මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Monday, April 22, 2024

ඔබේ පැමිණීම

 "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?"


මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ වෙද්දීත් ඒ නකුටාගේ කන් වල  වහලා හිටපු කිනිතුල්ලෝ දෙතුන් දෙනෙක්ව ගලවලා අයින් කරලා තිබ්බා. අපි මෙතන නතර උනේ එක පාරටම කඩාගෙන වැටුණු වැස්සකට. ප්‍රතිභාට ඕන උනේ වැස්සේම ගමන යන්න උනත් මට ඕන උනේ නෑ යටකලිසම තෙමෙන තරමට වහින වැස්සේ තෙතබරියන් වෙන්න. ඉතිං වැස්ස යාන්තම් වැටීගෙන එනකොට ඉස්සරවෙලාම හම්බුණ රොටී කඩේ ගාව මම බයිසිකලේ නැවැත්තුවා. ඒ නැවැත්තිල්ලට ප්‍රතිභාගේ හිතේ කැමැත්තක් ඇති උනේ මේ නකුටු බල්ලා උගේ නකුටු නැට්ටත් වනාගෙන ප්‍රතිභාගේ ඇඟේ ඇතිල්ලෙන්න ගත්තට පස්සේ. මට අද ප්‍රතිභාව හම්බුණේ පළවෙනිවතාවට. අපේ පළමු හමුවීමෙන් පැය කීහිපයක් මේ වෙද්දි ගෙවීලා ඉවරයි. මට ප්‍රතිභාව දැනෙන බවක් මාස ගණනක් පුරා අපි අතර හුවමාරු උන කෙටි පණිවිඩ දුරකථන සංවාද වලින් මම තේරුම් අරන් තිබුණත් ප්‍රතිභාව මගේ මුළු ආත්මයටම දැනෙන බව, අපි පළවෙනි වතාවට මුණ ගැහිලා ගෙවිච්ච මේ පැය කිහිපය ඇතුළේ දී මම තහවුරු කර ගත්තා.

"මේ වගේ"

නකුටු බල්ලා ළඟ බිම ඇණ තියාගෙන ඌව හුරතල් කර කර හිටපු ප්‍රතිභා ඔළුව උස්සලා කෙළින්ම මගේ ඇස් දිහා බලාගෙන හිනාවෙලා දුන්න උත්තරේට මාව ගිනියම් වෙන්න ගත්තා.  ඒක ඇත්තටම ඒ උත්තරේ හින්දම නෙවෙයි, ඒ හිනාවෙයි ඒ ඇස් දෙකේ බැල්මයි මගේ හදවත උණුසුම් කෙරෙව්වා. ඒ වෙද්දිත් මම ප්‍රතිභාට, මගේ හදවත ප්‍රතිභාට ආදරේ කරන බව, ආදරේ කරන්න පටන් ගත්ත බව  මට තේරීලා තිබුණේ. ඒත් අපි කතා බහ කරන්න පණිවිඩ හුවමාරු කර ගන්න ගත්ත මුල් වතාවලදීම ප්‍රතිභාගේ කොන්දේසිය උනේ

" මට ආදරේ කරන්න හදන්න එපා. මම මැරෙන්න ඉන්න මනුස්සයෙක්"

පුංචි කෙටි පණිවිඩේකින් උනත් ප්‍රතිභාට මගේ හිතේ කැමැත්තක් ඇති වෙන බවක් ඇගෙව්වොත් ඒ හැම වතාවේදිම එයා ඒක මතක් කරලා පණිවිඩයක් එව්වා.

" මැරෙන්න ලේසියි, ඒත් ජිවත් වෙන එකයි අමාරුයි, ඇයි ඔච්චර හිතන්න පුළුවන් මනුස්සයෙක් වෙලත්  ඇයි ජිවත් වෙන්න ආයෙම උත්සහා නොකරන්නේ"

සමහර විට මම එහෙම යවන පණිවිඩේකට ආපහු උත්තර විදිහට කිසිම පිළිතුරක් නොඑව්වත් තප්පර ගානකට පස්සේ ආයෙ ම සම්බන්ධ වෙන්න බැරි විදිහට මාව බ්ලොක් කරලා දාන පුරුද්දක් එයාට තිබුණා. පහුගිය මාස පහ හයට මම කිප වතාවක්ම එහෙම බ්ලොක් වෙලා හිටියා උනත් එයා ආයෙම මට පැය ගානකට පස්සේ, දවස් කිහිපයකට පස්සෙ  කතා කරනවා. ඒක පුරුද්දක් විදිහට සිද්ධ උන දෙයක්.  අද මේ හමුවීම පවා එයාගේ උවමනාවට සැලසුම් උනත් අවසන් මොහොත දක්වාම කහ පාට ඇඳුමක් ඇඳගෙන ඇත්කඳ වෙහෙර ලඟට ඇවිත් කතා කරන වේලාව වෙනකම් ම මම විශ්වාස කරේ නෑ එයා මේ ගමන යන්න ඒවී කියන එක.  ප්‍රතිභාට හැමදේම එක මොහොතින් අවලංගු කරලා දාන්න තිබුණා හේතුවක් නොකියාම.

" මැරෙන්න හදන මනුස්සයෙක් මෙච්චර සතුටින් ඉන්නේ කොහොමද කියලද මහත්තයා කල්පනා කරන්නේ" ප්‍රතිභා නකුටු බල්ලව අත ඇරලා එහෙම කියාගෙන මගේ ඉස්සරහින් හිට ගත්තා. එයා නැගිට්ටේ මම බලාපොරොත්තු නොවිච්ච වෙලාවක, අපි දෙන්නා අතර දුර තිබුණේ මිලි මීටර් කිහිපයක්, එයා කොච්චර සරලව එහෙම ඇහුවත් බරට ගත්ත හුස්මක් ඇවිත් මගේ මුණ උණුසුම්ව සිප ගත්තා. මට වචන කිහිපයක් ගොත ගැහෙද්දී ප්‍රතිභා මෙච්චර වෙලාවක් ගාණක් නොතිබිච්ච වැස්සෙන් බේරෙන්න වගේ කඩේ ඇතුළට පැන ගත්තා. තවත් තත්පර ගාණකට පස්සේ මම දැක්කේ උණු තේ කෝප්පයක් අතේ තියාගෙන ඒක නිවා ගන්න තොල් වලට ලං කරන ගමන්, රොටී තැටිය ගාව හිටිය ගෑණු කෙනා එක්ක මොනවදෝ කියවමින් හිනා වෙන ප්‍රතිභාව. එයාට ඒ වේලාවේ මාව අමතක වෙලා තිබුණා හෝ මගේ ගැන කිසිම සැලකිල්ලක් නොදක්වන බවක් ඇගෙව්වා.

කොහොම උනත් මගේ හිත බර වෙමින් තිබුණේ, මම සියළුම දොස් වැස්ස පිටින් යැව්වා. ඒ සීතල හිරි පොද වැස්සට මම වෛර කරන බවක් හිතට දැනෙන්න ගත්තා. තද සීතල වෙනුවට මම මගේ ඇතුළතින් දැවෙමින් ගිනි ගනිමින් පිච්චෙමින් ඉන්න බව මට දැනුනා. මට ඕන උනා ප්‍රතිභාව මෙතන තනි කරලා යන්න. එකෙන් මේ දේවල් තව දුර අරන් යන්න නොදී නවත්තන්න කියලා හිතට බල කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසයක් මගේ හිතට දැනෙන්න ගත්තා. මම ආපහු වතාවක් ප්‍රතිභා දිහා බලද්දී එයා එයාගේ කැමරාවත් එක්ක කාර්ය බහුල වෙලා හිටියේ. එක පාරටම මගේ දිහා බලලා අහිංසක විදිහට හිනා උන ප්‍රතිභා ඊලඟ තත්පරේට මගේ පින්තුර කිහිපයක් ගත්තා.

"අපි යමු" ඊළඟ තත්පරේදී ප්‍රතිභා එහෙම කියාගෙන බයික් එක ළඟ. මට වෙන හෝ වෙන්න නියමිත කිසිම දෙයක් ගැන හිතා ගන්න බැරි උනත් මම එයාට නතු වෙමින් හිටියේ. ප්‍රතිභාට  ගමන එතනින් නතර කරන්න උවමනා වේලා තිබුණා. බයිසිකලේ නුවර පාරට හරවන්න නොදි ආපහු කුරුණෑගල පැත්තට හරවන්න කියද්දිත් මම ඒ ඇයි කියලා ප්‍රතිභාගෙන් ඇහුවේ නෑ. මට කතා කරන්න බැරි  තරමට වචන අමතක වෙලා තිබුණා කියලා ඒ වේලාවේදි දැනුණා.

අවසානේදී මම වචන හොයා ගත්තේ අපි අපේ ගමනාන්තයට ලඟා වෙන්න විනාඩි කිහිපයක් තියෙද්දී.

"ඔයා ඔයාගේ ජිවිතේ සංකිර්ණ කර ගන්නවා" මගේ ඒ වචන සමහර විට හුළඟේ ගහ ගෙන යන්න ඇති එයා නිශ්ශබ්දවම හිටියා. මෙච්චර දුරක් එනකම් මම එයා දිහා පැති කණ්ණාඩියෙන් බලමින් ආවත් එයාගේ මුණෙන් කිසිම දුකක් පසුතැවීමක් පෙනුණේ නෑ. මට පෙනුණේ හුළඟ  එක්ක හිනා වෙමින් ඒ හුළඟ එක්ක මිතුරුකමක් හදා ගන්න උත්සහ කරන ප්‍රතිභාගේ සියුමැලි සුදු මුණ විතරයි. ඒ කොයිතරම් ලෝභ හිතෙන පින්තුරයක් ද කියලා මම කල්පනා කළා මිසක් ඒ හැඟිම් වචන කරන්න විදිහක් දැනන් උන්නෑ.

"ජිවත් වෙන්න ඕන තරම් හේතු ඔයාට තියෙනවා, ජිවිතේ ඕනම දෙයක් පටන් ගන්න හැකියාවක් තියෙනවා, ඔයාට ඕනම කෙනෙක් ආදරේ කරයි, මේ මම උනත්, ඔයා ඒක විශ්වාස නොකළත්," එයාගේ නිශ්ශබ්දතාවය මට වචන එකතු කර ගන්න ශක්තියක් උනා. මේ හැම දෙයක්ම හුළඟේ ගහ ගෙන යන බව දැන දැනම මම හිතේ තියෙන හැම දෙයක්ම කියලා දානවා කියලා හිතා ගත්තා. සමහර විට ඒක එක විදිහක නිදහස් වීමක් වෙන්න පුළුවන් බව මට දැනෙමින් තිබුණා.

" ඇත්තටම මම ඔයාට ආදරෙයි, ඇයි අපිට බැරි එකට ගමනක් යන්න. ඔයාගේ ඔය විකාර අදහස අත ඇරලා. ඔයා නොදන්නවා උනාට ඔයා වටේ කොච්චර මිනිස්සු ඉන්නවද? ඔයා ලියන දේවලට ආදරේ කරන මිනිස්සු, ඔයාගේ පින්තුර වලට ආදරේ කරන මිනිස්සු, ඔයාගේ කතාවලට ආදරේ කරන මිනිස්සු.ඔයාගේ කවි වලට ආදරේ කරන මිනිස්සු, ඒ හැමෝටමත් වැඩියෙන් මම ඔයාට ආදරේ කරනවා. "

මගේ වචන නැවතුනේ අපි ගමනාන්තයට ආව නිසා. ඇත්කඳ වෙහෙර පේන මානෙදි බයිසිකලේ නතර කරන්න කියලා ප්‍රතිභා  මගේ උරහිසට තට්ටුවක් දැම්මා. මෙච්චර වෙලාවක් මම කියවපු වචන නිකම්ම නිකම් හිස් වචන ටිකක් බවට පත් වෙලා තිබුණා. මගේ හිත බර වෙමින් තිබුණේ. එයාට වැඩි උනන්දුවක් තිබුණේ නෑ ඒ වේලාවේ බයිසිකලෙන් බහින්න. ප්‍රතිභා විනාඩි ගාණක් එහෙමම හිටියා. විනාඩි පහ හයකට පස්සේ එයා හිමින් බයිසිකලෙන් බැහැලා මගේ ලඟට ආවා. තත්පර කිහිපයක් මගේ දිහා බලාගෙන ඉදලා මගේ වම් අත අල්ල ගත්තා. ඒ වේලාවේ මම හිටියෙ කොහෙ හරි අතරමං වෙලා. මම ප්‍රතිභා  දිහා බලන්න උනන්දුවක් නැතුවම එයාගේ අත් දෙකේ පැටළුන මගේ වම් අත දිහා බලාගෙන හිටියා. තත්පර කිහිපයක්ම. ඒත් මට ඒ කාලය පැය ගණනාවක්. ප්‍රතිභා හිමිට කතා කරන්න ගත්තේ මට එහෙම දැනෙමින් තියෙද්දි. සාමාන්‍යයෙන් ප්‍රතිභා ඒ විදිහට කතා කරන කෙනෙක් නෙවෙයි. වචන අස්සෙන් උගුර හිර වෙන එක වළක්වන්න හරි, ඉකි ගැහෙන එක වළක්වන්න හරි, එහෙම නැත්නම් ඇස් වලට කඳුළු උනන එක වලක්වන්න හරි එයා ඒ විදිහ තෝර ගන්න ඇති. මොන දේ උනත් ප්‍රතිභා ට  උවමනා වෙන්න නැතිව ඇති එයාගේ දුක හරි, කඳුළු හරි මගේ ඉස්සරහා පෙන්නන්න.

"සමහරවිට ඔයාට තාම තේරිලා නැතිව ඇති,  මම තව මනුස්සයෙක් එක්ක එකට ගමනක් යන එක ගැනවත්, තාවකාලිකව සතුටක් හොයාගන්න එක ගැනවත් තව දුරටත් කැමත්තක් නැති බව. ඔයාට හිතාගන්නවත් බැරි වෙයි ඒක මගේම පැවැත්ම සහ මගේ ගැන, මට ගන්න පුළුවන් කොයි තරම් සාධාරණ තිරණයක්ද කියන එක. මට කාත් එක්කවත් අරගලයක් නැහැ. ඒ වගේම මට කිසි කෙනෙකුගෙන් සාමයක් හොයාගන්නත් බෑ.  මට වේදනාවක් ඇති කරපු ලෝකයෙක් එක්ක  තවදුරටත් ආදරේ ගැන කතා කරන්න මට හිතෙන්නෑ. සමහර විට මම වැරදි ඇති. ඒත් ඒ වැරුද්ද පෙන්වලා දෙන මිනිස්සු ගැන හිතන්නවත් මට උනන්දුවක්, උවමනාවක් නැහැ. හෙට ඉර පායනවා කියලා අපි දන්නවා. මිනිස්සු ඒක අවිශ්වාස කරන්නෑ. මොකද අපි ජිවිතේ දකින්නේ ඒ දේ විතරයි. අපි ඒක විශ්වාස කරනවා.ඒ විශ්වාසය එක්ක බැඳීමක් හදා ගන්නවා. ඒත් මට ඕන එහෙම විශ්වාස කරන්න තරම් මිනිස්සු  බැදෙන ග්‍රහණයෙන් ඈත් වෙන්න. මගේම තීරණයක්  එක්ක නිහඬවම   සැනසීමක් අත් විඳින්නයි. මට මේ ජිවිතේ දී ලබා ගන්න ඉතුරු ඒ සැනසීම විතරයි"

මට හිතුනේ ප්‍රතිභාගේ ඒ වචන මගේ කන් වලට ඇහෙන් නැතුව හුළඟේ විසිරිලා ගියා නම් කියලා. මම එහෙමම විනාඩි ගාණක් බයිසිකලේ වාඩි වෙලා හිටියා. ප්‍රතිභා  යන්න ගියා. මම වචනයක් කියන්නත් කලින්ම. කොහොම උනත් මට කියන්න තරම් වචනයක්වත් හොයා ගන්න බැරිව හිටියේ. තවත් විනාඩි කිපයක් ගත උනාටත් පස්සේ මම පියවි සිහියට ආවේ මගේ දුරකථනය නාද වෙන්න පටන් ගත්ත නිසා. දුරකථනයට පිළිතුරු දෙන අතරේදි මම දැක්කා ප්‍රතිභාගේ කැමරා බෑග් එක පිටි පස්සේ ශිට් එක උඩ තියෙනවා. මම ප්‍රතිභාගේ අංකය ඇමතුවත් එයා දුරකථනය ක්‍රියා විරහිත කරලා තිබුණා. මම තව දුරටත් උත්සහා කිරිමේන් පලක් නැහැ කියලා මට තේරුම් ගැන්නුවේ, මගේ කන් ඇතුළේ දෝංකාර දුන්න එයාගේ අන්තිම වචන ටික. හදවත ඇතුළෙන් රස්නයට පිට වෙච්ච හැඟිමක් කඳුළක් වෙලා වැටෙද්දී මමත් මගේ දුරකථනය ඒ මොහොතේම විසන්ධි කරලා දැම්මා.


.................................................................................................................
.................................................................................................................
.................................................................................................................


⁣" මේ ෆෝන් එක ඔයාගේද? "

සත්සරණි  බඩත් උස්සන් පැද්දී පැද්දි මගේ ලඟට ආවේ ෆෝන් එකට හිනා වේවි.

" ඔයා fb නෑ කිව්වට ඉස්සර මේ ඉදලා තියෙන්නේ," "ඔයාගේ නේද මේ එකවුන්ට් එක"
"මොකක්ද අනේ ඒකේ නම ඇත්තට"
"සන්තියාගෝ නම් සැරිසරන්නා, ඉස්සර ට්‍රැවල් කරපු නිසාද ඒ නම දා ගත්තේ"
" මම නිකං ඔන් කරලා බැලුවේ අනේහ්"
" මං මේ ඉඳිකට්ටක් හොයන්න අර පෙට්ටිය අදිද්දි හම්බුනේ, ඔයාගේ වෙන්නැති කියලා නිකමට ඔන් කරේ" 
" ආ මේ ඔයා කඩේ යනවා කිව්වා නෙහ්, අම්මා කිව්වා පොල් තෙලු යි පහන් වැටී ගේන්න කියලා, හවස බෝධි පුජාවට යන්න. ආ ඔයත් එනවානේ හ් හවස"

සත්සරණි ෆෝන් එක මගේ අතට දෙන ගමන් අහපු ප්‍රශ්න වලට කිසිම උත්තරයක් බලාපොරොත්තු ⁣උනේ නැතුව ම, මට වචනයක්වත් කියන්න තරම් කාලයක් නොදිම ආයෙම ගේ ඇතුළට ගියා. මේ අවුරුදු එක හාමරම ⁣සත්සරණි⁣ගේ හැසිරීම එහෙමයි.
මගේන් දාහක් දේවල් ඇහුවත් ඒ කිසිම දේකට උත්තර බලාපොරොත්තු නොවී හිටියා. එහෙම දෙයක් ඇහුවත් එයා ඒකට මගේ උත්තරේ දැනගෙන හිටියා වගේ හැසිරුණා. ඇත්තටම එයා මගේ උත්තර දැනගෙන ඉන්න ඇති.  ඒකට හේතු උනේ මම උත්තර නොදීම ද එහෙම නැත්නම් එයා උත්තර බලාපොරොත්තු නොවුන එකම ද කියලා මම මෙච්චර කාලයකට හිතලා තිබ්බේ නෑ. සමහර විට මම නිහඬ පුද්ගලයෙක් විදිහට එයා දකින්න ඇති, සත්සරණිගෙයි අම්මාගෙයි හිනාවල් ඇහෙන්න ගත්තා කාමරෙන්, අම්මාගේ යාලුවෙකුගේ දුවක් වෙච්ච සත්සරණි අම්මාගේම යෝජනාවකින්  ගෙදර ලේලි වෙලා ආවා. මගේ බිරිඳ වෙලා ආවා. අම්මයි සත්සරණි දවස ගත කරේ එයාලටමවෙන් වේච්ච ⁣එක ලෝකේක. ඒත් අපි අතර ලෝක දෙකක් තියෙනවා නේද කියලා මට දැනුනේ ආයෙම දෙන්නා හිනා වෙන සද්දේ ඇහුණ නිසා. ඒක තාත්තාගේ විහිළුවක්. මගේ හිත බර වෙන්න ගත්තා. මට අයිති නැති ලෝකයක් මේ ගෙදර ඇතුළේ ගොඩ නැඟිලා තියෙනවා කියන්න  මට දැනුනෙත් ඒ වේලාවේ.

ඒ හිතේ බර ගතියෙන්මයි මම "ප්‍රතිභා දිව්‍යාංජලී" කියලා ප්‍රතිභාගේ නම සර්ච් කළේ. කැමාරව අතින් අරන් කණ්නාඩියට හිනා වෙලා ඉන්න කළු සුදු පින්තුරේ එදා විදිහටම තිබුණා. කිසිම වෙනසක් නැතිව. එහෙම වෙනස් කරන්න  උවමනාවක් වෙන්න නැතුව ඇති කියලා දැනෙද්දි මගේ අතයි හිතයි වේව්ලන්න ගත්තා. ෆෝන් එක ඔෆ් කරලා පැත්තකින් තියන්න හිතුවත් මොකක්දෝ හිතෙන් ආව බල කිරිල්ලකට මට ප්‍රතිභාගේ පින්තුර දකින්න ඕන උනා. මට හම්බවුන පළවෙනි සටහන මීට අවුරුදු දෙකකට කලින් දිනයක් සටහන් වේලා තිබුණා.  ඒ එයාගේ අන්තිම සටහන වෙන්න ඇති. ඒත් ආයෙමත්  මගේ හිත ඒ සටහන කියවන්න බල කළා. මොන දේ උනත් ඒක හිතට දරා ගන්න පුළුවන් නිහඬකමක් මේ අවුරුදු දෙක තිස්සේ  හිත ඇතුළේ ගොඩ නැඟිලා තිබුණා.

"මම ගත්ත සමහර තීරණ වෙනස් නොවන බව සහ වෙනස් නොකරන බවට දිවුරා පෙරොන්දු දුන් අවස්ථා  මගේ ජීවිතයේ තියෙනවා.  එහෙම, දැඩි තීරණ  හදවත  තුළටම කිඳා බැස ඇති අවස්ථාවක උනත්, මගේ පැවැත්ම වෙනුවෙන් ම, ජිවිතය ජිවත් කර විය හැකි තරම් පැවතීමේ ආශාවන්ගේ දිශාවට ජිවිතය තල්ලු කරන්නට වන අවස්ථා, එහෙම නැත්නම් දැඩි හෝ සෘජු තීරණ වඩාත්  මෘදු හා මොළොක්  තීරණයක් දක්වා මාරු කරන ලෙස හදවත ඉල්ලා සිටින දුර්ලභ අවස්ථා ජිවිතේ ට උදා වෙන්න පුළුවන්. ඒක එක්තරා කුණාටුවක් මැදින් ගමන් කරලා අවසානයේ කුඩා නීල වර්ණ දුපතක් සොයා ගන්නවා වගේ හැඟිමක්. මම පසුගිය දවස් කිහිපය ගත කරමින් සිටියේ එවන් කැළඹිමක් සහිත කුණාටු සාගරයක.  කැළඹිලි සහිත සාගරක් වගේ හදවතක් දරන ගැහැනියක් එක්ක, වරින් වර වෙනස් වෙමින්  කුණාටු ස්වරූප ගන්නා හදවතක් සහිත ගැහැනියක්  එක්ක වඩාත් කරුණාවෙන් යුතුව නිර්භීතව ගමන් කිරීමට ධෛර්යය ඇත්තේ ආත්මීය හදවතක් සහිත  පුද්ගලයෙකුට පමණක් බව ඒ කුණාටුව මැද්දේ දී මට අවබෝධ කර ගන්න පුළුවන් උනා. හරිම සරළ කාරණාවක් වගේ.

පහුගිය දවස්වල මගේ ආත්මයම වසාගෙන පැතිරුණ   නිහඬ කෙඳිරිලික්, මට ඒත්තු ගැන්නුවා, ආත්මීය  මනුස්සයෙක්  එක්ක අත්වැල් බැඳගෙන මේ ගමන නිමා කිරීම කොයි තරම් සැනසිලිදායක විය හැකිද යන වග. සීතලම මීදුම පිරුණු පාරක, කොයි තරම් නම් උණුහුම් විය හැකිද යන වග.  වැසි සහිත දහවලක පවා  පෙරන ලද කෝපිවල සුවඳ විඳිම කොයිතරම් නැවුම් හැඟිමක් විය හැකිද යන වග. බෙදාගත් කෑමක්  අනාගෙන කවා ගැනීම කොයිතරම් මෘදු හැඟිමක් විය හැකිද යන වග, නිස්කලංක නිවහනක ආදරණීය සුරතලකු  වැලඳ ගැනීම කොයි තරම් ආදරණිය විය හැකිද යන වග. මහ රෑක මැදියම තුරුළුව කඳුළු පිහදමමින් බාල බොළඳ සිනමා පටියක් නැරඹිම කොයිතරම් ප්‍රේමණිය විය හැකිද යන වග. බඳා වැළඳ ගනිමින්, හාදු තවරමින් යන ඉතා දුර ගමනක් කොයි තරම් සුරක්ෂිත විය හැකිද යන වග.මේ සියලු ආශාවන්, බලාපොරොත්තු මේ වන විටත් මගේ හදවත තුළ නැංගුරම් ලා අවසානයි.

  මෙය මම පාපොච්චාරණය කරන්නට ලියමි ,  සිහින දැකීම  වරක් මා සහ මගේ හදවත භීතියකින් පුරවා තබා තිබුණි. නමුත් දැන්, ඔබ ඉදිරියේ, සිහින ඉටු විය  හැකි බවක්, සිහින ඉටු වන බවක් දැනෙමින් මගේ හදවත ප්‍රිතියකින්, ප්‍රේමයකින් බැබලෙන්නට පටන් ගෙන ඇති බව ඔබට මෙලෙසින්  පාපොච්චාරණය කරමින් ලියමි.  ඔබේ පැමිණිම,  ඔබේ ස්පර්ශය, මගේ  හදවත  තුළ  මට මා අයිතිය යන  හැඟීමක් ඇති කරවන්නට සමත් වී අවසන්. ඒ හැඟිම ලෞකික සීමාවන් ඉක්මවා යන ගැඹුරු සම්බන්ධයක් බව හදවත මට ප්‍රති උත්තර දෙයි.  එය හරියට තර්කයට සහ තර්කයට පටහැනිව නොබිඳිය හැකි බැඳීමක් ඇති කර ගනිමින් අපගේ ආත්මයන් එකට බැඳීමට නියමිත වූවාක් මෙනි.

  මගේ කැමරාවේ කාචයෙන් ඔබේ රූව කාචගත කර ගත් අවස්ථාවේ, මම ඔබේ  සුන්දරත්වය තුළින් මගේම විය යුතු යැයි බල කරමින් කියන ඕබේ හදවත සමඟ අනුනාද වන ඔබේ ගැඹුරු දෑස්  දුටුවෙමි.  එදා මම මගේ කැමරාව ඔබ ළඟ හිතා මතා ම අත හැර දමා ආවාත්, නොදැනුවත්වම එදා මම ඔබට  මගේ  හදවත ද බාර දී ඇත. ඔබ කෙරෙහි වූ මගේ ආදරය මා තුළ ජිවිතයෙන් නික්ම යාම ප්‍රතික්ෂේප කර, බලාපොරොත්තුවේ දැල්ලක් දල්වා ඇති බව ඔබ දැන ගත යුතුයි.

  ඉතින්, මම හුස්ම හිරකරගෙන,  අපේක්‍ෂාවෙන් හදවත පුරවා ගනිමින් ඔබට ලියමි. ඔබේ දෑතට වාරු වී, ඔබ සමඟ ජීවන ගමන එක්ව යාමට මා බලා සිටින වගත්, වරක් ළඟා විය නොහැකි යැයි පෙනුණු සිහින වැලඳ ගැනීමටත් මා තුළ දැඩි ආශාවක් ඇති කරමින්, මගේ වෙහෙසකර ආත්මයට නව ජීවයක් ලබා දුන්නේ ඔබේ ආදරය බව නොසගවා ලියමි. තවමත් අමනාපයෙන් නොවේ නම්, ඉතිං ඔබ මා අමතන තුරු ආදරෙන්............

මට තව දුරටත් ඒ සටහන කියවගෙන යන්න පුළුවන් කමක් තිබුණේ නෑ.  ඒ ඇස්වලින් වැටෙන කඳුළු නිසාවත්, හිත තද උන නිසාවත් නෙවෙයි, "ප්‍රතිභා දිව්‍යාංජලි" කියන නමත් එක්ක කැමරාවක් අරන් කණ්නාඩියට හිනා වෙලා ඉන්න කළු සුදු පින්තුරේ උඩ පුංචි කොළ පාට එළියක් දැල්වෙන්න ගත්ත බව දැක්ක නිසා.  මගේ වෙව්ලන ඇඟිලි වලින්  ඒ මොහොතේ දී ම දුරකථනය  ක්‍රියා විරහිත උනා.





2 comments:

  1. මම මේකට කැමතියි. හුරුපුරුදු, දැනෙන ගතියක් තියෙනවා. තව මේ වගේ ඒවා ලියන්න!

    ReplyDelete
  2. මතු පිටිින් පෙනෙනවාට වඩා සංකීර්ණ සිතුවිළි මතුකරන නිර්මාණයක්. පුංචි ගැටළුවක් වගේ පෙනෙන්නේ ක්ෂණික අතහැර දැමීම කථකයාගේ චරිත ස්වභාවය හා සැසඳෙනවද කියන එක.

    ReplyDelete

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...