මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Friday, April 12, 2019

බයිසිකල්කාරිය



ගෙවී ගිය අවුරුද්ද ගෙවී ගියේ කෙසේදැයි පසු විපරම් කිරීමත්,  එම දින තුන්සිය හැට පහ තුළ දි ළඟා කරගත් හෝ නොකරගත් දෑ විමසමින් නව පිඹුරුපත් සකස් කරමින් ජිවිතය සැලසුම් කිරීමත් මා විසින් අත් හැර දමා ඇති අතර, මා අවුරුදු යැයි කියන්නේ සතුටින් සිනා වෙමින් ගත කළ දින, සති, මාස පිරවු ඒ  කුඩා තත්පර වලටය. 

වලංගු සීමාවන් නිර්ණය කිරීම කවුරුන් විසින් තිරණය කරන ලද්දැක්දැයි මා නොදන්නා අතර,  එම සීමාවන් බිඳ දැමීම තුළ මා වඩාත් සතුටට පත් වන අතර, එම සෑම අවස්ථාවකදීම,  අන්න ඉබ්බෙක් අහසින් යනවෝයි වැනි වු කෑ ගැසීම් ඇත්තේ, සවන් මතින් දරා ගැනීමට මිස පිළිතුරු දීමට නොවන බවත් තරයේ විශ්වාස කරමි.   

කුඩා අච්චු අකුරු සිරවු ලෝකයන් මා හමුවේ නිරාවරණය වන විට දැනෙන සතුටත්. දුම්රියේ කළුලු තුළින් එබෙමින් තරු රටා දකින විට දැනෙන සතුටත්, ඉඳ හිටක රූපයක් දෙකක් කාච ගතකොට ගෙන ලබන සතුටත්, අකුරක් දෙකක් ඔබට ලියා ලබන සතුටත්, ඉබාගාතේ ඇවිදිමෙන් ලබන සතුටත්, කුඩා ලෝරා හා සෙල්ලම් කිරීමෙන් ලබන සතුටත්, කුඩා දරුවන් දෙදෙනාගේ සුරතල් ඉවසීමෙන් ලබන සතුටත්, අතරට යුතුකම් හා වගකිම් වලට බැඳෙමින් ලබන සතුටත් එක්කාසු කර මේ මම යැයි මට මා පෙන්විය හැකිය.  

කුඩා දුවිලි අංශු වලින් දෑස් වැසි යන නිමේෂයන් වලදී, සුළඟට පෙම් කරමින් වේගය වැඩි වන තැනක, ඉඳිකටු තුඩු වැනි වැහි බිංඳු කම්මුල් වල ගැටී රිඳුම් දෙන විට සිනා සුන තැනක, සිහින් හිරිකඩ වැදෙද්දී ඇස් පියන් සෙලවුන තැනක, පවන වේගෙන් හමන සුළඟ මා බඳා ගත් තැනක, මම මා වෙමි. මම මා දකිමි. මම මා වන තැනක ජීවිතය ඇති බැවින් ඒ ජිවීතය තුළ මම මා බයිසිකල්කාරියක ලෙස හඳුන්වා දීමට මැලී නොවෙමි.

පාන්දර අහසේ ඇති චමත්කාරයටත්, වාතයේ ඇති සිහිලසටත්, මේ බයිසිකල්කාරිය තදබල ලෙසින් පෙම් කරන අතර,  සඳ රැසින් නැහැවුනු වෙල් ලියදි, තණ පිට්ටනි පසු කර ගමන් කර ඇති වාර වලදී,  ඒ සියුම් දසුන් මඟින් මත්ව ඇත්තෙමි.  ජිවිතය ඇත්තේ කොතනකවත් නොව එවන් තැන් වල යැයි ඇදහීම මා සතු ය. 

No comments:

Post a Comment

මගේ අප්පච්චිගේ "The last Call"

  එදා ඒ රෑ පුරාවට ඔබ, මට කතා කළ බව ඇසු විට අප්පච්චි, මම හිතනවා ඔබ මට  "රැවන්" කියන්නට ඇතිද? එහෙම නැත්නම් "පුතේ" කියන...