මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, December 8, 2016

මායම්

" චම්පිකා"
ඒ එයා. ඒ එයාගේ කට හඬ. වෙනදාට නම් මට ඒ කටහඬ  මිහිරි යි. මම අසාම එයා මිල්ටන්ගේ සිංදු කියනවා අහන් ඉන්න.

" චම්පිකා නවතින්න.
එයා එහෙම කිව්වම මම නවතින්න ඕනද?. එයා දැන් මගේ කවුරුත්ම නෙවෙයි. එහෙම නැවතුනා නම් ඒ ඉස්සර. අපි ආදරේ කරපු දවස් වල. ඒ කිව්වට ඉස්සර කිව්වේ මහ කාලේකට කලියෙන් නෙවෙයි ඒ මීට විනාඩි පහකට කලින්.

ඔව්. මීට විනාඩි පහකට කලින් මම ඉස්සර වගේම එයාට ආදරේ කරා, ඒ කටහඬට අසා කළා. එත් මීට විනාඩී පහකට කලින් එයාමයි කිව්වේ මේ සම්බන්ධෙ ඉවරයි කියලා. මම දන්නැ එයා  හරියටම එහෙම කිව්වේ විනාඩි පහකට කලින්ද කියලා දැන් මේ වෙනකොට අපේ සම්බන්ධෙ නැවතිලා විනාඩි හත අටක් වෙලා ඇති. සමහර විට ඊටත් තත්පර ගාණක් වැඩි ඇති. එත් ඒ හැම දෙයක්ම උනේ මීට විනාඩි පහකට කලින්.

"චම්පිකා, කිව්වාම නවතින්න"
එයාට තාමත් අණ කරන්න පුළුවන්. එයා එහෙම අණ කරන්න මම එයාගේ කවුද?  අනික එයා එහෙම අණ කළාම මම නවතින්න ඕනේද? එහෙම නැවතුනා නම් ඒ ඉස්සර.

" චම්පිකා "
ඒ කටහඬ කන ළඟම. මට නවතින්න උවමනාවක් නෑ.එත් මගේ වම් කකුලට හරි දකුණු කකුලට හරි නවතින්න ම ඕන උනා. ඒ මොන කකුලද කියලා මට නිශ්චියක් නැතත් එක කකුලක් නැවතුනා. එහෙම නවතින්න උවමනාවක් නොතිබ්බ කකුල ඉක්මන් කරලා මම එයාට මගේ තරහව පෙන්නුවා. නවතින්න කකුලට තිබ්බ උවමනාව මගේ පිටින් යනවාට මම කැමති නෑ. එ් ගැස්සිල්ල ඕනාවට වඩා වැඩිද මන්දා. මට එහෙම හිතුනේ " ෂ්ෂ්ෂ්ෂ්ශ්ශ්" කියලා ඇහුන සද්දේට. ඒ හඬ එයාගේ නෙමෙයි.

"චම්පිකා"
ඒ ගමන එයාගේ වම් අත මගේ දකුණු කර උඩ. මම නැවතුන්නෑ. එත්  එයා ම මාව නවත්තගත්තා. එ්ක එක කාරණයක් නෙවෙයිද මට ආඩම්බර වෙන්න. දැන් එයාව දණ ගස්සන්න උනත් මම දන්නවා. ගැණියෙක්ට මීට වඩා ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් තියෙනවාද?  ඒ හැගීම හන්ගගන්න ඕන හැගීමක් නෙවෙයි. එයාව ගණන් නොගන්න තාලෙට කට කොනින් ඇද කරන්න මම දන්නවා. එහෙම ඇද කරන වෙලාවට මම හිතාමතාම දකුණු පැත්ත තොර ගන්නවා. මම වැඩිපුරත් එක්ක කට කොනින් හිනා වෙන්නේ දකුණු කම්මුල වල ගැහෙන එක එයාට පෙන්න. දැන් එයා වචන දාහක් කථා කරයි. හැම වචන දහයකටම පස්සේ සමාවෙන්න කියයි.

" ඔයා පොඩි දෙයක් ඔච්චර ලොකු කරගන්න එපා චම්පිකා. වැරුද්දක් උනා නම් මට සමාවෙන්න"

දැක්කනේ මම කිව්වේ. එත් මට එයාගෙන් අහන්න ඕන "අනේ චම්පිකා මාව දලා යන්න එපා මට සමාවෙන්න " කියන වචන ටික. එයා එහෙම කියද්දී එ මුණේ ඇදෙන කියා ගන්න බැරි අසරණකමට මම කැමති. මට හිතෙන්නේම ඕනේම ගෑණියක් එහෙම අසරණකමක් දකින්න කැමති තමන් ආදරේ කරන මනුස්සයාගේ මුණේ. ඉතිං මම ලොකු වැරදිකාරියක් නෙවෙයි. ඊට පස්සේ මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් මගේ ඇස් දිහා බලාගෙන එයා ලතවෙන තත්පර ගානටත් මම ආසයි. උත්තරයක් නොදී තත්පර විනාඩි වලට පෙරලගන්න හැටි මම දන්නවා. කවදාවත් කෙලින් උත්තරයක් දෙන්නෑ මම. එක එකම එක පුංචි හිනාවක් විතරයි, වැඩිපුරම හිස් බවක් රැදුනු.

" චම්පිකා, මම කිව්වානේ එයා මගේ යාළුවෙක් කැම්පස් එකේ. "

මට අහන්න ඕන උනේ  ඒ වෙලාවේ කෝෆි ෂෝප් එකේ එ ගැණු ළමයා මොනවද කළේ කියලා. එත් ඒක  එයා දැන ගන්න විදිහක් නැති බව මම හොඳටම දන්නවා. එත් මීට විනාඩි පහකට කලින් එයායි මෙයයි දෙන්නම හිටයේ එ් කෝෆි සෝප් එකේ. එතන මමත් හිටියා තමයි. එත් එහෙම හිටියයි කියන එක මට තරහා ගන්න තරම් හේතුවක් නෙවෙයි කියන එක මම විශ්වාස කරන්නෑ.

" පුලියා, මේ ඔයාම ද කියලා මට අඳුර ගන්නත් බැරි උනා රැවුලයි කොණ්ඩේයි කපලා "
එයාගේ අතක් මෙයාගේ කර උඩ නතර වුනා. ඒ අත පිරෙන්නම බැදපු ඇට මාල වගයක්, මුණ ලොකු ඔරලොසුවක්, සද්දෙන්ම පුටුවක් ඇදගත්තු එයා මෙයා ලගින්ම වාඩි උනා.

" කොහොමද ඉතිං" 

එ් මෙයා, එයාගෙන් ඇහුවේ හිමින් සිරුවේ.


" ඉගෙන ගන්නවා" 

ඒ එයා, එයාගේ බැල්ම තිබුණේ මෙයාගේ ඇස් දිහා. ඒ දෙන්නාගෙම ඇස් එකට හම්බෙන වෙලාවේම මෙයා උත්තරයක් දුන්නා.


"මම ටියුෂන් ක්ලාස් කරනවා ලැට්රෝ එකේ,"

" නියමයි, කාලෙකට පස්සේ මම ඔයාව මුණ ගැහුණේ"

"සැහෙන්න කාලයක්. අවුරුදු පහක්?"

" නෑ, හයක්"

"එවුනාට මේ අද ඊයේ වගේ. ඔයා පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ."

එයා ගේ ඇස් පාතට බර උනා. එයා බැලුවේ එයාගේම කොටු වැටුණු කමිසය දිහා. එයා බෙල්ලේ දාගෙන හිටපු බස්සෙක් ඉන්න පෙන්ඩන්ට් එක පපුව මැදට වෙන්න ඒ කොටු කමිසය මතට වැටිලා තිබුණේ. එයා හිමින් සිරුවේ වම් අතින් පෙන්ඩන්ට් එක ඇල්ලුවා. මෙයාගේ ඇස් එයාගේ ඇස් එක්කම නැවතුනේ එයා අල්ලන් හිටපු ඒ පෙන්ඩන්ට් එක ළඟ. මගේ ඇස් තිබුණේ මෙයාගේ ඇස් ගාව. මට උවමනා කළේ මෙයාගේ ඇස් තියෙන්නේ එයාගේ පෙන්ඩන්ට් එක ගාවද එහෙම නැත්නම් එයාගේ පපුව ගාවද කියන එක දැන ගන්න විතරයි. මෙයාගේ ඇස් තියෙන්නේ කොතනද කියලා මගේ ඇස් වලට තීරණය කරන්න බැරි උනාට මගේ හිත එක විනිශ්චය කළා ඒ එයාගේ පපුව මැද කියලා.  එ්ක මගේ වැරුද්ද නෙමෙයි. එ්ක එයාගේ වැරුද්ද.

"ඉතිං, තාම බැන්දේ නැද්ද?"
නිහඬතාවය බින්දේ මෙයා. එයා හිනා වුනා බිම බලාගෙනම.

"නෑ, ඔයා" 

එත් එයා උත්තර දුන්නේ මෙයාගේ මුණ දිහා බලාගෙනම.


"තාම නෑ, ලබන අවුරුද්දේ වෙඩින් එක ගන්නවා මේ තමයි මනමාළි"
මෙයාගේ ඉස්සරහම උන්නු මාව එයාට අදුන්නලා දුන්නේ ඒ වෙලාවේ. එක අහලා එයා මගේ දිහාට හැරුණා. එයා මම දිහා බැලුවේ හරියට මම මෙච්චර වෙලා මෙතන හිටියේ නැති ගානට. එයා මාව දකින්නේ කොහොමද එයාගේ ඇස් තිබුණේ මෙයාගේ මුණේ විතරයිනේ.

" ෂා. මෙයාද ඒ වාසනාවන්ති. ලස්සනයි පුලා"

ඒක කිව්වේ එයාට, 



" නංගී මොන කැම්පස් එකේද?"
ඒ ප්‍රශ්නේ මට,

මට කරන්න තිබුණේ යාන්තමට හීනා වෙන එක විතරයි. තැන්පත් අහිංසක විදිහට.

" එයා ජොබ් එකක් කරන්නෑ"

ඒ මෙයා..  එත් එයා  අහපු නැති ප්‍රශ්නෙකටයි  ‍මෙයා උත්තරයක් දුන්නේ. එත් ඒ උත්තරේ එයා අහපු ප්‍රශ්නේටයි අහන්න ඉන්න ප්‍රශ්න වලටයි උත්තර තියෙන්න ඇති. එයා හිනා වුනා. මොකුත්ම නොකියා ආයෙම මෙයා දිහාවටම හැරුණා. බස්සාගේ පෙන්ඩන්ට් එක වම් අතින් අල්ල ගන්න ගමන් දකුණු අතින් මෙයාගේ වම් අතට තට්ටුවක් දැම්මා.


" මේ අර ඉස්සර හොයපු කෙනාමද?"

ඊට පස්සේ හැරුණේ මගේ දිහාවට. හෙමින් සීරුවේ එයාගේ අත් දෙකින්ම මගේ අතක් අල්ල ගත්තා.

"   මම පත්තරේට ආටිකල් ලියන්නයි, මාස්ටර් එකට පාඩම් කරන්නයි තමයි කෝෆි ෂෝප් එකට වැඩිපුර ම එන්නේ. එත් අද නම් ආවේ කෝෆි එකක් බීලා යන්න. මෙතන හරි නිස්කලංකයි. අපි ආයෙ දවසක හම්බවෙමු."
එයා මගේ අත අතඇරියේ එහෙම කියලා.

"එහෙනම් මම ගියා. ආයෙ හම්බවෙයිනේ."
එයා මෙයාගෙන් සමුගත්තේ ඒ විදිහට.

" කව්ද ඒ" 
එයා අඩි දහයක් දුර යන්න කලින්ම මම මෙයාගෙන් ඇහුවා. එහෙම අහන්න මට අයිතියක් තියෙනවා. මෙයා කියපු විදිහටම අපි ලබන අවුරුද්දේ බදින්න ඉන්නේ. ඉතිං මට සම්පුර්ණ අයිතිය තියෙනවා.

"කැම්පස් එකේ යාළුවෙක්"

"යාළුවෙක් විතරමද?"

"ඇයි නෑ වගේද"

" නෑ වගේ හින්දා තමයි ඇහුවේ"

"එහෙනම් කොයි වගේ ද දන්නෑ"

"කව්ද ඒ"

"දැන් සැරයක කිව්වේ යාළුවෙක්"

"එතකොට මොකක්ද තියෙන සම්බන්ධෙ"

"කාත් එක්කද"

" බස්සත් එක්ක"

" මොන බස්සෙක්ද, චම්පිකා ඔයාට නම් පිස්සු"

"ඔව් ඉතිං මට පිස්සු තමා."

"දැන්වත් දැන ගත්ත එක ලොකු දෙයක්"

"මම අහන්නේ කව්ද ඒ"

" එකම දේ කී සැරයක් කියන්නද චම්පි ඔයාට. ඒ මගේ යාළුවෙක්"

" මොකක්ද තියෙන සම්බන්ධෙ එයා දාගෙන හිටපු පෙන්ඩන්ට් එකෙයි ඔයා ඉස්සර වෙලාම මට දීපු පෙන්ඩන්ට් එකෙයි."

" මම දන්නේ කොහොමද, එත් ඔය කියන විදිහට ඒ දෙකම පෙන්ඩන්ට්" 
මෙයාගේ හිනාව. එ් හිනාවට  අරුතක් තිබුණා. මම හොඳටම දන්නවා එයා ඒ විදිහට යටි තොළ පෙරලලා හිනා වෙන්නේ  මාව විහිළුවට ගද්දි කියලා.

"නෑ ඒ පෙන්ඩන්ට් දෙකම බස්සෝ, මම අදයි දැන ගත්තේ මට දෙන්නේ එයා කැමති දේවල් කියලා."

"චම්පි තමුසේට නම් හොඳටම පිස්සු, ඔය ඇඩිල්ල නවත්ත ගන්නවා. මිනිස්සුත් බලනවා."

" ඇයි මිනිස්සු බැලුවාම ලැජ්ජයිද?. මම අරයා තරම් ලස්සන නෑනේ."

" චම්පිකා ඔය විකාර කියවිල්ල නවත්ත ගන්නවා"

" ඔව් මම දැන් විකාරයක්නේ."

" තමුසේ ඕක නවත්තනවද නැද්ද?"

" නෑ"

"එහෙනම ඕන දෙයක් කර ගන්නවා. මම යනවා"

" යන එකයි ඇත්තේ. යන්නේ ඕන් නැති හින්දානේ"

" කිව්වාම දෙයක් තේරුම් ගන්න බැයි නම් ඕන් නෑ තමයි."

"ඔව් දැන් මාව ඔන් නෑ. අවුරුදු හයකට පස්සේ හම්බුනානේ"

"ඔව් ඔන්නෑ තමයි. ඔය විදිහට මේ සම්බන්ධෙන් වැඩක් නෑ."
ඒ වචන මෙයාගේ. කටහඬත් මෙයාගේ. මම හැමදාම ආදරේ කරපු මිල්ටන්ගේ කටහඬ.
ඒ මීට විනාඩි පහකට කලින්.

එයාගේ කෙන්තිය නිවෙන්න කොච්චර වේලාවක් ගියාද මම දන්නෑ. එත් මගේ ඉරිසියාව නිවුනේ නැගිටලා අඩි දෙකක් එද්දීමයි. මට එතනම නවතින්න ඕන උනත් හිත කිව්වේම ඉස්සරහට යන්න කියලා. මාත් එක්ක මගේ පැත්තට එක කකුලක් හිටියාට අනිත් කකුලට ඕන උනේම නවතින්න. ඒ මොන කකුලද කියලා හරියටම කියන්න බැරි වුනාට ඒ වම් කකුල වෙන්න ඕන. හදවත වම් පැත්තේන් රිදෙන්න ගන්න ඇත්තේ ඒ හින්දා වෙන්න ඇති.

එයාට මගේ ළඟට එන්න විනාඩි කියක් ගත වුනාද මම දන්නෑ. එත් එයා විනාඩි පහකට කලින් මේ සම්බන්ධෙ නතර කලා.

" ඔච්චර පුංචි දෙයක් මෙච්චර ලොකු කර ගන්නවාද? එයා එහෙම අහන්නේ වල ගැහුණු දකුණු කම්මුල දිහා බලාගෙන. මම දන්නවා එයාට එතනින් ඇස් අහකට ගන්න බැරි විත්තිය.

" රවනකොට තියෙන ලස්සන" 

ඒ  මම අහන්න කැමතිම වචන. ඒ එයාගේම කටහඬින්. එයා එහෙම කියද්දි මට කවදාවත් එයාගේ ඇස් දිහා බලන්න බෑ. මොකක්දෝ හේතුවකට ඇස් බිමට බර වෙනවා.


"ඔයා හරි බොලඳයි" 

එහෙම කියන්නේ අනවසරයෙන්ම එයාගේ මුණ මගේ මුණටම පාත් කරගෙන.


" ඔව් ඉතිං, මම අර වගේ දාර්ශණික නෑ. බොළදයි තමයි. ඉතිං මොකටද දැන දැන මගේ පස්සෙන් ආවේ.යන එකයි ඇත්තේ"
ඒ විදිහට කියද්දි තාමත් සමාව දුන්නැ කියන ස්වරයයි , ඇස් ටිකක් පොඩි කරලා සමාව දෙන්නම් කියන හැගීම දනවන්නයි පුළුවන් මම වගේ බොළඳ කෙල්ලෙකුට විතරයි.

" මම ආදරේ මේ බොළඳ කෙල්ලට තමයි"
එයාගේ මුණ මගේ මුණට තවත් පාත් වෙනකොට මම වල ගැහෙන දකුණු කම්මුල එයාගේ ඇස් ඉස්සරහට හරවන්නේ හිතලාමයි.

" මම පොරොන්දු වෙනවා චම්පි"

"එහෙම මදි,  ඔළුවේ අත තියලා දිව්රන්න."

" බෑ, මම ඔය දේවල් විශ්වාස කරන්නෑ ඔයා දන්නවානේ."

" ඒ වුනාට මම විශ්වාස කරනවා. දිව්රන්න ඉතිං. ඉක්මණට"

" හ්ම්, එහෙනම් ඉතිං දිව්රන්න වෙනවානේ"
මගේ ඇස් වලටත් කලියෙන් එයාගේ ඇස් වල කඳුළු පිරෙන්නට පටන් ගනී. එවන් කඳුලක් ඉවසීමට තරම් දැඩි හිතක් නොමැතී වීම ගැන මා පසුව දුක් වී ඇතී වාර අනන්තය.

" හ්ම්, දිව්රන්න ඕන්නෑ.මට ඔයාව විශ්වාසයි."

ඒ කුමන මයාවක්දැයි නොදන්නෙමි. මම ඔහුගේ ලයට තුරුළු වෙමි. ඉතිං ඉන් පසු හිමකිරමක් තොල ගාමින් එයාගේ අතේ පැටලී ගෙවුණු පැයට මම වඩාත් ආදරය කරමි.

No comments:

Post a Comment

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...