මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Monday, November 30, 2020

මේක මංගල රාත්‍රියක්

 

"මේක මංගල රාත්‍රියක්"


මොන අර්ථයක් හිතේ තියාගෙන මිනිහා ඒ විදිහට කිව්වද කියලා හිතා ගන්න බැරි උනාට මොන විදිහෙන් ගත්තත් මේ මංගල රාත්‍රියක්ම තමයි නේද කියලා දේවිට කල්පනා උනා. ඒත් එක්කම නැගිච්ච හීන් හිනාවකිනුයි ගෑණි බැල්කනියේ පුටුවක දිගා උන මංගල දිහා බැලුවේ. දේවිගේ හිතට ආවේ පොඩි එකියක්ගේ දඟකාර බවක්. හුරතලයක්. මෙහෙම හුරතල් වෙන්න පුළුවන් මංගල එක්ක විතරයි නේද කියලා දේවි දන්නවා. තමන්ට සමීප වෙච්ච වෙන පිරිමි හිටියෙත් නෑනේ. එහෙම උනා නම් සමහර විට ඒ මිනිස්සු එක්කත් දේවි මේ විදිහටම හුරතල් වෙන්න ඉඩ තිබ්බානේ. මංගලත් උනත් කියන්නේ ඒකමයි.

"
ඔයා මට ආදරේ ඔයාට ආදරේ කරන්න වෙන කවුරුත් නැති හින්දා ඔයාට කෙනෙක් ලැබුණාම ඔයත් යන්න යයි"

මංගල පොඩි එකෙක් වගේ කියවන වෙලාවට දේවි කරබාගෙන හිටියා මිසක් මිනිහට තමන්ගේ ආදරේ ගැන තේරුම් කරන්නවත් දිව්රන්වත් ගියේ නෑ. එහෙම කරලා ලඟ තියා ගන්න පුළුවන් වස්තුවකුත් නෙවෙයිනේ. මංගල කියන්නේ තමන්ට අයිති නැති වස්තුවක් කියන්න දේවි දන්නවා. ඒ හින්දා ඒ වෙලාවට හිනා වෙලා කරබාගත්තා ඇරෙන්න ගෑණි වචන එක්කහු කරලා උත්තර බදින්න හදිසි උනේත් නෑ. එහෙම වචනෙන් උත්තර නොබැන්දට මංගලගේ හිත කුඩා කුඩා කෑලි වලට විසිරෙන්න කඩා බිඳ දාන්න අවස්ථාවක් ලැබුණම ඒක අත නොහැරම බාර ගත්තා. එහෙම  තමයි ගෑණු උනහම, හැමදේම බන්දේසියක තියලා මිනිහට පුජා කරලා කර බාගෙන ඉන්නයැ. මොකද මිනිහයි කියලා පාරිශුද්ධකමේ සංකේතයක්යෑ. පුහ් දේවි නොදන්න මංගල.

පොරෝනය අතට අරන් ඇඟේ දවටගෙන දේවි කණ්ණාඩිය ඉස්සරහා හිට ගත්තා. බැලු බැල්මට වයස තිහක වගේ පෙනුමක් තිබුණට තමන්ට දැන් තිස් නවයත් පැනලා කියලා දේවිට මතක් උනා. ඒත් තවමත් සිත්ගන්නා සුලු තමන්ගේ ශරිරය දිහා ම බලන් ඉන්නකොට අමුතු  තාලයේ තිගැස්මක් දේවිගේ  හිතට ඇතුලු උනා. පුළුල් වටකුරු උකුළත්, සිහින් දිගු කලවත්, සිහින් යැයි කිව හැකි උවත් වළලුකර දක්වාම පිරි ඇති කකුලුත්, සියුම් ස්පර්ශයකින් පවා රතු වන කම්මුලත්, පිරුණු උස්ව පිහිටි පියයුරුත් දේවි ව සැහීමකට පත් කරවන්නට සමත් උනා. තමන් යටතේ වැඩ කරන වයස විසි පහ ද නොඉක්මවූ තරුණියන් අතරින් ද දේවිගේ රූපයම කැපී පෙනෙන හේතුව ඒ මොහොතේ කණ්ණාඩියේ සටහන් වෙලා තියෙනවා තමන්ගෙම ඇස් දෙකෙන් විද ගැනීමේ රසයෙන් දේවී තවත්  මොහොතක් මත් උනා. තාමත් රතු පාටට හැරිලා තියෙන බෙල්ල දිහා කණ්ණාඩියෙන් බලලා පුංචි සිරිමක් තියෙන තැනක් අත ගාලත් බැලුවා. හෙට හයිනෙක් දාපු රෝසපාට ජැකට් එක අදිනවා කියලා ඒ වෙලාවේදිම දේවි කල්පනා කරා. 

මේ පුහුණු සැසියට සහභාගි කරන්න ව්‍යාපෘතියට අලුතින් බඳව ගත්ත සහකාර අධ්‍යක්ෂවරයෙක්වත් නම් කරන්න කියලා ලේකම්තුමාගේන් උපදෙස් ලැබුණා. සහකාර අධ්‍යක්ෂවරුන් හතර දෙනාගෙන් දේවි පළිහවඩන මැණිකේගේ නම   යෝජනා කරපු අධ්‍යක්ෂවරයා අවසන් මොහොත දක්වාම බලාපොරොත්තු තියාගෙන හිටියේ තමන්ගේ නම පුහුණු සැසියට යෝජනා වෙයි කියලා. මංගල කිසිම නමක් යෝජනා නොකෙරුවත් ලේකම්තුමා මංගලටයි දේවිටයි පුහුණු සැසියට සහභාගි වෙන්න අනුමැතිය දිලා තිබුණා. තමන්ව මේ පුහුණු සැසියට යෝජනා වෙන්න පළවෙනි හේතුව විදිහට මංගල කිව්වේ තමන්ගේ පදිංචිය පුහුණු මධ්‍යස්ථානය කිට්ටුව නිසා කියන එකයි. එදා හවස දේවිට මංගල කෙටි පණිවිඩයක් එව්වා නරියා කේජු කන්න හිතුවා මදිඊ‍ට පස්සේ  හිනා  මුණු තුනක්ම.  ආයෙම දේවිගේ හිතට ආවේ නුපුරුදු දඟකාර කමක්. බැල්කනියේ සිගරට් එකක් උර උර හිටපු මංගලගේ බෙල්ල බදාගෙන උරහිස හපන්න දේවිට ඕන උනා.

වෙනදා නම් ගඳයි කියලා සිගරට් එකක් බිව්වට පස්සේ මංගලට සෑහෙන වෙලාවක් යනකම්ම තමන් ලඟටවත් එන්න ඉඩ දුන්නේ නැති, ඒ වෙලාවට ලඟටවත් ආවේ නැති ගැණිට මොකද අද උනේ කියලා මංගල කල්පනා කෙරුවා. ඒ වේලාවේ හිතේ දේවිට ආදරයක් තියෙනවා කියලාවත් පෙන්නන්න මිනිහට උවමනාවක් තිබුණේ නෑ. ගැණි බලාපොරොත්තු උනේ මංගල තමන්ව වටයක් කරකවලා උකුලේ ඉන්දවගනී කියලා. ඒ විතරක් නෙවෙයි අත් පටලවගෙන ආදරේයි කියලා මුමුණයි කියලත් දේවිගේ හිතේ තිබුණා. දේවි හරි කැමතියි මංගලගේ මුද්දක් තිබුණු අතේ තමන්ගේ අත පැටලිලා තියෙනවා දකින්න. එතකොට නම් මංගලගේ හිත පොඩ්ඩක් හරි ගැස්සෙනවා කියන්නත් දේවි දන්නවා. ඒක ඇගෙව්වේ නැතුවට ඒ වේලාවට මංගලගේ ඇස් පියවෙන විදිහට දේවිට අනුමානෙකට එන්න පුළුවන්. මොනවා උනත් මගුල් මුද්ද දකිද්දි කසාද ගැණිව මතක් වෙනවත් ඇතිනේ.


"
ඉන්න මම චොකලට් පෙත්තක්වත් කාලා එන්නම්" මංගල නැගිටින්න හැදුවේ දේවි සිගරට් ගදට කැමති නෑ කියලා දන්න හින්දාම නෙවෙයි, මේ ගමන ආවේ දේවි එක්ක නිදහසේ ඉන්න උනත් මිනිහට ටික වේලාවක් තනියම ඉන්න ඕන වේලයි තිබුණේ.

"
ඕන නෑ, මේක මංගල රාත්‍රියක්" දේවි කිව්වේ මත් වෙච්ච හුරතල් හඬකින්. මංගලගේ මනමාලකම පිරුණු කටහඬ අනුකරණය කරමින් ඇගිල්ලකින් මංගලගේ පපුවේ හදවතේ හැඩයක් අදින ගමන්. මොන ප්‍රශ්නෙක හිටියත් ගැණියෙක්ගේ ඒ වගේ හුරතලේකට දමනය නොවෙන පිරිමියෙක් ඉන්න විදිහක් නෑනේ. දේවි කලින් බලාපොරොත්තු වෙච්ච විදිහටම මංගල දේවිව වටයක් කරකවලා උකුලට ගත්තා.

"
ලොකු දුව බිග් ගර්ල් කෙනෙක් වෙලා, දැන් කෝල් එක ආවේ ගෙදරින්

මංගල ඒක කිව්වේ දේවිගේ කම්මුලක් ඉඹින ගමන්මයි. දැන් ටිකකට කලින් නාද වෙච්ච දුරකථනයත් අරන් ඇදෙන් නැගිටලා එද්දි හිතේ බර ගතියක් තිබ්බත් ඒ ගතිය ටිකක් අඩු වෙලා තිබ්බේ. මංගල කැමතිම දේවි ලඟ ඉද්දි දැනෙන ඒ සැනසිල්ලටයි.

"
දැන් ම අහපවු යනවද?" දේවිගේ කටහඬ පැහැදිලිව ඇහුණත් ගැණිට දුක ඇති කියලා මංගල දන්නවා. ඒත් ඒ බවක් ඇඟෙව්වේ නෑ. දේවිගේ හිත අවුස්සලා බලන්න මංගල කැමති. ඒක දේවිත් දන්නවා. නොදන්නවා වගේ ඉන්නවා. ඒක ගෑණු ගතිය වෙන්නෑ.  මංගලටත් දේවිටත් දවස් හතරක රාජකාරි නිවාඩුවක් ලැබිලා තිබුණේ. දේවි කොළඹින් එන්න පරක්කු වෙද්දි මංගල හිටියේ තිගැස්මකින්. මංගල කලින් දවසේ ම නුවර ආවා. ගෑණිගේ හිත අන්තිම  මොහොතේ වෙනස් වුනොත් කියන බය මංගලගේ හිතේ තිබ්බා. මංගල දේවිගේ ඇස් වලට එඹුණා. දැන් විනාඩි ගනනකට කළින් ඒ ඇස් වල තිබ්බ දිප්තීමත් ගතිය ටිකක් අඩු වෙලා තිබුණත් ඇස් ප්‍රබෝධයෙන් පිරිලා තියෙනවා  කියන්න මංගලට අඳුන ගන්න පුළුවන්. 

දැන් අවසර ගන්නත් අමතක වෙනවා නේද?" ගැණිට එහෙම කියවුණා. මංගල මුල් දවස් වල එහෙමයි. දේවිගේ ඇස් වලට එඹෙන්නත් දේවිගෙන්ම අවසර ඉල්ලුවා. ඒ අවසරය ගොඩක් දුර අරන් යන්න වෙච්ච දවසක මංගල කියපු වචන දේවිට කල්පනා උනා. මගේනේඒ කෙටි උත්තරය එදා වගේම අද දක්වාත්, මේ මොහොත දක්වාත් දේවි ව උන්මාදයට පත් කරපු වචනයක් වෙලා තිබුණේ. 

අවසර ගන්නේ මොකටද?” මංගල ගේ ඒ වචන අගට  තමන්ව උමතුවට පත් කරවපු වචනත් එල්ලෙයි කියලා දේවි තත්පර ගානක් මංගලගේ මුණ දිහා බලා හිටියා. දැන් මේ හැමදේම මම කැමති විදිහට”  තවත් විනාඩි ගානක් දේවි මංගල ගේ මුණ දිහා බලන් හිටියා. තත්පරෙන් තත්පරේ ගැහෙන ඇහිපිය අගට මද උණුසුමක් එකතු වෙනවා දේවිට තේරුණා. ඒ කඳුලක් නැගෙද්දී දැනෙන උණුසුම කියන්න දේවී දන්නවා උනත් දේවිට කඳුළු ආවේ හිතට දැනෙන දුක හිතෙන කාරණා වලට විතරක් නෙවෙයි. දේවි ඒ බව හොඳටම දැනන් හිටිය නිසා තමන්ගේ හිතට ආව ආවේගය කඳුළු අතරින් දිය වෙලා යන්න ඉඩ දුන්නා උනත් ඒ කඳුළු මංගල‍ගෙන් හංග ගත්තා. 

රෑ කැමෙන් පස්සේ මම පිටත් වෙනවා, හැබැයි හෙට හවසට එනවාමංගලගේ මනමාල කම රැදුණු කට හඬ දේවිගේ කම්මුල් මතට වැටුණා. නිකටෙන් අල්ලලා ඉවත ට හැරුණු දේවිගේ මුණ තමන්ගේ පැත්තට හරවගන්න මංගල උත්සහ කරත් දේවි හිටියේ ගලක් වගේ වෙලා. ගෑණියෙක්ට ගැණියෙක් වගේ මොලොක් වෙනවට වඩා පිළිමයක් වගේ ගල් වෙන එක ලේසී. හදවත පසාරු වෙන තරමට දැනෙන ඊතල හිසැති චවන වලින් ගැලවෙන්න, අතින්වත් නොඅල්ලා රිද්දන රැවුම් වලින් නොසැලෙන්න,  ගැණියෙක් හැම වෙලාවකම ගලක් වෙලා ජිවත් උනා.

දේවි පළිහවඩන මැණිකේ මේ වෙලාවේ හිටියේ නුවර විදියක තුන් මහල් නිවාඩු නිකේතනයේ බැල්කනියේ පිරිමියෙක් එක්ක උනත්,දේවිගේ හිත ඈතට ඉගිල්ලිලා ගියා. ඒක අතකින් අල්ලා නවත්තන්න පුළුවන් ගමනක් නෙවෙයි.
ඒ ගමන අතරේ දේවිට තවත් පිරිමි කිප දෙනෙක්ම හම්බුනා.

පලිහවඬන ආරච්චි දේවිගේ තාත්තා හැමදේම මට ඕන හැටියට වෙන්න ඕන උස් ගොරෝසු හඬකින් කෑ ගැහුව පිරිමියෙක්,

මලික් පලිහවඬන දේවිගේ ලොකු අයියා
දේවි ඉස්කෝලෙදී, පාරේදී, පංති වලදි කාවද ආශ්‍රය කරන්න ඕන කියලා තිරණය කරපු, ඒ හැමදෙම එයාට ඕන හැටියට වෙන්න ඕන කියලා හිතපු පිරිමියෙක්,

බණ්ඩාර රැක්මල්වත්ත දේවිගේ ඥාති මාමා, තමන්ට ඕන විදිහට කුඩා දේවිව අත පත ගාපු පිරිමියෙක්

තුසිත් පිලිහවඬන දේවිගේ මද්දු අයියා තමුසේ හැදෙන්න ඕන පවුලේ මිනිස්සුන්ට ඕන හැටියට කියලා ඇමරිකාවේ ඉදන් දේවිට තර්ජනය කරන පිරිමියෙක්,

තරිඳු දේවිගේ පාසල් ප්‍රේමය තමන්ට ඕන වෙද්දි ලං වෙලා තමන්ට ඕන වෙද්දි ඈත් වෙච්ච පිරිමියෙක්,

ඊට පස්සේ තවත් සබඳතා පවත්වපු, තමන් කැමති විදිහට දේවි වෙනස් වෙන්න ඕන කියලා හිතපු පිරිමි කිප දෙනෙක්,

අසුන්තක ප්‍රසංග එහෙම නැත්නම් කොයිලා විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමේ නායකයා, ධනපති පංතිය එක්ක තිබ්බ අරගලය දේවිගෙන් පිරිමහගන්න උත්සහ කරන්න වගේ පිකටිං දිනවල රාත්‍රිය දේවිට වෙන් කරපු පිරිමියෙක්,

විහඟ තමන්ට වඩා වයසින් ලබාල දේවිගේ ප්‍රේමවන්තයා, දේවිගේ කැමත්තට වඩා තමන්ගේ කැමැත්තට දේවි කැමති වෙන්න ඕන කියලා හිතපු,ඒ තමයි පිරිමිකම කියලා හිතපු පිරිමියෙක්,

දේවි මේ පිරිමි රූපත් එක්ක හිතින් පොර බඳින අතරේ මංගල ආයෙමත් වතාවත් දෙවිගේ නිකටිං අල්ලලා තමන්ගේ පැත්තට මුණ හරව ගන්න උත්සහ කළා. දේවිගේ කඳුළු ටිකෙන් ටික උණුසුම් වෙනවා මංගලට දැනුණේ නෑ. හදවත වේගෙන් ගැහෙනවා මංගලට දැනුණේ නෑ.

"
මොකද ළමයෝ වෙලා තියෙන්නේ, මේ පොඩි වෙලාව නරක් කරන්න එපා, කෝ ඉතිං" ආයෙමත් මංගල වමතින් දේවිගේ නිකටින් අල්ලලා තමන්ගේ පැත්තට දේවිව හරව ගන්න උත්සහයක් දෑරුවත් ගෑණිගේ මුරණඩුකම එහෙමම තිබුණා. දෙවන තුන්වන වතාවලිදිත් මංගලගේ උත්සාහය අසාර්ථක උනා. හතරවෙනි වතාවේ දි මංගලගේ වමතට කලින් දේවිගේ දකුණු අත ඉස්සර උණා. ඊටත් තත්පර ගානකට පස්සේ දේවිගේ දකුණු අතට ටික වෙලාවවකට කළින් දේවි ඉඹගත්ත මංගලගේ බෙල්ල හිර වෙමින් තිබුණා. හිර වෙන හුස්මත් එක්ක මංගල දැක්කා දේවිගේ ඇස් වලින් කඳුළු වැලක් එලියට පනින හැටි. ඒ කදුළු වල ලේ පාට මිශ්‍ර වෙලා තියෙන හැටි. රවුම් වෙලා විශාල උන ඇස් ගෙඩි වල ලේ පාටින් නහර ඉලිප්පිලා තියෙන හැටි.

"
යක්ෂණි" මංගලගේ කටින් අන්තිමට පිට උන වචන, මිමිණිල්ලක් විතරයි.

ඊටත් පැය කිහිපයකට පස්සේ දේවි තමන්ගෙම වාහනය කොළඹ නුවර පාරේ ධාවනය කරමින් හිටියා උනත් ගැණිගේ හිත වේගයෙන් ගැහෙන්න ගත්තා. හිත තමන්ගේ පාලනයෙන් තොරයි කියන්න දේවිට දැනෙනවා. පේරාදෙණිය පහු කරද්දි වැටෙන්න ගත්ත පොද වැස්ස කඩුගන්නාව හරියෙදි තද වැස්සක් වෙලා වැටුණා. ඒ වැස්සේ තෙමි තෙමි තමන්ට අඬන්න පුළුවන් නම් කියලා දේවිට කල්පනා උනත්, ගෑණි වාහනය නතර කළේ නෑ. මේ ජිවිත කාලෙදිම තමන්ගේ උවමනා වලට කිසිම තැනකදි නතර වෙන්න පුළුවන් වෙලා නෑ නේද කියලා ගෑණිට කල්පනා උනා. වමට දකුණට පැද්දෙන වයිෆරය අතරින් බොඳ වෙලා පෙන පාර දිගේ දේවි වේගයෙන් ඉස්සරහට ඇඳුණා.

"
මේක මංගල රාත්‍රියක්" වමට දකුණට පැද්දෙන වයිෆරය තුළින් නොනවත්වාම ඇහෙන්න ගත්ත හඬ දේවිව නොසන්සුන් කළා. වයිෆරය තවත් වතාවක් වම් අතට නැවෙද්දි ඇහුණ "යක්ෂණි" කියන මිමිණිල්ල නොඇසෙන්න දේවි තමන්ගේ අත් දෙකින්ම කන් දෙක වහගත්තා. 

 


ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...