මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, June 10, 2021

කළු වඳුරකු සියැටල්ට ලියයි

 

සුගන්දවත් පුෂ්පයන් තව දුරටත් අපගේ සොහොයුරියෝ  නොවෙති. අමු අමුවේ පුළුස්සා දමන ලද වන ලැහැබකින් නැගෙන දුම් රොටු පිස හමන සුළඟ පමණක් අප ආග්‍රහණය කරන්ණෙමු. සුදු මිනිසුන් පමණක් නොව කළු වඳුරන් වු අපද මරණින් මතු ඔබගේ මැණියන් වු මේ මහ පොළව අමතක කර දමන්නෙමු.

ඔබට අරුමයක් වුවාට අපට අරුමයක් නොවන පරිදි මේ මහපොළොවෙන් ඉහළට නගින්නා වූ උණුහුමටත් , අහස් ගැබටත් මිළක් නියමි වී ඇත. ඔබගේ මුතුන් මිත්තන් සැඟව ඇතැයි සිතන තාරකා වලටත් වැඩිය දිප්තිමත් ලෙසින් එළි විහිදුවමින් පුපුරා හැලෙන වෙඩි උණ්ඩ, මිසයිල එයට හොදම උදාහරණය නොවන්නේද? මේ මහ පොළවේ හා අහස් ගැබට එක වෙඩි  උණ්ඩයක තරම්වත් වටිනාකමක් නොමැති බව අපි දනිමු. කළු වඳුරන් වු අප වෙඩි උණ්ඩ රැඳි දෑත් වලට බියෙන් සැඟවයා යුතු බව පමණක් අපගේ නායකයින් අපට කියා දෙමින් සිටි. කුඩා කළු වඳුරන් වු අප බිය වෙමින් පලා යමින් සැඟවෙමින් සිටින්නෙමු. වාතයේ වූ නැවුම් බවත් ජලයේ වූ දිදුලන කාන්තියත්, අප දකින්නේ ලේබල් කරන ලද  ප්ලාස්ටික් බෝතලයක් තුළිණි. එය ඔබට කොතෙක් පුදුමය දනවන්නක් වුවද නැවුම් වාතයටත්, දිදුලන කාන්තිමත් ජලයටත් මිළක් නියම වන්නේ එළෙසින්ය. දේවදාර ගසක දිළිසෙන කිනිති කොනිත්තන, වැලි තලාවලින් පිරුණු වෙරළක කසල දමන, අඳුරු වන ගැබ තුළ වූ මීදුම් වළා ගිණි ලා වනසන , එළිමහනක ගුම් නද නගන කුඩා ප‍්‍රාණින් විෂ දමා මරණ   මාගේ මිනිස්සුන්ගේ මතකයන් සහ අත්දැකීම් ඔබගේ මතකයන් හා අත්දැකිම් සමඟ සම කළ නොහැක. තුරුලතා අතරින් දිව යන සෑම මං පෙතක්ම රතු මිනිසුන්ට මතක මං පෙතක් වන මුත් කළු වඳුරන් වු අපද සුදු මිනිසුන් මෙන්ම ජීවය අමතක කර දමන්නට හුරුව හිඳින්නෙමු. මුවන්, අශ්වයන්, රාජාලියන් ඔබගේ සොහොයුරන් වන බව අපි දනිමු. එහෙත් කළු වඳුරන් වු අපට මේ ප්‍රාණින් අපගේ සොහොයුරන් නොවෙති. දළ කපන ලද මිය ගිය ඇතුන්, වන අලින්, කළු දිවියන්, වෙරළ මත හමුවන මිය ගිය කැස්බෑවන්, තවත් මුහුදු ජීවින් අප දැක ඇත්තෙමු. ඔබගේ සොහොයුරන් වු ජිවින් මිය ගියද කළු වඳුරන් වු අපට ඒ වෙනුවෙන් මිලක්, වන්දියක් ලැබෙන බව අපි දනිමු. ඉතිං සැනසෙන්නෙමු. ඔබගේ සොහොයුරන්ට පිං සිදු වන්නට කළු වඳුරන් වු අප ජිවත් වන්නෙමු. කඳු ශිඛර, තෘණ බිම් වල වූ පිනි බිඳු, තවදුරටත් එකම පවුලකට අයත් වන්නේ නැත. අප එසේ සිතන්නේද නැත. කළු වඳුරන් වු අප ඔබ දුටු සුදු මිනිසුන් මෙන්ම වෙනත් පවුලකි. අශ්වයන් මෙන්ම මෙහි සිටින සිය දහසක් වු ඇතුන්, ගවයන්, මුවන් හා තවත් ජිවින්ගේ දහදියට අපගේ දහදිය සමාන වන්නේ නැත. ඕ රතු ඉන්දියානු නායකයාණනි, එසේ සිතීම ම මහ විඛාරයකි. සමාවන්න.

ප්‍රෙයරි තණ බිම හරහා ගමන් කරන දුම්රියක සිට විනෝදයට දහස් ගණන් කුළු හරකුන් වෙඩි තබා මරා දමන ලද්දේ ඇයිදැයි ම්ලේච්ඡයකු වු ඔබට වැටහෙන්නේ නැත. එසේම කිසිඳු විනෝදයකින් තොරව එක් කුඩා වරදකින් දස දහස් ගණනින් මුහුදු ජිවින් සමුල ඝාතනය කරන්නේ කෙසේදැයි උගත් යැයි, උපාධි ලද මට ද වැටහෙන්නේ නැත. හුස්ම ගන්නා අනෙක්  ජිවින්ට වඩා  පොළව මත ඉදි වු කර්මාන්තයන් වැදගත් වන්නේ කෙසේදැයි මටද වැටහෙන්නේ නැත. එහෙත් මා දන්නා එක දෙයක් ඇත. ඔබ පවසන පරිදිම  දිනක මිනිසා මේ පොළව මත හුදකලා වන්නේ නම් ඒ සඳහා ඇති බිය විසින් ම එයට උත්තර සෙවීම සඳහා ඔවුන් උත්සහ කරමින් සිටින වග දනිමි. ඔබ තාරකාවකැයි සිතු ග්‍රහලෝවක මිනිසුන් ජිවය සොයමින් සිටින්නේ ඒ නිසාවෙන් විය යුතුය. රතු ඉන්දියානු නායකයාණනි, රැක ගැනීමට වඩා අලුතින් සොයා ගැනීම සහ සකස් කිරීමට මිනිසා විසින් දක්වන මේ ආශාව ද මට වැටහෙන්නේ නැත. රැක ගැනීම තුළ ගැබ්ව ඇති ආදරය යන වචනය අප නොහඳුනන බව පමණක් දනිමු.

මේ සෑම සියලු දෙයක් අතර ඇත්තේ එකම සහ සම්බන්ධයක් බව සුදු මිනිසුන් මෙන්ම කළු වඳුරන් වු අපද විශ්වාස කරන්නේ නැත. මේ මහ පොළවට වන සෑම හොඳ හෝ නරකක්ම අපට ද අපගේ දරුවන්ට ද වන බව ඔබ මතක් කර දී ඇතත් අප එය අමතක කර දමන්නෙමු. මේ මහ පොළව ඔබගේ මව මිස එය අපගේ මවක ලෙස අප සිතන්නේ ද නැත. මේ මහ පොළවෙහි අයිතිය ඇත්තේ මිනිසාට පමණක් බව සුදු මිනිසුන් සේම  අප ද විශ්වාස කරන්නෙමු. එහෙයින් මිනිසුන් සහ ජිවින් අතර ඇති ජිවන ජාලය අප කඩා බිඳ දමන්නේමු. ඔබගේ අම්මා වු මහ පොළව සියළුම මිනිසුන් එක්ව සාමුහිකව දුෂණය කරමින් සිටි. කළු වඳුරන් වු අපද එහි කොටස් කරුවන් වන බැවින් එය මෙහි ඔබට ලියන්නෙමු. ඒ කෙසේද යත්, ඔබගේ මව උඩු කය වසා පොරවාගෙන සිටින, වනස්පතිය උදුරා දමන්නෙමු. කඳු ශිඛර වු පියයුරු තලා දමන්නෙමු.  සාගරය වු සළුව ඉරා දමන්නෙමු. සාගර ජිවින් වු මණිමේකළාව කඩා දමන්නෙමු. ඇගේ බද මත වන සිරිම් කැළල්, ඔබට පෙනෙන්නේ නැත. ඇගේ කෑ ගැසීම් ඔබට ඇසෙන්නේ නැත. මන්ද , ඔබ කියු පරිදිම පරාජයෙන් ලජ්ජාවට පත්වුණු ඔබේ සටන් කාමීන් සමඟ එක්ව පැණි රස අහර සහ මත්පැනින් සප්පායම් වෙමින් අලසකමින් දිවි ගෙවන මුතුන් මිත්තන් අතර තාරකාවක් බව ට ඔබ අද පත්ව ඇත. මහ පොළවට ආදරය කරන කිසිවකු මෙහි ඉතිරි වී නැත. ඉතිරි වී සිටි ස්වල්ප දෙනාද අද භාස්මාවශේෂ වී ඇත. තවත් කොහේ හෝ තැනක යමෙක් ඉතිරි වී ඇතිද,එදෙසට එල්ල වු දහසක් තුවක්කු කටවල් ද ඇත. ඉතිං අප එකිනෙකා ඔබගේ මව වු මහ පොළව දුෂණය කරමින් සාමකාමීව වසන්ට තිරණය කර ඇත්තෙමු.  

ඔබ පවසා ඇති පරිදිම අප සියල්ලෝම සොහොයුරෝ වෙති. ඔබගේ මිනිසුන් මෙන්ම කළු වඳුරන් වු අප ද අපගේ භුමිය විකුණමින් සිටින්නෙමු. දිප්තිමත් සාගර ජලයෙන් වටවු කුඩා දුපතක කළු වඳුරන් වු අප වාසය කරන බව ඔබ දන්නවා ඇත. ඔබ මෙන්ම අපගේ කළු වඳුරු නායකයන්ද මේ භුමිය විකුණා දමා අහවරය. ඔවුන්ද කුමක් හෝ පවසනු ඇත. ඔවුන්ද කුමක් හෝ ලියනු ඇත. එහෙත් අතීතයත් වර්ථමානයත් එකක් බව කුඩා කළු වඳුරකු වු මට වැටහෙමින් පවති. ඔබගේ දෙවියන් මෙන්ම මා දකිනා දෙවියන්ටද මේ මහ පොළව මත වාසය කරන විනාශකාරි මිනිසා ගලවා ගත නොහැකි බව මම දනිමි. මේ කුඩා කළු වඳුරන් එක්ව මේ දුපතේ සැම දළ ඇතෙකුම මරා දමනු ලද පසුවද, කඳු ගංගා හාර  සියළුම මුතු මැණික් සොරා ගෙන අවසන් උවද, සුගන්දවත් පුෂ්පයන් නොපිපෙන කලක උවද, මෙහිම වැටී හුස්ම සිරවී මිය යන දිනක උවද, අප මෙය රැක ගැනීමට නොසිතනු ඇත. මන්ද අප කුඩා කළු වඳුරන් රංචුවකි. වරල් සළමින් පිහිනා යන මසුන්ද, දුව යන මුවන්ද, පියඹා යන පක්ෂින්ද, තවත් ශිත සෘතු කිහිපයක් ගත වන විට අප විසින් මිහි පිටින් තුරන් කර දමනු ඇත. එහෙත් අනාගතයේ කළු වඳුරු දරුවන් වෙනුවෙන්, පතන බිමක, වැසි වනාන්තරයක, සුනිල දිය දරහරක, රළ නැ‍‍ගෙන වෙරළක, කඩා හැලෙන දිය ඇල්ලක, පියඹ යන පක්ෂින්ගේ, දිය කෙළින මසුන්ගේ, හා කරඩු වඩම්මන ඇතුන්ගේ, තරඟ කරන අශ්වයන්ගේ, බියවී දුවන මුවන්ගේ, පිල් විහිදන මොණරුන්ගේ, රූපයන් ඡායාරූපගත කරන්නෙමු. අප අනාගතය වෙනුවෙන් ඒ සියළුම ඡායාරූප පමණක් සංචිත වශයෙන් පවත්වා ගෙන යාමට තීරණය කර ඇත්තෙමු. අප අපේ අනාගත දරුවන් වෙනුවෙන් තබා ඇති පියවර ඔබ තැබු පියවරට වඩා ශ්‍රේෂඨ බව අපගේ නායකයින් අපට කියා දෙමින් සිටි. ඔවුන් ඡායාරූප මඟින් හා විඩියෝ පට මඟින් අනාගතයේදි කුරුළු කුජන අසනු ඇත. මසුන්, ඇතුන්,අශ්වයින් නරඹනු ඇත. රාජාලින් සේ දෑත් විහිදා පතන බිම් මතට ඉහළින්  පියාඹා යනු ඇත. රාජාලින් විදි උඩු සුළගෙහි පහස ඔවුන්ගේ කම්මුල් මත  පතිත වනු ඇත.

අලුත උපන් දරුවකු තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙන් මේ මහ පොළවට ආදරය කරන්නට අපට නොහැකි විය. ඔබ ආරක්ෂා කළාක් මෙන් එය ආරක්ෂා කරන්නට නොහැකි විය. එහෙත් ඔබ ඔබගේ පොළව සුදු මිනිසුන්ට විකුණා, ඔබගේ මුතුන් මිත්තන් අතරට එක් වුයේ ලජ්ජාවෙන් මිරිකෙමින් නම්, ආදරණිය රතු ඉන්දියානු නායකයාණනි, බලන්න තවත් දහස් ගනන් නායකයින් මේ මහ පොළව මත බිහි වී තමන්ටද අයිති නැති භුමියට මිළ නියම කරමින් හිදින හැටි. හුදෙක් මිලේච්ජ‍යකු පමණක් යැයි ඔබ කියා ගන්නා සියැටල් වු ඔබ ලජ්ජාවෙන් මි‍දෙන්න.

 

පින්තුරය : තුෂාරි හේරත්

 

 

 

 

3 comments:

  1. අතිශය සුන්දර ලිපියක්! අදවන විට මෙවැනි දේ ඇගැයීමට කිසියම් සමාජ නැඹූරුවක් ඇතිවී ඇති සෙයකි. ඔබේ මෙම ලිපිය තවත් හදවත් තුලට පරිසරයේ ව්ටිනාකම කියා දෙන්නට හැකිවේවා.!

    ReplyDelete
  2. එහ්...ඒක සුපිරිනෙ .....

    ReplyDelete
  3. අඩේහ! පට්ට ලියවිල්ල. මම මේක කියවන්න ඕනෙ ආයෙම නිවාඩු පාඩුවෙ.

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...