මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Wednesday, August 21, 2019

හපුතලේ අතර මඟ


වියළි දුවිලි එක්ක හුස්ම ගද්දී, ඒ දුවිල්ලත් එක්ක ඔට්ටු වෙද්දී, ජිවිතේ ඒ දුවිලි හුළඟටම සින්න කරලා මිනිස්සු වෙන්න හීන දකිද්දී, හැමදාමත් හැම මොහොතකමත් හිතනවා මේ දුවිලි අතර මම අතර මං වෙලා කියලා.
ජිවිතේ කියන්නේ   තරඟයක්. හුස්මක් ගන්න තරමක් වේලාව නැති, හුස්මක් හෙළන්න මොහොතකට නවතින්න බැරි තරඟයක්. අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එහෙම තරඟයක තරඟකාරයෝ. ඔබ මම අපි හැමෝම.

කොළඹ කියන්නේ, මීගමුව කියන්නේ, කුරුණැගල එහෙම හෙම්බත් වෙච්ච මම නිතර නවතින තැන්. දවසේ පැය විසි හතරෙන් වැඩිපුර පැය ගණනක් පළාත් දෙකක් අතර ගමනක යෙදෙද්දී, තවත් වැඩිපුර පැය ගණනක් කෘතිමව සකස් කළ ශීත වායු සහිත වටපිටාවක ගත කරද්දී, හිනා වෙන්න උවමනා තැන් මඟ හැරෙද්දී, කතා කළ යුතු තැන් වලත් නිහඩව ඉන්න වෙද්දී, මට දැනිලා තියෙනවා ඒ මොහොතේ එතැන ඉන්නේ මම නොවන - මම කියලා. ඔව් - ඒ මොහොතවල් වල කො‍තැනකවත් මට මාව හොයා ගන්න එක ඒ තරම්ම පහසු නොවන කටයුත්තක්. මට විතරක් නෙවෙයි මම දන්නවා ඒක ඔබටත් එහෙමයි කියලා. ඒ නිසයි හිතට, ගතට පුදුමාකාර වෙහෙසක් දැනෙද්දී අපි ඉන්න පරිසරයෙන් මිදෙන්න උත්සහ කරන්නේ. එහෙම උත්සහයන් වලදී අපිට අහම්බෙන් හමු වෙන තැන් තියෙනවා. ඒ තැන් හරිම අපුරුයි. විශ්මය ජනකයි. එවැනි තැන් ඔබව උනන්දු කරවනවා තවදුරටත් ජිවිතේට එවැනි අපුරු විශ්මය ජනක අහම්බයන් ළඟා කර ගැනීම සඳහා.

 කඩින් කඩ වැටෙන වැස්ස එක්ක තෙත් වෙච්ච පරිසරයක් කියන්නේ ඇහැට මහ පුදුම සුවදායී හැඟිමක්.ඒ විතරක් නෙවෙයි මේ පරිසරය වගේම මිනිස්සුත් හරිම අපුරුයි. හරිත පැහැයෙන් බැබළෙන තේ වතු මැදින් ගලා ගෙන යන ජිවිත මේ පරිසරය එක්ක එක්කාසු වෙලා. මගේ හිතට හිතුවිලි වරුසාවක් කඩා වඳින්නේ මේ මොහොතේදී, මේ රූපය කාචගත කරන්න දරණ උත්සහයත් සමඟින්. හදවත තුළින් දෝංකාර දි දී මතු උන ඒ හිතුවිලි දැන් වෙනකොට මට අමතක උනත්, මේ පරිසරයත් එක්ක මහ ලෙංගතුකමකින් හදවත බද්ධ උනා කියන්න මට දැනුන කාරණයක්. අපි වේගෙයෙන් හුස්ම ගන්නවත් ඉස්පාසුවක් නැතුව දුවන ජිවිතේ මොකක්ද කියලා ඒ හුඟක් වේලාවන් වලදි මගේ හිතට දැනෙන දෙයක්.

ඔළුවත් ආවරණය වෙන විදිහට දවටගත්ත ඉටි රෙද්දකින් වැස්ස මඟ හරිමින් වතු වැඩට යන  මිනිස්සු සහ ගැහැණු, පුංචි තේ කඩයක රොටියක්, බඩ ඉරිඟු කරලක් විකුණ ගන්න උත්සහ දරණ මිනිස්සු, ගැහැණු තමන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙන්නේ පුදුම විදිහට.කොයිතරම් වෙහෙසකර උනත් ඒ මිනිසුන් හිනා වෙන විදිහ, අපිට ගීත කාමර වල ඉඳන් ඒ තරම් අපුරුවට මිත්‍රශිලි වෙන්න බැරි වෙන හේතුව මොකක්ද කියලා මම කල්පනා කරනවා. ඒත් මට තියෙන එකම උත්තරේ අපි මේ ජිවිතේ රේස් එකක් කර ගෙන, ඒ නිසා අපිට මඟ ඇරෙන ගොඩක් දේවල් තියෙනවා කියන එක ඒ වගේ වේලාවලදි හිතට වද දෙනවා.

හරියටම අපේ ජිවිතත් මේ වගේ. කොයි පාරෙන් මොන විදිහට ආවත් අපි එකම තැනකට වැටෙනවා. අපි දුවන ගමනේත්, තව කෙනෙක් විදින ගමනෙත්, තවත් කෙනෙක් විදවන මේ ගමනෙත් අන්තිම අරමුණ තමයි ඒ.
මේ දියතලාවේ ඉදන් හපුතලේට යන ගමනක අතරමග තැනක්. මම හිතන්නේ මම දැකපු ලස්සන ම තැනක්. මේ තැන මෙතනයි කියලා හරියටම නම් කරන්න බැරි උනත් දියතලාව හපුතලේ මාර්ගය ඔස්සේ ගමන් කරන අයට මේ සුන්දර දසුන් ඇහැ ගැටෙනවාමයි.



Thursday, August 1, 2019

ඡූලි විසි හත් වෙනි සෙනසුරාදා



මහමෙර කොහිද නොම විමසමි. ඔබ දකිමි
ගිරිකුළ නගිමි නොම බිය වෙමි. ඔබ සොයමි
කතරක දැවෙමි. හෙවණැල්ලට මුවා වෙමි
අත අතහැර නොයමි. සුළැඟිල්ළේ වෙලි ඉමි

හිනැහෙන ඔබ දෑස පවසන දැ අසා ඉමි
ඒ ලෙස හිනා වෙමි. කඳුලැලි ඉවත ලමි
ජිවිත නෞවකාව  ඔබ පැඳ ආ හැටි දනිමි
ඔබගෙන් හබල ගමි. එතැනින් පටන් ගමි

මේ වැලි මාළිගාවේ මට සක්විති පදවි හිමි
ගල් වැට ලඟ හිඳිමි. සඳ පායන හැටි දකිමි
සිව් දෙස දිනමි. ජය ගන්නෙමි. පෙරට යමි.
ඔබේ ලොව අඳුර දුරු කරනට සඳක් වෙමි

මා පොඩි කළක කී පද මතකෙට ගනිමි
සඳ නොම අනත් මම තරුවක් වී දිලෙම.
ඒ මද එළියේ ඔබ සැනසෙන බව දනිමි
එබැවින් මම නිවෙමි. ඔබ නලවමි. ගී කියමි.

ඔබ පා වඳිමි. මගේ ආයුෂ එහි තියමි
සියක් ආයු පතනෙමි. හදවත සිඹිමි.
නිදුක් නිරා්ගි මගේ සුව ඔබට දෙමි
දිගු මේ සසර ඔබ සෙනෙහස පතා ඉමි.

සුබ උපන් දිනයක් අප්පපච්චි!

පැය

මේ තමයි නපුරුම පැය, තත්පරත් දිගු අඩි තියන සුළඟ නිහඬවම කල් අරින මේ තමයි අවසන්ම පැය, ඇහි පියළි වේගෙන් සැලෙන දෙතොළ වියළි හුස්ම ...