මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, July 2, 2020

රඟහළකි ජිවිතයම

රාම ඒ වතාවෙදිත් ඇස් උස්සලා මගේ දිහා බැලුවා. හරියටම කෙළින්ම මගේ ඇස් වල කළු ඉංගිරිය දිහාවෙම. හරි කෙළින් බැල්මක් ඒක. ..........තත්පර ගානක් ගත උනත් කිසිම හෙළ වීමක් නැතුව රාම ඒ විදිහටම බලාගෙන හිටියා. ඒත් හරි නම් රාම ඒ වේලාවෙදි ඉන්න ඕන බිම බලාගෙන. බිම බලාගෙන.  පිටපතේ තිබුනේ ඒ විදිහට. මම දෙතුන් වතාවක් ම පිටපත කියවලයි හිටියේ. පොලිෂ් මැදලා තිබ්බ ලී තට්ටු වේදිකාවක්. රාමට රාමගේම ප්‍රතිබිම්භය පේන තරමට ලී වේදිකාව මැදිලා තිබුණේ. අපි ම කොච්චර මේ ලී වේදිකාවේ එහෙට මෙහෙට බරට අඩි තියලා තියෙනවද?

රාම උන්නේ බිම වාඩි වෙලා. දකුණු කකුල දනිස ගාවින් නවාගෙන ලී වේදිකාවට බර දීලා. වම් කකුල නවාගෙන හිටියත් මා පට ඇඟිල්ලෙන් ලී වේදිකාවේ මොනවද අඳින ගමන්. ඒ කොටස  පිටපතේ නෑ. කැම්මි කට් කිව්වෙත් නෑ. අපි දිගටම චරිත වලට ගිලුණා. රාම ඉන්න ඕන බිම බලාගෙන. මේ වෙනකල්ම රාම වම් කකුලේ මා පට ඇඟිල්ල දිහාම බලාගෙන හිටියා. කැම්මි කට් නොකියන්නේ ඒ නිසා. රාමගේ නොන්ජල් මුණට ම හරියන චරිතේ ඒක. රාමගේ බැල්මත් නොන්ජල්. නොන්ජල් කියන එකේ හරිම තේරුම මොකක්ද කියලා මම දන්නැති උනාට ඒක රාමට ගැලපෙනවා. නොන්ජලයා. කට කොනකට හිනාවක් ආවත් මම හිටියේ චරිතේට ආරුඩ වෙලා. කාලි වැහුණා වගේ තමා.

මම චරිතෙන් මිදෙන්නේ මේ වේලාවට. කැම්මි දැන් කිප සැරයක්ම රාමට මතක් කරනවා මගෙන් ඒ වචන පිට වෙද්දි රාම ඉන්න ඕන බිම බලාගෙන කියලා.

මේ ලෝකේ පෙරලුනත් රාම ඔය ඉන්න විදිහටම ඉන්නකැම්මි කියන්නේ එහෙම.

මම හිටියේ පොඩි මේසයක් උඩ. අපි මේසේ හොයා ගත්තේ MH1 දේශන ශාල‍ාවෙන්. ඒ මෙසේ උඩ පුටුවකුත් තියලා. හරියටම එතකොට මම හිටියේ මෙසේ උඩ තියෙන පුටුවේ. රාම ඉන්නේ මට පහලින් වේදිකාවේ ඉඳගෙන. ඒ පුටුව උඩ ඉද්දි මට අමරදේවේ පිටිම පස්සේ පුටු පේලියත් පේනවා. මම  පුටුවට නැගපු ගමන් චරිතෙට ආරුඪ වෙනවා. මුළින්ම බිම ඉන්න රාමට රැවුමක්. ඊළඟට මාව අහගෙන ඉන්නවයි කියලා හිතින් මවා ගත්ත ගෑණු රූප වලට හිනාවක්. හිනාවක් කිව්වට ඒක හිනාවක්ම නෙවෙයි. කැම්මි කැමතිම ඒ කොටසට. ඒක මාරයි කියලා තමයි කැම්මි කියන්නේ. ඊළඟට වේගෙන් පටන් ගන්න මගේ කථාව. අමතන්න තියෙන්නේ හිතින් මවා ගත්ත ගෑණු ගොඩකට. එතන ඉන්න එකම පිරිමියා රාම. පිටපතේ තිබ්බේ  එහෙම. කැම්මිගේ වැඩක් බලන්න SSH විතරක් නෙවෙයි MGT එකයි, AGRIඑකයි,APPLIDE උනුයි අමරදේවේ පිරෙනවා. එදාට මේක පුරාම දකින්න වෙන්නේ පිරිමි හිස් ගොඩවල් විතරයි. උන්ගේ උරහිස් වලටයි, පපුවලටයි, හේත්තු වෙච්ච ගෑණු රූප තියෙයි තමයි. සිය ගානක ගෑණුන්ට කථා කරද්දි පිරිමින්ට ඇලුණු ඒ ගෑණු රූප වලින් මට සත පහක උදව්වක් නොවෙන හින්දා ගෑණු ඔළු ගොඩක් මම මවා ගන්නවා. මේසේට නැඟලා පුටුවට නඟින්න කළින් මම ඒක කරනවා. මට ඕන වෙලා තිබුණේ මේක මතක හිටින චරිතයක් කරන්න.

එක එක විදිහේ මුණු ගොඩක්. අමරදේවේ ලයිට් අඩුම තැන තද රතු පාට ලිප්ටික් ගාපු සුදු පාට ගෑණියෙක්,ඉස්සරහා පේළියේ කළු පාට ගෑණියෙක්, කමිස අඳින ගෑණියෙක්. සාරි අඳින ගෑණියෙක්, කැරළි ගැහුණු නොපිරපු කොණ්ඩයක් තියෙන ගෑණියෙක් මැද අසුනක, ඊළඟට නිකටේ තැනින් තැන රැවුල් ගස් වැවුණ ගෑණියෙක්, කොණ්ඩේ පාට කරපු ගෑණියෙක්, කණ්නාඩි දාපු ගෑණියෙක්, පිරිමියෙක්ට අයිති නැති පිරිමි ගෑණු මුණක්, අඩන ගෑණු මුණක්, හිනා වෙන ගෑණු මුණක්, කඳුළු පෙරන ගෑණු මුණක්, අඩන්නෙත් නැති හිනාවෙන්නෙත් නැති ගෑණු මුණක්, ‍ටිකක් හිනාවෙන ටිකක් අඩන ගෑණු මුණක්, වැහැරුණු ගෑණු මුණක්,  අහංකාර ගෑණු මුණක්, අහිංසක ගෑණු මුණක්, නපුරු ගෑණු මුණක්, සුදු ගෑණියෙක්, කළු ගෑණියෙක්, තලෙලු ගෑණියෙක්, මහත ගෑණියෙක්, කෙට්ටු ගෑණියෙක්, ලස්සන ගෑණියෙක් සහ කැත ගෑණියෙක්. අන්තිමට පිරිමියෙක් වගේ කෙළින් බලන් ඉන්න ගෑණියෙක්.

කැම්මි කියනවා නවතින තැන් වලදී ඒ එක එක ගැණු රූප දිහා බලන්නලු. මම මවා ගන්න ගෑණු රූප ගැන කැම්මි දන්නේ කොහොමද? පිටපතේ එහෙම දෙයක් ලියවිලා තිබුන්නෑ. මේ මම චරිතෙට ආරුඪ වෙන්න පුහුණු වෙන විදිහ.

මම කථා කරනවා. අත පය එහෙට විසික් මෙහෙට කරමින්. ආයෙමත් එකතු කරමින්. පපුව මැද්දනේ බැඳ ගනිමින්.

ඔබ ඔබේ හදවතට ඇහුම්කන් දෙන්න. ඔබේ මනසට ඇහුම් කන් දෙන්න. කුමක්ද ඔබට දැනෙන්නේ. කුමක්ද ඔබ සිතන්නේ. මේ මහා විශ්වය තුළ ඔබ එක කුඩා අංශුවක්. ඔබ දුවිල්ලක්. පයට පැගෙන. කාටද ඇහෙන්නේ. ඔබේ විලාපය. කඳු මුදුන් වල දෝංකාර දෙන ඔබේ විලාපය. ශෝකය. පසුතැවිල්ල. ගැණුන්ගේ ඇඳුම, ගැහුණුන්ගේ  කදුළු, ගැහුණුන්ගේ හිනාවල්, ගැණුන්ගේ නිදහස, ගැණුන්ගේ සීමාව, ගැහැණුන්ගේ අහවල් දේවල්, කවුද තිරණය කරන්නේ?  ඒකට ඉන්නවා පිරිමි සංහතියක්

මම දකුණු අතේ දඹර ඇඟිල්ල වේදිකාවේ වම් කෙළවරේ ඉදන් මට දකුණු පැත්තෙන් බිම වාඩි වෙලා ඉන්න රාම දිහාවට ගේනවා. පිරිමි සංහතිය ම හරියට ඒ වෙලාවේ එතන බිම වාඩි වෙලා ඉන්නවා වගේ. මගේ සමච්චල් හිනාව. බැල්ම, මේ ඔක්කෝම රාම දිහාවට. රාම තාමත් බිම බලාගෙන.

තමන්ගේ ගැණි ආදරය හොයද්දී ඒ වේදනාව උඹට දැනුනද? ආදරය ලබන්න පුළුවන් හොඳම ක්‍රමය ආදරය දීම කියලා උඹ හිතුවද? රැකවරණය දීම කියන්නේ කොට ගවුමකට තහනම් කියලා ලේබල් ගහන එක කියන්න උඹට ඉගැන්නුවේ කවුද? පිරිමි සීයකට එකතු වෙලා එක ගෑණිනියෙක්ට හිනා වෙන්න අයිතියක් කොහෙන්ද? ගෑණියක්ට ආදරය තියෙන්න පුළුළුන්, ආදරය ලබන්න පුළුවන් පිරිමියෙක් ඉන්න තැන විතරද? කොහෙමද?රාම තාමත් ඉන්නේ බිම බලාගෙන. මම මගේ හඬ දියවෙන්න ඉඩ හරිමින් ඉන්නේ.

ප්‍රේමයට තියෙන්නේ පුදුමාකාර බලයක්, දිව්‍යමය බව උඹට  මගෙන් ලැබෙන්නෑ රාම. උඹට මගෙන් ලැබෙන්නෑ. ඒ ප්‍රේමයේ බලය පළමු ස්පර්ශය තුළම දැනෙන , අවුරුදු සීයක් උනත් සීතල ‍වෙලා ගල් ගැසී මේ සිරුර මත පැවතිය හැකි දෙයක් රාම. පැවතිය හැකි දෙයක්. මගේ ප්‍රේමයේ පළමු ස්පර්ශය උඹ නෙවෙයි රාම.පිටපතේ නැති උනත් හරියටම රාම මගේ දිහා කෙළින් බැලුවේ අන්න ඒ වේලාවේ. මේ දැන් හත් වෙනි වතාව. ඇස් විනිවිදින බැල්මක්. තත්පර ගානක හෙළවීමක්වත් නැතිව, ඒ නොන්ජල් මුණ නොන්ජල් ඇස්. නොන්ජල් පෙණුම. නොන්ජලයා.

හිල්ටන් කැන්ටිමේ අඳුරු මුල්ලක, පෙතියායි මමයි කථා කර කර හිටියා. අපි කැන්ටිම ආවේ බෙන්ච් එකක ඉද ගන්න බැරි රමට වැස්සක් වැටුණ නිසා. තෙත් වෙච්ච ඇඳුම් වලින්. පෙතියාගේ අත්, මගේ අත් වලින් උණුසුම් උනා. මගේ උණුසුම් වෙච්ච අත් වලින්ම පෙතියාගේ කම්මුල් උණුසුම් උනා. පෙතියාගේ රෝස පාට තොල් මගේ ඇඟිලි වලින් උණුසුම් උනා. ඊළඟ විනාඩියෙදී මම මගේ උණුසුම් තොල් වලින් පෙතියාට මගේ හුස්මක් උරන්න දුන්නා. තත්පර ගානකදී ඒ රෝස පාට තොල් මගේ දුඹරු තොල් පෙති වලින් මිදුණා. තවත් තත්පර ගානකට පස්සේ වැස්සෙම පෙතියා බෝයිස් හොස්ටල් එක පැත්තට යනවා මම බලාගෙන හිටියා වැස්ස අස්සෙන්. සති ගානක් යනකම් අපේ හොස්ටල් එකේ පෙතියාගේ පලමු හාද්ද ගැන කතා කවි නාට්‍ය හැදුනා. පෙතියාගේ චරිතෙට පණ දෙන්න හොස්ටල් එකේ කෙල්ලො පොලිමක් හිටියා. මාස ගානකට පස්සේ පෙතියා රාම වෙලා, පිටපතේ ත් නැති කොටසක්, මගේ දිහා කෙළින් බලන් ඉන්නවා. ඒ නොන්ජල් මුණ මැද්දෙන් මට මේ හත් වෙනි වතාවේදි අර රෝස පාට තොල් පෙති පෙනෙන්න ගන්නවා. රාමගේ ඇස් වල තියෙන්නේ ඒ කථාව. පහුගිය මාස හය පුරාවටම තමන්ගේ පළමු ආදරයේ පළමු හාද්දේ රස දෙවෙනි වතාවටත් බලන්න පළමු ආදරය ජීවිත කාලය පුරාම සුරක්ෂිත කරන වගට වෙන පොරොන්දු ගොන්නකුත් එක්ක කාලය කා දැමීමේ ආදරණිය කථාව. රාමගේ පරම පාරිශුද්ධ ප්‍රේම වෘත්තාන්තය. ඒ වෙනකොටත් මම සීනියර් බැජ් එකේ පොළා එක්ක හිච් කියන්න හැමෝම දැනන් හිටියා.

කට්. මේ ලෝකේ පෙරලුනත් රාම ඔය ඉන්න විදිහටම ඉන්න. බිම බලාගෙන. පිටපතේ තියෙන්නේ එහෙම නේ. මතකනේ බිම බලාගෙන, හරි ඒ ලයින් එකටම ආයෙම යමු

මේක මෙහෙම කරන්න බෑ  මම පුටුවෙන් ඩෙස් එකට, ඩෙස් එකෙන් වේදිකාවට. රාම ළඟම තියෙන වතුර බෝතලේ ගන්න ගමන්, මගේ හුස්මක් රාමගේ කන් පෙති මතය වට්ටනවා. ඒත් එක්කම නැගෙන මගේ සමච්චල් හිනාව පෙතියට පෙන්නෑ. නොන්ජලයා. දැන් අපි අට වෙනි වතාවට රියසල් කරන ගමන්. මම මගේ හඬ ශාලාව පුරාම දියවෙන්න ඉඩ හරිමින් ඉන්නේ.

 

 

 

No comments:

Post a Comment

මගේ අප්පච්චිගේ "The last Call"

  එදා ඒ රෑ පුරාවට ඔබ, මට කතා කළ බව ඇසු විට අප්පච්චි, මම හිතනවා ඔබ මට  "රැවන්" කියන්නට ඇතිද? එහෙම නැත්නම් "පුතේ" කියන...