Tuesday, June 6, 2017

ජෙලි හදද්දි ජෝලි




පහු ගිය දවස් වල ඒ කියන්නේ අවුරුදු සුමානේ, හරියටම කිව්වොත් අවුරුදු දාට පහුවෙන්දා. ඒ කියන්නේ පහලොස් වෙනි සෙනසුරාදා.

ඉතිං එදා අපේ නංගිට ඕනේ උනා දිවා ආහාරයෙන් පස්සේ  රසවත් අතුරුපසක් හදා ගන්න. කොහොමත් ඔය විදිහේ සුකුරුත්තන් වැඩ වලට එයා හරි දක්ෂයි. මම නම් ඉතිං ඔය වගේ වැඩ වලට ඒ තරම්ම ප්‍රියතාවයක් නෑ. ඔය කියන ඒවා හදන්න බැරිකමටම නෙමෙයි. ඔය අතුරුපස වගේ සුකුරුත්තන් කෑම බීම හදා ගන්නේම කිරි, බිත්තර, යෝගට්, බටර්, අයිස් ක්‍රීම්, චොකලට් වගේ නානාප්‍රකාර දෙවල් එකතු කරලානේ. ඔය කියපු කිසිම දෙයක් මම දණි පණි ගහණ කාලේ ඉදන්ම දිවේ, තොලේ ගැවුවේ නැනේ. අදටත් ඉතිං එහෙමයි මම තණකොළ විතරක් කන කෙනෙක් නිසා. (හම්බුනොත් ඔය බටර් කේක් කෑල්ලක් එහෙම නම් ඉතිං නෝකා ඉන්නෑ.)

කොහොම කොහොම හරි ඉතිං ඔය අතුරුපසක් හදන්න හිතපු අපේ නංගි එ්කට ඕන අඩුම කුඩුම ටික ගෙන්න අවුරුදු දවසේම මාව කඩේ යැව්වා. කොහොමත් වේලාවක් අවේලාවක් නැතුව මම ගෙදර අයට  කඩේ යනවා. ඔය කඩේ යෑමටත් ඉතිං ඉතිහාසගත වාර්තා තියෙනවා. සිල්ලර කාසි ගණන් කරන්න පුළුවන් කම ලැබුන අවධියේම තමයි මගේ කඩේ යෑම ආරම්භ වෙන්නේ. ( ඒ ඉතිං බොහොම පුංචි අවධියේ, වයසින් කිව්වොත් එහෙම අවුරුදු හයක් - හතක් විතර කාලේ තමයි) මුලින් මුළින්ම නම් කඩේ ගියේ අාසාවට. ඒ කාලේ ඉතිං රුපියල් සීයක් , පනහක් තමා දෙන්නේ කඩේ යන්න. ඉතිං ඔන්න සීයක් එහෙම අතට දීලා කඩේ යවනවා කියන්නේ එදාට ඉතිං රජ ගෙදර මඟුල් ගේ වගේ තමා මේ මට. 

ඉතුරු වෙන සල්ලී වලින් මාරි බිස්කට්, ඊට පස්සේ මස්කට්, බුල්ටෝ තවත් ඉතුරුනම් නාරම් බික් හැඩයට තිබුණ සීනී බෝල. ඒ කාලේ නම් රුපියලක් තිවුණොත් නාරම් බික් අටක්ම ලැබෙනවා නේ. ඔය කාලේ මගේ අතට කීයක් දුන්නත් කඩේ ගිහින් ආවට පස්සේ කවදාවත්ම ඉතුරු නොලැබෙන හින්දා අම්මා එහෙම පුරුදු වෙලා හිටියේ බඩු ලයිස්තුවේ වියදමට හරියන්නම සල්ලි දෙන්න තමයි. පස්සේ පස්සේ කඩේ යාම පුරුද්දක් වුනා. දැන්නම් එක පුරුද්දකටත් වඩා යුතුකමක් වෙලා. හැබැයි ඉතිං කොයි විදිහක කඩේ යෑමක් උනත් ගෙදර අයට විතරයි.

දැන් කතාවෙන් ගොඩක් පිට පැනලානේ. ආයෙම කතාවට ආවොත් මෙහෙමයි. දැන් ඔය අතුරු පස හදන්න උවමනා කියන බඩු ටික ගෙදර අයිස් පෙට්ටියේ ස්ථානගත වෙලයි තිබුණේ. එත් ඉතිං මදිපාඩු අඩුපාඩු නොවෙන්නේ කොහෙද නේද? දැන් ඔය අතුරුපසට ඕන කරන ජෙලටින් ඉවර වෙලා. ඒ ඉතිං කලින් දවසකත් ඔය මොකක්ද අතුරුපසක් හැදි ගාලා තමයි. කොහොම හරි ජෙලටින් පැකට් එකක් ගෙන්න සුපුරුදු පරිදි මම කඩේ ගියා. අවුරුද්ද නිසා හුඟාක් කඩවල දොරවල් වහලා තිබුණේ. ඇරලා තිබුණ කඩේකට ගොඩ වෙලා මම ජෙලටින් හෙව්වා හෙව්වා හෙව්වා හෙව්වා. අන්තිමේදී මට හොයා ගන්න පුළුවන් උනේ ජෙලි ක්‍රිස්ටල් එකක්. ඒකත් ග්‍රෑම් 500 පැකට් එකක්. ජෙලි කියලා දැක්කා විතරයි ගත්තා අතට. අරන් ආවා. ආවට පස්සේ තමයි හරියටම දැන ගත්තේ ජෙලි ක්‍රිස්ටල් කියන්නේ වෙනම එකක්ය - ජෙලටින් කියන්නේ වෙනම එකක්ය කියලා. ආයෙම කඩේ ගියේ නංගිගේ හදවත රිදෙවී කියලා සිතුන බැවින් මිසක එයාගේ කෑ ගැහිල්ලට එහෙම බයේ නොවන බව නොකියා හිදිම හොද නැතිය.

නැවත කඩේ ගිහින් මම ජෙලටින් අරන් ආවයි කියමුකෝ. දැන් මෙහෙමයි ඔය නංගි හදපු අතුරු පස හදා ගන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය :
දැනටමත් දන්නවානේ ඉතිං ජෙලටින් ඕන කියලා.
ඊළගට බිස්කට්  - (නංගි ගත්තේ නම් චොකලට් බිස්කට්ය.)
ආ තව ඕනේ මිල්ක් මේඩ් එකක් එහෙම
තව ජෙලි පැකට් එකකුත් ඕනැය
කොළ ඇපල් ගෙඩියක් ද ඕනෑය
බටර් /මගරින් එහෙමත් ඕනැය

හදන්නේ මෙහෙමය :

අර බිස්කට් ඒ කිව්වේ චොකලට් බිස්කට් ටික අරගෙන චොකලට් ටික ඉවත් කර ගන්නට ඕනෑය. ඊටත් පස්සේ ඒ ටික කුඩු කරගන්න ඕනෑය. ඔය කුඩු කරගත්ත බිස්කට් එකට බටර්/ මාගරින් දමා කලවම් කර ගන්න ඕනෑය. ඊටත් පස්සේ ඔන්න තෙල් කඩදාසියක් දාපු භාජනේකට ඔය මිශ්‍රණය දමා ටික වේලාවක් අයිස් පෙට්ටියේ තියන්නට ඕනෑය. ඒ විනාඩි දහයක් පහළවක් විස්සක් වගේ කාලයක් උනාට කමක් නැත.

දැන් ඉතිං අයෙමත් අයිස් පෙට්ටියෙන් බිස්කට් ලේයර් එක සහිත භාජනේ ඉවතට අරගෙන එයට තවත් ලේයර් එකක් එකතු කරන්නට ඕනෑය. ඒ ලේයර් එක හදා ගන්නේ මෙහෙමය.මුලින්ම දැන් ඔය මිල්ක් මේඩ් එකට සීනි කෝප්ප භාගයක් ජෙලටින් තේ හැදි තුනක් පමණ දමා මිශ්‍ර කර ගන්නවාය. අවශ්‍යය නම් දෙහි බිංදු කිහිපයක් එකතු කර ගත්තාත් වරදක් නැත. නංගි එසේ එකතු කරගත්තාය. ඒ මදිවට ට්‍රොපිකා චොකලට් එකක් අරගෙන චොකලට් ටික අයින් කරලා එහෙම ඇතුලේ පොල් කෑලි ටිකත් ඔය මිශ්‍රනේට දැම්මාය. අයින් කරපු චොකලට් පස්සේ එයාම කැවාය. අතුරුපසයි ඒ කැමයි අතර සහ සම්බන්ධතාවය නම් මම දන්නේ නැතිය. දැන් ඔය හදාලත් එක බිස්කට් ලේයර් එකට උඩින් දමා ආයෙමත් විනාඩි දහයක් පහලවක් අයිස් පෙට්ටියේ තිබ්බාය.

ඔන්න දැම් වැඩෙන් බාගයකටත් වඩා වැඩිය. දැන් කරන්නට තියෙන්නේ අන්තිම ලේයර් එක එකතු කරගන්න එක. ඒකට ඉතිං අර ජෙලි පැකට් එකක් අරගෙන උණු වතුරෙන් දිය කර ගන්නට ඕනෑය. දැම් ඔය ජෙලිඑකත් ලේයර් එකක් විදිහට එකතු කර ගන්නට ඒනෑය. ඊටත් පස්සෙන් පහු ඔන්න ආයෙමත් අයිස් පෙට්ටියේ දමා විනාඩි දහයක් පහලවක් ශිත කර ගන්නට ඕනැය.

ටික්.. ටික්.. ටික්.. ටික්..ටික්..

අවසන් තත්පර පහ එසේ ගෙවී ගොස් භාජනය අයිස් පෙට්ටියෙන් එළියට අාවාය. නංගිගේ මුණ මල් හතකි. ඔන්න කෑලි කපා පිළිගන්වන වේලාවය.

එත් යාත්‍රා එක කෑල්ලක රහ බැලුවේ නැත. ඔය අතුරුපහ කාපු අය රහයි රහයි නම් කිවාය. ඒත් යාත්‍රාට නම් එය විශ්වාස නැත. කොහොම උනත් ඔය අතුරුපස හැදිල්ල මහ ලොකු වැඩක් නෙමේය කියන්නට ගොස් යාත්‍රා වැඩේ අනා ගත්තාය. යාත්‍රාගේ වහසි බස් දෙඩවිල්ල අම්මාගේ කණ වැකුණු ගමන් අම්මා යාත්‍රාට අභියෝග කළාය. එතැන් සිට යාත්‍රා හාවක් හුවක් නැතුව සිටියේ ඕනැවට වඩා කියවිල්ල අන්තරාදායක බැවින් මිසක මේවැනි අතුරුපසක් සැදීමට නොහැකි බැවින් යැයි වරදවා වටහා නොගැනීම කාටත් හොඳය.

කොහොම උනත් ඉතිං ඔය අතුරුපස කන්නට කලින් මේ විදිහට කැමරාව ඉදිරියේ පෙනි හිටියාලු.



දැන් ඔයාලාත් මේන්න මෙහෙම අතුරුපසක් හදලා බලන්නකෝ. (ඔන්න ඉතිං කාව හරි කඩේ යවන්න නම් එපා)

Wednesday, May 31, 2017

ඔපීසීයේ කතා 3


පීසීයේ වෙච්ච කතායි වෙන කතායි ලියන්න ගත්තා නේ ඔන්න. ඉතිං පළවෙනියටම ලියපු කතාව බලපු අයනම් දන්නවානේ ඉතිං ඔපීසීයේ කී බිසවයි, මයික් ඛන්නා මහත්තයයි, වන්දන මහත්තයා ගැනයි. ඔන්න නොදන්න අය දැන ගන්නත් එක්කම ඔපීසීයේ කතා එක කියවන්නකෝ.

ඊටත් පස්සේ ඉතින් බක්මහට ආපු අලුත් අවුරුද්ද අපේ ඔපීසීයේ අය සමරපු හැටි දැන කියා ගන්න බලන්නකෝ ඔපීසීයේ කතා දෙක

ඔය දෙකම බලපු අය එක සිතින් ඔපීසීයේ කතා 3 බලන්න. 

දැන් ඔය කිව්වත් වගේ කී බිසවයි, යාත්‍රා වෙච්චි මමයි, ඔය කියපු වන්දන මහත්තයයි එකට එක්කාසු වෙලා බලු කතා කියද්දී තව පැත්තක පුංචි පහේ පුස් පාට් එකකුත් යනවාය. ඔය පුස් පාට් එකට නම් යාත්‍රා කිසිම සම්බන්ධයක් නැ ඔන්න. ඒවුනැයි කියලා අර පාට් මේ පාට් බොරු පාට් ඔක්කෝම ටික යාත්‍රාට පුළුවනි. දැන් ඔය පුස් පාට් දමන්නේ ඔපීසීයේ කෙළවරේම කොනේ ඉන්න නෝනාය. ඒ නෝනා ගැන කෙටියෙන්ම කියනවා නම් මෙන්න මෙහෙමයිනෝනට පුසෙක් ඇත. පුසාගේ නම නාදන්ය. නාදන් යනු පුසෙකි. නාදන්ගේ නෝනා ඔපීස් එයි. ඒකත් උදෙන්මය. නාදන්ගේ නෝනාගේ පළවෙනිම රාජකාරිය ඒ.සී.එක ඔන් කිරීමය. නාදන්ගේ නෝනා ගිය ආත්මේ එක්කෝ එක්සිමො කෙනෙකි එහෙමත් නැත්නම් ලාප්ලන්තවරියකි. කෙහොම උනත් ඔය මොකෙකුම හරි වෙන්නට නම් ඕනෑමය. නාදන්ගේ නෝනා මුළු ඔපීසීයම අයිස්ලන්තයක් කරයි. අප වැඩ කරන්නේ සට සට ගා ගැහෙන වෙව්ලන සීතලේය. ඔන්න ඔය වේලාවට තමයි යාත්‍රාට රාජ්‍ය සේවය එපා වෙන්නේම. ඇත්තෙන්ම එය පුදුම තරමේ කටුක අත්දැකිමකී. 

නාදන්ගේ නෝනා ළඟම වම් පැත්තේ ඉන්න නෝනා ගැන නම් නෝකියාම බැරිය. නෝනා ඔපීස් එන්නේ ආමී කාර් එකෙනි. යන්නේද ආමි කාර් එකෙනි. නෝනාගේ මහත්තයා ආමි ලොක්කෙකි. හොඳම දේ ඒ ලොකු කම් නෝනා ලඟ නැති එකය. ඒ වුනාට කට වැඩිය. ඕනැම කෙනෙකුට ඕනැම එකක් කියන්නට නෝනා දක්සය. නෝනාගේ නම පූන්තොට්ටම් නෝනාය. නමේ හැටියටම නෝනාට පූ වත්තකි. පූන්තොට්ටම් නෝනාගේ කට වගේම පූ කඩන්නත් දක්ෂය. හැබැයි ඉතිං නෝනා මේක දැක්කොත් යාත්‍රා තවදුරටත් බත් කෑම ගැන බලාපොරොත්තු තබා ගැනීම හොඳ නැතිය. කෙසේ වෙතත් පූන්තොට්ටම් නෝනා ගැන පොඩි පහේ ඉරිසියාවක් යාත්‍රාට නැතුව නොවෙයි. වෙන මක්කවත් හින්දා නෙවෙයි පූන්තොට්ටම් නෝනාගේ ඉඟ සුඟ ගත හැක මිටිනය. ඉතිං යාත්‍රාට දකින දකින වාරයක් පසා බුර බුරා නැගෙන ඉරිසියාවය. මේ නෝනලාගේ බොඩි මේන්ටෙන්ස් කිරිල්ල කොරන්නට යාත්‍රාට නම් බැරිය. 

ඔය නාදන්ගේ නෝනාට සමීප තවත් බිය+ලනී නම් නෝනා කෙනෙකි. ඒ නෝනාටද ඔය කියන පුසෙක් ද වෙයි. නෝනලා ගජ මිතුරු පුසන් නිසාවෙනි. පුසා චුටී උනාට බිය+ලනී නෝනා නම් චුටී නැත. නෝනා ගේ කටත් එසේමය. වේලාවකට බසවක්කුලමේ සොරොව්ව ඇරියා වගේය.පුසන්ගේ කතා වලට නාදන්ගේ නෝනත් , බිය+ලනී නෝනත් තකට තකය. 

කොහොම හරි අද බිය+ලනී  නෝනාට උභතෝකෝටික පුරස්නයකි. දවසින් දවස නෝනා තර වෙන එක දරා ගන්නට බැරිම තැන ඒ පුරස්නය අප අභිමුවේ තැබුවාය. බිය+ලනී නෝනාගේ පුරස්නයට විවිධාකාරයේ උපදෙස් දුන්න අපේ පූන්තොට්ටම් නෝනා බැරිම තැන ඔය පුරස්නය වන්දන මහත්තයාට යොමු කළාය. දැන මුත්තෙකුගෙන් ලැබෙන උපදෙස් ඉතා හොඳය. යාත්‍රා වෙච්ච මමත් දත කට මැද ගෙන උපදේසේ අහන්න කණ ඒ පැත්තට හැරෙව්වාය. මේ හිටියාට දැන් නම් යාත්‍රා මේ පොළවට සැහෙන්න ම බරකි. කිලෝ වලින්ම කිව්වොත් හැටයි තව පහකි. වන්දන මහත්තයා ගත් කටටම වඩු මඩුවකට යමන් කිවේය. පල යන්න වන්දනයා හිතට ආපු වචන යාත්‍රා එහෙමම කටේ තද කොර ගත්තාය. වැඩි හිටි යන්ට ගරු කර යුතුය. මොකද වන්දන මහත්තයා යාත්‍රා වගේ තුන් හතර ගුණේකින් වයසින් වැඩිය. යාත්‍රාගේ වැඩි බර මිසක්ක වයස එහෙම නෙවෙයි ඕන්න. 
 
 ඔපීසීය ගැන කියද්දී අපේ ලොක්කී ගැන නොකියාම බැරිය. කොයි ඔපීසීයක උනත් ලොක්කෝ සහ ලොක්කීයෝ ඇත. රජයේ ඔපීසී වෙච්ච මෙව්වැයෙත් ලොක්කෝ ලොක්කීයෝ හුඟක් ඇත. වෙලාවකට ලොක්කෝ සහ ලොක්කීයෝ අපේ ඇඟට ගොඩ වෙයි. තවත් වේලාවකට අපි ලොක්කෝ ලොක්කීයන්ගේ ඇගට ගොඩ වෙමු. හැබැයි ඉතිං ඒ ලොක්කෝ ලොක්කීයෝ නැති තැනය. ඒ තියා ලොක්කේක්ට ලොක්කීයෙක්ට මුට්ටියක් අල්ලන නෝනෙක් මහත්තයෙක්  තියා එහෙමැයි  කියන හිතෙන කෙනෙක්ගේ හෙවනැල්ලක්වත් නැති තැන්වලදීය. කොහොම අනත් අපේ පොඩී ලොක්කී නම් හරියට කාලගුණේ වගේමය. වේලාවකට හොඳය. වේලාවකට නරකය. නරක වේලාව මොකක්ද හොඳ වේලාව මොකක්ද කියලා යාත්‍රාට නම් කවමදාවත් තේරුම් ගන්නට බැරිය.  පොඩි ලොක්කීට උඩින් තව ලොක්කීයෙක් ඇත. ඒ ලොකු ලොක්කීය. ලොකු ලොක්කීට වඩා පොඩී ලොක්කීගේ කට සැරය.ඒ හින්දා හැමෝම ලොකු ලොක්කිට කැමතිය. ලොකු ලොක්කි අහිංසකය. සමහර විට කනෙන් රිංගන්නට ලේසිය.

ලොක්කන් ගැන වැඩිය පැවසීම ඇගට ගුණ නැත. ඒ නිසා ලොක්කව් ගැන ඔය ඇතිය. අපේ නෝනලාට එක එක වර්ගයේ ප්‍රශ්න ඇත. සමහරක් ප්‍රශ්න යාත්‍රාට තේරේන්නේම නැත. ඒ වුනත් ඒ වෙලාවට තේරුණා වගේ ඉන්නවාය. නැත්නම් යාත්‍රා මේ වෙනකොට තබාගෙන ඇති නමට හොඳ නැතිය. 

කොහොම උනත් අපේ ඔපීසීයේ නෝනලා නම් පුදුම සහගතය. අරුමැසිය. එක දවසක  ලොවෙත් නැති පුදුමවල්ය. සමහරදාක යාත්‍රා ඔපීසීයට ඇතුලු වෙනකොට ඇමරිකාවේ එරියා 51 ඇතුල්වුවාදෝයි සැක සංකා හිත් ගැබේ පහළ වෙයි. ඒ සැක සංකා පහව යන්නේ ටික වේලාවකින් සුපුරුදු කටහඩවල් ඇහෙන්නට උනාට පස්සේය. නැත්නම් ඉතිං නෝනලාගේ මුණු මේ සම්මක්ජාතියකට අඳුනා ගන්නට නම් බැරිය. එක් පසෙක අර කීරීම් එක මුණේ ලා පැහැපත් වූ නෝනෙක්ය. අනෙක් පස ලව් ලී  ගා සුදු වුණ නෝනෙක්ය. තවත් පසෙක කළු කෙස් අතරින් සුදු කෙස් මතු වුණ නෝනෙක්ය. මේ පස කහ ගා කහ පැහැති වු නෝනෙක්ය. බැලු බැලු අත දකින නෝනලා විවිධාකාරය. විටෙක විකාරය. කොහෙම උනත් යාත්‍රා ඔය කොයි නෝනාටත් වඩා විවිධය : විකාරය.

යාත්‍රාගේ එකම පාර්තනය ඕපීසීයේ මේ කියු හා නොකියු කිසිම 
නෝනා කෙනෙකු මේය නොදකිවා යන්නයි.