මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, August 14, 2018

ආලෝකවිසුද්දි


මෙහෙම ඉඳගෙන ඉද්දී මට මතක් වෙන්නේ මගේ පුංචි කාලේ. ඒ කාලේ මම වැඩිය උස නෑ. තලෙලු මිටි කෙල්ලක්. තලෙලු කිව්වට ඒ කළු පාටට කිට්ටු පාටක්. කළු උනාට පුංචි කාලේ මම මේ තරම් කැත නෑ.

මගේ උඩු තොලේ වම් පැත්තට වෙන්න තියෙනවා කැලලක්, ඒක හැදුනේ සුන්දරම් වත්තට වැටිච්ච පොල් ගෙඩියක් අහුලන්න කම්බි වැටෙන් රිංගපු දවසේ කටු කම්බියක් තොලේ ඇමිණුන පාර, එදා ඉදන් තමයි මම කැත කෙල්ලක් උනේ.

ඉස්කෝලේ උසස් පෙළ පන්තියේ හිටපු චාමර අයියා මට කැමති කියලා වසංගා අතේ ලියුමක් එවලා තිබුණා. මම චාමර අයියාට හා කියන්න ඕන කමක් තිබ්බත් මම බය උනා මම වගේ කැත කෙල්ලකට කොල්ලෙක් කැමති වෙන්න තිබ්බ හේතුව හිතද්දිත්. චාමර අයියා ඊටත් සති තුනකට පස්සේ දහය වසරේ මාලිකා නංගි එක්ක යාළු වෙලා තිබ්බා. අපේ පන්තියේ කෙල්ලන්ට එදා ඉදන් තමයි මම මහ මෝඩ කෙල්ලක් උනේ.

මාලිකා නංගි චාමර අයියා එක්ක පැනලා ගියා කියලා චාමර අයියාගේ යාලුවා වුන ගිහාන් අයියා දවසක් පාරේදි හම්බෙලා විස්තර කිව්වා. එයා මාව එයාගේ පුට් බයිසිකලේන් ගෙදර ගාවටම ගෙනත් ඇරලුවා. එකොළහේ විභාගේ ලියලා ගෙදර හිටපු දවස් නිසා මැහුම් පංති යද්දි එද්දි ගිහාන් අයියාව මට නිතර නිතර හම්බුණා. මැහුම් පංති නොයා චිත්‍රපටියක් බලන්න ගිය දවසේ තමයි මම එයාට මුලින්ම ගිහාන් කියලා කිව්වේ. අපේ පංතියේ කෙල්ලන්ට පේන්නම ගිහාන් අයියා එක්ක ජෝඩු දලා බයිස්කලේ ගියේ උන් උනත් දැන් දැන ගන්න ඕන මම මෝඩ කෙල්ලක් නෙවෙයි කියලා. ගිහාන් තමයි මට කිව්වේ මම සේක්සි කෙල්ලක්ය කියලා.

ගිහාන් රට ගියේ ලංකාවේ ඉන්න එක එයාට අපලයි කියලා කේන්දරේ තිබිච්ච හින්දා. ගිහාන් වෙනුවෙන් මම හැමදාම බෝධි පුජා තිබ්බා.එයාගේ අපල ගෙවෙන්නත් එක්ක. බෝධි පුජාව ඉවර වෙලා ප්‍රාර්ථනා ගථාව කියද්දි මට හැමදාම මතක් උනේ රට ගිහින් ඇවිත් මාව බඳිනවා කියලා ගිහාන් වෙච්ච පොරොන්දුව. වැඩි කලක් නොගිහින් මටම ඒ පොරොන්දුව අමතක වෙලා ගියේ දරුවෙක් මගේ බඩට ආවයින් පස්සේ. දරුවාගේ තාත්තා කව්ද කියලා කියන්න බැරි උනාම තමයි මම ගමේ උන්ට මම බඩ්ඩක් උනේ.

පොඩි හාමුදුරුවෝ සිවුරු ඇරලා පන්සලෙන් ගියාට පස්සේ ගමේ හැම මිනිහෙක්මයි ගැණියෙක්මයි මට ගමම අපායක් කලා. ඉපදිච්ච ගෙදර උනුත් මාව ගෙයින් දොට්ට දැම්මාට පස්සේ මැරෙන්න කියලා හිතාගෙන කෝච්චියට පනින්න ගිය ගමන තමයි මට ධම්මදින්න හාමුදුරුවන්ව ආයෙම හම්බුණේ. සිවුරු ඇරියට පස්සේ නිශ්ශංක කියලා නම වෙනස් කරලා තිබ්බේ. නිශ්ශංක එක්ක පවුල් ජිවිතේ පටන් ගත්තේ සිරි පුර පැත්තේ බඩ ඉරිඟු හේනකින්. අන්තිම්දී මම බඩේ හිටපු මගේ දරුවට මම අම්මා උනා.

අම්මා කියන්නේ
ගෙදර බුදුන් ය කියලා නිශ්ශංක හැමදාම හවසට පොඩි එකාට කියලා දෙනවා මම අහගෙන ඉන්නවා. ඒ දෙන්නා අවජාත, සහජාත, අතිජාත දරුවන් කියන්නේ කාටද කියලා පටන් ගන්න කතාව ඉවර වෙන්නේ ජාතක කතා දෙක තුනකට පස්සේ එළාර දුටු ගැමුණු කතාවත් කියලා රෑ දෙගොඩ හරි ජාමේ. ඊට පස්සේ දන්නේම නැතුව තාත්තලා පුතාලට නින්ද යනවා. අාන් එහෙම දවසක තමයි මම නිශ්ශංකටත් අවුරුදු දහයක් වැඩිමල් විජේදාස එක්ක හොරෙන් පැනලා ආවේ. ඒ ආදරයක් වෙනුවෙන් කරපු පරිත්‍යාගයක් කියල මුලදි මුලදී කියපු විජේම පස්සේ පස්සේ හැම ගැණියක්ම වේසඟනාවක්ය කියලා මගේ මුණටම කියන්න ගත්තා.

විජේදාස මගේ කෝණ්ඩේන් අැදලා ඔළුව බිත්තියේ ගහලා කෑ ගැහුවා. විජේදාස හොඳටම බීලා හිටියේ එදා. " ලොකු එකීට කියපං පිරිවණට ඇවිත් ඉන්න ආලෝකවිසුද්දී හම්මුදුරුවෝ එක්ක නටන නාඩගං නවත්ත ගන්න කියලා. මං උන් දෙන්නවම හැදි ගාවනවා දැන ගනිං. රටේ ලෝකේ මිනිස්සුන්ට කතා හදන්න මම දරුවෝ හැදුවේ නෑ යකෝ"විජේදාස තවත් කොච්චර දේවල් කිව්වත් මගේ කන්වලට ඇහුණේ එකම එක දෙයයි. "ආලෝකවිසුද්දි " "ආලෝකවිසුද්දි" "ආලෝකවිසුද්දී"

" අපි පුතාට ආලෝකවිසුද්දී කියලා නම තියමු" නිශ්ශංක එදා කෝච්චියට පනින්න ගිය මාව කෝච්චියෙන්ම සිරි පුරට එක්ක යද්දී කිව්ව වචන ටික විජේදාස වෙරි මතින් කියන වචන වලට වඩා හයියෙන් මට ඇහෙන්න ගත්තා. මුළු ගේම කැරකෙනවා වගේ දැනෙද්දී මාව එහෙමම එතන බිම ඉන්ඳ උනා. " තමුන්ගේ දරුවෝ හදා ගන්න තමුන් දැන ගන්න එපැයි. උන්ගේ මහ එකී වගේම නැතෑ ඒකීගේ දරුවොත්" මගේ කටින් ඒ වචන පිට උනේ කොහොමද කියන්න දැන ගන්න ඉඩක් මට ලැබුන්නෑ. මම මොන වගේ ගැණියක්ද කියලා කල්පනා වෙන්න ගත්තේ බිම ඉදගෙන ඉන්න මට විජේදාසගේ පයින් පාරක් බඩට වැදෙද්දීමයි

6 comments:

මගේ අප්පච්චිගේ "The last Call"

  එදා ඒ රෑ පුරාවට ඔබ, මට කතා කළ බව ඇසු විට අප්පච්චි, මම හිතනවා ඔබ මට  "රැවන්" කියන්නට ඇතිද? එහෙම නැත්නම් "පුතේ" කියන...