මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, July 19, 2018

දුවෙක්ට පුළුවන්

දුවෙක්ට පුළුවන් අප්පච්චියෙක්ට පුතෙක් වෙන්නත්, අම්මෙක්ට දුවෙක් වෙන්නත්,

පුතෙක් නැති අඩුව තදින් දැනිච්ච පවුලක්. පුතාලා ඉන්න පවුල් වලින් සමච්චල් වින්ද පවුලක්. "කොල්ලෙක් නැතුව බෑ" කියද්දී සුසුම් හෙළපු අම්මා කෙනෙක්. ⁣"පුතෙක් හිටියා නම් කවදා හරි ලේලියක් ගෙනාවාම ඔයා නිදහස්" කියද්දී "අනේ"  කියවුන අම්මා කෙනෙක්.  "කොල්ලෙක් හිටියා නම්" කියද්දී ඇස් බිමට බර කරගත්ත අප්පච්චි කෙනෙක්. "වයසට ගියාම කොල්ලා ගාව වැටිලා ඉන්න පුළුවන්" කියද්දී පපුවට අත තියා ගත්ත අප්පච්චි කෙනෙක්. ඔව් ඒ පුවලේ දුවරුම තුන් දෙනෙක්.

බයිසිකල් පදින්න නැති වෙද්දී මල්ලි කෙනෙක් හිටියා නම් හිතපු කෙල්ලෙක්. ක්‍රිකට් ප්‍රැක්ටිස් කරද්දි අයියා කෙනෙක් හිටියා  නම් හිතපු කෙල්ලෙක්. අම්මේ අපි මල්ලියෙක්ව හදා ගන්න ගමු කියපු කෙල්ලෙක්. ඒ පවුලේ දෙවෙනි කෙල්ල.

ලොකු අම්මා "අපේ පුතා නම් ....." කියද්දි තරහෙන් පුපුරච්ච කෙල්ලක්. ලොකු අම්මා ඒ පුතාව මලක් වගේ බලා ගද්දි මල්ලක් අරන් අම්මාට ලුණු තුන පහ  ගෙනත් දෙන්න කඩේ ගිය කෙල්ලක්. මේක ඇරලා දෙන්නකෝ  කියාගෙන සැමන් ටින් එක, ජෑම් බෝතලේ අරගෙන අම්මා හොයාගෙන එන කෙල්ලක්. වී එක බාගන්න එන්න, වී එක කොටාගෙන එන්න, මේ ටැප් එක හදන්න, අර බල්බ් එක දාන්න, ඔය මල් පොච්චිය ගෙනත් මෙතනින් තියන්න අම්මාගෙන් අණ ලැබුණ කෙල්ලක්.

"අපේ පුතාලා දෙන්නා ....." කියලා බාප්පා කියද්දී "ඉන්නලාකෝ දවසක" කියලා හිතින් හිතා ගත්ත කෙල්ලක්, අප්පච්චි එක්ක කරට අත දාගෙන බස් එකේ ෆුට් බෝඩ් එකේ ගිය කෙල්ලක්, ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්න උදව්වට අයියා කෙනෙක් වෙනුවට අප්පච්චිම හොඳයි කියලා හොයා ගත්ත කෙල්ලක්, අප්පච්චි  ඉස්සර ඉරිදා දවසක තනියම පොඩියට අශෝක විදුරුවක් ගද්දී කපපු පිපිඤ්ඤා ගෙඩියක්, බොම්බයි ලූණු ගෙඩියක් ගම්මිරිස් ලුණු දලා ටිපෝව උඩින් ගිහින් තියෙන කෙල්ලක්.

"කොල්ලෙක් වගේ හදලා හරියනවද? ගෙදර දොරේ වැඩක් දන්නැතුව" නැදෑයෝ එහෙම කිව්වාම ඇදන් ඉන්න කොට කලිසම ගැලවෙන්න අම්මා රවලා බලපු කෙල්ලක්. අදත් කොට කලිසමක් ඇඳ ගෙන නැදැයෝ අවාම ඉඟුරු දාපු තේ හදන කෙල්ලක්. "කාලා යමුයි" කියලා බතක් මාලුවක් හදන කෙල්ලක්.

"ඔය මල්ලි පස්සට යන්න" කොන්දොස්තර කිව්වාම " පුතේ එන්න" කියලා බස් එකටම ඇහෙන්න කෑ ගහලා ලඟට අරන් "කනේ කරාබුත් නෑනේ ඌ රැවටුණා හොඳටම" කියලා අප්පච්චිගේ හිනාවට ලක් වෙච්ච කෙල්ලක්. "ඔයා මේකට සීනි දලා, බොන්න බෑ" කිව්වාම "බොන්න බැයිනම් තියන්න" කියලා සැර කරන කෙල්ලක්.  අම්මා අසනීප උනාම "කන්න දෙයක් නෑ නේ බිත්තරක් ඔම්ලට් දලා දෙන්නම්" කියන කෙල්ලක්.

"මහන්සියි නේ අම්මා ඉන්න මම උයන්නම්" කියන කෙල්ලෙක්. "අප්පච්චි ඔය ගල් ගොඩ මම අඳින්නම්" කියන කෙල්ලක්.

"දුවේ" වෙනුවට වැඩිපුරම "පුතේ" කියන වචනේ අහපු කෙල්ලක්. ඒ පවුලේ දෙවනි කෙල්ල.

අම්මාට අසනීපයි කිව්වාම දුවගෙන එන කෙල්ලො තුන්දෙනෙක්. අප්පච්චිට හොස්පිට්ල් නවත්තපුවාම පිරිමි වාට්ටුවේ නවතින්න අවසර ගන්න කෙල්ලෝ තුන් දෙනෙක්. "ඔයා උදේට, මම දවල්ට, චුටි අක්කා රෑට" කියලා වෙන් කරගෙන හොස්පිට්ල් යන කෙල්ලො තුන්දෙනෙක්.
"ලොකු නංගි කඩේ යන්න, චුටි නංගි මට උදව් කරන්න" කෑම ටික රහට හදන කෙල්ලොතුන් දෙනෙක්. අන්නාසි කපපුවාම ගොඩවල් ගහන කෙල්ලෝ තුන්දෙනෙක්. හවසට තේ බොන්න මොනවා හරි කෑමක් හදන කෙල්ලො තුන් දෙනෙක්. කොල්ලෙක් වගේ කලිසම් කමිස අඳින කෙල්ලෙක්. එකම විදිහට මහගත්ත ගවුම් අඳින කෙල්ලො තුන්දෙනෙක්.

සමහර සීමා බිඳ දාපු කෙල්ලක්. සමහර සීමාන්ත වල හිරවෙලා අම්මට අප්පච්චිට සැනසීම දීපු කෙල්ලො තුන්දෙනෙක්. කෙල්ලන්ට බැහැයි කියපු සමහර දේවල් කරපු කරලා පෙන්නපු කෙල්ලක්. ඕනම තැනකදි අසාධාරණේට කෑ ගහන කෙල්ලෝ තුන් දෙනෙක්.

"ඒ කොල්ලන්ට වඩා මගේ කෙල්ලට පුළුවන්" සුදු හාමිනේ කියන අප්පච්චි කෙනෙක්. "කෙල්ලෝ තුන්දෙනාටම මගේ අත්ගුණේ තියෙනවා" කියන අම්මා කෙනෙක්. අද කෙල්ලො නිසාම ආඩම්බර වෙන අප්පච්චි කෙනෙක්." ඒ වගේ කොල්ලො නම් එපා" කියන අම්මා කෙනෙක්. "මම්මට කෑම එක ගිහින් දෙන්න අයියලා හිටියට මොකුත් ගෙනත් දෙන එකක්යැ" කියලා "අනේ ඒ අතින් මගේ කෙල්ලො" කියන අම්මා කෙනෙක්. හිතට බයක් දැනිච්ච වෙලාවට හිතට හයියක් ඕන වෙලාවට වෙනසක් නැතුව කෙල්ලො තුන්දෙනාට කොල්ලන්ට වගේ කතා කරන අප්පච්චියෙක්.

ඉතිං කෙල්ලෙක්ට පුළුවන්,

අම්මෙක්ට පුතෙක් වෙන්න.
අප්පච්චියෙක්ට දුවෙක් වෙන්න.
ඒ වගේම කෙල්ලෙක්ට පුළුවන්,
අම්මෙක්ට දුවෙක් වෙන්න.
අප්පච්චියෙක්ට පුතෙක් වෙන්න.

ඉතිං එහෙම කෙල්ලෝ තුන්දෙනෙක්ගේ  මද්දු කෙල්ල වෙච්ච මට අයිතියක් තියෙනවා "පවුලකට කොල්ලෙක් නැතුවට කමක් නෑ. දුක් වෙන්න එපා. කෙල්ලෙක් ඉන්නවද? ඕ කෙල්ලො දෙන්නෙක්ද? අනේ තුන් දෙනෙක්ම හරියටම අපේ වගේ, කෙල්ලොම හතරක්ද? අම්මෝ එහෙනම් උන් ටික ලෝකේම පෙරළයි" කියන්න.

කොල්ලො ඉන්න කවුරු හරි කෙල්ලෝ ඉන්න පවුලකට හිනා වෙනවා නම් හිත රිදෙන්න කතා කරනවා නම් "මොනවා උනත් ,තිබ්බත් කොල්ලෙක් නෑනේ"  කියනවා නම්, "කෙල්ලො විතරක් බෑ කොල්ලෙකුත් ඕන" කියනවා නම්,
මේ ටිකත් මතක තියා ගන්න මං එහෙම අයට කියනවා "කෙල්ලෝ ලේසී නෑ. උන් බොම්බ වගේ ජාතියක්. උන්ව පුපුරෝව ගන්න එපා කියලා." එහෙම උන දවසක අපිට කෙල්ලෙක් නෑනේ , කෙල්ලෙක් හිටියා නම් අනේ කියලා දුක් වෙන්නත් එපා.

කෙල්ලෙක් කියන්නේ කෙල්ලෙක් ඉන්න පවුලක් කියන්නේ මේ ලොකේ තියෙන ශක්තිමත්ම සමාජ ස්ථරයක් කියලයි මම අද හිතන්නේ. එහෙම පවුල් දුර්වල නෑ. කරුණාකරලා කෙල්ලො විතරක් ඉන්න දෙමව්පියන්ව රිද්දන්න එපා. එහෙම වෙද්දි මොන තරම් උනත් ඒ දෙමෙව්පියෝ අසරණ වෙනවා.  ඒත් දෙමව්පියෝ ඒ කෙල්ලන්ට පණ වගේ ආදරේයි කියන්න අමතක කරන්නත් එපා. කෙල්ලන්ව විශ්වාස කරන්න. ඒ විශ්වාසේට පණ වගේ ආදරේ කරන්න. ❤

3 comments:

  1. ලස්සනට ලියල තියෙනවා. වාසනාවන්ත අම්ම කෙනෙක් සහ වාසනාවන්ත තාත්තා කෙනෙක්

    ReplyDelete
  2. Every single word in this article is true. I know it because I have two daughters and I'm really proud of it :)

    ReplyDelete
  3. Mamath kello thun denekge pawulaka mada kella. Ape gedara kisima dawasaka kollek hitiye naa kiyala kaagewath dukak thibune naa. Adatath ape amma kiyanne kollo daahakata wadaa mata watinawa mage kell othunde na kiyala. Ape akkata inneth kello thun denek. Mata inneth kello dennek :-D

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...