මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, January 10, 2017

ගුරු උතුමි

මම ඇයට බොහෝ ආදරය කරමී.ඊටත් වඩා ගෞරව කරමී. ඇය ගැන අකුරු කිහිපයක් හෝ අමුණන්නට අවැසී වුයේ අදක ඊයේක නොවී ය.ඇය වෙනුවෙන් මා ලියා අවුරුද්දකට දෙකකට වැඩි ය. ඔබ සමඟ මෙය බෙදා ගන්නවාදැයි ලත වෙමින් සිට මෙවැනි දවසක් හැර මේ බෙදා ගැනීමට වෙනත් සුදුසු දවසක් මුණ නොගැසෙන බැවින් මගේ බිත්තියේ මෙය අමුණමි.

මට මතකයි. ඇය මා දෙස බැලුවේ වරක් දෙවරක් නොවන බව. ඒ මුල්ම දා අප මුණ ගැසුණ, ඇය සිය වරක්වත් මා දෙස බලන්නට ඇත. ඉන් පසු ගෙවී ගිය සති කිහිපය ඇය මා පිළිබඳ ඕනාවට වඩා සොය බැලු බවත් පසුගිය වසර හතරේ අමිහිරි අත්දැකිම් අතරට එම වසරත් එකතු වනු ඇති බවත් සිතන්නට කරුණු එකතු වෙමින් තිබුණී.

 මම බිය වීමි ඇයට යමක් කීමට, ඇය අසලට යාමට, ඇගේ දෑස් දෙස කෙළින් බැලීමට.

ඇය වෙනුවෙන් මල් ගෙන ඒමට අමතක වු විට මම ලජ්ජා වුයෙමි. එදා දවසම ඇගේ මේසය හිස්ව තිබුනද ඇය මට එරෙව්වේ නැත. කිසිවක්ම කිවේ නැත. ඇගේ සිනහව වෙනදාට වඩා මුණේ ඇදී තිබුණේන් මේසය මතට ඇන්තුරියම්, රෝස මල් පොකුරු අවශ්‍ය නැතැයි මම සිතුවෙමි. එහෙත් මම මොනිටර්ගෙන් බැනුම් ඇසුවෙමි.

තවත් දවසක මම මහත් අපහසුතාවයට පත් වුනෙමි. පැන්සල ගෙදර අමතක කර විත් තිබුණී. එහෙත් එදා මගේ ඔළුව හිල් වී ඇත්දැයි හිස අත ගා බැලීමට මට අවැසි නොවීය. ලඟම හිඳ සිටි මිතුරිය මා නොරිස්සුවද පැන්සල් කිහිපයක්, උල් මාරු කරන පැන්සලක්, රට පෑනක් හා මකන දෙකක් තීබු ඒ අසල්වැසියාගේ පැන්සල් පෙට්ටියෙන් ඇය එදින මට පැන්සලක් ඉල්ලා දුන්නාය. පොතක පිටුව පිරෙන්නට හරියකුත්, ඉතා හොඳයි වචන දෙකත් මට පළමු වතාවට ලැබෙන්නේ එදීනම ඒ පහේ පන්තියේදී ය.

මම ලජ්ජා වුයෙමි.

අනිත් ළමයින් මෙන් ඇය එනතුරු ගෙට්ටුවේ එල්ලී සිටිමටත්, ඇතින් ඇය දුටු වහාම ළඟට දුව ගොස් අතේ එල්ලීමටත්, ඇගේ බැගය රුගෙන පැමිණීමටත්.

ළඟට එන්නැයි ඇ දවසක මට කතා කළා ය. මේක කියවන්න හයියෙන් කියවන්න.

ඇය මගේ රචනා පොත මට දිගු කළා ය. මම ගොත ගැසුවෙමි. වචන අමතක කළෙමි. බාගෙට කියවා නතර කළෙමි. ඇය අත්පුඩි ගැසුවා ය. මගේ දෙවුර මත දෑත් තැබුවා ය. හිස අත ගැවාය.

මේ රචනාව ඉතාම හොඳයි.

ඇය ම  එය නැවත පන්තියටම ඇසෙන්නට කියවුවා ය.  ඊට දවස් කිහිපයකට පසුව මම ගෙට්ටුවේ එල්ලුනෙමි.

සපත්තුවේ ඉරුණු තැනින් එළියට පනින මාගේ මා පට ඇඟිල්ල දෙසත්, ඉන් ඇතුළත තිබුණු වැල් ඇඳුන මේස් දෙසත් ඇය කිසිම විටක නොබැළුවාය.

තැනින් තැන එරඩු කහට වැටුනු මගේ ගවුම දෙසත්, පිළීවෙලකට බැඳ නෙතිබු ටයි පටිය දෙසත් ඇය කිසිම විටක නොබැළුවාය.

අවුල් උන මගේ කොණ්ඩය දෙසත්, දෙතුන් තැනක් මසා ඇති බැගය දෙසත් ඇය කිසිම විටක නොබැළුවාය.

මාගේ දෙමව්පියන් කව්දැයි යන වගත්, මාගේ තරාතිරම පිළීබඳවත්, මාගේ උප්පැන්නය පිළීබඳවත් ඇය කිසිම විටෙක නොඇසුවාය.

මා අසනීප වී පාසල් නොපැමිණී දිනක අතපසු වු පාඩම් පිළීබඳවත්, එහි මට ඇති ගැටළු පිළීබඳවත් ඇය සෙව්වා ය.

මා ගණීතයට දුර්වල වද්දීත්, ගණන් සැදීම අපහසු බව කියද්දී ඇය මට වඩාත් පහසුවෙන් ඉගැන්වීය හැකි අයුරු සෙව්වාය.

මා වරක් දෙවරක් නොව කිහිප විටක්ම පියවර පියවර පසු පසට යන්නට හදද්දීත්, සබකෝලය නිසා මුණි වත රකිද්දීත් මා පිටු පසින් සිට ඉදිරියට තල්ලු කල හැකි අයුරු සෙව්වා ය.

මා පිළීබඳ මාගේ විශ්වාසය හීන වන සැම විටකමත්, මා දුර්වලයයි සිතෙන සෑම විටෙකම ඉවෙන් මෙන් එය වටහා ගෙන  මේ හොඳයි, තවත් හොඳට කරමු යි කිවාය.

ඉතිං,
මම පන්තියේ පිටු පස අසුනේ සිට ඉදිරි පෙළ අසුනකට ආවෙමි. හොඳම මල් පොකුර ගෙන ආවෙමි. කිසිම දවසක් නැවත පැන්සල අමතක නොකළෙමි. පන්තියේ අන්තිමයින් අතර සිටි මම ශිෂ්‍යත්වය සමතුන් දා හත් දෙනා අතරට එකතු විය.

මම ඇයට පහේ පන්තියෙදී චන්ද්‍රා මිස් යැයි ඇමතුවෙමී. අද ඇයට අමතන්නට මා දන්නා වචන ප්‍රමාණවත් නැත.

අද ද මට, මා පිළීබඳ විශ්වාසය ගිලිහෙන විට, මා දුර්වල යැයි සිතෙන විට, මා පරාජිතයැයි සිතෙන විට, මේ හොඳයි, තවත් හොඳට කරමු ඒ ඇගේ වචනම  ශක්තියක් වේ. එවන් වචන පිටුපසන් ඇසෙද්දී අද මෙතැන සිට මම හිනැහෙමි. අද ද මා දනිමි, මේ හොඳයි, එහෙත් තවත් හෙඳට කළ හැකි බව දනිමි. මම එසේ කරන්නට උත්සහ කරමි.


මට අකුරු හුරු කළ සියළුම ගුරු උතුමන් දෙපා වදිමි.

6 comments:

  1. අගේ ඇති සටහනක්...රහට ලියලා

    ReplyDelete
  2. බ්ලොගර් පලෝ්වරය එකතු කරන්න

    ReplyDelete
  3. ඉතිං ඔබට වරදින්නේ නැත.... අද ඔබ ව අප කියවන්නේ චාන්ද්‍රා මිස් ඇතුළු සියළු ගුරුවරුන් ඔබ ඔබ ලෙසින් දෙපයින් සිටවූ නිසාම පමණක් නොව ඔබ තුල ඇති පිදිය යුත්තන් පිදීම යන උතුම් මානසිකත්වය නිසාත් යන්න මගේ හැගීමයි. මිට මාස කිහිපයකට පෙර බ්ලොග් ලියන්නට ආ මට ඔබ පෙනෙන්නේ පරිපුර්ණ මඟ දැන යන යාත්‍රාවක් ලෙසිනි. ඉතිං ඔබට ජය..!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතී
      මාත් බ්ලෝග් වලට එකතු වී වැඩි කලක් නැහැ. ස්තුතී බුද්ධිකා

      Delete

මගේ අප්පච්චිගේ "The last Call"

  එදා ඒ රෑ පුරාවට ඔබ, මට කතා කළ බව ඇසු විට අප්පච්චි, මම හිතනවා ඔබ මට  "රැවන්" කියන්නට ඇතිද? එහෙම නැත්නම් "පුතේ" කියන...