මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, June 7, 2018

ජීවිතය මේ වගේයි



"මට ඕන උනේ මට ම වෛර කර ගන්න. තැනින් තැන ඉතිරි වෙලා තිබ්බ ලේ පාට කළු පැල්ලම් මකලා දාන්න. ඒ කාලේ මහ අමාරු කාලයක්. මට සිද්ධ උනා උත්තර හොයන්න, තවදුරටත් මම ජීවත් වෙනවද නැද්ද කියලා සැරින් සැරේට හිතට වඳ දිදී මාව ම වෙහෙසට පත් කරවපු මගේ හිතුවිලි වලට. ඒ කාලේ මහ අමාරු කාලයක් උනේ එකකට උත්තර හොයද්දී, උත්තර හම්බෙද්දී තවත් හුඟාක් ප්‍රශ්නාර්ථ ඇවිත් මගේ ඉස්සරහින් හිට ගත්ත එක. මම තවදුරටත් ජිවත් වෙනවා නම් උඹව ජිවත් කරවනවද නැද්ද කියලා හිතෙන්න ගත්තාම තමයි මට ඕන උනේ උඹවත් මරාගෙනම මාත් මැරෙන්න. එතකොට උඹට මාස දෙකක් ඇති මයේ හිතේ.

ආන් අර පේන කඳු ගැට්ට තියෙනවා නේද? මට ඔහොම හිතුන හැමදවසකම පහළ වත්තේ පොඩි උන්වත් එක්කහු කරගෙන ඔන්න ඔය කඳුගැට්ට නැග්ගා. එක උඩ ඉඳන් පහළට රිටුවා. ආයෙම උඩට බඩ ගෑවා. අැඟේ මුළු හයියෙන්ම පොඩි උන්වත් පහු කරගෙන කන්ද මුදුනටම දුවනවා. සතුටටත් එක්ක මං උන්ටත් වඩා හයියෙන් උඩ පනිනවා.

එන්න එන්න උඹේ බර වැඩි වෙනවා දැනෙද්දී ඒ තරමටම උඹව හිතටත් බරක් උනා. ආන් ඒ හින්දමයි මම තනියම උනත් ඔන්න ඔය කන්ද නැග්ගේ. ඒ වෙන කොට කන්ද කියන්නේ මට නුහුරු තැනක් නොවයි. හොඳටම පුරුදු තැනක්. මං කන්ද පාමුලට වඩා කන්ද මුදුනට කැමති. මොකද මේං මේ පිට සිරිච්ච කටු පඳුරු තිබ්බේ ඕං ඔය කියන කන්ද පාමුල. තිබිච්ච එකම සුදු ගවුමේ එදා එඬරු කහට ගැවුනැයි කියලා ඉස්කෝල් ගිහින් ඉවර වෙච්චි අක්කාගේ පරණ ගවුමක් වාටි ලෙහලා මහලා දෙනකම් දවස් තුන හතරක්ම ඉස්කොලේ නොයා හිටියෙත්, ගවුම පරණයි කියලා නැවති නැවති ඉස්කොලේ යන්න පටන් ගත්තේත් ඕං ඔය කියපු එ් දවසින් පස්සේන් පහු.

එදත් එහෙම දවසක් මම කන්ද මුදුනටම බඩ ගාපු. ටික ටික මෝදු වෙවී ලොකු වෙන බඩ ගෙඩිය හංගන්න අම්මාගේ චීත්තයක් දෙතුන් විඩක් කරකවලා තද වෙන්න උඹව ගැට ගහලා තිවුණේ.කන්ද මුදුනට එදා ගිනි සැරේට වැටිච්ච අව් රැල්ල. මට මතක තිවුණේ මේං මේ ඇස් පියැවෙනවා විතරයි. ඕං එදා ඇස් ඇරලා බලද්දි මං හිටියේ මේං මේ පැල් කොටේ ඕං ඔය මැස්සේ දිගා කරවලා.

" ඔය ඇත්ති දිහා මං දවොස් කියක් නම් බලා හිටියද? ඔය කරන වැඩේ තේරුමක් තියෙයියැ. ඔය ඇත්ති අකමැත්තක් නැත්නම් මේං මෙහෙට්ට වෙලා ඔය බර හැල්ලු වෙනකම් ඉන්ට, මට ඇහැක් ඔය ඇත්තිව ඇස් දෙක වගේ බලා ගන්ට " 

ඒං ඒ වෙවුලපු කටහඬ ආපු පැත්තට අමාරුවෙන් ඔළුව උස්සලා බලද්දී තමයි මම දැක්කේ උඹේ උප්පැන්නේට නම දීපු උඹ ඔය සීයැයි කියන ඔය මනුස්සයා මේ මැස්ස ඉහැත්තැවට වෙන්න ඇණ තියාගෙන ලිපට පිඹ පිඹ කේතලයක් රත් කරනවා. මං උන්දැව මුලින්ම දැක්කේ පොල් කොළ දුම මැද්දෙන්. ඒ දුමට වෙන්න ඕනෑ උන්දෑගේ ඇස් වල කඳුළු පිරිලා තිබ්බා මට අදටත් මතකයි.

"මේං මේ කැළේ මැද්දැවේ ඉන්න බෑයි" කියලා උඹ කිව්වට එදායින් පස්සෙන් පහු මම මගේහ් අතීතයටයි, මටයි වෛර කර ගන්න එක නවත්තලා ජීවත් වෙන්න පටන් ගත්තා. උඹේ දෛවය බාර වෙච්ච මොන දෙයිහාන්දුරුවෝ හරි මට මේ මනුස්සයාව එදා මුණ ගැස්සුවා. මට මෙන්න මේ ජීවිතේ කියලා දුන්නේ ඕං ඔය උඹ සීයයි කියන මිනිහා. උඹ ඒක හොඳට මතක තියා ගනින්. 

" ආන් අර තොටිල්ල ටිකක් පද්දලා වරෙන්, පොඩි ඒකී ඇහැරලාද කොහහෙද? මං මෙතනින් නැගිටලා ගියොත් හෙම ඕකී තනේ ඉල්ලලා බෙරිහන් දෙන්න ගනී. මේං මේ රොටිය කබලේම කරවෙයි" " 

1 comment:

  1. අන්තිම කියවලා පොඩ්ඩක් අවුල් උනා ඒත් ඒ සැනින්ම තේරුනා... මරු

    ReplyDelete

මගේ අප්පච්චිගේ "The last Call"

  එදා ඒ රෑ පුරාවට ඔබ, මට කතා කළ බව ඇසු විට අප්පච්චි, මම හිතනවා ඔබ මට  "රැවන්" කියන්නට ඇතිද? එහෙම නැත්නම් "පුතේ" කියන...