මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, July 29, 2021

c ට ආදරෙන්

 

ආදරණීය C,

 

මා වටා පවතින හුදකලාව, නිරන්තරයෙන් මා පෙලන වේදනාව, ඔබ දන්නවද? අතීතය කියන තුවාල වල සීරිම් සලකුණු දැකීම, යළිත් යළි යළි ම ඔබව  මතකයට ගෙනෙන වග.
 
කාලයත් සමඟ සුව වෙතැයි ඔබ සිතු, හා කියූ සමහර කටුක පෑරීම් වල වේදනාව අද ද එළෙසම මා වටා පවතින බව ඔබ දන්නවද C. සියලු වේදනා යටපත් කර කාලයේ වැලිතලාවෙන් මතක වැසී යා යුතු උව ද,  ඔබ වෙත වු සෙනෙහස, එහි පැවතුන මිහිරියාව තවමත් මහත් වූ ගඟක පරිද්දෙන්, සීතලව හදවත පුරා ගලා යන්නේ කිමදැයි නොදන්නෙමි. ඒ ඇයි දැයි ඔබ දන්නවා දැයි  මම ඔබෙන්  අසන්නේ කෙසේද C.
 
ඔබේ පිළිතුර ලියවෙන්නේ ඔබේ කාන්තිමත් දෙනෙත් තුළ පමණක් වන බව මම දනිමි. ඒ කාන්තිමත් දෙනෙතේ ආදරය විදගත් බොහෝ හෝරාවන්, අද ද මිහිරිතම මතකයන් ලෙස ඉතිරි වීම එක්තරා සුබ සිහිනයක් විය හැකියි C.
 
තවදුරටත් මේ ජීවිතය මෙපරිද්දෙන් පවතිනුයේ තවමත් කාලය විසින් හෝ අමතක කරවන්නට අසමත් වු මේ මතක පොදිය නිසාවෙන් විය යුතුමයි C. ඒ නිසාවෙන්ම කාලය සමඟ සුවපත් නොවු හිතක් දරාගෙන මේ හැටි ම හිනැහීම වරදක් නොවනු ඇති.
 
"දෑස පියා ගත් කළ මට
මැවෙන්නේ ඔබේ රුව
ඈත කඳුකරෙන් එන නල
ගෙනෙන්නේ ඔබේ හඬ"

කැරන්ස්ගේ මේ ගීතය කොහෝ හෝ තැනක දී සවනට ඇසුනද, යූ ටියුබය පීරා හුදකලා රාත්‍රීයක දී ගීතය ඇසූව ද, මට ඔබව ඒ අයුරින්ම මතකයට නැගෙනවා C. දිනෙක ඔබ මට - මගේ ලඟ හිද ගැයූ ලෙසටම. ඔබ දෑස් අඩවන කර මදෙස බැලු පරිදදෙන්ම ඔබව මැවෙනවා C.

එදා ඔබ මිමිණු පරිදිම,

ඔබ දෑස පියා ගත් කළ  මගේ රුව මතකයට නැඟෙනවද C? මුදු සිහිල් සුළඟක දැවටෙන විට මගේ හඬ ඇහෙනවද C?

මට ඔබෙන් එය අසන්නට හිතෙනවා C. කියන්නැයි පෙරැත්ත කරමින් ඔබේ ලඟට වී සිටින්නට සිතෙනවා C. ඔබ කිසිවක්ම නොකියන විට ඔබේ දෑසට එබී, මා වෙනුවෙන් ලියවෙන පිළිතුර කියවන්නට උවමනායි C. ඒ විගසින්ම ඔබේ නලලත හාදුවක් තබන්නට අවැසි C.

එහෙත් ඉතා ප්‍රේමණීයව ගෙවී යන ඔබේ ජීවිතයේ තත්පරයකින් මිලි දශමයක හෝ ඉඩක් මා වෙනුවෙන් වෙන් නොවන බව මම ප්‍රත්‍යක්ෂ  කර හමාර නිසාවෙන්, ඔබ වෙතින් අසා දැන ගත යුතු බොහෝ පැනයන් නිහඬව   දරා සිටිනවා C. ඒ එකදු හෝ පැනයකට ඔබට පිළිතුරු දිය හැකි නම්, මමත් - මගේ ජිවිතයත් සුවදායි ඉවුරක නතර වේවී C.
 
ඉතිං, මම

විඳින්න දුන් මේ ජිවිතය ඔබව  හදවතින් දරාගෙන මෙලෙසින් විදෙව්වද, මේ භවය පුරාවට ඔබට මාවත් - මා හා බැඳි  මතකත් මතකයට නොඒවා.

එහෙත් ඔබේ කාන්තිමත් දෑස පමණක් ආලෝක වර්ෂ මිලියනයකට එපිටේදී   උව ද මට හඳුනාගත හැකි පරිදි ම, කාන්තිමත්ව පවතිවා.

 

A,

2021.06.09



No comments:

Post a Comment

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...