මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Monday, January 2, 2017

Heart Vs Brain

උගුරු දණ්ඩට අගල් දෙකක් විතර  පහලින් තිබුණ ගාන්චුව බුරිය ගාවට වෙනකම්ම හිමින් සීරුවේ ඇද ගන්න කියලා මම දකුණාට අණ කළා. ඌ කොහොමත් හොඳ එකා. කීව දේ කරන එකා.

" මම යන්නද" 

ඒ මැදැගිල්ලා. අර ඇරිච්ච තැනින් ඇතුලට රිංගන්න තියෙන  හදිසිය.

" හ්ම්"

" ඊළගට මම"

එ දබරැගිල්ලා. මට ඕන උනේ මැදැගිල්ලාට පස්සේ වෙදැගිල්ලා යවන්න. එත් දබරැගිල්ලා කොහොමත් එක විදිහක එකෙක්. කිසිම දේයක් තේරුම් කරවලා දෙන්න පුළුවන් එකෙක්වත්, කිසිම දෙයක් තේරුම් ගන්න එකෙක්වත් නෙවෙයි. ඌට හිතන්න හිතක් නැද්ද කියලාත් වේලාවකට හිතෙනවා. එක එහෙම වෙච්ච එක එක අතකට හොඳයි. හිතනවා කියන්නේ කාලේ කන වැඩක්.  කොටින්ම හිතක් තියෙනවා කියන්නෙත් මහ කරදර වැඩක්. අවුල් ජලාවක්.

" නෑ -  මම"
ඒ වෙදැගිල්ලා. 

" මටයි  ඔය සම්බන්ධව පලපුරුද්ද තියෙන්නේ, මම යන්නම් දෙවැනියට"

"හ්ම්"
එත් වෙදැගිල්ලාද ඉස්සර වුනේ, දබරැගිල්ලාද ඉස්සර වුනේ කියලා තක්කේටම මටත් කියන්න බෑ. උන් දෙන්නම එක පාරට ඇතුළට රිංගුවේ. දබරැගිල්ලා කවදත් ඔහොමයි.

සුළැගිල්ලා ඇතුලට ගියේ ටිකක් පරක්කු වෙලා. එත් මම කැමති නෑ සුළැගිල්ලාට මොකුත් කියන්න. ඌ දැක්කාම මට අනුකම්පාවයි. පොඩි එකා තාම ඒකා. උසත් නැති. මහතත් නැති. කෙට්ටු එකා. එත් උගේ උසට වඩා ඌ යුතු අයුතු කම් දැනන් හිටියා. ඌට වැඩි කැමැත්තක්වත් අකමැත්තක්වත් මට තිබුන්නෑ. අන්තිමට ඇතුළට ගියේ මාපටැගිල්ලා. වැඩිය සද්ද බද්ධ නැතුවට මම කැමතිම එකා තමයි මාපටැගිල්ලා. මම කියන ඕනැම දෙයක් ඌ ඉහ මුදුනෙන් පිළි ගත්තා. කොට මහත හාදයා උනාට මිනිහා ඔළුව දබරැගිල්ලා උනත් යටහත් වෙනවා. 

දැන් දකුණාට තියෙන වැඩේ රත්තාව ඇතුළෙන් ඇදලා ගන්න එළියට. එක එහෙම ලේසි වැඩක් නෙවෙයි. මෙච්චර වෙලා ගැහි ගැහි හිටපු රත්තා ටික වෙලාවක් සද්ද නැතුව හිටියා. දකුණාට තිබුණේ රත්තාව මිට මොළවලා ඇදලා ගන්න විතරයි. දකුණා රත්තාව අල්ල ගත්තා. දකුණා මගේ අණ ලැබේනකම් බලන් ඉන්නේ කියලා පණිවිඩේ ආව ගමන්ම  මම නියුරෝණයාට කිව්වා මේ දැම්ම එක කරන්න කියලා. පරක්කුව තියෙන්නේ නියුරෝනයාගේද?

මෙච්චර කාලෙකට නියුරෝනයා ඔය විදිහට පරක්කු වෙලා නෑ. කොහොම උනත් රත්තා තාමත් ඇතුලේ. තත්පරයක දෙකක පමාවකින් පස්සේ රත්තාව දකුණා ඇදලා ගත්තා. දකුණා පරිස්සම් උනා. එකට අණ කළේත් මම. දකුණා පරිස්සමට රත්තාව මෙසේ උඩින් තිබ්බා.

" මේක අසාධාරණයි"

රත්තා කෑ ගහනවා.

" අද මමත් යන්නම ඕන. මම එතන ඉන්නම ඕන."

රත්තා කොච්චර කෑ ගැහුවත් අද මේ ගමන රත්තාව එක්ක යන්නෑ කියලා මම තීරණේ කරේ ඊ‍‍යේ. එක ඒ විදිහටම වෙන්න ඕන. මම යි මෙතන අණ දෙන්නේ. අනික මේ දෙයින් හොඳක් මිසක් නරකක් වෙන්නැ කියලා මට විශ්වාසයි. ආයෙ හිතන්න දෙයක් නෑ. රත්තා හිටපුවාවේ. මම දකුණාටයි වමාටයි කිව්වා රත්තාව  සිලි සිලි බෑග් එකක දලා ශීත පෙට්ටියෙන් දාන්න කියලා. නැත්නම් ඌ හිතලා හිතලාම පණ යාවී. දකුණයි වමයි හරි පරිස්සමට රත්තාව ශිත පෙට්ටියට එබුවා.

" අඩුම තරමේ පැය පහ හයක් යයි. එතකන් ඉවසපම්. මේක අපේ හාම්පුතා වෙනුවෙන්. ඌඹ ගිහින් බෑ. ඌඹ හිතනවා වැඩියි. ඒක අවාසියි. අද අවසන් නඩු දිනේ."

දැන් තිවංක මහත්තයාට නැගිටින්න වේලාව. නියුරෝනයා ටිකක් අදිමදි කරනවා.

"මොකද අයිසේ , මෙතැන තැක් ගැහෙන්නැතුව පණිවිඩේ අරන් යනවා. දැන් වේලාව හරි නැගිටින්න. බය වෙන්න දෙයක් නෑ. රත්තා ඇතුලේ"

තිවංක මහත්තයා නැගිට්ටා. වෙනදා වගේ නෙමෙයි. මුණ ඇදිලා ගිහින්. පහුගිය දවස් දෙක තුනේම හරියට කෑමක් බිමක් නෑනේ. කොච්චර කීවත් වතුර උගුරක් දෙකක් වත් බීව්වයැ. ඒ ඔක්කෝම රත්තා ගේ වැඩ. රත්තා තමයි තිවංක මහත්තයාට ඔය හැටි හිතන්න පුරුදු කෙරෙව්වේ. තිවංක මහත්තයා කණ්ණාඩිය ළඟ හිට ගත්තා. වැවීලා තිබ්බ රැවුල දිහා බැලුවා.
 
"කපන්නද?"

"ඕන්නෑ"

රත්තා හිටියා නම් අපි දෙන්නාට තර්ක කරන්න වෙනවා.රැවුල කපනවාද නැද්ද කියන කාරණේ ගැන පවා. තිවංක මහත්තයා තවත් තත්පර දෙක තුනක් කණ්ණාඩිය දිහා බලන් හිටියා. රැවුල නොකපන්න තීරණේ කරා. රත්තා නැති එක පහසුවක්.

තිවංක මහත්තයා මේ අමාරුවේ වැටුණේ රත්තා හින්දා. මම එදාත් කොච්චර කිව්වාද මේ වගේ මෝඩ තීරණ ගන්න එපා කියලා. එක අහන්න ඉඩ දුන්නැත්තේ රත්තා. කෝකාට වාරය යි නම් තිත්තයට හත් වාරයයි. එදා රත්තාගේ වාරේ. අද මගේ වාරේ.

තිවංක මහත්තයා දුඹුරු පාට ලෙදර් බෑග් එකට ෆයිල් කවර ටික ඔබා ගන්න හදද්දි මම එක වැලැක්කුවා. මට හොඳටම මතකයි ඒක තිවංක මහත්යාට අරන් දුන්නේ සුදර්ශණි නෝනා කියලා. පරණ කළු ලෙදර් බෑග් එක තිවංක මහත්තයාට ගන්න උදව් කලේ දකුණා. වමා එතකන් ෆයිල් ටික අල්ලන් උන්නා. ඌන් දෙන්නම හොඳ උන්. වෙනදාට වඩා මට උන් ගැන සෙනේහයක් ඇති වෙලා. කොහොම උනත් රත්තා හිටිය නම් වමා ගන්නේ රත්තාගේ පැත්ත.

සුදර්ශණි නොනාගේ යි තිවංක මහත්තයාගේයි මගුල් පොටෝ එක තිබ්බේ කණ්ණාඩි මෙසේ උඩ.
මම එ්ක දැක්කා. තිවංක මහත්තයාත් දැක්කා.

අපරාදේ මට තිබුණේ ඒ දිහා නොබලා ඉන්න. දැන් ඉතිං තිවංක මහත්තයා වැඩේට පස්ස ගහන්න බැරි නෑ. මේච්චර දවසක් මේ වැඩේ මෙච්චර දිග් ගැහුණෙන් ඒකමයි. උදව්වට හිටියේ රත්තා. රත්තාගේ උදව්වට වමා. දැන් රත්තා නැති එකේ පරදින්න බෑ.

මම මොළ දණ්ඩාට පණිවිඩයක් යැව්වා "හයියෙන් හුස්ම ගනින්"

මම මොළ දණ්ඩාට කිව්වා. වැඩේ අපුරුවට යනවා. තිවංක මහත්තයාගේ නාස් පුටු අතරින් හුස්ම ඇතුලට එනවා විතරයි එළියටත් යනවා.

" මස් පිඩු නටවහන්"

"ලේ ගමන වැඩි කරහන්"

" මුණට ලේ පුරවහන්"

"ඇහි පිය වහගනින්"

" අත මිට මොළවගනින්"

"පින්තුරේට ගහපන්"

අණටයි වැඩ සිද්ධ වුනේ. පින්තුරය විසි වෙලා ඇඳ යටට වුනා. සම්පුර්ණයෙන්ම තිවංක මහත්තයා තරහව පිට කරගත්තා. මේ වෙලාවේ රත්තා හිටියා නම්. ඇස් වලට කඳුළු පුරවගන්න අණ දෙන්න කියාවි. අන්තිමට තිවංක මහත්තයා අර ඇද්‍ෙ කොනක වාඩි වෙලා පින්තුරය අත ගගා අඩාවී. එක පිරිමි කමටත් ලැජ්ජාවක්. රත්තාත් හිත හිත අඩාවී. රත්තා අඩද්දී පිටවෙන සුසුම්ද මොනවැයෙද සද්දේ. මට එක දරා ගන්නම බෑ. එකමයි මම තිවංක මහත්තයාගෙන් රත්තාව වෙන් කළේ.

තිවංක මහත්තයාට හිතන්න දෙයක් නෑ. ඔක්කෝම මම තීරණේ කළේ. වෙච්ච හැමදේකම මතකයක් මට තිබුණා.  සුදර්ශණි නෝනා එදා ගෙදරින් ගියේ ආයෙ එන්නැ කියලා. තිවංක මහත්තයා අහපු පුංචි ප්‍රශ්නේට සුදර්ශණි නෝනාට කෙලින් උත්තරයක් දෙන්න තිබ්බා. මම එහෙම හිතුවාට රත්තා හිතන්නේම අනිත් පැත්තට. සුදර්ශණි නෝනගෙන් ඒ වගේ පුංචි ප්‍රශ්නයක් හරි අහපු එක වැරුද්දක් විදිහටයි රත්තා දැක්කේ.

" තමුසේට වෙන සම්බන්ධයක් තියෙනවාද"

ඕක පුංචි ප්‍රශ්නයක් නෙමෙයි ද? සුදර්ශණි නෝනාට ඒකට උත්තර දෙන්න තිබ්බේ නැද්ද?
එතන ඉදන් ප්‍රශ්න වලිනුයි උත්තර වලිනුයි දිග් ගැහි ගැහි මෙච්චර දුරක් ආවේ රත්තා හැම වේලාවෙම මැද්දට පැනපු නිසා.

තිවංක මහත්තයා ගේ ඇතුළට ආපහු ආවේ ගිය විදිහට නෙමෙයි. මළානික පඩු පාටක් තමයි මුණේ තිබ්බේ. කොහොමත් තිවංක මහත්තයා සුදුමැලි. ගෙට ගොඩ උන ගමන්ම මම දකුණාට අණ කළා ශිත පෙට්ටියේ හිටිය රත්තාව අර ගන්න. රත්තාට ශිත පෙට්ටියේම නින්ද ගිහිල්ලා. ඒකත් හොඳයි. එත් මට ඉවසුමක් තිබුන්නෑ රත්තාට කියනකම් ම, ඒක සුබ ආරංචියක් අහන්න ආස හිතෙන තරමටම. නෑ නෑ ඒ ආරංචිය කියනවාට වඩා හොඳටි මේ  දිනුම ලැබුණ මේ කොළ කෑළි ටික රත්තාට පෙන්නන ඒක. නැත්නම් විශ්වාස කරන එකකුත නෑ. වමා එක ඇඳ උඩ ම විසුරුවලා දැම්මා. මට හීන් හිනාවකුත් ගියා. කෝකාට වාරයයි නම් තිත්තයාට හත් වාරයයි.

දකුණා හිමින් සිරුවේ උගුරු දණ්ඩෙන් අගලක් දෙකක් පහලට වෙන්න තිබුණ ගාන්චුව බුරිය ලගටම ඇද්දා. හිමින් සුරුවේම රත්තාව අරන් තිබ්බ තැනම තිබ්බා. දැන් හරි. මේ තමයි විජයග්‍රහණය සමරණ වේලාව.

"නැගිටපන්"

රත්තා හරියට හැසිරෙන්නේ නුපුරුදු තැනක් වගේ. හොන්දු මාන්දුවෙන්.

" දැක්කාද" 

මට ඕන උනේ වමා ඇද උඩ විසි කරපු මගේ උත්සහයේ ප්‍රතිඵලයක් වෙච්ච ඒ ජයග්‍රාහී කඩදාසී කොළ රත්තාට පෙන්න න එක. තාම නිදිමර ගාතෙන් ඉන්න රත්තාට ඒ ටික හොඳට පෙන්න නම් ඇද ගාවට යන්න ඕනේ.

"ඇඳ ළගට යමු" 

තිවංක මහත්තයා ඇද ළඟට යන්න හැරුණා. ඒ වෙනකොට නම් රත්තාගේ ඇහැ ඇරිලා. දැන් අර කඩදාසි දැක්ක ගමන් රත්තාගේ ඇස් උඩ ඉන්දවෙයි. මට හිනාව නැගුණේ කට කොනට.

රත්තා ඇද උඩ විසි කරපු කොළ දකින්න කලින් දැක්කේ ඇද යට තිබුණ තිවංක මහත්තයාගේයි සුදර්ශණි නෝනගෙයි මගුල් පින්තුරේ. එ් එක්කම එක තිවංක මහත්තයාත් දැක්කා. මමත් දැක්කා.
තිවංක මහත්තයා නැමුණේ ඇහිද ගන්න වෙන්න ඕනා.

" එපා ඔහේ තිබ්බදෙන්"

මගේ අණට දකුණා සද්ද නැතුව හිටියා. එත් වමා. ඌ දෙපිටි කාට්ටුවා. පින්තුරේ ඇහිද ගත්තා. තිවංක මහතයාත් ඇදෙන් ඉද ගත්තා. අර විසි කරපු කොළ උඩම. දැන් එක රත්තා දකින්නේ කොහොමද?එත් රත්තා එ් කඩදාසි දකින්න විදිහක් නෑ. ඌගේ ඇස් තිබුණේ මඟුල් පින්තුරේ.

" විසි කරන්න" 

තිවංක මහත්තයාට මගේ කටහඬ ඇහෙන්නැ. රත්තා ඉකි ගහන සද්දේ මිසක් වෙන සද්දයක්  ඇහෙන්නෑ. තිවංක මහත්තයාත් ඒ ඉකි ගැහිලත් එක්ක නැලවෙනවා. ඉතිං ඇහෙයියෑ. මගේ කන් බීරි වෙන තරමට රත්තා සුසූම් හෙලන්න පටන් ගත්තා. ඒ සද්දේ ඉවසන්න බැරිම තැනයි මම ඇස් කන් වහ ගත්තේ. දැන් රත්තා ඕන නාඩගමක් නටා ගත්තාවේ. වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. තිවංක මහත්තයාට දිනුම එකේ ගෞරවේ මට. රත්තා වැළපුනා කියලා දැන් වැඩක් නෑ.

දවසම තීන්දු තීරණ ගන්නයි අණ දීම් වලටයි වෙන් උනාම දවසේ අවසන් භාගේ මට තෙහෙට්ටුයි. රත්තාට ඕන කුදයක් ගහ ගන්න කියලා මම ටිකක් ඇහැ පියා ගත්තා.

සමහර විට මට ඇහැ පියවෙන්න ඇත්තේ තත්පර විස්සකට තිහකට විතර, ඊට අඩු මිසක් වැඩි නෑ. ස්නායුවා ඇඹරෙන්න ගත්තේ සැරට දැනිච්ච දැවිල්ල හින්දා.  ඒ වෙන කොට රත්තා සංසුන්. රත්තා සංසුන් උනාට මේ දැවිල්ල ස්නායුවාට වගේම මටත් ඉවසන්න බෑ. රත්තාට කිසි ගානක් නෑ.

"මේක නවත්තන්න,"

තිවංක මහත්තයාට වගේ වගක් නෑ. රත්තාට කිසි ගාණක් නෑ.

"මේක නවත්තන්න"

" කොකාට එක් වාරයයි නම් තිත්තයාට හත් වාරයයි"
එහෙම මුමූණනවා ඇහුණේ රත්තා.

"මේ විදිහට බිව්වොත් මම මැරෙයි"

"ඒක එහෙම උනාවේ"
රත්තාගේ කිසි අනුකම්පාවක් නෑ.

" සුදර්ශණි  නෝනාට එහෙම කිසිම සම්න්ධයක් තිබුන්නෑ. සුදර්ශණි නෝනා නිර්දෝශයි. මොළයා උඹ තමයි මේ හැමදේම කළේ. මට ඉඩ දුන්නෑ කොයිම වේලාවකවත්. සුදර්ශණි නෝනා නිර්දෝශයි, අපරාධය කලා නම් දැන් ඉතිං විදවපන්"

රත්තා වෙවුළුවා. එත් එක්කම රත්තාට ඇඩුම් ආවත් ඌ එක නොපෙන්වා හිටියා.එහෙම ඉන්න උදව් උනේ වමා උගුරට හැළුව සැර බීම ජාතිය. 

ස්නායුවා ඇඹරුණා. ඒ සැර මටත් දැණුනා. මාත් ඇඹරුණා. ටික ටික ඇඹරුණා. තව ටික ටික ඇඹරුණා.ගුළි උනා. එහෙම වෙන්න වෙන්න බීම සැරත් වැඩි උනා. රත්තා ඔහෙ බලාගෙන හිටියා. මගුල් පින්තුරේ දිහා. යාන්තමට බීම සැර අඩු වෙද්දි මම හිතා ගත්තා උදේම දකුණාට අණ දෙන්න මගුල් පින්තුරේ විසි කරන්න. එත් එක්කම මට ඇහුණේ රත්තාගේ සුසූම් හඬයි, ඉකියයි. මම කණ් දෙක වහ ගත්තා. ඒ මුසල සද්දේ මට අහන්න උවමනාවක් නෑ. ආයෙම අර සැර බීම සැර. මාව ඇඹරෙන්න ගත්තා. 

"මම මැරෙයි, ඕක නවත්තපන්"

"මම මැරෙයි"

ඇතින් පෙණුන සුදු පාට එළිය දිහාට මට යන්න ඕන උනා. එත් රත්තාට ඕන උනේ මගුල් පින්තුරේ ඉස්සරහාට වෙලා ඉන්න.එ් පින්තු‍රේ බිත්තියේ එල්ලෙනවා මම දැක්කේ සුදු පාට එළිය දිහාවට යන්න කකුල් ඉස්සර කරද්දීමයි. එත් තාමත් රත්තා හිටියේ මගුල් පින්තු‍රේ ඉස්සරහා. දැන් මගේ ඇසුත් ඒ පින්තුරේ දිහාමයි. ඒ පින්තුරේ ඉන්නේ තිවංක මහත්තයාමද? මම රත්තාගෙන් ඇහුවා.

එත් රත්තාගේ ඇස් තිබුණේ සුදර්ශණි නෝනා ළඟ.
මට උත්තරයක් ලැබුන්නෑ. රත්තා කතා ක‍ලේ නෑ.

5 comments:

  1. මොළයයි හදවතයි අතරේ ගැටුම..ඇත්තටම ඇතුළට ගිහින් බලල ආවා වගේ ලියලා...

    ReplyDelete
    Replies
    1. හිනෙකින් ගියා වගේ. ගිහින් ආව

      Delete
  2. හරිම නිර්මාණශීලි වියමනක්...බොහෝ විට හදවතයි මොළයයි අතරේ ගැටුමෙන් මොලය පරදිනවා...ඔබ එය අපුරුවට ලියලා..ගුගල් ෆලොවරය එකතු කරන්න...ඔබේ බ්ලොග් එක කියවන අයට එය පහසුවක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතී පොකුරු..
      හොදයි එය එක් කරන්නම්

      Delete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...