මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Wednesday, July 26, 2023

C ට ආදරෙන්,


ආදරණීය C,

මේ සටහන තබද්දී වෙලාව මධ්‍යම රාත්‍රීය පසුව ගොසින්, බිත්ති ඔරලෝසුවේ වේලාව 1.08 ලෙස සටහන් වෙලා.

මහ සීත රෑයක්, පාළු හුදකලාවක්, තනිකමක්, ඕනෑම විදිහට හැදින්විය හැකි නින්ද අහලකවත් නැති රාත්‍රීයක මම සුපුරුදු පරිදි කෙටි කෑමක් සදාගෙන සැලෝලයිඩ් පටයක ගිලෙමින් සිටියේ. හදිසියේ ඔබ මගේ හිතට පැමිණිම අහම්බයක් නෙවෙයි. මේ දිග හැරෙන රූප එකින් එකට මට ඔබවත් - මා අමතක කර දැමිය යුතු අපේ මතකත් එකින් එක මතකයට නන්වනවා. කුඩා කුඩා දේවල් වෙනුවෙන් සතුටු වන්නට හුරුව සිටින මට කුඩා කුඩා දේවල් වලට දුක සිතිමත් එක හා සමානයි C, 

දුක සහ සතුට අතර අත්තේ මිලි දශමයක වෙනසක් බව මම ඉගෙන ගන්නේ ඔබේ සමු ගැනීමෙන් අනතුරවයි  C. කිසිඳු පසුතැවීමක් නොතිබු ජිවිතයට පසු තැවීම, මේ වේදනාකාරි බව, දුක, කඳුල ගෙන ආවේ ඔබයි C, එහෙත් මෙය ලියන්නේ චෝදනා ස්වරූපයකින් නොවන බව ඔබට කිව යුතුයි. ඔබට ආදරය කළ තරමටම, ඔබට ආදරය කරන තරමටම ඔබව අමතක කර දැමීය නොහැකි වීම, ඔබව අත හැරීමට නොහැකි වීම, මගේ වරදක් මිස එය ඔබගේ වරදක් නොවන බව මම කිව යුතුයි C.

ජිවිතේ කියන්නේ මහ පුදුමාකාර එකකැයි සිතෙන විටක, හිතේ සිතුවිලි ඔබ හා පැවසීමට අවැසි උවත් අප අතර ගොඩ නැඟි ඇති පරතරය, එය කුඩා එකක් නොවන බැවින් දහසකුත් සිතුවිලි උපන් සිත තුළම මිය යන්නට ඉඩදීම සිදු කළ යුතුයි C. පරාජිත ප්‍රේමයක තව දුරටත් ශේෂ වු මිතුරුකමක් හෝ නොමැති බැවින්,  ගෙවුණු සමහර සැදෑවන් වල දී මෙන් ගැඹුරු සංවාදයක ඔබට මට පැටළීමට නොහැකි වීම මගේ සිතට පාළුවක් එකකු කරනවා C.

එවන් සංවාදයක අග, තව දුරටත් යමක් පැවසීමට, යම් තර්කයක් ගොඩ නැඟිමට ඔබ අපොහොසත් වු විටෙක, ඔබ සතුවු උපමා, උපහැරන, උපුටන අවසන් වු කළක හෝ මට දිනුම දෙන්නට ඔබට අවැසි වු විටෙක, ඔබ නිහඬ වී මගේ දෑසට එබී මද සිනහවක් නඟන්නට හුරුව සිටි හැටි ඔබට අදටත් මතකදැයි මට ඈසිමට සිතෙයි C.  ඔබේ දෑසේ ඇදෙන සිනහවෙන් මා ගොළුව ගිය විට දී ඔබේත් මගේත් දෑස් පමණක් මුවින් නොපැවසු දහසකුත් වදන් එකතු කර දොඩමළු වන සැටි අද ද මා සිහිනයක පරිද්දෙන් මතකයට නඟා, අතීතයට සිනහාවන්නට පුරුදු වී ඇති සැටිත්, එය මට ද විශ්වාස කළ නොහැකි බවත් ඔබ දන්නවද C.

ඉතා දුර ඈත රටවල් දෙකක සිට ආදරය කරන පෙම්වතියක, තම අදරවන්තයාගේ උපන් දිනය ට  යම් කිසි පුදුම කිරීමක් වෙනුවෙන්, ඔහු දකින්නට සැලසුම් කරන අයුරු සිනමාපටියේ දිග හැරෙන විට ඉන් මම මා දැකීම වැරුද්දක් වන්නට ඉඩක් තිබිය නොහැකි බව ඔබ දන්නවා C. කුඩා කුඩා පුදුම කිරීම් මැද ගෙවී ගිය අවුරුදු ගණනක මතකය තත්පරයෙන් තත්පරය අලුත්වෙද්දී මේ කුඩා ඇස් කඳුළු වලින් බොඳ වී තව දුරටත් සිනමාපටියේ ගිළි දෑස් වෙහෙස කරවන්නට නොහැකි තරමට  කාංසියක් දැනෙනවා C.

මම නැවතත් බිත්ති ඔරලෝසුවට දෑස් යොමන්නේ තෙමුණු කඳුලෙන් උවත්,  එහි සටහන් වන වේලාව, ඔබේ උපන් දිනය පසු වී පැය දෙකකුත් විනාඩි කිහිපයක් ඉකුත් වී ඇති බව මට මතක් කරවනවා. සමහර විටෙක ජිවිතයට ගැඹුරු සංවාදයක් අවැසි C. මෙවන් වු රැයක මිනිස් හදවතකට එවන් වු සංවාදයකින් කුමන ඵලක් දැයි සිතෙන නමුත්, හුස්ම ගන්නා මිනිස් ජිවිතයකට එවැනි සංවාද අවැසිමයි C. මුලක් මැදක් අගක් ගලපා ගත නොහැකි සිතුවිලි සමුහයක් මැදින් මම ඔබට ගත වූ දිනය වෙනුවෙන් හදවතින් සුබ පතනවා C.

ආදරයක් පරිද්දෙන් නැතත් ඔබ මතකයක් පරිද්දෙන් හෝ හදවත තුළ පැවතිය යුතුයි C, ජිවිතයේ සමහර හිස් තැන් පිරවෙනවට වඩා අලංකාර හිස් තැනක් ලෙස ම පැවතිමෙන් බව කෙනෙකුට වටහා දිය නොහැකි බව මම දන්නවා. එහෙත් ඔබ එපරිද්දෙන් පැවතිය යුතුයි C. මගේ හදවත තුළ ඔබ පැවතිය යුතුයි. තවත් වසරක් නොව වසර සීයයක් හෝ කෙනෙකුට තේරුම් ගත නොහැකි පරිදි තේරුම් කර දිය නොහැකි පරිදි ඔබ මේ කැබළි වු  හදවත තුළ පැවතිය යුතුයි.


A.
2023.06.10




Sunday, April 23, 2023

එක් කුඩා තිතක්

එක කුඩා තිතක් වීම. ඒක මොන තරම් වේදනාකාරි දෙයක් ද? සෑම නොසලකා හැරීමකම පිටු පස ඒ ගුප්ත වු වේදනාව තියෙනවා. සම මතට වැටී නහර පසාරු කරමින් ඒ වේදනාව සිරුර පුරාම ගලා යන්න පටන් ගන්නවා. කුඩා නොසලකා හැරීමක පවා, ඒ වේදනාව ගැබ්වෙනවා. එකකට පස්සේ එකක්, ඉවරයක් නැති නොසලකා හැරිම් මැද්දේ සිදුවන තනිවීම්, ජිවිතය ගැඹුරු අගාධයකට ඇද දමනවා. මට දැනෙනවා මම ඒ අගාධයෙ  ටිකෙන් ටික ගිලෙමින් පවතින වග. අඳුර,දුගඳ,  නාස්පුඩු අතරින් ගමන් කරනවා දැනෙනවා.  ජිවිතේ අළු පැහැතිව, තෙතබරිතව දැනෙනවා.

මේ නොසලකා හැරිම් හැමකකටම පසුව ඇති වන හුදකලාව විසින් තව තවත් කුඩා තිතක් බවට මා පත් කර ඇති බව දැනෙනවා.

වේදනාවෙන් තනිවන සෑම මොහොතකම දෝංකාර දෙන සංගීතයක් හිස තුළ භ්‍රමණය වෙන වග මට දැනෙනවා. කිසිම තාලයකට අයත් නැති, කිසිම ස්වරයකින් නැවත නිර්මාණය කළ නොහැකි, කිසිම සංගීත භාණ්ඩයින් නැවත වාදනය කළ නොහැකි රාවයක් එය. යම් කිසි හඬා වැටීමක ආරම්භක හඬ වගේම සතුටින් පිරුණු සිනාසීමක අවසන්ම තත්පර කිහිපයේදී ගලා යන හඬ ඒ තුළ තියෙනවා. මට ඇහෙනවා.මට දැනෙනවා. ඇසී නැසී යන වේදනාකාරී විලාපයකට අයත් ව තිබු නොතිබු  ඒ සංගීත රාවය
තව දුරටත් මා කුඩා තිතක් බවට පත් කරවනවා.

උදෑසන තෙතබරිත වීම, දහවල දාහයෙන් යුක්ත වීම, රාත්‍රීය සීතල වීම පවා හදවත තුළ අතිරේක විඩාවක් ගොඩනගනවා. නිරායාසයෙන් සිදුවන හුස්ම ගැනීම පවා ආයාසයෙන් සිදු කළ යුතු බව වැටහෙද්දි මම තව දුරටත් කුඩා තිතත් බවට පත් වෙනවා. සෑම හුස්මකම යාන්තමින් ඇහෙන නැසෙන පමණට සුසුම් ස්වරයක් ගැබ් වෙනවා. ඉතා තියුණු නොවුවත් සෑම විටම හදවත සමීපව ඇහුම්කන් දෙන මගේ දෙසවනට ඒ සුසුම් ස්වරය ඇසී නෑසී යනවා. දැස් පියවෙන එක්  නිමේෂයන් වලදී  මහා ඝෝෂාවක් ලෙසින් ම දෙසවන් මතින් හදවත වෙත පහත් වන්නේත් මේ සුසුම් ස්වරයම බව මම හඳුන ගන්නවා.

සියල්ල එක්ව මා කුඩා තිතක් වු පසුව, තිත් දහසක් මැද පවතින එහෙත් නොපෙනෙන කුඩා තිතක් බව දැනෙන්න පටන් ගන්නවා.සිතුවිලි අතර එහෙ මෙහෙ සැරි සරන නොපෙනී ඉන්නම වෙර දරන, විටෙක නොපෙනී යන්නට සැලසුම් කරන එක් කුඩා තිතක් බවට මා පත් වෙනවා.

නොහඳුනන හා හඳුනන එවන් තිත් ගණනාවක්  සැලසුම් සහගතව බොහෝවරක් මැකී නොපෙනී ගොස් ඇති බව, දැන හඳුන ගත් පසු, යමක් ලෙසින් කුඩාවට හෝ පවතින්නට පැවතිය යුතු බව සිතන කුඩා තිතක් බවට මා නැවත නැවත පත්වනවා. එලෙසින් තිතක් ලෙසින් හෝ මේ අඳුරු අගාධයේ, මේ අත්භුත සංගීත රාවයට සවන් දෙමින් පැවතිය යුතු බව නැවත නැවතත් මම සිතනවා.





C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...