කපරාරුව විතරක් අතුල්ලපු හතරුස් කණුවට පිට දිලා කොට බිත්තියේ වාඩි උනාම මට පුළුවන් කම තිබුණා අහස දිහා වරු ගාණක් බලාගෙන ඉන්න. මම ආදරේම කරන රූප එකින් එක ඒ වෙලාවට අහසේ ඇන්දා ඇස් වලින්.ඒ හැම රුපයක්ම පාට කරන්න ඒ රුප වලට ආවේණික වේච්ච පාට පිරිලා තිබුණේ මගේ හිතේ. එහෙම එක එක රූප පාට කරන වේලාවට මම ඉල්ලන්න ගත්තා විශ්ව මැවුම්කාර දෙවියන්ව මට දවසක මුණ ගස්සවන්නය කියලා. මේ රූප වලට තවත් මදි අඩුපාඩු වෙච්ච වර්ණ මට එතකොට උන්වහන්සේගෙන් ඉල්ල ගන්න පුළුවන් වෙවී. දෙවියන් වහන්සේ මොකක්දෝ හේතුවකට මිනිස්සුන්ව පාට ගන්නලා තිබුණේ සුදු පාටයි කළු පාටයි තව ඒ අතරමැද්දේ එහෙට මෙහෙට අඩු වැඩි වුණ පාටවලිනුයි විතරයි.
" මං දන්නවා හොඳටම මේරි ඇග්නස් කීයටවත් එයාගේ පාටට කැමති නෑ. ඇයි ඔබ වහන්සේ මේරි ඇග්නස්ට මේරි ඇග්නස් කමැති පාටක් නො දුන්නේ. මම පිළිගන්නවා කළු පාට හැම මිනිහෙක්ටම ලස්සන හිනාවක් තියෙනවා කියන්න. එත් මේරි ඇග්නස්ට වගේම කළු පාට හැම මනුස්සයෙකුටම හුඟාක් වේලාවට හිනා වෙන්න අමතක වෙනවා. ඔබ වහන්සේට ඒක කවමදාවත් දැනිලා නැත්නම් මේ අහන්නකෝ, මේරි ඇග්නස් එයාගේ පාටට කැමති නෑ. මමත් කැමති නෑ. මම ඔබ වහන්සේගෙන් ඉල්ලන්න ආවේ මේරි ඇග්නස්ට දැන් හම්බුවෙන්න ඉන්න බබාටවත් අඩුම තරමේ කළු පාට නොදෙන්න කියන්නයි. අනේ දෙවියන් වහන්ස අඩලා වරුවක් ගියත් වේලුණු කඳුළු පාරවල් මුණේ පේන මේරි ඇග්නස්ගේ පාටමයි මට තියෙන්නේත්. අපේ අලුත් බබා හිනා වෙනකොටයි අඩනකොටයි ලස්සනට ඉන්න ඕන. දෙවියන් වහන්ස අහන්නකෝ අපේ අලුත් බබාට සුදු පාට විතරක් දෙන්න"
ගීතිකා කණ්ඩායම පල්ලියේ ජනප්‍රියම ගීතිකාවේ අවසන් කොටස ගයද්දීත් මම උන්නේ අලුත් බබා ගැන දෙවියන් වහන්සේට කිය කියා. මම ගීතිකා කණ්ඩායමේ හිටියේ ගීතිකා කියන්න මට පුළුවන් කමක් තිබ්බ හින්දා නෙවෙයි. මාත් එක්ක දොළහක් වුන ගීතිකා කණ්ඩායම එතකොට ලස්සනට පෙනුන හින්දා. මට තිබුණේ කවුරුවත් කැමති වෙන විදිහේ කට හඬක් නෙවෙයි. ඒ හඬට දෙවියන්වහන්සේ උනත් කැමති වෙයිද කියලා මට සැකයි. මේරි ඇග්නස්ට හොඳටම තරහා ගිය වේලාවට "කට වහපන් " කියලා කිව්වාට මේරි ඇග්නස් දුකකින් නම් " කට පියන් හිටපන් දරුවෝ" කියන්නයි පුරුදු වෙලා තිබුණේ. කලාතුරකින් දවසක මේරි ඇගනස් මාව එයාගේ ළගට අරන් තුරුල් කරගෙන කැරළි කොණ්ඩේ ඉඹින්න ගන්නවා. ඒ පොඩ්ඩේදී මගේ කට හෙළවුනොත් කිව්වේ " දැන් රෑ වෙලා, කට වහගෙන නිදාගන්න භානු" කියලා. මට හිතිලා තිබුණේ මේරි ඇග්නස් මගේ කටහඬ ට කැමති නැති විත්තිය. එත් මේරි ඇග්නස් අකමැති හඬක් මට දුන්නාට දෙවියන් වහන්සේට මම දොස් කියන්න ගියේ නෑ. ඒ වුනාට මම කවදාවත් කට ඇරලා ගීතිකා කිව්වේත් නෑ. කොහොම උනත් මම දෙවියන් වහන්සේට අන්තිමේදි පොරොන්දු උනා අලුත් බබාව අහසේ ඇදලා පෙන්නන්න.
මම අලුත් බබාව අදින්න ගත්ත වෙලාවේ ඉදන්ම මගේ හිතට ආවේ චන්ද්‍රපාල. බබාගේ පින්තුරේට කලින් මම චන්ද්‍රපාලව ඇන්දා. ඉර බැහැගෙන යමින් තිබුණ හින්දා අහස රතු පාටට හුරු තැඹිලි පාටක් ගත්තා. එයින් තැඹිලි පාට චුට්ටක් චන්ද්‍රපාලගේ ඇස් වලට වැටීලා ඇස් ලේ පාට වුණා. "පිරිමියෙක් හුඟාක් අඩපුවාම තමයි ඔය විදිහට ඇස් බොර පාට වෙන්නේ" කෙහෙන්දෝ ආපු වචන ටිකකින් මගේ හිත බර වෙලා තිබුණේ. මම ආයෙම චන්ද්‍රපාල දිහා බැලුවා. චන්ද්‍රපාලගේ මුදු ගැහුණු කැරලි කොණ්ඩේට ඉර රැස් මදක් වැටිලා දිලිසෙන්න ගත්තා. හිතුවක්කාර හුළඟක් ඇවිල්ලා මගේ කොණ්ඩේ අැවිස්සුවා. මම අත්දෙකින්ම කොණ්ඩේ අල්ලන් ඉද්දී ඒ හුළඟ එක්කම ආපු ලුණු සුවඳ වැලි කැට ඇහේ වැඳිලා ඇහැ දන්න පටන් ගත්තා. එදා මම හොඳටෝම ඇඩුවා. මීට තුන් හතර මාසෙකට කළින් මට චන්ද්‍රපාලව හම්බුණේ නැත්නම් කියලා ඒ වේලාවේ දී මම හිතුවා. මේරි ඇග්නස්ගේ කාමරේ පරණ පොතක් අස්සේ තිබිලා චන්ද්‍රපාලව මම හොයා ගත්තේ මේරි ඇග්නස්ගේ කාමරේට මාව දලා වහපු වේලාවේ. එහෙම කළේ ජොසලිනාම්මා. ජොසලිනාම්මා එහෙම කළේ ගමුවේ තිබුච්ච පැල්ලම දැකලා. කොහොම හරි ඒ වෙලාවේ මේරි ඇග්නස් ගෙදර හිටියේ නැ. මේරි ඇග්නස් එදා ගෙදර ආවේ කළුවර වැටුණාටත් පස්සේ එයා කාමරේ දොර ඇරපු වේගෙට ඇඳේ නිදාගෙන හිටපු මම ගැස්සුනා. ඒ ගැස්සිච්ච පාරට දින කාඩ් එකක් වගේ වෙච්ච චන්ද්‍රපාලගේ පින්තුරේ මගේ අතේම පොඩි වෙලා ගියා.
මම ආයෙමත් අහස දිහා බැලුවා. ඒ අහස මහා සටනකින් තමන්ගේ රජතුමා පැරදිච්ච රැජිනක වගේ මා දිහා බලන් හිටියා. චන්ද්‍රපාලගේ රූපේ අහසින් මැකි යමින් තිබුණා. ඉතුරු වෙලා තිබුණේ මුදු ගැහුණු කැරලි කොණ්ඩේ විතරයි. ඒ අතරින් තරු එකින් එක පායන්න පටන් අරන්. එ්ත් රැජිණගේ තිබුණ වෙහෙස අහසින් මැකිලා ගිහින් තිබුණේ නෑ. අන්තිම වතාවටත් මම අහස දිහා බලනකොට චන්ද්‍රපාල කොතනකවත් පෙන්න උන්නෑ.
"මම හිතාගෙන හිටියේ මම ඔබ වහන්සේගේ දරුවෙක් නෙවෙයි ය කියලා. එත් දැන් මම දන්නවා ඔබ වහන්සේට මේ භානු කියන හැම කතාවක්ම ඇහෙනවා කියන්න. අනේ දෙවියන් වහන්ස මම නොකිවයුතු දෙයක් ඔබ වහන්සේට කිව්වනම් දවසක ඒ ගැන මට සමාවෙන්න. අහන්නකෝ මට කියන්න ඕන ඔබ වහන්සේට ස්තුතී කියලා. අපේ අලුත් බබාව මට එකම එක පාරක්වත් ඔබ වහන්සේට ඇදලා පෙන්නන් බැරි උනාට බබා මම කියපු විදිහටම සුදු පාටට ඉන්නවා. ඇත්තටම මම බයෙන් හිටියේ බබාත් මමයි චන්ද්‍රපාලයි වගේ වෙයි කියලා. එහෙම නැත්නම් මමයි මේරි ඇග්නසුයි වගේ කළු පාට වෙයි කියලා. ඔබ වහන්සේට ස්තුතී අලුත් බබා ඔබ වහන්සේගේ දරුවෙක් වගේ ලස්සනට ඉන්නවා. ජොසලිනාම්මාත් කිව්වා අලුත් බබා ව අපිට දුන්නේ දෙවියන්වහන්සේ කියලා. අනේ අහන්නකෝ ඔබ වහන්සේට ස්තුතී."
අලුත් බබා මුලින්ම මා එක්ක හිනා වෙන්න ගත්තා. මේරි ඇග්නස් බබා ගැන කිසිම සැලකිල්ලක් නොදක්වන්න නොදක්වන්න බබා මාත් එක්ක වැඩිපුර හිනා උනා. මම එයාව මගේ ඔඩොක්කුවේ තියාගෙන අහසේ රූප ඇන්දා. මුලින්ම චන්ද්‍රපාල. ඊළඟට අලුත් බබා. චන්ද්‍රපාලයි මමයි බබයි අතරේ කොයි තරම් වෙනස්කම් තිබුණත් අපි ඒවා ගණන් නොගෙන ඉන්න හැදුවා. බබා ආව දවසේ ඉදලා චන්ද්‍රපාලගේ මුණේ තිබුණේ පාණ්ඩු පාටක්. මුණේ ලේ ඔක්කොම හිඳිලා ගිහින්. රතට හුරු තැඹිලි පාට අහස චන්ද්‍රපාලගේ මුණ ලේ පාටට හරවන්න හැදුවත් චන්ද්‍රපාල හිටියේම මුණ එල්ලගෙන. මම චන්ද්‍රපාලගේ මුණ හිනාවකින් අදින්න හදන හැමවෙලාවේම බබාගේ හිනාවකින් චන්ද්‍රපාලගේ හිනාව යටපත් වෙලා මැකිලා ගියා. චන්ද්‍රපාල එන්න එන්නම මුරණ්ඩු වෙලා අහසට නැවිත් ඉන්න කොට බබා හයියෙන් හිනා වෙන්න ගත්තා. ටික දවසක් චන්ද්‍රපාල අහසිනුත් මගේ හිතෙනුත් හුඟාක් ඈතට ගිහින් තිබුණා. බබා මගේ කටහඬ ඇහෙන හැම පැත්තකටම ඇස් හරව හරවා හිනා වෙන්න ගත්තා.
" ඔබ වහන්සේ ඔය තරම් අකාරුණික ඇයි කියන්න මම දන්නෑ. එත් දෙවියන්වහන්ස ඔබ වහන්සේට කිසිම හේතුවක් නෑ බබාව අපෙන් ඈත් කරන්න. ඔබ වහන්සේට යුතුකමක් තිබුණා මේරි ඇග්නස්ට කරුණු පැහැදිලි කරලා දෙන්න. ඉවසන්න ඕන තරමට ඉවසන්න කියලා දෙන්න. අඩන්න ඕන තරමට අඩන්න කියලා දෙන්න. හිනා වෙන්න ඕන තරමට හිනා වෙන්න කියලා දෙන්න. අඩුම තරමේ කියලා දෙන්න තිබුණා ගැණු වෙච්ච අපි මේ හැමදේකටම මුණ දෙන්න ඕන විදිහ. ඔබ වහන්සේ ඒ කිසිම දෙයක් මේරි ඇග්නස්ට කියා නොදි මොන විදිහේ සැලැස්මක්ද එයාට පෙන්නුවේ. අනේ දෙවියන් වහන්ස අපේ අලුත් බබා අරන් ගිය අයගෙන් ඉල්ලන් එන්න. ඒක එහෙම නොවුනොත් හෙට ඉදන් ගීතිකා කණ්ඩායම කැතට පෙනෙන එක වලක්වන්නවත් ඔබ වහන්සේටත් බැරි වෙවී. අනේ දෙවියන් වහන්ස ඔබ වහන්සේ අහගෙන නේද ඉන්නේ."
හුඟාක් කාලෙකට පස්සේ මේරි ඇග්නස් මාව එයාට තුරුල් කර ගත්තා. එතකොටත් මගේ ඇස් වලින් කඳුළු බේරි බේරී තිබුණේ.
"දුකින්ද" මේරි ඇග්නස් මගෙන් ඇහුවේ හරියට එයා කවමදාවත් දුක් වෙලා නෑ වගේ. එයා බබාව එහෙම් පිටින්ම අමතකම කරලා දාලයි උන්නේ. එත් මේරි ඇග්නස්ගේ මුණ අළුපාට හැන්දෑ අහසක් වගේ හිනාවක් තිබුණේත් නෑ. මට "ඔව්" කියලා උත්තර දෙන්න ඕන උනත් මම සද්ද නොකර හිටියා. මේරි ඇග්නස් ගාව එහෙම ඉන්නයි මම පුරුදු වේලා තිබුණේ.
" මේක ඇන්දේ ඔයාද"
ජොසලිනාම්මා මාව මේරි ඇග්නස්ගේ කාමරේට දාපු දවසේ රැයක් පුරාවට මම ඇඳපු චිත්‍රයක් මේරි ඇග්නස්ගේ අතට පත් වෙලයි තිබුණේ. එ් වේලාවෙත් මට "ඔව්" කියලා උත්තර දෙන්න ඕන උනත් කළින්ටත් වඩා හයියෙන් මට ඇඬෙන්න ගත්තා.
මේරි ඇග්නස් මාව එයාට තුරුල්කර ගත්තා. මගේ හුස්ම හිර වෙලා මාව මැරිලා යයි කියලා හිතුනත් මේරි ඇග්නස්ගේ පපුවේ උණුසුමත් එක්ක මගේ කදුළු වේලිලා ගිහින් මට පහසුවක් දැනෙන්න ගත්තා. මේරි ඇග්නස් මගේ මුදු කැරලි කොණ්ඩේ හිමින් සිරුවේ ඉම්බා. පින්තුරේ උන්නු චන්ද්‍රපාල හිනා වෙනවා මට පෙනුනේ ඒ වෙලාවේ. ඒ හිනාවට චන්ද්‍රපාල හරිම හැඩට පෙන්න ගත්තා. මේරි ඇග්නස් එයාගේ ඇගිලි වලින් චන්ද්‍රපාලගේ මුදු කැරළි කොණ්ඩේ ඇල්ලුවා.
"තව ටිකක් දුඹුරු කරන්න"
මේරි ඇග්නස් කිව්වේ චන්ද්‍රපාල දිහා බලාගෙනද මං දිහා බලාගෙනද අපි දෙන්නා අතරින් පෙනුන බිත්තිය දිහා බලාගෙනද කියලා මට හිතා ගන්න බැරි උනාට මේරි ඇග්නස් මගේ කොණ්ඩේ ආයෙමත් ඉම්බා. " ඒ සුවඳ" මම මේරි ඇග්නස්ට තවත් ටිකක් තුරුල් වුනා.
"භානු, අපේ ජිවිතවලට හුඟ දෙනෙක් එනවා. ටික කාලයක් නවතිනවා. නොකියාම යනවා. අපේ හිත්වල තියෙන සීරීම් ඒ අයට වැඩක් නෑ. එත් ඒ අය දන්නෑ අපේ හිත් වල ඒ අය නිධන්ගත වෙනවා කියන්න"
"ඔබ
මහද
සුරුවමකි"
චන්ද්‍රපාල + මේරි ඇග්නස්
එදා මෙතනදිම මගේ අතින් පොඩි වෙලා පස්සේ දවසක මුහුදු රැල්ලේ පා වෙලා අවසන් ගමන් ගිය චන්ද්‍රපාලගේ පින්තුරේ පිටි පස්සේ මේරි ඇග්නස්ගේ අකුරු වලින් එහෙම ලියලා තිබුණා.
" අම්..."
"හොඳටම රෑ වුනා. දැන් නිදා ගන්න භානු"
පුංච් ඉකියක් එක්ක මේරි ඇග්නස් අනික් පැත්තට හැරුණා.
" අනේ දෙවියන් වහන්ස......."
මේක නම් අති විශිශ්ඨයි. හිතා ගන්න බැරිතරම් ලස්සනයි.
ReplyDeleteබොහොමත්ම ස්තුතී ඉයන්. මේ අකුරු වල හයියෙන් ලියමි.
Deleteස්තුති ඉයන් අයියෙ. ඔබෙ මතක් නොකලා නම් වැඩත් එක්ක විශිෂ්ඨ නිර්මාණය ක් රසවිදීමෙ අවස්ථාව මට නැති වෙනවා. විශිෂ්ටයි යාත්‍රා..!
Delete++++++++++
ReplyDelete☺️☺️☺️☺️☺️☺️
Deleteආ.. මේ දාලා තියෙන්නේ ඇට් ලාස්ට්! ඉතුරුවාත් දාන්න ඉක්මනට! :D සුබ පැතුම්, දිගටම ලියන්න!
ReplyDeleteකිව්වට වඩා ටිකක් පරක්කු උනා. ගොඩක් ස්තුතී. මාව ආයෙමත් බ්ලොග් එක පැත්තට ඇදගෙන ආවට. හිමිහිට දාන්නම් ඉතිං. අඩුපාඩුත් කියලා ගියා නම් හොඳයි ඇ.
Deleteමොනා කියන්නද මන්දා... මරු... මරේ මරු
ReplyDeleteස්තුතී සඳු. කියන්න ඕන ඉතිං වැරුද්දක් අඩු පාඩුවක් වගේ හදාගන්න තියෙන දෙයක් ගැන.
Deleteටිකක් වෙලා ගියා තේරුම් ගන්න. සුන්දර කටහ්වක්. ඉයන් තමා පාර පෙන්නුවේ
ReplyDeleteගොඩක් ස්තුතී. ඉයන්ටත් ස්තුතී.
Deleteමේ වචන වලින් තමයි ලියන්න පුළුවන්
එක් වරක් කියවල මදි!
ReplyDeleteආයෙමත් කියවලා අදහස් කියන්න ☺️
Deleteස්තුතී ගොඩක්
ඔව් දෙවරක් කියෙව්වා!
Deleteස්තුතී බොහොමත්ම ඒ ඇරෙන්න
Deleteමම දන්නැ වෙන කියන්න දෙයක්
ඉයන්ට ස්තූතියි. නිවීහැනේ කියවන්ට එන්නං
ReplyDeleteහ්ම්. කියවලා අදහස් උදහස් දක්වා යන්න.
Deleteස්තුතී ඉයන්ටත් ස්තුතී ගොඩක්ම
Just wow... Thanks Ian.
ReplyDeleteමෙහෙම ලියන්න පුලුවන් අය ලේසියෙන් හම්බ වෙන්නේ නැතිය.
ස්තුතී ගොඩක්.
Deleteමේ වචන වලට ස්තුතී වන්නට ලියමි.
ඉයන් ...ඉස්තුති මචො..
ReplyDeleteඑල අක්කන්ඩි...එල ද බ්‍රා වගෙ ලියලා තියනවා...
එල ද බ්‍රා මෙන්ඩා
ගොඩක් ස්තුතී මෙන්ඩා
Deleteමේ පැත්තට ආදරෙන් එකතු කර ගන්නවා. ඔය පැත්තට එන්න පාර කියනවද?
ප්‍රශ්නයක් ඉතුරු කරපු හොඳ කතාවක් කියෙව්වම මට හිතා ගන්න බැරි තරම් අමුතු හැඟීමක් එන්නේ.. කන්නත් බෑ බොන්නත් බෑ වගේ.. ප්‍රශ්නාර්ථ ලකුණු තමා පේන්න ගන්නේ.. මේකත් ඒ වගේ මරු කතාවක්. හිතන්න යමක් ඉතුරු කරලා ඉවර කරලා. ඒත් ඉතින් හිතන්න ගියොත් ඉවරයක් වෙන්නෙ නැහැනේ.. ඇයි දෙවියන් වහන්සෙටවත් උත්තරයක් දෙන්න බැහැනේ මට... ස්තූතියි ඉයන් මාමේ සහ ලිව්ව ජීවිතේ යාත්‍රාව
ReplyDeleteලස්සනයි යාත්‍රා....වෙනස්ම ලියවිල්ලක්....
ReplyDeleteඑකපාරයි කියෙව්වෙ. තේරුනේ නෑනෙ
ReplyDeleteIt's very beautiful. I read it for few time.
ReplyDelete