Monday, January 2, 2017

We want leader.

අලුත් ඇඳුම් ඇද ගත්ත ඒ පරණ මිනිස්සු ටිකම කාර්යාල දොරෙන් ඇතුල් වෙමින් තිබුණා. සමහර මුණු වල හිනාව පළල්ව ඇදිලා තිබුණා. වැඩිපුර ලිප්ටික් ගාගත්ත තොල් වෙනදාට වැඩිය දොඩමලු උනා.ඒ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වාට ඇහැ නම් එක තැනක තියා ගන්න බැරි උනා. හිතත් ඒ පස්සේම ඇදිලා ගියා.

'වසංගාගේ මොණර නිල් පාට සාරිය ඒක හරි ලස්සනයි.'



'ඉන්දිවරි ඔයාට ඔසරිය හරි ලස්සනයි නේ. හැමදාම ඔහොම අදින්නකෝ.'


'ෂා, රොෂානි කොණ්ඩේ අයන් කලා නේ. හරි ලස්සනයි අනේ.'


'කොහෙන්ද අනේ තරංගා ඔය සාරිය ගත්තේ, මටත් ඔය වගේම එකක් තියෙනවා.'


'ලිහිණි ඔය සාරි කටුව කියද? මම ඕකම ඊයේ අතට අරගනත් දලා ආව අනේ.'


අැහැ නතර වුණ තැන් වල හිත නතර කර ගන්න බෑ. මම බලන් හිටියේ එයා එනකම්. එයා කවුද කියලා අහන්න ඕන නෑ. එයා කියන්නේ එයාට. එයා අද පරක්කුයි. මම කලින්. වෙනදා නම් මම පරක්කුයි. එයා මට කලින්. එයා එනකම් මම අැහැට ඉගිල්ලෙන්න දුන්නා. හිතත් ඒ පස්සෙන්ම දුවනවා.


'අත් දිගට දාපු සාරි ජැකට් එක දුලානිට හොඳයි'


'සමන්තා ඇයි මේකට අර මාලේ දැම්මේ නැත්තේ. දැම්මා නම් තවත් ලස්සනයි.'


'කොහෙන්ද මේ සපත්තු දෙක ගත්තේ ඉරේෂා මාත් හෙව්වා අනේ.'


'මනෝරි කට්ටියම ගෘප් පොටෝ එකක් ගමුද? අනුරාධා එන්න. මෙහෙම ගමු ලස්සනයි නේ'


අද එයා එන්නේම නැති වෙයිද? මම හිතුවේම එයා ගැන. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදී ජනරජයේ මට මතක ප්‍රතිඥාවේ ඒ වචන ටික කියවෙනවා විතරයි. කල්පනාව තිබුණේ එයා ගැන. එයා කියන්නේ එයා අනේ.


මම කොරියාවේ ඉද්දී, ලේකම්තුමා ඒ විදිහට බර සාරේට කතාව කරද්දී එයාගෙන් හිත මිදිලා එක පාරටම නම්බු පිස්සුව කෙටි කතාවේ හිත නතර වුනා.
"When I was England "
"When I was England"
ආයෙමත් එයා ගැන මතකයට ආවේ, කිරිබත් කැල්ලකුයි කෙසෙල් ගෙඩියකුයි උණු ප්ලෙන්ටි එකකුයි බිව්වාටත් පස්සේ. කෝ එයා. ඇවිත් නැද්ද? එහෙම නැත්නම් එන්නැද්ද? 

ආයෙමත් එයාව අමතක කරන්න උනේ සහෝදර බෑදිම වර්ධනේ කරගන්න අංශ වලින් අංශ වලට ගිහින් සුබ පතන්න තිබුණ හින්දා. එයා ගැන මතක් කර කර හිත එක විදිහකට තියා ගන්න බෑ. හිත එක විදිහකට තියා ගන්න බෑ කියන්නේ මුණ එක විදිහකට තියා ගන්න බෑ. මම එයාව  හිතේ පහලට තල්ලු කරලා දැම්මා. තව ටිකකින් උඩට ඇදලා ගන්නවා. ඊට කලින් සමහර විට එයා එයි. ඔව් නැවිදින් ඉන්නෑ. එහෙම ඉන්න විදිහක් නෑ. කොහොමත බෑ. බෑ නෙවෙයි වෙන්න විදිහක් නෑ.

එයා ගැන කොහෙ හිතන්නද? සහකාර ලේකම් තුමියලා දෙපොලටයි, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තුමියටයි ප්‍රශ්න ගොඩක් තිබුණා නේ.  ඒත් එතුමියන්ලාත් රාජ්‍ය සේවකයෝ වෙලා අපිත් රාජ්‍ය සේවකයෝ කියලා කොහොම අමතක කරනවාද මන්දා. උඩින් හොඳයි වගේ හිටියාට අපි හැමෝම එකාට ඒකා තරහයි. ඒක නොපෙනෙන්න සුදු හුණු ගාගන්න කියලා එතුමිය කිව්වාට රාජ්‍ය සේවයේ පොදු ලක්ෂණ වලට සංස්කෘතිමය වටිනාකමක් තියෙන උරුමකම් වලට අත පොවන්න අපිට පුළුවන්ද? මම නම් පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නවා මිසක ඔය කිසිම දේකට හා හ්ම් ගාන්නැ කියලා හිතා ගත්තා. ඔය වටිනාකම් අගනාකම් නැති කරලා අපිට ඊළඟ පරම්පරාවෙන් බැනුම් අහන්න බෑ.


සමහර මුණු වල ඇදුන මලානික පෙණුමත් එක්ක, තොල් වලින් පාට මැකුණ තැන  තැන ඉතුරු උන ආලේපනත් එක්ක ආයෙමත් එයා හිතට ආව. එයාට අද නැවිදින් ඉන්න තිබුණ හේතුව. එහෙම කිසිම හේතුවක් නෑ. තියෙන්න විදිහකුත් නැ. එහෙම තිබ්බා නම් මම නොදැන ඉන්න විදිහකුත් නෑ. එයාට මාව මතක නැත්නම්,
  
මම එයා ගැන අමතකම කරලා හිත එකලාසයක් කරගෙන වැඩ පටන් ගත්තා. වැඩ පටන් ගද්දි දෙයියෝ බුදුන් සිහි උන්නැතුවට මට එයාව මතක් උනා. සමහර ලියුම් වල අකුරු උඩින් මට එයාව පෙන්න ගන්නවා. ආයෙම නොපෙනි යනවා. ඕවාට කියන්නේ මල කොලං. එනවා නම් එන්න ඕන. නැත්නම් නැවිදින් ඉන්න ඕන. එයා ලස්සනට හිනා වේගන සුදු A4 කොළයක් උඩ ඉන්නවා. එයා හැමතිස්සේම හිනා උනේ කට පැත්තෙන්.


"මේ ඔරලෝසුවේ වෙලාව වැරදි.දැන් හතරත් පහු වෙලා."


මම ඔරලෝසුව දිහා බැලුවා. කතාව ඇත්ත. මාත් යන්න ඕන.  අලුත් ඇඳුම් ඇද ගත්ත පරණ මිනිස්සු උදේ ආපු පාර දිගේම අාපහු යමින් හිටියේ. ඔය ඇදෙන්නේ ගුල් වලට. එහෙම කිව්වොත් ඒක වැරදි කියලා මම දන්නවා අපි කියන්නේ එ්වාට ගෙවල්. ඔව් එහෙමයි කිව යුත්තේ. සත්තුන්ගෙන් වෙන් වෙලා මිනිස්සු වගේ ශිෂ්ඨාචාර වුනාට පස්සේ අපිට ගුහා තියෙන්න විදිහක් නැනේ.


"ඒයි"
එයා, එයා උද්යෝග. උද්යෝග සුදු A4  කඩදාසයි අස්සේන් කතා කරනවා. හරි නම් කතා කරන්න වටින්නෑ. එත් එහෙම කරන්න පුළුවන්ද? අන්තිමට හරි ආවනේ.



" මොකද පරක්කු"


" වේලපහ ආවයි කියලා වැඩක් තියෙනවාද?" 


"නැවිත් කියන කතා නේ ඔය"


"ආවටත් අකමැත්තේ"


"එහෙම නෙමෙයි උද්යෝග හෙටවත් උදේම එනවාද?" 


"සේවකයින් නොවෙයි
We want leaders"  



උද්යෝග අර හිනාවෙන්මයි එහෙම කිව්වේ.


We want leaders.
මම බැලුවේ දොර දිහා.
Happy New Year 2017 කියලා දොර මැදට වෙන්න අකුරු හිටං ඉන්නවා. ඒ දොරන්ම අලුත් ඇඳුම් ඇදපු පරණ මිනිස්සු තාමත් පිටවෙලා යනවා. මමත් යන්න ඕන. ඒ පරණ පාර දිගේම. අර හිටං ඉන්න අකුරුත් බැහැලා යාවී හෙට අනිද්දා දිහාට. අවුරුද්දත් පරණ වෙවී නිකරුණේම.



We want leaders. 
උද්යෝග හරි. අර දොරේ ගහන්න තිබ්බේ
We want leaders. 
Happy New Year වචන පරණ වෙනවා.
We want leaders කියන වචන පරණ වෙන්නෑ.
ඒ වචන වලට සමහර විට පුළුවන් මිනිස්සුන්ව අලුත් කරන්න.

2 comments:

  1. ඇත්තෙන්ම අපිට ඕන මෙන්න මේ දේ...වටිනවා බොහොමත්ම

    ReplyDelete