මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, July 16, 2024

තාම කවි ලියනවා

ඉඳහිටක ඉඳහිටක ඉඳහිටක
මම තවම කවියක් ලියනවා
නෑ..
ඇත්තටම නෑ. 
අකුරක් දෙකක් ලියනවා.
ඇත්තටම කිව්වොත්
මම වචනයක් දෙකක් ගලපනවා
කවියක් කියන්නට පුළුවන්දැයි
ඒත් මම තාම හිතනවා

ඇත්තමයි ඇත්තමයි ඇත්තමයි
කවියක තරම් මිහිරක් 
ඒ වචන වල තියෙනවා
ඇත්තමයි මට දැනෙනවා
මිහිරිතම කවියක උනත්
දුක හිතෙන පදයක් තියෙනවා
මම උනත් දුක හිතෙන පද ලියනවා

ආයෙමත් ආයෙමත් ආයෙමත්
ඉතිං එහෙමයි හිතක්
පෑරෙන්නේ බිදෙන්නේ දුක්වෙන්නේ
කොහොම ලිව්වද හිතන්නට බැරි
දුක හිතෙන පදයක්
හැම කවියකම තියෙනවා
ඉතිං මම කවි නොලිවත් 
දුක හිතෙන පදයක් තියෙනවා

එහෙමයි එහෙමයි එහෙමයි
පෑරෙන්නේ බිදෙන්නේ දුක්වෙන්නේ 
සමහර වෙලාවට 
ඉදහිටක ලියන විට
හිතාමතාම දුක හිතෙන්නට
එකම එක පදයක් ලියනවා  
අවසානයට ,. තබනවා
ඇත්තටම කවියක් නෙවෙයි !
ඒ උනත් කවියෙක් ලියු කවියක වගේ
ඉතිං කඳුළක් ඇස් වලට උනනවා

ඉතිං එතකොට ඉතිං එතකොට ඉතිං එතකොට
කවියක් නොවුවත් 
මේ පද සියල්ලම
ඔබ දකින්නට අවැසි බව හිතෙනවා.

ඉතිං ඔබ ඉතිං ඔබ ඉතිං ඔබ
පසුතැවිල්ලක ගිලී යා යුතුයි.
ඉතිං කවියක් නම් ඔබ
අවසානයත් එවැනි ම විය යුතුයි.


Friday, May 31, 2024

ආදරේ නොලැබෙන මිනිස්සු

මට හිතෙනවා මනුස්සයෙකුට මේ ලෝකේ ආදරේ නැතිව යනවා ආදරේ නොලැබෙනවා  කියන්නේ ඒ මනුස්සයා හරියට ඇවිදින මළ මිනියක් වගේ වෙනවා  කියලා. ඔයා එහෙම ඇවිදින මළ මිනියක් දැකලා නැත්නම් මේ මොහොතේ ඔයාට පුළුවන් මගේ දිහා බලන්න. ඔයා මාව දැක්කෝත් ඔයාට හරියටම තේරුම් ගන්න පුළුවන් ආදරේ නොලැබෙන ආදරේ නොලැබිච්ච ආදරේ නොකරන මනුස්සයෙක් කොයි වගේද කියලා. මම කියන්නේ දළ අදහසක් හරි ගන්න පුළුවන්. ඔව් සමහර විට දළ අදහසක් ගන්න පුළුවන් වෙයි. දළ අදහසක්.

මම දන්නෑ මේ ස්වයං පාපොච්චරණයක්ද එහෙම නැත්නම් තමන් ගැන කරන  එක කතාවක්ද විතරද  කියන්න. ඒ වගේම තමයි මම දන්නෑ මම පටන් ගන්න ඕන මගේ නමින්ද එහෙම නම් ඒ වාසගමින්ද නැත්නම් මගේ මැද නමින්ද කියලාවත්. මම දන්නවා මගේ නමින්වත් ගමින් වත් ඔයාට කිසිම ප්‍රයෝජනයක් නැහැ කියන්න. එහෙම නම් මගේ කතාවෙන් උනත් ඔයාට මම කියන්නේ මේක ස්වයං පාපොච්චරණයක් නම් එකෙන් උනත් ඔයාට ප්‍රයෝජනයක් නැති වෙයි. එහෙනම් ඔයා මේක කියවලා කරන්නේ මම මේක ලියනවා වගේම ප්‍රයෝජනයක් නැති වැඩක්. කිසිම ප්‍රයෝජනයක් නැති වැඩක්.

ඔයා දන්නවනේ මේක විශ්ව ගම්මානයක්. තනි ලෝකයක්. මහද්වීප හතක්. රටවල් නම් දෙසීයක් විතර. (මට සමාවෙන්න මම ඒක හරියට දන්නෑ. )තව දුපත් ගණනාවක්. සාගර හතක්, බිලියන හතක විසිරිච්ච  මිනිස්සු. මමත් ඒ මිනිස් පොදියේ එක ම එක මනුස්සයෙක්, බිලියන හතක මිනිස්සු වගේම එහෙ මෙහෙ යන දුවන ඇවිදින. ඒත් ඔයා දන්නවා ද මට දැනෙනවා බිලියන හතක් දුවද්දි ඇවිදිද්දි මම එක තැනක නතර වෙලා ඉන්නවා වගේ. ( ඇත්තම කිව්වොත් මම ඉන්නෙත් අර බිලියන හතත් එක්ක දුවමින් ඇවිදිමින් තමයි.) ඔව් මට දැනෙනවා මම එක තැනක නතර වෙලා ඉන්නවා කියලා. මිනිස්සු බිලියන ගණනක් එක්ක එකතු වෙලා උන් වගේම ඇවිදිමින් දුවමින් ඉන්නකොටත් මට දැනෙනවා මම එක තැන නතර වෙලා ඉන්නවා කියලා. ඒ තමයි ආදරේ නොලැබෙන මනුස්සයෙක්ගේ විදිහ. තනිකරම එක තැනක නතර උන ජිවිතයක්. එකම එක තැනක නතර උන.

ඔයා දන්නවනේ වසන්ත,ගිම්හාන,සරත්,සීත. සෘතු හතරක්. මට මතක් කරන්න එපා සමකයට ඈතින් තියෙන රටවලට විතරක් බව. මොකද මම දන්නවා. සමකාසන්න රටක උනත්, අව්ව වැස්ස, එහෙම නැත්නම් සීත ග්‍රීස්ම කියලා හරි සෘතු වෙන් කරන්න පුළුවන් බව. ඔය ඕනම සෘතුවක් මිනිස්සු ට දැනෙනවා. සීත කාලෙදී මිනිස්සු උණුසුම හොයනවා, වසන්ත කාලේදී මිනිස්සු මිනිස්සු එළි පහළියේ ඇවිදනවා. ඔයා දන්නවා,වැස්සට කැමති මිනිස්සු, වැස්සට කවි ලියන මිනිස්සු, කතා ලියන මිනිස්සු, කෝෆි බොන මිනිස්සු, තුරුල් වෙන මිනිස්සු, උණුසුම් වෙන මිනිස්සු. මිනිස්සු සෘතු අතර සැරිසරද්දී සෘතුන් බෙදා ගිනිද්දි, එකම තැනක නතර උන කෙනෙකුට  කිසිම සීතලක්, කිසිම උණුසුමක්, වැස්සක සිහිලසක්, කෝෆි කොප්පයක් මිහිරි සුවඳක් නොදැනෙන බව ඔයා දන්නවද? ඒ තමයි එකම තැනක නතර උන මනුස්යෙක්ගෙ විදිහ, ආදරේ නොලැබෙන මනුස්සයෙක්ගේ විදිහ. වර්ණ වෙනුවට ජිවිතේ එකම පාටකින් දකින ජිවිතයක්. මගේ ජිවිතේ පිරිලා තියෙන්නේ එකම පාටින්. අළු පාටින්.

ඔයා දන්නවනේ සුවපහසු සහ උණුසුම් ස්ථානයක්. ගෙදරක්. නිවසක්. නිවනක්. එය අභයභූමියක් වැනි තැනක්. උණුසුම් ආහාර පිසෙන තැනක්. කළුවරට එළි දැල්වෙන තැනක්. සිනහවන් ගැවසෙන තැනක්, කඳුළු පිහදැමෙන තැනක්, බදාගෙන වැළඳ ගන්නා තැනක්, දුම් දමන කෝෆි කෝපපයක් බෙදා ගන්නා තැනක්, සුමට තැනක්, නිවසක් පිරෙන්න ඕන එහෙම. ඔයා දන්නවද? අළු පාටින් පිරුණ කෙනෙකුට සුවපහසුව සහ උණුසුම  කියන්නේ බිත්ති සහ වහලය පමණයි.  සීතල බිත්තී, සහ ඝන වහලය ආරක්ෂිත   පලිහක් පමණයි.  එය නිවනක් නොවන නිවසක්.  ජීවත් වීමට නොව පවතින්නට තැනක් විතරයි. හිස් කාමරවල නිශ්ශබ්දතාවය බිත්ති අතර දෝංකාර දෙන, කිසිවක් පැවතුනද කිසිවකු නොපවතින  බව පෙනෙන තැනක්. කිසිවකු නොපවතින නිවසක් කිසිසේත්ම නිවසක් නොවන බව, උණුසුම්ව ආහාර නොපිසෙන, පොසිලෙන් පිඟන් එකට නොගැටෙන, බුමුතුරුණු වල පය නොපිසෙන, කේතලයක විසිල් හඬ නෑසේන, එය භෞතික ලෝකයෙ එක නවාතැනක් පමණයි. ආදරේ නොලැබෙන, ආදරේ නොලැබුණ එකම තැනක නතර උන අළු පැහැති මට භෞතික ලෝකයේ නවාතැනක් පමණයි, එක නවාතැනක් පමණයි.

ඔයා දන්නවනේ මලක් කියන්නේ ජිවිතය  අලුත් විමේ සංකේතයක්. ජිවිතය වර්ණ ගැන්වීමේ සංකේතයක්. සුවඳ විහිඳවන මල්.  සුන්දරත්වයේ පාට පිරුණ මල්.  රතු පාට මල්. කහ පාට මල්. සුදු පාට මල්. වර්ණ අනුව විවිධ තේරුම් සහිත මල්. නව ජිවිතයක ආරම්භයේදී, සහ පැරණි ජිවිතයක අවසානයේදී ළඟින් හිදින්නේ මල්. එක මලක් හෝ මල් පොකුරක් වෙන්න පුළුවන්. රතු පාට සුදු පාට හෝ කහ පාට විය හැකි මලක් හෝ මල් පොකුරක්. නැතිනම් මේ සියළු වර්ණයන්ගෙන් මිශ්‍රව.  ඔයා දන්නවද? ආදරේ නොලැබෙන ආදරේ නොලැබුණ එකම තැනක නතර උන අළු පැහැති මනුස්සයෙකුට  නම් මල් කියන්නේ පෙති පමණක් බව. එහෙම නැත්නම්  පෙති සහ පත්‍ර. සියල්ලම ශාක කොටස්. මලක  වර්ණ සහිත සුන්දරත්වය මට දැනෙන්නේ නැහැ.  පණ නැති දෙයක් ලෙස  මිසක මලක  සුවඳ මා තුළ කිසිදු හැඟීමක් ඇති කරන්නේ නැහැ. මලක විචිත්‍රවත් වර්ණ මගේ ලෝකය දීප්තිමත් කරන්නේ නැහැ.  ආදරය නොලැබුණ, ආදරය නොලැබෙන  මලක් යනු හැම කාලෙදීම එක්තරා කොටසක් පමණයි. පිපිලා පරවෙන. තවදුරටත් හදවතක් මත නොපිපෙන, සතුටක් හෝ බලාපොරොත්තුවක් ගෙන නොඑන.  අළු පැහැති ජිවිතයක අගය කිරීමකට බඳුන් නොවන  මමත්  විසන්ධි වී  ඇති ලෝකයේ තවත් කොටසක් පමණි. ඇබින්දක් පමණයි.

ඔයා දන්නවානේ අහසක්. අනන්තයක් වගේ. නිල් ආකාශ. දම් ආකාශ.  අහස කොයි තරම් විශාල ද, නිමක් නැති සිහින සිතුවම් කරන්න පුළුවන් කැන්වසයක්. අහස කියන්නේ එහෙම දේකට. දහවලට වෙනම පැහැයක්. රාත්‍රීයට තවත් පැහැයක්. තරු පිරෙන අහසක්. සඳ පායන අහසක්. මොන තරම් සංසිද්ධි ගොඩක්ද, සතුටින් ඉතිරෙන මිනිස්සුන්ට අහස කියන්නේම කාව්‍යක්. නාට්‍යයක්. ගීතයක්. චිත්‍රයක්. මේ කුමක් හෝ විය හැකියි. ඔයා දන්නවද ලෝකයේ ඇබින්දක් තරමක කොටසක් පමණක් වු මනුස්සයෙකුට  අහස හිස් වපසරියක් පමණක් බව. නිල් හෝ දම්, දහවල  හෝ රාත්‍රීය වේවා සියල්ලම  එක හා සමාන ලෙස දැනෙන.  තවදුරටත්  ආශ්වාදයක් ගෙන නොඑන ,  පුදුමයෙන් පිරවීමක් තවදුරටත් සිදු නොකරන. හිස්බව පමණක්  පිළිබිඹු කරන. ඔයා දන්නවා මිනිසුන් අහස දිහා බලාගෙන සිහින දකිනවා. රාත්‍රීයට තරු  අතරින් විශ්වයට සම්බන්ධයක්, සබඳතාවයක් හොයනවා. ඒත් අළු පැහැති ඇබින්දක් තරම් කොටසක් වු මට හිස ඔසවා අහස දිහා බැලූ විට  හිස් බව හැර වෙන කිසිවක් පෙනෙන්නේ නැහැ.   ආදරයක් නොලැබුණ, ⁣ආදරයක් නොලැබෙන මනුස්සයෙකුට  අහස කියන්නේ අහසක් විතරයි.  වචනයක් පමණක් උන. එහෙම අහසක් ආදරය නොලැබෙන මනුස්සයෙකුට ලෝකය ඉදිරියේ  තමන් කොතරම් කුඩා හා නොවැදගත් දැයි යන්න සිහිපත් කරවන යමක් පමණයි. 

ඔයා දන්නවනේ තුහින වැස්සක්. ඒ වැස්ස ප්‍රබෝධමත් විය යුතුයි, වැස්සක් කියන්නේ අලුත් වීමේ පොරොන්දුවක්. එහෙම නැත්නම් ජීවිතයක් පණ ගැන්වීමේ බලාපොරොත්තුවක්. මිදුම් සහිත දිනයක වැස්සක ගුළි වෙන මිනිස්සු. තුහින සීතලට පොරෝන බෙදා ගන්න මිනිස්සු. ජනේලයක් ඉස්සරහා වැස්ස දිහා බලාගෙන පොතක තනි වෙන මිනිස්සු. ඔවුන් වැස්ස විදින්න එක එක හේතු හොයා ගන්නවා. උණුසුම් දියර පානයක් පවා හොඳ හේතුවක්. එහෙම තමයි ආද⁣රයෙන් පිරුණු මිනිස්සු. ඒත් ආදරය නොලැබුණ, ආදරයක් නොලැබෙන මනුස්සයෙකුට නම් වැස්ස කියන්නේ අහසින් වැටෙන වතුර බිංදු ටිකක් විතරයි. එහි සීතලක් දැනුනත්  උදාසීන කරවන හැඟිමකින් හිත දියාරු කරවීමක් පමණයි.  එහෙම වැස්සකින් පවා මගේ දුක, ආදරේ නොලබන මනුස්සයෙකුගේ දුක හේදිලා යන්නෑ.  ආත්මයක් පිරිසිදු වෙන්නෑ. ඔයාට මිහිරි හැඟිමක් ගෙන එන වැස්ස  මට තව තවත් හුදකලා බවක් තනිකමක් ගෙන එනවා විතරයි. මිනිසුන් වැස්සේ කවි ලියනවා.  එහි රිද්මයෙන් පවා සැනසීමක් ලබා ගන්නවා.  මම දකින්නේ අළු වලාකුළු සහ තෙත් වීදි පමණයි. එය හිසට සහ පාද වලට මහත් කරදරයක්. තෙත් බවත්, සීතලත් පීඩාවක්. ආදරය නොලැබුණ, ආදරය නොලැබෙන මනුස්සයෙකුට  වැස්ස කියන්නේ  වැස්සක් විතරයි.  තවදුරටත් වැස්ස මට ස්පර්ශ  කරන්න බැහැ. වියළි හදවතක් තවදුරටත් සිහිල් කරවන්න බැහැ.  කොතරම් අකාරුණික බවක් දැනෙනවා උනත් අළු පැහැති දුරස්ථ මනුස්සයෙකුට  තවත් එක දෙයක් පමණයි. එක අංගයක් පමණයි.

ඔයා දැන් දන්නවා ආදරය නොලැබෙන මනුස්සයෙක් මොන වගේද කියන්න. එහෙම මනුස්සයෙකුගේ  මාර්ගය මොකක්ද කියන්න. වර්ණවලින් පිරවුණ ජිවිත  මැද  අළු පැහැයෙන් වර්ණාලේප උන,  සැනසීමක් ලබා දිය යුතු නිවසක් මැද තනි උන, සතුට ගෙන දිය යුතු මල්, බලාපොරොත්තු තැබිය යුතු අහසක් සහ ආශ්වාදජනක වර්ෂාව - මේ සියල්ල  අහිමි කර ගත් මනුස්සයෙක්.

ඉතිං මට හිතෙනවා මනුස්සයෙකුට මේ ලෝකේ ආදරේ නැතිව යනවා ආදරේ නොලැබෙනවා  කියන්නේ ඒ මනුස්සයා හරියට ඇවිදින මළ මිනියක් වගේ වෙනවා  කියලා. ඒ උනත් එහෙම මළ මිනියකට උනත් දවසකදී අවර්ණ පැවැත්මෙන් මිදීමට උවමනාවක් ඇති වෙන්න පුළුවන්, ඒත් නොහැකියාවෙන් ජීවිතය ඒකවර්ණයෙන් දකිමින් ඉන්නවා වෙන්නත් පුළුවන්. හරියටම මම එක තැනක නතර වෙලා හිර වෙලා ඉන්නවා වගේ.එහෙම තමයි ආදරේ නොලැබුණ, ආදරේ නොලැබෙන මිනිස්සු. කොතනක හරි හිර වෙනවා. සදහටම. කිසිම ගැළවීමක් නැතිව. හරියටම මම එක තැනක නතර වෙලා හිර වෙලා ඉන්නවා වගේ.

Monday, April 22, 2024

ඔබේ පැමිණීම

 "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?"


මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ වෙද්දීත් ඒ නකුටාගේ කන් වල  වහලා හිටපු කිනිතුල්ලෝ දෙතුන් දෙනෙක්ව ගලවලා අයින් කරලා තිබ්බා. අපි මෙතන නතර උනේ එක පාරටම කඩාගෙන වැටුණු වැස්සකට. ප්‍රතිභාට ඕන උනේ වැස්සේම ගමන යන්න උනත් මට ඕන උනේ නෑ යටකලිසම තෙමෙන තරමට වහින වැස්සේ තෙතබරියන් වෙන්න. ඉතිං වැස්ස යාන්තම් වැටීගෙන එනකොට ඉස්සරවෙලාම හම්බුණ රොටී කඩේ ගාව මම බයිසිකලේ නැවැත්තුවා. ඒ නැවැත්තිල්ලට ප්‍රතිභාගේ හිතේ කැමැත්තක් ඇති උනේ මේ නකුටු බල්ලා උගේ නකුටු නැට්ටත් වනාගෙන ප්‍රතිභාගේ ඇඟේ ඇතිල්ලෙන්න ගත්තට පස්සේ. මට අද ප්‍රතිභාව හම්බුණේ පළවෙනිවතාවට. අපේ පළමු හමුවීමෙන් පැය කීහිපයක් මේ වෙද්දි ගෙවීලා ඉවරයි. මට ප්‍රතිභාව දැනෙන බවක් මාස ගණනක් පුරා අපි අතර හුවමාරු උන කෙටි පණිවිඩ දුරකථන සංවාද වලින් මම තේරුම් අරන් තිබුණත් ප්‍රතිභාව මගේ මුළු ආත්මයටම දැනෙන බව, අපි පළවෙනි වතාවට මුණ ගැහිලා ගෙවිච්ච මේ පැය කිහිපය ඇතුළේ දී මම තහවුරු කර ගත්තා.

"මේ වගේ"

නකුටු බල්ලා ළඟ බිම ඇණ තියාගෙන ඌව හුරතල් කර කර හිටපු ප්‍රතිභා ඔළුව උස්සලා කෙළින්ම මගේ ඇස් දිහා බලාගෙන හිනාවෙලා දුන්න උත්තරේට මාව ගිනියම් වෙන්න ගත්තා.  ඒක ඇත්තටම ඒ උත්තරේ හින්දම නෙවෙයි, ඒ හිනාවෙයි ඒ ඇස් දෙකේ බැල්මයි මගේ හදවත උණුසුම් කෙරෙව්වා. ඒ වෙද්දිත් මම ප්‍රතිභාට, මගේ හදවත ප්‍රතිභාට ආදරේ කරන බව, ආදරේ කරන්න පටන් ගත්ත බව  මට තේරීලා තිබුණේ. ඒත් අපි කතා බහ කරන්න පණිවිඩ හුවමාරු කර ගන්න ගත්ත මුල් වතාවලදීම ප්‍රතිභාගේ කොන්දේසිය උනේ

" මට ආදරේ කරන්න හදන්න එපා. මම මැරෙන්න ඉන්න මනුස්සයෙක්"

පුංචි කෙටි පණිවිඩේකින් උනත් ප්‍රතිභාට මගේ හිතේ කැමැත්තක් ඇති වෙන බවක් ඇගෙව්වොත් ඒ හැම වතාවේදිම එයා ඒක මතක් කරලා පණිවිඩයක් එව්වා.

" මැරෙන්න ලේසියි, ඒත් ජිවත් වෙන එකයි අමාරුයි, ඇයි ඔච්චර හිතන්න පුළුවන් මනුස්සයෙක් වෙලත්  ඇයි ජිවත් වෙන්න ආයෙම උත්සහා නොකරන්නේ"

සමහර විට මම එහෙම යවන පණිවිඩේකට ආපහු උත්තර විදිහට කිසිම පිළිතුරක් නොඑව්වත් තප්පර ගානකට පස්සේ ආයෙ ම සම්බන්ධ වෙන්න බැරි විදිහට මාව බ්ලොක් කරලා දාන පුරුද්දක් එයාට තිබුණා. පහුගිය මාස පහ හයට මම කිප වතාවක්ම එහෙම බ්ලොක් වෙලා හිටියා උනත් එයා ආයෙම මට පැය ගානකට පස්සේ, දවස් කිහිපයකට පස්සෙ  කතා කරනවා. ඒක පුරුද්දක් විදිහට සිද්ධ උන දෙයක්.  අද මේ හමුවීම පවා එයාගේ උවමනාවට සැලසුම් උනත් අවසන් මොහොත දක්වාම කහ පාට ඇඳුමක් ඇඳගෙන ඇත්කඳ වෙහෙර ලඟට ඇවිත් කතා කරන වේලාව වෙනකම් ම මම විශ්වාස කරේ නෑ එයා මේ ගමන යන්න ඒවී කියන එක.  ප්‍රතිභාට හැමදේම එක මොහොතින් අවලංගු කරලා දාන්න තිබුණා හේතුවක් නොකියාම.

" මැරෙන්න හදන මනුස්සයෙක් මෙච්චර සතුටින් ඉන්නේ කොහොමද කියලද මහත්තයා කල්පනා කරන්නේ" ප්‍රතිභා නකුටු බල්ලව අත ඇරලා එහෙම කියාගෙන මගේ ඉස්සරහින් හිට ගත්තා. එයා නැගිට්ටේ මම බලාපොරොත්තු නොවිච්ච වෙලාවක, අපි දෙන්නා අතර දුර තිබුණේ මිලි මීටර් කිහිපයක්, එයා කොච්චර සරලව එහෙම ඇහුවත් බරට ගත්ත හුස්මක් ඇවිත් මගේ මුණ උණුසුම්ව සිප ගත්තා. මට වචන කිහිපයක් ගොත ගැහෙද්දී ප්‍රතිභා මෙච්චර වෙලාවක් ගාණක් නොතිබිච්ච වැස්සෙන් බේරෙන්න වගේ කඩේ ඇතුළට පැන ගත්තා. තවත් තත්පර ගාණකට පස්සේ මම දැක්කේ උණු තේ කෝප්පයක් අතේ තියාගෙන ඒක නිවා ගන්න තොල් වලට ලං කරන ගමන්, රොටී තැටිය ගාව හිටිය ගෑණු කෙනා එක්ක මොනවදෝ කියවමින් හිනා වෙන ප්‍රතිභාව. එයාට ඒ වේලාවේ මාව අමතක වෙලා තිබුණා හෝ මගේ ගැන කිසිම සැලකිල්ලක් නොදක්වන බවක් ඇගෙව්වා.

කොහොම උනත් මගේ හිත බර වෙමින් තිබුණේ, මම සියළුම දොස් වැස්ස පිටින් යැව්වා. ඒ සීතල හිරි පොද වැස්සට මම වෛර කරන බවක් හිතට දැනෙන්න ගත්තා. තද සීතල වෙනුවට මම මගේ ඇතුළතින් දැවෙමින් ගිනි ගනිමින් පිච්චෙමින් ඉන්න බව මට දැනුනා. මට ඕන උනා ප්‍රතිභාව මෙතන තනි කරලා යන්න. එකෙන් මේ දේවල් තව දුර අරන් යන්න නොදී නවත්තන්න කියලා හිතට බල කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසයක් මගේ හිතට දැනෙන්න ගත්තා. මම ආපහු වතාවක් ප්‍රතිභා දිහා බලද්දී එයා එයාගේ කැමරාවත් එක්ක කාර්ය බහුල වෙලා හිටියේ. එක පාරටම මගේ දිහා බලලා අහිංසක විදිහට හිනා උන ප්‍රතිභා ඊලඟ තත්පරේට මගේ පින්තුර කිහිපයක් ගත්තා.

"අපි යමු" ඊළඟ තත්පරේදී ප්‍රතිභා එහෙම කියාගෙන බයික් එක ළඟ. මට වෙන හෝ වෙන්න නියමිත කිසිම දෙයක් ගැන හිතා ගන්න බැරි උනත් මම එයාට නතු වෙමින් හිටියේ. ප්‍රතිභාට  ගමන එතනින් නතර කරන්න උවමනා වේලා තිබුණා. බයිසිකලේ නුවර පාරට හරවන්න නොදි ආපහු කුරුණෑගල පැත්තට හරවන්න කියද්දිත් මම ඒ ඇයි කියලා ප්‍රතිභාගෙන් ඇහුවේ නෑ. මට කතා කරන්න බැරි  තරමට වචන අමතක වෙලා තිබුණා කියලා ඒ වේලාවේදි දැනුණා.

අවසානේදී මම වචන හොයා ගත්තේ අපි අපේ ගමනාන්තයට ලඟා වෙන්න විනාඩි කිහිපයක් තියෙද්දී.

"ඔයා ඔයාගේ ජිවිතේ සංකිර්ණ කර ගන්නවා" මගේ ඒ වචන සමහර විට හුළඟේ ගහ ගෙන යන්න ඇති එයා නිශ්ශබ්දවම හිටියා. මෙච්චර දුරක් එනකම් මම එයා දිහා පැති කණ්ණාඩියෙන් බලමින් ආවත් එයාගේ මුණෙන් කිසිම දුකක් පසුතැවීමක් පෙනුණේ නෑ. මට පෙනුණේ හුළඟ  එක්ක හිනා වෙමින් ඒ හුළඟ එක්ක මිතුරුකමක් හදා ගන්න උත්සහ කරන ප්‍රතිභාගේ සියුමැලි සුදු මුණ විතරයි. ඒ කොයිතරම් ලෝභ හිතෙන පින්තුරයක් ද කියලා මම කල්පනා කළා මිසක් ඒ හැඟිම් වචන කරන්න විදිහක් දැනන් උන්නෑ.

"ජිවත් වෙන්න ඕන තරම් හේතු ඔයාට තියෙනවා, ජිවිතේ ඕනම දෙයක් පටන් ගන්න හැකියාවක් තියෙනවා, ඔයාට ඕනම කෙනෙක් ආදරේ කරයි, මේ මම උනත්, ඔයා ඒක විශ්වාස නොකළත්," එයාගේ නිශ්ශබ්දතාවය මට වචන එකතු කර ගන්න ශක්තියක් උනා. මේ හැම දෙයක්ම හුළඟේ ගහ ගෙන යන බව දැන දැනම මම හිතේ තියෙන හැම දෙයක්ම කියලා දානවා කියලා හිතා ගත්තා. සමහර විට ඒක එක විදිහක නිදහස් වීමක් වෙන්න පුළුවන් බව මට දැනෙමින් තිබුණා.

" ඇත්තටම මම ඔයාට ආදරෙයි, ඇයි අපිට බැරි එකට ගමනක් යන්න. ඔයාගේ ඔය විකාර අදහස අත ඇරලා. ඔයා නොදන්නවා උනාට ඔයා වටේ කොච්චර මිනිස්සු ඉන්නවද? ඔයා ලියන දේවලට ආදරේ කරන මිනිස්සු, ඔයාගේ පින්තුර වලට ආදරේ කරන මිනිස්සු, ඔයාගේ කතාවලට ආදරේ කරන මිනිස්සු.ඔයාගේ කවි වලට ආදරේ කරන මිනිස්සු, ඒ හැමෝටමත් වැඩියෙන් මම ඔයාට ආදරේ කරනවා. "

මගේ වචන නැවතුනේ අපි ගමනාන්තයට ආව නිසා. ඇත්කඳ වෙහෙර පේන මානෙදි බයිසිකලේ නතර කරන්න කියලා ප්‍රතිභා  මගේ උරහිසට තට්ටුවක් දැම්මා. මෙච්චර වෙලාවක් මම කියවපු වචන නිකම්ම නිකම් හිස් වචන ටිකක් බවට පත් වෙලා තිබුණා. මගේ හිත බර වෙමින් තිබුණේ. එයාට වැඩි උනන්දුවක් තිබුණේ නෑ ඒ වේලාවේ බයිසිකලෙන් බහින්න. ප්‍රතිභා විනාඩි ගාණක් එහෙමම හිටියා. විනාඩි පහ හයකට පස්සේ එයා හිමින් බයිසිකලෙන් බැහැලා මගේ ලඟට ආවා. තත්පර කිහිපයක් මගේ දිහා බලාගෙන ඉදලා මගේ වම් අත අල්ල ගත්තා. ඒ වේලාවේ මම හිටියෙ කොහෙ හරි අතරමං වෙලා. මම ප්‍රතිභා  දිහා බලන්න උනන්දුවක් නැතුවම එයාගේ අත් දෙකේ පැටළුන මගේ වම් අත දිහා බලාගෙන හිටියා. තත්පර කිහිපයක්ම. ඒත් මට ඒ කාලය පැය ගණනාවක්. ප්‍රතිභා හිමිට කතා කරන්න ගත්තේ මට එහෙම දැනෙමින් තියෙද්දි. සාමාන්‍යයෙන් ප්‍රතිභා ඒ විදිහට කතා කරන කෙනෙක් නෙවෙයි. වචන අස්සෙන් උගුර හිර වෙන එක වළක්වන්න හරි, ඉකි ගැහෙන එක වළක්වන්න හරි, එහෙම නැත්නම් ඇස් වලට කඳුළු උනන එක වලක්වන්න හරි එයා ඒ විදිහ තෝර ගන්න ඇති. මොන දේ උනත් ප්‍රතිභා ට  උවමනා වෙන්න නැතිව ඇති එයාගේ දුක හරි, කඳුළු හරි මගේ ඉස්සරහා පෙන්නන්න.

"සමහරවිට ඔයාට තාම තේරිලා නැතිව ඇති,  මම තව මනුස්සයෙක් එක්ක එකට ගමනක් යන එක ගැනවත්, තාවකාලිකව සතුටක් හොයාගන්න එක ගැනවත් තව දුරටත් කැමත්තක් නැති බව. ඔයාට හිතාගන්නවත් බැරි වෙයි ඒක මගේම පැවැත්ම සහ මගේ ගැන, මට ගන්න පුළුවන් කොයි තරම් සාධාරණ තිරණයක්ද කියන එක. මට කාත් එක්කවත් අරගලයක් නැහැ. ඒ වගේම මට කිසි කෙනෙකුගෙන් සාමයක් හොයාගන්නත් බෑ.  මට වේදනාවක් ඇති කරපු ලෝකයෙක් එක්ක  තවදුරටත් ආදරේ ගැන කතා කරන්න මට හිතෙන්නෑ. සමහර විට මම වැරදි ඇති. ඒත් ඒ වැරුද්ද පෙන්වලා දෙන මිනිස්සු ගැන හිතන්නවත් මට උනන්දුවක්, උවමනාවක් නැහැ. හෙට ඉර පායනවා කියලා අපි දන්නවා. මිනිස්සු ඒක අවිශ්වාස කරන්නෑ. මොකද අපි ජිවිතේ දකින්නේ ඒ දේ විතරයි. අපි ඒක විශ්වාස කරනවා.ඒ විශ්වාසය එක්ක බැඳීමක් හදා ගන්නවා. ඒත් මට ඕන එහෙම විශ්වාස කරන්න තරම් මිනිස්සු  බැදෙන ග්‍රහණයෙන් ඈත් වෙන්න. මගේම තීරණයක්  එක්ක නිහඬවම   සැනසීමක් අත් විඳින්නයි. මට මේ ජිවිතේ දී ලබා ගන්න ඉතුරු ඒ සැනසීම විතරයි"

මට හිතුනේ ප්‍රතිභාගේ ඒ වචන මගේ කන් වලට ඇහෙන් නැතුව හුළඟේ විසිරිලා ගියා නම් කියලා. මම එහෙමම විනාඩි ගාණක් බයිසිකලේ වාඩි වෙලා හිටියා. ප්‍රතිභා  යන්න ගියා. මම වචනයක් කියන්නත් කලින්ම. කොහොම උනත් මට කියන්න තරම් වචනයක්වත් හොයා ගන්න බැරිව හිටියේ. තවත් විනාඩි කිපයක් ගත උනාටත් පස්සේ මම පියවි සිහියට ආවේ මගේ දුරකථනය නාද වෙන්න පටන් ගත්ත නිසා. දුරකථනයට පිළිතුරු දෙන අතරේදි මම දැක්කා ප්‍රතිභාගේ කැමරා බෑග් එක පිටි පස්සේ ශිට් එක උඩ තියෙනවා. මම ප්‍රතිභාගේ අංකය ඇමතුවත් එයා දුරකථනය ක්‍රියා විරහිත කරලා තිබුණා. මම තව දුරටත් උත්සහා කිරිමේන් පලක් නැහැ කියලා මට තේරුම් ගැන්නුවේ, මගේ කන් ඇතුළේ දෝංකාර දුන්න එයාගේ අන්තිම වචන ටික. හදවත ඇතුළෙන් රස්නයට පිට වෙච්ච හැඟිමක් කඳුළක් වෙලා වැටෙද්දී මමත් මගේ දුරකථනය ඒ මොහොතේම විසන්ධි කරලා දැම්මා.


.................................................................................................................
.................................................................................................................
.................................................................................................................


⁣" මේ ෆෝන් එක ඔයාගේද? "

සත්සරණි  බඩත් උස්සන් පැද්දී පැද්දි මගේ ලඟට ආවේ ෆෝන් එකට හිනා වේවි.

" ඔයා fb නෑ කිව්වට ඉස්සර මේ ඉදලා තියෙන්නේ," "ඔයාගේ නේද මේ එකවුන්ට් එක"
"මොකක්ද අනේ ඒකේ නම ඇත්තට"
"සන්තියාගෝ නම් සැරිසරන්නා, ඉස්සර ට්‍රැවල් කරපු නිසාද ඒ නම දා ගත්තේ"
" මම නිකං ඔන් කරලා බැලුවේ අනේහ්"
" මං මේ ඉඳිකට්ටක් හොයන්න අර පෙට්ටිය අදිද්දි හම්බුනේ, ඔයාගේ වෙන්නැති කියලා නිකමට ඔන් කරේ" 
" ආ මේ ඔයා කඩේ යනවා කිව්වා නෙහ්, අම්මා කිව්වා පොල් තෙලු යි පහන් වැටී ගේන්න කියලා, හවස බෝධි පුජාවට යන්න. ආ ඔයත් එනවානේ හ් හවස"

සත්සරණි ෆෝන් එක මගේ අතට දෙන ගමන් අහපු ප්‍රශ්න වලට කිසිම උත්තරයක් බලාපොරොත්තු ⁣උනේ නැතුව ම, මට වචනයක්වත් කියන්න තරම් කාලයක් නොදිම ආයෙම ගේ ඇතුළට ගියා. මේ අවුරුදු එක හාමරම ⁣සත්සරණි⁣ගේ හැසිරීම එහෙමයි.
මගේන් දාහක් දේවල් ඇහුවත් ඒ කිසිම දේකට උත්තර බලාපොරොත්තු නොවී හිටියා. එහෙම දෙයක් ඇහුවත් එයා ඒකට මගේ උත්තරේ දැනගෙන හිටියා වගේ හැසිරුණා. ඇත්තටම එයා මගේ උත්තර දැනගෙන ඉන්න ඇති.  ඒකට හේතු උනේ මම උත්තර නොදීම ද එහෙම නැත්නම් එයා උත්තර බලාපොරොත්තු නොවුන එකම ද කියලා මම මෙච්චර කාලයකට හිතලා තිබ්බේ නෑ. සමහර විට මම නිහඬ පුද්ගලයෙක් විදිහට එයා දකින්න ඇති, සත්සරණිගෙයි අම්මාගෙයි හිනාවල් ඇහෙන්න ගත්තා කාමරෙන්, අම්මාගේ යාලුවෙකුගේ දුවක් වෙච්ච සත්සරණි අම්මාගේම යෝජනාවකින්  ගෙදර ලේලි වෙලා ආවා. මගේ බිරිඳ වෙලා ආවා. අම්මයි සත්සරණි දවස ගත කරේ එයාලටමවෙන් වේච්ච ⁣එක ලෝකේක. ඒත් අපි අතර ලෝක දෙකක් තියෙනවා නේද කියලා මට දැනුනේ ආයෙම දෙන්නා හිනා වෙන සද්දේ ඇහුණ නිසා. ඒක තාත්තාගේ විහිළුවක්. මගේ හිත බර වෙන්න ගත්තා. මට අයිති නැති ලෝකයක් මේ ගෙදර ඇතුළේ ගොඩ නැඟිලා තියෙනවා කියන්න  මට දැනුනෙත් ඒ වේලාවේ.

ඒ හිතේ බර ගතියෙන්මයි මම "ප්‍රතිභා දිව්‍යාංජලී" කියලා ප්‍රතිභාගේ නම සර්ච් කළේ. කැමාරව අතින් අරන් කණ්නාඩියට හිනා වෙලා ඉන්න කළු සුදු පින්තුරේ එදා විදිහටම තිබුණා. කිසිම වෙනසක් නැතිව. එහෙම වෙනස් කරන්න  උවමනාවක් වෙන්න නැතුව ඇති කියලා දැනෙද්දි මගේ අතයි හිතයි වේව්ලන්න ගත්තා. ෆෝන් එක ඔෆ් කරලා පැත්තකින් තියන්න හිතුවත් මොකක්දෝ හිතෙන් ආව බල කිරිල්ලකට මට ප්‍රතිභාගේ පින්තුර දකින්න ඕන උනා. මට හම්බවුන පළවෙනි සටහන මීට අවුරුදු දෙකකට කලින් දිනයක් සටහන් වේලා තිබුණා.  ඒ එයාගේ අන්තිම සටහන වෙන්න ඇති. ඒත් ආයෙමත්  මගේ හිත ඒ සටහන කියවන්න බල කළා. මොන දේ උනත් ඒක හිතට දරා ගන්න පුළුවන් නිහඬකමක් මේ අවුරුදු දෙක තිස්සේ  හිත ඇතුළේ ගොඩ නැඟිලා තිබුණා.

"මම ගත්ත සමහර තීරණ වෙනස් නොවන බව සහ වෙනස් නොකරන බවට දිවුරා පෙරොන්දු දුන් අවස්ථා  මගේ ජීවිතයේ තියෙනවා.  එහෙම, දැඩි තීරණ  හදවත  තුළටම කිඳා බැස ඇති අවස්ථාවක උනත්, මගේ පැවැත්ම වෙනුවෙන් ම, ජිවිතය ජිවත් කර විය හැකි තරම් පැවතීමේ ආශාවන්ගේ දිශාවට ජිවිතය තල්ලු කරන්නට වන අවස්ථා, එහෙම නැත්නම් දැඩි හෝ සෘජු තීරණ වඩාත්  මෘදු හා මොළොක්  තීරණයක් දක්වා මාරු කරන ලෙස හදවත ඉල්ලා සිටින දුර්ලභ අවස්ථා ජිවිතේ ට උදා වෙන්න පුළුවන්. ඒක එක්තරා කුණාටුවක් මැදින් ගමන් කරලා අවසානයේ කුඩා නීල වර්ණ දුපතක් සොයා ගන්නවා වගේ හැඟිමක්. මම පසුගිය දවස් කිහිපය ගත කරමින් සිටියේ එවන් කැළඹිමක් සහිත කුණාටු සාගරයක.  කැළඹිලි සහිත සාගරක් වගේ හදවතක් දරන ගැහැනියක් එක්ක, වරින් වර වෙනස් වෙමින්  කුණාටු ස්වරූප ගන්නා හදවතක් සහිත ගැහැනියක්  එක්ක වඩාත් කරුණාවෙන් යුතුව නිර්භීතව ගමන් කිරීමට ධෛර්යය ඇත්තේ ආත්මීය හදවතක් සහිත  පුද්ගලයෙකුට පමණක් බව ඒ කුණාටුව මැද්දේ දී මට අවබෝධ කර ගන්න පුළුවන් උනා. හරිම සරළ කාරණාවක් වගේ.

පහුගිය දවස්වල මගේ ආත්මයම වසාගෙන පැතිරුණ   නිහඬ කෙඳිරිලික්, මට ඒත්තු ගැන්නුවා, ආත්මීය  මනුස්සයෙක්  එක්ක අත්වැල් බැඳගෙන මේ ගමන නිමා කිරීම කොයි තරම් සැනසිලිදායක විය හැකිද යන වග. සීතලම මීදුම පිරුණු පාරක, කොයි තරම් නම් උණුහුම් විය හැකිද යන වග.  වැසි සහිත දහවලක පවා  පෙරන ලද කෝපිවල සුවඳ විඳිම කොයිතරම් නැවුම් හැඟිමක් විය හැකිද යන වග. බෙදාගත් කෑමක්  අනාගෙන කවා ගැනීම කොයිතරම් මෘදු හැඟිමක් විය හැකිද යන වග, නිස්කලංක නිවහනක ආදරණීය සුරතලකු  වැලඳ ගැනීම කොයි තරම් ආදරණිය විය හැකිද යන වග. මහ රෑක මැදියම තුරුළුව කඳුළු පිහදමමින් බාල බොළඳ සිනමා පටියක් නැරඹිම කොයිතරම් ප්‍රේමණිය විය හැකිද යන වග. බඳා වැළඳ ගනිමින්, හාදු තවරමින් යන ඉතා දුර ගමනක් කොයි තරම් සුරක්ෂිත විය හැකිද යන වග.මේ සියලු ආශාවන්, බලාපොරොත්තු මේ වන විටත් මගේ හදවත තුළ නැංගුරම් ලා අවසානයි.

  මෙය මම පාපොච්චාරණය කරන්නට ලියමි ,  සිහින දැකීම  වරක් මා සහ මගේ හදවත භීතියකින් පුරවා තබා තිබුණි. නමුත් දැන්, ඔබ ඉදිරියේ, සිහින ඉටු විය  හැකි බවක්, සිහින ඉටු වන බවක් දැනෙමින් මගේ හදවත ප්‍රිතියකින්, ප්‍රේමයකින් බැබලෙන්නට පටන් ගෙන ඇති බව ඔබට මෙලෙසින්  පාපොච්චාරණය කරමින් ලියමි.  ඔබේ පැමිණිම,  ඔබේ ස්පර්ශය, මගේ  හදවත  තුළ  මට මා අයිතිය යන  හැඟීමක් ඇති කරවන්නට සමත් වී අවසන්. ඒ හැඟිම ලෞකික සීමාවන් ඉක්මවා යන ගැඹුරු සම්බන්ධයක් බව හදවත මට ප්‍රති උත්තර දෙයි.  එය හරියට තර්කයට සහ තර්කයට පටහැනිව නොබිඳිය හැකි බැඳීමක් ඇති කර ගනිමින් අපගේ ආත්මයන් එකට බැඳීමට නියමිත වූවාක් මෙනි.

  මගේ කැමරාවේ කාචයෙන් ඔබේ රූව කාචගත කර ගත් අවස්ථාවේ, මම ඔබේ  සුන්දරත්වය තුළින් මගේම විය යුතු යැයි බල කරමින් කියන ඕබේ හදවත සමඟ අනුනාද වන ඔබේ ගැඹුරු දෑස්  දුටුවෙමි.  එදා මම මගේ කැමරාව ඔබ ළඟ හිතා මතා ම අත හැර දමා ආවාත්, නොදැනුවත්වම එදා මම ඔබට  මගේ  හදවත ද බාර දී ඇත. ඔබ කෙරෙහි වූ මගේ ආදරය මා තුළ ජිවිතයෙන් නික්ම යාම ප්‍රතික්ෂේප කර, බලාපොරොත්තුවේ දැල්ලක් දල්වා ඇති බව ඔබ දැන ගත යුතුයි.

  ඉතින්, මම හුස්ම හිරකරගෙන,  අපේක්‍ෂාවෙන් හදවත පුරවා ගනිමින් ඔබට ලියමි. ඔබේ දෑතට වාරු වී, ඔබ සමඟ ජීවන ගමන එක්ව යාමට මා බලා සිටින වගත්, වරක් ළඟා විය නොහැකි යැයි පෙනුණු සිහින වැලඳ ගැනීමටත් මා තුළ දැඩි ආශාවක් ඇති කරමින්, මගේ වෙහෙසකර ආත්මයට නව ජීවයක් ලබා දුන්නේ ඔබේ ආදරය බව නොසගවා ලියමි. තවමත් අමනාපයෙන් නොවේ නම්, ඉතිං ඔබ මා අමතන තුරු ආදරෙන්............

මට තව දුරටත් ඒ සටහන කියවගෙන යන්න පුළුවන් කමක් තිබුණේ නෑ.  ඒ ඇස්වලින් වැටෙන කඳුළු නිසාවත්, හිත තද උන නිසාවත් නෙවෙයි, "ප්‍රතිභා දිව්‍යාංජලි" කියන නමත් එක්ක කැමරාවක් අරන් කණ්නාඩියට හිනා වෙලා ඉන්න කළු සුදු පින්තුරේ උඩ පුංචි කොළ පාට එළියක් දැල්වෙන්න ගත්ත බව දැක්ක නිසා.  මගේ වෙව්ලන ඇඟිලි වලින්  ඒ මොහොතේ දී ම දුරකථනය  ක්‍රියා විරහිත උනා.





Saturday, April 20, 2024

පිළිතුරු

 


දිලෙන අහසක
නොදිලෙනා තරුවකින්
නොඅසන්න ඊට හේතුව
"සත සහශ්‍ර ගණනකට පෙර
දුහුවිලි කුණාටුවක්"
ඒ විය හැකියි එයට උත්තරය

සයුර හමුවන්න පෙරදීම
සීඳී ගිය ගඟුළකින්
නොඅසන්න ඊට හේතුව
"නම ගමත් වගතුගත් නොසොයා
ඉඩෝරයකට පෙම් බැඳීමක්"
ඒ විය හැකියි එයට පිළිතුර

සමතලා තැනිතලා බිමක
හුදකලා උන කන්දකින්
නොඅසන්න ඊට හේතුව
"මල් පිපුණු පුංචි ගසකට
හෙවන වෙන පොරොන්දුවක්"
ඒ විය හැකියි එයට පිළිතුර

රෝස මල් උයනක
මල් නොපිපි ගසකින්
නොඅසන්න ඊට හේතුව
"විසුණු වන පෙති දැක
රළු සුළඟ ගැන ඇති  බියක්"
ඒ විය හැකියි එයට පිළිතුර

බැබලීම සඳට දී
සයුරකට මුවා වන ඉරකින්
නොඅසන්න එයට හේතුව
"ඉරට නැති විය හැකියි
සඳේ බැබලීම තරම් සතුටක්"
ඒ විය හැකියි එයට පිළිතුර

ඉතිං එක දිනකදි
ඔබව විමසන මිනිසුන්ගෙන්
නොඅසන්න එයට හේතුව
කිසිවක්ම නොකියා
නිහඬ වී හිනැහෙන්න
ඒ තමයි  එයට "හොඳම" පිළිතුර



Friday, February 16, 2024

C ට ආදරෙන්

 ආදරණීය C,


මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැහැ, අපි කොහොමත් දුරස්ථ ජීවින් විදිහට කාලයක් තිස්සේ අපේ ජිවන මාර්ග වල ඇවිදිමින් ඉන්නවා.

ඒත් දන්නවද C, සුදු පාට වෙරළ තීරයත්, එක පිට එක රෑළි නැඟෙන ඔබේත් - මගෙත් ප්‍රියතම දසුනක් වු මුහුද දිහා ඉගිල්ලෙන ගුවන් යානයේ සිට මම බලාගෙන හිටියා, ඈතින් ඈතට යන තුරුම, බොඳ වෙලා යන තුරුම, මේ සීමාව කුමක්දැයි හඳුනාගත නොහැකි වනතුරුම, මම බලාගෙන හිටියා. හුස්ම වැටෙන වේගය ටිකෙන් ටික වැඩි වෙද්දී, මහා තදැති බරකින් හදවත තෙරපෙන හැඟිමක් මට දැනෙන්නට ගනිද්දිත්, සියළු ප්‍රියයන්ගෙන් වෙන්ව යන දුක හා ශෝකය මිශ්‍ර හැඟීමකින් දෑස් බොඳ වෙද්දීත්, ⁣කොහේදෝ තැනක සිටි ඔබේ සතුටු සිනහ පිරි මුහුණ ටිකෙන් ටික මැ⁣වෙන්නට වීම, ඔබේ මුදුම කටහඬ ඇසෙන්නට වීම, ඔබෙන් මා සදහටම වෙන්ව යන බවත්, මා ඔබට සදහටම සමු දිය යුතු බවත්  හදවතට දැනෙන්නට උනා C.

කාලය විසින් සහ සමහර  තීරණ විසින් අපව ⁣දෙපසකට  කරද්දීත්, ඔබට මා නොහඳුන, නොදන්නා, නොදැනෙන මිනිස් ප්‍රාණියෙකු බවට පමණක් පත්වෙද්දීත්, ඔබ - මට ලබා දුන් ආදරය පිරුණු නම් එකින් එක නෑසී යද්දීත්, ඔබ මගෙන් සදහටම සමුගත් වගක් මට නොදැනුනේ කිමදැයි මම නොදන්නෙමි.

සමහර විටෙක ඔබේ හුස්මක් සිහින් සුළඟේ  පාවී එතැයි යන හැඟිමකින් හෝ ඔබේ කටහඬ කොහෙ හෝ සිට පාවී මගේ සවනත ගැටේවී යැයි යන හැඟීමෙන් මා වේළි ඉන්නට ඇති. එසේත් නොමැති නම් ඔබට නොදැනෙන පරිදි, ඔබ නොසිතන පරිදි, ඔබට නොපෙනෙන පරිදි, එහෙත් ඔබ දන්නා අයුරින් ඉතා දුරන් හිඳ, එකම එක තත්පරයකට අවැසි විටෙක හෝ ඔබ මතකයට එන විටෙක, තවදුරටත් ඔබව දකින්නට නොලැබෙන බව සිතට දැනීම වන්නට ඇති. එය කොතරම් බොළඳ දැයි මා දන්නවා C. එත් ඒ බොළඳ බව ගෙවී යන තත්පරයක් පසා මගේ  මතකයට ඔබේ වෙනස් වන රුව එකතු කරදුන්නා C.

ඔව්, ඔබ මා ගැන දන්නා පරිදිම, මට ඔබව හෝ ඔබ කෙරෙහි වූ ප්‍රේමය අත හැරීමට නොහැකි බව ඔබ දන්නවා C, ප්‍රේමයක් මේ තරම් විශාලයැයි මා කවරදාකවත් ⁣නොසිතු බවත් ඔබ දන්නවා C. එවන් ප්‍රේමයක් මගේ හදවත වෙතැයි මම කෙදිනකවත් විශ්වාස නොකළ බවත් ඔබ දන්නවා C.

එහෙත්, ඔබ ගැන මා දන්නා පරිදි, ඔබේ හදවතත්,  පිරි  ඉතිරුණු  ප්‍රේමයත්  ඉතා විශාල යැයි ඔබ පවසද්දී, මා ඔබව විශ්වාස කළ වග ඔබ දන්නවද C. ඔබට මා හෝ මා කෙරෙහි වු ප්‍රේමය අත හැරීමට හැකි වුයේ කෙසේදැයි  අද ද මා නොදන්නෙමි. එහෙත් එය  කෙසේ සිදුවුණි දැයි විමසිමත්, ඔබ කෙලෙස මා අමතක කළේදැයි සිතිමත්, දැන් දැන් මා වෙහෙසට පත් කරවනවා C. 

මා ඔබට ප්‍රේම කිරීම නවතා දමන්නට තරම් දුර්වල නොවන බව මා දන්නවා C. එහෙත් ඔබෙන් මා සදහටම සමුගන්නා බව  දැනීම, ඉතා ඈතකදී, සුදු පැහැති වළාකුළු පමණක් කවුළුවකින් ඇස ගැටෙන විටකදී පවා, හිතට සහනයක් වී දැනෙනවා C.

ඉතිං ඔබේ හුස්මක් පවා නොගැටෙන බිමක,  ඔබේ කටහඬ පවා නෑසෙන තැනක, ඔබව දැකීමට හිතට බල කළ නොහැකි මොහොතක, මම වෙනස් මගක ගමන් කරනවා C. ඒත් ඒ හැම පියවර සටහනක්ම ඔ⁣බ වෙනුවෙන් ඔබේ නමින් ප්‍රේමයක් දරාවී, ප්‍රේමයක ලියාවී.

මම ඉතා ඈතක සිට
A
2024.01.17












තාම කවි ලියනවා

ඉඳහිටක ඉඳහිටක ඉඳහිටක මම තවම කවියක් ලියනවා නෑ.. ඇත්තටම නෑ.  අකුරක් දෙකක් ලියනවා. ඇත්තටම කිව්වොත් මම වචනයක් දෙකක් ගලපනවා කවියක් කියන්නට පුළුවන...