Wednesday, November 30, 2016

සොහොන

"උඹලැ සීයාගේ සොහොන ඔතැන තමයි, " ඇය අසල ඇති පොල් ගසක් යට හෙවනට වෙමින් පවසයි.
" මෙතන"  මම ඇගේ මළානික ඇස් දෙස බලා ගෙන විමසමි. සොහොන් කොතක ලකුණක් නැති මෙහී සීයාගේ සොහොන විය හැකිද?

" ඔය අරලිය ගහ මම හිටෙව්වේ උන්දැව පස් වලට යට කොරලා මාස ගානකට පස්සේ. උන්දැගේ පපු කැවුත්ත මෙතැනයි කියලා හිතුවට හිතලා ඒ උඩට වෙන්න තමයි මම ඔය කහ අරලිය අත්ත හිටෙව්වේ,"

වියලි සුළඟක් සුදු පැහැති හිස කෙස් අවුල් කරවයි, ඇයට ඒ බව වගක් නැත, රැළි වැටුණ  මුහුණට වැදෙන සුළන් පාරවල් වලින් බේරිමට දෝ ඇය මුහුණ වම් පසට හරවයි. පිරිමින් දෙදෙනෙකුත් ගැහැණුන්  නව දෙනෙකුත් වු දරුවන් එකලොස් දෙනෙකුට ද මුණුපුරෙකුටද කිරි දුන් එල්ලා වැටෙන පියයුරු, හැට්ටය ඇද සකසා ගන්නා ඈ, මා දෙස බලන්නේ කුහුලෙනී. ඇගෙන් කිරි ඉරු දොලොස් වැන්නා වු ඒ මුණුබුරා මම වෙමි.

"උඹලැ සීයා මහ සද්දන්ත මිනිහා. මෙන් උස. ඒ දවස් වල උඹලැ සීයා මොන දිපංකරේක ඉදන් මේ ඉසව්වට කඩා පාත් උනාද කියන එක ගමේ කවුරුත් දැනන් උන්නැ. උන්දැ එක්ක එක වහලක් යට දීග කන්ට වෙලාත් මට උන්දැගේ අම්මලා අපුච්චලා ගැන හාන්කවිසියක දෙයක් කියලා නෑ. මම අහලත් නෑ. කිසිම ලෝභ කමක් තුන්හිතකවත් ගැවීලා නොතිබ්බ මනුස්සයා, කන බොන වේලාවට කොකේක් හරි ගේ හතර මායිමේ කරක් ගහනවා උන්දැගේ ඇස් වලට අහු උනොත් එකාට බත් පිගානක් නොකා යන්න වෙන්නෑ. එහෙව් ගුණ තිබ්බ මනුස්ස පරාණයක් උඹලැ සීයා. මට මතකයි  උඹලැ තාත්තා ලැබෙන්න ඉන්න සන්ධියේ මට කොස් මැල්ලුමයි වැව් මාළු හොද්දයි කන්න දොලක් උපන්නා. උඹලෑ සීයාට එක කන වැටිලා ඒ හැටි වෙලාවක් ගියේ නෑ, මෙන්න කරවල් දෙකට මහ තඩි කොස් ගෙඩි දෙකක් උස්සන් ඇවිත් පිළිකන්නෙන් අත ඇරියා, එකක් මාළුවට ගන්න පුළුවන් කොස් ගොඩි නාම්බෙක්, අනික පුසුඹ ගහන ඉදුන වරකා නාම්බෙක්, උන්දෑ දන්නවා මම වරකා කන්න රුසියා විත්තිය. එ වේලාවේම වරකා නාම්බව දෙපලු කරලා මදුලු අහක් කරලා හීන් ගම්මිරිස් ඇටේකුත් එක්ක පන් වට්ටියට එකතු කරලා ලගින් තියලා යන්න ගියා,වචනයක්වත් නොකියා. උන්දාගේ හැටි එහෙමයි, එහෙම දවස් වලට උන්දැ ඇවිත් බලන්නේ පන් වට්ටිය දිහා, එකේ ඉතුරු බිතුරු මොකුත් නැත්නම් උන්දැ හිනා වෙනවා පොඩි එකෙක් වගේ, එකත් හොරාට, උන්දෑගේ හිත සංතෝස නම්  පොඩි මැණිකෝ කහට එකක්  දිපන්කෝ කියාන පිලිකන්නේ ඇවිත් වාඩි වෙනවා"

අතීතයෙන් පල කිමැයි මම සිතමින් සිටියෙමි. සීයාගේ සොහොන සුද්ද කර දෙන්න යැයි ආච්චි ඉකුත් දා මගෙන් ඉල්ලු ඉල්ලීමට පිටු පැමට නොහැකි විය. ඇ මට කිරි දුන් අම්මා ය. පොල් ගහ යට  ඇණ තියාගෙන වළලු කරත් දණහිසත් පිරි මදිමින් ඇ අතීතය ආවර්ජනය කරයි. සුළගත් එක්ක පාවෙන ඇගේ වියළි කටහඬ  මට විටෙක ඉවසුම් නොදෙයි. මම ඇගේ හඬ යටපත් වන්නට උදලු කෙටියෙන් බිම සුරන්නට විමි.
" උඹලැ සීයාගේ වම් පපුවේ අම්මා බුදු වෙන්ඩ කියලා පච්චයක් කොටලා තිබුණා, දකුණු අතේ කොන්ත ලකුණක් කොටලා තිබ්බා. උන්දැ මොන දෙයියන්නාන්සේව ඇදහුවද කියලා මමවත් ගමේ එකාලාවත් දැනන් හිටියේ නෑ. සල්පිල දවසකට ඇරෙන්න උන්දෑ පන්සලට ගියේ නෑ. අපේ ගමේ කිස්තියානි කාරයෝ හිටියේ නැ, පල්ලි තිබ්බේත් නෑ. කලා බීලා සන්තොසෙන් ඉන්ට ඕනෑයි කියන එක තමයි උඹලැ සීයාගේ ධර්මේ උනේ. උන්දෑ එක ඒ විදිහටම රැක්කා. උඹලැ සීයා ගමට ආපු මුල්  දවස් වල ඉන්ට හිටින්න කන්න බොන්න දෙයක් නැතුව එහෙට මෙහෙට ගාල් වෙවී හිටියේ, අපේ අපුච්චට උන්දැ ගැන බොහොම හිත වැටුනා. උන්දෑගේ උස මහත හයි හත්තියෙන් පලක් ප්‍රයෝජනයක් ගන්නැයි කියලා අපේ දිහා එක්ක ඇවිත් නතර කොර ගත්තා. එක නිස්කාරන තින්දුවක් නොවන විත්තිය උඹලැ සීයා ඔප්පු කලා. තට්ට තනියෙන් කුඹුරු වැඩට බැස්සා. කුඹුර කොටන්න, නියර බඳින්න, වි ඉහින්න, වතුර අරින්න, වක්කඩ පාදන්න අපුච්චාගේ නියම කිරිල්ල විතරයි. උඹලැ සීයා අච්චු පොතක පින්තුරේ වගේ වැඩේ කරලා අහවර කරනවා. මම ගෙදර බාල එකී. අපුච්චට හිටියේ දුවරු ම විතරයි, අනික් තුන් දෙනාම ඒ වෙනකොට  දීග ගිහිල්ලා හිටියේ. අපුච්චාගේ හිතේ විදිහටම උඹලැ සීයාට මාව කර කාර බන්දලා දුන්නා. උන්දැට එකට මොන හේතුවක් තිබුනාද කියන්න මම දන්නෑ. අපුච්චාගේ වචනෙට පිටින් යන්න තරම් හයියක් හිතේ තිබ්බේත් නෑ. කොහොමත් උඹලැ සීයාට හිතේ මනාපයක් නොතිබ්බේත් නෑ. දීගෙන් හාර දොහොකට පස්සෙන්දා උන්දෑ වම් පපුවේ පොඩි මැණිකා කියලා පච්චයක් කොටවලා තිබ්බා. හරියටම අම්මා බුදු වෙන්ඩ කියලා කොටපු පච්චේට යටින්. එදා උඹලැ සීයාගේන් මට දැනුන ආලවන්තකම වචන අසු හාර දාහාකින්වත් කියා නිම කොරන්ට බෑ ඕං. උඹලැ අපුච්චා ලැබෙන්න කියලා දැන ගත්තේ ඊට දෙමාසෙකට පස්සෙන් පහු "

ඇගේ දෑස් ප්‍රණවත්ව බබළයි. කට හඬ අමුතු ජවයකින් පිරී ඇත. මම අහස දෙ බැලුවෙමි. තැනින් තැන වන සුදු පැහැති වළාකුලක් හැරෙන්නට අහස නිල් පැහැයෙන් බබළයි. මම ඈ අසළින් වාඩි ගතිමි. තවමත් ඇගේ දනිස් පිරි මැදිල්ල එලෙසමය. අරලියා ගහ යට තරමක් දුරට සුද්ද වී ඇත. දැන් දැන් වියළි සුළඟට අසුව  වැටෙන කහ අරලිය මල් පොළව සිප ගනී. ඇ සිතන පරිදි සීයාගේ පපුව මතට ඒ මල් වැටෙනු අැත.
"අපි යමු ආච්චම්මේ, ඔය මදැ නේ"

ඇය දනිස් පිරිමදිමින් මා දෙස බලයි. ඇස් දෙකොනින් සිනා සෙයි. යළිත් අරලිය ගස දෙස බලා කල්පනාකාරිව මා දෙස බලයි.

"උඹ දන්නවාද, මෙව්වා උඹ දැන ගන්න ඕනැ. උඹ මහ කොලිජී වල පොත් පත්තර කියවනවා තමයි. උඹ කියයි අතීතෙන් වැඩක් නෑ කියලා. එත් හිච්චියෝ අතීතෙන් තමයි අනාගතේ නිර්මාණය වෙන්නේ, අතීතය කියන්නේ හරියට හෙවණැල්ල වගේ අපි යන යන තැන අපි පස්සෙන්ම එනවා. කිසිම පලක් ප්‍රයොජනයක් නැතත්. උඹ හිතපන් හිච්චියෝ ඉර අව්ව වැටෙන්න වැටෙන්න හෙවණැල්ලත් පැහැදිලි වෙනවා වගේ, ඕනැම මනුස්සයෙක්ගේ ජිවිතේ එළිය වෙන්න වෙන්න එ මනුස්සයාගේ අතීතේ එළියට එනවා.
උඹලැ සීයාගේ අතීතේ මොකක් ද කියලා මම දැනන් හිටියේ නෑ. උන්දැගෙන් ඒ වගක් දැන ගන්න ඕන කලෙත් නෑ. උන්දෑ මැරෙනකම්ම මට වචනෙකින් උඹ කියලා නෑ. උන්දැගේ අවසන් හුස්ම ඩිංගිත්ත ගියෙ මගේ මේ අල්ල උඩ"

ඈ දනිස් පිරිමැදිල්ල නවත්වා දැත් මා දෙසට හරවයි. සුදු මැලිව රුළි වැටී ඇති ඇගේ දෑත් දෙස මම බලමි. තවමත් රේඛා පැහැදිලිව ඇදී ඇති ඇගේ අල්ල මත සීයා ගේ ප්‍රාණය නිරුද්ධ හිස රැදී ඇති අකාරය මවා ගැනීමට මම වෙහෙස වෙමි.

" උඹලෑ තාත්තා මහ නාහෙට අහන්නැති එකා. ඌට යාන්තම් අවුරුදු දහ නවයක් උනා විතරයි එතකොට මට බාල කෙලී ලැබෙන්න හත් මාසයක් වෙලයි තිබුණේ. උඹලැ තාත්තා උඹලැ අම්මාව එක්කහු කරගෙන ආව රාත්තීරියේ. එදා උඹලැ සීයා රැම ගෙදරින් පිට වෙලා ගියා. ආයෙ ආවේ පහුවදා හැන්දැවේ. ඇවිත් කිව්වා ලොකු එකාට උඩහ හේන වත්ත බිම් කොටාගෙන යමක් කමක් වවාගෙන ගෙයක් දොරක් හදා ගන්න කියපන් කියලා. ඊට සති දෙකකට පස්සේ හුඹස් මැට්ටේන් බැදපු ගේ කැල්ලට උඹලැ අම්මයි තාත්තයි පදිංචියට ගියා. ආන් එහෙම ඉවසපු හිතක් උන්දැට තිබුණේ. මයේ හිතේ හැටියට ඒ හීන් කෙලි ලැබීලා අවුරුදු දෙකක් හරි තුනක් හරි ඇති, උඹලැ අම්මා වැලහින්නක් වගේ දුවගෙන ආව මිදුලේ පස් කකා ඇඩුවා. උඹලැ තාත්තා එකීට දස වද දෙනවා කියලා අපි දැනන් උන්නා. ඕකා සරුපයා වගේ මනුස්සයා. මගේ බඩෙන් වැදුව යක්සයෙක් එකා. එදා උඹලැ සීයා කීවා උඹලැ අම්මාට මහ ගෙදර නතර වෙන්ට කියලා. උඹලැ තාත්තාත් දවසක් දෙකක් ආව එකීව එක්ක යන්න. එත් එකී නෙවෙයි ගියේ. සති ගානකට පස්සේ උඹලැ තාත්තා අන්තරස් දාන උනා. කොයි ලොකේ ගියාද කියලා දෙයිහාන්දුරුවෝ තමයි දන්නේ. ඊට පස්සෙන් පොඩි බාප්පලයි පවුල් පෙලවහ කර ගෙන උඩහ හේනේ පදිංචි වුනා. දවසක් දා උඹලැ තාත්තා ඇවිත් උඩහ හේන වත්තේ පොඩි බාප්පලා පදිංචි උනාට සීයාට දෙස් දෙවෙල් තියලා ගියා. සීයා නෙමෙයි වචනයක් කතා කලේ. මම කිව්වා වගේම ඌ යක්සයෙක්. ඌ එදා දිව්රලා ගියේ උඹලාගේ අම්මාව මරණවා කියලා. ඕක වචනයක් කිව්වොත් එක කරන ජාතියේ මිනිහෙක්. උඹලැ සීයා එදා ඉදන් අමුතු කල්පනාවකින් හිටියේ. උන්දැට හිතට අමාරු තියෙන්න ඇති. එත් වචනෙකින් කිව්වේ නෑ. අවුරුදු පහක් විතර වෙච්ච බාල එකී හිටි අදිස්සියේ අසනීප උනේ ඔය සන්දියේ. මට එකීටම ඇරෙන්න උන‍ා. ඔයිට තුන් හාර මාසේකට පස්සේ දැන ගත්තේ උඹලැ අම්මාට උඹ ව ලැබෙන්න ඉන්නවයි කියලා. එදා සීයා බොහොම සන්තෝස උනා. මට අදටත් මතකයි උඹලැ අම්මටත් කොස් මැල්ලුමයි, තෙප්පිලි මාළු හොද්දයි කන්න දොල තිබුණා. උන්දෑට මොනවා හරි දෙයක් කන වැටෙන සුනංගුව විතරයි. උඹලැ අම්මාට උඹව ලැබිලා මාස දෙකක් යනකොට එකීට නයා ගහලා මැරුණා. එදා එකිව උඩහ හේනේ මායිම ලග වල දාන්න වල කැපුවේ සීයා තනියෝම. ගමේ පිරිමි අත් උදව්වට ලන් උනත් උඹලා යමල්ලා මම මේක කොරන්නම් කියලා උන්දෑට පිරිමි හය හත් දෙනෙකුගේ හයිය හත්තිය තියෙනවා. එක මුළු ගමමත් දන්නවා. උඹලැ අම්මා වල දාපු රාත්තිරියේ උඹලැ තාත්තා බිගෙන ඇවිත් කෑ ගහන්න පටන් ගත්තා. එ වෙනකොටත් උඹ මගේ අතට වෙලා හීන් කෙලිගෙන් කිරි ඇරුණු තනේ බදාගෙන හිටියේ. එකේ උඹට උරන්න කිරි කඳුලක් තිබුනාද මම දන්නැ. උඹ කොයි වෙලෙත් තනේ මිරිකගෙන තන් පුඩුව කටේ දාගෙන උන්නා. එදා උඹලාගේ තාත්තාගේ කෑ ගැහිල්ලට සීයා ඇදෙන් බැස්සේ වහලේ ගහල‍ා තිබ්බ කිනිස්ස අතට අරන්. එදා උඹලාගේ තාත්තාගේ අවසානේ වෙන්න තිබුණා. එත් හිච්චියෝ සිද්ධ වෙන්න තිබුණ දේ සිද්ධ වුනා. උඹලැ අප්පච්චි පිට වෙලා ගිහින් තිබුණා. මම මිදුලට යනකොටත් සීයාගේ පපුවෙන් ලේ උතුරනවා. පිහි පාර තිබුණේ පොඩි මැණිකෝ පච්චේට පහලින්. මම උඹව එතැන බිමින් තියලා උන්දැගේ ඔළුව  මේ අත් දෙකට ගත්තා. මට කියන්න වචන දාහක් තිබුණද මම දන්නෑ ඒ වෙලාවේ මොන දෙයියන්ගෙන් උඹලැ සීයාගේ පණ ආපහු ඉල්ලන්නද කියලා මම දැනන් උන්නෙත් නෑ. පොඩි මැණිකෝ මට කහට එකක් උන්දෑ මගේ මේ අත් දෙක උඩ පණ යනකොට මගෙන් ඉල්ලපු එකම දේ ඒ. උන්දෑ එක මොන හේතුවකට කිව්වාද කියන්න මම දන්නෑ. එත් උන්දෑ මගේ ඇස් දිහා එක එල්ලෙම බලන් උන්නා මට මතකයි. ඒ ඇස් වල සෙනෙවන්ත කමක් මිසක් මරණ බයක් තිබුන්නෑ හිච්චි එකෝ. උඹලැ සීයා උන්දැ අදහපු ධර්මතාවේ හැටියටම ජිවත් වෙලා පරලොව ගියා. අතීතය කියන්නේ අතුගලා දාන්න පුළුවන්  දුවිලි ගොඩකට නෙමෙයි හිච්චි එකෝ. උඹලැ සීයා උඹට අතීතයක් ......."

මම අරලිය ගස යට වැටුණ මලක් අතට ගත්තෙමි. නාසයට ලං කර බැලුවඳ එහි කිනම් සුවඳකදැයි මට හඳුනා ගත නොහැකිය. මම පහත් වුනෙමි. ඒ හදවතට කන් දීමට අවැසිය. මම තවත් පහත් උනෙමි. අරලිය ගස මුල සිප ගතිමි. එ පරිද්දෙන් ඒ හදවත එතැන විය යුතු ය.

"අද මගේ හිතට මහ සැනසීමක් දැනෙනවා හිච්චි එකෝ"
සුළඟට මුහු වුන ඇගේ පිබිදුන කටහඬ මගේ කන් පෙති අතරින් පපුවට කිදා බැස්සේ ය.

4 comments:

  1. මේ කතාවේ සංවේදී ඉසව් බොහොමයි...මේ ලියවිල්ලට මම ඉතාම ආසයි

    ReplyDelete
  2. ගොඩක්ම ස්තුතී අක්කා ඔබට
    මේ අකුරු කියවලා දිරි දෙනවට

    ReplyDelete
  3. එක හුස්මට කියවගෙන ගියා. සංකොට්ටන් නවකතාවෙන් පහු මේකයි හිත ඇදිල ගිය ලියවිල්ල.

    ReplyDelete
    Replies
    1. බෝහොමත්ම ස්තුතී යාලුවා

      Delete