මට හිතෙනවා මනුස්සයෙකුට මේ ලෝකේ ආදරේ නැතිව යනවා ආදරේ නොලැබෙනවා කියන්නේ ඒ මනුස්සයා හරියට ඇවිදින මළ මිනියක් වගේ වෙනවා කියලා. ඔයා එහෙම ඇවිදින මළ මිනියක් දැකලා නැත්නම් මේ මොහොතේ ඔයාට පුළුවන් මගේ දිහා බලන්න. ඔයා මාව දැක්කෝත් ඔයාට හරියටම තේරුම් ගන්න පුළුවන් ආදරේ නොලැබෙන ආදරේ නොලැබිච්ච ආදරේ නොකරන මනුස්සයෙක් කොයි වගේද කියලා. මම කියන්නේ දළ අදහසක් හරි ගන්න පුළුවන්. ඔව් සමහර විට දළ අදහසක් ගන්න පුළුවන් වෙයි. දළ අදහසක්.
මම දන්නෑ මේ ස්වයං පාපොච්චරණයක්ද එහෙම නැත්නම් තමන් ගැන කරන එක කතාවක්ද විතරද කියන්න. ඒ වගේම තමයි මම දන්නෑ මම පටන් ගන්න ඕන මගේ නමින්ද එහෙම නම් ඒ වාසගමින්ද නැත්නම් මගේ මැද නමින්ද කියලාවත්. මම දන්නවා මගේ නමින්වත් ගමින් වත් ඔයාට කිසිම ප්‍රයෝජනයක් නැහැ කියන්න. එහෙම නම් මගේ කතාවෙන් උනත් ඔයාට මම කියන්නේ මේක ස්වයං පාපොච්චරණයක් නම් එකෙන් උනත් ඔයාට ප්‍රයෝජනයක් නැති වෙයි. එහෙනම් ඔයා මේක කියවලා කරන්නේ මම මේක ලියනවා වගේම ප්‍රයෝජනයක් නැති වැඩක්. කිසිම ප්‍රයෝජනයක් නැති වැඩක්.
ඔයා දන්නවනේ මේක විශ්ව ගම්මානයක්. තනි ලෝකයක්. මහද්වීප හතක්. රටවල් නම් දෙසීයක් විතර. (මට සමාවෙන්න මම ඒක හරියට දන්නෑ. )තව දුපත් ගණනාවක්. සාගර හතක්, බිලියන හතක විසිරිච්ච මිනිස්සු. මමත් ඒ මිනිස් පොදියේ එක ම එක මනුස්සයෙක්, බිලියන හතක මිනිස්සු වගේම එහෙ මෙහෙ යන දුවන ඇවිදින. ඒත් ඔයා දන්නවා ද මට දැනෙනවා බිලියන හතක් දුවද්දි ඇවිදිද්දි මම එක තැනක නතර වෙලා ඉන්නවා වගේ. ( ඇත්තම කිව්වොත් මම ඉන්නෙත් අර බිලියන හතත් එක්ක දුවමින් ඇවිදිමින් තමයි.) ඔව් මට දැනෙනවා මම එක තැනක නතර වෙලා ඉන්නවා කියලා. මිනිස්සු බිලියන ගණනක් එක්ක එකතු වෙලා උන් වගේම ඇවිදිමින් දුවමින් ඉන්නකොටත් මට දැනෙනවා මම එක තැන නතර වෙලා ඉන්නවා කියලා. ඒ තමයි ආදරේ නොලැබෙන මනුස්සයෙක්ගේ විදිහ. තනිකරම එක තැනක නතර උන ජිවිතයක්. එකම එක තැනක නතර උන.
ඔයා දන්නවනේ වසන්ත,ගිම්හාන,සරත්,සීත. සෘතු හතරක්. මට මතක් කරන්න එපා සමකයට ඈතින් තියෙන රටවලට විතරක් බව. මොකද මම දන්නවා. සමකාසන්න රටක උනත්, අව්ව වැස්ස, එහෙම නැත්නම් සීත ග්‍රීස්ම කියලා හරි සෘතු වෙන් කරන්න පුළුවන් බව. ඔය ඕනම සෘතුවක් මිනිස්සු ට දැනෙනවා. සීත කාලෙදී මිනිස්සු උණුසුම හොයනවා, වසන්ත කාලේදී මිනිස්සු මිනිස්සු එළි පහළියේ ඇවිදනවා. ඔයා දන්නවා,වැස්සට කැමති මිනිස්සු, වැස්සට කවි ලියන මිනිස්සු, කතා ලියන මිනිස්සු, කෝෆි බොන මිනිස්සු, තුරුල් වෙන මිනිස්සු, උණුසුම් වෙන මිනිස්සු. මිනිස්සු සෘතු අතර සැරිසරද්දී සෘතුන් බෙදා ගිනිද්දි, එකම තැනක නතර උන කෙනෙකුට කිසිම සීතලක්, කිසිම උණුසුමක්, වැස්සක සිහිලසක්, කෝෆි කොප්පයක් මිහිරි සුවඳක් නොදැනෙන බව ඔයා දන්නවද? ඒ තමයි එකම තැනක නතර උන මනුස්යෙක්ගෙ විදිහ, ආදරේ නොලැබෙන මනුස්සයෙක්ගේ විදිහ. වර්ණ වෙනුවට ජිවිතේ එකම පාටකින් දකින ජිවිතයක්. මගේ ජිවිතේ පිරිලා තියෙන්නේ එකම පාටින්. අළු පාටින්.
ඔයා දන්නවනේ සුවපහසු සහ උණුසුම් ස්ථානයක්. ගෙදරක්. නිවසක්. නිවනක්. එය අභයභූමියක් වැනි තැනක්. උණුසුම් ආහාර පිසෙන තැනක්. කළුවරට එළි දැල්වෙන තැනක්. සිනහවන් ගැවසෙන තැනක්, කඳුළු පිහදැමෙන තැනක්, බදාගෙන වැළඳ ගන්නා තැනක්, දුම් දමන කෝෆි කෝපපයක් බෙදා ගන්නා තැනක්, සුමට තැනක්, නිවසක් පිරෙන්න ඕන එහෙම. ඔයා දන්නවද? අළු පාටින් පිරුණ කෙනෙකුට සුවපහසුව සහ උණුසුම කියන්නේ බිත්ති සහ වහලය පමණයි. සීතල බිත්තී, සහ ඝන වහලය ආරක්ෂිත පලිහක් පමණයි. එය නිවනක් නොවන නිවසක්. ජීවත් වීමට නොව පවතින්නට තැනක් විතරයි. හිස් කාමරවල නිශ්ශබ්දතාවය බිත්ති අතර දෝංකාර දෙන, කිසිවක් පැවතුනද කිසිවකු නොපවතින බව පෙනෙන තැනක්. කිසිවකු නොපවතින නිවසක් කිසිසේත්ම නිවසක් නොවන බව, උණුසුම්ව ආහාර නොපිසෙන, පොසිලෙන් පිඟන් එකට නොගැටෙන, බුමුතුරුණු වල පය නොපිසෙන, කේතලයක විසිල් හඬ නෑසේන, එය භෞතික ලෝකයෙ එක නවාතැනක් පමණයි. ආදරේ නොලැබෙන, ආදරේ නොලැබුණ එකම තැනක නතර උන අළු පැහැති මට භෞතික ලෝකයේ නවාතැනක් පමණයි, එක නවාතැනක් පමණයි.
ඔයා දන්නවනේ මලක් කියන්නේ ජිවිතය අලුත් විමේ සංකේතයක්. ජිවිතය වර්ණ ගැන්වීමේ සංකේතයක්. සුවඳ විහිඳවන මල්. සුන්දරත්වයේ පාට පිරුණ මල්. රතු පාට මල්. කහ පාට මල්. සුදු පාට මල්. වර්ණ අනුව විවිධ තේරුම් සහිත මල්. නව ජිවිතයක ආරම්භයේදී, සහ පැරණි ජිවිතයක අවසානයේදී ළඟින් හිදින්නේ මල්. එක මලක් හෝ මල් පොකුරක් වෙන්න පුළුවන්. රතු පාට සුදු පාට හෝ කහ පාට විය හැකි මලක් හෝ මල් පොකුරක්. නැතිනම් මේ සියළු වර්ණයන්ගෙන් මිශ්‍රව. ඔයා දන්නවද? ආදරේ නොලැබෙන ආදරේ නොලැබුණ එකම තැනක නතර උන අළු පැහැති මනුස්සයෙකුට නම් මල් කියන්නේ පෙති පමණක් බව. එහෙම නැත්නම් පෙති සහ පත්‍ර. සියල්ලම ශාක කොටස්. මලක වර්ණ සහිත සුන්දරත්වය මට දැනෙන්නේ නැහැ. පණ නැති දෙයක් ලෙස මිසක මලක සුවඳ මා තුළ කිසිදු හැඟීමක් ඇති කරන්නේ නැහැ. මලක විචිත්‍රවත් වර්ණ මගේ ලෝකය දීප්තිමත් කරන්නේ නැහැ. ආදරය නොලැබුණ, ආදරය නොලැබෙන මලක් යනු හැම කාලෙදීම එක්තරා කොටසක් පමණයි. පිපිලා පරවෙන. තවදුරටත් හදවතක් මත නොපිපෙන, සතුටක් හෝ බලාපොරොත්තුවක් ගෙන නොඑන. අළු පැහැති ජිවිතයක අගය කිරීමකට බඳුන් නොවන මමත් විසන්ධි වී ඇති ලෝකයේ තවත් කොටසක් පමණි. ඇබින්දක් පමණයි.
ඔයා දන්නවානේ අහසක්. අනන්තයක් වගේ. නිල් ආකාශ. දම් ආකාශ. අහස කොයි තරම් විශාල ද, නිමක් නැති සිහින සිතුවම් කරන්න පුළුවන් කැන්වසයක්. අහස කියන්නේ එහෙම දේකට. දහවලට වෙනම පැහැයක්. රාත්‍රීයට තවත් පැහැයක්. තරු පිරෙන අහසක්. සඳ පායන අහසක්. මොන තරම් සංසිද්ධි ගොඩක්ද, සතුටින් ඉතිරෙන මිනිස්සුන්ට අහස කියන්නේම කාව්‍යක්. නාට්‍යයක්. ගීතයක්. චිත්‍රයක්. මේ කුමක් හෝ විය හැකියි. ඔයා දන්නවද ලෝකයේ ඇබින්දක් තරමක කොටසක් පමණක් වු මනුස්සයෙකුට අහස හිස් වපසරියක් පමණක් බව. නිල් හෝ දම්, දහවල හෝ රාත්‍රීය වේවා සියල්ලම එක හා සමාන ලෙස දැනෙන. තවදුරටත් ආශ්වාදයක් ගෙන නොඑන , පුදුමයෙන් පිරවීමක් තවදුරටත් සිදු නොකරන. හිස්බව පමණක් පිළිබිඹු කරන. ඔයා දන්නවා මිනිසුන් අහස දිහා බලාගෙන සිහින දකිනවා. රාත්‍රීයට තරු අතරින් විශ්වයට සම්බන්ධයක්, සබඳතාවයක් හොයනවා. ඒත් අළු පැහැති ඇබින්දක් තරම් කොටසක් වු මට හිස ඔසවා අහස දිහා බැලූ විට හිස් බව හැර වෙන කිසිවක් පෙනෙන්නේ නැහැ. ආදරයක් නොලැබුණ, ආදරයක් නොලැබෙන මනුස්සයෙකුට අහස කියන්නේ අහසක් විතරයි. වචනයක් පමණක් උන. එහෙම අහසක් ආදරය නොලැබෙන මනුස්සයෙකුට ලෝකය ඉදිරියේ තමන් කොතරම් කුඩා හා නොවැදගත් දැයි යන්න සිහිපත් කරවන යමක් පමණයි.
ඔයා දන්නවනේ තුහින වැස්සක්. ඒ වැස්ස ප්‍රබෝධමත් විය යුතුයි, වැස්සක් කියන්නේ අලුත් වීමේ පොරොන්දුවක්. එහෙම නැත්නම් ජීවිතයක් පණ ගැන්වීමේ බලාපොරොත්තුවක්. මිදුම් සහිත දිනයක වැස්සක ගුළි වෙන මිනිස්සු. තුහින සීතලට පොරෝන බෙදා ගන්න මිනිස්සු. ජනේලයක් ඉස්සරහා වැස්ස දිහා බලාගෙන පොතක තනි වෙන මිනිස්සු. ඔවුන් වැස්ස විදින්න එක එක හේතු හොයා ගන්නවා. උණුසුම් දියර පානයක් පවා හොඳ හේතුවක්. එහෙම තමයි ආදරයෙන් පිරුණු මිනිස්සු. ඒත් ආදරය නොලැබුණ, ආදරයක් නොලැබෙන මනුස්සයෙකුට නම් වැස්ස කියන්නේ අහසින් වැටෙන වතුර බිංදු ටිකක් විතරයි. එහි සීතලක් දැනුනත් උදාසීන කරවන හැඟිමකින් හිත දියාරු කරවීමක් පමණයි. එහෙම වැස්සකින් පවා මගේ දුක, ආදරේ නොලබන මනුස්සයෙකුගේ දුක හේදිලා යන්නෑ. ආත්මයක් පිරිසිදු වෙන්නෑ. ඔයාට මිහිරි හැඟිමක් ගෙන එන වැස්ස මට තව තවත් හුදකලා බවක් තනිකමක් ගෙන එනවා විතරයි. මිනිසුන් වැස්සේ කවි ලියනවා. එහි රිද්මයෙන් පවා සැනසීමක් ලබා ගන්නවා. මම දකින්නේ අළු වලාකුළු සහ තෙත් වීදි පමණයි. එය හිසට සහ පාද වලට මහත් කරදරයක්. තෙත් බවත්, සීතලත් පීඩාවක්. ආදරය නොලැබුණ, ආදරය නොලැබෙන මනුස්සයෙකුට වැස්ස කියන්නේ වැස්සක් විතරයි. තවදුරටත් වැස්ස මට ස්පර්ශ කරන්න බැහැ. වියළි හදවතක් තවදුරටත් සිහිල් කරවන්න බැහැ. කොතරම් අකාරුණික බවක් දැනෙනවා උනත් අළු පැහැති දුරස්ථ මනුස්සයෙකුට තවත් එක දෙයක් පමණයි. එක අංගයක් පමණයි.
ඔයා දැන් දන්නවා ආදරය නොලැබෙන මනුස්සයෙක් මොන වගේද කියන්න. එහෙම මනුස්සයෙකුගේ මාර්ගය මොකක්ද කියන්න. වර්ණවලින් පිරවුණ ජිවිත මැද අළු පැහැයෙන් වර්ණාලේප උන, සැනසීමක් ලබා දිය යුතු නිවසක් මැද තනි උන, සතුට ගෙන දිය යුතු මල්, බලාපොරොත්තු තැබිය යුතු අහසක් සහ ආශ්වාදජනක වර්ෂාව - මේ සියල්ල අහිමි කර ගත් මනුස්සයෙක්.
ඉතිං මට හිතෙනවා මනුස්සයෙකුට මේ ලෝකේ ආදරේ නැතිව යනවා ආදරේ නොලැබෙනවා කියන්නේ ඒ මනුස්සයා හරියට ඇවිදින මළ මිනියක් වගේ වෙනවා කියලා. ඒ උනත් එහෙම මළ මිනියකට උනත් දවසකදී අවර්ණ පැවැත්මෙන් මිදීමට උවමනාවක් ඇති වෙන්න පුළුවන්, ඒත් නොහැකියාවෙන් ජීවිතය ඒකවර්ණයෙන් දකිමින් ඉන්නවා වෙන්නත් පුළුවන්. හරියටම මම එක තැනක නතර වෙලා හිර වෙලා ඉන්නවා වගේ.එහෙම තමයි ආදරේ නොලැබුණ, ආදරේ නොලැබෙන මිනිස්සු. කොතනක හරි හිර වෙනවා. සදහටම. කිසිම ගැළවීමක් නැතිව. හරියටම මම එක තැනක නතර වෙලා හිර වෙලා ඉන්නවා වගේ.
ආදරේ නොලැබෙන අය වගේම ලැබෙන බව නොදන්න අයත් ඉන්නවා. ඒ අයත් අර ගොඩටම තමා වැටෙන්නේ.
ReplyDeleteලැබෙන බව දැනෙන තරමට ආදරේ උවමනායි එහෙම මනුස්සයින්ට
Deleteමේකේ මැල්වෙයාර් එක්ක තියෙනවා. , පූසෙකුට ආදරේ නොදී බලන්න. ඌ යනව යන්න
ReplyDeleteඇත්ත
ReplyDelete