා කියලා. ඔයා එහෙම ඇවිදින මළ මිනියක් දැකලා නැත්නම් මේ මොහොතේ ඔයාට පුළුවන් මගේ දිහා බලන්න. ඔයා මාව දැක්කෝත් ඔයාට හරියටම තේරුම් ගන්න පුළුවන් ආදරේ නොලැබෙන ආදරේ නොලැබිච්ච ආදරේ නොකරන මනුස්සයෙක් කොයි වගේද කියලා. මම කියන්නේ දළ අදහසක් හරි ගන්න පුළුවන්. ඔව් සමහර විට දළ අදහසක් ගන්න පුළුවන් වෙයි. දළ අදහසක්.
Friday, May 31, 2024
ආදරේ නොලැබෙන මිනිස්සු
Thursday, June 10, 2021
කළු වඳුරකු සියැටල්ට ලියයි
සුගන්දවත් පුෂ්පයන් තව දුරටත් අපගේ සොහොයුරියෝ නොවෙති. අමු අමුවේ පුළුස්සා දමන ලද වන ලැහැබකින් නැගෙන දුම් රොටු පිස හමන සුළඟ පමණක් අප ආග්‍රහණය කරන්ණෙමු. සුදු මිනිසුන් පමණක් නොව කළු වඳුරන් වු අපද මරණින් මතු ඔබගේ මැණියන් වු මේ මහ පොළව අමතක කර දමන්නෙමු.
ඔබට අරුමයක් වුවාට අපට අරුමයක් නොවන පරිදි මේ මහපොළොවෙන් ඉහළට නගින්නා වූ උණුහුමටත් , අහස් ගැබටත් මිළක් නියමි වී ඇත. ඔබගේ මුතුන් මිත්තන් සැඟව ඇතැයි සිතන තාරකා වලටත් වැඩිය දිප්තිමත් ලෙසින් එළි විහිදුවමින් පුපුරා හැලෙන වෙඩි උණ්ඩ, මිසයිල එයට හොදම උදාහරණය නොවන්නේද? මේ මහ පොළවේ හා අහස් ගැබට එක වෙඩි උණ්ඩයක තරම්වත් වටිනාකමක් නොමැති බව අපි දනිමු. කළු වඳුරන් වු අප වෙඩි උණ්ඩ රැඳි දෑත් වලට බියෙන් සැඟවයා යුතු බව පමණක් අපගේ නායකයින් අපට කියා දෙමින් සිටි. කුඩා කළු වඳුරන් වු අප බිය වෙමින් පලා යමින් සැඟවෙමින් සිටින්නෙමු. වාතයේ වූ නැවුම් බවත් ජලයේ වූ දිදුලන කාන්තියත්, අප දකින්නේ ලේබල් කරන ලද ප්ලාස්ටික් බෝතලයක් තුළිණි. එය ඔබට කොතෙක් පුදුමය දනවන්නක් වුවද නැවුම් වාතයටත්, දිදුලන කාන්තිමත් ජලයටත් මිළක් නියම වන්නේ එළෙසින්ය. දේවදාර ගසක දිළිසෙන කිනිති කොනිත්තන, වැලි තලාවලින් පිරුණු වෙරළක කසල දමන, අඳුරු වන ගැබ තුළ වූ මීදුම් වළා ගිණි ලා වනසන , එළිමහනක ගුම් නද නගන කුඩා ප‍්‍රාණින් විෂ දමා මරණ මාගේ මිනිස්සුන්ගේ මතකයන් සහ අත්දැකීම් ඔබගේ මතකයන් හා අත්දැකිම් සමඟ සම කළ නොහැක. තුරුලතා අතරින් දිව යන සෑම මං පෙතක්ම රතු මිනිසුන්ට මතක මං පෙතක් වන මුත් කළු වඳුරන් වු අපද සුදු මිනිසුන් මෙන්ම ජීවය අමතක කර දමන්නට හුරුව හිඳින්නෙමු. මුවන්, අශ්වයන්, රාජාලියන් ඔබගේ සොහොයුරන් වන බව අපි දනිමු. එහෙත් කළු වඳුරන් වු අපට මේ ප්‍රාණින් අපගේ සොහොයුරන් නොවෙති. දළ කපන ලද මිය ගිය ඇතුන්, වන අලින්, කළු දිවියන්, වෙරළ මත හමුවන මිය ගිය කැස්බෑවන්, තවත් මුහුදු ජීවින් අප දැක ඇත්තෙමු. ඔබගේ සොහොයුරන් වු ජිවින් මිය ගියද කළු වඳුරන් වු අපට ඒ වෙනුවෙන් මිලක්, වන්දියක් ලැබෙන බව අපි දනිමු. ඉතිං සැනසෙන්නෙමු. ඔබගේ සොහොයුරන්ට පිං සිදු වන්නට කළු වඳුරන් වු අප ජිවත් වන්නෙමු. කඳු ශිඛර, තෘණ බිම් වල වූ පිනි බිඳු, තවදුරටත් එකම පවුලකට අයත් වන්නේ නැත. අප එසේ සිතන්නේද නැත. කළු වඳුරන් වු අප ඔබ දුටු සුදු මිනිසුන් මෙන්ම වෙනත් පවුලකි. අශ්වයන් මෙන්ම මෙහි සිටින සිය දහසක් වු ඇතුන්, ගවයන්, මුවන් හා තවත් ජිවින්ගේ දහදියට අපගේ දහදිය සමාන වන්නේ නැත. ඕ රතු ඉන්දියානු නායකයාණනි, එසේ සිතීම ම මහ විඛාරයකි. සමාවන්න.
ප්‍රෙයරි තණ බිම හරහා ගමන් කරන දුම්රියක සිට විනෝදයට දහස් ගණන් කුළු හරකුන් වෙඩි තබා මරා දමන ලද්දේ ඇයිදැයි ම්ලේච්ඡයකු වු ඔබට වැටහෙන්නේ නැත. එසේම කිසිඳු විනෝදයකින් තොරව එක් කුඩා වරදකින් දස දහස් ගණනින් මුහුදු ජිවින් සමුල ඝාතනය කරන්නේ කෙසේදැයි උගත් යැයි, උපාධි ලද මට ද වැටහෙන්නේ නැත. හුස්ම ගන්නා අනෙක් ජිවින්ට වඩා පොළව මත ඉදි වු කර්මාන්තයන් වැදගත් වන්නේ කෙසේදැයි මටද වැටහෙන්නේ නැත. එහෙත් මා දන්නා එක දෙයක් ඇත. ඔබ පවසන පරිදිම දිනක මිනිසා මේ පොළව මත හුදකලා වන්නේ නම් ඒ සඳහා ඇති බිය විසින් ම එයට උත්තර සෙවීම සඳහා ඔවුන් උත්සහ කරමින් සිටින වග දනිමි. ඔබ තාරකාවකැයි සිතු ග්‍රහලෝවක මිනිසුන් ජිවය සොයමින් සිටින්නේ ඒ නිසාවෙන් විය යුතුය. රතු ඉන්දියානු නායකයාණනි, රැක ගැනීමට වඩා අලුතින් සොයා ගැනීම සහ සකස් කිරීමට මිනිසා විසින් දක්වන මේ ආශාව ද මට වැටහෙන්නේ නැත. රැක ගැනීම තුළ ගැබ්ව ඇති ආදරය යන වචනය අප නොහඳුනන බව පමණක් දනිමු.
මේ සෑම සියලු දෙයක් අතර ඇත්තේ එකම සහ සම්බන්ධයක් බව සුදු මිනිසුන් මෙන්ම කළු වඳුරන් වු අපද විශ්වාස කරන්නේ නැත. මේ මහ පොළවට වන සෑම හොඳ හෝ නරකක්ම අපට ද අපගේ දරුවන්ට ද වන බව ඔබ මතක් කර දී ඇතත් අප එය අමතක කර දමන්නෙමු. මේ මහ පොළව ඔබගේ මව මිස එය අපගේ මවක ලෙස අප සිතන්නේ ද නැත. මේ මහ පොළවෙහි අයිතිය ඇත්තේ මිනිසාට පමණක් බව සුදු මිනිසුන් සේම අප ද විශ්වාස කරන්නෙමු. එහෙයින් මිනිසුන් සහ ජිවින් අතර ඇති ජිවන ජාලය අප කඩා බිඳ දමන්නේමු. ඔබගේ අම්මා වු මහ පොළව සියළුම මිනිසුන් එක්ව සාමුහිකව දුෂණය කරමින් සිටි. කළු වඳුරන් වු අපද එහි කොටස් කරුවන් වන බැවින් එය මෙහි ඔබට ලියන්නෙමු. ඒ කෙසේද යත්, ඔබගේ මව උඩු කය වසා පොරවාගෙන සිටින, වනස්පතිය උදුරා දමන්නෙමු. කඳු ශිඛර වු පියයුරු තලා දමන්නෙමු. සාගරය වු සළුව ඉරා දමන්නෙමු. සාගර ජිවින් වු මණිමේකළාව කඩා දමන්නෙමු. ඇගේ බද මත වන සිරිම් කැළල්, ඔබට පෙනෙන්නේ නැත. ඇගේ කෑ ගැසීම් ඔබට ඇසෙන්නේ නැත. මන්ද , ඔබ කියු පරිදිම පරාජයෙන් ලජ්ජාවට පත්වුණු ඔබේ සටන් කාමීන් සමඟ එක්ව පැණි රස අහර සහ මත්පැනින් සප්පායම් වෙමින් අලසකමින් දිවි ගෙවන මුතුන් මිත්තන් අතර තාරකාවක් බව ට ඔබ අද පත්ව ඇත. මහ පොළවට ආදරය කරන කිසිවකු මෙහි ඉතිරි වී නැත. ඉතිරි වී සිටි ස්වල්ප දෙනාද අද භාස්මාවශේෂ වී ඇත. තවත් කොහේ හෝ තැනක යමෙක් ඉතිරි වී ඇතිද,එදෙසට එල්ල වු දහසක් තුවක්කු කටවල් ද ඇත. ඉතිං අප එකිනෙකා ඔබගේ මව වු මහ පොළව දුෂණය කරමින් සාමකාමීව වසන්ට තිරණය කර ඇත්තෙමු.
ඔබ පවසා ඇති පරිදිම අප සියල්ලෝම සොහොයුරෝ වෙති. ඔබගේ මිනිසුන් මෙන්ම කළු වඳුරන් වු අප ද අපගේ භුමිය විකුණමින් සිටින්නෙමු. දිප්තිමත් සාගර ජලයෙන් වටවු කුඩා දුපතක කළු වඳුරන් වු අප වාසය කරන බව ඔබ දන්නවා ඇත. ඔබ මෙන්ම අපගේ කළු වඳුරු නායකයන්ද මේ භුමිය විකුණා දමා අහවරය. ඔවුන්ද කුමක් හෝ පවසනු ඇත. ඔවුන්ද කුමක් හෝ ලියනු ඇත. එහෙත් අතීතයත් වර්ථමානයත් එකක් බව කුඩා කළු වඳුරකු වු මට වැටහෙමින් පවති. ඔබගේ දෙවියන් මෙන්ම මා දකිනා දෙවියන්ටද මේ මහ පොළව මත වාසය කරන විනාශකාරි මිනිසා ගලවා ගත නොහැකි බව මම දනිමි. මේ කුඩා කළු වඳුරන් එක්ව මේ දුපතේ සැම දළ ඇතෙකුම මරා දමනු ලද පසුවද, කඳු ගංගා හාර සියළුම මුතු මැණික් සොරා ගෙන අවසන් උවද, සුගන්දවත් පුෂ්පයන් නොපිපෙන කලක උවද, මෙහිම වැටී හුස්ම සිරවී මිය යන දිනක උවද, අප මෙය රැක ගැනීමට නොසිතනු ඇත. මන්ද අප කුඩා කළු වඳුරන් රංචුවකි. වරල් සළමින් පිහිනා යන මසුන්ද, දුව යන මුවන්ද, පියඹා යන පක්ෂින්ද, තවත් ශිත සෘතු කිහිපයක් ගත වන විට අප විසින් මිහි පිටින් තුරන් කර දමනු ඇත. එහෙත් අනාගතයේ කළු වඳුරු දරුවන් වෙනුවෙන්, පතන බිමක, වැසි වනාන්තරයක, සුනිල දිය දරහරක, රළ නැගෙන වෙරළක, කඩා හැලෙන දිය ඇල්ලක, පියඹ යන පක්ෂින්ගේ, දිය කෙළින මසුන්ගේ, හා කරඩු වඩම්මන ඇතුන්ගේ, තරඟ කරන අශ්වයන්ගේ, බියවී දුවන මුවන්ගේ, පිල් විහිදන මොණරුන්ගේ, රූපයන් ඡායාරූපගත කරන්නෙමු. අප අනාගතය වෙනුවෙන් ඒ සියළුම ඡායාරූප පමණක් සංචිත වශයෙන් පවත්වා ගෙන යාමට තීරණය කර ඇත්තෙමු. අප අපේ අනාගත දරුවන් වෙනුවෙන් තබා ඇති පියවර ඔබ තැබු පියවරට වඩා ශ්‍රේෂඨ බව අපගේ නායකයින් අපට කියා දෙමින් සිටි. ඔවුන් ඡායාරූප මඟින් හා විඩියෝ පට මඟින් අනාගතයේදි කුරුළු කුජන අසනු ඇත. මසුන්, ඇතුන්,අශ්වයින් නරඹනු ඇත. රාජාලින් සේ දෑත් විහිදා පතන බිම් මතට ඉහළින් පියාඹා යනු ඇත. රාජාලින් විදි උඩු සුළගෙහි පහස ඔවුන්ගේ කම්මුල් මත පතිත වනු ඇත.
අලුත
උපන් දරුවකු තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙන් මේ මහ පොළවට ආදරය කරන්නට අපට
නොහැකි විය. ඔබ ආරක්ෂා කළාක් මෙන් එය ආරක්ෂා කරන්නට නොහැකි විය. එහෙත් ඔබ ඔබගේ පොළව
සුදු මිනිසුන්ට විකුණා, ඔබගේ මුතුන් මිත්තන් අතරට එක් වුයේ ලජ්ජාවෙන් මිරිකෙමින්
නම්, ආදරණිය රතු ඉන්දියානු නායකයාණනි, බලන්න තවත් දහස් ගනන් නායකයින් මේ මහ පොළව
මත බිහි වී තමන්ටද අයිති නැති භුමියට මිළ නියම කරමින් හිදින හැටි. හුදෙක් මිලේච්ජයකු
පමණක් යැයි ඔබ කියා ගන්නා සියැටල් වු ඔබ ලජ්ජාවෙන් මිදෙන්න.
Thursday, June 4, 2020
මැයි විසි නව වෙනි සිකුරාදා - 2020
පැටි වියේ ආදරවන්තයාට ආදරයෙන් ලියමි.
ඔබ අද මා ළඟ ද නැත. ඔබ අකාහේ කොහේ හෝ තැනක තරුවක්ව නිවෙන දිලෙන බව ඇදහිමට තරම් මා කුඩා වූ වයසක උවේ නම්, අද ද රෑ අහස දෙස බලාගෙන ඔබ සිටින ඉසව්ව කොතනදැයි සෙවීමට දෑස් වෙහෙස වීමට තිබුණි. එහෙත් ඔබ ඉන්නා තැනක් ගැන කුඩා ඉඟියක්වත් ඔබ ඉතිරි කර ගොස් නැත. ඔබ ඉතිරි කර ඇත්තේ මතක ගොන්නක් පමණී.
මා වඩා ගෙන සිරිපාදය නැග්ග මිනිසා ඔබ ය. අතින් බිම නොතියා උඩට යනකම් වඩා ගෙන ගිය බව යම් සැදෑවන් වල අම්මාගේ මතක ආවර්ජනයේ දී නිතර කියැවෙන්නකි. එය මතකයේ රදවා ගැනිමට තරම් මේරු හිතක් මට නොතිබුණත්, ඔබේ උරහිසේ වාඩීලා පොකුටු කොන්ඩය දෑතින්ම මිරිකා වත්ත කෙළවරට ම පොල් ගස් අතරින් ඇවිද ගිය අයුරු මට මතකය. බුලත් කෙල පිරුණු මුවින් කම්මුලක තැබු හාදුත්, රැවුල් පිරුණු මුහුණින් කිති කවමින් කම්මුලක තැබු හාදුත් මට මතකය.විටෙක මා හැදු මිනිසා ඔබ ය. එක අතකින් මිදි පොකුරකුත්, තව අතකින් රට කජු මල්ලකුත් ගෙන ඔබ එනවා මට මතකය. රට කජු තලන මට ඔබ සිනාසෙන හැටි මතකය. හරි හැටියට අම්මාගේ කිරි ඇදීමට නොහැකි වූ මට අඩුවක් නොවන්නට ඔබ ටින් කිරි ගෙන ආවා මතකය. බඩ පිරුණු විට මා සිනා සෙන බව ඔබ දැන සිටින්නට ඇත. ඔබ ඒ සිනාවට කැමති වන්නටද ඇත.
තවත් විටෙක සතුටේ උල්පත ඔබය. ගොම මැටි ගෑ ගෙදර පාළුව නැසු මිනිසා ඔබය. අසන්නට හෝ බලන්නට රෝඩියෝවක් හෝ රූපවාහිනියක් නොතිබු කලක ඔබගේ කතාවෙන් හා සිනාවෙන් පමණක් ප්‍රීති වන්නට පුරුදු වි සිටි හැටි මට මතකය. පුවක් අත්තක මා හිදුවා සුදු වැලි පිරුණු මිදුලේ එය දෑතින්ම අල්ලා හති වැටෙන තුරුත් ඇද්ද හැටි මට මතකය.මගේ කුඩා වියේ විරයා හා ආදරවන්තයා ඔබය. යමක් කිරීමට බියක් නොතිබු මිනිසා ඔබය. අවුරුදු පහ හයක් වෙද්දී තැපැල් නයින්ටිය පදින්නට කියා දී, සිනා සී බලා සිටි හැටි මට මතකය. කවුරුන් බැන වැදුනත්, ඉන් නොනැවතී, ලැම්මාස්ටරයේ සිට ලොරිය දක්වා පැදවීමට කියා දුන් හැටි මතකය. ඔබෙන් හුරු වු දෑ හා ඉගෙන ගත් දෑ බොහෝය. ඔබ මගේ ගුරුවරයකුද විය. නොදී ප්‍රමාද වු ගුරු පඬුරු වෙනුවෙන් මෙසේ ලියමි. කුඩා කල මා ඔබට ආදරය කළ තරමටම, පසුව ආදරය පෙන්වීමට තිබු කාලය මඟ හරවා ගැනීම ගැන මම මටම දොස් පවර ගමි.
ඔබ ආදරයෙන් පිරුණු මිනිසකුව සිටි හැටි මට මතකය. ඔබ ආදරය කරන්නට දැන සිටි මිනිසකුව උන් අවධිය මට මතකය. ඔබ ආදරය ලබමින් සිටි කාලය මට මතකය. ඔබට ආදරය කළ උන් ද මට මතකය. ඔබ ආදරය කවදාක අත හැරියෙදැයි මම නොදන්නෙමි. ඔබට ආදරය කරන්නෝ ඔබ ලඟ නොසිටියේ දැයි මම නොදන්නෙමි. ඔබට ආදරය නොලැබුණේදැයි ද මම නොදන්නෙමි. ඔබට ආදරය නොදුන් උන් ගැන ද නොසොයන්නෙමි. ආදරයෙන් ළඟින් හිද පියවරෙන් පියවර වැඩෙද්දී බදා ගෙන සිටි ඔබව දෑතින් ගිලිහී යාම පිළිබඳව පමණක් සිතින් තැවෙමි. මහළුව බැරි උනාම දණ ගාද්දී ඇවිදින්නට අත දුන් වන්දිය ගෙවීමට සිතා සිටි බව ඔබ දන්නේ නැත. මේ මොහොතේ ඔබව බදාගෙන පුරුදු ලෙසට උරහිසක් හපන්නට ඇත්නම් යැයි සිතෙන්නේ ද ඔබට ලංව හිඳිමට කාලයක් සොයා ගැනීමට ඉඩ නොදී ඉඟිල ගිය නරුම වේලාවන්ට ද දෙස් දොවොල් තබමින්ය. කිසිම දවසක ඔබවත්, ඇයවත් අත හරින්නට එපා යැයි කියන අම්මාගේ වචන සිහි තබා ගෙන සිටි බව ඔබ දන්නේ නැත. දැන් අඩුවක් ඇත. එහි තවදුරටත් ඔබේ නම කියවෙන්නේ නැත. මම සදා ගත් කුඩා වු මගේ ලෝකය තවත් කුඩා කරමින් මා අතැර ගිය ආදරවන්තයා ඔබය.
කාලය නපුරු ප්‍රේමයට පමණක් නොවන බව දනිමි. එහෙත් ඔබට මට අපව අහිමි කලේ ද කාලයය. ජීවිතය මහ පුදුමය යන්න වඩාත් හොඳින් අද ඔබ කියා දී ඇත. මීටත් වඩා ජිවිතය ගැන දරා ගත හැකි කථාවක් නොතිබෙන්නට පුළුවන. ඉගෙන ගත හැකි තැනක් නොතිබෙන්නට පුළුවන. මද සිනාවෙන් වැතිර සිටි ඔබගේ මුවේ වු මන්දහාසය අමතක කළ නොහැකිය. ඔබේ ජිවිතයේ ඉතිරිය ඒ සිනාව පමණක් බව දනිමි. ඔබ සිනාව දුන් මිනිසෙකි. සතුට බෙදු මිනිසෙකි. තනිව දරා ගත් මිනිසෙකි.
සියල්ලන් ඔබට චෝදනා කලත් එවිට මම නිහඬ වෙමි. ඔබ වැරදි යැයි කියන තැන් වලද නිහඬ වෙමි. කවුරුන් කෙසේ කීවද ඔබ ආදරණිය මිනිසෙකු බව මගේ මතකය මට සාක්ෂි දරමින් තිබේ. ඔබ ඒ ආදරණිය බව ඉවත ලු බව දනිතත් එයට ඔබ වැරදිකරුවකු බව මම නොසිතමි. ඔබ වෙනුවෙන් වචන ගැලපීම අමාරු දෙයකි. මතකයන් තුළ පමණක් ඔබව රදවා ගන්නට නොහැකි නිසාවෙන්ද, හදවතේ වු වේදනාව පිට කර ගැනීමේ අටියෙන්ද අද ඔබට ලියමි. එහෙත් ඊටත් කලක මම ඔබ ගැන ලියමින් සිටියෙමි. ඔබ පොතක් ලිවිය හැකි තරමේ මිනිසෙකි. කථා පිරුනු සාගරයකි. එයින් ඔබ එක් වචනයක් හෝ කියවුවා නම්,
කෙසේ උවද ඔබ අද අපව හැර ගොසිනි.අම්මාගේ එකම සහෝදරයා වු ඔබ මගේ එකම මාමා වු ඔබ, අද නික්ම ගොසිනි.සහෝදරියන් හතර දෙනෙකුට එකම සහෝදරයා වු ඔබ, දු පුතුන් හත් දෙනෙකුට එකම මාමා වු ඔබ නික්ම ගොසිනි.ඔවුන්ගෙන් වැටෙන කඳුළු හා ශෝකය මුසු පුවත් මෙන්ම හසරැලෙන් පිරෙන ඔබ ගැන මතකයන් මම අසා සිටින්නෙමි. ඔබ හොර රහසේම, තනිවම කොහෙදෝ යන්නට සිත හදා ගන්නේ, අප නොසිතන මොහොතකය. ඔවුන් එය දරා ගන්නා හැටි ඔබ දන්නේ නම් හෝ දකින්නේ නම්, ඔබට ඔබේ හිතුවක්කාරි තිරණ ඉවත දමන්නට සිතෙන්නට පුළුවන. ඔවුන් ඔබව සිහි කරන අයුරු ඔබ දන්නේ නම් හෝ දකින්නේ නම් ඔබ ට ආදරය කරන හිත් දමා යන්නට සිතන්නේ නැත.
ඒ සියල්ල ඔබට අමාරු වන්නට ඇත. ඇත්තෙන්ම සියල්ල ඔබට අමාරුවන්නට ඇත. ඉවසීම ඔබට අමාරු වන්නට ඇත. තව දුරටත් දරා ගැනීම ඔබට අමාරුවන්නට ඇත. තව තවත් දුක සැඟවීමත්, නිතර සිනා සීමත් අමාරුවන්නට ඇත. ඔබ සියල්ල අත අරින්නට සැලසුම් කරන්නට ඇත. ඔබ ජිවිතය අත අරින්නට සිත හදා ගන්නට ඇත. ඔබ සැනසීම සෙවු තැනින් මාගේ ලෝකයේ නපුරුම දුෂ්ඨයා බිහිවු බව ඔබ දන්නේ නැත. මාමේ, ඔබ සියල්ලන්ටම වඩා නපුරු දුෂ්ඨයෙකි. එසේ නොවේ නම් ඔබ අපව රිද වන්නේ නැත. ඔබට නිවන් සුව යැයි මට කිසි විටක පැවසිය නොහැක. දුෂ්ඨ නපුරෝ, පුළුවන් නම් ආයෙම එන්න. එනකොට මගේ කුඩා කළ විරයා සහ ආදරවන්තයා පමණක් රැගෙන එන්න. අපව රැවටු බව කියමින් පුරුදු විදිහට හිනා වෙන්න. ඒ හොඳටම ඇති.
Sunday, March 22, 2020
මාර්තු විසි එක් වෙනි අඟහරුවාදා - 2020
Thursday, January 16, 2020
2020 උදාව
Friday, September 20, 2019
ඔබ ආතුරව නොහිඳින්න
Wednesday, August 21, 2019
හපුතලේ අතර මඟ
Thursday, August 1, 2019
ඡූලි විසි හත් වෙනි සෙනසුරාදා
Monday, July 8, 2019
යාත්‍රාට 100 යි
Thursday, May 2, 2019
එය මෙලෙස සිදු වුවා නම්
මිනිසුනි, ස්වර්ගය නම් මිහිමත, ප්‍රේමය අතින් ගෙන ඔබ ඇවිද ගියා නම්,
| ප්‍රේමය අතින් ගෙන ඔබ ඇවිද ගියා නම් |
| දෙවියන් ආදරයෙන් වැළඳ ගැනීම සඳහා දෙඅත් ලබා දුන්නේය. දෙවියන් ආදරයෙන් පුරවාලීම සඳහා හදවත ලබා දුන්නේය. |
ලේ තැවරුණු දෑතක ජයග්‍රහණයේ උදම් රේඛා නැත.
ජයග්‍රහණයේ සැමරීම් වල වැළපීම් නැත |
FourTwentyAMThought
මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...
-
ජුනි විසිහතර අදත් ඉර පැයුවේ වෙනදා විදිහටමයි. කිසිම වෙනසක් නෑ. මම ඒක දැන ගත්තේ වෙනදා වගේම මම නිදන ඇදට ඉහළින් තියෙන ජනේලෙන් වැටෙන ඉර ...
-
මගේ උස පහයි එකකි ඔබ ඊට අඟල් දෙකක් වැඩිය එහෙම බැලුවාම අපි ඉතා මිටිය ගොඩක් පුංචිය. ඇත්තම කිව්වොත් මේ ලෝකයම අපට වැඩියෙන් උසය. ඉතා ලොකුය....
-
වේදනාවන් කිසිම දවසක සදාකාලික වන්නේ නැහැ. කඳුලු වියැළි ගිය පසුව වේදනාවන්ද මතකයන් පමණකි. හදේ කොතැනක හෝ හීදි ඔබ නිදා නොනිදා මෙන්...


